ඊජිප්තුව සිරකරුවන් නවදෙනෙක් එල්ලා මරයි

අධිරාජ්‍යවාදයේ පිටුබලය සහිත රාජ්‍ය මිනීමැරුම

Egypt hangs nine prisoners: State murder backed by imperialism

2019 පෙබරවාරි 22

කයිරෝවේ මිලිටරි ආඥාදායකත්වයේ ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කරන ක්‍රියාවක් සිදුකරමින්, වධබන්ධන පමුනුවා සිරකරුවන්ගෙන් ලබාගත් පාපෝච්ඡාරන යොදාගත් ව්‍යාජ නඩුවකින් පසුව පෙබරවාරි 20දා ඊජිප්තු බලධාරියෝ තරුනයන් නවදෙනෙක් එල්ලා මරා දැමූ හ.

20දා සංහාරය ජනාධිපති අබ්දෙල් ෆාටා අල්-සිසිගේ නියෝග මත මේ මාසය තුල මරා දැමූ දේශපාලන සිරකරුවන් ගනන 15කට ගෙන ආවේ ය: විනිසුරුවකුගේ පුතෙක් මරා දැමුවේ යයි කියමින් පෙබරවාරි 7දා තිදෙනෙකු මරනයට පත්කරන ලදී; 2013 දී පොලිස් නිලධාරියෙකු මරා දැමූ බව කියමින් පෙබරවාරි 13දා තවත් තිදෙනෙකු මරා දමනු ලැබී ය; ඉන්පසු 20දා එල්ලා මැරූ නව දෙනා 2015 දී ප්‍රධාන රාජ්‍ය චෝදක හිෂාම් බරකත් ඝාතනය කල බවට චෝදනා ලැබ සිටින 28 දෙනාගේ කන්ඩායමේ සාමාජිකයෝ ය.

කෲර වධබන්ධන හරහා ලබාගත් පාපෝච්ඡාරන හැරුනු විට 15 දෙනා සිදුකලා යයි අපරාධවලට සම්බන්ධ බවට වෙනත් කිසිදු සාක්ෂි නැත. මුලුමනින් ම සාක්ෂි රහිත ව නීතිය හෝ කරුනු නො තකා ආඥාදායකයා විසින් අනවන තීන්දු ලබාදෙන විනිසුරුවරුන් සහිත චූදිතයන් සිය ගනන් සම්බන්ධ නඩු අඩංගු වන්නා වූ, සාධාරනත්වය යන වචනය අපරූපනය කරන “අධිකරන” පද්ධතියක් අල්-සිසි තන්ත්‍රය විසින් මෙහෙයවයි.

“මිඞ්ල් ඊස්ට් අයි” හි පලවූ වාර්තාවකට අනුව, පෙබරවාරි 20දා මරා දැමූ මිනිසුන්ගෙන් කිහිප දෙනෙක් නඩු ඇසීමේ දී ඔවුන්ගේ පාපෝච්ඡාරන ප්‍රතික්ෂේප කර තිබුනි. වගඋත්තරකරුවන් ඔවුන්ගේ පාපෝච්ඡාරන ඉල්ලා අස් කරගැනීම හා ඔවුන් ව වධබන්ධනවලට ලක්කලේ කෙසේදැයි විස්තර කිරීම පෙන්නුම් කරන වීඩියෝ පටයකට සබැඳියක් ප්‍රවෘත්ති සේවය විසින් පලකලේ ය.

20දා මරා දැමූ 23 හැවිරිදි මහමුද් අල්-අහමදි උසාවියේ දී කීවේ: “බන්ධනාගාරයේ අප සමග සිටිමින් අපට වධබන්ධන පැමින වූ පොලිස් නිලධාරියෙක් මේ උසාවියේ ඉන්නවා. ඔහු ව පෙන්වීම අවශ්‍ය නම් මම එය කරනවා. මට ටේසරයක් දෙන්න, එතකොට මේ උසාවියේ ඉන්න ඕනෑම කෙනෙක් නො කල වරදක් කල බවට ඒත්තු ගන්නන්න පුලුවන්. අප ව විදුලි ධාරාවන්ට නිරාවරනය කලා. ඊජිප්තුවට අවුරුදු 20ක් විදුලිය සැපයිය හැකි තරමේ විදුලි බලයකට අප ව භාජනය කලා.”

20දා මරා දැමූ තවත් වගඋත්තරකරුවෙක් හා අල්-අෂාර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වන අබුල්කසීම් යුසූෆ්, තමන්ගේ ඇස් වසා පැය හතක් තිස්සේ එක දිගට උඩු අතට දොරේ එල්ලා “මගේ ශරීරයේ සංවේදී ස්ථානවලට” විදුලි ධාරා යැවූ බව උසාවියේ දී කීවේ ය.

නවතම මරා දැමීම් ජීවත්වීමේ අයිතිය කෙරෙහි අල්-සිසි තන්ත්‍රයේ කුදුමහත් නො තැකීම ප්‍රදර්ශනය කිරීමක් යයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් හෙලාදැක්කේ ය. “මෑත සති කිහිපයේ මුලුමනින් ම අසාධාරන නඩුවලින් පසු යලි යලිත් ජනයා මරනයට පත්කරන මෙම ලේ වැකි මරන ඝෝෂාව වහා ම නැවැත්වීමට ඊජිප්තු බලධාරීන් ක්‍රියා කල යුතු ය. මරා දැමීම් මෙලෙස ඉහල යාම හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව නිහඬ ව නො සිටිය යුතු ය. අවසාන නපුරු, මානව-විරෝධී හා අවමන්කාරී දඬුවම වන මරන දඬුවම බලධාරීන් විසින් යොදාගැනීම ප්‍රසිද්ධියේ හෙලාදකිමින් ඊජිප්තුවේ මිතුරෝ පැහැදිලි ආස්ථානයක් ගත යුතු ය” යි සඳහන් කරන ප්‍රකාශයක් එම කන්ඩායම විසින් නිකුත් කලේ ය.

මෙම ආයාචනය යොමු කර ඇති “ජාත්‍යන්තර ප්‍රජාව” සමන්විත වන්නේ ඊජිප්තු මිලිටරි තන්ත්‍රයටත්, එහි ගැඹුරු ම හා ලේ වැකි ම අපරාධවලටත් සහයෝගය දීමේ දී ඒකමතික වන ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ගෙනි.

සිසිගේ ලේ වැකි කඩාපැනීම නියෝජනය කරන්නේ, එක්සත් ජනපද පිටුබලය ලත් ආඥාදායක හොස්නි මුබාරක් පහකල මහජන විප්ලවවාදී ව්‍යාපාරය වන 2011 ඊජිප්තු විප්ලවයට එරෙහි ඊජිප්තු පාලක පන්තියෙහි ප්‍රතිචාරය යි. අව්‍යාජ සමාජවාදී නායකත්වයක් නැති තතු තුල විප්ලවයේ ප්‍රධාන පුද්ගලයන් මෙන් ම වඩා පලල් ලෙස විරුද්ධ පක්ෂ ද ඊජිප්තු පාලක ප්‍රභූව විසින් ලේ වැකි ලෙස විරේක කර ඇත.

2013 ජූලි මාසයේ දී ඡන්දයෙන් පත් වූ ජනාධිපති හා මුස්ලිම් සහෝදරත්වයේ නායක මොහොමඞ් මුර්සි පහකල මිලිටරි කුමන්ත්‍රනය හරහා බලය අල්ලා ගත් තැන් පටන්, කයිරෝ හා අනෙකුත් නගරවල දහස් ගනන් ඝාතනය කර ඇති මිලිටරිය දසදහස් ගනන් දෙනා සිරගත කොට වධබන්ධනවලට පමුනුවා ඇති අතර, කැලෑ උසාවිවලට වඩා වෙනස් නො වන නඩු ඇසීම් හරහා එය විසින් මරන දඬුවමට නියම කල සිරකරුවන් සිය ගනනක් ඝාතනය කිරීමේ යාන්ත්‍රනය වේගවත් කිරීම දැන් අරඹා ඇත. දැනට 737ක් පමන මරන දඬුවම නියම ව සිටින අතර ඉන් 51 දෙනෙකු සියලු අභියාචනයන්ගෙන් පරාජය වී ඇත.

මෙම අපරාධ සිදුකිරීම එක්සත් ජනපදය හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලයන් විසින් අල්-සිසි වැලඳගැනීමෙන් වලක්වා නැත. ඊට විපරීත ව, ඔහුගේ තන්ත්‍රය වඩ වඩා ලේවල ගිලෙද්දී, වොෂින්ටනය, බර්ලිනය, ලන්ඩනය හා පැරීසිය විසින් වඩ වඩා ඔහු ව වැලඳගෙන ඇත.

2015 ජුනි මාසයේ දී චාන්සලර් ඇන්ජලා මර්කෙල් සියලු ධනේශ්වර පක්ෂවල -මර්කෙල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය/ ක්‍රිස්තියානි සමාජ සංගමයට අමතර ව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, හරිතයන්, වාම පක්ෂය- නායකයන් විසින් කයිරෝ ඝාතකයා බර්ලිනයේ දී උත්කර්ෂයට නංවනු ලැබී ය.

2017 අප්‍රේල් මාසයේ දී ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් අල්-සිසිට ධවල මන්දිරයේ දී සංග්‍රහ කල අතර, එහි දී ට්‍රම්ප් වසරකට ඩොලර් බිලියන 1.3කටත් වැඩි වන එක්සත් ජනපද යෝධ මිලිටරි ආධාර දිගට ම ලබාදෙන බවට පොරොන්දු විය. පසුගිය මාසයේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කයිරෝවට ගමන් කොට උන්මත්තක ඉරාන-විරෝධී කතාවක් කල අතර, “මැද පෙරදිග සියලු නායකයන්ට හා සියලු ජනතාවන්ට ආදර්ශයක්” ලෙස ඊජිප්තු ආඥාදායකත්වය උත්කර්ෂයට නැංවී ය.

යන්තම් දවස් 25කට පෙර, රටෙහි “කහ කබා” විරෝධතා පැවැත්වෙන අතර තුර කයිරෝවට සංචාරය කල ප්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහජන ව්‍යාපාරයක් ලෙයෙහි ගිල්වන්නේ කෙසේදැයි පෙන්වා ඇති ජනාධිපතියා සමග සාකච්ඡා පැවැත්වී ය. රෆාලේ ප්‍රහාරක යානා හා සන්නද්ධ රථ ඇතුලු ආයුධ වැඩියෙන් සැපයීමට මැක්රොන් එහි දී එකඟ විය.

ලෝසවෙඅ ඒ සමයේ විස්තර කල පරිදි, අල්-සිසි හමුවීමට මැක්රොන් කල සංචාරය සමාන වූයේ ප්‍රන්ස කම්කරුවන් හා තරුනයන් අතරින් ඔහුගේ ආන්ඩුව කෙරෙහි වර්ධනය වන විරෝධය කෙරෙහි තුනී ලෙස ආවරනය කල තර්ජනයකට යි. එය, ප්‍රන්ස පාලක ප්‍රභූව “ලොව පුරා ධනපති පන්තිය ආඥාදායක පාලන රූප කරා වන විශ්වීය හැරීම මධ්‍යයේ සමාජ විරෝධය මර්දනය කිරීම රුදුරු ලෙස තීව්‍ර කිරීමට සූදානම් වෙමින් සිටින” බව ප්‍රකාශයට පත්කිරීමකි.

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, යුරෝපා සමුලු සභාපති ඩොනල්ඞ් ටස්ක් හා යුරෝපා කොමිසමේ සභාපති ෂෝන්-ක්ලෝඞ් යුන්කර් ඇතුලු රාජ්‍ය නායකයන් 20කට අධික පිරිසකට ජනාධිපති අල්-සිසි සත්කාරකත්වය දරන යුරෝපා සංගමයේ හා අරාබි ලීගයේ ප්‍රථම ඒකාබද්ධ සමුලුව ඊලඟ සති අන්තයේ ෂාම් අල්-ෂීක්හි දී පැවැත්වෙනු ඇත.

මෙම සමුලුවට දින කිහිපයක් පමනක් තිබිය දී ඊජිප්තු තන්ත්‍රයට ඝාතන නවය ක්‍රියාවට දැමීමට හැකිවීමේ කාරනය ම, ෂාම් අල්-ෂීක් වෙත රැස්වන ඔහුගේ සහචර අරාබි ඒකාධිපතියන්ගෙන් මෙන් ම යුරෝපා සංගමයේ “ප්‍රජාතන්ත්‍රවාදී” නායකයන්ගෙන් ද ඊජිප්තු කම්කරු පන්තිය කෲර ලෙස මර්දනය කිරීම සඳහා තමන්ට පූර්න පිටුබලය ලැබෙනු ඇතැයි අල්-සිසිට පවතින විශ්වාසය පිලිබඳ සාක්ෂියකි.

ජෙනරාල් අල්-සිසි 2018 දී තමන්ගේ ම යලි තේරී පත්වීම ක්‍රියාවට දමන ලද්දේ, ඔහුගේ සියලු ම විය-හැකි විරුද්ධවාදීන් එක්කෝ සිරගත කොට හෝ නැතහොත් තර්ජනය කිරීම් හරහා තරඟයෙන් අයින් කර තිබුනු තතු යටතේ ය. ඔහු විරුද්ධ ව තරඟ කිරීමට නිර්භීත වූ එක් හමුදා නිලධාරියෙකු වූ සාමි අනන් ව වහා ම දස අවුරුදු සිර දඬුවමකට ලක්කෙරුනි. එහෙත් 2018 යලි තේරී පත්වීම සන්සන්දනාත්මක ව ප්‍රජාතන්ත්‍රවාදී මොඩලයක් යයි පෙනෙන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පිලිබඳ ව මහ හඬින් කරන කෑගැසීම, අල්-සිසිගේ ආන්ඩුවේ “සුජාතභාවය” පිලිබඳ ව නැත.

සති දෙකකට පෙර අල්-සිසිගේ දේශපාලන හෙංචයියන්ගෙන් සමන්විත වන ඊජිප්තු පාර්ලිමේන්තුව, ජනාධිපති ධූර කාලය වසර හතරේ සිට හය දක්වා දීර්ඝ කරන හා ධූර කාල දෙකෙහි සීමාව අල්-සිසිගෙන් ඉවත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් පිලිබඳ ව සලකා බැලීම ඇරඹී ය. එහි ප්‍රතිඵල වසයෙන්, 2022 දී අවසන් වන අල්-සිසිගේ වත්මන් (හා අවසාන යයි උපකල්පිත) ධූර කාලය ඉක්මවා ඔහුට තවත් වසර 12ක් බලයේ සිටීමට ඉඩ සලසනු ඇත. මෙමගින් 2034 දක්වා ජනාධිපති ධූරයේ සිටීමට අල්-සිසිට හැකියාව දෙනු ඇති අතර, ඒ වන විට 2011 දී පහකල ඔහුගේ පූර්වගාමී මිලිටරි පාලක හොස්නි මුබාරක් බලයෙන් ඉවත් කිරීමේ දී වූ වයසට වඩා අවුරුදු දෙකක් පමනක් අඩු වෙමින් ඔහුගේ වයස අවුරුදු 80ක් වනු ඇත.

කවර ලිඛිත සැලසුම් සකස් කල ද මුබාරක්ගේ දීර්ඝ රාජ්‍ය පාලන කාලය ඉක්මවීමේ අල්-සිසිගේ ඉලක්කය සාර්ථක වනු ඇත යන්න අතිශයින් සැකසහිත ය. ඊජිප්තු ජනගහනයෙන් සියයට 40කටත් වඩා ආන්තික දරිද්‍රතාවේ ජීවත් වන්නේ දිනකට ඩොලර් 2කට අඩු ආදායමක් මත රැඳී සිටීමට බලකෙරෙමිනි. ආර්ථික වර්ධනය නො ගිනිය හැකි තරම් වන අතර, වැඩිදුර නය ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් අනවන කප්පාදු පිලිවෙත්, රැකියා හා ජීවන තත්ත්වයන් මත ප්‍රහාර තීව්‍ර කිරීම පමනක් කරනු ඇත.

තන්ත්‍රය කෙරෙහි කම්කරු පන්තික විරෝධය වැඩෙමින් පවතී. නයිල් ඩෙල්ටාවේ ඇඟලුම් මෝල් නගර වැනි කම්කරු පන්තික ප්‍රදේශවල වැඩ වර්ජන පුපුරා යාම වැලකීමට ම්ලේච්ඡ මර්දනය පවා සමත් ව නැත. ඉතා මෑත දී ටියුනීසියාවේ පැවති මහා වැඩ වර්ජනය සහ මොරොක්කෝවේ ගුරුවරුන් හා අනෙකුත් කම්කරුවන් නිරත වුනු මහජන වර්ජන වැනි කම්කරු පන්තියේ මහජන අරගල උතුරු අප්‍රිකාව පුරා පවතී.

මෙම කොන්දේසි යටතේ වඩාත් තීරනාත්මක ප්‍රශ්නය වන්නේ 2011 ඊජිප්තු විප්ලවය පාවාදීමේ පාඩම් පරිස්සමින් අධ්‍යයනය කිරීමක් ද අද දින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරියට ගෙන යන කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ අරගලයෙහි ඉතිහාසය සමීකරනය කරගැනීම ද මත පදනම් ව ඊජිප්තු කම්කරු පන්තියේ ද උතුරු අප්‍රිකාව හා මැද පෙරදිග පුරා ද නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම යි.

පැට්‍රික් මාටින්

Share this article: