වෘත්තීය සමිතිවල පාවාදීමේ වැටුප් ගිවිසුමට ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෝ විරෝධය දක්වති

Sri Lankan plantation workers protest unions’ sellout wage deal

එම්. දේවරාජා හා ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 ජනවාරි 29

ආන්ඩුවේ පිටුබලය සහිත ව වෘත්තීය සමිති හා වතු සමාගම් අත්සන් කල පාවාදීමේ වැටුප් ගිවිසුමකට විරුද්ධ ව, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවන් දහස් ගනනක් ජනවාරි 28 දා වැඩ වර්ජන හා විරෝධතා පැවැත්වූ හ.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ දූගී ම කොටසක් වන වතු කම්කරුවෝ සියයට 100ක දෛනික වැටුප් වැඩිකිරීමක් ඉල්ලා දිග්ගැස්සුනු අරගලයක නිමග්න ව සිටියහ. වෘත්තීය සමිතිවල තැරැව්කාරකමෙන් සැකැසුනු ගිවිසුම යන්තම් සියයට 40ක පමන වැටුප් වැඩිකිරීමක් ලබා දෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයේ දී මෙම සාමූහික ගිවිසුමට වතු සමාගම් නියෝජනය කරමින් ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය (ඊඑෆ්සී) ද ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක ආරුමුගම් තොන්ඩමන් හා ලංකා ජාතික වතු කම්කරු සමිතියේ (එල්ජේඊඩබ්ලිව්යූ) ලේකම් හා රාජ්‍ය ඇමති සුරේෂ් වඩිවේල් ද ජනවාරි 28 දා අත්සන් තැබූ හ.

හැටන්-කොලඹ මහා මාර්ගය අවහිර කරන කම්කරුවන්

වැලිඔය, ස්ට්‍රැත්ඩන් හා ඔස්බෝන් වතුවල සහ ඇබොස්ලී වත්තේ මොන්ටිෆියෝර් අංශයේ කෝපයට පත් කම්කරුවන් 1,000 ක් පමන විරෝධය පලකරමින් වර්ජනයේ යෙදී ගත්හ. හැටන් නගරයෙහි දී එකතු වුනු ඔවුහු කොලඹ-හැටන් මහා මාර්ගය පැය කිහිපයකට අවහිර කල හ.

ගිවිසුම හා වෘත්තීය සමිති නායකයන් හෙලාදකිමින් කම්කරුවෝ සටන් පාඨ හඬනැගූ හ. හැටන් අසල පුලියවත්ත හා ඈන්ෆීල්ඞ් වතුවල කම්කරුවන් ද වර්ජනයේ යෙදුනි. බොගවන්තලාව අසල වතුවල කම්කරුවෝ ජනවාරි 27 හා 28 දිනවල විරෝධතා පැවැත්වූ හ. කම්කරුවන් සිය ගනනක් තම විරෝධය පලකිරීම සඳහා කඳුකරයේ තවත් නගරයක් වන හපුතලේ වෙත කිලෝමීටර කිහිපයක පාගමනකින් පැමිනුනි.

ඇබොස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව් සභාපති පී. සුන්දරලිංගම් ඊයේ පැවති හැටන් රැලියට සහභාගි වුනි. ඔහු ලෝසවෙඅ ට මෙසේ කීවේ ය: “වෘත්තීය සමිතිවල මෙම පාවාදීමෙන් කම්කරුවන් පාඩම් උගත යුතු යි. තොන්ඩමන් හා වඩිවේල් සුරේෂ් පමනක් නො ව, ජාතික කම්කරු සමිතියේ (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) හා ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුනේ (ඩීපීඑෆ්) නායකයන් වන, පී. දිගම්බරම්, ආර්. රාධා ක්‍රිෂ්නන් හා මනෝ ගනේෂන් මෙම පාවාදීමට වගකිව යුතු යි.

“මේ ගිවිසුම අත්සන් කලේ අගමැති කාර්යාලයෙ දි. ඒකෙන් පෙනෙන්නෙ ගනුදෙනුව සංවිධානය කලේ ආන්ඩුව බව යි. දිගම්බරම්, රාධාක්‍රිෂ්නන් හා මනෝ ගනේෂන් ආන්ඩුවෙ ඇමතිවරු. සියලුම වෘත්තීය සමිති, සමාගම්වලට හා ධනේශ්වර පාලනයට සහයෝගය දෙනවා. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න කම්කරුවො වෘත්තීය සමිතිවලින් බිඳිල හැම වත්තක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු යි.”

පසුගිය මාසයේ වතු කම්කරු වර්ජනය සමයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මැදිහත්වීමෙන් පසුව කම්කරුවන් විසින් ඇබොස්ලී ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන ලදී. සමිතිවල ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට හා සෑම වත්තක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කැඳවුම් කරමින් ජනවාරි 27දා ඇබොස්ලී ක්‍රියාකාරී කමිටුව යෝජනාවක් සම්මත කලේය.

ජනවාරි 25දා පැවති සාකච්ඡාවල දී සීඩබ්ලිව්සී, එල්ජේඊඩබ්ලිව්යූ හා ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජේපීටීයූසී) යන වෘත්තීය සමිති තුන වික්‍රමසිංහ ආන්ඩුවේ සහයෝගය සහිත ව ඊඑෆ්සීය විසින් කල වැටුප් යෝජනාවලට එකඟ වූ හ.

මෙම ගිවිසුම “විය හැකි හොඳ ම දෙය” ලෙස ජනවාරි 25 දා ජේපීටීයූසී නායක රාමනාදන් විසින් උත්කර්ෂයට නැංවී ය. කම්කරුවන් අතර කෝපය අපසරනය කිරීමේ උත්සාහයක යෙදෙමින් ඔහු ජනවාරි 28දා ගිවිසුමට අත්සන් නො කල අතර, පැමිනීමේ හා ඵලදායිතා දීමනා අහෝසි කිරීම පිලිබඳ ව්‍යාජ විවේචන ඉදිරිපත් කලේ ය.

මෙම ගිවිසුම යටතේ මූලික වැටුප රුපියල් 200 කින් 700 දක්වා ඉහල දමනු ඇත. දලු මිලට ගෙවන අතිරේක දීමනාව රුපියල් 30 සිට 50 දක්වා ඉහල දැමේ. මේ සියල්ල සමගින් කම්කරුවෙකුට දිනකට රුපියල් 750 ක දල වැටුපක් පමනක් උපයාගත හැකි ය.

කලින් මසකට දින 24 ක් වත්තේ වැඩට පැමිනෙන කම්කරුවන්ට රුපියල් 140ක පැමිනීමේ දීමනාවක් හා රුපියල් 60ක ඵලදායිතා දීමනාවක් ගෙවනු ලැබී ය. මෙම දීමනා දෙක අහෝසි කිරීමට වෘත්තීය සමිති එකඟ වී ඇත.

වතු කලමනාකාරීත්වයේ ඉලක්කය ඉක්මවා නෙලන තේ දලු කිලෝ ප්‍රමානයට ගෙවන බෝනස් මුදල රුපියල් 25 සිට 40 දක්වා ඉහල යයි. මෙහි අර්ථය වන්නේ රුපියල් 750 ඉක්මවා උපයා ගැනීම සඳහා කම්කරුවන්ට ඔවුන් දැනට මත් කරන කොඳුකැඩෙන වැඩවලට වැඩියෙන් වැඩ කිරීමට බලකෙරෙනු ඇති බව යි.

ඔක්තෝබරයේ පටන් කම්කරුවන්ට ගෙවීමට නියමිත හිලවු දීමනා ගෙවීමට සමාගම්වලට හැකි වනු පිනිස රුපියල් මිලියන 100ක සම්පූර්න ආධාරයක් හා රුපියල් මිලියන 50ක පොලී රහිත නයක් සමාගම්වලට ලබාදීමට ද ආන්ඩුව පොරොන්දු වී ඇත.

ගිවිසුම තුල අඩංගු මෙම වගන්ති සියල්ල ප්‍රසිද්ධ කිරීම සමිති, ආන්ඩුව හා මාධ්‍ය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය වසරේ වැටුප් ආරවුල පුරාම සමාගම් අවධාරනය කලේ ලෝක වෙලඳපොල තුල තරඟ කිරීමට තමන්ට ඇති හැකියාව අනතුරේ හෙලන පාඩුවලට තමන් මුහුන දෙමින් සිටින බව යි. දැනට පවතින වැටුප් ක්‍රමය ආදායම් බෙදාගැනීමේ ක්‍රමයක් මගින් විස්ථාපනය කිරීම වැවිලි කරුවන්ගේ සංගමය විසින් යලි යලිත් ඉල්ලා ඇත.

මෙම ක්‍රමය යටතේ සෑම කම්කරුවෙකුට ම තේ පඳුරු 1,000කට ආසන්න ප්‍රමානයක් ලබා දේ. සමාගමේ ලාබ හා පිරිවැය අඩු කරගැනීමෙන් පසු ඉතිරිවන ආදායම පමනක් කම්කරුවන්ට ලැබේ.

මෙහි ඉලක්කය වන්නේ කම්කරුවන් ව වැටුප් හෝ කිසිදු අයිතිවාසිකමක් රහිත අඳගොවියන් බවට පරිවර්තනය කිරීම යි. මෙම ක්‍රමය ක්‍රියාවට දමා ඇති වතු කිහිපයක කම්කරුවන් එයට විරෝධය පා ඇත්තේ, ඔවුන්ගේ මුලු පවුල ම ඉඩම් කොටසේ කැඹුරුව ද ජීවත් වීමට තරම් මුදලක් හම්බ කරගත නො හැකි නිසාවෙනි.

සමාගම් හා සමිති ආදායම් බෙදාගැනීමේ ක්‍රමය හඳුන්වාදීමට හැකියාව දෙන වගන්ති නව ගිවිසුමට ඇතුලත් කර තිබීම සැබෑ අන්තරායකි. එය එලෙස නො වුනත් වැඩිදුර ප්‍රහාර සඳහා මාවත වෘත්තීය සමිති විසින් හෙලිපෙහෙලි කර දී ඇත.

මෙම පාවාදීමට සියලු වෘත්තීය සමිති වගකිව යුතු ය. එන්යූඩබ්ලිව්, ඩීපීඑෆ් හා යූපීඑෆ් ගිවිසුමේ ඍජු පාර්ශවකරුවන් නො වුනත් නිශ්ශබ්දව සිටිමින් එයට සහයෝගී සංඥාවන් පල කරයි. වතු කම්කරුවන්ගේ කාර්මික හා දේශපාලන ක්‍රියාවන් ආන්ඩුව හා ප්‍රධාන සමාගම් සමග එක්ව මර්දනය කිරීමේ දී ඔවුහු සියලු දෙනා මූලික භූමිකාවක් ඉටුකල හ.

පසුගිය වසරේ අවසන් මාස තුන පුරා කම්කරුවන් අධිෂ්ඨානවත් විරෝධතා හා වර්ජනවල නිරත වූ හ. දෙසැම්බර් මාසයේ දී වතු කම්කරුවන් 100,000ක් පමන අඛන්ඩ වැඩ වර්ජනයක් දියත් කල හ.

මෙම අරගලය තමන්ගේ ආන්ඩුවට එරෙහි කම්කරු පන්තියේ ව්‍යාපාරයක නාභිය බවට පත් විය හැකි යයි බිය වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැටුප් අර්බුදය විසඳන බවට ව්‍යාජ පොරොන්දුවක් දුන්නේ ය. සීඩබ්ලිව්සී ඇතුලු වෘත්තීය සමිති මෙයට ප්‍රතිචාර දැක්වූයේ වර්ජනය නතර කර පාවාදීම සූදානම් කිරීම සඳහා රහස් කාමර සාකච්ඡාවලට ඇතුලු වෙමිනි.

විරෝධතාවේ යෙදෙන වතු කම්කරුවන් වටකරගෙන සිටින පොලීසිය

වතු කම්කරුවන්ගේ අරගලය දකුනු ආසියාවේ ද ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැගිටීමක කොටසකි.

මේ මස මුල ඉන්දියාවේ කම්කරුවන් මිලියන 180ක් පමන දෙදින වැඩ වර්ජනයක නිරත වූ හ. තමිල්නාඩු ප්‍රාන්තයේ ගුරුවරුන් හා ආන්ඩුවේ සේවකයන් 700,000ක් පමන අඛන්ඩ වර්ජනයක නිරත වෙති. බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවන් දහස් ගනනක් පොලිස් ප්‍රචන්ඩත්වය මධ්‍යයේ අධිෂ්ඨාන වත් විරෝධතා පවත්වා ඇත.

ලොව පුරා මෙම අරගල වෘත්තීය සමිතිවලට එරෙහි කැරැල්ලක් ලෙස ඉස්මතු වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ව්‍යාජ-වාම සංවිධාන මෙයට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ සංගත බවට පත්ව ඇති වෘත්තීය සමිති හරහා සහ ආන්ඩු හා සමාගම් මත පීඩනය යෙදීම මගින් කම්කරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරගත හැකි ය යන ප්‍රෝඩාව ඉදිරියට දමමිනි.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය (එන්ඩීඑම්එල්පී) නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය හා ලංකා වැවිලි සේවා සමිතිය ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් “1000 ව්‍යාපාරය” ගොඩ නැගීම සඳහා එකතු වී ඇත.

ඊඑෆ්සී කාර්යාලයක් ඉදිරිපිට ඔවුන් ජනවාරි 28දා විරෝධතාවක් පැවැත්වූයේ රුපියල් 1,000ක වැටුප යලි යලිත් ඉල්ලමිනි. එම කන්ඩායම නිකුත් කල පත්‍රිකාවක් දෛනික වැටුප ඉහල දමා ගැනීම සඳහා “ආන්ඩුව, වතු අධිකාරීන් හා වෘත්තීය සමිති මත පීඩනය” යොදන ලෙස කම්කරුවන්ට කැඳවුම් කලේ ය. මෙය කම්කරුවන්ට එරෙහි පාවාදීමේ ගනුදෙනුවක් පටවමින් සිටින සංවිධානවලට ම කම්කරුවන් ව යටත් කරන නරුම කූටෝපායකි.

සසප විස්තර කර ඇති පරිදි අවශ්‍ය කරන්නේ වෘත්තීය සමිතිවලට එරෙහි කැරැල්ලක් හා සෑම වත්තක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම යි. එම ක්‍රියාකාරී කමිටුවල කර්තව්‍යය වනු ඇත්තේ පාවාදීමේ ගිවිසුමට එරෙහි ව සියයට 100ක වැටුප් වැඩිකිරීම හා හොඳ කොන්දේසි සඳහා වන ඉල්ලීම් ඉටු කරගැනීමට සියලු වතු කම්කරුවන්ගේ කාර්මික හා දේශපාලනික උද්ඝෝෂනයක් සංවිධානය කිරීම යි.

මෙය සියලු ධනේශ්වර පක්ෂ, වෘත්තීය සමිති හා ඔවුන්ගේ ව්‍යාජ-වාම අඬුවලින් බිඳී වෙන්වීමේ අවශ්‍යතාව මතු කරයි. මහජන හිමිකාරීත්වය හා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට වතු ගෙන ඒම ඇතුලු සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටන මත පදනම් වන විකල්ප දේශපාලන ඉදිරිදර්ශනයක අවශ්‍යතාව එමගින් ඉස්මතු කරයි.

Share this article: