ශ්‍රී ලංකාවේ ජනාධිපති විදේශ ආයෝජකයන් සඳහා ප්‍රධාන බදු සහන නිවේදනය කරයි

Sri Lankan president announces major tax concessions for foreign investors

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2020 ජනවාරි 24

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ ආන්ඩුව විසින් 2008 මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත (එස්ඩීපීඒ) යලි සක්‍රීය කිරීමෙන් පසු, ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා විශාල බදු සහන නිවේදනය කර ඇත.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් වසර තුනක් තිස්සේ අත්හිටුවා තිබීමෙන් පසුව, රාජපක්ෂ ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවක් කැබිනට්ටුව විසින් අනුමත කිරීමෙන් අනතුරු ව පසුගිය සතියේ මෙම තීරනය ගනු ලැබිනි. ඍජු විදේශ ආයෝජන (එෆ්ඩීඅයි) ඉහල නැංවීම සඳහා ආන්ඩුව මංමුලා සහගත ලෙස කටයුතු කරයි.

එස්ඩීපීඒ යටතේ, “හඳුනාගත් මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති” වසර 25 තෙක් බදු වලින් නිදහස් කරනු ලබයි. එකතු කල අගය මත බද්ද (වැට්) නො ගෙවීම සහ ඉඩම් හා යටිතල පහසුකම් අත්පත් කරගැනීම මත වන විවිධාකාර නෛතික බාධක ඉවත් කිරීම විදේශ ආයෝජකයන්ට ප්‍රදානය කල අනෙකුත් සහන අතරට අයත් වේ.

එස්ඩීපීඒ පනතට පලමු ආරම්භකත්වය ගන්නා ලද්දේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය පුපුරා යාම මධ්‍යයේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් 2008 පෙබරවාරියේ ය. එහි සහන පුලු‍ල් කිරීම සඳහා 2011 දී හා 2013 දී දෙවරක් සංශෝධනය කරන ලදී.

පසුගිය සතියේ කැබිනට්ටුව විසින් අනුමත කරන ලද පත්‍රිකාව, ශ්‍රී ලංකාවේ සංකීර්න බදු පද්ධතියේ පීඩාකාරී බලපෑම යයි එහි සඳහන් කල දෙය අරබයා, “ජාත්‍යන්තර ආයෝජක මනෝගතියට බාධා කරමින්” සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එස්පීඩීඒ මත කල සීමා පැනවීම් වලට දොස් පැවරීය.

විදේශ ආයෝජකයන් සඳහා දිගු කාලීන බදු කැපීම් හා ඉඩම් වෙත පහසු ප්‍රවේශය අරබයා පලල් විවේචන පැවතුන අතර ම, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එස්ඩීපීඒ පනතේ සහනවලට විරුද්ධ නො වී ය. විදේශ ආයෝජකයන්ට ඔවුන්ගේ ව්‍යාපෘතීන්ගෙන් ලාභ උපයන තෙක් බදු විරාමයන් ප්‍රදානය කල එම ආන්ඩුව, විදේශ ප්‍රාග්ධනයට අනෙකුත් වඩා විස්තීර්න සහන සඳහා පොරොන්දු විය.

ගැඹුරින් ම බෙදුනු ආන්ඩුවට එය පොරොන්දු වූ සහන ක්‍රියාවට දැමීමට නො හැකි විය. කම්කරුවන්ගේ වැඩ වර්ජන හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කල කප්පාදු පියවරයන්ට එරෙහි විරෝධතා මධ්‍යයේ, සිරිසේන, අගමැති වික්‍රමසිංහගෙන් දුරස්ථ වී, ඔහු හා ඔහුගේ ආන්ඩුව ඉවත් කිරීමට උත්සාහ දැරූ විට බිඳී විසිරී යාම ඇරඹුනි.

පලල් ව පැතිරුනු මහජන විරෝධය ගසා කමින් සහ අත්‍යවශ්‍ය භාන්ඩවල මිල අඩුකරන බවටත් සමාජ කොන්දේසි ඉහල දමන බවටත් පොරොන්දු වෙමින් ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පිටුබලය සහිත ව ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ ය. එහෙත් පසු ගිය මාස දෙක හෙලිදරවු කර ඇත්තේ, රාජපක්ෂ ආන්ඩුව මහ ව්‍යාපාරිකයේ හා ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ කුරිරු මෙවලමක් බව යි.

නව ආන්ඩුව “ව්‍යාපාරික විශ්වාසය” වැඩි දියුනු කිරීමට විවිධ පියවර ගෙන ඇති බවට රාජපක්ෂගේ කැබිනට් පත්‍රිකාව උදම් ඇනී ය.

ජනවාරි 20දා මහා ව්‍යාපාරිකයේ ඬේලි එෆ්ටී කියා සිටියේ, දෙසැම්බරයේ සිට ව්‍යාපාරික විශ්වාස දර්ශකය සියයට 75 ක පාදක අංකවලින් ඉහල යාමක් වාර්තා කර තිබුනු බව යි. එය මෙසේ අදහස් දැක්වී ය: “බදු ප්‍රතිසංස්කරන, වැට් බද්ද සියයට 15 සිට 8 දක්වා අඩුකිරීම හා ආන්ඩුවේ වියදම් අඩුකිරීම මෙන් ම අනෙකුත් වෙනස්කම් ව්‍යාපාර හා පාරිභෝගිකයන් යන දෙගොල්ලන් ම අතර ආන්ඩුව ජනප්‍රියත්වයට පත් කර තිබෙන බව පෙනේ.”

වැට් බද්ද අඩුකර තිබෙද්දී, අත්‍යවශ්‍ය භාන්ඩවල මිල අඩු වීමක් නැති අතර, බදු කප්පාදුවේ සම්පූර්න ප්‍රතිලාභය මහා ව්‍යාපාරිකය විසින් ලබාගෙන ඇත. ආහාර මිලෙහි සියයට 4 ක නැගීමක් සහිතව, දෙසැම්බර් මාසයේ නිල උද්ධමන අනුපාතය සියයට 6.2 දක්වා ඉහල නැගුනි.

ශ්‍රී ලංකාව, “වර්ධනය ඉදිරියට ගෙනයාමට හා ආර්ථිකය යහපත් තත්ත්වයකට පත්කිරීමට ආයෝජන සඳහා දැවෙන අවශ්‍යතාවකින් පසුවන” බව ප්‍රකාශ කල ඬේලි එෆ්ටී කතුවැකිය, එස්ඩීපීඒ පනත රාජපක්ෂ විසින් යලි සක්‍රීය කිරීම “ධනාත්මක” පියවරක් ලෙස උත්කර්ෂයට නැංවී ය.

“මෙම ක්‍රියාවලිය සඳහා පලල් ප්‍රතිසංස්කරන ද තීරනාත්මක” යි පුවත්පත ප්‍රකාශ කලේ ය. වෙනත් වචනවලින් කියතොත්, ආයෝජකයන්ට සූරාකෑම සඳහා වඩා ලාභ ශ්‍රමය සම්පාදනය කිරීම පිනිස රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහකරනය හා පුද්ගලීකරනය තීව්‍ර කර, රැකියා විනාශ කර, සේවා කොන්දේසි කප්පාදු කල යුතු ය.

අයවැය පරතරය දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 3.5 දක්වා අඩු කිරීමේ තම නියෝගය සමග ගැලපෙන පරිදි, ජාමූඅ මෙම “ප්‍රතිසංස්කරන” මත දීර්ඝ කාලයක් තිස්සේ අවධාරනය කර ඇත. ගිය වසරේ දී අයවැය පරතරය දදේනියෙන් සියයට 7 දක්වා නැගුනි. ඉහල යන නයට හා ඛාදනය වන අපනයන ආදායමට මුහුන දෙන රාජපක්ෂ ආන්ඩුව, ජාමූඅ සමග සාකච්ඡා කරන බව හා මේ වසරේ දී අයවැය පරතරය දදේනියෙන් සියයට 4 දක්වා අඩු කිරීමට උත්සාහ දරන බව ප්‍රකාශ කොට ඇත.

මහ බැංකු වාර්තාවන්ට අනුව, එලඹෙන මාස 12 තුල ශ්‍රී ලංකාව ඩොලර් ට්‍රිලියන 6ක බාහිර නය ගෙවිය යුතු ය. රට පවතින්නේ “බොහෝ අභියෝග ජයගත යුතු තීරනාත්මක සන්ධිස්ථානයක” බව මේ මස මුල දී මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ආන්ඩුවට අනතුරු ඇඟවී ය.

“මූල්‍ය ගලා යාම් ගැන සැලකීමේ දී, ශ්‍රී ලංකාව එක දිගට ම ඍජු විදේශ ආයෝජනවල පහල මට්ටම්වලට මුහුන දෙයි. පසුගිය වසරට වඩා අඩු වේගයකින් වුවත්, රුපියල ආධිපත්‍යය දරන ආන්ඩුවේ සුරැකුම් වලින් හා කොටස් වෙලඳපොලෙන් පිටතට ගලා යාම් අනවරත ව සිදු වෙයි” යි ලක්ෂ්මන් කීවේ ය.

පසුගිය වසර තුන පුරා අපේක්ෂිත ඩොලර් බිලියන 3ක වාර්ෂික ඍජු විදේශ ආයෝජන කරා ලඟා වීමට ශ්‍රී ලංකාව අසමත් ව ඇත. ආයෝජන ගලා ඒම් වසරකට ඩොලර් බිලියන 1ක මට්ටමේ විය.

රුපියල ආධිපත්‍යය දරන ආන්ඩුවේ සුරැකුම් පිටතට ගලා යාම, ජාත්‍යන්තර උච්ඡාවචනයන්ගේ ඍජු ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකා ආන්ඩුවේ සුරැකුම්පත්වල ප්‍රමුඛ ආයෝජකයන් එක්සත් ජනපදයෙන් පැමිනෙන නමුත්, ඔවුන් දැන් අරමුදල් ඉවත් කරගෙන ආයෝජන වඩා ලාබදායී වෙලඳපොලවල් වෙත මාරු කරමින් සිටී.

ජාත්‍යන්තර ප්‍රාග්ධනය ආකර්ශනය කරගැනීමට මංමුලා සහගත ලෙස ක්‍රියාකරන ඊනියා ඌන සංවර්ධිත රටවල්, වඩා ලාභ ශ්‍රමය හා වඩා ආකර්ශනීය සහන පුදකරමින් සිටිති. රාජපක්ෂ ආන්ඩුවේ නවතම බදු සහන නිවේදන, ආර්ථික ප්‍රතිමල්ලවයන්ට වලකැපීමේත් විදේශ ප්‍රාග්ධනය පිටතට ගලා යාම වැලැක්වීමේත් උත්සාහයකි.

ජනවාරි 20දා කොලඹ කොටස් වෙලඳපොල තැරැව්කරුවන් මුන ගැසුනු අගමැති මහින්ද රාජපක්ෂ, තමන් දේශීය කොටස් වෙලඳපොල ඉහල නංවන බවටත් “ආයෝජන ඇද ගැනීමට ප්‍රමුඛත්වය දෙන” බවටත් ඔවුන්ට සහතික විය.

සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල වැනි විශ්‍රාම වැටුප් අරමුදල්වලින් වඩා විශාල ප්‍රමානයන් කොටස් වෙලඳපොලට නිදහස් කිරීම තැරැව්කරුවන්ට අවශ්‍ය කරයි. නැගෙනහිර ආසියානු රටවල ලැයිස්තුගත ව්‍යාපාර වස්තු වෙත විශ්‍රාම වැටුප් අරමුදල්වල ප්‍රමානය සියයට 17 සිට 40 දක්වා වුවත් ශ්‍රී ලංකාවේ එය සියයට 5ක් පමනක් බව ඔවුහු කියා සිටිති. “ද්‍රවශීලතාව හා වෙලඳපොල ප්‍රාග්ධනීකරනය ඉහල නැංවීම” සඳහා තෝරාගත් රාජ්‍ය ව්‍යවසායයන් හෝ ඒවායින් කොටසක්, කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත කිරීම ද තැරැව්කරුවන්ට උවමනා ය.

අප්‍රේල් මාසයේ මහ මැතිවරනයකට මුහුන දීමට නියමිත, කම්කරුවන්ගේ හා දුගීන්ගේ මහජන විරෝධය වැලැක්වීමට උත්සුකවන නව අගමැතිවරයා තැරැව්කරුවන්ගේ ඉල්ලීම්වලට ක්ෂනික ව එකඟ නො වී ය.

ශක්තිමත් ආන්ඩුවක් ස්ථාපිත කිරීමටත් ගෝලීය මූල්‍ය හා සංගත ප්‍රභූව විසින් අනවන පන්ති යුද පියවරයන් පැටවීමටත් තමන්ට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බව රාජපක්ෂ ප්‍රකාශ කොට ඇත. මෙහි අර්ථය වන්නේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන හා සමාජ කොන්දේසි වලට දැවැන්ත ප්‍රහාර එල්ල කිරීම සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැගිටීමට සමගාමීව වැඩ වර්ජන හා විරෝධතා පුපුරා යාමයි.

Share this article: