විරෝධතා මැඩපැවැත්වීමට මංමුලා සහගත ව, ආන්ඩු දුසිම් ගනනක් 2019 දී අන්තර්ජාල ප්‍රවේශය වසා දැමූහ

Desperate to stem protests, dozens of governments shut down internet access in 2019

2019 දෙසැම්බර් 27

දේශපාලන විරෝධතා හා වැඩ වර්ජන ගෝලීය වශයෙන් ඉහල යාම මධ්‍යයේ, ලොව පුරා ආන්ඩු මහජන විරෝධයේ උදම් රල මැඩපැවැත්වීමේ මංමුලා සහගත උත්සාහයේ දී අන්තර්ජාලය වසා දමමින් සිටිති.

“ඇක්සස් නව්” නම් සංවිධානයේ මූලික දත්ත වලට අනුව, මීට පෙර වෙනත් කිසිදු වසරකට වඩා 2019 දී හිතාමතාම අන්තර්ජාල වසා දැමීම් සිදු වූ බව පෙනේ. පසුගිය වසර හතර තුල ලෝකයේ රටවල් වලින් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමානයක් අන්තර්ජාලය වසා දමා ඇත.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, රුසියාව, සුඩානය, ඉන්දුනීසියාව හා ඉරාකය ඇතුලුව, 2019 දී අවම වශයෙන් රටවල් 29 ක් හිතාමතාම අන්තර්ජාල වසා දැමීම් ක්‍රියාත්මක කලහ.

නවදිල්ලියේ පුරවැසි සංශෝධන පනතට විරෝධය පල කරමින් ඉන්දීය කම්කරුවෝ පොලිස් බාධකයක් ඉදිරිපිට සටන් පාඨ හඬනගති [ ඡායාරූප අනුග්‍රහය/ අල්තාෆ් ක්වද්‍රි, Credit: AP Photo/Altaf Qadri]

රටේ පාලක පන්තියේ දූෂනය පිලිබඳ තොරතුරු සංවිධානය විසින් නිකුත් කිරීමෙන් පසුව “විකිලීක්ස් විප්ලවයක්” ලෙස නම් කරන ලද 2011 ටියුනීසියාවේ නැගිටීමෙන් පසුව, ආන්ඩු වැඩි වැඩියෙන් අන්තර්ජාලය තර්ජනයක් ලෙස දැක ඇති අතර මහජනතාව වැඩ වර්ජන, විරෝධතා හා පෙලපාලි සංවිධානය කිරීමට එය යොදා ගනිති. මෑත මාසවලදී, චිලී, ලෙබනනය, ඉරානය, ඉරාකය, ඉක්වදෝරය, හොන්ඩුරාස්, හයිටි, ඊජිප්තුව සහ ඇල්ජීරියාව යන රටවල මහජන පෙලපාලි සංවිධානය කිරීම සඳහා කම්කරුවන් සහ තරුනයින් සමාජ මාධ්‍ය භාවිතා කර ඇත.

මෝදි ආන්ඩුවේ හින්දු ස්වෝත්තමවාදී පුරවැසි නීතියට එරෙහි මහජන විරෝධතා රැල්ලකට ප්‍රතිචාර වශයෙන් පසුගිය සතියේ ඉන්දියාවේ පොලිස් බලධාරීහූ නවදිල්ලියේ ඇතම් ප්‍රදේශවල අන්තර්ජාල ප්‍රවේශය වසා දැමූහ.

ජනවාර්ගික හා නිකායවාදී රේඛා හරහා ජනගහනයේ පුලුල් කොටස් බලමුලු‍ ගැන්වූ පෙලපාලිවලට මෝදි රජය ප්‍රතිචාර දක්වා ඇත්තේ, දුසිම් ගනනකගේ ජීවිත බිලිගත් මර්දනයක් හා රටේ පුලුල් කොට්ඨාසවල ඵලදායී ලෙස යුද නීතිය පැනවීම සමගිනි.

ඉන්දියාව මේ වසරේදී 104 වතාවකට වඩා අන්තර්ජාලය වසා දමා ඇති අතර, එය 2014 දී හය වතාවක් විය. මෙම ක්‍රියාවන්ගෙන් වඩාත් කුප්‍රකට වන්නේ ජම්මු හා කාශ්මීරයේ දැනට පවතින අන්තර්ජාල වසා දැමීමයි. එය දැන් දින 135 ක් පැවතී ඇති අතර එය නිල වශයෙන් “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස හැඳින්වෙන ඕනෑම රටක දීර්ඝතම එක වේ.

කාශ්මීර නිම්නයේ දැනට පවතින අන්තර්ජාල වසා දැමීම දැන් මිලියන හතකට අධික ජනතාවකට බලපාන අතර, දුරස්තර පවුලේ අය සමග සන්නිවේදනය කිරීමේ සිට රැකියාවක් සඳහා ඉල්ලු‍ම් කිරීම දක්වා වන ජීවිතයේ වඩාත්ම සුපුරුදු කාර්යයන් කල නො හැකි බවට පත් කරමිනි.

කාශ්මීරය වසා දැමීමේ අරමුන වූයේ ඉන්දියාවේ හුදෙකලා මුස්ලිම් බහුතර ප්‍රාන්තයේ අර්ධ ස්වයං පාලන තත්ත්වය නීති විරෝධී ලෙස අවලංගු කිරීමට එරෙහි විරෝධය මැඩපැවැත්වීමයි. මෙම ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රනය බලාත්මක කර ඇත්තේ දස දහස් ගනනක අතිරේක ආරක්ෂක හමුදා යෙදවීම හා දහස් ගනනක් චෝදනා රහිතව රඳවා තබා ගනිමිනි.

ඇක්සස් නව් සිය නවතම වාර්ෂික වාර්තාවේ පෙන්වා දී ඇත්තේ අන්තර්ජාල වසා දැමීම් සිදුකිරීමේ ඔවුන්ගේ අභිප්‍රායයන් පිලිබඳව ආන්ඩු පුරුද්දක් ලෙස බොරු කියා ඇති බවයි. “‘මහජන ආරක්ෂාව’ උපුටා දක්වමින් ආන්ඩු අන්තර්ජාලය වසා දමන විට, බොහෝ විට නිරීක්ෂකයන්ට ප්‍රත්‍යක්ෂ වන්නේ, යථාර්ථයේ දී බලධාරීන් විරෝධතාවලට බිය විය හැකි අතර අන්තර්ජාලය හරහා ඔන්ලයින් හා ඕෆ්ලයින් ලෙස සංවිධානය වීමට හා ප්‍රකාශ කිරීමට මිනිසුන්ට ඇති හැකියාව සීමා කිරීම සඳහා අන්තර්ජාලයට පිවිසීම කපා හැරිය හැකි බව යි.”

“බලධාරීන් ‘ව්‍යාජ ප්‍රවෘත්ති’, කටකතා හෝ වෛරී කතා සඳහන් කරන විට, ඔවුන් බොහෝ විට උත්සාහ කරන්නේ විරෝධතා මැඩපැවැත්වීම හා මැතිවරන පාලනය කිරීමට බව එය වැඩිදුරටත් පවසයි. “‍මෙම තර්ජන මත වරද පටවමින්, ආන්ඩු විසින් දේශපාලන ආඛ්‍යානය හැඩගස්වා ගැනීමට හා තොරතුරු ගලායාම පාලනය කිරීමට වසා දැමීම් සිදුකරන බව පෙනේ.”‍

ප්‍රධාන ධනේශ්වර බලවතුන් අතර සම්පූර්නයෙන්ම අන්තර්ජාල වසා දැමීම් දුර්ලභ වී ඇති අතර, “මහජන ආරක්ෂාව” සුරැකීම හා “ව්‍යාජ ප්‍රවෘත්ති” මර්දනය කිරීම වැනි එකම ආකාරයේ බොරු තර්ක බොහොමයක්, රාජ්‍ය ඔත්තුසේවා ඒජන්සි වෙනුවෙන් වැඩකරන ප්‍රධාන සංගත විසින් යොදා ගෙන ඇත්තේ සමූහ වාරන සංවිධාන ස්ථාපිත කිරීම සඳහා ය.

2017දී ගූගල් සිය සෙවුම් ඇල්ගොරිතමයේ වෙනස්කම් මාලාවක් නිවේදනය කලේ ය, “බකමූනු ව්‍යාපෘතිය” ලෙස අභ්‍යන්තර ව නම් කරන ලද එය “ව්‍යාජ ප්‍රවෘත්තිවලට” එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් වාමාංශික, යුද විරෝධී හා ප්‍රගතිශීලී වෙබ් අඩවි වෙත සෙවුම් පිවිසුම් විශාල ලෙස අඩු කලේ ය.

මේ වසරේ වෝල් ස්ට්‍රීට් ජර්නල් විසින් කරන ලද විමර්ශනයකින් තහවුරු වූයේ ගූගල් විසින් වෙබ් අඩවි වල අභ්‍යන්තර අසාදු ලේඛන ක්‍රියාත්මක කල බවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් කරන ලද චෝදනා සනාථ වී ඇති බවයි. ෆෙස්බුක් සහ ට්විටර් ගූගල්ගේ ක්‍රියාමාර්ග අනුගමනය කලේ, “නිල නොවන“ බව පවසමින් මිලියන සංඛ්‍යාත අනුගාමිකයන් සහිත වාමාංශික දේශපාලන ගිනුම් සහ පිටු ඉවත් කරමිනි.

ට්‍රම්ප් පාලනාධිකාරියේ ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව අන්තර්ජාලයේ මධ්‍යස්ථභාවය ඉවත් කරමින් ඉදිරියට ගොස් ඇත්තේ, තම කැමත්ත පරිදි වාරනය කිරීමට හා දේශපාලන කථා අවුල් කිරීමට පෞද්ගලික සමාගම්වලට නීතිමය ආවරනයක් ලබා දෙමිනි.

“නීති විරෝධී අන්තර්ගතයන්” ඉවත් කිරීමට අපොහොසත් වන අන්තර්ජාල සමාගම්වලට දඩ ගසන බවට තර්ජනය කරන, ඊනියා නෙට්ස්ඩීජී නීතිය පසුගිය වසරේ දී ජර්මනිය විසින් සම්මත කරන ලද්දේ, හියුමන් රයිට්ස් වොච් සඳහන් කල පරිදි, “පෞද්ගලික සමාගම් අතිශය උද්යෝගී වාරකයන් බවට” හරවමිනි.

අධිකරන නියෝගයකින් තොර ව ඩිජිටල් සන්නිවේදනය, අන්තර්ජාල යටිතල පහසුකම් හා යෙදුම් වසා දැමීමට රජයට ඉඩ සලසන නීතියක් ස්පාඤ්ඤ ආන්ඩුව විසින් සම්මත කරමින් සිටී. මෙම නීතිය පසු ගිය වසරේ ප්‍රන්සයේ සම්මත කරන ලද සමාන පියවරක් අනුගමනය කරන්නේ, “සත්‍යෙක්ෂන තොරතුරු ලබා නො දී කිසියම් චෝදනාවක් හෝ කාරනයක් ඇඟවීම” පතුරුවා හැරීම සඳහා දැවැන්ත දඩ මුදල් අය කරන බව පවසමිනි.

විවේචනාත්මක දේශපාලන දෘෂ්ටි කෝනයන් බෙදා හැරීම සීමා කිරීමේ උත්සාහයන් මෙම දුෂ්ට වාරන පියවරයන් පවා ඉක්මවා ගොස් ඇත.

ට්‍රම්ප් පාලනාධිකාරියේ මග පෙන්වීම යටතේ හා ඩිමොක්‍රටික් පක්ෂයේ පූර්න සහාය ඇතිව බ්‍රිතාන්‍ය ආන්ඩුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් විශේෂඥ නිල්ස් මෙල්සර් වධහිංසාවලට සමාන යැයි හඳුන්වා දී ඇති කොන්දේසි යටතේ, විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ්ව රඳවා තබා හුදෙකලා කර තිබේ.

එක්සත් ජනපදය ද අකටයුතු හෙලිකරන්නියක වන චෙල්සි මැනිං කිසිදු චෝදනාවකින් තොරව සිරගත කර තිබේ. මෙම ධෛර්ය සම්පන්න පුද්ගලයන් දෙදෙනාම හිංසාවට ලක් කෙරෙන්නේ එක්සත් ජනපද ආන්ඩුවේ සාපරාධී වැරදි සම්බන්ධයෙන් සත්‍යය පැවසීම වෙනුවෙන් හැර අන් කිසිවක් සඳහා නො වේ.

මෙම සියලු‍ ක්‍රියාමාර්ග නියෝජනය කරන්නේ දේශපාලන විරුද්ධත්වයේ ගෝලීය නැගිටීමකින් වටලනු ලබති යි සිතන, විශාල වශයෙන් මහජනයාට අප්‍රිය වූ ධනේශ්වර ආන්ඩුවල පලිගැනීමේ ක්‍රියාවන් ය. මේ වසරේ දී මෙම අප්‍රකට විරුද්ධත්වය මහජන පෙලපාලි මාලාවක් තුල ඉස්මතුවී ඇති අතර, මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රය (සීඑස්අයිඑස්) නම් බුද්ධිමන්ඩලය එය “නායකත්ව රහිත විප්ලවයේ යුගයක්” ලෙස නම් කලේ ය.

සීඑස්අයිඑස් විශ්ලේෂක සැමුවෙල් බ්‍රැනන් මෙසේ ලිවී ය: “ඩිජිටල් තොරතුරු යුගය මගින් මෙම පිබිදීම විශාල කර ඇති අතර පෘථිවියේ අඩකට වඩා වැඩි සංඛ්‍යාවක්, එනම් බිලියන 4 ක ජනතාවක් දැන් අන්තර්ජාලයට සම්බන්ධ වී ඇත. ෆෙස්බුක් පමනක් සක්‍රීය පරිශීලකයින් බිලියන 2.4 ක් ගනන් ගනී. පරිශීලකයින් සඳහා වඩාත් ජනප්‍රිය මාතෘකා අතර දේශපාලනය වේ... දේශීය හා ගෝලීය වශයෙන් සම්බන්ධ වීමට මෙන් ම වෙනත් තැන්වල සිදුවීම්වලින් සැසඳීම් හා ආශ්වාදයක් ලබා ගත හැකි (අන්තර්ජාලීය) ක්‍රම අසමසම ය. මිලියන ගනනක් වීදිවලට සම්බන්ධ කර ගැනීමට, පෙලඹවීමට හා සම්බන්ධීකරනය කිරීමට පුද්ගලයන්ට ඇති (අන්තර්ජාලීය) හැකියාවට පූර්වාදර්ශයක් නොමැත. ”

ලොව පුරා ධනේශ්වර ආන්ඩු මානව සමාජයට මිනිය නොහැකි ප්‍රතිඥාවක් දෙන මෙම සන්නිවේදන විප්ලවය දකින්නේ සිය පැවැත්මට පවතින තර්ජනයක් ලෙස ය. “අන්තර්ජාලයෙන් ලැබෙන ප්‍ර‍තිපල වාසි වලට වඩා විපත්තිදායක විය හැකි බවට භූදේශපාලනික මෙහෙයුම් ප්‍ර‍තිඥාවක් දැන් පවතී” යැයි මෑතකදී කරන ලද සමීක්ෂනයක් නිරීක්ෂනය කලේ ය.

වොෂිංටනයේ සිට නවදිල්ලිය මෙන් ම මැඞ්රිඞ් දක්වා ලොව පුරා සමාජයේ ආධිපත්‍යය දරන දූෂිත ධනේශ්වර කතිපයාධිකාරී කල්ලි සමාජයේ වර්ධනය වන අන්තර් සම්බන්ධතාවය ගැන බියෙන් පසු වන අතර, අන්තර්ජාල සන්නිවේදනය ඇතුලුව, භාෂනයේ නිදහස කම්කරුවන්ට හා තරුනයින්ට ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමට හා දේශපාලනිකව සංවිධානය වීමට අත්‍යවශ්‍ය වේ.

කම්කරුවන් සහ තරුනයින් ලොව පුරා සමාජ අරගලයට අවතීර්න වීමත් සමග, භාෂනයේ නිදහස මෙන් ම අසාන්ජ් හා මැනිං වැනි දේශපාලන සිරකරුවන්ගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා වන අරගලය, සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම, අසමානතාවය අහෝසි කිරීම හා ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ අරගලයෙන් වෙන් කල නොහැකි ඒකාබද්ධ අරගලයක් ලෙස ගත යුතු ය.

අන්ද්‍රෙ ඩැමොන්

Share this article: