ඉන්දියාව: මෝදිගේ මුස්ලිම්-විරෝධී පුරවැසි සංශෝධන පනතට එරෙහිව අඛන්ඩ මහජන විරෝධතා

India:Mass protests against Modi’s anti-Muslim Citizenship Amendment Act continue

දීපාල් ජයසේකර විසිනි, 2020 ජනවාරි 24

නරේන්ද්‍ර මෝදි-නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ඉන්දියානු ආන්ඩුව, පසුගිය මාසයේ කඩිමුඩියේම නීතිගත කල මුස්ලිම් විරෝධී පුරවැසි සංශෝධන පනතට (සීඒඒ) එරෙහි මහජන විරෝධතා දැන් හයවන සතියට එලඹ තිබේ.

නිරන්තරයෙන්ම එල්ලවන කුරිරු රාජ්‍ය මර්දනය නොතකා, මිලියන ගනනක ජනතාව වීදිවල දැක්වූ විරෝධතා, ඉන්දියාව පුරා පැතිර තිබේ. මුලින් මුස්ලිම් තරුනයන්ගේ නායකත්වයෙන් පැනනැඟි සීඒඒ විරෝධී උද්ඝෝෂන, සමාජ විරුද්ධත්වය අවමංඟත කිරීමේ හා කම්කරු පන්තිය භේද කිරීමේ මාධ්‍යයක් ලෙස පාලක පන්තිය දිගු කලක් තිස්සේ වගාකර තිබෙන, ආගමික-නිකායික, වාර්ගික-භාෂාමය, කුල භේද කපාගෙන ගියේය.

පශ්චාත් යටත් විජිත ඉන්දියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට සීඒඒ මඟින්, පුරවැසිභාවය තීරනය කිරීම සඳහා ආගම නිර්නායකයක් බවට පත් කරයි. ඒ අනුව, ප්‍රධානකොටම මුස්ලිම් රටවල් තුනක් වන ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවලින් 2015 ට පෙර ඉන්දියාවට පැමිනි අය හෝ එසේ පැමිනි ඔවුන්ගේ මුතුන් මිත්තන් ඇතුලු සියලුම සංක්‍රමනිකයින්ට පලදායී ලෙස පුරවැසිකම ප්‍රදානය කරන නමුත්, කැපී පෙනෙන පරිදි හා ගනන් බලා මුස්ලිම් සංක්‍රමනිකයින්ට පුරවැසිකම නොදී හරියි.

මෝදි සහ ඔහුගේ ප්‍රධාන හෙංචයියා වන ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා යන සීඒඒ හි ප්‍රධාන කතුවරුන් අදහස් කලේ, එමඟින්, ජාතික පුරවැසි ලේඛනයක් (එන්ආර්සී) සඳහා ඔවුන්ගේ දුෂ්ට, වාර්ගික අභිප්‍රේරිත යෝජනා ක්‍රමයට වේදිකාව සකසා ගැනීම ය. මේ යටතේ ඉන්දියාවේ බිලියන 1.3 ක් වන සමස්ත ජනගහනයටම, බලධාරීන් තෘප්තියට පත්වන පරිදි ඉන්දියානු පුරවැසිභාවය සඳහා ඔවුන්ට ඇති අයිතිය ඔප්පු කිරීමට සිදුවනු ඇත.

සීඒඒ විරෝධී මහජන උද්ඝෝෂන හේතුවෙන් පසු පාදයට යාමට බලකෙරුනු මෝදිට සහ ෂාට, මීට පෙර ඔවුන් කල විවිධ ප්‍රසිද්ධ ප්‍රකාශයන් නොතකා, දැනට ඊසානදිග ඇසෑම් ප්‍රන්තයට පමනක් සීමා වී ඇති එන්ආර්සී, රටටම බලපාන පරිදි දිගු කරන බව කිසිවිටෙකත් නොපැවසූ බව තාවකාලිකව හෝ පැවසීමට සිදුව ඇත.

දිනපතා පැවැත්වෙන සීඒඒ විරෝධතා හේතුවෙන් ජාතික අගනුවර වන දිල්ලියේ ජන ජීවිතය නිරන්තරයෙන් කැලඹීමට පත්ව තිබීමෙන් ආන්ඩුව ව්‍යාකූල වී ඇත. වැඩ කරන පන්තියේ මුස්ලිම් වැසියන් ජීවත්වන ෂහීන් බාග් අසල, දිල්ලිය එහි උප නගරයක් වන නොයිඩා සමග සම්බන්ධ වන ප්‍රධාන මාර්ගය දිගේ, වැඩි දෙනෙක් මුස්ලිම් කාන්තාවන් වන විරෝධතාකරුවන් දහසක් පමන මාසයකට වැඩි කාලයක් තිස්සේ වාඩිලාගෙන සිටිති. සෑම දිනකම, විවිධ ආගම්වලට අයත් සිය ගනනක්, සමහර විට දහස් ගනනක් විරෝධතාවන්ට එක්වන අතර, බොහෝ විට “හින්දු, මුස්ලිම්, සීක්, ඉසායි-ආපාස් මේන් හයින් බායි බායි” යන හඬ නගති. එහි අර්ථය හින්දු, මුස්ලිම්, සීක් සහ ක්‍රිස්තියානීන් සහෝදරයෝ ය යන්නයි.

වාහන තදබදය වැඩි කරන බව පවසමින් වාඩිලා ගැනීම නතර කිරීමට පොලිසිය උත්සාහ කර තිබේ. එහෙත් විරෝධතාකරුවන් නොසැලී සිටින අතර පාසල් වාහන සහ ගිලන්රථ වලට පමනක් පාරේ ගමන් කිරීමට ඉඩ සලසා ඇත.

දිල්ලියේ ජමියා මිලියා ඉස්ලාමියා විශ්ව විද්‍යාලයේ සහ ඊට අනුබද්ධ උත්තර් ප්‍රදේශ්හි අලිගර්හි අලිගර් මුස්ලිම් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් දිගටම විරෝධතා පවත්වමින් සිටින අතර නියමිත විභාග කල්දැමීමට බලධාරීන්ට බල කෙරී ඇත. සීඒඒ සහ එන්ආර්සී විරෝධී උද්ඝෝෂන මැඩපැවැත්වීමේ අරමුනින් පොලීසිය දෙසැම්බර් 15 වන දින විශ්ව විද්‍යාල දෙකම ආක්‍රමනය කර සිසුන්ට පහර දුන් අතර දුසිම් ගනනක් රෝහල් ගත කිරීමට සිදුවිය.

විශේෂයෙන් උත්තර් ප්‍රදේශ්, කර්නාටක සහ ඇසෑම් හි භාරතීය ජනතා පක්ෂ නායකත්වය දරන ප්‍රාන්ත ආන්ඩු හරහා භාරතීය ජනතා පක්ෂය, වැඩෙන සීඒඒ විරෝධතාවන්ට එරෙහිව මාරාන්තික ප්‍රචන්ඩත්වය, සිව් දෙනෙකුට වැඩි පිරිසක් එකතුවන සියලු මහජන රැස්වීම් තහනම සහ අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවීම වැනි රුදුරු මර්දනයක් දියත් කරයි. එසේම ආන්ඩුව, විරෝධතාකරුවන් “ප්‍රචන්ඩකාරීන්” යැයි ලේබල් ගැසීම සහ ජාතිවාදී සතුරුකම් අවුස්සමින් ඔවුන් පාකිස්තානය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට ද ප්‍රකාශ කරයි.

විශේෂයෙන් ම රුදුරු මර්දනයක් ගෙනයන්නේ, ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්න හා දරිද්‍රතාවය උග්‍රව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ය. බොහෝකොටම පොලිස් වෙඩි තැබීම්වල ප්‍රතිපලයක් ලෙස එහි විරෝධතාකරුවන් 20 ක් පමන මිය ගොස් ඇත.

දිල්ලියේ දිගින් දිගටම පවතින විරෝධතා මැඩපැවැත්වීමට පැහැදිලිවම සූදානම් වෙමින් සිටින, ජාතික අගනුවර කලාපයේ භාරතීය ජනතා පක්ෂයෙන් පත් කරන ලද ලුතිනන් ආන්ඩුකාරවරයා විසින්, 1980 ජනවාරි මාසයේ රුදුරු ජාතික ආරක්ෂක පනත යටතේ කිසිදු චෝදනාවකින් තොරව පුද්ගලයන් රඳවා තබා ගැනීමට පොලීසියට බලය ලබා දී තිබේ. දිල්ලි පොලිසියට වරින් වර එවැනි බලතල ලබා දෙන බව පවසමින් බලධාරීන් ඔවුන්ගේ මර්දනකාරී සැලසුම් අවතක්සේරු කිරීමට උත්සාහ කර ඇත.

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් නැවත නැවතත් සංඥා කර ඇත්තේ, ඊටත් වඩා විශාල මර්දනයක් යොදා ගැනීමට තමන් සූදානම් බවයි.

උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගී ආදිත්‍යනාත්, සීඒඒ විරෝධතාකරුවන් “ජාතිද්‍රෝහීන්” යැයි හෙලා දැක ඇති අතර, සීඒඒ විරෝධී උද්ඝෝෂනවලදී මහජන දේපලවලට හානි කල බව කියන අයගේ දේපල අත්පත් කර ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබේ. රජයේ විරුද්ධවාදීන් කියා සිටින්නේ, මෙම නියෝගයේ ආවරනය යටතේ පොලිසිය අත්තනෝමතික ලෙස වරප්‍රසාදිත මුස්ලිම්වරුන් ඉලක්ක කරන බවයි. බදාදා ආදිත්‍යනාත් කියා සිටියේ “කාශ්මීරයේ දී ඔවුන් කල ආකාරයටම” “අසාඩි” සටන් පාඨ නගන අය, එනම් “නිදහස” ඉල්ලා සිටින සහ ඉන්දියානු රජය හෙලා දකින අය “ද්‍රෝහීන්” ලෙස සලකන අතර ඔවුන්ට විරුද්ධව “දැඩි” ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මීට පෙර, භාරතීය ජනතා පක්ෂයේ බටහිර බෙංගාල ප්‍රාන්ත ඒකකයේ සභාපති දිලිප් ගොෂ්, බටහිර බෙංගාල මහඇමති මමතා බැනර්ජිට ප්‍රසිද්ධියේ දොස් පැවරුවේ, සීඒඒ විරෝධීන්ට “වෙඩි නොතැබීම සහ පොලිස් බැටන් ප්‍රහාරයන්ට නියෝග නොකිරීම” නිසා ය. “උත්තර් ප්‍රදේශ්, ඇසෑම් සහ කර්නාටක ප්‍රාන්තවල අපේ ආන්ඩු, “මේ මිනිසුන්ට බල්ලන්ට වගේ වෙඩි තැබුවා” කියා ඔහු කයිවාරු ගැසීය.

ගොෂ්ගේ ප්‍රකාශය රටපුරා මහත් කලබලයක් ඇති කිරීමෙන් පසුව, ඔවුන්ගෙන් ඉවත් වීමට භාරතීය ජනතා පක්ෂයට සිදුවිය. එහෙත් ඉන් පසුවත් භාරතීය ජනතා පක්ෂ නිලධාරීන්ට තමන් පාලනය කරගත නොහැකි විය. භාරතීය ජනතා පක්ෂයේ මහ ලේකම් අනිල් ජේන් කියා සිටියේ, භාරතීය ජනතා පක්ෂය ගෝෂ්ගේ ප්‍රකාශයන්ට “එකඟ නොවන” බවයි. එහෙත් ඊලඟ හුස්මෙහිදී ඔහු පැහැදිලි කිරීමට උත්සාහ කලේ, ඒවා මෝදි සහ ආදිත්‍යනාත්ට එරෙහි “විරෝධතා සටන් පාඨ සහ පෝස්ටර්” කෙරෙහි දැක්වුන “ප්‍රතික්‍රියා” බවයි.

ඉන්දියාවේ සිව්වන වඩාත් ජනාකීර්න ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂ ප්‍රධානියා ලෙස සිය ධුරයේ රැඳී සිටින ගෝෂ්, සීඒඒ විරෝධතාවන්ට එරෙහි සිය ගිනි අවුලුවන ප්‍රකාශ ගැන යලිත් වරක් කියා සිටියේ, “මම මගේ අදහස් අත් නොහරිමි, විවේචන ගැන මම කරදර නොවෙමි“ යනුවෙනි.

භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවට එරෙහි මහජන විරෝධය හදිසියේම පුපුරා යාම, පාලක ප්‍රභූ පැලැන්තියේ සමහර කොටස් තැතිගන්වා තිබේ. භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ වර්ගවාදී න්‍යාය පත්‍රය පුලුල් කම්කරු පන්තියේ නැගිටීමක් සමඟ අන්තර්ඡේදනය වී ඇත. මෝදි ආන්ඩුවේ “වෙලඳපොල ගැති” ආර්ථික ප්‍රතිපත්ති සහ සීඒඒට විරෝධය දැක්වීම සඳහා මධ්‍යම කම්කරු සම්මේලන සංගම් දහයක් විසින් කැඳවන ලද එක්දින මහා වැඩ වර්ජනයට මිලියන ගනනක් කම්කරුවන් හා තරුනයින් සහභාගී වීමෙන් විශේෂයෙන් එය සලකුනු කෙරින.

“සීඒඒ පිලිබඳ උත්සුකයන් මත: උපකාරී නොවන සටන්කාමිත්වය” නමින් ජනවාරි 14 වන දින ද හින්දු පුවත්පතේ පලවූ කතුවැකිය මෝදිගෙන් ඉල්ලා සිටියේ, “සීඒඒ පිලිබඳ උත්සුකයන් ගැන වැරදි අර්ථකථන කරනවා වෙනුවට (හිතාමතාම) විසඳුම් ලබා දෙන” ලෙසයි.

ඉංග්‍රීසි භාෂාවෙන් පලවන රටේ ප්‍රධානම දිනපතා පුවත්පත වන ටයිම්ස් ඔෆ් ඉන්ඩියා, තම හින්දු ජාතිවාදී න්‍යාය පත්‍රයේ අංගයන්ගෙන් පසුබසින ලෙස භාරතීය ජනතා පක්ෂ රජයට අවවාද කරමින්, ඒ වෙනුවට ගෝලීය ප්‍රාග්ධනය ආකර්ෂනය කර ගැනීමට සහ ඉන්දියාව ගැඹුරු ආර්ථික පසුබෑමෙන් ගලවා ගැනීම සඳහා “මහා පිපිරුම්” ප්‍රතිසංස්කරනවල නව රැල්ලක් ඇති කිරීම ගැන අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියි.

තමන්ගේ පැත්තෙන් මෝදි ආන්ඩුව, වැඩෙන විරුද්ධත්වයට එරෙහිව සිය හින්දු ජාතිවාදී ආධාරකරුවන් පෙලගස්වා ගැනීමේ ප්‍රමුඛ ක්‍රමයක් ලෙස “හින්දු අධිපතිවාදය” ප්‍රවර්ධනය කිරීම දැකගනී. සියල්ලටත් වඩා, මහා විරැකියාව, උග්‍ර දරිද්‍රතාවය සහ දිනෙන් දින පුලුල් වන සමාජ අසමානතාව කෙරෙහි වන සමාජ කෝපය කම්කරු පන්තියට විරුද්ධව ප්‍රතිගාමිත්වය පිටුපස පෙලගස්වා ගැනීමේ යතුර එය ලෙස සලකයි.

මෑතක් වන තුරුම ඉන්දීය ධනේශ්වරයේ ආන්ඩු පක්ෂය ලෙස පැවති කොන්ග්‍රස් පක්ෂයෙන් පටන්ගෙන, තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඩීඑම්කේ) සහ බටහිර බෙංගාලයේ ත්‍රිනමූල් කොන්ග්‍රසය වැනි විවිධ ප්‍රාදේශීය පක්ෂ, භාරතීය ජනතා පක්ෂය කෙරෙහි වන විරුද්ධත්වය දේශපාලනිකව ගසාකෑමට උත්සාහ කරති. අනාගමිකවාදයේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටින ඔවුන් සියල්ලන්ටම හින්දු දක්ෂිනාංශය සමඟ බැඳුනු ඉතිහාසයක් ඇති අතර ධනේශ්වරයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර ඇත. එනම්, ඉන්දියාව ගෝලීය ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම වේදිකාවක් බවට පරිවර්තනය කිරීම සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ චීන විරෝධී “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වයක් ඇති කිරීම” ය.

ප්‍රධාන ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ - ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෝ සීපීඑම් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) විශේෂයෙන් හානිකර කාර්යභාරයක් ඉටු කරයි. භාරතීය ජනතා පක්ෂයේ හින්දු අධිපතිවාදී ක්‍රියාමාර්ග කෙරෙහි විරුද්ධත්වය, “අනාගමික” කොන්ග්‍රසය සහ අනෙකුත් දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂ පිටුපස පෙලගැස්වීමට ඔවුහු කටයුතු කරමින් සිටිති. කාශ්මීරයට එරෙහි භාරතීය ජනතා පක්ෂයේ 2019 අගෝස්තු ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රනය සහ අයෝධ්‍යාවේ කඩා බිඳ දැමූ බබ්රි මස්ජිඞ් (මුස්ලිම් පල්ලිය) භූමියේ හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා ගෙනගිය එහි ප්‍රචන්ඩ උද්ඝෝෂනය ඇතුලු කම්කරු හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාර එල්ල කිරීම සඳහා කොල එලිය දල්වා ඇති ශ්‍රේෂ්ඨාධිකරනය වැනි ධනේශ්වර රාජ්‍යයේ බලගතු ආයතන හරහා භාරතීය ජනතා පක්ෂයට විරුද්ධ වන ලෙස ඔවුහු වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටිති.

මෝදි ආන්ඩුවට හා වාර්ගවාදී ප්‍රතිගාමිත්වයට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දීය කම්කරු පන්තිය, පන්ති අරගලය මර්දනය කල භාරතීය ජනතා පක්ෂයට විරුද්ධ වීමේ නාමයෙන්, දක්ෂිනාංශික කොන්ග්‍රසයේ අනුප්‍රාප්තියට සහාය දෙන ස්ටැලින්වාදී පක්ෂවල සහ ඔවුන්ගේ වෘත්තීය සමිති අනුබද්ධයන්ගේ දේශපාලනය දැනුවත්ව ප්‍රතික්ෂේප කල යුතු ය. ලෝසවෙඅ සිය දෙසැම්බර් 21 ඉදිරිදර්ශනයේ පැහැදිලි කල පරිදි, “වාර්ගික ප්‍රතිගාමිත්වයට එරෙහි අරගලය සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකින් සජීවීකරනය කල යුතුය...

“ඒ සඳහා පන්ති අරගලය තීව්‍ර වීම අවශ්‍ය වේ. ධනේශ්වරයට සහ එහි සියලු දේශපාලන නියෝජිතයින්ට එරෙහිව කම්කරු පන්තිය සිය දේශපාලන ස්වාධීනත්වය පිහිටුවා ගත යුතු අතර, ලෝක ධනවාදයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රතිප්‍රහාරය වර්ධනය වීමේ කොටසක් ලෙස කම්කරු හා ගොවි ආන්ඩුවක් සඳහා වන අරගලය තුල ග්‍රාමීය දුප්පතුන් සහ පීඩිත ජන කොටස් බලමුලු ගැන්විය යුතුය.”

කතුවරයා මෙම ලිපි ද නිර්දේශ කරයි:

ඉන්දියානු මහා වැඩ වර්ජනය සහ වර්ගවාදයට හා යුද්ධයට එරෙහි ගෝලීය අරගලය

ඉන්දීය ආන්ඩුවේ තර්ජන නොතකා, ලක්ෂ ගනන් ජනතාව හින්දු අධිපතිවාදී නීතිවලට එරෙහිව උද්ඝෝෂනය කරති

Share this article: