එඞ්වඞ් ගැලගර්, ඩොනල්ඞ් ට්‍රම්ප් හා ඇමරිකාවේ සාපරාධී යුද්ධ

Edward Gallagher, Donald Trump and America’s criminal warse massacre

2019 දෙසැම්බර් 30

සිකුරාදා නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඉරාකයේ එක්සත් ජනපද යුද අපරාධ වාර්තා කෙරෙන කාන්දු වූ වීඩියෝ සහ ඡායාරූප ප්‍රසිද්ධ කලේ ය. එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් සොල්දාදුවන් දුසිමක් තමන් විසින් ඝාතනය කල යෞවනයෙකුගේ මල සිරුර සමඟ පෙනී සිටින ඡායාරූපයක් මෙම මූලාශ්‍රවලට ඇතුලත් විය. ඝාතනය කරන ලද මුවෙකු සේ යෞවනයාගේ හිස ඔසවාගෙන සිටින එඞ්වඞ් ගැලගර්, මොහොතකට පෙර යලි යලිත් පිහියෙන් ඇනීමෙන් අල්ලාගත් යෞවනයා මරා දමා තිබිනි.

මෙම යෞවනයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගැලගර් හමුදා අධිකරනයක් විසින් නිදොස් කොට නිදහස් කරන ලද අතර, ඔහු මෙහෙයුම්වල රඳවා සිටීම අතරතුර මිනීමරු ප්‍රචන්ඩත්වයේ කොටසක් වූ වෙනත් අපරාධ රැසක් වෙනුවෙන් පසු ව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් සමාව ලබා දෙන ලදී.

මෙම ඡායාරූපය හා ඒ සමග ඇති වීඩියෝ පට 2004 අබු ග්‍රායිබ් බන්ධනාගාරයේ වධහිංසා පැමිනවීමේ කම්පන සහගත ඡායාරූප සිහිපත් කරයි. මීට වසර 15 කට පෙර ධවල මන්දිරය, කොන්ග්‍රස් මන්ඩලය හා මාධ්‍ය ඉරාක සිරකරුවන්ට පහත් ලෙස සැලකීම හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කරන ලද්දේ, අපරාධ ඔප්පු කරන ඡායාරූපවලින් වැඩි ප්‍රමානයක් යටපත් කර, ජනාධිපති බුෂ්, උප ජනාධිපති චෙනී සහ ආරක්ෂක ලේකම් රම්ස්ෆෙල්ඞ් වැනි වධහිංසා පිලිබඳ මහ මොලකරුවන් වසන් කරන අතර ය. අද මෙම යුද අපරාධයේ ප්‍රධාන වැරදිකරුට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් “වීරයෙකු” ලෙස ප්‍රශංසා කරනු ලැබේ.

මිලිටරි ලොක්කන් හා ටයිම්ස් පත්‍රය ගැලගර් පිලිබඳ ට්‍රම්ප්ගේ උත්කර්ෂයට නැංවීමට වැඩි වශයෙන් විරුද්ධ වන්නේ ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව හා වොෂින්ටනය විසින් ඉලක්ක කර ගැනුන වෙනත් රටවල සිදු වූ සමූහ ඝාතන හා විනාශය “නරක මිනිසුන්ගේ” ක්‍රියා නො ව, ඊට වෙනස් ව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අපරාධ වන බව එමගින් එලිමහනට පැමිනෙන බැවිනි.

ඒබීසී ප්‍රවෘත්ති සේවයේ ඉරිදා “මේ සතියේ” වැඩසටහනේ පෙනී සිටිමින් ජාතික ආරක්ෂක උපදේශක රොබට් සී. ඕ බ්‍රයන් ගැලගර් නඩුව තුල ට්‍රම්ප්ගේ මැදිහත්වීම ආරක්ෂා කලේ ය. “අවසානයේදී, සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමා නිල ඇඳුමින් සැරසී සිටින අපගේ පිරිමි හා කාන්තාවන්ගේ සහාය ලබා ඇති බවයි,” යනුවෙන් ඔ‘බ්‍රයන් පැවසී ය. “බලන්න, ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු කිරීම සඳහා අවසන් මොහොතේ ක්ෂනික තීරන ගැනීමට පුද්ගලයන් පිටත් කර යැවීම ඉතා කරදරකාරියි... ඒ වගේම ජනාධිපතිවරයා කියලා තියෙන්නේ අපි අපේ රනශූරයන්ට පිටුබලය සැපයීමට සූදානමින් සිටින බවයි,” ඔහු තවදුරටත් පැවසී ය.

අභ්‍යන්තර නාවික ගවේෂනාත්මක මූලාශ්‍ර කාන්දු වීමක් මත පදනම් වූ ටයිම්ස් වාර්තාව, නොවැම්බර් මාසයේ දී ට්‍රම්ප් විසින් සමාව දෙනු ලැබූ යුද අපරාධකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු වන ගැලගර්ගේ ක්‍රියාකාරකම් පිලිබඳ බිහිසුනු චිත්‍රයක් සපයයි.

නාඹර වියේ පසුවන සිරකරුවෙකු ඝාතනය කිරීම සඳහා ගැලගර් සිය දඩයම් පිහිය භාවිතා කරන විට “ක්ෂනික තීරනයක්” ගනිමින් සිටියේ නැත. මිනීමැරුම් චෝදනාවලට වරදකරු වීමෙන් ඔහු බේරුනේ සැක සහිත මිලිටරි නඩු විභාගයකින් පසුව ය. එහි දී ඔහුගේ ඒකකයේ වෛද්‍යවරයෙක් අනපේක්ෂිත ලෙස මරනයට වගකීම බාර ගත්තේ ය. ගැලගර් වරදකරු කරනු ලැබුවේ ජිනීවා සම්මුතිය යටතේ අපරාධයක් වන කුසලානයක් ලබා ගැනීමේ ඉරියව්වෙන් වින්දිතයාගේ දේහය සමග ඡායාරූපයකට පෙනී සිටීම වෙනුවෙන් පමනි.

නාවික හමුදා අපරාධ විමර්ශන සේවය (එන්.සී.අයි.එස්) විසින් ගැලගර් පිලිබඳ විමර්ශනය අතරතුර සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවල වීඩියෝ පටිගත කිරීම් මගින් දීර්ඝ කාලයක් පුරා ඔහුගේ යුද කලාපීය හැසිරීම පිලිබඳ අතිශය ඛේදජනක චිත්‍රයක් ලබා දේ. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ දැඩි සොල්දාදුවන් හා ප්‍රවීනයන් ඔවුන්ගේ හිටපු ඒකක ප්‍රධානියා විස්තර කරන්නේ “නපුරු විකාර සහගත”, “විෂ සහිත” හා “චලනය වන ඕනෑම අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හරියටම හරි” යැයි පවසමිනි. ගැලගර් විසින් ලමුන් හා සිරකරුවන් ඇතුලු සිවිල් වැසියන් ඝාතනය කිරීමේ කුලු ගැන්වීම ඔහුට නඩු පැවරීමට හේතුවූ සිද්ධිය ලෙස ඔවුහු විස්තර කරති.

හත්වැනි සීල් කන්ඩායමේ, ඇල්ෆා ප්ලැටූන් හි සාමාජිකයින් 22 දෙනාගෙන් බොහෝ දෙනෙකු විසින් හුවමාරු කරගත් ගවේෂනාත්මක විමර්ශන සම්මුඛ සාකච්ඡා හා කෙටි පනිවුඩ දහස් ගනනක් වෙත ටයිම්ස් පත්‍රයට ප්‍රවේශය ලබා දෙන ලදී. කාන්දුවීමේ පරිමාව ප්‍රදර්ශනය කරන්නේ ගැලගර් සම්බන්ධ ඕනෑම පරිපාලන දඬුවමක් අවලංගු කිරීමේ ට්‍රම්ප්ගේ මැදිහත්වීමට මිලිටරි ලොක්කන් තුල ම ඇති පුලුල් විරෝධය යි. එය මිලිටරි අධිකරන ක්‍රියාමාර්ගයක ප්‍රතිඵල වලක්වාලීමේ නීතිවිරෝධී “ආඥා බලය” පිලිබඳ පැහැදිලි සිද්ධියකි.

ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ හමුදා නිලධාරීන් දෙදෙනෙකු වන කපිතාන් මැට් ගොල්ස්ටයින් හා පලමු ලුතිනන් ක්ලින්ට් ලෝරන්ස් මෙන්ම ගැලගර්ට ද සමාව දුන්, නොවැම්බර් 15 වන දින නියෝගයක් සමග ට්‍රම්ප් මැදිහත් වූ අතර ඔහුගේ නිලය පහල දමමින් හා ඔහුගේ සීල් පදක්කම ඉවත් කරමින්, දැන් විශ්‍රාම ගොස් ඇති, ගැලගර්ට දඬුවම් කිරීමට නාවික හමුදාව ගත් තීරනය ආපසු හැරවී ය. මිලිටරි ආඥා දාමය තුල මෙම මැදිහත්වීමට නාවික ලේකම් රිචඞ් ස්පෙන්සර් විරුද්ධ වූ විට, ට්‍රම්ප් ඔහු දොට්ට දැමුවේ ය.

“අපි අපේ කොල්ලන් ඝාතන යන්ත්‍ර කරන්න පුහුනු කරනවා, පස්සේ ඔවුන් මැරුවාම නඩු දානවා” යැයි කියමින් තමා යුද අපරාධ තුන සමාලෝචනය කරන බව නිවේදනය කරමින් ඔක්තෝබර් මාසයේ නිකුත් කල ට්වීටර් පනිවිඩයක වූ ඔහුගේ ප්‍රකාශයට පාලක ප්‍රභූව තුල ට්‍රම්ප්ගේ විවේචකයෝ විශේෂයෙන් විරුද්ධ වූහ.

ඔවුන් මෙම ප්‍රකාශයට විරුද්ධ වූයේ එය ඇමරිකානු හමුදාවේ සැබෑ භූමිකාව, විශේෂයෙන් සීල් භටයින් හා හමුදාවේ ඩෙල්ටා බලකාය වැනි දස දහස් සංඛ්‍යාත විශේෂ හමුදා භටයින් බඳවාගෙන කුරිරු ඝාතකයින් ලෙස පුහුනු කිරීම පිලිබඳ ඔනෑවට වඩා පැහදිලි පිලිගැනීමක් වන බැවිනි. නඩු පැවරීම් අතිශයින් දුර්ලභ වන අතර ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද පූර්වාදර්ශය මත පදනම් වීමෙන් තව දුරටත් නඩු පැවරීම් සිදු නොවනු ඇති බව පෙනේ.

ට්‍රම්ප් තම ජනාධිපතිවරන උද්ඝෝෂනයට ගැලගර්, ගොල්ස්ටයින් හා ලෝරන්ස් බඳවා ගැනීමට අපේක්ෂා කරයි. ඔහු මේ මාසයේ උද්ඝෝෂන ආධාරකරුවන්ගේ මැතිවරන ප්‍රචාරක උත්සවයක දී යුද අපරාධකරුවන් සරඹ කර වූ අතර, දෙසැම්බර් 21 වන දින ජනාධිපතිවරයා විසින් ඇමතූ ෆැසිස්ට් මනෝගතියෙන් යුත් තරුනයින්ගේ සංසදයක් වන ටර්නින් පොයින්ට් සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපද ශිෂ්‍ය ක්‍රියාකාරී සමුලුවේ දී කනිෂ්ඨ ඩොනල්ඞ් ට්‍රම්ප් සමග ගැලගර් ඡායාරූපයට පෙනී සිටියේ ය. මෙය පොලීසිය, දේශසීමා මුර සංචාරය හා මිලිටරි විශේෂ බලකායන් ඇතුලු රාජ්‍ය සංවිධානවල වඩාත් ප්‍රචන්ඩකාරී හා ප්‍රතිගාමී කන්ඩායම්, හා මැතිවරන කොට්ඨාසය තුල ෆැසිස්ට්වාදී කල්ලි මෙන් ම අවමංගත සමාජ ස්ථර මත තම නැවත පත්වීමේ උත්සාහය පදනම් කිරීමේ ඔහුගේ උත්සාහයේ කොටසකි.

මෙම සංචාරය අතරතුර ගැලගර් සහ ඔහුගේ බිරිඳ ඇන්ඩ්‍රියා ද ජනාධිපතිවරයා සමඟ ඡායාරූප සඳහා පෙනී සිටි අතර, සමාව දීම වෙනුවෙන් තම ප්‍රශංසාව ප්‍රකාශ කිරීම සඳහා ඔහුට තෑග්ගක් දුන් බව වාර්තා වේ. එය ඉරාකයේ මොසූල් හි දී පැහර ගැනුනු, ඉරාක හා සිරියානු ඉස්ලාමීය රාජ්‍යයේ (අයිඑස්අයිඑස්) කළු-සුදු වර්නයන්ගේ ධජයකි. මෙම තෑග්ග නිසැකව ම සංකේතවත් කලේ ප්‍රධාන යුද අපරාධකරු වන ඩොනල්ඞ් ට්‍රම්ප් හා ඔහුගේ සහචරයා මෙන් ම උපකරනය වන ගැලගර් අතර ඇති සම්බන්ධයයි. එක්සත් ජනපද කාලතුවක්කු, රොකට් හා යුද ගුවන් යානා විසින් නො නවතින බෝම්බ හෙලීම් සඳහා මොසුල් ඉලක්ක කරන ලද අතර එමගින් නගරය සුන්බුන් බවට පත් වී දස දහස් ගනනක් මිය ගියහ.

ගැලගර් යනු මිනීමැරුම් ප්‍රචන්ඩත්වයේ හා ඝාතනය උමතුවක් බවට පත් වූ පුද්ගලයෙකුගේ පුද්ගලාරෝපනය විය හැකිය. නමුත් ඉරාකයේ මොසුල් සහ සිරියාවේ රක්කා වැනි නගර විනාශ කිරීමට “ප්‍රධාන අන දෙන නිලධාරියා” ලෙස දුන් නියෝග මගින් ට්‍රම්ප් ගනන් කල නොහැකි තරම් අහිංසක ජීවිත බිලි ගත්තේ ය.

එමෙන් ම ට්‍රම්ප් අපගමනයක් නො වේ. ඔහු අනුගමනය කරන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග කල හැකි හා නඩුවලට පෙනී සිටිය යුතු ජනාධිපතිවරුන්ගේ දීර්ග පෝලිමකි. මෙයට, ඉතාමත් මෑත ම අය නම් කරන්නේ නම්, පර්සියානු ගල්ෆ් යුද්ධය සහ පැනමාව හා සෝමාලියාවේ එක්සත් ජනපද ආක්‍රමන වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජෝර්ජ් බුෂ්; පැරනි යුගෝස්ලාවියාවේ මිලිටරි මැදිහත්වීම මෙන් ම ඉරාකය, ඇෆ්ගනිස්ථානය හා සුඩානයට බෝම්බ සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම වෙනුවෙන් බිල් ක්ලින්ටන්; ඉරාක යුද්ධය හා ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කිරීම සඳහා කනිෂ්ඨ බුෂ්; මෙම යුද්ධ දිගටම කරගෙන යාම සහ ලිබියාවේ හා සිරියාවේ නව ප්‍රහාර දියත් කිරීම හා ලොව පුරා ඩ්‍රෝන් යුද්ධ වෙනුවෙන් බැරක් ඔබාමා ද ඇතුලත් වෙති.

ගැලගර් ද කිසිසේත් සුවිශේෂී නො වේ. ඔහුගේ වැනි මෙන් ම ඊටත් වඩා භයානක අපරාධ දුගී දුප්පත් හා පීඩිත ජාතීන්ට එරෙහි සියලු අධිරාජ්‍යවාදී යුද්ධවල ප්‍රමුද්‍රාව වේ. වියට්නාමයේ මයි ලායි සංහාරයේ සිට ඉරාකයේ අබු ග්‍රායිබ් හි සිදු වූ කුරිරුකම්, හා 2012 දී සාජන්ට් රොබට් බේල්ස් විසින් ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් 16 දෙනෙකු ඝාතනය කිරීම දක්වා එක්සත් ජනපද හමුදාව විසින් පෙන්නුම් කර තිබෙන්නේ ම්ලේච්ඡත්වය හා නිෂ්කාරන ප්‍රචන්ඩත්වය සඳහා වන තම හැකියාව යි.

ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ජනාධිපතිවරුන් යටතේ මෙම යුද අපරාධ ද්විපාක්ෂික පදනමක් මත සිදු කරන ලද අතර, කොන්ග්‍රස් මන්ඩලයේ ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් විසින් සහාය දී පොදුවේ වසන් කරන ලදී. කොංග්‍රස් මන්ඩල රිපබ්ලිකානුවන් යුද අපරාධකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට දෝෂාභියෝග කර නැති බව පෙන්වා දීම වැදගත් ය, ඉරාකය හා සිරියාවේ සමූහ ඝාතන සඳහා නියෝග කිරීම සහ උතුරු අප්‍රිකාව, මැදපෙරදිග හා මධ්‍යම ආසියාව පුරා සිදුවන ඩ්‍රෝන් යුද්ධ ගැන කියනුම කවරේ ද? ඒ වෙනුවට ඔවුන් තෝරාගෙන ඇත්තේ යුක්රේනයේ යුද අපරාධවලට ප්‍රමානවත් ලෙස සහාය නො දැක්වීම සහ යුක්රේනය සන්නද්ධ කර රුසියාවට එරෙහි මිලිටරි පෙරමුනක් බවට පත්කිරීමේ දීර්ඝකාලීන එක්සත් ජනපද මෙහෙයුම අඩපන කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ය.

පැට්‍රික් මාටින්

Share this article: