ශ්‍රී ලංකාවේ ජනාධිපති වතු කම්කරුවන්ට ලබාදුන් ව්‍යාජ වැටුප් වැඩි වීම

Sri Lankan president’s bogus wage increase for plantation workers

එම්. දේවරාජා විසිනි, 2020 ජනවාරි මස 30

මාර්තු 10දා සිට තේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1,000 දක්වා ඉහල දැමීම ජනාධිපතිට අවශ්‍ය යයි ප්‍රකාශ කරන මාධ්‍ය නිවේදනයක්, ජනවාරි 14දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාලය විසින් නිකුත් කලේ ය.

නව ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වන ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක ආරුමුගම් තොන්ඩමන් වහා ම එම නිවේදනය උත්කර්ෂයට නැංවූයේ එමගින්, පසුගිය වසරේ ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ දුන් පොරොන්දුවක් ඉටු කෙරෙන බව පවසමිනි.

රාජපක්ෂගේ නිවේදනය ඉතා පැහැදිලි ප්‍රෝඩාවකි. අප්‍රේල් මාසයේ යම් දිනක හදිසි මහ මැතිවරනයක් සැලසුම් කරමින් සිටින ජනාධිපති හා ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) සුලු‍තර ආන්ඩුව, පහල වැටුප් හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ඉහල මිල ගනන් අරබයා වැඩෙන කම්කරු-පන්තික විරෝධය මධ්‍යයේ සමාජ කාල බෝම්බයක් මත ලැග සිටී. තේ වතු කම්කරුවන් ද ඇතුලු‍ කම්කරු පන්තියේ මූලික කොටස් පසුගිය මාස 18 පුරා අරගල මාලාවක නිරත වී ඇත.

රාජපක්ෂගේ වැටුප් යෝජනාව වතු කම්කරුවන්ගේ වැඩෙන කෝපය අපසරනය කිරීමේ හා එලඹෙන මැතිවරනයේ ඔවුන්ගේ ඡන්ද ගරාගැනීමේ අශික්ෂිත ප්‍ර‍යත්නයකි. ශ්‍රීලපොපෙට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනාගැනීමට හා එමගින් ආඥාදායක පාලන ක්‍රම ස්ථාපනය කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සම්පාදනය කරගැනීමට ඔහු අපේක්ෂා කරයි.

2018 දෙසැම්බරයේ වර්ජනයේ යෙදෙන ඇබොස්ලී වත්තේ කම්කරුවන්

පසුගිය නොවැම්බරයේ රාජපක්ෂ ප්‍රකාශ කලේ ඔහු තේරී පත්වුව හොත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 දක්වා ඉහල දමන බව යි. මෙම පොරොන්දුව ඔහුට වතු කම්කරුවන්ගේ ඡන්ද දිනා දෙනු ඇතැයි ඔහු අපේක්ෂා කල ද විශාල වතු කම්කරුවන් පිරිසක් ජීවත් වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඡන්දවලින් ඔහු ලබාගත්තේ සියයට 36ක් පමනි.

බහුතරයක් දෙමල කතාකරන්නන් වන වතු කම්කරුවෝ, රාජපක්ෂට විරුද්ධ වන අතර බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ලේකම් ලෙස ඔහුගේ ලේවැකි භූමිකාව ගැන හොඳින් දනිති. වතු කම්කරුවන් හා විශේෂයෙන් වතු තරුනයන්, ඒ සමයේ දී ක්‍රමානුකූල රාජ්‍ය දඩයමට බඳුන් කරන ලදී.

2018 දෙසැම්බරයේ අඛන්ඩ ජාතික වර්ජනයේ දී වතු කම්කරුවන් ඉල්ලා සිටි ඉල්ලීම්වල අහලකට වත් රාජපක්ෂගේ යෝජිත වැටුප් වැඩිකිරීම නොපැමිනෙයි. ඔවුන් ඉල්ලා සිටියේ රුපියල් 500ක් වූ ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 දක්වා දෙගුන කිරීම සමගින් විශ්‍රාම වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ ඉහල දැමීම යි.

දින 11කට පසුව වර්ජනය ආපසු කැඳවමින් එය පාවාදුන් සීඩබ්ලිව්සී හා අනෙකුත් වාත්තීය සමිති 2019 ජනවාරියේ දී සාමූහික ගිවිසුමක් අත්සන් කරමින් දෛනික මූලික වැටුප් රුපියල් 200කින් පමනක් වැඩිකලේ, අතිරේක දීමනා ද සමගින් රුපියල් 750ක් බවට එය ගෙන එමිනි. වතු සමාගම් ද සේවක අර්ථසාධක අරමුදලට ඔවුන් මාසික ව ගෙවන අනිවාර්ය ගෙවීම ඇතුලත් කලේ, වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 855 තෙක් ඉහල දැමූ බවට ව්‍යාජ ලෙස කියාපෑමට යි.

මෙම ව්‍යාජ ඉලක්කම භාවිතා කරමින්, රාජපක්ෂගේ රුපියල් 1,000ක දෛනික වැටුපට “දැනට පවතින රුපියල් 855ක දෛනික වැටුප” රුපියල් 145කින් හෙවත් සියයට 17කින් ඉහල යාමක් නියෝජනය කරන බව මාධ්‍ය විසින් ව්‍යාජ ලෙස වාර්තා කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වතු සමාගම් 22 හා ඔවුන් ව නියෝජනය කරන ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය (සීඊඑෆ්) ක්ෂනික ව නව වැටුප් යෝජනාවට විරෝධය පලකල හ. වාර්ෂික ව රුපියල් බිලියන 6ක පිරිවැයක් වැය වනු ඇති මෙය, “ලාභරහිත” තේ කර්මාන්තය මත “විනාශකාරී බලපෑමක්” ඇති කරනු ඇතැයි සීඊඑෆ් කියා සිටියේ ය.

කෙසේනමුත්, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර හා වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරන සමග වෙන වෙන ම පැවති සාකච්ඡාවලින් අනතුරු ව, “විකල්ප” වැටුප් ඉහල දැමීමේ මොඩලයක් ඉදිරිපත් කිරීමට සීඊඑෆ් එකඟ විය.

වැටුප් ප්‍රශ්නය පිලිබඳ ව “තීරනයක් ගෙන නො තිබුනු” බවත්, එහෙත් “ඵලදායිතාව මත පදනම් වන ක්‍රමයක්” ක්‍රියාත්මක කලහොත් කම්කරුවන්ට “දිනකට රුපියල් 1,000කට වඩා” උපයාගත හැකි බවත් ජනවාරි 26 දා සීඊඑෆ්හි වැවිලි අංශ සභාපති රොෂාන් රාජදුරෙයි රැස්වීමක් අමතා ප්‍රකාශ කලේ ය. “ඵලදායිතාව මත පදනම් වන ක්‍රමය” වනාහි පසු ගිය වසරේ වැටුප් ගිවිසුමේ දී වෘත්තීය සමිති විසින් අනුමත කල තේ කර්මාන්තයේ “ආදායම් බෙදාගැනීමේ මොඩලය” පුලු‍ල් කිරීමේ කොටසකි.

මෙම ක්‍රමය යටතේ තේ පඳුරු 1,000ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් සහිත බිම් කොටස් නඩත්තු කොට අස්වනු නෙලීමට කම්කරුවෙකුට හා ඔහුගේ පවුලට ලබා දෙයි. විශ්‍රාම වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ වැනි කම්කරුවන් අසීරුවෙන් දිනාගත් සමාජ අයිතීන් අවසන් කරනු ලැබේ. තේ පඳුරුවලින් ලැබෙන ආදායමෙන් කොටසක් කම්කරුවාට හා ඔහුගේ පවුලට ගෙවන්නේ, සමාගම් විසින් ඔවුන්ගේ පිරිවැය හා ලාබ අඩු කරගැනීමෙන් පසුව ය. මෙම ක්‍රමය ක්‍රියාවට දමා ඇති වතු කිහිපයක කම්කරුවෝ මෙම සූරාකෑමේ හා පිරිවැය කප්පාදු ක්‍රමය ප්‍රතික්ෂේප කොට ඇත.

නිෂ්පාදනය ඉහල දැමීම සඳහා සමහර සමාගම් ඩිජිටල් හැඳුනුම්පත් හා විද්‍යුත් කිරුම් යන්ත්‍ර හඳුන්වාදීම ද අරඹා ඇත. පසුගිය වසරේ රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් දින 10කට පසුව හැටන් අසල අප්කොට් ප්‍රදේශයේ වතු කම්කරුවන් 5,000ක් පමන මෙම ක්‍රමවලට එරෙහි ව වර්ජනයට පිලිපන් හ. වෘත්තීය සමිති විසින් එම වර්ජනය පාවාදුනි.

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් මුහුන දෙන්නේ ධනපති සූරාකන්නන්ගේ ජාත්‍යන්තර ජාලයකට ය. ලෝක වෙලඳපොල තුල කෙන්යාව හා ඉන්දියාව වැනි අනෙකුත් තේ අපනයනය කරන රටවල් සමග තරඟ කිරීම පිනිස වතු සමාගම් ඉහල ඵලදායිතාව හා පහල නිෂ්පාදන පිරිවැය අනවරත ව ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාවේ වතු සමාගම් පාඩු ලබන බවට කරන කියාපෑම් ව්‍යාජ ය. බොහෝ සමාගම් අනපේක්ෂිත ලාභ උපයා ගන්නා අතර ම, තේ වෙන්දේසිකරුවන් හා අපනයන ව්‍යාපාර ලෙස ක්‍රියාකාරී වෙති. උදාහරනයක් ලෙස, 2018 දී තේවල සාමාන්‍ය වෙන්දේසි මිල කිලෝග්‍රෑමයකට රුපියල් 580ක් පමන වූ අතර, අපනයන මිල රුපියල් 850ක් විය.

වතු කම්කරුවන්ට සොච්චම් ගෙවීමක් ලබන අතරේ, තේ කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරු යෝධ වැටුප් ලබති. උදාහරනයක් ලෙස, 2017 දී කැලනිවැලි වතු සමාගමේ විධායක අධ්‍යක්ෂකවරු තිදෙනාගේ වාර්ෂික වැටුප්වල එකතුව රුපියල් මිලියන 35 ක් විය (බලන්න: “කම්කරුවන්ගේ වැටුප් හා කොන්දේසිවලට පහර එල්ල කරන අතරේ ශ්‍රී ලංකාවේ වතු සමාගම් විශාල ලාබ උපයා ගනී”).

ඒ අතර ම ජාත්‍යන්තර තේ වෙලඳපොල පාලනය කරන යුනිලීවර් වැනි බහු-ජාතික සංගත, තේ නිපදවන රටවල පාරිභෝගික අපනයන සමාගම් වෙතින් තේ මිල දී ගැනීමෙන් පසු යෝධ ලාබ උපයති.

සීඩබ්ලිව්සී සමගින් අනෙකුත් වතු වෘත්තීය සමිති රාජපක්ෂගේ ඊනියා වැටුප් වැඩිකිරීමේ යෝජනාවට අනුමැතිය දී තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා අනෙකුත් ව්‍යාජ-වාම කන්ඩායම් විසින් ආරම්භ කරන ලද “1,000 ව්‍යාපාරය” ද ජනාධිපතිගේ ව්‍යාජ වැටුප් වැඩිකිරීමේ යෝජනාව හොඳ වාසියක් ලෙස ඉදිරියට දමමින් සිටී.

“කම්කරුවන්ගේ දෛනික වැටුප් ඉහල දැමීම ගැන පමනක් නො ව, දීර්ඝ කාලීන ව තේ කර්මාන්තයේ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම ගැන ආන්ඩුව වගකීම් සහිත නම් මැදිහත් වීම් මාලාවක් ම එය විසින් කල යුතු” යි මාධ්‍ය වෙත ප්‍රකාශ කල “1,000 ව්‍යාපාරයේ” ප්‍රකාශක චින්තක රාජපක්ෂ එම සංවිධානයේ සහයෝගය පුදකලේ ය.

වෙනත් වචනවලින් කියතොත්, කම්කරුවන්ට ඔවුන්ගේ ඉල්ලීම් දිනාගෙන ඔවුන්ගේ ජීවන තත්ත්වයන් වර්ධනය කරගත හැක්කේ කර්මාන්තයේ ස්ථාවරත්වය තහවුරු කොට පවත්වාගෙන යාමට ආන්ඩුව මැදිහත් වන්නේ නම් පමනි. කම්කරු පන්තියේ ශ්‍රමයෙන් ලාභ මිරිකා ගන්නා ධනපති ක්‍රමය යටතේ මෙය කල හැක්කක් නො වේ.

අනෙකුත් සියලු‍ සංගත මෙන් ම තේ කර්මාන්තය ද එහි ලාභ විශාල කරගැනීම හා එහි ගෝලීය ප්‍රතිමල්ලවයන්ට එරෙහි තරඟයේ දී වෙලඳපොල පංගුව නඩත්තු කරගෙන යාමට සටන් කරයි. වැටුප් හා අසීරුවෙන් දිනාගත් ප්‍රතිලාභ ඇතුලු‍ සියලු‍ ශ්‍රම වියදම් අනුකම්පා විරහිත ලෙස පහල දමන සමාගම් වඩාත් සාර්ථක ම සමාගම් වේ. (බලන්න: “යෝධ තේ සමාගම් කෙන්යාවේ වතු කම්කරුවන් සූරාකන්නේ කෙසේ ද”).

රාජපක්ෂගේ වැටුප් යෝජනාව පිලිබඳ සියලු‍ නිල ප්‍රචාරනයන්ට යටින් දිවෙන්නේ, ඵලදායිතාව ඉහල දැමීම පිනිස ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ප්‍රධාන ප්‍රතිව්‍යුහකරනයක් හා වතු කම්කරුවන්ගේ වැටුප් හා කොන්දේසි මත පූර්න පරිමාන ප්‍රහාරයක් දියත් කිරීම පිනිස දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද සැලසුම් ය.

කම්කරුවන්ට මෙම ප්‍රහාරයට මුහුන දී පරාජය කලහැක්කේ, වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ලෝකය පුරා ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත බලමුලු‍ගැන්වීමෙන් පමනි.

මෙම ඉදිරිදර්ශනය වෙනුවෙන් පෙනී සිටින එකම සංවිධානය සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස කම්කරුවන්ට කැඳවුම් කරමින් වතු කම්කරුවන් 2018 දෙසැම්බරයේ දියත් කල වැටුප් වර්ජනය සමයේ එය ‍මේ සඳහා සටන් වැදුනි. ඇබොස්ලී වත්තේ කම්කරුවෝ ශක්තිමත් ව ප්‍රතිචාර දක්වමින් ජාතික වර්ජනය සමයේ ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කල හ.

ඉදිරියේ එලඹෙන අරගල සඳහා සූදානම් වීම පිනිස තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස වතු කම්කරුවන්ගෙන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වලින් සසප ඉල්ලා සිටී.

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි:

ශ්‍රී ලංකාවේ වතු කම්කරු වර්ජනයේ ජාත්‍යන්තර වැදගත් කම(2018 දෙසැම්බර් 17)

Share this article: