දෝෂාභියෝග අර්බුදය සහ එහි දේශපාලන ප්‍රතිවිපාක

The impeachment crisis and its political consequences

2019 දෙසැම්බර් 12

ජනාධිපතිවරයා විසින් “එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව සම්මුති ගැසීය” යන ප්‍රකාශ කේන්ද්‍ර කර ගනිමින් අඟහරුවාදා, කොන්ග්‍රස් ඩිමොක්‍රටිකයෝ එක්සත් ජනපද (එජ) ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග චොදනා දෙකක් ප්‍රකාශයට පත් කලහ.

ධවල මන්දිරයේ ෆැසිස්ට්වාදියා දෝෂාභියෝගයට ලක්ව ඇත්තේ සංක්‍රමනික දරුවන් දහස් ගනනක් ඔවුන්ගේ දෙමව්පියන්ගේ අත්වලින් උදුරා ගැනීම, දේශපාලන විරුද්ධවාදීන් වන ජූලියන් අසාන්ජ් සහ චෙල්සි මැනිංට පීඩා කිරීම හෝ බහිෂ්අධිකරන (අධිකරනයට පිටින්) ඝාතනයේ ගෝලීය යාන්ත්‍රනයේ මුලසුන හෙබවීම නිසා නොවේ. ඒ වෙනුවට, දෝෂාභියෝගය අරබයා මතභේදය වන්නේ රුසියාව සමඟ ගැටුම ට්‍රම්ප් ප්‍රමානවත් ගැම්මකින් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම මුල්කොට ගෙනය.

ජනාධිපති ට්‍රම්ප් නොවැම්බර් මාසයේ දී මාධ්‍ය වෙත කථා කරයි[Credit: White House]

“රුසියානු ආක්‍රමනයන්ට එරෙහි වීම සඳහා යුක්රේනයට අත්‍යවශ්‍ය මිලිටරි ආරක්ෂක ආධාර සැපයීමේ අරමුනින්....... කොන්ග්‍රසය වෙන්කල ඩොලර් මිලියන 391 ක එක්සත් ජනපද බදු ගෙවන්නන්ගේ අරමුදල් මුදා හැරීම ” ප්‍රමාද කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා “ජාතිය පාවා දුන්නේය” යන්න ලේඛනය තර්ක කරයි.

“ජාතික ආරක්ෂාවට තර්ජනයක්” යැයි කියමින් බලයේ සිටින ජනාධිපතිවරයකුට එරෙහි පලමු දෝෂාභියෝගය මෙයයි. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” රාමුව තුල, ඇමරිකානු පුරවැසියෙකු ඝාතනය කිරීම, බලපත්‍ර රහිතව දුරකතනවලට රහසේ සවන්දීම, සිරකරුවන්/සැකකරුවන් වධහිංසා පමුනුවා ප්‍රශ්න කිරීම පිනිස වෙනත් රටකට පිටමං කිරීම‘ (රුබාසඑසදබ ) ආදී දෑ යුක්ති සහගත කිරීම සඳහා එජ බුද්ධි අංශ විසින් භාවිතා කරනු ලබන ව්‍යවස්ථාවට බාහිර තර්ක, ජනාධිපතිවරයෙකු ඉවත් කිරීමේ උත්සාහයක් සදහා දැන් යොදා ගැනෙමින් පවතී.

දෝෂාභියෝග මෙහෙයුමෙදී සහ ඊට පෙර පැවැති රුසියාවට එරෙහි උද්ඝෝෂනයේ දී සීඅයිඒ සහ එෆ්බීඅයි සංවිධාන රටෙහි දේශපාලනය තුලට දැවැන්ත මැදිහත් වීමකින් හවුල් වී තිබේ. දෝෂාභියෝග විමර්ශනයමත් ධවල මන්දිරයේ කල සීඅයිඒ ඒජනතයෙකු විසින් අවුලු‍වන ලද අතර රිපබ්ලිකන් පක්ෂ වේදිකාවේ යුක්රේනයේ පිලිබඳ ප්‍රතිපත්ති වෙනසක් උපුටා දක්වමින් හිටපු ට්‍රම්ප්ගේ සහායකයකුගේ දුරකතනවලට රහසින් සවන් දීම එෆ්බීඅයි සංවිධානය විසින් යුක්ති සහගත කෙරුනු බව මෑතකදී නිකුත් වූ වාර්තාවකින් පෙනී යයි.

ජෝන් එෆ් කෙනඩි ඝාතනය වටා ඇති අඳුරු හා අපහැදිලි සිදුවීම් හැරුනු විට, සීඅයිඒ සහ ඒ හා සම්බන්ධ බුද්ධි අංශ විසින් බලයේ සිටින ජනාධිපතිවරයෙකු ඉවත් කිරීමට උත්සාහ කල පලමු අවස්ථාව මෙයයි.

ට්‍රම්ප් මෙම හේතු මත ඉවත් කිරීම මගින් යම් ආකාරයක ප්‍රගතිශීලී ප්‍රතිවිපාක ගෙන දිය හැකිය යන බලාපොරොත්තුව ඇතිව ඩිමොක්‍රටිකයන්ගේ දෝෂාභියෝග මෙහෙයුමට සහාය දෙන ඕනෑම අයෙකු, ඩිමොක්‍රටිකයින් සහ ඔවුන්ගේ සීඅයිඒ සහචරයින් කල හා කියූ සියල්ල නොසලකා හරියි.

දෝෂාභියෝග ක්‍රියාමාර්ගයේ වඩාත්ම අසාමන්‍ය අංගය වූයේ එතුල යුක්රේනයේ එජ ප්‍රතිපත්තිය සම්පූර්නයෙන්ම පාහේ ආධිපත්‍යය දැරීමයි. එජයේ උසිගැන්වීම මත කීව් හි 2014 ෆැසිස්ට්වාදීන් විසින් මෙහෙයවුනු කුමන්ත්‍රනය එජයේ දේශපාලන ජීවිතයට බොහෝ දුරදිග යන ප්‍රතිවිපාක ගෙන දී තිබීම, අපූරු උත්ප්‍රාසයක් බව සදහන් නොකලද , දේශපාලනිකව අතිශයින් වැදගත් වෙයි. කුමන්ත්‍රනය පිටුපස ඇති තාර්කිකත්වය වූ රුසියාව සමඟ ගැටුම ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාම සඳහා, ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිපත්තිය තීරනය කරන බුද්ධි අංශවලට, ට්‍රම්ප්ගේ දෝෂාභියෝගය හඹා යෑම ට බල කෙරී ඇත

නිකරගුවාවේ සැන්ඩිනිස්ටා තන්ත්‍රයට එරෙහිව නීතිවිරෝධී යුද්ධයකට මුදල් යෙදවීමට ආයුධ මිලදී ගැනීම සඳහා රීගන් පාලනාධිකාරය විසින් ඉරානයට ආයුධ විකිනීමේ ක්‍රමයක් සකස් කර ඇති බවට කරන ලද හෙලිදරව්වෙන් ඉරාන-කොන්ත්‍රා සෝලිය 1986 දී ඇවුලු‍නි. එම පරීක්ෂනයෙන් හෙලි වූයේ කොන්ග්‍රස් මන්ඩලය විසින් කොන්ත්‍රාවරුන්ට එජ ආන්ඩුවේ ආධාර තහනම් කිරීම සම්මත කෙරුනු බොලන්ඞ් සංශෝධනය රීගන් පාලනාධිකාරය විසින් අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවයි.

එහෙත් මේ අවස්ථාවේ දී, ප්‍රධාන චෝදනාව වන්නේ, ඇමරිකානු ජනතාවට මුළුමනින්ම හොරෙන් සැලසුම් කර ඇති යුද්ධයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කොන්ග්‍රසය විසින් වෙන් කරන ලද මුදල් ලබාදීම ට්‍රම්ප් විසින් අත්හිටුවීමයි.

දෝෂාභියෝග මෙහෙයුම පිටුපස ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ආවේගයන් උග්‍ර යුද උද්ඝෝෂකයකු වන තෝමස් ෆ්‍රීඞ්මන් විසින් ඊයේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ සාරාංශගත කර අදහස් දැක්වීය. “පොදුවේ ගත් කල, ඡන්දදායකයින් විසින් මැතිවරනයකදී ජනාධිපතිවරුන් තෝරා පත් කර ගැනීමත් ඉවත් කරනු ලැබීමත් කල යුතු යැයි මම විශ්වාස කරමි. එහෙත්, ‘දෝෂාභියෝගය ජනතාවගේ කැමැත්තට වල කපයි’ කියා ට්‍රම්ප් ආරක්ෂා කරන්නන් කෑගසනු මට ඇසෙන විට, මම කියන්නේ “ඇත්තටම?” යනුවෙන් ඔහු පැවසීය.

“පොදුවේ ගත් කල” , රටේ නායකත්වය ඡන්ද දායකයින් විසින් තෝරා ගත යුතු යැයි කීම වනාහි එය සිදුවිය යුත්තේ සීඅයිඒ, එෆ්බීඅයි සහ මිලිටරියට ගැලපෙන විට පමනි යනුවෙන් පැවසීමයි.

ෆ්‍රීඞ්මන්ගේ සැබෑ පැමිනිල්ල නම් ට්‍රම්ප් “ජනතාවගේ කැමැත්ත” කඩාකප්පල් කිරීම නොව, ඇමරිකානු පාලක පන්තියේ භූ මූලෝපායික අත්‍යාවශ්‍යතා ලෙස බුද්ධි අංශවල ප්‍රමුඛ කොටස් සලකා බලන දේ ඔහු කඩාකප්පල් කිරීමයි.

ඩිමොක්‍රටිකයින්ගේ “දූෂනය”, “යුක්තියට බාධා කිරීම,” “අල්ලස් දීම” සහ “සංවිධානාත්මක අපරාධ බිඳ දැමීමක්” යනාදී කථා තිබියදී, දෝෂාභියෝගයේ සැබෑ හේතු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී ප්‍රතිපත්ති වඩාත් හොඳින් ක්‍රියාත්මක කල හැකි ආකාරය කෙසේද යන්න පිලිබඳ වෙනස්කම් ලෙස පැහැදිලිව හෙලි වේ.

ට්‍රම්ප් ජනාධිපතිධුරය සහ ඩිමොක්‍රටිකයන්ගේ දෝෂාභියෝග උද්ඝෝෂනය යන දෙකම ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ගැඹුරු හා දෘඪ අර්බුදයේ වෙනස් ප්‍රකාශනයන් ය. “ගැඹුරු-රාජ්‍ය කුමන්ත්‍රනයක්” ලෙස ඔහු හඳුන්වන දෙයට එරෙහිව තමා ආරක්ෂා කරන ලෙස තම සන්නද්ධ, අන්ත දක්ෂිනාංශික ආධාරකරුවන්ට ආයාචනා කල හැකි බව ගම්‍ය කරමින් දෝෂාභියෝග අරගලය “සිවිල් යුද්ධයක්” බවට පත් කරන බවට ට්‍රම්ප් තර්ජනය කර ඇත.

දෝෂාභියෝග මෙහෙයුම වටා ගොතනු ලැබූ “විදේශ මැදිහත්වීම්” වලට එරෙහි ඩිමොක්‍රටිකයින්ගේ උද්ඝෝෂනය දේශීය වාරන ක්‍රියාමාර්ග ගැනීමේ රාමුව සපයා ඇති අතර, බුද්ධි අංශ සහ පක්ෂ දෙකේම නියෝජිතයින් වාමාංශික, යුද විරෝධී, සහ සමාජවාදී සංවිධානවල ප්‍රකාශන, පිටු සහ කන්ඩායම්, ‘සෙවීම්’ :ිැ්රජය) වලින් පහත දැමීම හා මකා දැමීම සඳහා ගූගල්, ෆෙස්බුක් සහ ට්විටර් සමාගම් බඳවා ගත්හ.

එහෙත් ට්‍රම්ප් සහ ඔහුගේ ඩිමොක්‍රටික විරුද්ධවාදියෝ එකිනෙකා ද්‍රෝහීන් ලෙස තරයේ හෙලා දකිමින් එකිනෙකාට එරෙහිව නඩු පැවරිය යුතු යැයි ඉල්ලා සිටියද, ඒ සමගම, එජ අධිරාජ්‍යවාදය මුහුන දෙන මූලික කාරනා සම්බන්ධයෙන් කැපී පෙනෙන ද්වි පාර්ශවීය එක්සත්කමක් ඇති වී තිබේ.

වැදගත් නීති දෙකක් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික එකඟතාවන් පිලිබඳව, කොන්ග්‍රස් ඩිමොක්‍රටිකයින්ගේ එකකට පසු එකක් ලෙස වේගවත්ව නිවේදනය සිදුවූ මෙම සතියේ දී, එය ඉතා පැහැදිලි විය: යූඑස්එම්සීඒ චීන-විරෝධී වෙලඳ ගනුදෙනුව සහ එජ ඉතිහාසයේ විශාලතම මිලිටරි අයවැය සම්මත කිරීම.

රුසියාව, චීනය, තුර්කිය සහ උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවෙන අතර ඊයේ නියෝජිත මන්ත්‍රී මන්ඩලය විසින් ඒකමතිකව සම්මත කරන ලද මිලිටරි අයවැය එජ සන්නද්ධ හමුදාවේ නව ශාඛාවක් ලෙස අභ්‍යවකාශ බලකාය (ස්පේස් ෆෝස්) ස්ථාපනය කරයි.

“වාව්! අපගේ සියලු‍ ප්‍රමුඛතා අවසන් එන්.ඩී.ඒ.ඒ (ජාතික ආරක්ෂක බලය දීමේ පනතට - එන්ඩීඒඒ)) ඇතුලත්ව තිබේ,” යනුවෙන් ට්‍රම්ප් උදම් ඇනුවේ විශේෂයෙන් සංක්‍රමනික මර්දනය සඳහා පෙන්ටගනයේ අරමුදල් භාවිතා කිරීම වලක්වන භාෂාව ඉවත් කිරීම ගැන සඳහන් කරමිනි. ඉහල යන සමාජ අසමානතාවය මධ්‍යයේ, ඇමරිකානු පාලක ප්‍රභූවේ සියලු‍ කොටස් විදේශයන්හි යුද්ධයට සහ රට තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහර දීමට කැපවී සිටිති.

වොෂිංටනයේ දේශපාලන අර්බුදයට පසුබිම් වී ඇත්තේ පන්ති අරගලයේ ගෝලීය නැගීම සහ එජ අධිරාජ්‍යවාදයේ ගැඹුරු වන අර්බුදයයි.

පසුගිය මාස හය තුල ලොව පුරා පන්ති අරගලයේ පෙර නොවූ විරූ ව‍්‍යාප්තියක් දක්නට ලැබුනි. අසමානතාවයට එරෙහි මහජන විරෝධතා චිලී, පුවර්ටෝ රිකෝ, ලෙබනනය සහ ඉරාකය තුලින් ඉස්මතුවී තිබේ. මෙක්සිකෝවේ සහ එජ යේ මෝටර් රථ කම්කරුවෝ වැඩ වර්ජනයක නිරත වී සිටින අතර, ප්‍රන්සය පුරා වැඩ වර්ජන රැල්ලක් මධ්‍යයේ පැරිස් මෙට්රෝව (උමං දුම්රිය) බොහෝ සෙයින් වැසී පවතී. ටයිම් සඟරාවේ මෑත කලාපයේ “ඇමරිකාවේ ප්‍රභූන් ඔවුන්ගේ ග්‍රහනය නැති කර ගත් අයුරු” යන මාතෘකාව යටතේ රට පුරා සමාජවාදය සඳහා වැඩිවෙමින් පවතින ප්‍රේක්ෂකත්වය ගැන කනස්සල්ල පල කලේය.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, මිලිටරි ප්‍රචන්ඩත්වය තුලින් සිය ගෝලීය ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා එජ අධිරාජ්‍යවාදයේ ප්‍රයත්නයන්හි පසුබෑම් මාලාව එපමනටම වැදගත් වේ.

2003 දී එජ ඉරාකය ආක්‍රමනය කල විට ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කලේ, “ආරම්භවී ඇති ගැටුමේ මුල් අවස්ථාවල ප්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විනාසය අත් කර ගනු ඇති බවයි. එයට ලොව ජයගත නොහැක. මැදපෙරදිග මහජනතාව මත එයට යටත් විජිත විලංගු ප්‍රත්‍යාරෝපනය කල නොහැක. එය යුද මාධ්‍යය ඔස්සේ අභ්‍යන්තර ව්‍යාධීන්ට ශක්‍ය විසඳුමක් සොයා නොගනු ඇත. ඊට වෙනස්ව, යුද්ධය විසින් ජනනය කෙරෙන අනපේක්ෂිත දුෂ්කරතාවන් හා ප්‍රතිරෝධයන් ඇමරිකානු සමාජයේ සියලු‍ අභ්‍යන්තර ප්‍රතිඝතිතා තීව්‍ර කරනු ඇත.”

අවුරුදු පහලොවකට පසුව ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද්ධ විශ්වීය වශයෙන් පරාජයන් ලෙස දැක ගනු ලැබේ . සිරියාවේ සහ ලිබියාවේ එජ යේ පිටුබලය ලබන පාලන තන්ත්‍ර මාරු කිරීමේ මෙහෙයුම් මගින් රුධිර ස්නානයන් මිස අන් කිසිවක් බිහි කර නැත. යුක්රේනය නේටෝවට ගෙන ඒමේ උත්සාහයක් ලෙස ආරම්භ වූ 2014 එජයේ පිටුබලය සහිත යුක්රේන කුමන්ත්‍රනය එහි මූලික අරමුනු වලින් සාර්ථක වී නැත.

මෙම සන්දර්භය තුල, ෆොරීන් ඇෆෙයාර්ස් සඟරාව සඳහන් කලේ “යුක්රේනය මෙම කුනාටුවේ කේන්ද්‍රයේ සිටීම පුදුමයක් නොවේ” යනුවෙනි.

“පසුගිය ශතවර්ෂ කාර්තුව තුල” එජ සිය ආධිපත්‍යය “යුරේසියානු මහාද්වීපය මත පැටවීමට ගත් සියලු‍ උත්සාහයන් යුක්රේන නොගැඹුරු මුහුදේ කිඳා බැස තිබේ. මක්නිසාද යත්, ඉතිහාසයේ අවසානය ලෙස දැක්වූ විජයග්‍රාහී මායාවන් සහ මහා බල තරඟයේ අද දින පවතින යථාර්ථයන් අතර විසන්ධිය එහි තියුනුම ස්වරූපයෙන් දැකිය හැකි වන්නේ යුක්රේනයේ දී නිසාය.”

එහෙත් මෙම දැවැන්ත පසුබෑම්වලට හා පරාජයන්ට මුහුන දෙමින් එජ අධිරාජ්‍යවාදය දෙගුනයක බලයකින් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” වෙනුවට “මහා-බල ගැටුම” සඳහා සූදානම් වෙමින් සිටී.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දෘඪතර අර්බුදය පාලක පන්තිය තුල ගැඹුරු ගැටුම් ජනිත කර තිබේ.

එහෙත් ජනගහනයේ පුලුල් ජන සමූහය අතර (දෝෂාභියෝග) ක්‍රියාමාර්ගයන් කෙරෙහි සාපේක්ෂ උනන්දු රහිත බව අවධාරනය කරන්නේ මෙහෙයුමේ මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ප්‍රතිගාමී ස්වභාවයයි. කුමක් සිදුවුවද , ප්‍රතිඵලය තවත් දකුනට මාරුවීමක් වනු ඇත. එහි සාර්ථකත්වය රුසියාව සමඟ ගැටුම තීව්‍ර කරනු ඇති අතර ගනනය කල නොහැකි තරම් භයානක ප්‍රතිවිපාක ගෙන දෙනු ද ඇත. එහි අසාර්ථකත්වය ඇත්ත වශයෙන්ම ට්‍රම්ප් ශක්තිමත් කල හැකිය.

ට්‍රම්ප් පාලනාධිකාරයට එරෙහි සටන ධනේශ්වර ක්‍රමයට හා දෙපාර්ශවයේම යුද කුමන්ත්‍රන වලට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැකි ය. ඩිමොක්‍රටික් පක්ෂයෙන් සම්පූර්නයෙන් ස්වාධීනව හා එයට විරුද්ධව මෙම සටන සිදු කල යුතුය.

ට්‍රම්ප් පාලනාධිකාරයට එරෙහි අරගලයේ වෛෂයික සමාජ පදනම වන්නේ පන්ති අරගලයේ ගෝලීය නැගීමයි. ජාත්‍යන්තරව එක්සත් වී සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ වුවහොත් කම්කරු පන්තියේ වැඩ වර්ජන හා විරෝධතා රැල්ල දූෂිත පිලිලය වන ට්‍රම්ප් පාලනාධිකාරයට පමනක් නොව එහි ධාරකයා වන ධනේශ්වර ක්‍රමයට ද එරෙහි වීමේ මාධ්‍යය වෙයි.

අන්ඩ්‍රෙ ඬේමන්

Share this article: