රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධතා මාලාවට පාසැල් ගුරුවරු ද එක් වෙති

කපිල ප්‍රනාන්දු විසිනි, 2020 පෙබරවාරි 19

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු ගත වූ මාස තුන ඇතුලත වර්ධනය වෙමින් පවත්නා පන්ති අරගල මාලාවට, රටෙහි කම්කරු පන්තියේ තවත් සුවිසල් ක්ෂේත්‍ර‍යක එක්වීම සටහන් කරමින් දහසක් පමන පාසල් ගුරුවරු හා විදුහල්පතිවරු පෙබරවාරි 16 දා කොලඹ දී විරෝධතාවයක නිරත වූහ.

ගුරුවරුන්ගේ විරෝධතා පෙලපාලිය

වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩි කිරීම, 2016 සිට අහිමි කල විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කිරීම, ගුරුවරුන් මත බර පටවන අනවශ්‍ය ලිපි ලේඛන කටයුතු නතර කිරීම සහ අධ්‍යාපනයට ඉහල ප්‍රතිපාදන වෙන් කිරීම ගුරුවරුන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතර විය.

විරෝධතාවය සංවිධානය කොට තිබුනේ, ලංකා ගුරු සංගමය (ලගුස) හා ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) ඇතුලු‍ ගුරු-විදුහල්පති සමිති එකමුතුව විසිනි.

විරෝධතාවය සඳහා ගුරුවරුන් බලමුලු‍ ගැන්වීමට එම සමිති නිලධරය දැරූ ප්‍රයත්නයේ සීමිතභාවය සහ රාජපක්ෂ ආන්ඩුව ප්‍ර‍මුඛ කොලඹ පාලක පන්තිය විසින් රටෙහි දෙමල සහ මුස්ලිම් සුලු‍තර ජන වර්ගයන්ට එරෙහිව ගෙනයන වාර්ගික ප්‍රකෝපකරනය නොතකා, විවිධ ජන වර්ග චලට අයත් ගුරුවරු දහසකට අධික සංඛ්‍යාවක් විරෝධතාවයට සහභාගිවී සිටියහ. එය ගුරුවරුන් අතර සුවිශේෂීව ද, සමස්ත කම්කරු පන්තිය තුල පොදුවේ ද වැඩෙන සමාජ ආතතියේ ද ප්‍ර‍කාශනයකි.

පෙබරවාරි 16 දා සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයට අනුව, මේ මාසයේ ගත වූ දින 15 ක කාලය තුල කොලඹ නගරය මුල් කරගනිමින් මහජනයාගේ විවිධ කොටස් සම්බන්ධ වී ගත් විරෝධතා 44 ක් පැනනැග තිබේ. රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු රැකියාවලින් දොට්ට දැමූ, ඛනිජ තෙල් සංස්ථාවේ, නිවාස අධිකාරියේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, සමෘද්ධි දෙපාර්තමේන්තුවේ හා තවත් අංශවල කම්කරුවන්ගේ මෙන්ම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගල වලින් සමන්විත විරෝධතා මාලාවක් ඊට අයත් වෙයි.

විරෝධතා වේගයෙන් වැඩෙත්ම, කම්කරුවන්ගේ සම්ප්‍ර‍දායික විරෝධතා මධ්‍යස්ථාන වන, කොලඹ කොටුව දුම්රිය ස්ථානය සහ ලිප්ටන් වටරවුම වැනි කම්කරු‍‍වෝ බහුලව ගැවසෙන ස්ථාන වල විරෝධතා පැවැත්වීම වලකාලමින්, සාපේක්ෂ වශයෙන් ජනශුන්‍ය ප්‍රදේශයක් වන ගෝල්ෆෙස් පිටියේ “‍උද්ඝෝෂන කලාපයක්”‍ පිහිටුවීමට රාජපක්ෂ පියවර ගත්තේය.

විරෝධතා මගින් ඇති කෙරෙන වාහන තදබදය හේතුවෙන් “‍මහජනයාට වන බාධාව වැලැක්වීමේ”‍ කඩතුරාව යටතේ මෙම පියවර ගැනුන ද, එහි සැබෑ අරමුන වනුයේ, එම විරෝධතාවයන්ට අවශේෂ කම්කරුවන්ගේ අවධානය සහ සහයෝගය යොමුවීම වැලැක්වීමයි. එවන් අවධානයක් සහ සහයෝගයක් කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් දෙසට වර්ධනය වෙතැයි රාජපක්ෂ ඇතුලු‍ පාලක පන්තිය ගනන් බලයි.

කෙසේ වෙතත්, කොලඹ කොටුව දුම්රිය ස්ථානයට රැස් වී විරෝධතාවයේ නිරත වූ ගුරවරු පසුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කලහ. ලංගුස ලේකම් ජෝසප් ස්ටැලින් සහ ලගුසේස ලේකම් මහින්ද ජයසිංහ ඇතුලු‍ සමිති නායකයෝ කිහිප දෙනෙක් ඉන් අනතුරුව සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලු‍ වූහ.

ගුරුවරුන් අතරට කඩා වැදුනු කැරලි මර්දන ඒකකය සහ පොලීසිය

සමිති නායකයන් සාකච්ඡාවේ නිරතව සිටිය දී කැරලි මර්දන ඒකකය සහ පොලීසියේ සියයක පමන කන්ඩායමක්, ලේකම් කාර්යාලයේ ගේට්ටුව අසල සටන් පාඨ කියමින් සිටි අවශේෂ ගුරුවරුන් අතරට කඩා වැදී, ඔවුන්, උද්ඝෝෂන සඳහා වෙන් කල ස්ථානයට පලවා හැරියහ. මේ අවස්ථාවේ ගුරුවරියෝ කිහිප දෙනෙක් පොලිස් භටයන්ගේ පහරකෑම් වලට ලක් වූහ.

නමුත් සමිති නායකයෝ එම පහරදීම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ දඩබ්බර හැසීරීමකට ලඝු කිරීමට උත්සාහ ගත්හ. “‍පොලිස් නිලධාරීන් කල සුලු‍ පහරදීම වැඩිය ගනන් ගන්න එපා”‍ යයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ නායක යලේවෙල පඤ්ඤාසේකර භික්ෂුව ප්‍රකාශ කලේ ය.

ගුරුවරුන් ඇමතූ මහින්ද ජයසිංහ, තමන් ඇතුලු‍ සමිති නායකයන් දෙසැම්බර් 17 වන දා අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම සමගත්, ජනවාරි 21 වන දා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු සමගත් සාකච්ඡා කල බව සහ ඉන් කවර හෝ විසඳුමක් නොලැබුනු තැන ජනාධිපති හමු වීමට පැමිනි බව ප්‍රකාශ කලේ ය.

මෙවර ද ජනාධිපතිගේ අතිරේක ලේකම්වරයෙකු සමග කෙරුනු නිෂ්ඵල සාකච්ඡාවකින් පසු ගුරුවරුන් වෙත පැමිනි ජයසිංහ, “‍පෙරවාරි 20 ට පෙර විධිමත් සාකච්ඡාවක් මගින් මේ ප්‍රශ්නය විසඳන්න ඕනෑ. නැත්නම් පෙබරවාරී 26 දා රටේ ම පාසල් වහනවා”‍ යයි බෙරිහන් දුන්නේ ය.

එම තානයම ඉදිරියට ගෙන ගිය ස්ටැලින් “‍පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති විරෝධතාවයේ දී පොලීසිය අපිව ජනාධිපති ලේකම් ගාවට එක්කන් ගියා. නමුත් ලැජ්ජයි කියන්න, සාකච්ඡාවල කිසිදු ප්‍රතිඵලයක් නෑ. විසිවෙනිදාට පෙර සියලු‍ පාර්ශව සම්බන්ධ කරගෙන සාකච්ඡාවක් ගන්නේ නැත්නම්, අපි ජයග්‍රහනයකින් කෙලවර කරන වර්ජනයකට”‍ යන බවට පූච්චානම් දෙඩී ය.

“‍ජයග්‍රහනයකින් කෙලවර කරන”‍ වර්ජනයක් ගැන මෙසේ නිර්ලජ්ජිතව කතා කරන්නේ, 2019 ඔක්තෝබර් මාසයේ 7 දා සිට 12 දා දක්වා පැවැත්වීමට තිබූ දින 5 ක වැඩ වර්ජනය නවතා දැමූ සමිති නායකයන් ය.

එය නවතා දැමුවේ, විවිධ ක්ෂේත්‍ර‍යන්හි කම්කරුවන් අතරින් පසුගිය වසරේ පැන නැගුනු වර්ජන රැල්ල යට ගැසීමේ අරමුනෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සැප්තැම්බර් 27 දා පත් කල කැබිනට් මන්ඩල අනු කමිටුවට රිංගා ගනිමින් පැවති ආන්ඩුවට දුන් සහතිකයේ කොටසක් ලෙසිනි.

ගුරු විරෝධතාවයට මැදිහත්වූ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායම, ගුරු අරගලය ජයගන්නේ කෙසේද? යන හිසින් යුත් තම ප්‍ර‍කාශයේ පිටපත් ගුරුවරුන් අතර බෙදා හරිමින්, ඔවුන් සමග සාකච්ඡාවක නිරත විය.

විවිධ විරෝධතාකරුවන්ට, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින්, තමා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදියෙකු ලෙස මවා පෙන්වීමට රාජපක්ෂ දරන උත්සාහය ගැන කතා කරමින්, කුරුනෑගල සිට පැමිනි වසන්ත නම් ගුරුවරයෙක් මෙසේ ප්‍රකාශ කලේ ය:

“‍කලින් පැවති රාජපක්ෂ ආන්ඩුව ප්‍ර‍ජාතන්ත්‍ර‍ අයිතීන්ට එල්ල කල රුදුරු ප්‍රහාරයන් දිහා බැලු‍වමත්, ආන්ඩුවේ නය අර්බූදය මත ක්‍රියාත්මක කරන්න නියමිත ප්‍ර‍හාරය දිහා බැලු‍වමත්, මේක බැටලු‍ වෙස්ගත් වෘකයෙකුගේ රගපෑමක්. අනිවාර්යෙන්ම අප්‍රේල් මාසයේ පවත්වන පාර්ලිමේන්තු මැතිවරනය අවසන් වුන ගමන්ම මහජනයාට එරෙහිව මුර්ග ප්‍රහාර ආරම්භ කරනවා.”‍

එම මැතිවරනයෙන් පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බහුතරයක් තහවුරු කර ගනිමින්, ව්‍යවස්ථාව සංශෝධනය කොට, කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල රුදුරු ලෙස තලා දැමීමට අවශ්‍ය ආඥාදායක බලතල ගොනුකර ගැනීම රාජපක්ෂගේ අරමුන බව සසප ගුරු කන්ඩායමේ සාමාජිකයෝ ගුරුවරුන්ට පෙන්වා දුන්හ.

වසන්ත මෙසේ ද පැවසීය: “‍රාජපක්ෂවරුන්ට ඡන්දය දීපු ජනයාම, මාස තුනක් ඇතුලත දැන් ඔවුන්ගේ ආන්ඩුවට විරුද්ධව අරගලවලට පැමිනෙනවා. ආන්ඩු මාරු කිරීමෙන් පොදු මහජනයාගේ එකදු ප්‍රශ්නයක්වත් විසඳන්න බැරි බව ඉතා පැහැදිලියි.”‍

ගාමිනී:

වයඹ පලාතේ කුලියාපිටිය ප්‍රදේශයෙන් පැමිනි ගාමිනී: “‍මේ ආන්ඩු අපේ ප්‍රශ්න විසඳයි කියලා මට විශ්වාසයක් නෑ. මට සමාජවාදය පිලිබඳව විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තිබුනත් ඒකට නායකත්වය දෙන්නෙ කවුද කියල ප්‍ර‍ශ්නයක් තියෙනව. සමාජවාදී යැයි කියා ගත් ලංකා සම සමාජ පක්ෂය(ලසසප) ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) දැන් මුලු‍මනින්ම ධනවාදයේ පැත්තේ ඉන්නේ. සමාජවාදී විකල්පය සහ සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය සාකච්ඡා කිරීමට මට අවශ්‍යයි.”‍

ස්ටැලින් ඇතුලු‍ ගුරු සංගම් නායකයන් “ජයග්‍රහනයෙන් කෙලවර කරනවා”‍ යයි පවසමින් වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ගෙනයන “‍අරගලය”‍ වසර 23 ක් පුරා ඇද ගෙන ගොස් ඇති ආකාරය සසප ගුරු කන්ඩායම ගුරුවරුන්ට පෙන්වා දුනි.

කම්කරුවන් ශ්‍රේනිවලට බෙදා ලමින් ධනපති ක්‍රමයට එරෙහි පොදු අරගලයක් තුල ඔවුන් ඒකාබද්ධ කිරීමට හතුරුව පාලක පන්තියේ උපකරන ලෙස වෘත්තීය සමිති ක්‍රියා කරන ආකාරය පැහැදිලි කල විට බොහෝ ගුරුවරු එයට එකගතාව පල කලහ.

අනුරාධපුරයේ සිට පැමිනි තරුන ගුරුවරයෙකු වන සමන් මෙසේ පැවසීය: “‍සමාජවාදී වැඩපිලිවෙල යටතේ කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කල යුතුයි යන අදහස නිවැරදියි. වෘත්තීය සමිති එයට හතුරුව සිටින නිසා එය කරන්නේ කෙසේද යන්න ගැන වැඩිදුර සාකච්ඡා කිරීමට මම කැමතියි.”‍

ආන්ඩුවේ ප්‍ර‍හාර වලටත්, ඒ සඳහා පූර්න අනුග්‍ර‍හය ලබාදෙන වෘත්තීය සමිති වලටත් එරෙහිව සටන් කිරීමට නම් මෙම ප්‍රහාරයේ මූලය පිලිබඳ සංයුක්ත අවබෝධයක් ගුරුවරු ඇතුලු‍ සමස්ත කම්කරු පංතියට අත්‍යවශ්‍ය බව සසප ගුරු කන්ඩායම පෙන්වා දුනි.

ලෝක ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත බිඳ වැටීමේ කොටසක් ලෙස ලංකාවේ ආන්ඩුව දැවැන්ත නය අර්බූදයකට මුහුන දී සිටී. මේ වසරේ ගෙවිය යුතු නය පොලී වාරිකය පමනක් ඇමරිකානු ඩොලර් බිලියන 6 ක් තරම් විශාල මුදලකි. දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 7 ක් වන අය-වැය හිගය අඩකින් කප්පාදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආන්ඩුවට විධානය කොට ඇත. එය සිදු කෙරෙනුයේ, අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර‍යන්හි දැවැන්ත කප්පාදු තුලිනි.

ගෝලීය ධනේශ්වර අර්බුදය හමුවේ රටක් රටක් පාසා මෙම සමාජ ප්‍රතිවිප්ලවීය ප්‍රහාරය දියත්වන අතර එයට එරෙහිව අරගලයට පිවිසෙන මිලියන සංඛ්‍යාත කම්කරුවන් අත් දකිනුයේ ආන්ඩුවලට බලපෑම් යෙදීමෙන් එම ප්‍රහාර ආපසු හැරවිය නොහැකි බවයි.

ගුරුවරුන් ඇතුලු‍ සමස්ත කම්කරු පන්තියටත්, අවශේෂ පීඩිතයන්ටත් එල්ල කෙරෙන මෙම ප්‍ර‍හාරයන් පරාජය කිරීමට, ධනපති ආන්ඩුවටත්, සමස්තයක් ලෙස ගෝලීය ධනේශ්වර පද්ධතියටත් එරෙහි දේශපාලනික අරගලයක් අත්‍යවශ්‍ය කෙරී පවතී.

ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ එවන් අරගලයක් පෙරට ගැනීම සඳහා ධනපති ගැති වෘත්තීය සමිතිවලින් කැඩී ගනිමින්, ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටු පාසල් හා වැඩබිම් ආශ්‍රිතව ගොඩනැගීමට ගුරුවරුන් පෙරමුන ගත යුතුය.

Share this article: