අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වැදි සිසුන් සහ දෙමාපියන් ගොරතර පාවාදීමකට හසු කෙරෙයි

2017 නොවැම්බර් 16

මාලඹේ පිහිටි සයිටම් වෛද්‍ය විද්‍යාලය “අහෝසි” කරන ලෙස ඉල්ලමින්, රජයේ විශ්ව විද්‍යාලයන් හි වෛද්‍ය ශිෂ්‍යයන් දසමසක් පුරා ගෙනගිය පන්ති වර්ජනය, එම ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංගමය (වෛශිදෙස) දින කීපයකට පෙර ආරම්භ කල “මාරාන්තික උපවාසය” ඇතුලු සියලු විරෝධතා, පසුගිය බ‍්‍රහස්පතින්දා අවසන් කෙරුනි.

විරෝධතා අවසන් කෙරුනේ, සයිටම් අර්බුදය විසඳීම සඳහා වන ජනාධිපති කමිටුවේ සභාපති, ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සමග වෛශිදෙස යේ නියෝජිතයන් කල සාකච්ඡාවකින් අනතුරුව යි. එදින පෙරවරුවේ පාර්ලිමේන්තුව තුල විශේෂ ප‍්‍රකාශයක් කරමින්, සයිටම් වෛද්‍ය විද්‍යාලය “අහෝසි” කිරීමට ආන්ඩුව තීරනය කොට ඇතිබව බව පැවසූ හර්ෂ ද සිල්වා, උපවාසය අත්හරින ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

සයිටම් “අහෝසි කිරීමේ ජයග‍්‍රහනය” සමරමින් එදින හවස් වරුවේ කොලඹ පැවති රැස්වීමකදී, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ (වෛශික්‍රික) කැඳවුම්කරු රයන් ජයලත් විසින්, තම කමිටුවේ නායකත්වයෙන් සිදු කෙරුනු පන්ති වර්ජනය නතර කල බව නිවේදනය කලේය.

මෙම රැස්වීමේ කතා කල, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ කැඳවුම්කරු (අවිශිබම) ලහිරු වීරසේකර, අවිශිබම ට නායකත්වය දෙන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) දුමින්ද නාගමුව, පශ්චාත් නූතනවාදී ෆ‍්‍රැක්සිස් සාමූහිකයේ විදර්ශන කන්නන්ගර, ධනපති ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) වසන්ත සමරසිංහ සහ ලංකා ගුරු සංගමයේ ජෝසෆ් ස්ටාලින් ඇතුලු සියල්ලෝ ආන්ඩුවේ “සයිටම් අහෝසිය” සුවිසල් ජයග‍්‍රහනයක් ලෙස ඔජවැඩූහ.

කෙසේ නමුදු මෙම ඔජවැඞීමට පැවතියේ පැය කීපයක ආයු කාලයකි. නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පෙරදින සිදු වූ දෑ පැහැදිලි කලේය. උපවාසය සහ පන්ති වර්ජනය නතර කිරීමට තීන්දු කිරීමේ දී සිදුවූ දෑ පිලිබඳව “බොහෝ අර්ථකථනයන්” ඇති බව සඳහන් කරන ඔහු මෙසේ පවසයි: “මා කලේ, සයිටම් අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරමින් ආන්ඩුව නිකුත් කල නිවේදනයේ, සයිටම් අහෝසි කිරීම පිලිබඳ වගන්තිය පැහැදිලි කිිරීමයි.... (සයිටම් වෛද්‍ය විද්‍යාලය අයත්) සියලුම වත්කම් සහ දේපොල මෙන්ම එහි ඉගෙනුම ලබන සිසුන්, රාජ්‍ය නොවන සහ ලාභ නොලබන ආයතනයකට පැවරෙනු ඇත. මෙය සිදුවනු ඇත්තේ දැනට එයට (සයිටම් ට) සම්බන්ධ වී සිටින්නන් (අධ්‍යක්ෂ මන්ඩලය, කොටස් හිමියන්, සේවකයන් සහ සිසුන්) මෙන්ම නය දී ඇති මූල්‍ය ආයතන, නව ආයතනය සමග ඇතිකර ගන්නා එකඟතාවය මතයි.”

සිල්වා තවදුරටත් කියා සිටින්නේ වෛද්‍ය විද්‍යාල සම්බන්ධ අවම ප‍්‍රමිතීන් ගැසට් කොට මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සහ මේ වසර නිම වීමට පෙර, එම ප‍්‍රමිතීන්ට අනුකූල වූ රාජ්‍ය නොවන (එනම් පෞද්ගලික), ලාභ නොලබන ආයතනයක් තුලට සයිටම් සිසුන් යොමු කරන බවයි.

මේ අනුව “සයිටම් අහෝසිකිරීම” යනු හුදෙක් එනමින් පැවති පුද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කොට වෙනත් නමකින් පවත්වාගෙන යාම පමනි. අධ්‍යාපනයේ පුද්ගලීකරනය “ලාභ නොලබන” හා “රාජ්‍ය නොවන” ආදී විවිධ කඩතුරාවන් යටතේ ඉදිරියට යනු ඇත. ශිෂ්‍යයන්ට හා කම්කරුවන්ට සැමරීමට කවර හෝ ජයග‍්‍රහනයක් මෙහි නොමැත.

වසරකට ආසන්න කාලයක් පන්ති වර්ජනය කරමින්, දීර්ඝ පාගමන් යමින් සහ පොලිස් ප‍්‍රහාරයන්ට නැවත නැවතත් ලක් වෙමින්, අධ්‍යාපනයේ පුද්ගලීකරනය එරෙහිව අධිෂ්ඨානවත් සටනක නිරතව සිටි දහස් සංඛ්‍යාත සිසුන්, ශිෂ්‍ය සංගම් විසින් ආපසු හරවා යවා ඇත්තේ අධ්‍යාපනයේ පුද්ගලීකරනය ඉදිරියටම ගෙනයන බවටත්, සයිටම් නොවන වෙනත් නමකින් සයිටම් යලි ආරම්භ කරන බවටත් ආන්ඩුව කරන ලද ප‍්‍රකාශයකට යටත් වෙමිනි. මෙය අවිශිබම, පෙසප සහ ජවිපෙ මූලිකත්වයෙන් සිදු කරන ලද ගොරතර පාවා දීමකි.

මෙම පාවාදීමේ පන්ති ඇඟවුම් වටහා ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

ගැඹුරු දේශපාලන අර්බුදයක ගිලී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ශිෂ්‍යයන්ගේ අරගලය ඉදිරියට ඇදීයාම සම්බන්ධයෙන් දැක්වූයේ බලගතු උත්සුකයකි. තම ප‍්‍රහාරයන්ට එරෙහිව නොකඩවා සටනට අවතීර්න වෙමින් සිටින කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල, ශිෂ්‍ය අරගල සමග ඒකාබද්ධ වෙතැයි ආන්ඩුව දැඩිලෙස භීතියට පත්ව සිටියේය. විවිධ උපාමාර්ග යොදමින් විරෝධතා අවසන් කරන ලෙස ආන්ඩුව දිගින් දිගටම ඉල්ලා සිටියේ එබැවිනි.

9 වන දා, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ව්‍යවස්ථාව පිලිබඳ විවාදය මධ්‍යයේ කතානායකගෙන් විශේෂ අවසරයක් ලබාගෙන පාර්ලිමේන්තුව තුල කල ප‍්‍රකාශයෙන් පසු, ඔහු සමග කල සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් ලෙස, ශිෂ්‍ය සංගම් සහ ඒවාට නායකත්වය දෙන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ආන්ඩුවේ ඉල්ලීමට අවනත විය.

ආන්ඩුව මුහුන දී සිටින බරපතල අර්බුදය මධ්‍යයේ අරගලය නවතා දැමීමෙන් අවිශිබම සහ පෙසප ආන්ඩුවට ලබා දී ඇත්තේ ඉමහත් පිටුබලයකිි. තමා විසින් දරදිය ඇද බලයට ගෙන ආ එක්සත් ජනපද අධිරාජ්‍ය ගැති සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට හුස්ම අල්ලා දී ඉදිරි ප‍්‍රහාරයන් සඳහා අවශ්‍ය ශක්තිය සහ කාලය ලබා දීම මෙහි අරමුනයි.

පුද්ගලීකරනයට එරෙහි නොවන බව මුලසිටම කියා සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස), සිරිසේන විසින් යෝජිත ක්‍රියාමාර්ගය “සාධනීය” බව පවසා පලමුවෙන්ම වර්ජන ක්‍රියාමාර්ගවලින් ඉවත් විය.

අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහිව සිසුන් අතර වැඩෙමින් පැවති බලගතු විරෝධය හුදු සයිටම් විරෝධයකට සිඳවා, සිසුන් විරෝධතා දේශපාලනය තුල අවමංගත කිරීමට අවිශිබම ය සහ වෛශික්‍රික කටයුතු කරද්දී, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ආරම්භයේ සිටම එම අරගලයට මැදිහත් වෙමින් ශක්‍ය විද්‍යාත්මක ඉදිරි දර්ශනයක් සහ විශ්ලේෂනයන් ඉදිරිපත් කලහ.

අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීම ජාත්‍යන්තර ප‍්‍රපංචයක් බවත්, කඩා වැටෙන ලාභ රැක ගැනීම සඳහා ධනපති පාලකයන් දශක තුනකට අධික කාලයක පටන්, අධ්‍යාපනය ඇතුලු සමාජ වැඩ සටහන් සඳහා වියදම් කපා හරිමින් ඒවා ලාභ සූරා ගන්නා කර්මාන්ත බවට පත් කර ගැනීමට ක‍්‍රියා කරමින් සිටින බවත් සසප සහ සසජාතශි පෙන්වා දුන්හ.

2008 දී ඇමරිකාවේ මහා මූල්‍ය සමාගම්වල කඩා වැටීමෙන් ඇරැඹී, ලෝකයම අලලා ගෙන ඇති ධනවාදයේ බිඳ වැටීමේ නව කාල පරිච්ඡේදය තුල සෑම රටකම ධනපති ආන්ඩු අර්බුදය පියවා ගනිමින් සිටින්නේ වැඩකරන ජනතාව අරගල තුලින් අතීතයේ දිනාගත් ජීවන හා සමාජ අයිතීන් කොල්ලකෑමෙන් බවත් සසප සහ සසජාතශි තම විශ්ලේෂනයන් මගින් පැහැදිලි කලහ.

අධ්‍යාපන අයිතිය රැක ගැනීමට සමාජවාදී වැඩපිලිවෙල සඳහා සටන් කරනු! යන හිසින් 2017 මාර්තු 7 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලකල ලිපියක අපි මෙසේ සටහන් කලෙමු: “අවිශිබමය හා රවෛනිස පවත්වන විරෝධතාවලින් මෙම තත්වයට මුහුන දීමට මොනම ඉදිරිදර්ශනයක් වත් නොසැපයෙයි. ඔවුන් ඉදිරිපත් කර ඇති වැඩපිලිවෙල නම්, බලපෑම් හා පලල් බලපෑම් දමා සයිටම් වසා දැමීමට ආන්ඩුව නම්මා ගැනීමේ ව්‍යායාමයයි. මෙය දැනුවත්ව ම, අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි අරගලය යට ගැසීමේ ප‍්‍රයත්නයකි.”

ආන්ඩුවේ හා ධනපති පන්තියේ පුද්ගලීකරන ප‍්‍රතිපත්තිය පරාජය කිරීමකින් තොරව අධ්‍යාපන අයිතිය රැක ගත නොහැකි බවත් ඒ සඳහා කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් දේශපාලන අරගලයක් අත්‍යවශ්‍ය බවත් අපි දිගින් දිගටම පෙන්වා දුන්නෙමු.

එනමුදු කම්කරු පන්තිය දෙසට හැරී කරන එවන් දේශපාලන අරගලයකට මුලුමනින්ම හතුරු පෙසප සහ අවිශිබම ඒ වෙනුවට හැරී ගත්තේ ප‍්‍රතිගාමී බලවේග දෙසටයි. “සිසු-ජන පෙලගැස්ම” සහ “සයිටම් විරෝධී ජන පවුර” ආදී විවිධ නම් වලින් ගොඩනගාගත් ධනපති පෙරමුනු වලට කැඳවාගනු ලැබුවේ, අධ්‍යාපනයේ පුද්ගලීකරනයට පක්ෂ ධනපතියන් ඇතුලු අන්ත ප‍්‍රතිගාමීන් සහ ආන්ඩුවට බලපෑම් දැමීමේ ව්‍යාජ වැඩපිලිවෙල තොරොම්බල් කරන්නන් ය. මෙම පෙරමුනු කම්කරුවන්, සිසුන් හා අධ්‍යාපන අයිතිය රැකගැනීමේ අව්‍යාජ උවමනාවෙන් පෙරට එන සියලු කොටස් දේශපාලනිකව හිර කරන උගුල් විය.

මෙහි වාසිය මූලිකවම ඩැහැගනු ලැබුවේ, පුද්ගලීකරනය පිලිවෙතක් ලෙස ක්‍රියාවට නගමින් සයිටම් ආයතනය ඇරැඹීමට අවශ්‍ය සියලු වටපිටාව නිර්මානය කරදුන් සහ අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට මෙන්ම ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහරපිට පහරදුන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ “ඒකාබද්ධ විපක්ෂය” යි. පෙසප සාදා දුන් වේදිකාවට නැගගත් මෙම හැඩිරැල නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටියහ.

මෙම පෙරමුනු වලින් වාසිය අත්පත් කරගත් අනෙක් කන්ඩායම වනුයේ ජවිපෙ යි. වත්මන් ආන්ඩුව ඇතුලු ධනපති ආන්ඩු බලයට ගෙනඒමට දරදිය ඇද, ඒවා විසින් එල්ල කල ප‍්‍රහාරයන්ට කරබදු වී ඇති ජවිපෙ, ඒ හේතුවෙන් කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් අතර බලගතු වෛරයකට පාත‍්‍රව සිටී. “සයිටම්-විරෝධී” වේදිකාවලට නැගගත් ජවිපෙ නායකයන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සටනේ නියමුවන් ලෙස පූච්ඡානම් කතා පැවැත්වූහ.

මෙවන් ධනපති පෙරමුනු වලට කම්කරුවන් සහ තරුනයන් කොටු කරමින් ධනේශ්වර ක‍්‍රමයට එරෙහි අරගලය වලකා ධනපති ක‍්‍රමය රැකදීම මෙම ව්‍යාජ-වම්මු ජාත්‍යන්තර පරිමානව භාරගෙන ඇති කොන්ත‍්‍රාත්තුවයි. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ නියෝගයන් අනුයමින් කම්කරු-පීඩිත මහජනතාව මත දැවැන්ත කප්පාදු පටවමින් අදදින ග්‍රීසියේ ආන්ඩු කරවන සිරිසා සංවිධානය, ව්‍යාජ-වම්මුන් විසින් ඔජවඩවන ලද එවන් ධනපති පෙරමුනකි.

එමෙන්ම ස්පාඤ්ඤයේ කැටලාන් ප‍්‍රාන්තය ස්පාඤ්ඤයෙන් වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිය යුතුය යන මතය එහි පැවති ජනමත විචාරනයකදී ජය ගැනීමෙන් අනතුරුව එහි මහජනතාවට එරෙහිව මැඩ්‍රීඩ් ආන්ඩුව මුදාහැර ඇති රුදුරු මර්දනයට, ස්පාඤ්ඤ ඒකීය රාජ්‍යය ආරක්ෂා කිරීමේ නාමයෙන් සහයෝගය ලබා දෙන පොඩෙමොස් සංවිධානය ද මෙම ව්‍යාජ-වම්මුන් විසින් උත්කර්ශයට නැංවූ තවත් එවන් සංවිධානයකි.

පෙසප කලකට පෙර පැවසුවේ ලංකාවට ද සිරිසා සහ පොඩෙමොස් වැනි සංවිධානයක් අවශ්‍ය බවයි. සිසු-ජන පෙලගැස්ම වනාහි ලංකාවේ සිරිසා මොඩලයක් සඳහා පෙසප දැරූ උත්සාහයයි.

මෙම ධනපති පෙරමුනු වලට සහ විරෝධතා දේශපාලනයට එරෙහිව සසප සහ සසජාතශි තම වැඩපිලිවෙල මෙසේ ඉදිරිපත් කලේය:

“සමාජවාදී සමානතා පක්ෂය (සසප) ද සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ද, ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් ලෙස ලංකාව තුල සමාජවාදී වැඩපිලිිවෙල ක‍්‍රියාවට දමන -එනම්, විදේශ නය ගෙවීම නිෂ්ප‍්‍රභ කරන්නා වූත්, මහා වතු, සමාගම් හා බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කරන්නා වූත්- කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සිසුන් සටන් කලයුතුයයි අවධාරනය කරන්නේ මේ අර්බුදයට ඇති එකම විසඳුම එය වන බැවිනි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසකි.”

“ධනපති ක‍්‍රමය පෙරලා දමා ආර්ථිකය සමාජවාදී ආකාරයට ප‍්‍රතිසංවිධානය කල හැකි විප්ලවවාදී බලවේගය කම්කරු පන්තියයි. ශිෂ්‍යයන් හා තරුනයන් එක්විය යුත්තේ කම්කරු පන්තිය වෙතට හැරී එය මෙම විප්ලවවාදී කර්තව්‍යයට බලමුලු ගැන්වීමේ අරගලයටයි. අධ්‍යාපන අයිතියට කප්පාදුව ධනපති ආන්ඩුව කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන්ට කෙටීමට එල්ල කරන ප‍්‍රහාරයේ කොටසකි. කම්කරු පන්තිය ඊට එරෙහි අරගලය සඳහා සිසුන්ට හා අවශේෂ පීඩිතයන්ට කැඳවුම් කරමින් නායකත්වය ගත යුතුය.”

අවිශිබම සහ පෙසප කරන ලද මෙම පාවාදීමෙන් අති මූලිකව සනාථ කෙරී ඇත්තේ ඔවුන් තොරොම්බල් කරන විරෝධතා දේශපාලනයේ ආන්තික බංකොලොත්කම සහ ව්‍යාජ-වමේ ධනේශ්වරගැති බවයි. සසප ඉදිරිපත් කල ඉහත ක්‍රියාමාර්ගය මත සටන් වැදීමෙන් තොරව අධ්‍යාපන අයිතිය රැක ගත නොහැකි බව එම පාවාදීමේ අති මූලික පාඩමයි. අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ අරගලයට ඇදෙන සියල්ලන්ගෙන් අප ඉල්ලා සිටින්නේ එම ක්‍රියාමාර්ගය මත සටන් වැදීමට සසප සහ සසජාතශි සමග එක් වන ලෙසයි.

සමාජවාදී සමානතා පක්ෂය

Share this article: