දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය උසිගැන්වීම සඳහා ට්‍රම්ප් ඉරාන යුද අර්බුදය ගසාකයි

Trump exploits Iran war crisis to incite violence against political opponents

2020 ජනවාරි 15

සඳුදා ට්‍රම්ප්, හිජාබයක් ඇඳි කථානායිකා නැන්සි පෙලෝසි හා තලප්පාවකින් යුත් සෙනේට් සභා සුලු‍තර නායක චාල්ස් ෂුමර් සහිත ඡායාරූපයක් ඉරාන ධජයක් මත තබා “අයතුල්ලා බේරා ගැනීමට තම උපරිම උත්සාහ දරන දූෂිත ඩිමොක්‍රටිකයන්” යන ශීර්ෂපාඨය සහිත ඡායාරූපයක් නැවත යලි යලිත් කලේ ය.

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ස්ටෙපනි ග්‍රිෂාම් ෆොක්ස් නිවුස් හි පෙනී සිටිමින් කලින් සූදානම් කෙරුනු ප්‍රකාශයක් ලබා දුන් අතර එහි දී ඇය ප්‍රකෝප කිරීම දෙගුන කලා ය. “මම හිතන්නේ ඩිමොක්‍රටිකයන් ඉරානුවන් කියන දේ ගිරව් වගේ කියවනවා වගේ ම ඇමරිකානුවන් මරන්න ඉන්න ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගන්නවා කියලා ජනාධිපතිවරයා පැහැදිලි කරමින් ඉන්නවා” යැයි ඇය පැවසුවා ය. “මම හිතන්නේ ඩිමොක්‍රටිකයන් තමන්ට බොහොම වෛර කරන බවත් ඔවුන් ඇමරිකානුවන් මරන්න ඕනෑ කියන රටවල් වගේම ඒවායේ නායකයින්ගේ පැත්ත ගන්න කැමත්තෙන් සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා කියලා.

ඉරානයේ දෙවන ඉහල ම නිලධාරියා ලෙස සැලකෙන ඉරාන ජනරාල් කාසෙම් සුලෙයිමානි ඝාතනය කිරීමට ට්‍රම්ප් නියෝග කර ඇති හෙයින්, ට්වීට් පනිවිඩය හා පසුව කල ප්‍රකාශය ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රචන්ඩත්වය උසිගැන්වීමකට වඩා අඩු දෙයක් නො වේ.

රාජ්‍ය සංවිධාන තුල පවතින කටුක ගැටුම් මධ්‍යයේ ට්‍රම්ප්ගේ නවතම ප්‍රකෝප කිරීම් සිදුවන්නේ, ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග ලිපි සෙනෙට් සභා විමර්ශනය සඳහා විධිමත් ලෙස යැවීමට නියෝජිත මන්ත්‍රී මන්ඩලය අද ඡන්දය ප්‍රකාශ කරනු ඇතැ යි අපේක්ෂා කිරීමත් සමගිනි. පාලක පන්තිය තුල ඇති බෙදීම් සමග, වර්ධනය වන්නා වූ පන්ති ආතතීන් මෙන් ම අසමානතාව හා යුද්ධයට වන්නා වූ පුලුල් ව පැතිරුනු විරුද්ධත්වයක් ද පවතී. මෙම කොන්දේසි යටතේ ට්‍රම්ප් යුද්ධයට එරෙහි දේශීය විරුද්ධත්වය සාපරාධී කර නාමික විරුද්ධ පක්ෂයට “රැඩිකල් වම” හා “සමාජවාදීන්” යැයි පහර දීමේ ව්‍යාපාරයක නිරතව සිටී.

පසුගිය බ්‍රහස්පතින්දා ඔහියෝ ප්‍රාන්තයේ ටොලිඩෝ හි පැවති ෆැසිස්ට් පන්නයේ කතාවක දී, ට්‍රම්ප් මිලිටරි මැදිහත්වීම සඳහා ජනාධිපතිවරයා කොන්ග්‍රස් අවසරය ලබා ගත යුතු ව්‍යවස්ථාමය අවශ්‍යතාව සමච්චලයට ලක් කලේ ය. සුලෙයිමානිට පහරදීම පිලිබඳව කොන්ග්‍රසයට කල්තියා දැනුම් දිය නො හැකි වූ බව ඔහු සිය ආධාරකරුවන්ට කියා සිටියේ ප්‍රහාරය වැලක්වීමට හා ඉරාන නායකයා ආරක්ෂා කිරීමට ඩිමොක්‍රටිකයින් එම තොරතුරු “ව්‍යාජ ප්‍රවෘත්ති” මාධ්‍ය වෙත කාන්දු කිරීමට ඉඩ තිබුනු නිසා යැයි ඔහු පැවසී ය.

ඩිමොක්‍රටිකයන් දේශද්‍රෝහීන් ලෙස මෙලෙස හංවඩු ගැසීම අත්වැල් බැඳගන්නේ, මෙක්සිකෝව සමග තම දේශසීමා තාප්පය ගොඩනඟා ගැනීම සඳහා වන ට්‍රම්ප්ගේ නීතිවිරෝධී ජාතික හදිසි අවස්ථාවක් ඉල්ලීම, ගාල් කඳවුරුවල සංක්‍රමනිකයන් සිරගත කිරීමට සහාය වීම සඳහා හමුදා යෙදවීම, දෝෂාභියෝග විමර්ශනයට ප්‍රතිචාර වශයෙන් ඔහු “සිවිල් යුද්ධය” පිලිබඳ ව කතා කිරීම, ආන්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකේ සීමාව ඉක්මවා ධුරයේ රැඳී සිටීම පිලිබඳව ඔහු නැවත නැවතත් කල “විහිලු” සහ පොලීසිය, සොල්දාදුවන් හා සංක්‍රමනික නියෝජිතයන් අතර අන්ත දක්ෂිනාංශික පදනමක් ගොඩනැගීමට ඔහු දැරූ උත්සාහ සමගිනි.

කෙසේ වෙතත් ඩිමොක්‍රටිකයන්ගේ විරුද්ධත්වයේ ස්වභාවය ට්‍රම්ප්ට ශක්තිය සපයනවා පමනි. වඩ වඩාත් ඒකාධිපති හා ෆැසිස්ට් ප්‍රකාශයන්ට ඔවුන් දක්වන ප්‍රතිචාරය සංලක්ෂිත වන්නේ නිරර්ථකත්වය සහ උදාසීනත්වය මගිනි.

“සමාජවාදී” යැයි තෙමේ ම කියා ගන්නා බර්නි සැන්ඩර්ස් ඇතුලු එක් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු හෝ සුලෙයිමානි ඝාතනය යුද අපරාධයක් මෙන් ම එක්සත් ජනපද හා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හෙලා දැක නැති අතර කිසිම ඩිමොක්‍රටිකයෙකු මෙම අපරාධය හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ඔහුගේ වෙනත් බහුවිධ ප්‍රහාරයන් හෝ දෝෂාභියෝගයේ පදනම් ලෙස ගැනීමට යෝජනා කර නැත.

කොංග්‍රස් මන්ඩලයේ ඩිමොක්‍රටිකයින් විසින් සම්මත කරන ලද ඊනියා “යුද විරෝධී” යෝජනාව බල රහිත, බැඳීමක් නැති යෝජනාවක් වන අතර එය ට්‍රම්ප්ගේ යුද්ධ කිරීමේ බලතලවලට සැබෑ සීමාවන් පනවා නැත. එය ඉරානය ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස හෙලා දකින අතර “ලොව පුරා අස්ථාවර කිරීමේ ක්‍රියාකාරකම්වල” ප්‍රධාන සැලැසුම්කරුවා ලෙස සුලෙයිමානි හෙලා දකී.

දෝෂාභියෝග අර්බුදය ම විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාලක පන්තිය තුල ඇති වූ කටුක ගැටුමක ප්‍රතිඵලයක් වන අතර, එහි දී ඩිමොක්‍රටිකයින් රුසියාවට මුහුන දීමේ දී ට්‍රම්ප් ප්‍රමානවත් තරම් ආක්‍රමනශීලී නො වන බව සලකන මිලිටරි, ඔත්තු සේවා හා විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතයේ අතෘප්තිමත් කොටස් සමග පෙලගැසී ඇත.

ඔවුන්ගේ දිශානතිය පැහැදිලි කරමින්, එලඹෙන සෙනෙට් මන්ඩල විමර්ශනය සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයන්ගේ කේන්ද්‍රීය ඉල්ලීම වන්නේ, සේවයෙන් පහ කෙරුනු ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ට සාක්ෂි දීමට රිපබ්ලිකානුවන් ඉඩ දිය යුතු බව යි. ඉරානය හා උතුරු කොරියාවට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ යුද්ධය වෙනුවෙන් පෙනී සිටි කුප්‍රකට යුද උකුස්සෙකු වන බෝල්ටන්, රුසියාවට සහනයක් වනු ඇත යි පවසමින් ට්‍රම්ප් යුක්‍රේනයෙන් හමුදා ආධාර අත්හිටුවීමට විරුද්ධ විය.

ඇත්ත වශයෙන්ම, ට්‍රම්ප් ම ද පුටින්ගේ ඒජන්තයෙකු යැයි පවසමින් ඩිමොක්‍රටිකයින් ට්‍රම්ප් පිලිබඳ තමන්ගේ ම නව-මැකාතිවාදී හෙලාදැකීම් කෙරෙහි කේන්ද්‍රගත වී ඇත. මෙය නිදහස් භාෂනය මැඩපැවැත්වීම, අන්තර්ජාලය වාරනය කිරීම හා එක්සත් ජනපද යුද අපරාධ හෙලිදරව් කිරීම වෙනුවෙන් විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් හා චෙල්සි මැනිංට නඩු පැවරීම සඳහා යොදා ගෙන ඇති උද්ඝෝෂනයකි. ඉරිදා, පෙලෝසි මෙම විකාර චෝදනාව පුනරුච්චාරනය කලේ, “සියලු‍ මාර්ග පුටින් වෙතට” යයි ප්‍රකාශ කරමින් හා රිපබ්ලිකානු සෙනෙට් සභා බහුතර නායක මිච් මැක්කොනෙල් “හවුල්කරුවෙකු” යැයි චෝදනා කරමිනි. ඇමරිකාවේ ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක ම “රාජද්‍රෝහිත්වය” වෙනුවෙන් එකිනෙකාට චෝදනා එල්ල කරති.

කම්කරු පන්තිය ට්‍රම්ප්ගේ තර්ජන අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. පසුගිය ඔක්තෝබර් මාසයේදී සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපද) දේශපාලන කමිටුව ප්‍රකාශ කල පරිදි:

ඇමරිකානු පජාතන්ත්‍රවාදය ඓතිහාසික සන්ධිස්ථානයකට පැමින තිබේ. බලය පවත්වා ගැනීමට උත්සාහ කරන විට ට්‍රම්ප් ජනාධිපති ධුරය වඩ වඩාත් නීති විරෝධී, ඒකාධිපති හා ප්‍රචන්ඩකාරී ස්වභාවයක් ගනු ඇත... මෙම පරිපාලනය බලයෙන් පහ කිරීම දේශපාලන අවශ්‍යතාවකි. නමුත් මෙම පරමාර්ථය සාක්ෂාත් කරගන්නේ කවුරුන්ද සහ කුමන ක්‍රම මගින්ද යන්න ජීවිතය හා මරනය පිලිබඳ ප්‍රශ්නයකි... ගැටුම පාලක පන්තිය තුල ඇති බෙදීම්වලට පමනක් සීමා වී ඇති තාක් කල් ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රගතිශීලී ප්‍රතිඵලයක් ලබා ගත නො හැක. (ඇමරිකානු ෆැසිස්ට්වාදය එපා! ට්‍රම්ප් බලහත්කාරයෙන් ඉවත් කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න!)

ඉරානයට එරෙහිව සහ ඉරානය, රුසියාව හා චීනයෙන් ඔබ්බට යුද්ධයට තල්ලු‍වීම මෙන් ම ආඥාදායකත්වය කරා යන ගමන යන දෙක ම පැන නගින්නේ ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික අර්බුදය හා පරිහානියෙනි. ඇමරිකානු ධනවාදයේ ආර්ථික පරිහානියට එරෙහි වෑයමක් ලෙස මැද පෙරදිග දශක තුනකට ආසන්න කාලයක් දිගටම ගෙන යන යුද්ධය, එක ව්‍යසනයකින් පසු තව එකක් ඇති කර ඇත්තේ, වොෂිංටනයේ භූදේශපාලනික අර්බුද තීව්‍ර කරමිනි.

රට තුල සමාජ අසමානතාවයේ පෙර නො වූ විරූ මට්ටම්, හා මහ බැංකුව විසින් මුදල් මුද්‍රනය කිරීමේ අසීමිත සැපයුම් මත මුලුමනින් යැපෙන පරපුටු ආර්ථිකය, පන්ති අරගලය හා ධනේශ්වර විරෝධී මනෝගතීන්ගේ වර්ධනයක් අවුලුවමින් තිබේ. ට්‍රම්ප් විසින් පුද්ගලගාරෝපනය කෙරෙන පාලක කතිපයාධිකාරය, සමාජවාදී විප්ලවයේ අවතාරය විසින් ලු‍හුබඳිනු ලදුව, තම බලය හා දේපල ආරක්ෂා කිරීම සඳහා යුද්ධයට හා ආඥාදායකත්වයට හැරේ.

එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව කම්කරු පන්තියේ වැඩෙන සමාජ හා දේශපාලන අරගලය යුද තල්ලු‍ව පරාජය කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පදනම සපයයි. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, බලය ලබා ගැනීමට හා යුද්ධය මෙන් ම ඒකාධිපතිත්වයේ ප්‍රභවය වන ධනවාදය අවසන් කිරීමට, නැගී එන මෙම ව්‍යාපාරයට සවිඥානික විප්ලවවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් හා මූලෝපායක් සැපයීම යි.

බැරී ග්‍රේ

Share this article: