බිලියනපතියන්ගේ ධනය 2019 දී වේගයෙන් ඉහල නැග්ම

Billionaires’ wealth surged in 2019

2019 දෙසැම්බර් 28

21 වන ශතවර්ෂයේ දෙවන දශකය අවසානය කරා ලඟා වෙත්ම, එහි වඩාත්ම සුප්‍රකාශිත ලක්ෂනය වන්නේ ගෝලීය මූල්‍ය කතිපයාධිකාරයක් විසින් මනුෂ්‍ය ප්‍රජාව කොල්ලකෑම අඛන්ඩව බාධාවකින් තොරව පවත්වාගෙන යාමය.

එක් පසෙකින් වෙලඳ යුද්ධය සහ මිලිටරිවාදයේ හා අධිකාරීවාදයේ වර්ධනයත් සහ අනෙක් පසින් සමාජ අසමානතාවයට එරෙහිව කම්කරු පන්තිය විසින් ගෙන යන ජාත්‍යන්තර වැඩ වර්ජන හා විරෝධතා පුපුරා යාමක් මධ්‍යයේ කොටස් වෙලඳපොල වාර්තාගත ඉහල මට්ටමකට පැමිනෙමින් පවතින අතර ලෝක බිලියනපතියන්ගේ සෞභාග්‍යය අඛන්ඩව ඉහලට නැගෙමින් පවතී.

නිව්යෝර්ක් හි සෙන්ට්‍රල් උද්‍යානයට ඉහලින් (සුඛෝපභෝගී නිවෙස් සහිත) නව මහල් ගොඩනැගිලි ඉදිවෙමින් පවතින අයුරු. 2018 අප්‍රියෙල් 17 වන අඟහරුවාදා [ඒපී ඡායාරූපය - මාර්ක් ලෙනිහාන්) (AP Photo - Mark Lennihan)]

එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශක තුනම නව වාර්තා පිහිටුවා දිනකට පසු සිකුරාදා බ්ලූම්බර්ග් විසින් ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනා පිලිබඳ වසර අවසාන සමීක්ෂනය නිකුත් කලේය. බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය වාර්තා කලේ කතිපයාධිකාරීන්ගේ ධනය ඒකාබද්ධව ඩොලර් ට්‍රිලියන 1.2 කින් වැඩි වූ අතර එය 2018 ට වඩා සියයට 25 ක වර්ධනයකි. ඔවුන්ගේ සාමූහික ශුද්ධ වටිනාකම දැන් ඩොලර් ටි්‍රලියන 5.9 ක් දක්වා පැමින ඇත.

මෙම සංඛ්‍යාංක යම් ඉදිරි දර්ශනයක පිහිටුවන්නේ නම්, මෙම පුද්ගලයින් 500 දෙනා 2019 තුන්වන කාර්තුව අවසානයේ දී එක්සත් ජනපදයේ දල දේශීය නිෂ්පාදිතයට වඩා වැඩි ධනයක් පාලනය කරන අතර එය ඩොලර් ට්‍රිලියන 5.4 කි.

වසරේ විශාලතම ලාභය ප්‍රන්සයේ බර්නාඞ් ආර්නෝල්ට් වෙත හිමිව ඇති අතර ඔහු සිය ධනයට ඩොලර් බිලියන 36.5 ක් එකතු කර ගනිමින් සිය ශුද්ධ වත්කම ඩොලර් බිලියන 100 මට්ටම වේගයෙන් ඉක්මවා යමින් ඩොලර් බිලියන 105 දක්වා රැගෙන ඇත. ඔහු ඩොලර් බිලියන 89.3 ක සිටින සමපේක්ෂක වොරන් බෆට් සිව්වන ස්ථානයට ඇද දමා ඇත. දික්කසාද විසඳුමක් හේතුවෙන් ඇමසෝන් ලොක්කා ජෙෆ් බෙසොස්ට ඩොලර් බිලියන 9 කට ආසන්න මුදලක් අහිමි වූ නමුත් ඔහු ඩොලර් බිලියන 116 ක ශුද්ධ වත්කමක් සහිතව ඉහල ම ස්ථානය පවත්වාගෙන යයි. මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් වසර සඳහා ඩොලර් බිලියන 22.7 ක් උපයා ඇති අතර ඩොලර් බිලියන 113 ක වත්කමක් සහිතව දෙවන ස්ථානයේ රැඳී සිටී.

බ්ලූම්බර්ග් ලැයිස්තුවේ සිටින ඇමරිකානු බිලියනපතියන් 172 දෙනා ඩොලර් බිලියන 500 ක් එකතු කරගෙන ඇති අතර, ෆෙස්බුක් හි මාර්ක් සකර්බර්ග් වසරේ විශාලතම එක්සත් ජනපද ලාභය ඩොලර් බිලියන 27.3 ක් ලෙස සටහන් කරමින් ඩොලර් බිලියන 79.3 ක ශුද්ධ වත්කමක් සහිතව ලෝකයේ ම පස්වන ස්ථානයට පත්ව ඇත.

එවැනි ඉහල ම ස්ථරික රාශිභූත වීමේ සැබෑ වැදගත්කම වටහා ගැනීම දුෂ්කර ය. ආර්ථික විද්‍යාඥ බ්‍රැන්කෝ මිලානොවික් 2016 දී රචිත Global Inequality{ ගෝලීය අසමානතාව ] නම් සිය ග්‍රන්ථයේ මෙසේ ලිවීය:

“ඩොලර් බිලියනයක් යන්න පෘථිවියේ සිටින සෑම කෙනෙකුගේම පාහේ සුපුරුදු අත්දැකීමට පිටින් ඇති අතර එයින් ගම්‍ය වන ප්‍රමානය පහසුවෙන් වටහා ගත නොහැකිය. දැන් ඔබට ඩොලර් මිලියනයක් හෝ ඩොලර් බිලියනයක් උරුම වී ඇතැයිද සහ ඔබ දිනකට ඩොලර් 1,000 ක් වියදම් කල බවද සිතන්න. පලමු අවස්ථාවේ දී ඔබේ උරුමය වැය කිරීමට ඔබට වසර තුනකටත් අඩු කාලයක් ගතවනු ඇති අතර, දෙවන අවස්ථාවෙහිදී ඔබේ උරුමය වාෂ්ප කර හැරීමට වසර 2,700 කට වඩා (එනම් හෝමර්ගේ ඉලියඞ් වෙතින් අපව වෙන් කරන කාලය) ගත වේ. ”

2008 වෝල් වීදියේ කඩාවැටීමෙන් පසු වේගවත් වූ දශක ගනනාවක් තිස්සේ පැවති ක්‍රියාවලියක ප්‍රතිඵලය වන්නේ ධනය සමාජයේ පහල සිට ඉහලට යලි බෙදාහැරීමයි. එය අපුද්ගල හා හුදෙක් ස්වයංක්‍රීය සංතතීන්ගේ ප්‍රතිඵලයක් නොවේ. අනික් අතට, ලොව පුරා ධනේශ්වර ආන්ඩු සහ පක්ෂවල ප්‍රතිපත්ති, නාමික “වම” මෙන්ම දක්ෂිනාංශය, කම්කරු පන්තිය වෙන කවරදාටත් වඩා දරිද්‍රතාවයට ඇද දැමීමට සහ පාලක ප්‍රභූව වඩවඩාත් පොහොසත් කිරීමට කැපවී ඇත.

එක්සත් ජනපදයේ, ඉහලම සියයට එක පසුගිය දශක දෙක තුල ජාතික ආදායමේ වැඩි වීම් සහ 2008 කඩාවැටීමෙන් පසු ජාතික ධනයේ වැඩි වීම සියල්ලම ග්‍රහනය කර ගෙන තිබේ.

මෙම ධනය හුවමාරුව සඳහා ප්‍රධාන යාන්ත්‍රනය කොටස් වෙලඳපොල වන අතර, එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ සහ මහ බැංකුවල ප්‍රතිපත්ති ජාත්‍යන්තර වශයෙන් කොටස් මිල ඉහල නැංවීම සඳහා ලාභ මුදල් (අඩු පොලී අනුපාතයක් සහිත නය) ලබා දීමට කටයුතු කර ඇත. මූල්‍ය වෙලඳපොලවල් සහ කතිපයාධිකාරීන් සඳහා මෙම දැවැන්ත සහනාධාරයේ වියදම කම්කරු පන්තියේ සමාජ වියදම් කප්පාදුව, සමූහ දොට්ට දැමීම්, විශ්‍රාම වැටුප් හා සෞඛ්‍ය ප්‍රතිලාභ විනාශ කිරීම හා සාපේක්ෂව සුරක්‍ෂිත හා යහපත් වැටුප් සහිත රැකියා වෙනුවට අර්ධකාලීන, තාවකාලික සහ අස්ථීර “ගිග්” ඒනම් කෙටි කාලින කොන්ත්‍රාත් පදනමේ රැකියාවන්ගේ රූපාකාරයන්ගෙන් ක්‍රියාවට දැමේ.

ආයතනික බදු කප්පාදු කිරීම, මහා ව්‍යාපාරිකයන් සඳහා වන රෙගුලාසි ඉවත් කිරීම සහ මිලිටරි අයවැය නාටකාකාර ලෙස ඉහල නැංවීම සඳහා පොරොන්දු වෙමින් ට්‍රම්ප් 2017 ජනවාරි මාසයේ දී ආරම්භ කරන ලද වැඩපිලිවෙල නිසා ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 9,000 කින් ඉහල ගොස් තිබේ. මේ වසරේ දී ට්‍රම්ප් සහ මූල්‍ය වෙලඳපොලවල් පොලී අනුපාත “සාමාන්‍යකරනය” කිරීමේ උත්සාහය ආපසු හැරවීම සඳහා මහ බැංකුවට විශාල පීඩනයක් එල්ල කලේය. ෆෙඩරල් මහ බැංකුව විසින් අනුපාත කප්පාදු තුනක් සිදු කරමින් 2020 දී අනුපාත ඉහල නැංවීමේ කිසිදු සැලසුමක් නොමැති බව වෙලඳපොලට නැවත නැවතත් සහතික කලේය.

බැංකු සහ හෙජ් අරමුදල් සඳහා වූ මෙම අහඹු ලාභය රිපබ්ලිකානුවන්ට නොඅඩුව ඩිමොක්‍රටිකයින්ගේ සහාය ලබා ගනු ලැබීය. ඇත්ත වශයෙන්ම, ඩිමොක්‍රටික් පක්ෂය විසින් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තියට මුල සිට අගටම එනම්, සංගත සහ ධනවතුන් සඳහා වූ බදු කප්පාදුවේ සිට ව්‍යාපාරයට අදාල සියලු‍ රෙගුලාසිවලට පහර දීම දක්වා තම සහය ලබා දී ඇත. “ජාතික ආරක්ෂාව” සහ ට්‍රම්ප් රුසියාව කෙරෙහි දක්වන “මෘදු බව” යන්න මත මුලුමනින්ම පදනම් වී ගෙන යනු ලබන - දෝෂාභියෝගය මධ්‍යයේ වුවද ට්‍රම්ප්ගේ අයවැය, ඔහුගේ චීන විරෝධී එක්සත් ජනපද-මෙක්සිකෝ-කැනඩා වෙලඳ ගිවිසුම සහ ඔහුගේ වාර්තාගත ඩොලර් බිලියන 738 පෙන්ටගනයේ යුද අයවැය සඳහා ඩිමොක්‍රටිකයින් පුලුල් පරතරයකින් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ට්‍රම්ප්ට තම දේශසීමා තාප්පය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සියලු‍ මුදල් ලබා දීම සහ සංක්‍රමනිකයන් සමූහ වශයෙන් සිරගත කිරීම හා හිංසා කිරීම ද මෙයට ඇතුලත් ය.

ට්‍රම්ප්ගේ කෝපරේට් ගැති ප්‍රතිපත්ති ඔබාමා පරිපාලනය විසින් අනුගමනය කරනු ලැබූ ඒවායේ ම දිගුවක් සහ පුලුල් කිරීමකි. බැංකුවලට ඇප ලබා දීම සඳහා එය ටි්‍රලියන ගනන් බදු ගෙවන්නන්ගේ මුදල් වෙන් කිරීම සහ මූල්‍ය වෙලඳපොලවල් සඳහා ලාභ නය ප්‍රවාහයන් මුදා හරිමින් කොටස් මිල ගනන් නැංවූ අතර ම ජෙනරල් මෝටර්ස් සහ ක්‍රයිස්ලර් ඇප ලබා දීමේදී අලු‍තින් කුලියට ගත් මෝටර් රථ කම්කරුවන්ගේ වැටුප් මත සියයට 50 ක පුලුල් කප්පාදුවක් පැනවූයේ ය. ඔබාමා පාසල් දහස් ගනනක් වසා දැමීම සහ ගුරුවරුන් සිය දහස් ගනනක් දොට්ට දැමීමට වගබලා ගත් අතර සමාජ වැඩසටහන්වලට දිගට හරහට පහර දෙන කප්පාදු අයවැය ක්‍රියාවට නැංවීය.

2020 ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන අයගෙන් දෙදෙනෙකු වන්නේ ප්‍රකෝටිපතියන් වන ටොම් ස්ටියර් සහ මයිකල් බ්ලූම්බර්ග් ය. දෙවැන්නා, ඩොලර් බිලියන 56 ක ශුද්ධ වත්කමක් ඇති එක්සත් ජනපදයේ නවවන ධනවත්ම පුද්ගලයා වේ. සුපිරි ධනවතුන් සඳහා ටෝකන් බදු වැඩි කිරීම පිලිබඳව බර්නි සැන්ඩර්ස් සහ එලිසබෙත් වොරන්ගෙන් කල කතාවලින් ප්‍රකෝපයට පත් කතිපයාධිකාරීන්ගේ ප්‍රකාශකයා ලෙස ඔහු තරඟයට අවතීර්න විය.

ඇමරිකානු පාලක පන්තියේ දීර්ඝ කාලීන ආරක්ෂකයින් දෙදෙනෙකු වන සැන්ඩර්ස් සහ වොරන් වෙතින් කතිපයාධිකාරීහු බියට පත් නොවෙති. ඔවුහු ප්‍රාග්ධනයට යටත් වීම වසන් කිරීමට උත්සාහ කරන අතර කතිපයාධිකාරීන්ට “ඔවුන්ගේ සාධාරන කොටස” ගෙවීමට සැලැස්වීම විසින් මහජනතාව කොල්ලකෑමේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා වූ සුහද බස් වහරනු ලබති. ධනවාදයට එරෙහි මහජන විරෝධයේ වර්ධනය නිසා භීතියට පත්ව සිටින ප්‍රකෝටිපතියෝ ඩිමොක්‍රටික් ගාලේ ව්‍යාජ “ප්‍රගතිශීලීන්ට” සහය දැක්වීම සඳහා විකෘති ප්‍රකාශනයක් සොයා ගනිති.

ඔවුන් අතර, බ්ලූම්බර්ග් සහ ස්ටියර් මේ වන විටත් ඩොලර් මිලියන 200 ක් තමන්ගේ ම මුදල් වියදම් කොට මැතිවරනය සම්පූර්නයෙන් ම මිල දී ගැනීමේ උත්සාහයක නිරතව සිටිති. සමාජ කොල්ලකෑමේ ප්‍රතිපත්තියේ බලපෑම රටක් රටක් පාසා මාරාන්තික සමාජ අර්බුදයක් ගැඹුරු වීම තුලින් දක්නට ලැබේ. එක්සත් ජනපදය තුල පාසල්, රෝහල්, පදිංචියට සුදුසු නිවාස, විශ්‍රාම වැටුප්, කඩා වැටීමට ලක් වූ මාර්ග, පාලම්, ප්‍රවාහන, ගංවතුර පාලනය, ජලය සහ අපද්‍රව්‍ය, ගිනි පාලනය සහ විදුලිබල ජාලකයන් යලි ගොඩනැගීම ආදී දැවෙන අවශ්‍යතාවන් මධ්‍යයේ සමාජය පසුපසට ගමන් කරන අතර ඒවා සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරය වන්නේ: “මුදල් නැත” යන්නයි.

ප්‍රතිඵලය? ආයු අපේක්ෂාව අවුරුදු තුනක් එකඑල්ලේ පහත වැටීම, මතට ඇබ්බැහිවීම් සහ සියදිවි නසාගැනීමේ වාර්තාගත අනුපාතය, විනාශකාරී ලැව්ගිනි සහ ගංවතුර, ලාභ ලබන උපයෝගිතා සමාගම් විසින් විදුලිය විසන්ධි කිරීම් ය. එමෙන් ම මුල්‍ය උමතු ධනකුවේරයන් විසින් පාලනය කරනු ලබන පද්ධතියක රාමුව තුල විසඳිය නොහැකි දේශගුනික අර්බුදයකි.

පාලක ප්‍රභූව - එයින් අල්ලස් ලබා ගන්නා පක්ෂ සහ දේශපාලනඥයින්, එහි ධනපති ගැති වෘත්තීය සමිතිවල සහ අධිකරන, පොලීසිය සහ හමුදාවන්ගේ සහාය ඇතිව - වෙන කවරදාටත් වඩා සුඛෝපභෝගී යාත්‍රා, මන්දිර, පෞද්ගලික දූපත් සහ පෞද්ගලික ජෙට් යානා ගොඩගසා ගනිමින් සම්පත් සමාජයෙන් ඉවතට හරවන කොන්දේසි යටතේ එක බරපතල සමාජ ගැටලු‍වක්වත් විසඳිය නොහැකිය.

සමාජ ප්‍රතිසංස්කරන කල නොහැකි තැන සමාජ විප්ලවය නොවැලැක්විය හැකිය. අවුල්ජාලයට විසඳුම පන්ති අරගලයේ වර්ධනය තුල සොයා ගත යුතුය. ප්‍රන්සයේ සිදු වූ මහජන වැඩ වර්ජනවල සිට එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් සහ ගුරුවරුන්ගේ වැඩ වර්ජන, චිලී, බොලිවියාව, ඉක්වදෝරය සහ බ්‍රසීලය යන රටවල විරෝධතා, ලෙබනනය, ඉරානය, ඉරාකය සහ ඉන්දියාව තුල වැඩ වර්ජන සහ මහජන පෙලපාලි දක්වා ලොව පුරා කම්කරුවන්ගේ හා තරුනයින්ගේ චලනය හෙලි කරනු ලබන්නේ ධනවාදය අවසන් කල හැකි හා අවසන් කරනු ඇති සමාජ බලවේගයයි.

ආදර්ශ පාඨය විය යුත්තේ කෝබින්ස්, සැන්ඩර්ස්, සිප්රාස් සහ ඔවුන්ගේ ව්‍යාජ වාම ප්‍රවර්ධකයන්ට එරෙහි ව - “සුපිරි ධනවතුන්ගේ බුක්තිය පැහැර ගනු!” යන්නයි. නිෂ්පාදනයේ ධනවාදී පෞද්ගලික අයිතිය, ජාත්‍යන්තරව සැලසුම් කරන ලද නිෂ්පාදනයේ සමාජ අයිතිය මගින් විස්ථාපනය කිරීමේ ආරම්භක ලක්ෂ්‍යය මෙයයි - එනම් ලෝක සමාජවාදී විප්ලවයයි.

බැරී ග්‍රේ

Share this article: