ශ්‍රී ලංකාවේ වතු කම්කරු වර්ජනයේ ජාත්‍යන්තර අර්ථභාරය

The international significance of the Sri Lankan plantation workers’ strike

දීපාල් ජයසේකර විසිනි, 2018 දෙසැම්බර් 17

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ මෑත පැවති අඛන්ඩ වැඩ වර්ජනය, ජාත්‍යන්තර කම්කරු පන්තියට තීරානත්මක දේශපාලන පාඩම් ගෙන එයි.

ශ්‍රී ලංකාවේ තේ හා රබර් වතුවල කම්කරුවෝ දිවයිනේ කම්කරු පන්තියේ වඩාත් ම පීඩිත ස්ථරයකි. කම්කරුවන් අතර බිම් මට්ටමේ පැවති සතුරු භාවයේ හා විරෝධයේ රැල්ලක් හමුවේ ප්‍රධාන වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසයට (සීඩබ්ලිව්සී) දෛනික වැටුප රුපියල් 500 සිට 1,000 දක්වා දෙගුනකින් වැඩිකරන ලෙස ඉල්ලමින් දෙසැම්බර් 4දා සිට වර්ජන ක්‍රියාමාර්ගයක් කැඳවුම් කිරීමට බල කෙරුනි.

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනය, දිවයිනේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව වේගයෙන් පුනර්ජීවනය වන පන්ති අරගලයේ කොටසකි. මධ්‍යම ශ්‍රී ලංකාවේ වතු ප්‍රදේශවල කම්කරුවන් විරෝධතා පවත්වද්දී, ඉන්ධන බද්දට හා ඛාදනය වන ජීවන කොන්දේසිවලට එරෙහි ව පැරීසියේ හා අනෙකුත් නගරයන්හි වීදිවල “කහ බැනියම්” විරෝධතා පැවැත්වුනි.

ඉන්දියාවේ තමිල්නාඩුවේ මෝටර් රථ කම්කරුවෝ මෑත දී වර්ජනය ක්‍රියාමාර්ගයකට අවතීර්න වූහ. මේ වසර මුල ගුරුවරුන්ගේ පුලුල්ව පැතුරුනු වර්ජනවලින් පසුව, කැනඩාවේ හා එක්සත් ජනපදයේ මොටර් රථ කම්කරුවන් අතර ජෙනරල් මෝටර්ස් සමාගම විසින් නිවේදනය කල කම්හල් වැසීම් හා රැකියා 15,000ක් පමන විනාශ කිරීමේ සැලසුම්වලට එරෙහි ව වඩ වඩා සටන්කාමී වන මනෝගතියක් වැඩෙමින් තිබේ.

ජාත්‍යන්තර පරිමානව වැඩෙන මෙම කම්කරුවන්ගේ නැගිටීම, එවැනි ව්‍යාපාරයක් පිලිබඳ ව පුරෝකථනය කරමින් වසර ආරම්භයේ දී ම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) විසින් සිදුකල විශ්ලේෂනය කාවදින ලෙස සනාථ වීමකි.

විසිවන ශතවර්ෂය තුල නිරන්තරයෙන් සිදුවූවාක් මෙන්, ඉන්දියාවේ දකුනු කොනේ පිහිටි කුඩා ශ්‍රී ලංකා දිවයිනේ සිද්ධීන්, ලොවපුරා හටගනිමින් පවතින ආර්ථික, දේශපාලන හා සමාජ ක්‍රියාදාමයන් පිලිබඳ පෙර ඇඟවුමක් බව යලි වතාවක් සනාථ වෙමින් තිබේ. වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනයේ දේශපාලනික පාඩම් ජාත්‍යන්තර ව කම්කරුවන්ගේ අරගලවලට සෘජු ලෙස අදාල වේ.

ප්‍රන්සයේ හා එක්සත් ජනපදයේ මෙන් ශ්‍රී ලංකාවේ වතු කම්කරු අරගලය ද ඉස්මතු වූයේ වෘත්තීය සමිතිවලට එරෙහි කැරැල්ලක් ලෙස යි. සීඩබ්ලිව්සීය වර්ජනය කැඳවුම් කලේ, වර්තමාන වැටුපෙන් පැහැදිලිවම ජීවත් විය නො හැකි නිසා සමිතිවලට පිටතින් කම්කරුවන්ගේ වර්ජන වර්ධනය වීමේ අන්තරායට එය මුහුන දීම හේතුවෙනි. අනෙකුත් වෘත්තීය සමිති වන ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන (ඩීපීඑෆ්) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) වර්ජනයට විරුද්ධ වූ විට, ඒවායේ සාමාජිකයෝ කෙසේ වෙතත් එම උපදෙස් නො තකා වැඩ නතර කල හ.

කම්කරුවන්ට කිසිදු සහනයක් දීම උද්දච්ඡ ලෙස ප්‍රතික්ෂේප කල වතු සමාගම්වලට හෝ ආන්ඩුවට එරෙහි ව සටන්කාමී දේශපාලන හා කාර්මික අරගලයක් දියත්කිරීමේ සුලු හෝ අභිලාෂයක් සීඩබ්ලිව්සී වෙත නො තිබුනි. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය “ජාත්‍යන්තර ව තරඟකාරී” විය යුතු නිසා වැටුප් වැඩිකිරීමක් දරාගත නො හැකි බවට ඉහලින් ම ලාබ උපයන මෙම සමාගම් කරන හඬතැලීම් ප්‍රතිරාවය කරන සීඩබ්ලිව්සීය යලි යලිත් ක්‍රියාකර ඇත්තේ කම්කරුවන්ට එරෙහි කාර්මික පොලීසියක් ලෙස යි.

ඇබොස්ලී වත්තේ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් රැස්වීමක් පැවැත්වීමට ඡන්දය පලකරමින්

එකකට පසු තවෙකක් වසයෙන් පාවාදීම් සිදුකිරීම නිසා, වෘත්තීය සමිති කෙරෙහි වතු කම්කරුවන් අතර පුලුල් ව පැතිරුනු අවිශ්වාසය හා අවඥාව දශක කිහිපයක් තිස්සේ වර්ධනය වී ඇත. කෙසේවෙතත්, වර්ජනය මධ්‍යයේ දී, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මගපෙන්වීම යටතේ අලුත් පියවරක් තැබූ හැටන්හි ඇබොස්ලී වත්තේ කම්කරුවෝ, වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගූ හ.

දෙසැම්බර් 7දා ඔවුන්ගේ ම විරෝධතාවක් පැවැත්වූ ඇබොස්ලී වත්තේ කම්කරුවෝ, පැය තුනක පෙලපාලියකින් හැටන් නගරයට පැමිනිය හ. ඔවුහු දෛනික වැටුප් වෙනුවට මසකට රුපියල් 40,000ක වැටුපක් ඉල්ලා සිටින සටන් පාඨ කියමින් සහ ඒ සම්බන්ධ පුවරු ප්‍රදර්ශනය කල අතර ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස තම සහෝදර කම්කරුවන්ගෙන් ද ඉල්ලා සිටිය හ. “ඉන්දියාවේ සිරගත කර ඇති මරුති-සුසුකි කම්කරුවන් වහා නිදහස් කරනු!” හා “කම්හල් වැසීමට එරෙහි ව සටන් කරන ජෙනරල් මෝටර්ස් කම්කරුවන්ට සහාය දෙනු!” යයි ප්‍රකාශ කරමින් පෙලපාලිකරුවෝ ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙසට ද හැරුනි.

කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ද සමාජවාදී පිලිවෙත් ද සඳහා ඔවුන් කල කැඳවුම, එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) යන දිවයිනේ ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙකට බැඳී සිටින සීඩබ්ලිව්සී හා අනෙකුත් වතු වෘත්තීය සමිතිවලට සෘජු ව විරුද්ධ ව පිහිටා සිටියේ ය.

වතු කම්කරු වර්ජනය සිදු වූයේ, ඔක්තෝබර් 26දා ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා-විරෝධී ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ ව අගමැති ධූරයෙන් නෙරපා එම තනතුරට ශ්‍රීලනිපයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීමත් සමග හටගත් කොලඹ පාලනයේ යෝධ දේශපාලන අර්බුදයක් මධ්‍යයේ. සති කිහිපයක් තිස්සේ ඇදී ගිය කටුක කන්ඩායමික ගැටුම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තුනී වහන්තරාව තව දුරටත් අපකීර්තියට පත්කිරීමෙන් පසු ඊයේ වික්‍රමසිංහ යලි අගමැති ධුරයට පත්කිරීමේ දී තීරනාත්මක සාධකයක් වූයේ දිවයිනේ කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය පිලිබඳ භීතිය යි. (බලන්න: ශ්‍රී ලංකාවේ ජනාධිපති නෙරපන ලද අගමැති යලි පත්කරයි )

ජනාධිපති මෛත්රීපාල සිරිසේන සමග රහස් සාකච්ඡා පවත්වා, වැටුප් අර්බුදය විසඳන බවට ඔහු දුන් හිස් පොරොන්දුවක් මත සීඩබ්ලිව්සීය දෙසැම්බර් 12දා වර්ජනය අවසන් කලේ ද එම භීතිය හේතුවෙනි. මෙම තුච්ච හා නරුම පාවාදීම වතු දිස්ත්‍රික්ක පුරා කෝපාන්විත විරෝධතා පුපුරා යාමක් ඇවිලවී ය. දින දෙකකට පසුව කම්කරුවන් විරෝධතා යටතේ ආපසු වැඩට ගිය අතර කෙසේ වුවත් වර්ජනය අවසන් විය.

වතු කම්කරුවන් ඇති තරම් පෙන්වා දී ඇති පරිදි අඩුව තිබෙන්නේ සටන් කිරීම සඳහා වන අධිෂ්ටානය නො ව, අරගලය ඉදිරියට ගෙන යාමේ සංවිධානමය මාධ්‍ය සහ අන් සියල්ලටත් වඩා, වෘත්තීය සමිතිවල හා පාලක පන්තියේ පක්ෂවල පචවලට හා ප්‍රයෝගවලටද ඔවුන් සියල්ලන් විසින් ආරක්ෂා කරනු ලබන ධනේශ්වර පද්ධතියට එරෙහි ව සටන් වැදීමට අවශ්‍ය දේශපාලන ඉදිරිදර්ශනයයි. වෙනත් වචනවලින් කියතොත්, කම්කරුවන් සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත විප්ලවවාදී අරගලයක් දියත් කල යුතු ය. ජීවත් වීමට අවශ්‍ය අතිශය මූලික අවශ්‍යතා පවා ආරක්ෂා කිරීමට අන් මගක් නැත. වතු කම්කරුවන් ඉල්ලා සිටින සියල්ල වන්නේ දිනකට ඩොලර් 5.6කි.

ඇබොස්ලී කම්කරුවන් සසප දෙසට හැරී ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමේ දේශපාලන අර්ථභාරය එය යි. වතු වැඩ වර්ජනය මධ්‍යයේ ලෝසවෙඅ මෝටර් කම්කරු ප්‍රවෘත්ති පත්‍රය හා එක්සත් ජනපදයේ සසප විසින් දෙසැම්බර් 9දා ඩෙට්රොයිට්හි කැඳවුම් කල හදිසි රැස්වීමකට එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවෝ සහභාගි වූ හ. වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ඒකමතික ව තීන්දු කල ඔවුහු, කම්හල් වැසීම්, දොට්ට දැමීම් හා කම්කරු පන්තිය මත පාත් කරන අනෙකුත් ප්‍රහාරවලට විරුද්ධ ව සටන් වැදීමට පලල් මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට ද තීරනය කල හ.

මෙම වර්ධනයන් දෙක ම පෙන්වා දෙන්නේ කම්කරුවන් විප්ලවවාදී දේශපාලනයට හා සංවිධාන රූපවලටත් සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකටත් හැරීම ආරම්භ කරමින් සිටින බව ය. මෙම වැදගත් ආරම්භකත්වයන් ශ්‍රී ලංකාවේ, එක්සත් ජනපදයේ මෙන් ම කම්කරු පන්තියේ ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස “කහ බැනියම්” විරෝධතාකරුවන්ගෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රන්ස ශාඛාව වන සසප ඉල්ලා සිටින ප්‍රන්සය ඇතුලු ලෝකය පුරා ද වර්ධනය කොට විස්තාරනය කල යුතු ය.

ඩිට්රොයිට් රැස්වීමේ දී ප්‍රශ්නයක් ඇසූ මෝටර් රථ කම්කරුවෙක් ක්‍රියාකාරී කමිටුවලට “සන්නිවේදන උපකරනයක් ලෙසත් හඬක් හා අනන්‍ය අධ්‍යාපකයෙක් ලෙසත් ලෝසවෙඅ භාවිතා කිරීමට ඉඩදෙනවාද? අපට මූලෝපායික මට්ටමේ දී ක්‍රියාත්මක විය හැකි ලෙස සමාජවාදී සමානතා පක්ෂය නායකත්වය සම්පාදනය කරනවා ද?” යනුවෙන් විමසී ය. මෙයට දුන් අවධාරනාත්මක පිලිතුර වූයේ “ඔව්” යන්න යි.

මෙම ප්‍රශ්නය හා පිලිතුර අවධාරනය කරන්නේ, ඉස්මතු වන කම්කරු පන්තියේ අරගල ඒකාබද්ධ කිරීමට සෑම රටක් තුල ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාව හා විප්ලවවාදී නායකත්වයේ තීරනාත්මක භූමිකාව යි.

ධනවාදයේ ගැඹුරු වන අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරය වන්නේ වෙලඳ යුද්ධය හා යුද්ධය, දරුනු කප්පාදු පියවරයන් හා ආඥාදායක පාලන රූප වෙතට හැරීම යි. මෙයට ජාත්‍යන්තර කම්කරු පන්තියේ පිලිතුර විය යුත්තේ සමාජවාදී විකල්පය සඳහා සටන තීව්‍ර කිරීම යි. මෙම අරගලය මෙහෙයවීමේ අවශ්‍ය නායකත්වය ලෙස, හජාජාකට බැඳී එහි දැනට පවතින ශාඛාවන් ද නව ශාඛාවන් ද ගොඩනගන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලමු.

Share this article: