ඇමරිකාවේ සහ ලංකාවේ ආන්ඩු අර්බුදයන් ගැන ඩේලි මිරර් කතුවැකිය සහ එම අර්බුදයන්ගේ සැබෑ ගම්‍යයෝ

2019 ජනවාරි 17

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් 2018 අවසානයේ දී එරට කෙටි කාලීන රාජ්‍ය වැය ශීර්ෂය සඳහා තම අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග එක්සත් ජනපද ආන්ඩුව අකර්මනය වීමත්, 2018 ඔක්තෝබරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඇතිවූ තත්වයත් අතර සමාන්තරයන් අඳිමින්, ශ්‍රී ලංකාවේ පාලක පන්තිය මුහුන දී සිටින අන්තරායන් පෙන්වාදෙන ජනවාරි 14 වන දා ඬේලි මිරර් කතුවැකිය මෙසේ පවසයි:

“එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ තත්වයන් අතර බොහෝ සමානකම් අපි දකින්නෙමු. ශ්‍රී ලංකාවේදී, අගමැතිවරයා සම්බන්ධයෙන් පවත්නා පුද්ගලික නුරුස්නාව හේතුවෙන්, රටෙහි ව්‍යවස්ථාව ඉක්මවා ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා පෙලැඹුනි.

“එමෙන්ම එක්සත් ජනපදයේදී, ජනාධිපති ට්‍රම්ප්, තම පුද්ගලික ව්‍යාපෘතීන් සඳහා රාජ්‍ය අරමුදල් සම්පාදනය කරදෙන ලෙස ව්‍යවස්ථාදායකයෙන් ඉල්ලමින්, තම දේශපාලන ක්‍රීඩාව සඳහා මධ්‍යම ආන්ඩුවේ සේවකයන් ප්‍රානඇපකරුවන් ලෙස රඳවාගෙන සිටී.”

රනිල් වික්‍රමසිංහ යලි කිසිවිටෙකත් අගමැති තනතුරට පත් නොකරන බවට සහ එසේ පත්වුවහොත් තමා ජනාධිපති තනතුරේ පැයක්වත් නොරැඳී ඉවත් වන බවට සිරිසේන පැවසූ දෑ ඔහු විසින් ආපසු හැරවූ අයුරින් ට්‍රම්ප් ද තම ආස්ථානයෙන් ආපසු හැරෙමින් සිටින බව, ආන්ඩුව අකර්මන්‍ය වී දින 21 කට පසු ඔහු කල ප්‍රකාශයෙන් ප්‍රකට කෙරෙන බව ඬේලි මිරර් කතුවැකිය තවත් සමාන්තරයක් ලෙස සඳහන් කරයි.

එක්සත් ජනපදය තුලට සංක්‍රමනිකයන් ඇතුලු‍වීම වැලැක්වීම සඳහා එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාව වෙන් කරමින් තාප්පයක් ඉදිකිරීම සඳහා වන තම ව්‍යාපෘතියට ව්‍යවස්ථාදායකයෙන් මුදල් අනුමත කරදෙන තෙක් කෙටි කාලීන රාජ්‍ය වැය ශිර්ෂයට අත්සන් කිරීම ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින තතු තුල, ආන්ඩුව අකර්මන්‍ය වී ඇති අතර, මධ්‍යම ආන්ඩුවේ සේවකයන් 800,000 ක් තම රැකියා සහ වැටුප් අහිමිවීමේ අනතුරට මුහුන දී ඇත.

කතුවැකිය මූලික වශයෙන් උනන්දුවන්නේ, මෙම අර්බුදයන් හේතුවෙන් දෙරටෙහි ජීවත්වන දසදහස් සංඛ්‍යාත කම්කරුවන් ඇතුලු‍ පීඩිත මහජනතාව මුහුන දී ඇති අන්තරායකාරී තත්වය පිලිබඳව නොව, රටවල් දෙකෙහිම ධනේශ්වර පන්ති පාලනය අස්ථාවරවීම සම්බන්ධයෙනි.

ව්‍යවස්ථාදායකය සහ විධායකය “සම්මුතියකට” පැමිනිය යුතු බවත්, එකකින් අනෙක “අස්ථාවර” නොකලයුතු බවත්, එසේ කලහොත්, රට “අස්ථාවර” සහ “අරාජක” වියහැකි බවත් කතුවැකිය පවසයි.

එක්සත් ජනපදයේ පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යයන් මෙන්ම, ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ පාර්ශ්වයෙන් වඩා සංවේදී පුවත්පතක් වන ඬේලි මිරර්, රටවල් දෙකෙහිම පාලක පන්තීන් මුහුන දී ඇති බරපතල අර්බුදයේ සැබෑ මූලය දැනුවත්ව වසන් කරමින්, එය ජනාධිපතිවරුන් දෙදෙනාගේ පුද්ගලික පෞරුෂයේ පවත්නා දෝෂයන් හි ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වීමට යත්න දරයි.

ලෝක සමාජවාදී වෙබි අඩවිය (ලෝසවෙඅ) දිගින් දිගටම පෙන්වා දී ඇති පරිදි, වසර 200 ක ව්‍යවස්ථාදායක පූර්වාදර්ශ පාගා දමමින් ට්‍රම්ප් ගෙනයන පාලනය හුදෙක් ඔහුගේ ම ආධිපත්‍යධාරී මනාපයන්ගේ ප්‍රතිඵලය නො වේ. බිලියනපති වංචාකාරයෙකු ඉහල ම ව්‍යවස්ථානුකූල තනතුරට එසවුනු ට්‍රම්ප්ගේ ජනාධිපතිකම ම, ගෙවී ගිය විසි වසර තුල ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වූ ආන්තික ඛාදනයේ ප්‍රතිඵලයකි.

ලෝසවෙඅ ජනවාරි 7 දා ඉදිරිදර්ශනයෙන් පැහැදිලි කර ඇති පරිදි ට්‍රම්ප් සහ එක්සත් ජනපද ව්‍යවස්ථාදායකය අතර ගැටුමේ සැබෑ මූලය මිරර් කතුවැකිය දක්වනවාට වඩා දුරදිගගිය එකකි: “‘දේශසීමා’ තාප්පය මත ගැටුම පිටුපස පවතින සැබෑ කාරනය වන්නේ, මූලිකව ම විදේශ ප්‍රතිපත්තිය පිලිබඳව එක්සත් ජනපද පාලක ප්‍රභූවේ විවිධ ප්‍රතිගාමී කන්ඩායම් අතර ඉදිරියට ඇදෙන ගැටුම යි--විශේෂයෙන් ම සිරියාවෙන් එක්සත් ජනපද හමුදා ආපසු ගැනීමේ හා ඇෆ්ගනිස්තානයේ හමුදා භටයින් අඩු කිරීමේ ට්‍රම්ප්ගේ නියෝග හා ප්‍රධාන ක්ෂනික හතුරා ලෙස රුසියාව වෙනුවට චීනය මත යොමු වීමේ ඔහුගේ තීරනය මත ඉදිරියට ඇදෙන ගැටුම යි. වඩා පලල් ලෙස, එය පිලිබිඹු කරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය රට තුල මෙන් ම විදේශයන් හි මුහුන දෙමින් සිටින සංකීර්න අභියෝග සමග බුද්ධිමත් ලෙස ගනුදෙනු කිරීමට ට්‍රම්ප් අසමත් බවට වැඩෙන උත්සුකය යි”

වසර මැද චන්දයෙන් පැරදීමත් ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ තර්ජනයත් කරෙහි ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ සිය ෆැසිස්ට් සහයෝගී පදනම්වලට අයාචනා කිරීම සහ අධිපතිවාදි වැඩ පිලිවෙලකට හැරීමයි. පාලක පන්තිය තුල ගැටුමේ පාර්ශව, එනම් ට්‍රම්ප් හා ඩිමොක්‍රැටිකයන් තරයේම ප්‍රජාතන්ත්‍ර විරෝධීන් ය. ට්‍රම්ප් ව්‍යවස්ථාවමත් පාගාගෙන අධිපතිවාදී පාලනයකට හැරී සිටියි. ඩිමොක්‍රැටිකයන් ට්‍රම්ප්ට එරහිව මිලිටරියට ආයාචනා කරයි. දෙපාර්ශ්වයම කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමක් ගැන භීතියෙන් පෙලෙති. කම්කරුවන් ට්‍රම්ප් ආන්ඩුවට එරහිව අරගලයට දිරිමත්කෙරෙන කිසිවක් නොකිරීමට ඩිමොක්‍රැටිකයෝ ප්‍රවේශම් වෙති.

කම්කරු පන්තිය දේශපාලන යුද්ධයක යෙදෙන පාලක පන්තියේ මෙම දක්ෂිනාංශික කොටස්වලට මූලිකත්වය ගැනීමට ඉඩ නොදී තමන්ගේ ස්වාධීන සමාජවාදී ඉදිරිදර්ශනය මත මැදිහත්වීම තීරනාත්මක වී ඇත.

පසුගිය ඔක්තෝබර් 26 වන දා සිරිසේන විසින්, ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයක් හරහා වික්‍රමසිංහ අගමැති තනතුරෙන් පහකොට එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කලේ හුදෙක් වික්‍රමසිංහ පිලිබඳ සිරිසේනගේ “පුද්ගලික නුරුස්නාව” නිසා නොවේ.

එක්සත් ජනපදයේ මෙන්ම ශ්‍රී ලංකාවේද, අන් සෑම රටකම සිද්ධීන් ධාවනය කෙරෙනුයේ භූගෝලය පුරා සමාජ-ආර්ථික ජීවිතය හැඩගස්වමින් තිබෙන ලෝක ධනවාදයේ බිඳවැටීමෙන් හටගත් ක්‍රියාවලීන් විසින් ම ය. මානව වර්ගයා තුන්වන ලෝක යුද්ධයකට ඇදගෙන යාමට තර්ජනය කරන්නා වූ එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් පුනර්ජීවනය කෙරුනු මිලිටරිවාදය හා මහා බලයන්ගේ මූලෝපායික එදිරිවාදිකම් මෙම ක්‍රියාවලීන් අතර ප්‍රමුඛ එකකි. මෙම වර්ධනයන්ම අනෙක් අතට, ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලවල පුනර්ජීවනයක් උද්ගතකර ඇත්තේ ධනපති පන්ති පාලනයන් බරපතල අර්බුදයකට ඇද දමමිනි.

ලංකාවේ දේශපාලන අර්බුදය තියුනු කෙරුනු ප්‍රධාන කරුන වන්නේ වැඩකරන ජනයාගේ පන්ති අරගලවල පුනර්ජීවනය යි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව හා ලංකාවේ පාලක පන්තියේ සියලු‍ කන්ඩායම තැතිගන්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත එල්ල කෙරුනු ප්‍රහාරවලට ප්‍රතිරෝධය දක්වමින් පසුගිය කාලය තුල පන්ති අරගල මාලාවක් වැඩී ආවේය. වාර්ගික භේද කිරීම් නොතකා, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ අරගල වර්ධනය වීම වැදගත් ලක්ෂනයක් විය. ඒවා සමග ගොවීන්ගේ හා සිසුන් ඇතුලු‍ තරුනයන්ගේ අරගල සමපාතවිය. ආන්ඩුවේ කඩාපැනීම් සමග එකට වෘත්තිය සමිති ව්‍යාජ වාම සංවිධානවල ද ආධාරයෙන් ඒවා පීලිපැන්වීමට ක්‍රියාකල ද සමාජ ප්‍රතිරෝධය පිපුරුම් සහගතව පවතින බව මේ ධනපති කන්ඩායම් දනිති.

මෙම තතු තුල, 2018 පෙබරවාරි පලාත් පාලන මැතිවරනයේදී පලාත් පාලන ආයතන බහුතරයක බලය තහවුරුකර ගැනීමට රාජපක්ෂගේ පොදුජන පෙරමුන සමත් වූයේ බොහෝ ජනයා ආන්ඩුවට තම විරුද්ධත්වය දැක්වීම සඳහා ඊට චන්දය දීම නිසාය. දැවැන්ත පරාජයක් ලද සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෙවැනි තැනට ඇද වැටුනි. ආන්ඩුවේ ප්‍රහාරයන්ගේ පූර්න වගකීම වික්‍රමසිංහට පවරමින් සිරිසේන ඔහුගෙන් දුරස්ථවීම විවෘතවම ආරම්භ කලේ මෙතැන් සිටයි.

රාජපක්ෂ කඳවුර සමග එක්වීම තම පදනම් යලි තහවුරුකර ගැනීමට ද සමාජ පිපිරීම් තලා දැමීමටද මාර්ගය ලෙස ගනන් බැලූ සිරිසේන ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයක යෙදී තන්ත්‍ර මාරුවකට පැන ගත්තේය.

වොෂින්ටනය රාජපක්ෂ අගමැතිකමට පත් කිරීමට එරෙහිව වහාම ක්‍රියාත්මක විය. ඊට හේතුව බලයේ සිටි කාලයේ ඔහු ආයෝජන, නය හා යුද අවි ලබාගනිමින් චීනය සමග සම්බන්ධතා තරකර ගැනීම තම මූලෝපායික උවමනාවන්ට එරෙහිවන බව එක්සත් ජනපදය විසින් සලකනු ලැබීමයි. රාජපක්ෂ යුද්ධය යලි ඇරඹීමට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට සහාය දුන් නමුත් 2015 ජනාධිපතිවරනයේදී රාජපක්ෂ ඉවත්කර සිරිසේන බලයට ගෙන ඒමේ තන්ත්‍ර මාරුවකට වික්‍රමසිංහ ඇතුලු‍ ලංකාවේ පාලක පන්තියේ කොටස් ද මෙහෙයවා ගෙන වොෂින්ටනය ක්‍රියාත්මක වූයේ ඒ හේතුව නිසාය.

පසුගිය අවුරුදු හතරේ සිරිසේන හා වික්‍රමසිංහ චීනයට එරෙහිව ඇමරිකාව විසින් තරකෙරන මිලිටරි වැඩකටයුතුවල ලංකාව සමීපව ඒකාග්‍ර කර ඇත. මේ මිලිටරි හා දේශපාලන සම්බන්ධතා අවුලට යාම වලක්වා ගැනීම සඳහා වික්‍රමසිංහ යලි අගමැතිකමේ පිහිටුවීමට වොෂින්ටනය එකදිගටම බලපෑම් කලේය. එසේ කලේ රාජපක්ෂ සිය දූතයන් ලවා තමන් ඇමරිකාව ඇතුලු‍ බටහිර අධිරාජ්‍යවාදීන් සමග ගනුදෙනු කිරීමට සූදානම්බව පුනපුනා පෙන්වාදෙද්දී ය. එක්සත් ජනපද පීඩනයන් මෙලෙස යෙදෙද්දී, ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීති විරෝධිබව තීන්දුකල තතු යටතේ සිරිසේනට තම ආන්ඩුමාරුව අකුලා ගන්නට සිදුවිය. එහෙත් දෙපාර්ශ්වය අතර ගැටුම දිගටම යයි.

ලංකාවේ දේශපාලනය භූදේශපාලන කොන්දේසි සමග මෙන්ම කම්කරු පන්තියේ ජාත්‍යන්තර පුනර්ජීවනය සමග ගැටගැසී ඇත්තේද එමගින් හැසිරවෙමින් පවතින්නේ ද ඒ අයුරිනි.

“තෙමසකට ආසන්න කාලයක් ඇදීගිය ව්‍යවස්ථාමය අර්බුදය අවසානයේදී විසඳුනේ දිවයින් ජාතියෙ හි ශ්‍රේෂ්ඨාධිකරනයෙහි මැදිහත්වීම” නිසා බවට ඬේලි මිරර් කතුවැකිය පවසන නමුත් එය පිටුපස පැවති ඉහතින් අප සඳහන් කල යථා හේතූන් වහංගු කරයි.

එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ආන්ඩු අර්බුදය, ධනවාදයේ නිශ්චිත යුගයක පැන නංවන ජාත්‍යන්තර ප්‍රපංචයක ප්‍රකාශනයකි. ධනේශ්වර ප්‍රභූවේ සියලු‍ කන්ඩායම් ප්‍රතිගාමීත්වයට හා ආධිපත්‍යවාදයට හැරෙන තතු තුල ප්‍රජාතන්ත්‍රවාදී, නෛතික-ව්‍යවස්ථාමය පාලන ක්‍රමයන්ගේ බිඳවැටීම මෙම යුගයේ මූලික අංග ලක්ෂනය කි.

මෙය ධනවාදී මරලතෝනියේ යුගය ලෙස හඳුන්වන ලියොන් ට්‍රොට්ස්කි එහි ස්වභාවය පිලිබඳව මෙසේ පවසයි:

“මානව වර්ගයාගේ නිෂ්පාදන බලවේග එක තැන පල්වෙයි. නව සොයාගැනීම් හා වැඩිදියුනු කිරීම් මේ වනවිටත් ද්‍රව්‍යම වස්තු සම්භාරයේ මට්ටම නැංවීමට අසමත්ය. සමස්ත ධනේශ්වර ක්‍රමයේ සමාජ අර්බුද තත්වයන් යටතේ මතුවන ප්‍රාසංගික අර්බුදයෝ එන්න එන්නම බරපතල වන නැතිබැරියාවන් හා දුක්පීඩා ජනතාව මත පටවති. වර්ධනය වන විරැකියාව රාජ්‍යයේ මුදල් අර්බුදය ගැඹුරු කර අස්ථාවර මුල්‍ය පද්ධතීන්ගේ අඩිතාලම බිඳ දමයි. ෆැසිස්ට්වාදී පාලනයන් මෙන්ම ප්‍රජාතාන්ත්‍රික පාලනයෝද එක් බංකොලොත් කමක සිට තවෙකකට ලු‍හුටා යයි.” (ධනවාදයේ මරලතෝනිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, 1938)

ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලක පන්තියේ කිසියම්ම කොටසකට මූලිකත්වය ගැනීමට ඉඩදී පසෙකටවී සිටීමට කම්කරු පන්තියට නොහැක. ඔවුන් කම්කරුවන්ට හා දුගීන්ට ගෙන එන්නේ සමජ අසමානතාව, යුද්ධය, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දැමීම හා ඒකාධිපති පාලනයයි. කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලයක් ලෙස ධනපති පන්තියේ සියලු‍ම කොටස්වලින් වෙන්ව ඇමරිකාවේ ලංකාවේ සමාජවාදී ආන්ඩු පිහිටුවීමට සටන් කල යුතුවේ.

පානි විජේසිරිවර්ධන

Share this article: