“අමාරුකම් විඳගෙන හැමකෙනෙක්ම කටයුතු කලයුතු” යැයි ඇමති අමරවීර කල ප්‍ර‍කාශයේ ඇඟවුම කුමක්ද?

2019 නොවැම්බර් 29

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරන ජයග්‍ර‍හනයේ සව්දිය බඳුන් වියැලී යන්නටත් පෙරාතුව, ඔහුගේ ආන්ඩුව යටතේ කම්කරු-පීඩිත මහජනතාවට මුහුන දීමට සිදුවන රුදුරු ප්‍ර‍හාරයන් පිලිබඳ ඇඟවුම්, ආන්ඩුවේ ඇමතිවරුන්ගෙන්ම ප්‍ර‍කාශයට පත්වීමට පටන්ගෙන තිබේ. ඒ අතරින්, මගී ප්‍රවාහන, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය 24 දා අඟු‍නකොලපැලැස්සේ දී කල කතාව සුවිශේෂී ය.

තම දේශපාලන ආධාරකරුවන් අමතා අමරවීර මෙසේ පැවසීය: “ලබන අවුරුද්දේ නය වාරිකයයි පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. අමාරුකම් විඳගෙන අපි හැමකෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ.”

රජය මුහුන දී සිටින දැවැන්ත නයබර පිලිබඳව පැවති සිරිසේන-වික්‍ර‍මසිංහ ආන්ඩුවට ඔහු මෙසේ දොස් පැවරීය: “මේ රටේ අවදානම තේරුනා. රටේ මිනිස්සුන්ට හිඟා කන්න වෙනවා බඩගින්නේ මැරෙන්න වෙනවා මේ යන විදියට ගියානම්.”

ලංකාව තුල බලයට පත්වන සෑම නව ආන්ඩුවක් ම, රජය මුහුන දෙන නයබර පිලිබඳව කලින් පැවති ආන්ඩුවට දොස් පැවරීම පුරුද්දක් වශයෙන් කරනුයේ, එම නයබර, ලෝක ධනේශ්වර පද්ධතිය සමස්තයක් ලෙස මුහුන දී සිටින ගැඹුරුතර අර්බුදයේ ප්‍ර‍කාශනයක් බව වසන් කිරීමේ දැනුවත් ව්‍යායාමයක් ලෙසයි.

ජනාධිපතිවරනයට පෙරාතුව ගෝඨාභය රාජපක්ෂ විසින් දුන් කප්පරක් පොරොන්දු ගැන කතා කරමින් අමරවීර කියා සිටියේ, “මේ ඔක්කොම කරන්න අපිට ලොකු අමාරුවක් තිබෙන” බවයි. පොරොන්දු ඉටු කරනු වෙනුවට, ආන්ඩුව මුහුන දී සිටින අර්බුදයේ සමස්ත බර මහජනතාව මත පැටවීමේ සැබෑ න්‍යාය පත්‍ර‍ය අනුයමින් අමරවීර මෙසේ පැවසීය: “ඒ අමාරුව විඳගෙන අපි හැමකෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ.”

විරැකියාවෙන් පෙලෙන තරුන තරුනියන්ට ඔහු නරුම ලෙස කියා සිටියේ “අඩු තරමේ රැකියාවක් ලැබෙනකල් ගෙදර වත්ත වගා කරන” ලෙසයි.

“රටේ ජනතාව බඩු මල්ල දිහා බලාගෙනවත්, දෙනවා කියන දේ දිහා බලාගෙනවත් නෙවෙයි ඡන්දය භාවිතා කලේ. රට ගැන සිතා භාවිතා කල ඡන්දයක් ලෙසයි අපි මෙවර ඡන්දය දකින්නේ” යැයි අමරවීර පැවසුවේ, නව ආන්ඩුව යටතේ ජීවන වියදම පහල දැමීමක් පිලිබඳ යම් හෝ බලාපොරොත්තුවක් තිබුනේනම් එයද අත්හැර දමන ලෙස මහජනතාවට ඉඟි කරමිනි.

“රට ගැන සිතීමේ” අමරවීරගේ ප්‍ර‍ලාපයන්ට විපරීතව, රාජපක්ෂට මහජනතාව දුන් ඡන්දය තුල අතිමූලික වශයෙන් ප්‍ර‍කාශයට පත්වූයේ, පැවති සිරිසේන-වික්‍ර‍මසිංහ ආන්ඩුව තම ජීවන කොන්දේසි වලට සහ ප්‍ර‍ජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල දැවැන්ත ප්‍ර‍හාරයට එරෙහිව ඔවුන් අතර පැවති දැඩි විරෝධය යි.

පාලක පන්තීන් විසින් “රට ගැන සිතීම” පෙරට දමන සෑම අවස්ථාවකම එහි පිටුපසින් පවතින්නේ කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි දැවැන්ත ප්‍ර‍හාරයකි. දෙමල පීඩිත ජනයාට එරෙහිව යුද්ධය ගෙනගිය දශක තුනකට ආසන්න කාලය තුල අනුප්‍රාප්තික ආන්ඩු හැමෙකක්ම මහජනතාවට කියා සිටියේ “රට ගැන සිතා”, ඔවුනගේ ජීවන කොන්දේසි වලට එම ආන්ඩු වලින් එල්ල කෙරුනු රුදුරු ප්‍ර‍හාර ඉවසා දරා සිටිය යුතු බවයි. යුද්ධය මධ්‍යයේ පැනනැගි සෑම පංති අරගලයක්ම පාලකයන් විසින් මඩිනු ලැබුවේ “රටට එරෙහි” කඩාකප්පල්කාරී ක්‍රියා ලෙස නම් කරමිනි.

ආන්ඩුව දැවැන්ත නය අර්බුදයක ගිලී ඇති බැවින් “සියල්ලන්ම” ඒ වෙනුවෙන් කැපවියයුතු යැයි ඇමතිවරයා සහ ආන්ඩුව ඇතුලු‍ සමස්ත පාලක පන්තිය කරන යෝජනාව කම්කරු-පීඩිත මහජනතාව එකහෙලා ප්‍ර‍තික්ෂේප කල යුතුය. ඔවුන් මෙම නයබරට කිසිසේත්ම වගකිවයුතු නැත. සමස්ත නයෙන් අතිමහත් ස්කන්ධයක් වැයකෙරී ඇත්තේ කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා එහි ශක්තිය දුබල කිරීමට අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු ගෙනගිය වර්ගවාදී යුද්ධයට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට අවශ්‍ය ලාභ ශ්‍ර‍ම වේදිකාවක් තනාදීම සඳහා යටිතල පහසුකම් සම්පාදනය කිරීමට මිස, කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවන කොන්දේසි ඉහල දැමීමට නොවේ.

මෙලෙස ලබාගත් නය කන්දරාව හේතුවෙන් ලංකාවේ බාහිර රාජ්‍ය නය ප්‍ර‍මානය ඇමරිකානු ඩොලර් බිලියන 56 කට ආසන්න අගයකට නැග ඇත. එය රටෙහි දල ජාතික නිශ්පාදනයට සමාන දැවැන්ත අගයකි. ආන්ඩුවට 2021 දක්වා නය සේවා සඳහා පමනක් ඩොලර් බිලියන 15 ක් අවශ්‍ය බවට ගනන් බලා ඇත. 2008 න් ඇරැඹී වඩවඩාත් ගැඹුරුවන ගෝලීය මූල්‍ය අර්බුදය සහ රටෙහි ආර්ථික වර්ධන වේගයේ පසුගාමිත්වය හේතුවෙන් මෙම නය අර්බුදය වඩාත් උග්‍ර වෙමින් පවතී.

ගෝඨාභය රාජපක්ෂ‍, තමා මුහුන දී ඇති මෙම උභතෝකෝටිකය පිලිබඳව පසුගිය 22 වන දා නව කැබිනට් මන්ඩලයට ප්‍ර‍කාශ කලේ මෙසේය: “අපට දැවැන්ත අභියෝගයන් ඇත. එම අභියෝගයන් ජය ගැනීමට අවශ්‍ය වන අතර, ඒ සමගම, මහජනතාවගේ අභිලාෂයන් තෘප්ත කිරීම අවශ්‍ය වෙයි.”

ශ්‍රී ලංකාව මුහුන දී සිටින දැවැන්ත නය අර්බුදය මධ්‍යයේ මෙම ඉලක්ක දෙකම ජය ගැනීම යථා ලෝකයේ කල නොහැක්කකි. එම අර්බුදයේ පරිමාව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහබැංකු අධිපති ඉන්ද්‍ර‍ජිත් කුමාරසාමි පසුගිය දා කියා සිටියේ, ග්‍රීසිය හා සමාන තත්වයකට ශ්‍රී ලංකාව රූටා යමින් පවතින බවයි.

2009 අවසානයේ එරට සමස්ත නය ප්‍ර‍මානය යූරෝ බිලියන 300 කට නැග තිබුනි. එයට ප්‍ර‍තිචාරී ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය මධ්‍යම බැංකුව සහ යූරෝ කන්ඩායම යන ට්‍රොයිකාව (ත්‍රිත්වය) එක්ව දෙනලද විධානයන්ට අනුව, 2010 සිට 2016 දක්වා කම්කරු-පීඩිත මහජනතාවගෙන් අය කරන බදු මුදල් වට 12 කින් ඉහල දැමූ අතර, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු‍ ක්ෂේත්‍ර‍යන් හි දැවැන්ත කප්පාදු මෙන්ම, රාජ්‍ය ආයතනයන්හි සුවිසල් ප්‍ර‍තිව්‍යූහකරනයන් සිදු කෙරුනි. ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ, තරුනයෝ සහ අවශේෂ පීඩිතයෝ, සමස්ත රටම අලලාගත් විරෝධතා වලින් එයට එරෙහිව නැගී සිටිය හ.

මෙම මහජන විරෝධය ගසාකමින්, කප්පාදු පිලිවෙත් ආපසු හරවන බවට පිලින දී 2015 දී බලයට පැමිනි ඇලෙක්සි සිප්රාස්ගේ නායකත්වයෙන් යුත් සිරිසා ආන්ඩුව, ට්‍රොයිකාව ඉදිරියේ දන නමමින් එහි විධානයන් ට අනුව කප්පාදු පිලිවෙත් දිගටම ගෙන ගියේය. රට තුල, සමස්ත විරැකියා ප්‍ර‍තිශතය සියයට 20 දක්වා වැඩුනු අතර, ග්‍රීක තරුනයන්ගෙන් සියයට 75 ක් විදේශ රැකියා සොයමින් සිටින බව එරට දත්ත විශ්ලේෂන පෙන්වා දෙයි. රටෙහි පවුල් වලින් සියයට 51 ක් යැපෙනුයේ විශ්‍රාම වැටුප් වලිනි. මෙම ප්‍ර‍හාරයන් ට එරෙහිව වැඩුනු දැවැන්ත මහජන විරෝධය හමුවේ 2019 මැතිවරනයෙන් සිරිසා ආන්ඩුව අන්ත පරාජයකට පත්විය.

ගෝඨාභය රාජපක්ෂ ද ඉක්මනින්ම තල්ලු‍වනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු විධානයන් සහ පුද්ගලීකරන පිලිවෙත් ක්‍රියාවට දැමීමටයි. ග්‍රීසියේ පමනක් නොව, ලෝක ධනේශ්වර පද්ධතිය මුහුන දී ගැඹුරු අර්බුදය හමුවේ රටක් රටක් පාසා පාලක පන්තීන් ඉන් ගොඩඒමට යත්න දරනුයේ, දැවැන්ත කප්පාදු හරහා තම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමෙනි.

පෙර පැවති මහින්ද රාජපක්ෂ සහ සිරිසේන-වික්‍ර‍මසිංහ තන්ත්‍ර‍ ක්‍රියාවට දමමින් සිටියේ එයයි. එම කප්පාදු වලට එරෙහිව කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් නිරන්තරව අරගලයට පිවිසි අතර, ඔවුන් ලත් මැතිවරන පරාජයන් කෙරෙහි අතිමූලිකව බලපෑවේ එම කප්පාදු පියවරයන්ට එරෙහිව වැඩුනු ගැඹුරු මහජන විරෝධය යි.

තමාට එල්ල වන දැවැන්ත ප්‍ර‍හාර හමුවේ ලංකාවේත් ජාත්‍යන්තරවත් ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් අරගලයට පිවිසෙන තතු තුල, එයට පාලකයන්ගේ ප්‍ර‍තිචාරය වනුයේ, කම්කරුවන් බෙදීම සඳහා වාර්ගික සහ ආගමික ප්‍රකෝපකරනයන් ඉස්මත්තට ගැනීම සහ රුදුරුම ආකාරයේ මර්දනයන් සඳහා ආඥාදායක පාලන රූපයන් වෙත වේගයෙන් මාරු වීමයි.

දෙමල පීඩිත මහජනතාවට එරෙහිව ගෙනගිය කුරිරු යුද්ධය මෙහෙයවීම සම්බන්ධයෙන් ද, එම යුද්ධය තුල වර්ධනය කරගත් රාජ්‍ය මර්දන යන්ත්‍ර‍ය යොදා ගනිමින් කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල රුදුරුම ආකාරයෙන් මැඩීම සම්බන්ධයෙන් ද කුප්‍ර‍කට වාර්තාවකට හිමිකම් කියන ගෝඨාභය රාජපක්ෂ එම ආඥාදායක පාලනය සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා ලෙස, ලංකාවේ ධනපති පාලක පන්තියෙන් සැලකියයුතු කොටසක් දැක ගත්හ. දැන් ඔහු බලයට පැමින එම වැඩකටයුතු අරඹා ඇත.

රජයේ ඉහලම තනතුරු වලට මිලිටරියේ හිටපු ඉහල නිලධාරීන් පත් කෙරෙමින් පවතී. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කෙරුනු විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු වන කමල් ගුනරත්න තම නිලය භාරගත් වහාම මාධ්‍යයට කියා සිටියේ, කවර ආකාරයකින් හෝ “මහජන සාමය” කඩකිරීමට ඉඩ නොදෙන බවයි. පෙර පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව, කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල වලට මිලිටරිය සහ පොලීසිය යොදා පහර දුන්නේ “මහජන සාමය” රැකීමේ කඩතුරාව යටතේ වන බව ප්‍ර‍කට ය.

මිලිටරීකරනයට සමගාමීව, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය වඩවඩාත් ඉස්මත්තට ගැනීමේ ප්‍ර‍තිඵලයක් ලෙස බෞද්ධ සංස්ථාපිතය සෑම සමාජ සහ දේශපාලනික අංශයකට අත පොවමින් තම අධිකාරිය වර්ධනය කර ගනිමින් සිටී. වාර්ගික භේදකරනය සඳහා, මෙම භික්ෂූන් සහ ඔවුන් වටා පෙලගස්වාගෙන සිටින දක්ෂිනාංශික නඩ ආන්ඩුව විසින් යහමින් යොදා ගැනේ.

පසුගිය ජනාධිපතිවරනයේදී මෙම අන්තරායන් මතු කරමින්, ව්‍යාජ-වාම සංවිධානයන්ටත්, ඊනියා ලිබරලු‍න්ටත් එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය කම්කරුවන්ට, තරුනයන්ට සහ අවශේෂ පීඩිතයන්ට අවධාරනයෙන් කියා සිටියේ, අර්බුදග්‍ර‍ස්ත ධනපති ක්‍ර‍මයෙන් පැන නංවා ඇති මෙම ප්‍ර‍හාරයන් ධනපති ක්‍ර‍මය තුල ආපසු හැරවිය නොහැකි බවයි.

ධනපති ක්‍ර‍මය ලෝක පරිමානව පෙරලා දැමීම එල්ලකරගත් මූලෝපායක් මත සටන් කිරීමෙන් තොරව කම්කරු පංතියට මෙම ධනේශ්වර ප්‍ර‍හාර පරාජය කල නොහැක. ධනපති උපකරන බවට පරිවර්තනය වී ඇති වෘත්තීය සමිතිවලින් බිඳී, තීන්දු ගැනීම තමන්ගේ ම අතට ගත හැකි, කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාගන්නා ස්වාධීන ක්‍රියාකාරී කමිටු වැඩපොල හා නිවහන් ප්‍රදේශවල පිහිටුවා ගත යුතුය.

සසප ජනාධිපතිවරන ප්‍ර‍කාශයේ සඳහන් කල පරිදි:

එවන් ක්‍රියාකාරී කමිටුවලට, ගම්බද ජනයාගේ නායකත්වයේ පිහිටා ධනවාදය පෙරලා දමා, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලනික බලමුලු‍‍ ගැන්වීමකට පදනම සැකසිය හැක.”

දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් බලයට ගෙනඒම හරහා, විදේශීය හා දේශීය මහා සමාගම්, විශාල වතු හා බැංකු, කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරමින් සහ විදේශ නය අහෝසි කරමින්, නිෂ්පාදනය හා බෙදාහැරීම සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කල හැක.

පානි විජේසිරිවර්ධන

Share this article: