දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ කිරීමත් සමඟ ට්‍රම්ප් ෆැසිස්ට් අභියාචනා උත්සන්න කරයි

The impeachment trial begins as Trump escalates fascistic appeals

2020 ජනවාරි 17

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෙනෙට් සභා විමර්ශනය බ්‍රහස්පතින්දා ආරම්භ වූයේ අගවිනිසුරු ජෝන් රොබට්ස්ගේ දිවුරුම් දීමෙන් පසුව ය. ඔහු එහි කටයුතු අධීක්ෂනය කරනු ඇත. ඉන්පසු සෙනෙට් සභිකයෝ 100දෙනා දිවුරුම් දෙනු ඇත. නමුත්, ඉතිහාසයේ සියලු කැඳවීම් හා නිල ආකෘතීන් සම්බන්ධයෙන් ගත් විට, ට්‍රම්ප්ගේ දෝෂාභියෝගය හා විමර්ශනය, රට තුල හා විදේශයන්හි සාපරාධී ක්‍රියාවන් මත එහි විවෘත යොමුවීම මගින් මතු කෙරෙන, ඔහුගේ ආන්ඩුවේ වඩ වඩා අධිකාරීවාදී ස්වභාවයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ඇති කෙරෙන දැවැන්ත අනතුර මග හරියි.

ඇත්ත වශයෙන්ම, නඩු විභාගය ආරම්භ වන්නේ ට්‍රම්ප් විවෘතව නීති විරෝධී රාජ්‍ය ඝාතනයක්, එනම් ජනවාරි 3 ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඉරාන රජයේ වඩාත්ම බලගතු චරිතයක් වූ කාසෙම් සුලෙයිමානි ඝාතනය සිදු කර සති දෙකකට පසුව ය.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව යටපත් කිරීම සඳහා සාපරාධී කුමන්ත්‍රනයකට නායකත්වය දීම, ඔහුගේ ධුර කාලය නීතිවිරෝධී ලෙස දීර්ඝ කිරීමට උත්සාහ කිරීම, දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රචන්ඩත්වය ඇවිස්සීම සහ අයිතිවාසිකම් පනත දියබත් කිරීම යන චෝදනා යටතේ ට්‍රම්ප්ට චෝදනා එල්ල කල හැකිව තිබිනි. එහෙත් ඒ වෙනුවට ඩිමොක්‍රටිකයන් ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට තීරනය කර ඇත්තේ, යුක්‍රේනයට මිලිටරි ආධාර ලබා දීම නතර කිරීම හා නැගෙනහිර යුක්‍රේනයේ රුසියාවේ පිටුබලය ලබන බෙදුම්වාදීන්ට එරෙහි මිලිටරි මෙහෙයුම් පුලුල් කිරීම සඳහා සීඅයිඒ සංවිධානය විසින් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද මෙහෙයුමක කාලසටහන තරමක් ප්‍රමාද කිරීම වෙනුවෙනි.

ඔක්තෝබරයේ වොෂින්ටනයේ ධවල මන්දිරයේ දී ෆින්ලන්ත ජනාධිපති සවුලි නීනිස්ටෝ සමග පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී කතා කරමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් [Credit: AP Photo/Carolyn Kaster]

දෝෂාභියෝගයේ ලිපි දෙක සෙනෙට් සභාව වෙත භාර දුන් කොංග්‍රස් මන්ඩල ඩිමොක්‍රටිකයින්ගේ සියලු කඩාවැටුනු මුහුනු සලකා බලන විට, දෝෂාභියෝග උද්ඝෝෂනය කෝලමක ස්වභාවයක් ගෙන ඇත. සෙනෙට් සභාවේ රිපබ්ලිකන් බහුතරය චෝදනා පිලිබඳ නොසැලකිලි විමර්ශනයකට වඩා වැඩි දෙයක් නො කරනු ඇත යි ඩිමොක්‍රටිකයෝ අපේක්ෂා කරති. මෙයින් ඉක්බිතිව නිදොස් කොට නිදහස් කිරීමේ ඡන්ද විමසීමක් සිදු කරනු ඇත්තේ, ට්‍රම්ප්ට තමන් නිදොස් බව ප්‍රකාශ කිරීමට ඉඩ දී, විය හැකි ලෙස ඔහුගේ දේශපාලන ස්ථාවරය ශක්තිමත් කිරීමට ඉඩ දෙමිනි.

කොන්ග්‍රසය යෝජනා පරීක්ෂා කරන අතර, ට්‍රම්ප් රැස්වීම් පවත්වමින් සිටින්නේ, කලහකාරී වාතාවරනයක් නිර්මානය කිරීමට ෆැසිස්ට් වාචාලකම් යොදා ගනිමිනි. අඟහරුවාදා රාත්‍රියේ, දෝෂාභියෝග ලිපි සෙනෙට් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා වූ අවසන් සභා ඡන්ද විමසීමට ආසන්න දිනක, ට්‍රම්ප් විස්කොන්සින් ප්‍රාන්තයේ පැවති රැලියක දී වල්පල් දෙඩුවේ, ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයකින් එක්සත් ජනපදය සිදු කල, ඉරාන ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ ඝාතනය සමරමිනි. ට්‍රම්ප් මැරයෙකු මෙන් කතා කරමින් “මේ බැල්ලිගෙ පුතා” යැයි සුලෙයිමානිට නින්දා කලේ ය.

ඔහු ඩිමොක්‍රටිකයින් ගැන ද ඒ සමාන වචන වලින් දිගටම කතා කර ගෙන ගියේ, ඔවුන් “විකෘති”, “පිස්සු” සහ “නින්දිත” අය ලෙස විස්තර කරමින් හා ඔවුන් සමාජවාදීන් හා “ද්‍රෝහීන්” ලෙස හෙලා දකිමිනි. මෙම බැනවැදීම සිදු වූයේ, පෙලෝසි හා සෙනෙට් ඩිමොක්‍රටික් නායක චක් ෂුමර් මුස්ලිම් ඇඳුමින් සැරසී, ඉරාන ධජයක් ඉදිරිපිට සිටගෙන සිටිනවා පෙන්වන ඡායාරූපයක් ට්‍රම්ප් විසින් නැවත ට්වීට් කල දිනට පසුව ය.

මේ ආකාරයේ භාෂාවකට ලඟා වන කිසිවක් ඇමරිකානු ජනාධිපතිවරයකු විසින් මෙතෙක් භාවිතා කර නොමැත. ඔහුගේ වචන ඔහු සතුරන් ලෙස සලකන අයට එරෙහිව ප්‍රචන්ඩත්වයට කෙරෙන විවෘත උසිගැන්වීමකි; ඒවාට දේශපාලන ප්‍රතිවිපාක ඇත.

බ්‍රහස්පතින්දා, එෆ්බීඅයි සංවිධානය සුදු ස්වෝත්තමවාදීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, හිටපු සොල්දාදුවන් වන ඔවුන්ගෙන් දෙදෙනෙකු වර්ජිනියා ප්‍රාන්ත අගනගරයට සන්නද්ධ ප්‍රහාරයක් සූදානම් කරමින් සිටියේ, එලඹෙන සඳුදා, එනම් මාටින් ලූතර් කිං අනුස්මරන දින‍යේ, ඔවුන්ගේ ක්‍රියාවට කඩතිරයක් ලෙස තුවක්කු අයිතිය පිලිබඳ රැලියක් ප්‍රයෝජනයට ගනිමිනි. වර්ජිනියා ආන්ඩුකාර රැල්ෆ් නෝර්තම්, 2017 චාලොට්ස්විල් නව නාසි කැරල්ල මෙන් තවත් සිදුවීමක් පිලිබඳ අනතුරු අඟවමින්, හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කලේ ය. 2017දී චාලොට්ස්විල් දී, ෆැසිස්ට් විරෝධී විරෝධතාකරුවෙකු ඝාතනය කෙරුනු අතර, ට්‍රම්ප් සුදු ස්වෝත්තමවාදීන් “යහපත් මිනිසුන්” යැයි ප්‍රශංසා කලේ ය.

දෝෂාභියෝග ක්‍රියාවලිය ම දිග හැරෙමින් තිබෙන්නේ ප්‍රචන්ඩකාරී තර්ජන හා ප්‍රකෝපකාරී වාතාවරනයක ය. මේ සතියේ ට්‍රම්ප්ගේ නීතිඥ මෙන් ම විශේෂ මෙහෙවර තානාපතියෙකු වන රූඩි ගියුලියානිගේ සහායකයකු වන ලෙව් පර්නාස්, එවකට යුක්‍රේනයේ එක්සත් ජනපද තානාපති මාරි යොවනොවිච්ගේ භෞතික හා විද්‍යුත් නිරීක්ෂන සිදුකිරීමේ උත්සාහයන් හෙලිදරව් කිරීමට ඉදිරිපත් වී තිබේ. ඩෙමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ට එරෙහිව යුක්‍රේනය තුල දේශපාලන මූනිස්සම් සොයා ගැනීමේ උත්සාහයේ දී යොවනොවිච් ට්‍රම්ප්ට බාධාවක් ලෙස දකින ලදී.

ඩිමොක්‍රටිකයන්ගේ ස්ථාවරය මුලුමනින් ම කමකට නැත. දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට යමින් තිබියදී පවා, ඔවුහු ආර්ථික හා විදේශ ප්‍රතිපත්තියේ තීරනාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් ධවල මන්දිරය සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරති. බ්‍රහස්පතින්දා සෙනෙට් විමර්ශනය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර සෙනෙට් සභා ඩිමොක්‍රටිකයෝ, චීනයට හා යුරෝපයට එරෙහිව වෙලඳ යුද්ධය තීව්‍ර කිරීමට ට්‍රම්ප් විසින් අපේක්ෂා කරන,එක්සත් ජනපද-මෙක්සිකෝ-කැනඩා වෙලඳ ගිවිසුමට විශාල වශයෙන් ඡන්දය දුන්හ. කොංග්‍රස් මන්ඩල කථානායිකා පෙලෝසි, කොන්ග්‍රස් මන්ඩලය ඉදිරියේ පෙනී සිටිමින් තම වාර්ෂික දේශනය ඉදිරිපත් කරන ලෙස ට්‍රම්ප්ට ආරාධනා කර තිබේ.

ට්‍රම්ප් යනු ඇමරිකානු මූල්‍ය වංශාධිපතිත්වයේ බලගතු කොටස් ෆැසිස්ට්වාදය දෙසට හැරීමේ ප්‍රකාශනයක් වනවාට වඩා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඒජන්තයෙකු වෙතැ යි යන ප්‍රතිගාමී මනඃකල්පිතය ඩිමොක්‍රටිකයන් විසින් දිගින් දිගටම ප්‍රකාශ කරනු ලැබේ.

ඔවුන් කියා සිටින්නේ 2020 මැතිවරනයේ “නීත්‍යානුකූලභාවය” ආරක්ෂා කිරීමට තමන් ක්‍රියා කරමින් සිටින බව යි. එහෙත් ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රචන්ඩත්වයේ තර්ජන යටතේ මැතිවරනය පැවත්වීමට ඉඩ ඇති බව වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ; එමෙන් ම තමා පරාජයට පත් වුවහොත් ට්‍රම්ප් නොවැම්බර් 3 දා ඡන්ද ප්‍රතිඵල පිලිගනු ඇතැ යි උපකල්පනය කිරීමට හේතුවක් නැත. විස්කොන්සින් හි පැවති ඔහුගේ රැලියේදී, එක්සත් ජනපද ව්‍යවස්ථාව නො සලකා දින නියමයක් නො මැතිව ධුරයේ රැඳී සිටීමට උත්සාහ කරන බවට ඔහු නැවත නැවතත් තර්ජනය කලේ ය.

ට්‍රම්ප් නිදොස් වී ධුරයේ රැඳී සිටින්නේ නම්, ඔවුන් කුමක් කිරීමට අදහස් කරනවාද යන්න ඩිමොක්‍රටිකයින් කිසි විටෙකත් පැහැදිලි නො කිරීම කැපී පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ඔහුගේ ප්‍රහාරය දිගට ම පවතිනු ඇති අතර, ෆැසිස්ට් මහජන ව්‍යාපාරයක වර්ධනය උසිගැන්වීම සඳහා ඔහු ගන්නා උත්සාහයන් තීව්‍ර කිරීමට ඔහු ධෛර්යමත් වනු ඇත.

ෆැසිස්ට්වාදී ට්‍රම්ප් හා සීඅයිඒ සංවිධානයේ දේශපාලන නීතිඥයින් ලෙස කටයුතු කරන ඔහුගේ ඩිමොක්‍රටික් විරුද්ධවාදීන් අතර ගැටුමක දී වැඩකරන ජනතාවගේ අවශ්‍යතා ප්‍රකාශ කල හැකි මාර්ගයක් නොමැත. ජනගහනයෙන් අතිමහත් බහුතරයකට දෝෂාභියෝග ක්‍රියාවලිය ඔවුන්ගේ සැබෑ දේශපාලන හා සමාජ අවශ්‍යතාවලින් මුලුමනින්ම වෙන්වූවකි. කම්කරුවන්ට ට්‍රම්ප්ට විරුද්ධ වීමට බොහෝ හේතු තිබේ, නමුත් රුසියාව සමඟ ගැටුමක් ඇති කල හැකි නැගෙනහිර යුක්රේනයේ යුද්ධයක් සඳහා සීඅයිඒ කාලසටහන ප්‍රමාද කිරීම ඉන් එකක් නො වේ.

ට්‍රම්ප් පරිපාලනය ඉවත් කිරීම හදිසි අවශ්‍යතාවයකි. නමුත් ට්‍රම්ප්ට එරෙහි අව්‍යාජ අරගලයකට ඇමරිකානු ධනවාදයට හා ධනවාදී දේශපාලනයේ සමස්ත කුනු වූ ව්‍යුහයට, එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. ඩිමොක්‍රටිකයින් මග හැරීමට අධිෂ්ඨාන කරගෙන සිටින්නේ මෙය යි. ඔවුන්ට අවශ්‍ය වන්නේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියේ ඇතැම් පැතිවල වෙනසක් මිස පාලක පන්තියේ බලය අඩපන කරන හා ඔවුන්ගේ ධනයට බාධා කරන ප්‍රතිපත්තියේ කිසිදු ආකාරයක මූලික වෙනසක් නො වේ.

ට්‍රම්ප් පාලනාධිකාරියේ සාපරාධී ස්වභාවය ඇමරිකානු ධනවාදය කුනුවීමේ රෝග ලක්ෂනයකි. එක්සත් ජනපදය ඓතිහාසික ව පෙර නොවූ විරූ සමාජ අසමානතාව හා විදේශයන්හි දශක ගනනාවක මිලිටරි ආක්‍රමනයේ ද්විත්ව පිලිකාවලින් පීඩා විඳියි. එකම පිලියම වන්නේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී අරගලයකි.

පැට්රික් මාටින්

Share this article: