ජූලියන් අසාන්ජ් ආරක්ෂා කරමින් වෛද්‍යවරු නිකුත් කල විවෘත ලිපියේ තීරනාත්මක බව

The significance of the doctors’ open letter in defence of Julian Assange

2019 නොවැම්බර් 26

සිරගත කරන ලද විකිලීක්ස් ආරම්භක හා ජනමාධ්‍යවේදී ජුලියන් අසාන්ජ්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් විවෘත ලිපියක් නිකුත් කර ඇති වෛද්‍යවරුන්ට ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිය ආචාරය පුදකරයි.

එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ, ඉතාලියේ හා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු 65කට වැඩි ගනනක් අසාන්ජ්ගේ ජීවිතයට එල්ල වන බියකරු අන්තරාය ගෝලීය ශ්‍රාවකයක අවධානයට ලක් කොට ඇත. වසර ගනනක් අත්තනෝමතික රඳවා තබාගැනීම හා ලන්ඩනයේ බෙල්මාෂ් උපරිමාරක්ෂිත බන්ධනාගාරයේ ස්ථීර හුදකලාවකට ආසන්න තත්ත්වයක දිගට ම හිරකොට තැබීම නිසා “අසාන්ජ් මහතා මිය යා හැකි” යි අනතුරු අඟවමින් නොවැම්බර් 22දා එම වෛද්‍ය කන්ඩායම බ්‍රිතාන්‍යයේ කොන්සවැටිව් ස්වදේශ ලේකම් ප්‍රීති පටෙල්ට ලිවූ හ.

විශේෂඥ වෛද්‍ය කන්ඩායමක් විසින් ඇගයීමට ලක්කර ප්‍රතිකාර කල හැකි විශ්ව විද්‍යාල ශික්ෂන රෝහලකට අසාන්ජ්ව මාරු කර යවන ලෙස වෛද්‍යවරු බලකරති. “සෞඛ්‍ය තත්ත්වය දැනටමත් හදිසි ය. කාදැමීමට කාලයක් නැත” යි ඔවුහු අවධාරනය කරති.

ජූලියන් අසාන්ජ්

වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගෙන ජූලියන් අසාන්ජ් මෙන් ම ඔහුට විරුද්ධ ව බොරු සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා බන්ධනාගාරගත කොට ඇති ධෛර්යය සම්පන්න තොරතුරු හෙලිදරවු කරන්නියක වන චෙල්සී මැනිං ද ආරක්ෂා කරගැනීමේ සටනට එක්වන ලෙස අපි කම්කරුවන්, තරුනයන් හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබඳ උත්සුක වන සියල්ලන්ගෙන් ඉල්ලමු.

වෛද්‍යවරුන්ගේ ක්‍රියාව,අසාන්ජ් නිදහස් කරගැනීමේ අරගලයෙහි නව අවධියක් සලකුනු කරන්නේ එය ඔහුගේ ඉරනම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වන ප්‍රගාඪ උත්සුකයක් විසින් ප්‍රානය ලබන වෘත්තීය කම්කරුවන් කන්ඩායමක් විසින් ස්වාධීන ව ගන්නා ලද තීරනයක් බැවිනි.

“ඔහුගේ ජීවිතය ඉක්මනින් බිලිගනිමින් අවසන් විය හැකි” දශකයකට ආසන්න කාලයක් ඔහුව අත්තනෝමතික ලෙස රඳවා ගැනීම හා රාජ්‍ය චෝදනාවට ලක්කිරීමෙන් පසු, දීර්ඝ කාලීන “මානසික වධබන්ධනයේ” ප්‍රතිඵලවලින් අසාන්ජ් පීඩා විඳීම ගැන එක්සත් ජාතීන්ගේ වධබන්ධන පිලිබඳ විශේෂ කොමසාරිස් නිල්ස් මෙල්ට්සර්ගේ සොයා ගැනීම් වෛද්‍යවරුන් තියුනු උත්සුකයට භාජනය කරනු ලැබී ය. වධ හිංසා පිලිබඳ ලෝකයේ ඉදිරියෙන්ම සිටින අධිකාරියේ මෙම අනතුරු ඇඟවීම නොතකා හැරීමට බ්‍රිතාන්‍ය ආන්ඩුව ක්‍රියා කර ඇති ආකාරය ඔවුහු දැක ගත්හ.

අසාන්ජ් පෙනී සිටි ඔක්තෝබර් 21දා පැවති වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරනයේ විභාගයට සහභාගි වූ හිටපු බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයෙක් හා තොරතුරු හෙලිදරවු කරන්නෙක් වන ක්‍රේග් මරේ විසින් අසාන්ජ්ගේ කායික හා මානසික තත්ත්වය පිලිබඳ ව දුන් ඛේදජනක වාර්තාවෙන් පසු, වෛද්‍යවරු ක්‍රියාත්මක වීමට තීරනය කල හ. “කොතැනක සිදු වුවත් ඔවුන් දැනුවත් වන වධබන්ධන යයි සැක කරන දේ” වාර්තා කිරීම තමන්ගේ වෘත්තීයමය රාජකාරිය යයි ඔවුහු නිගමනය කල හ. “නිරපේක්ෂ වන වෘත්තීයමය රාජකාරිය, වාර්තා කරන වෛද්‍යවරුන්ට කවර අවදානමකට මුහුන දීමට සිදු වුව ද සිදු කරනු ලැබිය යුතු ය.”

වෛද්‍යවරුන්ගේ නිර්භීත හා ස්වාධීන ක්‍රියාව අනෙකුත් බොහෝ අය ආශ්වාදනයට පත් කොට ඇත්තේ, බලගතු ගෝලීය ප්‍රතිචාරයක් ජනනය කරමින් හා ලෝකයේ මාධ්‍යවලට ලිපිය ගැන වාර්තා කිරීමට බලකරමිනි. අනෙකුත් වෛද්‍යවරු දැන් තමන්ගේ ම අත්සන එකතු කිරීමට ඉදිරියට එමින් සිටිති.

අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් බලමුලුගැන්විය හැකි හා යුතු ඔහුට පවතින යෝධ එහෙත් ගුප්ත සහයෝගය විවෘත ලිපිය විසින් අනාවරනය කර ඇත. කේන්ද්‍රීය කාරනය වන්නේ මෙය කරන්නේ කෙසේ ද යන්න යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය ජුනි 20දා “ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට භාරදීම වලකන ලෝක පරිමාන උද්ඝෝෂනයක් සඳහා” නමැති ප්‍රකාශයක් නිකුත් කලේ ය. එම ප්‍රකාශය මෙසේ සඳහන් කලේ ය: “ජූලියන් අසාන්ජ්ගේ නිදහස සුරක්ෂිත කරගැනීමේ ව්‍යාපාරය පැමිනිය යුත්තේ පහලිනි. ඔහුට චෝදනා කරමින් සිටින ආන්ඩුවලට කරන සදාචාරාත්මක ආයාචනා ඵල රහිත ය. අසාන්ජ්ගේ නිදහස සඳහා සටන පාලක පන්තියේ දේශපාලන ඒජන්තයින්ගෙන් ස්වාධීන ව හා ඔවුන්ට විරුද්ධ ව ගෙන යා යුතු ය.”

විවෘත ලිපිය විසින් මෙම ආස්ථානය මුලුමනින් සනාථ කොට ඇත.

ඇෆ්ගනිස්තානයේ හා අනෙකුත් තැන්වල යුද අපරාධ හෙලිදරවු කිරීම හේතුවෙන් අසාන්ජ්ට දඬුවම් කොට ඔහුව සදහට ම නිහඬ කිරීම ඉලක්ක කරගත් එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, ඕස්ට්‍රේලියාවේ, ස්වීඩනයේ හා ඉක්වදෝරයේ රාජ්‍ය යාන්ත්‍රයන්ගේ හා ආන්ඩු අසාන්ජ්ගෙන් පලි ගැනීම සඳහා කල්ලි ගැසීමට එරෙහි ව වෛද්‍යවරුන් මෙම ආස්ථානය ගනු ලැබී ය.

විකිරනවේදී රෝග විනිශ්චය පිලිබඳ විශේෂඥයෙක් වන වෛද්‍ය ස්ටීවන් ෆ්‍රොස්ට් විවෘත ලිපියේ මෙසේ ලිවී ය: “එක්සත් රාජධානියේ ආන්ඩුව වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීම් සැලකිල්ලට නො ගෙන, එහි වර්තමාන ඉව බව නැති, අනතුරුදායක හා කුරිරු හැසිරීම දිගට ම කරගෙන යන්නේ නම්, සමස්ත ලෝකයේ ජනතාව එයට වගකිව යුතු අය නීතිය හමුවට ගෙන ඒම සඳහා නිවැරදි ව කැඳවුම් කරනු ඇත. සෞඛ්‍ය තත්ත්වය බරපතල බවත් එය දිගට ම සිදුවීමට ඉඩ නො දිය යුතු බවත් අපි කියමු. නාස්ති කිරීමට කාලයක් නැත. වධබන්ධන දැන් නතර කල යුතු ය.”

මෙයට ප්‍රතිචාර වසයෙන් එක්සත් රාජධානියේ ආන්ඩුව යලි වතාවක් පැහැදිලි කර ඇත්තේ, අසාන්ජ්ව එක්සත් ජනපදයට උදර්පනය කිරීමේ පූර්ව නිර්නිත තීරනය ක්‍රියාත්මක කිරීමට පෙර ලබන පෙබරවාරියේ බොරු නඩුවක් පැවැත්වීමේ එහි සැලසුම්වලට හරහට හිටීමට කිසිවෙකුට ඉඩ නො දිය යුතු බව යි. “අසාන්ජ් මහතා වධබන්ධනයන්ට භාජනය කල බවට කියන චෝදනා පදනම් රහිත වන අතර සම්පූර්නයෙන් අසත්‍ය ය. නීතියේ පාලනය පිලිගැනීමට කිසිවෙක් එයට ඉහලින් නො සිටින බව තහවුරු කිරීමට එක්සත් රාජධානිය කැප වී සිටී” යි ප්‍රකාශ කරමින් පටෙල්ගේ ස්වදේශ කාර්යාලය නොවැම්බර් 25දා ප්‍රකාශයක් නිකුත් කලේ ය.

ලිබරල් මාධ්‍ය, බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂය ඇතුලු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් අයිතිවාසිකම් සංවිධාන, දක්ෂිනාංශික ස්ත්‍රීවාදීන් හා විවිධාකාර ව්‍යාජ-වාම කන්ඩායම් අසාන්ජ් ආරක්ෂා කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කිරීම සාධාරනීකරනය කිරීමට යොදාගන්නා පුද්ගලික හා දේශපාලනික මඩගැසීම්වල විෂකුරු මිශ්‍රනය විවෘත ලිපිය විසින් කපා හරිනු ලබයි.

ලිපිය නිකුත් කරන ලද්දේ බ්‍රිතාන්‍යයේ මහ මැතිවරනයෙහි හිනිපෙත්තේ දී ය. එය ලේබර් පක්ෂයේ ඡායා ස්වදේශ ලේකම් ඩියන් ඇබොට් වෙත යවන ලදී. එහෙත් ඇය කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඇබොට් හෝ ලේබර් නායක ජෙරමි කෝබින්, පාර්ලිමේන්තු මන්දිරයේ සිට සැතපුම් 12ටත් අඩු දුරක හිරගත කොට සිටින ලෝකයේ ප්‍රසිද්ධතම දේශපාලන සිරකරුවා ගැන මැතිවරන උද්ඝෝෂනයේ දී එක් වරක්වත් සඳහන් කොට නැත. ලේබර් පක්ෂ මැතිවරන ප්‍රකාශය “තොරතුරු හෙලිකරන්නන්” ආරක්ෂා කිරීමට හා “ජනමාධ්‍යවේදීන් සඳහා මහජන මතයේ ආරක්ෂාව පිලිබඳ නෛතික හිමිකමක්” ගෙන ඒමට පොරොන්දු වූවද එතුල ඔහුගේ නම නොමැත.

2017 දී දෙවන වරටත් අතහැර දමන ලද කාන්තාවන් දෙදෙනෙකු විසින් කරන ලද ව්‍යාජ ලිංගික චෝදනා හුවාදක්වමින් තමන් විසින් අසාන්ජ් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීම සාධාරනීකරනය කිරීමට කෝබින් උත්සාහ දරා ඇත. අප්‍රේල් මාසයේ දී කෝබින් ප්‍රකාශ කලේ, නඩුව “ප්‍රතිස්ථාපනය කලහොත්” අසාන්ජ් “එම ප්‍රශ්නවලට හා ඔහුට විරුද්ධ චෝදනා පිලිබඳ ඉල්ලීම්වලට පිලිතුරු දිය යුතු බව” ය.

කිසි විටක චෝදනා ගොනු නො කල ස්වීඩන විමර්ශනය වසර නවයකට පසු පසුගිය සතියේ අතහැර දමනු ලැබී ය. එහෙත් මෙම කරුන හෝ වෛද්‍යවරු 60කට වැඩි පිරිසකගේ මැදිහත් වීම, අසාන්ජ්ට එරෙහි රාජ්‍ය කුමන්ත්‍රනයට විරුද්ධ ව කටයුතු කිරීමට කෝබින්ව නො පොලඹවනු ඇත.

පාලක පන්තිය පැත්තෙන් ගත් කල, අසාන්ජ්ට චෝදනා නැගීම නිදහස් ප්‍රකාශනය විනාශ කිරීම, විමර්ශනාත්මක ජනමාධ්‍යවේදය නීති-විරෝධී කිරීම, විවේචකයන් බිය වැද්දීම හා ත්‍රස්ත කිරීම, ආන්ඩුවේ අපරාධ හෙලිදරවු කිරීම වැලැක්වීම සහ සමාජ අසමානතාවට හා යුද්ධයට එරෙහි විරෝධය මර්දනය කිරීම ඉලක්ක කරගත් ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි යෝධ ප්‍රහාරයක හීතුඩ යි.

මෙයට විරුද්ධ වීමට ශක්තිය ඇත්තේ, ලෝකයේ වඩාත් ම බලගතු සමාජ බලවේගය වන කම්කරු පන්තියට පමනක් බවත්, එය පැරනි පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව එසේ කල යුතු බවත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය අවධාරනය කරයි.

ධනපති පන්තිය අසාන්ජ්ට චෝදනා නැගීම ආඥාදායකත්වය දෙසට වන එහි සැලසුම්වල කඩ ඇනය බවට පත් කරගනිමින් සිටින්නාක් මෙන් ම, කම්කරු පන්තිය ද ඔහු ආරක්ෂා කරගැනීම මිලිටරිවාදයට සහ ප්‍රජාතන්ත්‍ර හා සමාජ අයිතීන් මත ප්‍රහාරයන්ට එරෙහි ප්‍රතිප්‍රහාරයක නාභීය ලක්ෂ්‍යය බවට පත් කර ගත යුතු ය.

අසාන්ජ්ගේ නිදහස සඳහා අරගලයේ බලගතු මහජන පදනම සම්පාදනය කරන, සමාජ අසමානතාවට හා දූෂිත ආන්ඩුවලට එරෙහි මහජන විරෝධතා, වැඩ වර්ජන ඇතුලු ජාත්‍යන්තර පන්ති අරගලයේ නැගෙන රැල්ලක් දැනට ම පවතී.

අසාන්ජ්ගේ ආරක්ෂාවට, ධනේශ්වර සූරාකෑමට හා දේශපාලන පීඩනයට එරෙහි ව වැඩෙන ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජ අරගලය සමග ප්‍රජාතන්ත්‍ර අයිතීන්ගේ ආරක්ෂාව සඳහා කරන සටන සමග සවිඥානික ව බද්ධ කරන ගෝලීය මූලෝපායක් විසින් මග පෙන්විය යුතු ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ, අසාන්ජ්ගේ ජීවිතය කෙරෙහි බිය වන සහ වීරෝධාර හා අහිංසක මිනිසෙකු නිදහස් වනවා දැකීමට කැමති සියල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම තීරනාත්මක අරගලය සමග එක් වන ලෙස යි.

ක්‍රිස් මාස්ඩන්

Share this article: