ඉන්දියානු මහා වැඩ වර්ජනය සහ වර්ගවාදයට හා යුද්ධයට එරෙහි ගෝලීය අරගලය

The Indian general strike and the global fight against communalism and war

2020 ජනවාරි 11

බදාදා පැවති සමස්ත ඉන්දීය එක්දින මහා වැඩ වර්ජනයට මිලියන ගනනක් කම්කරුවන් තරුනයින් සහ ග්‍රාමීය වැඩකරන ජනයා සහභාගී වූහ. ඔවුන් එසේ කලේ නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව එහි ආයෝජක ගැති, වෙලඳපල ගැති ප්‍රතිපත්ති - කප්පාදු, පුද්ගලීකරනය “බඳවා ගැනීමේ හා නෙරපා දැමීමේ කොන්දේස” කොන්ත්‍රාත් රැකියා ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සහ දැවැන්ත ලෙස සංගත බදු කප්පාදුව - සහ හින්දු වාර්ගික ප්‍රතිගාමීත්වය නිර්දය ලෙස ප්‍රවර්ධනය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිවය.

කම්කරු පන්තියේ පුලු‍ල් කොටස් වැඩ වර්ජනයට එක් විය. ඉන්දියාවේ ගෝලීයව සම්බන්ධිත මෝටර් රථ කර්මාන්තයේ කම්කරුවන්, ගල් අඟු‍රු පතල් කම්කරුවන්, ජුට් වතු කම්කරුවන් සහ බස්, ට්‍රක් සහ රික්ෂෝ රියදුරන්; බැංකු හා විදුලිබල සේවකයින් සහ රාජ්‍ය අරමුදල් සපයන ග්‍රාමීය ලමා සුරැකුම් ජාලයේ අතිශයින්ම අඩු වැටුප් සහිත, විශාල වශයෙන් කාන්තා ශ්‍රම බලකාය වන අන්ගන්වාඩි සේවාව මීට එක් විය.

2020 ජනවාරි 8 වන බදාදා ඉන්දියාවේ අහමදාබාද්හි පැවති මහා වැඩ වර්ජනය අතරතුර කම්කරුවෝ සටන් පාඨ හඬ නගති (ඒපී ඡායාරූපය / අජිත් සොලංකි)

බිලියන 1.3 කට වඩා වැඩි ජනගහනයක් සිටින විවිධාංගීකරනය වූ රටක ප්‍රාන්ත සහ ආර්ථික අංශයන්හි අපේක්ෂා කරන පරිදි ම වැඩ වර්ජනයේ ශක්තිය එකිනෙකට වෙනස් වනු ඇත. කෙසේ වෙතත් එහි සමස්ත බලපෑම දැවැන්ත වූ අතර කලලරූපී ස්වරූපයෙන් වුව ද ප්‍රදර්ශනය වූයේ කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලයයි.

මෝඩි රජය සහ එහි හින්දු අධිපතිවාදී සගයන් එකකට පසු එකක් ලෙස ජාතිවාදී ප්‍රකෝප කිරීම් දියත් කරමින් පාකිස්තානයට එරෙහි යුද තර්ජන සමඟ යුදවාදී ජාතිකවාදය අවුස්සමින් සහ සියලු‍ ආකාරයේ ප්‍රතිගාමීත්වයන් අවුලවන තත්වයන් යටතේ දී වැඩ වර්ජනය සියලු‍ ජන වාර්ගික, කුල හා භාෂාවන් කථා කරන කම්කරුවන් භේද නොතකා එක්සත් කර තිබේ.

කම්කරුවන් අරගලයට අවතීර්න වන විට ධනේශ්වරය සහ ධනවත් ඉහල මධ්‍යම පන්තියේ අනෙකුත් වරප්‍රසාදිත ස්ථරයන් විසින් ප්‍රවර්ධනය කරන ලද ගෝත්‍ර, ජනවාර්ගික, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික “අනන්‍යතාවයන්” ඉක්මවා යමින් ඔවුන් පන්තියක් ලෙස එසේ කරන බව වර්ජනය අවධාරනය කරයි.

වර්ජකයන් විශේෂයෙන් ඉල්ලා සිටියේ භාරතීය ජනතා පක්ෂයේ මුස්ලිම් විරෝධී පුරවැසි සංශෝධන පනත (සීඒඒ) අවලංගු කරන ලෙසත් ඉන්දියාවේ මුස්ලිම් සුලුතරය බිය ගැන්වීම සහ හිරිහැර කිරීම සඳහා එලිපිටම අරමුනු කරගත් ඉන්දියාවේ සියලු‍ම වැසියන්ට ඔවුන්ගේ පුරවැසිභාවය ඔප්පු කිරීමට බල කිරීමේ රජයේ සැලැස්ම අවලංගු කරන ලෙසත්ය.

පසුගිය මාසයේ පාර්ලිමේන්තුව හරහා සීඒඒ කඩිමුඩියේ සම්මත කල දා සිට එයට එරෙහි මහජන විරෝධතා ඉන්දියාව කලඹවා තිබේ. ආයතනික මාධ්‍ය විසින් වගා කරන ලද බිඳලිය නොහැකිය යන ප්‍රතිරූපය සුනුවිසුනු කර දැමෙද්දී පිටුපසට තල්ලු‍වුන මෝඩි තන්ත්‍රය සීඒඒ විරෝධී උද්ඝෝෂනයට මාරාන්තික ප්‍රචන්ඩත්වයකින් ප්‍ර‍තිචාර දක්වා තිබේ. ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් පුරා පුද්ගලයන් හතරකට වඩා වැඩි පිරිසකගේ සියලු‍ මහජන රැස්වීම්වලට එරෙහිව තහනම් පැනවීම සහ අන්තර්ජාල සේවය අත්හිටුවීම එය යලි යලිත් කර තිබේ.

පසුගිය ඉරිදා, භාරතීය ජනතා පක්ෂය සහ එහි ආර්එස්එස් සහචරයින් විසින් පැහැදිලිවම මෙහෙයවන ලද ක්‍රියාවක දී, වෙස්මුහුනු පැලැඳි නීතිය අතට ගත් මැර කල්ලියක් පොලීසිය බලා සිටියදී දිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ සිසුන්ට අමානුෂික ලෙස පහර දුන්හ.

භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහි මහජන විරෝධය පුපුරා යාම සාගතයට, කෙලවරක් නැති සමාජ අසමානතාවයට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කිරීමට, යලි සන්නද්ධ වීමට සහ යුද්ධයට එරෙහිව ගෝලීය කම්කරු පන්තියේ නැගිටීමක කොටසකි- එනම් විවිධාකාරයෙන් ජාතික වශයෙන් පදනම් වූ දේශපාලන ප්‍රභූව සහ ඔවුන්ගේ නියෝජිතයන්, පක්ෂ පාට ලේබලය කුමක් වුව ද ලොව පුරා අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිවලට එරෙහිව ය.

පසුගිය වසර තුල විශාල වැඩ වර්ජන දකින්නට තිබූ අතර සමහර අවස්ථාවල ප්‍ර‍චන්ඩ නැගිටීම් වූ ඒවා චිලී, ඉක්වදෝරය, හයිටි, එක්සත් ජනපදය, මෙක්සිකෝව බි්‍රතාන්‍යය සහ ප්‍රන්සය, ඇල්ජීරියාව, සුඩානය, ඉරානය, ලෙබනනය, හොංකොං සහ ශ්‍රී ලංකාව දක්වා පැතිර ගියේය.

පසුගිය සතිය තුල මිලියන ගනනක් ඉරාකයේ සහ ඉරානයේ වීදි බැස වොෂින්ටනයේ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බල ඇනියේ ජෙනරාල් කසීම් සුලෙයිමානි ඝාතනය කිරීමට විරෝධය පල කල අතර ඉරානයට සහ සමස්ත මැදපෙරදිග ජනතාවට එරෙහිව පූර්න යුද්ධයක් කිරීමට එක්සත් ජනපද සූදානම් කරන අධිරාජ්‍යවාදී සැලසුම් වලට ද විරෝධය පෑහ.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් විශ්‍රාම වැටුප් හා අනෙකුත් සමාජ අයිතිවාසිකම්වලට එරෙහි සමස්තයක් ලෙස එල්ල කරන ලද ප්‍රහාරයට විරෝධය පල කරමින් මාසයක් පුරා පවත්වාගෙන යන වැඩවර්ජනයක් මධ්‍යයේ බ්‍රහස්පතින්දා ප්‍රන්සයේ මිලියන සංඛ්‍යාත කම්කරුවෝ වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගෙන පෙලපාලි යමින් මහජන විරෝධතාවල නිරත වූහ.

මෝඩි රජයට ඉන්දියානු ධනේශ්වරයට හා ලොව පුරා කප්පාදුවලට ප්‍රතිගාමිත්වයට සහ යුද්ධයට එරෙහි අරගලයේ වෛෂයික පදනම වන්නේ මෙම ගෝලීය කම්කරු පන්ති ප්‍රතිප්‍රහාරය යි.

100 කට වැඩි බිලියනපතියන් පිරිසකින් අලු‍තින් සැකසුන කල්ලියක් විසින් මෙහෙයවනු ලබන ඉන්දියානු මහා ව්‍යාපාරිකයින් 2014 දී මෝඩි බලයට පත් කල අතර පසුගිය මැයි මාසයේ දී ඔහු නැවත තෝරා පත්කර ගැනීමට විශාල වශයෙන් මුදල් යෙදවූහ. ඔවුන් එසේ කලේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයට සමාජීය වශයෙන් ගිනි අවුලු‍වන සුලු‍ ආයෝජක ගැති ප්‍රතිසංස්කරන ගෙන ඒමට අවශ්‍ය “ශක්තිමත්” රජයක් තැනිය හැකි බවටත්, ලෝක වේදිකාවේ ඉන්දියාවේ මහා බල අභිලාෂයන් ආක්‍රමනශීලී ලෙස තහවුරු කරගත හැකි බවටත් ගනන් බැලූ සූදුවක් ලෙසය.

සීඝ්‍රයෙන් ඇවිලීයන ආර්ථික තත්වයක් හමුවේ, භාරතීය ජනතා පක්ෂය සිය දෙවන ධුර කාලයේ පලමු මාස හත තුල කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරය සහ ඉන්දියාව හින්දු රාෂ්ට්‍රයක් හෝ රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ තල්ලු‍ව නාටකාකාර ලෙස වේගවත් කර තිබේ.

අගෝස්තු මුල දී, භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව ඉන්දියාවේ හුදෙකලා මුස්ලිම් බහුතරයක ප්‍රාන්තය වන ජම්මු හා කාශ්මීරය එහි විශේෂ අර්ධ ස්වයං පාලන තත්වයෙන් නීති විරෝධී ලෙස ඉවත් කලේය. ඉන්පසු ඔවුහු එය මධ්‍යම රජයේ බලප්‍රදේශ දෙකකට පරිවර්තනය කර එම ප්‍රදේශය ස්ථිරව මධ්‍යම රජයේ පාලනය යටතේ තැබූහ. එතැන් සිට කාශ්මීර නිම්නය ක්‍රියාත්මක ලෙස වටලනු ලැබ ඇත.

වර්ගවාදය වැගිරවීමේ මෝඩිගේ ඉලක්කය වන්නේ නැගීඑන සමාජ විරෝධයට එරෙහිව ප්‍රහාරක බලකායක් ලෙස හින්දු දක්ෂිනාංශිකය යෙදවීම, සමාජ ආතතිය, ප්‍රතිගාමිත්වය සහ මිලිටරිවාදය දෙසට හැරවීම සහ කම්කරු පන්තිය බෙදීමය.

එහෙත් භාරතීය ජනතා පක්ෂයේ හා ධනේශ්වරයේ කම්පනයට හා කලකිරීමට හේතුව වී ඇත්තේ කප්පාදුව හා මහජන රැකියා විරහිතභාවය පිලිබඳ කම්කරු පන්තියේ කෝපය සමග ඉමහත් ජනතා විරෝධය ආන්ඩුවේ අධිකාරීවාදී හා වාර්ගික ක්‍රියාමාර්ගයන්ට එරෙහි විරුද්ධත්වය සමඟ අන්තර්ජේදනය වීමකට එය දැන් මුහුනපා සිටීමයි.

මෝඩි යනු විශ්වීය ප්‍රපංචයක ඉන්දියානු ප්‍රකාශනයයි. සියලු‍ අධිරාජ්‍යවාදී රටවල සහ මහා හා කලාපීය බලවතුන් බවට පත්වීමට බලාපොරොත්තුව සිටින බලවතුන්, ධනේශ්වර ආන්ඩු දැඩි ලෙස යලි සන්නද්ධ වෙමින්, අධිකාරීවාදී පාලන ක්‍රම වෙත හැරෙමින් ප්‍රතිගාමිත්වය වර්ධනය කරමින් සිටී.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බ්‍රසීලයේ ජෙයාර් බොල්සොනාරෝ, ඊස්රායල අගමැති නෙතන්යාහු සහ බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් වැනි අය පමනක් නොව ප්‍රන්ස ජනාධිපති මැක්‍රොන් සම්බන්ධයෙන් ද මෙය සත්‍ය වේ. හිටපු සමාජවාදී පක්ෂ ඇමතිවරයා නාසි සහයෝගිකයා සහ හිටපු විචි ජනාධිපති මාෂල් පෙටේන් පුනරුත්ථාපනය කිරීමට පියවර ගෙන ඇති අතර, “හදිසි බලතල” සාමාන්‍යකරනය කොට, කහ කබා විරෝධතාවන්ට එරෙහිව රාජ්‍ය ප්‍රචන්ඩත්වයට බලය පැවරීම දෙසට හැරී තිබේ.

කප්පාදුවට, අධිරාජ්‍යවාදී යුද්ධයට හා ප්‍රතිගාමීත්වයට එරෙහි වීමට ඇති එක ම ශක්‍ය උපායමාර්ගය වන්නේ රාජ්‍ය සීමාවන් හා මහාද්වීප හරහා කම්කරු පන්තියේ අරගල ක්‍රමවත්ව එක්සත් කිරීම සහ කම්කරුවන්ගේ බලය සහ සමාජවාදය සඳහා වන අරගලයේ දී ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස එය බලමුලු‍ ගැන්වීම ය.

ධනේශ්වර දේශපාලනයේ ප්‍රතිගාමී රාමුව තුල කම්කරු පන්තිය සිරකොට තබා ගැනීමටත් එය ජාතික, වාර්ගික, ස්ත්‍රී පුරුෂ භාවය සහ වෙනත් අනන්‍යතා දේශපාලන රේඛා මත බෙදීමටත් උත්සාහ කරන ධනේශ්වර ගැති වෘත්තීය සමිති සහ සංස්ථාපිත “වාම” පක්ෂ සහ ව්‍යාජ වාම සංවිධානවලට එරෙහි දැඩි අරගලයක් මේ සඳහා අවශ්‍ය වේ.

ඉන්දියාව තුල දී මෙයින් අදහස් කරන්නේ දශක ගනනාවක් තිස්සේ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ ඓන්ද්‍රිය අංගයක් ලෙස ක්‍රියාත්මක වූ ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ වන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෝ සීපීඑම් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) සහ ඔවුන්ගේ වාම පෙරමුනට එරෙහි අරගලයකි.

ස්ටැලින්වාදීන් දේශපාලනිකව නායකත්වය දුන් බදාදා වැඩ වර්ජනය, ඔවුන්ගේ වෘත්තීය සමිති අනුබද්ධයන් (සීඅයිටීයූ සහ ඒඅයිටීසීසී) සහ ‍(2014 දී මෝඩිගේ නැගීම නව ලිබරල් ප්‍රතිසංස්කරන හා වොෂින්ටනය සමඟ ඉන්දියාවේ උපායමාර්ගික සන්ධානයට නායකත්වය දුන් ඉන්දියානු ධනේශ්වරයේ ඓතිහාසික පක්ෂය ව පැවති) කොන්ග්‍ර‍ස් පක්ෂය ඇතුලු ඉන්දීය ධනේශ්වර ගැති මධ්‍යම වෘත්තීය සමිති අටක් විසින් කැඳවන ලදී.

ස්ටැලින්වාදීන් ජනවාරි 8 වැඩ වර්ජනය කැඳවූයේ භාරතීය ජනතා පක්ෂයට එරෙහිව නැගී එන මහජන විරෝධය කොන්ග්‍රස් පක්ෂයට මෙන් ම දක්ෂිනාංශික කුල හා ජනවාර්ගික-ස්වෝත්තමවාදී පක්ෂ සහ “ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියාවේ” කුනු වෙමින් පවතින ආයතනවලට ගැට ගැසීමට ය.

පසුගිය වසර 30 ක කාලය තුල ස්ටැලින්වාදීන්, හින්දු දක්ෂිනාංශය බලයට ඒම අවහිර කිරීමේ නාමයෙන්, පන්ති අරගලය ක්‍රමානුකූලව යටපත් කර ඇති අතර, 1989 සිට 2008 දක්වා දක්ෂිනාංශික ආන්ඩු අනුප්‍රාප්තිකයක් සඳහා සහයෝගය දැක්වීම සහ ඔවුන් බලය පවත්වාගෙන ගිය ප්‍රාන්තවල “ආයෝජක ගැති” යයි ඔවුන් විසින් ම හඳුන්වා ගන්නා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලේය. එසේ කිරීමෙන් ඔවුන් භාරතීය ජනතා පක්ෂය වර්ධනය වීමේ දේශපාලන පදනම සාරවත් කල අතර නිධන්ගත දරිද්‍රතාවය සහ නැගී එන සමාජ අසමානතාව පිලිබඳ මහජන අතෘප්තිය හා කලකිරීම නරුම ලෙස ගසාකෑමට හින්දු අධිපතිවාදී දක්ෂිනාංශයට ඉඩ සැලසීය.

ලොව පුරා මෙන් ඉන්දියාවේ ද කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය සඳහා වන අරගලයේ තියුනු තුඩ වන්නේ යුද්ධයට එරෙහි අරගලයයි. අධිරාජ්‍යවාදයට හා දකුනු ආසියාවේ වාර්ගික ලෙස බෙදී ඇති ජාතික රාජ්‍ය පද්ධතියට හා එය බිහි කල ප්‍රතිගාමී ඉන්දු-පකිස්ථාන ගැටුමට එරෙහිව කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම මේ සඳහා අවශ්‍ය වේ.

වර්ධනය වන ගෝලීය කම්කරු පන්තියේ නැගීම සමාජවාදය සඳහා සවිඥානික අරගලයක් බවට පරිවර්තනය කිරීම සියල්ලටත් වඩා විප්ලවවාදී වැඩපිලිවෙල, ඉදිරිදර්ශනය සහ නායකත්වය පිලිබඳ ප්‍රශ්නයකි. 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවයෙන් සහ පසුව ස්ටැලින්වාදී නිලධරය විසින් කම්කරු බලය කොල්ලකා අවසානයේ ධනවාදය පුනස්ථාපනය කිරීමට එරෙහිව ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් සජීවීකරනය කල ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල මත පදනම්ව ඉන්දියාවේ මෙන් ම ලෝකය පුරා කම්කරු පන්තියේ මහජන පක්ෂ ගොඩනැඟිය යුතුය.

අද වන විට එම අරගලය සහ එහි පාඩම්, සියල්ලටම වඩා කම්කරු පන්තිය ජාත්‍යන්තර විප්ලවවාදී බලවේගයක් හා ලෝක මූලෝපායක් මත පදනම් වන බලවේගයක් ලෙස තමාවම නිර්වචනය කිරීමේ තීරනාත්මක බව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල මුර්තිමත්වී තිබේ.

කීත් ජෝන්ස්

Share this article: