ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි මහජන විරුද්ධත්වය වර්ධනය වෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2020 ජනවාරි 10

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් ජනවාරි 12 වෙනිදා පැවැත්වීමට නියමිත ප්‍රසිද්ධ රැස්වීම ගොඩ නැගීම පිනිස සසප හා සසජාශි සාමාජිකයන් පසුගිය දින කිහිපය තුල නාගරික දුගීන්, කම්කරුවන් හා විශ්ව විද්‍යාල සිසුන් අතර උද්ඝෝෂනයේ යෙදුනි.

එහිදී “‍ශ්‍රී ලංකාවේ ඒකාධිපති වර්ගවාදී රාජපක්ෂ පාලන තන්ත්‍රයට එරෙහිව සටන් වැදීම සඳහා සමාජවාදී ක්‍රියා මාර්ගයක්”‍ මැයින් සසප නිකුත් කල ප්‍රකාශය අඩංගු පොත් පිංච අලෙවි කල උද්ඝෝෂකයෝ කම්කරුවන්, තරුනයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ ගෘහනීන් සමග සසප ක්‍රියා මාර්ගය සාකච්චා කලහ.

නොවැම්බර් ජනාධිපතිවරනයෙන් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව බලයට පත් වීම මගින් සනිටුහන් කෙරුනේ අතිමුලික දේශපාලන මාරුවකි. ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති අතේ අසීමිත විධායක බලතල ගොනු කර ගනිමින් හා රාජ්‍ය තන්ත්‍රය මිලිටරීකරනය කිරීම තුලින් මර්දනකාරී පාලන තන්ත්‍රයක් ස්ථාපිත කර ගැනීම ආන්ඩුවේ අපේක්ෂාවයි.

සියලු‍ දේශපාලන පක්ෂ සහ ජනමාධ්‍ය කම්කරු-පීඩිත ජනතාව ඉදිරියේ ඇති මෙම අනතුර දැනුවත්ව ම වසන් කරනු ලබයි. සසප උද්ඝෝෂනයේ හා රැස්වීමේ අරමුන වන්නේ මෙම අනතුරට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ඉදිර්දර්ශනය මත පාදක වූ හා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනට උරදෙන, පීඩිත ජනතාව තමන් වටා රැලි කර ගත් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගැන්වීමය.

නාගරික දුගීන් හා කම්කරුවන්ගේ නිවහන් ප්‍රදේශයක් වන මීතොටමුල්ලේ ජනතාව, කටුක දරිද්‍රතාව, සෞඛ්‍යය, අධ්‍යාපන හා පාරිසරික ගැටලු වලින් පීඩා විඳිති. මීතොටමුල්ල කසල කන්ද 2017 දී ගිලා බැසීමෙන් 32කට අධික සංඛ්‍යවක් මියගොස් ගෙවල් සිය ගනනක් විනාශ විය. පුද්ගලික ආයෝජන සඳහා ඉඩම් ලබා ගැනීමට, ප්‍රදේශයේ දුගී නිවාස කඩා නිවැසියන් පලවා හැරීමේ වැඩපිලිවෙලක් ද පසුගිය ආන්ඩුව විසින් ක්‍රියාවට දැමුනි. රාජපක්ෂ ආන්ඩුව විසින් එය තීව්‍ර කිරීමට නියමිතය.

තමන් ජීවත් වන නිවාස ද කඩා ඉවත් කරන බවට රාජපක්ෂ ආන්ඩුව විසින් දැනුම් දී ඇති බව 67 හැවිරිදි විශශ්‍රාමික තීන්ත වැඩ කම්කරුවෙකු වූ කරුනාදාස පැවසුවේ ය. දශක ගනනාවක් වෙහෙසී ගොඩනගාගත් නිවාස වලින් ඉවත් කර, පහසුකම් නැති තට්ටු නිවාස වලට ගාල් කලහොත්, තම දරු-මුනුබුරන්ගේ ජීවිත විනාශ වී යන බව ද ඔහු සඳහන් කලේ ය.

කරුනාදාස පැරනි සමසමාජ පාක්ෂිකයෙකි. ලංකා සම සමාජ පක්ෂය (ලසසප) ට්‍රොට්ස්කිවාදය පාවාදී 1964 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග සභාගයකට යාමෙන් එහි සාමාජිකයන් තුල ඇති වූ දේශපාලන අවමංගතවීමේ ප්‍රතිපලයක් ලෙස ඔහු පසුව ශ්‍රීලනිප ට සම්බන්ධ වී ඇත. ”‍1977 ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුවේ ඉඳලා හැම ආන්ඩුවකින් ම අපිට සිද්ධ වුනේ විනාශය. අන්තිමට අවුරුදු ගානක් වැඩ කරලා, ඒවා නිසාම අසනීප වෙලා, කකුලෙන් කොටසකුත් කපල මම ඔත්පල වුනා, දැන් අමාරුවෙන් හදලා දරුවන්ට දීපු ගෙයිනුත් අපිව එලවන්න තමයි ආන්ඩුව ලැස්ති වෙන්නේ.”‍

පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ගැන තම පිලිකුල ප්‍රකාශ කල කරුනාදාස, වර්තමාන රාජපක්ෂ පාලනය තුල එම ප්‍රශ්න කිසිවක් විසඳෙනු ඇතැයි විශ්වාස නොකරන බව පැවසුවේ ය. රාජපක්ෂගේ මැතිවරන ව්‍යාපාරය තුල ගෙනගිය වර්ගවාදී උද්ඝෝෂනය හෙලා දුටු ඔහු “‍ජාතිවාදය නිසා අපිට සිද්ධවෙලා තියන විනාසයන් මදි” දැයි ප්‍රශ්න කලේ ය.

මීතොටමුල්ල විනාශයෙන් තම ඥාතීන් අහිමි වූ ගෘහනියක් වන දයාවතී රාජපක්ෂ ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත හෙලා දුටුවාය. “කලින් ආන්ඩු වගේම මේ ආන්ඩුවත් බලහත්කාරයෙන් ගෙවල් වලින් අපිව දොට්ට දමාවි”‍ යැයි ඇය පැවසුවාය.

වසර 28 ක් මැදපෙරදිග සේවය කර සාදා ගත් තට්ටු තුනක නිවාසය හා ඉඩම මීතොටමුල්ල ව්‍යසනයෙන් සම්පූර්නයෙනන් විනාශ වූ පසු ලැබුනේ කාමර දෙකක කුඩා තට්ටු නිවසක් හා සොච්චම් වන්දියක් පමනක් බව ඇය කීවාය.

“අපි ෆ්ලැට් වලට නම් යන්නේ නැහැ. හමුදාව-පොලිසිය දාල අපිව එලියට ඇදලා දමාවි. ඒත් අපි යන්නේ නැහැ”‍ ඇය කෝපයෙන් හා අධිෂ්ටානයෙන් යුතුව පැවසුවාය.

රත්මලාන වාරිමාර්ග කම්කරු නිවහන් ප්‍රදේශයේ නිවාස සීයක් පමන තිබේ. වසර ගනනාවක සිට නඩත්තු කටයුතු නොකිරීම නිසා එම නිවාස පවතින්නේ ඉතාමත් අබලන් තත්වයේ ය. වතුර බැස නොයෑම නිසා මඩ ගොහොරුවක් බවට පත් වී ඇති නිවහන් ප්‍රදේශය මදුරුවන් බෝවන තෝතැන්නකි.

අනුර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියෙකි. තමන් විද්‍යා උපාධිධාරියෙකු වන නමුත් කරන රැකියාව එම සුදුසුකම් වලට ගැලපෙන එකක් නොවන බව ඔහු පැවසුවේය.

”‍සැලසුම් ශිල්පියෙකු ලෙස තාක්ෂනික පාඨමාලාවක් හදාරා තිබීම නිසයි මට රැකියාව ලබා ගැනීමට පුලුවන් උනේ. දේශපාලන වශයෙන් ජේවීපී එක ගැන පොඩි පැහැදීමක් තිබුන. නමුත් පසුගිය ඡන්දෙදි ඒක නැතුව ගියා. මම හිතුවේ ඒගොල්ලො මොකක් හරි වැඩක් කරයි කියලා. නමුත් සිරිසේන -වික්‍රමසිංහ ආන්ඩුවේ මර්දනයට සහ විනාශයට ඔවුන් විරුද්ධ වුනේ නැහැ. මම ඒ ආන්ඩුවට චන්දෙ දුන්නෙත් නැහැ. හැබැයි ඔවුන් බලයට ආවට පස්සේ මොකක් හරි කරයි කියල හිතුවා. නමුත් මහජනතාවගේ යහපතට සිදු වෙච්ච දෙයක් නැහැ.

කොලඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍යයන් වන මිගාර, නිතිල හා ගීත් ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත් හා ඒකාධිපතිත්වය දෙසට වන ධාවනය පිලිබඳ තම උත්සුකය පල කලහ. රාජපක්ෂ ආන්ඩුව බරපතල මර්දනයක් අරඹා ඇතිබව පැහැදිලි වුවත්, එහි දේශපාලන ගමන් මග ගැන, තමන් මෙන්ම බොහෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ද සිටින්නේ තරමක ව්‍යාකූලත්වයකින් බව ඔවුහු සඳහන් කලහ.

“පවතින දේශපාලන තත්වයේ භයානකකම ගැන අපිට තේරෙනවා, ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම තියෙන්නේ හරිම භයානක තත්වයක් බව ඇති වේගන යන සිදුවීම් වලින් පේනවා. හැබැයි අපි කොහොමද වම විශ්වාස කරන්නේ?”‍ මිගාර විමසුවේ ය.. “‍ජනතා විමුක්ති පෙරමුන වගේ වමේ කියා ගන්න පක්ෂයි, විශේෂයෙන්ම ශිෂ්‍ය සංගම් දිගටම කලේ අපිව උගස් කරපු එක. ශිෂ්‍යයින්ට පමනක් නෙමෙයි, ගැමියන්ට, කම්කරුවන්ට දැන් වම ගැන විශ්වාස නැහැ”‍ යයි ඔහු පැවසුවේ ය.

ධනපති ක්‍රමය ගැන ජනතාව තුල දැඩි වෛරයක් තිබුනත්, සමාජවාදය ගැන දැනුවත් නැති නිසා, මිනිස්සු අන්ත දක්ෂිනාංශික බලවේග වලට චන්දය දෙන බව ගීත් පැවසීය. “‍ජනාධිපතිවරනයේදී ලංකාවේ වුනෙත් ඒකමයි. 1920 ගනන් වල ඉතාලියේ මුසෝලිනීගේ ජයග්‍රහනයේ ඉඳලා මේක සිද්ධවෙනවා. කල යුතුව තියෙන්නේ ජනතාව දැනුවත් කිරීම”‍ බව ඔහු සඳහන් කලේ ය.

ජවිපෙ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආදී ජාතිකවාදී හා ව්‍යාජ වාම කන්ඩායම් ගැන ලංකාවේ ශිෂ්‍යයන්ට හා කම්කරුවන්ට අවිශ්වාසයක් ඇතත්, ඔවුන්, ලොව අනෙක් රටවල කම්කරුවන් සහ තරුනයන් මෙන්ම සමාජවාදය පිලිබඳව වඩවඩාත් උනන්දුවන බව සසප සාමාජිකයෝ පැහැදිලි කලහ. ආන්ඩුවේ අධිපතිවාදී හා මර්දනකාරී පිලිවෙත් පිලිබඳ දැඩි විරුද්ධත්වයක් ඇතත් විකල්ප සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ කම්කරුවන් හා තරුනයන් සංවිධානය වීම වලකනු ලැබ ඇත්තේ එම පක්ෂ විසින් බව ඔවුහු පෙන්වා දුන්හ.

කම්කරුවන් තවදුරත් ධනපති ක්‍රමයට ගැටගැසීම සඳහා ව්‍යාකුල කිරීම් සිදුකර, පසුව දක්ෂිනාංශයේ නැගීම මහජනතාව මත පැටවීමට ද මේ ද්‍රෝහී ව්‍යාපාර කටයුතු කරන බවද පෙන්වා දුන් සසප සාමාජිකයෝ සසප ප්‍රකාශනයේ ඇතුලත් ව්‍යාජ-වමේ ද්‍රෝහී භූමිකාව පිලිබඳ කොටස ඔවුන් සමඟ සාකච්චා කලහ. ප්‍රකාශයේ පිටපත් ගනනාවක් මිලදී ගත් ශිෂ්‍ය පිරිස ජනවාරි 12 රැස්වීමට සහභාගී වන බව පැවසූහ.

කාංචන කොලඹ විශ්ව විද්යාලයේ විද්‍යා පීඨ ශිෂ්‍යයෙකි. “මම විද්‍යා විෂයන් හදාරන ශිෂ්‍යයෙක් හැටියට ඇතැම් අවස්ථාවල දී ලෝක සමාජවාදී සමාජයක් ගොඩ නගන්නේ කොහොමද කියන කාරනාව මිතුරන් සමඟ සාකච්ඡා කරලා තියෙනවා. පවතින ක්‍රමයේ අර්බුදයක් තිබෙන බව අපට වැටහිලා තියෙනවා. ඔබ ඉදිරිපත් කරන ඉදිරි දර්ශනය හොඳයි. එය වඩාත් පලල් පිරිස් අතරට රැගෙන යා යුතු”‍ බව ඔහු අවධාරනය කලේ ය.

චරිත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ දෙවන වසරේ සිසුවෙකි. ජීවන වියදම ඉහලයාම බරපතල ප්‍රශ්නයක් බව ඔහු පැවසුවේය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට මාස තුනකින් මහපොල ශිෂ්‍යාධාර ලැබුනේ නැහැ. ආන්ඩුව ඒ අරමුදල් ගසාකමින් තමන්ගෙ ආර්ථික ප්‍රශ්න වලට උත්තර හොයනව. මිනිස්සුන්ට මේ තත්වය ඉවසගෙන ඉන්න බැහැ. සටන් කරන්න, පාරට බහින්න වෙනව. ආන්ඩුව ලෑස්ති වෙන්නේ ඒවා මර්දනය කරන්න හැමදේටම ඉඩදීල. දේශපාලන ව්‍යාපාර නිහඬ වෙලා ඉන්න”‍ බව ඔහු සඳහන් කලේ ය.

මහපොල ශිෂ්‍යාධාර කොහෙත්ම ප්‍රමානවත් නැති බව කලමනාකරන පීඨයේ පලමු වසරේ ශිෂ්‍ය‍යෙකු වන දැහැමි ප්‍රකාශ කලේය. ලැබෙන රුපියල් පන්දහස් ගනන මදි. බෝඩින් ගාස්තුවම හාරදාහට වැඩියි. ශිෂ්‍යයො විශාල අර්බුදයක ඉන්නෙ. බ්‍රහස්පතින්දා මහපොල ආධාර වැඩිකරන්න කියල උද්ඝෝෂනයක් තියෙනවා. සමහර විට සුලු දෙයක් හරි ලැබෙයි කියලා හිතනවා”‍ යැයි ඔහු පැවසීය.

ආන්ඩුවේ පිලිවෙත වී ඇත්තේ රාජ්‍ය වියදම් කැපීම බවත් එමනිසා ආන්ඩුවට බලපෑම් දැමීමෙන් ශිෂ්‍යයන්ට තම සමාජ අයිතීන් දින ගැනීමට හැකිවෙතැයි කීම ශිෂ්‍ය සංගම් පතුරුවන මිත්‍යාවක් බවත් සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.

ගම්පහ නැදුන්ගමුවේ පදිංචි දෙදරු පියෙකු වන ආරියදාස හෙට්ටිආරච්චි ලංකා තුනී ලෑලි සංස්ථාවේ සේවය කල ලිපිකරුවෙකි. එක්සත් ජනපදය විසින් ඉරාන හමුදා නායකයා ඝාතනය කිරීම හෙලා දුටු ඔහු තුන්වන ලෝක යුද්ධයක අනතුර ඉස්මතුවී ඇති බව සඳහන් කලේ ය. “‍පලමු වන සහ දෙවන ලෝක යුද්ධ වගේ නෙමෙයි තුන්වන ලෝක යුද්ධයක් මතු වුවහොත්. මහපොලොවේ කිසි දෙයක් ඉතිරිවෙන්නේ නැහැ. ග්‍රහ ලෝකයම විනාශ වෙනවා”‍

ගොවිජනසේවා දෙපාර්තමේන්තුවේ සේවය කල විශ්‍රාමික කම්කරුවකු වන රාජපක්ෂ ආන්ඩුවේ වැඩ පිලිවෙල හා ජවිපෙ පිලිවෙත විවේචනය කලේ ය. අතීතයේ මහින්ද රාජපක්ෂ හා පසුව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට වැඩ කල නිසා ජවිපෙ ජනයාගෙන් ප්‍රතික්ෂේප වී ඇති බවත් සඳහන් කලේ ය.

“‍මේ ආන්ඩුව කරන්නෙත් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කරපු දේවල්මයි. කොලඹ ෂැන්ග්‍රිලා හෝටලය අවට අක්කර ගනනක් චීනයට වසර 99 ට බදු දුන්න. අප්‍රේල් මාසයේ මහා මැතිවරනය තියෙන නිසා බඩු මිල ඉහල යාම හා දරිද්‍රතාවය ගැන මහජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා රන්ජන් රාමනායක වැනි අයව අත් අඩංගුවට ගෙන රඟපෑම් කරන”‍ බව ඔහු පැවසුවේය.

Share this article: