ගුරු අරගලය ජයගන්නේ කෙසේද?

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායමේ ප්‍රකාශය, 2019 සැප්තැම්බර් 24

දෙලක්ෂයකට අධික රජයේ පාසල් ගුරුවරු බ්‍රහස්පතින්දා සහ සිකුරාදා වැඩවර්ජනයේ නිරත වීමට නියමිත ය. දහස් ගනන් ගුරුවරුන් එදින විරෝධතාවක් සඳහා කොලඹට එක් වීමට නියමිත ය. ඔවුන්ගේ යුක්ති සහගත ඉල්ලීම් වන්නේ ජීවන කොන්දේසි රැකගැනීමට සුදුසු ඉහල වැටුප්, යහපත් රැකියා කොන්දේසි සහ ගුනාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රමානවත් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමයි.

මෙය මේ වසර තුල ගුරුවරුන් නිරතවන තුන්වන වර්ජන ක්‍රියාමාර්ගයයි. මාර්තු මාසයේ 13 දින පැවති එක්දින වර්ජනයේදී ද, ජූලි 18, 19 දිනවල කැඳවා තිබූ දෙදින වර්ජනයේදී ද, සමිති නිලධරය විසින් එය සංවිධානය කිරීමට දැරූ ප්‍රයත්නයේ සීමිතභාවය තිබියදීම, ගුරුවරුන්ගේ ඉහල සහභාගීත්වයක් පෙන්නුම් කෙරුනි. ගුරුවරුන්ගේ අධිෂ්ඨානවත් සටන්කාමිත්වයෙන් ප්‍ර‍කාශයට පත් වන්නේ, ඔවුන් මුහුන දී සිටින රුදුරු, ජීවන සහ රැකියා කොන්දේසි මගින් ජනිත කොට ඇති අතිමහත් ආතතිය යි.

පිම්මේ ඉහල යන ජීවන වියදම හමුවේ ලැබෙන සොච්චම් වැටුපෙන් තම දරු පවුල සමග ශීලාචාරව ජීවත්වීම තබා දිවිගැටගසා ගැනීම පවා කල නොහැකි තත්වයට ගුරුවරුන් ඇද දමා ඇත. ගුරු සේවයේ ආරම්භක මූලික වැටුප රුපියල් 28,000 ක් පමන වන අතර සියලු‍ දීමනා සහිතව එම ගුරුවරයෙකුගේ මුලු‍ වැටුප රුපියල් 35,000 ක් තරම් සොච්චමකි. පලමු ශ්‍රේනියේ වසර 20 ට වැඩි සේවා කාලයක් ඇති ගුරුවරයෙකුගේ පවා මුලු‍ වැටුප රුපියල් 60,000 කට සීමා වී ඇත. මෙම සොච්චම් වැටුප් වලද මූර්ත වටිනාකම් වේගයෙන් පහත වැටෙමින් පවතී. 2017 හා 2018 වසර දෙකේ ගුරුවරුන් ඇතුලු රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූර්ත වැටුප සියයට 7.2කින් හා සියයට 2කින් වැටුනි.

සිසුන්ගෙන් පිරීතිරීගිය පන්ති කාමරවල අවිවේකීව ශ්‍ර‍මය වැගිරීමෙන්, ඊනියා කාර්ය සාධනයේ නමින් පටවා ඇති නිශ්ඵල ලිපි ලේඛන කටයුතු වලින් සහ රැකියාවට පැමිනීමේදී දිගු පැයගනන් මහමගට කා දැමීමෙන් ගුරුවරු අන්තයටම හෙම්බත්වී සිටිති.

මෙම තතු තුල, ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) හා ලංකා ගුරු සංගමය (ලගුස) ඇතුලු‍ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් මෙවර වර්ජනය කැඳවා ඇත්තේ, සිරිසේන-වික්‍ර‍මසිංහ ආන්ඩුව විසින් නැවත නැවතත් තම ඉල්ලීම් ඉටු නොකරන තත්වය හමුවේ පහල සාමාජිකත්වයෙන් එල්ල වූ බලගතු පීඩනය මධ්‍යයේ ය.

ගුරු වර්ජනයේ ඉල්ලීම් හයකි: වැටුප් විෂමතා ඉවත් කර ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, ගුරුවරුන් මත අනවශ්‍ය බර පැටවීම් නතර කිරීම, දෙමාපියන්ගෙන් මුදල් අය කිරීම නතර කිරීම, අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කිරීම, 2016 සිට අහිමි කල විශ්‍රාම වැටුප යලි ලබා දීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහල තනතුරුවලට ආන්ඩුවේ හෙන්චයියන් පත් කිරීම‍ නතර කිරීම ඒ අතර වෙයි.

ශ්‍රී ලංකාවේ මෙන්ම, ඇමරිකා එක්සත් ජනපදයේ , මෙක්සිකෝවේ, ජර්මනියේ, ප්‍රන්සයේ, පෘතුගාලයේ, නෙදර්ලන්තයේ, බ්‍රසීලයේ, මොරොක්කෝවේ, සිම්බාබ්බේ, දකුනු අප්‍රිකාවේ හා ඉන්දියාවේ තමිල්නාඩුවේ ආදී වශයෙන් ලෝකය පුරා දහස් ගනන් ගුරුවරු වැටුප් කප්පාදුවට, අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට හා රැකියාවලින් දොට්ට දැමීම්වලට එරෙහිව පසුගිය වසරේ සිට අඛන්ඩ විරෝධතාවලට සම්බන්ධ වී සිටිති.

ගුරුවරුන්ගේ මෙම නැගිටීම්, දශක ගනනාවකට පසු යලි පුපුරා ඇති ජාත්‍යන්තර පන්ති අරගල රැල්ලේ කොටසකි. ජාත්‍යන්තර පන්ති අරගලයේ මෙම නව පුනර්ජීවනය වනාහි, වේගයෙන් ගැඹුරුවන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ, ඒ ඒ රටවල පාලක පන්තීන් විසින් කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්‍ර‍ජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන දැවැන්ත ප්‍ර‍හාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ වැඩෙන ප්‍රතිප්‍රහාරයයි.

ලංකාවේ ගුරුවරුන් හෙට වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්න වන්නේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් 17,000 ක් වැඩි වැටුප් ඉල්ලා අඛන්ඩ වැඩ වර්ජනයක යෙදී සිටින තත්වයක දී ය. සිය අධ්‍යාපන කටයුතු ගෙන යෑමට අත්‍යාවශ්‍ය පහසුකම් ඉල්ලමින් ද අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහිව ද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නැවත නැවතත් අරගලයට පිවිසෙමින් සිටිති. පාසල්වලට අත්‍යවශ්‍ය පහසුකම් හා ගුරුවරුන් ඉල්ලා සිසුන් සහ දෙමාපියන් ගෙනයන විරෝධතා දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.

පසුගිය සතියේ හා මේ සතියේ රජයේ වෛද්‍යවරුන්, දුම්රිය සේවකයින් පරිපාලන නිලධාරින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සියලු‍ සේවකයින්, ලංගම කම්කරුවන් වර්ජන හා විරෝධතා දියත් කලහ.

නමුත්, උග්‍ර නය අර්බූදයකට මුහුන දී සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙත් පිහිටා සිටින්නේ, ගුරුවරුන්ගේ, සිසුන්ගේ, දෙමාපියන්ගේ සහ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ හා පොදුවේ සමස්ත වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවයන්ට එරෙහිවයි. නොවැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයෙන් කවරෙක් බලයට පත් වුවද ඔහුගේ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන්ට අනුව, 2015 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7ක් පමන වූ අයවැය හිඟය 2020 වනවිට හරි අඩකින්, එනම් සියයට 3.5 දක්වා කප්පාදු කල යුතුය. එහිදී ප්‍ර‍ධානතම ඉලක්කයක් වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍යය තවදුරටත් කප්පාදු කිරීම සහ එම ක්ෂේත්‍ර‍යන් හි පුද්ගලීකරනය වේගවත් කිරීමයි.

ගුරු සමිති ගිය සතියේ ප්‍රකාශකලේ 1997 ඇති කෙරුනු ගුරු වැටුප් විෂමතාවට මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නැතිබවයි. බලපෑම් දැමීමෙන් ඉල්ලීම් දිනාගැනීමේ වෘත්තීය සමිතිවල ක්‍රියාමාර්ගයේ නිස්සාර භාවයට තවත් සාක්ෂි අවශ්‍ය ද? සමිති විසින් කරන ලද්දේ එම ක්‍රියාමාර්ග තුලම ගුරුවරුන් සිරකොට අධෛර්යයට පත්කිරීමෙන් ඔවුනගේ සටන්කාමිත්වය දියකර හැරීමට යි.

ලගුසේස ප්‍ර‍ධාන ලේකම් මහින්ද ජයසිංහ සැප්තැම්බර් 15 වන දා මාධ්‍ය හමුවකදී පැවසුවේ මාර්තු 13 වනදා වර්ජනයෙන් පසු පිලිතුරු ලබා දෙන බවටආන්ඩුව පොරොන්දු වූ නමුත් මාස පහකට පසුව පවා එම පොරොන්දුවට ගරු කිරීමට රජය අපොහොසත් වී ඇතිබවයි. ගුරු-විදුහල්පති සමිති සන්ධානය නිකුත්කොට ඇති නිවේදනයක සඳහන් වනුයේ, බී.සී. පෙරේරා වැටුප් කොමිසම මගින් නිර්මානය කර ඇති වසර 22 ක් පවතින වැටුප් විෂමතා ඉවත්කර ගැනීම සඳහා පැවැත්වූ වර්ජන ක්‍රියාමාර්ග කිසිවකින් “පිලිතුරු නොලැබුනු” බවයි.

බලපෑම් යෙදීමේ ක්‍රියාමාර්ගවල බංකොලොත්භාවය නැවත නැවතත් සනාථ වෙමින් පැවතියදී, එම ක්‍රියාමාර්ග ඔස්සේම යමින් එලැඹෙන 26, 27 දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර “ගුරු විදුහල්පති බලය පෙන්නමු!”යයි සමිති සන්ධානය කියා සිටී. ගුරුවරුන් මෙම පූච්චානම් එකහෙලා ප්‍ර‍තික්ෂේප කල යුතුය.

වත්මන් ආන්ඩුවේ මෙන්ම බලයට පත්වන කවර ආන්ඩුවක හෝ පිලිවෙත වනුයේ මෙම ප්‍ර‍හාරයන්ට එරෙහිව සටනට අවතීර්න වන කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් තලා දැමීම සඳහා පොලිස් රාජ්‍යයක් සුදානම් කිරීම සහ කම්කරු පන්තිය වාර්ගික සහ ආගමික රේඛා ඔස්සේ බෙදීම සඳහා අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් පන්නයේ නඩ ශක්තිමත් කොට පෙරට ගැනීමයි.

ලංකාවේ නැගෙන කම්කරු පන්තියේ අරගල තලා දැමීමේ පොටක් සොයමින් සිටි ලංකාවේ පාලක පන්තිය අප්‍රේල් 21 දා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර දැනදැනම සිදුවීමට ඉඩහැර වහා පොලීසිය සහ මිලිටරිය බල ගැන්වීය. ජනාධිපති සිරිසේන රටපුරා මිලිටරිය දිගේලි කිරීමට අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ. මැයි මස 09, 10 දින වල පැවැත්වීමට තිබූ ගුරු වර්ජනය කල් දැමූවේ ගුරු වෘත්තීය සමිති රටපුරා හදිසි නීතිය හා වර්ජන තහනම් කිරීම ඉලක්ක කර ගත් අත්‍යාවශ්‍ය සේවා නියෝග ඇතුලු‍ ආන්ඩුවේ මෙම පොලිස්-මිලිටරි රාජ්‍ය සැලසුම්වලට පිටුබලය දෙමිනි.

ෆදැන් අරගලයට පිවිසෙන අවශේෂ කම්කරුවන්ට මෙන්ම ගුරුවරුන්ට වෘත්තීය සමිති මත තවදුරටත් රැඳී සිටීමට නොහැකි ය. ගුරු අරගලය හා අවශේෂ කම්කරුවන්ගේ අරගල එක්සත්කර ශිලාචාර වැටුප්, සේවා කොන්දේසි, විශ්‍රාම වැටුප්, මනා සෞඛ්‍ය හා අධ්‍යාපනයක් ඇතුලු‍ අයිතීන් දිනාගැනීමේ පොදු අරගලයක් සංවිධානය කිරීම දවසේ අවශ්‍යතාවය යි. ගුරුවරුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අවශේෂ කම්කරුවන් එක්සත් කරගන්නා එවන් අරගලයකට හැරෙන ලෙසයි.

ෆගුරුවරුන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේ ක්‍රියාකාරී කමිටු පාසල්බදව ගොඩනගා ගැනීම අපි යෝජනා කරමු. දෙමව්පියන් සිසුන් සම්බන්ධ කරගනිමින් මෙම කමිටු ශක්තිමත් කල යුතුය. එවන් ක්‍රියාකාරී කමිටු අවශේෂ කම්කරුවන් සමග එකමුතුව තහවුරු කොට වැඩකරන ජනතාවගේ පොදු අරගලයක් සංවිධානය කරගැනීමටද ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට ද ගන්නා වැදගත් ඉදිරි පියවරකි.

ගුරුවරුන් හා සමස්තයක් ලෙස කම්කරු පන්තියේ හා දුගීන් ගේ අයිතීන්ට එල්ලවන් ප්‍රහාරයේ මූලය ධනපතිවාදයයි. ඔවුන්ට තම අයිතීන් රැකගැනීම හා වර්ධනය කර ගැනීම කල හැක්කේ ධනවාදයට එරෙහි ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස තම සටන වර්ධනය කර ගැනීමෙනි. ආර්ථික ජීවිතය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනක්, කම්කරු පන්තිය විසින් නිෂ්පාදනය කරනු ලබන දැවැන්ත ධනය, මහජනයාගේ භෞතිකමය සහ සංස්කෘතිකමය මට්ටම් ඉහල නැංවීමට, සියල්ලන්ටම නිදහස් සහ ගුනාත්මක අධ්‍යාපනයක් සහතික කිරීමට සහ මානව වර්ගයා දරිද්‍රතාවයෙන්, සූරාකෑමෙන් සහ යුද්ධයෙන් ගලවා ගැනීමට යොදා ගත හැක.

කම්කරු පන්තියේ අරගල තලා දැමීමේ ප්‍රති-විප්ලවවාදී සැලසුම් වලට පරාජය කිරීමට කම්කරු පන්තියට තමන්ගේම මූලෝපායක් අවශ්‍ය කෙරී ඇත. ජාත්‍යන්තර පන්ති අරගලයේ වෛෂයික අවශ්‍යතාව වන්නේ කම්කරු පන්තිය දේශපාලන බලය තමන්ගේ අතට ගැනීමේ සහ පුද්ගලික ලාභ මත නොව සමාජ අවශ්‍යතාවන්ගේ පදනම මත සිට ලෝක ආර්ථිකය ප්‍රති සංවිධානය කිරීමේ අවශ්‍යතාවය යි.

එම පදනම මත, ධනපති පන්තියේ සෑම කොටසකින්ම ස්වාධීනව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට ද ඉන්දියානු උප-මහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි. මෙම අරගලයට එක්වන ලෙස ගුරුවරුන් ඇතුලු‍ සියලු‍ කම්කරුවන්ගෙන් හා සිසුන් ඇතුලු‍ තරුන ජනයාගෙන් අපි ඉල්ලමු.

Share this article: