කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අගෝස්තු 13

රැස්වීමට සහභාගි වූවන්ගෙන් කොටසක්

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ කැඳවීමෙන්, අගෝස්තු 09 දා, කොලඹ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීම අවසානයේ, කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවන ලදී.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරය වඩාත් ඉහල මට්ටමකට නංවා ඇති තතු තුල, කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කර ගැනීමට සටන්වදින ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීම සඳහා, ජුනි 24 දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හරහා සසප කල කැඳවුමටඅනුව ඉහත රැස්වීම පවත්වන ලදී.

කැඳවුමට ආසන්නතම හේතුව වූයේ සම්මානලාභී, තරුන ලේඛක ශක්තික සත්කුමාර ට එරෙහි දඩයමයි. ඔහු තම ෆේස්බුක් ගිනුමේ පලකල “අර්ධ” නමැති කෙටි කථාවක් හේතුවෙන් මාස සතරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිට පසුගිය 08 වන දා ඇප මත නිදහස් වූයේය. නමුත්, ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමේ අවදානම තවමත් පවතී.

මර්දන නීති යොදා ගනිමින් මෙලෙස කලා නිර්මාපකයෙකු දඩයම් කිරීම ශ්‍රී ලංකාවේ පෙරනොවූවිරූ දෙයකි. ලංකාවේ ධනපති පාලක පන්තිය සත්කුමාරගෙන් එය ආරම්භ කොට ඇත. පොලීසිය ඔහුට එරෙහිව යොදාගත්තේ දන්ඩ නීති සංග්‍රහයේ 291බී වගන්තිය හා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ 3(1)වන වගන්තිය යි.

සත්කුමාරගේ ගෙන් පසු, ආන්ඩුව තවත් කලාකරුවන් හා මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට එරෙහිව මෙම නීති යොදා ගැනීමට උත්සාහ කලේ, පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය ඩැහැ ගනිමින් හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත බලාත්මක කොට, නැගී එන කම්කරු හා ශිෂ්‍ය සටන් මර්දනය කිරීම සඳහා පොලිස් රාජ්‍ය සැලසුම් ක්‍රියාවට දැමීමේ පසුබිමකය.

රැස්වීමට සසප සාමාජිකයන්, හිතවතුන් හා කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුලු හතලිහක් පමන දෙනෙක් පැමින සිටියහ. සත්කුමාරගේ නිදහස වෙනුවෙන් ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරමින් සිටින සසප දේශපාලන මන්ඩල සභික සංජය ජයසේකර රැස්වීමේ මුලසුන හෙබවීය.

ආරම්භක කථාව කරමින් රැස්වීමේ අරමුන පැහැදිලි කල ජයසේකර

ආරම්භක කථාව කරමින් රැස්වීමේ අරමුන පැහැදිලි කල ජයසේකර මෙසේ සඳහන් කලේය: ”ශක්තිකට එරෙහි සියලු චෝදනා හා නඩු කටයුතු වලින් ඔහු නිදහස් කරගත හැක්කේත්, කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවරු කරගත හැක්කේත් ධනපති පන්ති පාලනයටම එරෙහි නොනවතින අරගලයක් මගින් පමනයි. සමාජවාදී සමානතා පක්ෂය පැහැදිලි කරන්නේ එම අරගලය නිත්‍ය ලෙසම සමාජවාදී හා ජාත්‍යන්තරවාදී විය යුතු බවයි”.

ලොව පුරා ධනපති ආන්ඩු කම්කරු පන්තිය බෙදා දැමීම සඳහාත්, ඔවුන්ගේ අරගල මර්දනය කිරීම සඳහාත් විවිධාකාරයේ අන්තවාදයන්, ෆැසිස්ට් හා වර්ගවාදී කල්ලි කම්කරු මහජනතාවට, කලාකරුවන්ට හා ප්‍රගතිශීලී පුද්ගලයන්ට හා සංවිධානවලට එරෙහිව මෙහෙය වීමට ක්‍රියා කරමින් සිටින බවත් ‘වීකිලීක්ස්‘ නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට එරෙහි අධිරාජ්‍යවාදී දඩයම එම ප්‍රහාරයේ ඉහලම තුඩ බවත් ඔහු පැහැදිලි කලේය.

රැස්වීමේ ප්‍රධාන දේශනය සිදුකලේ සසප දේශපාලන මන්ඩල සභික පානි විජේසිරිවර්ධන

අනතුරුව, රැස්වීමේ ප්‍රධාන දේශනය සිදුකලේ සසප දේශපාලන මන්ඩල සභික පානි විජේසිරිවර්ධන විසිනි.

ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලය විසින් 2019 ජුනි 20 වන දින පල කල ‘ජූලියන් අසාන්ජ් ඇමරිකාවට පිටමං කිරීම වලක්වන ලෝක පරිමාන උද්ඝෝෂන ව්‍යාපාරයක් සඳහා’ යන ප්‍රකාශයේ මූලධර්ම මත ක්‍රියාකාරී කමිටුව පදනම් වන බව ඔහු පැවසීය.

ක්‍රියාකාරී කමිටුවල සංවිධාන ස්වභාවය, එහි දේශපාලන පදනම් හා කාර්යභාරය පිලිබඳව දීර්ඝව පැහැදිලිකල විජේසිරිවර්ධන, “මෙම කමිටුව ප්‍රජාතන්ත්‍ර අයිතීන් සුරැකීමට මූලධර්මාත්මකව කැපවීමේ පදනම මත සියලු ප්‍රගතිශීලී, සමාජවාදී හා වාමාංශික පුද්ගලයින්ගේ හා සංවිධානවල, සහක්‍රියාකාරිත්වය ඉල්ලා සිටින බවත්, මෙම කමිටුවට සම්බන්ධවන අය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන දේශපාලන දෘෂ්ටියේ හා වැඩපිලිවෙලේ සියලු අංග සමග එකඟ වීම අවශ්‍ය නොවන” බවත් අවධාරනය කලේය.

නමුත්, එය “අනිවාර්යයෙන්ම දේශපාලන දකුන බැහැරකල යුතු බවත්, කමිටුවට සම්බන්ධ වන අය ප්‍රජාතන්ත්‍ර අයිතීන්ගේ ආරක්ෂාවට කොන්දේසි විරහිතව කැපවිය යුතු බවත්” විජේසිරිවර්ධන සඳහන් කලේය.

ජූලියන් අසාන්ජ්ගේ හා චෙල්සි මැනිංගේ නිදහස මෙන්ම ලංකාවේත්, කලාපය තුලත්, ලොව පුරාත් කලාවේ හා ප්‍රකාශනයේ නිදහස රඳා ඇත්තේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ පුලුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම මත බව කියා සිටි ඔහු මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුන එය බව පෙන්වා දුන්නේය.

සසප ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකූ වන ආනන්ද වක්කුඹුර

රැස්වීම් සභාව විසින් සාකච්ඡා කොට සම්මත කරගැනීම සඳහා රැස්වීම ආරම්භයට පෙරදීම පැමින සිටි අයට ලබාදුන් සසප යෝජනා පත්‍රිකාව සාකච්චාවට ගැනීම ඉන් අනතුරුව සිදු විය. එහි ආරම්භක ප්‍රතිපදානය සිදුකරමින් සසප ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකූ වන ආනන්ද වක්කුඹුර අදහස් දැක්වීය. 1917 රුසියානු විප්ලවය ජයග්‍රහනය කිරීම සඳහා කම්කරු පන්තියේ නායකත්වය යටතේ පුලුල් මහජන බලවේගයක් වර්ධනය කිරීමට සෝවියට් සභා ඉටුකල කාර්ය පැහැදිලි කරමින් වක්කුඹුර සඳහන් කලේ මෙම ක්‍රියාකාරී කමිටුවලද එම මූල බීජ පවතින බවයි.

ප්‍රශ්න හා සාකච්ඡා වටයේදී කිහිප දෙනෙකුම අදහස් දැක්වූ අතර කමිටුවේ සංවිධාන ස්වරූපය පිලිබඳව මතුකල පැනයකට පිලිතුරු දෙමින් විජේසිරිවර්ධන පැහැදිලි කලේ රැස්වීම කැඳවුම් කලේ සසප හා සසජාතශි වුවද මෙම ක්‍රියාකාරී කමිටුව සසපට අයත් දේශපාලන දේහයක් නොවන බවත්, සසපද එහි එක් දේශපාලන ප්‍රවනතාවයක් බවත්, එහි සියලු තීරන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගැනෙනු ඇති බවත්ය.

සභාවෙන් ඉදිරිපත්වුනු යෝජනාවන්ද අඩංගු කර සංශෝධිත යෝජනාව සම්මත කිරීම සඳහා සභාවට ඉන් පසුව යොමු කෙරුනු අතර සභාව එය ඒකමතිකව සම්මත කරන ලදී.

සත්කුමාරට හා අනෙකුත් කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට එරෙහි සියලු නඩු කටයුතු අහෝසිකල යුතු බවත්, ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ඕනෑම ආකාරයක මර්දනයකදී ඔවුන් ආරක්ෂා කරන බවත්, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත අහෝසි කල යුතු බවත් එහි අන්තර්ගතය.

කමිටුව, “මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම සඳහා ධනපති ආන්ඩුවලට සෘජු හෝ වක්‍ර සහයෝගය ලබා දුන් හා දෙමින් සිටින සෑම සංවිධානයකින්ම, පුද්ගලයන්ගෙන්ද, කන්ඩායම්වලින්ද ස්වාධීන විය යුතු” බවද සම්මත වූ යෝජනාවලියේ අන්තර්ගත විය.

“ජූලියන් අසාන්ජ් ඇමරිකාවට පිටමං කිරීම වලක්වන ලෝක පරිමාන උද්ඝෝෂන ව්‍යාපාරයක් සඳහා: ඔහුගේ නිදහස සුරක්ෂිත කරගන්නා ගෝලීය ආරක්ෂක කමිටුවක් ගොඩනැගීම සඳහා!” කැඳවුම් කරමින් ලෝසවෙඅ කතෲ මන්ඩලය නිකුත් කල ප්‍රකාශය ද, ජුනි 24 දිනැති, “ලේඛක ශක්තික සත්කුමාර සහ කලාවේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!” යන ප්‍රකාශය ද ඒකච්ඡන්දයෙන් සභා සම්මත කරන ලදී.

කොමිටියේ නමද රැස්වීම් සභාව විසින් ඒකමතිකව සම්මත කල පසු කොමිටියේ සාමාජිකත්වය ගැනීමට ඇරයුම් කල අතර අවම මාසික සාමාජික මුදලක් වන රුපියල් සියයකට යටත්ව සාමාජිකත්වය ගැනීම සඳහා පැමින සිටි සියලු දෙනා පාහේ නම් ලබා දුන්හ.

අනතුරුව ක්‍රියාකාරී කමිටුවේ විධායක සභාවට සාමාජිකයන් එකොලහක් කමිටු සාමාජිකත්වයේ ජන්දයෙන් තෝරා පත්කර ගත් අතර සංජය ජයසේකර සභාපති ලෙසත්, තවත් සසප දේශපාලන මන්ඩල සභිකයෙකු හා සසජාතශි සාමාජිකයෙකු වන ප්‍රගීත් අරවින්ද ලේකම් ලෙසත් පත් කෙරිනි.

Share this article: