ඇෆ්ගනිස්තාන යුද්ධයේ පහලොස් වසර

Fifteen years of the war in Afghanistan

2016 ඔක්තෝබර් 7

2001 ඔක්තෝබර් 7දා, ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය තලිබාන් තන්ත‍්‍රයට හා රට තුල අල් කයිඩා කඳවුරුවලට එරෙහිව එක්සත් ජනපදය පූර්න පරිමානයේ මිලිටරි ප‍්‍රහාරයක් දියත් කලේ ය.

ඇෆ්ගනිස්තාන ආක‍්‍රමනය යුද්ධයකට වඩා සංහාරයන් මාලාවකි. මිනීමරු ආයුධ හා යුද උපක‍්‍රම පෙලක් අත්හදා බැලීම පිනිස එක්සත් ජනපද මිලිටරිය, අවස්ථාව යොදා ගත්තේ ය. සැක කෙරුනු බංකර් හා ගුහා ජාලයන් කොන්ක්‍රීට් මීටර් හතක් විනිවිදය හැකි බෝම්බ දමා වැනසුවේ ය. තලිබාන් සටන් කරුවන් එක්රැස් වෙතැ යි අනුමාන කල ප‍්‍රදේශ, “ඩේසි නම් පොකුරු බෝම්බ” දමා පුලුස්සා අලු කෙරුනි. මේවා මීටර් 1,700 දක්වා විෂ්කම්භයක ප‍්‍රදේශයක් ගිනි මැලයක් බවට හැරවීය. නැතහොත් පලසක් මෙන් පොකුරු බෝම්බ දැමුනි. අල් කයිඩා හා තලිබාන් සාමාජිකයින් යයි සැක කරන ලද පුද්ගලයින් ඝාතනය කරමින් එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු විශේෂ හමුදා රට සිසාරා ගමන් කලහ.

මෂාර්-අල්-ෂරීෆ් හා කුන්දුස් වැනි නගරවල තලිබාන් හිරකරුවන් දහස් ගනනක් ඝාතනය කරන ලද්දේ එක්සත් ජනපදය පිටුබලය දුන් උතුරු සන්ධානයේ මිලීෂියා හමුදා විසිනි. බොහෝ දෙනා අල්කයිඩාවට සම්බන්ධ නැති පුද්ගලයන් සිය ගනනක් වද දීම සඳහා කියුබාවේ ගුවන්තනාමෝ කඳවුරට හෝ සීඅයිඒ සංවිධානයේ “අඳුරු තැන් වලට” යවන ලදී. බුෂ් පාලනාධිකාරය තම යුද අපරාධ ආරක්ෂා කලේ තම ගොදුරු “නීති විරෝධී හතුරු සටන් කරුවන්” යයි තරයේ ප‍්‍රකාශ කරමිනි, ― ජිනීවා ප‍්‍රඥප්තියෙන් ඔවුහු අරක්ෂා නොකෙරුනි.

ඇෆ්ගනිස්තානයේ ලේ හැලීම පසු පස උතුරු පකිස්තානයේ ගෝත‍්‍රික දේශසීමා කලාපයන් හි වොෂින්ටනයේ බල කිරීම මත පකිස්තාන් මිලිටරි ප‍්‍රහාර ඇරඹුනි. දහස් ගනනක් ඝාතනය කෙරුනු අතර මිලියන ගනනාවක් නිවෙස්වලින් පලවා හරින ලදී. ඊට පසු වසරවල දී එක්සත් ජනපද මිලිටරිය ඇෆ්ගනිස්තානය හා වයඹ දිග පකිස්තානය, ඩ්‍රෝන් මගින් නිකුත් කෙරුනු මිසයිල ප‍්‍රහාර මගින් බය බිරාන්ත කලේය.

පෙර දී තලිබාන් සංවිධානයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වූ පකිස්තානු ආන්ඩුව යුද්ධයට පොලඹවා ගැනුනේ විශේෂ කෲර ආකාරයකට ය. එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේජ් 2001 සැප්තැම්බරයේ දී පකිස්තානු නිලධාරීන්ට මෙසේ පැවසී ය: “උඹලා අපට එරෙහි වන්නේ නම්, උඹලාගේ කුඩා පහත් රට බෝම්බ දමා ආපසු ගල් යුගයට යවනවා, තේරුනා ද?”

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නියෝජිතයින් හා ක්ෂමාලාපකයින් තවමත් ප‍්‍රකාශ කරන්නේ ඇෆ්ගනිස්තානය හා පකිස්තානය සුනුවිසුනු කිරීමේ පෙලඹවීම ඇතිවුනේ 2001 සැප්තැම්බර් 11වැනිදා ත‍්‍රස්ත දාමරිකකම් වෙනුවෙන් අල්කයිඩා සංවිධානයට යුක්තිය ඉටු කිරීමට බව යි. ආක‍්‍රමනය “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක” පලමු සටන වී යැයි ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් පැවසුවේ ය. බුෂ් පාලනාධිකාරය ආක‍්‍රමනය සඳහා කඩතුරාව ලෙස ඉදිරියට දැමුවේ, තලිබාන් සංවිධානය අල්කයිඩාවට රැකවරනය දී තිබීම හා එහි නායක ඔසාමා බින් ලාඩන් පිටුවහල් කිරීම ප‍්‍රතික්ෂේප කලේය යන චෝදනා ය.

මෙම යුක්තිසහගත කිරීම් පදනම් කෙරුනේ බොරු මත ය. තලිබාන් හා ඇෆ්ගනිස්තානය තුල අල් කයිඩා සාමාජිකයන්ගේ අතිබහුතරයට 9/11 ප‍්‍රහාර සමග සම්බන්ධකමක් නො තිබුනි. එය ක‍්‍රියාත්මක කරන ලද්දේ ඊස්රායලය හා කරට කර සිටින, මැද පෙරදිග ප‍්‍රධාන එක්සත් ජනපද සහචරයා වන සෞදි අරාබි පාලක ප‍්‍රභුවේ නියෝජිතයින්ගේ සහාය ඇතිව එක්සත් ජනපදය තුල ක‍්‍රියාත්මක වූ කුඩා ත‍්‍රස්තවාදී කන්ඩායමක් විසිනි. මෙම ප‍්‍රහාර සාර්ථක වූයේ, එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සි විමසිල්ලෙන් සිටීම මග හැරීම හේතුවෙනි. ඒවා අල් කයිඩාවට සම්බන්ධකම් ඇති පුද්ගලයන්ගේ ක‍්‍රියාකාරකම් නියාමනය කිරීම නොසලකා හැරියා පමනක් නොව, ඔවුන් වානිජ ගුවන් යානා පැහර ගැනීම වැලැක්වීමට පියවර ගත්තේ ද නැත. 9/11 සිදු කෙරුනු මිනීමරු ක‍්‍රියා යොදා ගැනුනේ දීර්ග කාලයක් තිස්සේ සැලැසුම් කෙරුනු ඇෆ්ගනිස්තානයේ ද 18 මසකට පසු ඉරාකයේ ද ඇමරිකානු ආක‍්‍රමන සඳහා කඩතුරාවක් ලෙස ය.

ඇෆ්ගනිස්තානයේ යුද්ධයට අප විරුද්ධ වන්නේ මන්ද යනුවෙන් 2001 ඔක්තෝබර් 9වැනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප‍්‍රසිද්ධ කෙරුනු කතෘ වාක්‍ය ප‍්‍රකාශය, 9/11න් පසු සිදුවීම්වල වේගය මත ධනේශ්වර අටුවාවන් හාත්පස පැතිරුනු නොගැඹුරු බව හා ලේ පිපාසාවට ප‍්‍රතිවිරුද්ධව, දේශපාලන හා සමාජ වර්ධනය පිලිබඳ මාක්ස්වාදී ප‍්‍රවේශයේ පැහදිලිකම පිලිබඳ සාක්ෂියකි.

ආරම්භයේ දී ම ප‍්‍රකාශය මෙසේ අවධාරනය කලේ ය: “ඇමරිකානු ආන්ඩුව යුද්ධය ආරම්භ කලේ ඇමරිකානු පාලක ප‍්‍රභූ ස්ථරයේ දුර දිග යන ජාත්‍යන්තර උවමනාවන් හඹා යාමට ය. යුද්ධයේ ප‍්‍රධාන අරමුන කුමක් ද? දශකයකට පෙරාතුව සෝවියට් සංගමය බිඳවැටීමෙන්, ලෝකයේ ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් වල ප‍්‍රත්‍යක්ෂ සංචිතවලින් ලොව දෙවන විශාලතම නිධිය පිහිටි මධ්‍යම ආසියාවේ දේශපාලන රික්තයක් නිර්මානය කෙරින.”

ලෝක සමාජවාදී වෙබ් අඩවි ප‍්‍රකාශනයේ තක්සේරුව ගලා ආවේ, ස්ටැලින්වාදී තන්ත‍්‍ර විසින් නැගෙනහිර යුරෝපය, සෝවියට් සංගමය හා චීනය තුල ධනේශ්වර දේපල සම්බන්ධතාවන් පුනස්ථාපනය කිරීම සහ 1991දී සෝවියට් සංගමය ම විසුරුවා හැරීමේ ලෝක ඓතිහාසික ගම්‍යයන් පිලිබඳ ව හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) විශ්ලේෂනයෙනි.

9/11 පස්වැනි සංවත්සරය,2,3 පිලිබඳ ව, 2006දී ලෝසවෙඅ සභාපති ඩේවිඩ් නෝර්ත් ප‍්‍රකාශ කල පරිදි, “ඇමරිකානු පාලක ප‍්‍රභූවේ පුලුල් කන්ඩායමක් විසින් සෝවියට් සංගමයේ බිඳ වැටීම නිර්වචනය කරන ලද්දේ, එක්සත් ජනපදයේ අනභියෝගී ගෝලීය භූ-මූලෝපායික ආධිපත්‍යය ස්ථාපිත කිරීමට පෙර නො වූ විරූ අවස්ථාවක් ලෙසට ය. සෝවියට් සංගමය නොමැතිව, ලෝකයේ කොතනක හෝ ඇමරිකානු මිලිටරි ශක්තිය ප‍්‍රක්ෂේපනය කිරීමට කිසිදු ඵලදායී බාධාවක් නො පවතී. අලුත් මිලිටරි ශක්තියේ කොන්දේසි යටතේ, ලෝක ආර්ථික තත්වය තුල එරට දීර්ග කාලීන පරිහානිය අඩු කිරීමට, එක්සත් ජනපදයේ අතිවිශාල ආධිපත්‍යය යොදා ගත හැකි බව ඇමරිකානු පාලක ප‍්‍රභූව විශ්වාස කලෝ ය.” (ඩේවිඩ් නෝර්ත්: A Quarter Century of War යුද්ධයේ සියවස් කාලක් , Mehring Books, 2016, පි. 375).

ඉරාකයට එරෙහිව 1990-1991 ගල්ෆ් යුද්ධයෙන් පටන්ගෙන, මැද පෙරදිග ස්ථිර එක්සත් ජනපද කඳවුරු ස්ථාපිත කිරීම, අප‍්‍රිකාවේ අඟ (ඊසාන දිග අප‍්‍රිකානු අර්ධද්වීපය-පරි) හා බෝල්කන් කලාපයේ එක්සත් ජනපද මැදිහත්වීම්, හා 1999 සර්බියාවට එරෙහිව යුද්ධයේ සිට, තවමත් පැහැදිලි නොකෙරුනු 9/11 සිදුවීම් දක්වා දිවෙන අන්තර් සම්බන්ධ වර්ධනයන්ගේ කොටසක් ලෙස හැර, ඇෆ්ගනිස්තාන ආක‍්‍රමනය අවබෝධ කර ගත නො හැක.

අල් කයිඩා හා තලිබාන් සංවිධානයන්ගේ මූලයන් පවතින්නේ, සෝවියට් සංගමය දුර්වල කිරීමට හා අස්ථාවර කිරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් විසින් ගන්නා ලද මුල් කුමන්ත‍්‍රන තුල ය. ධනවාදය පුනස්ථාපනය කිරීම හරහා වරප‍්‍රසාදිත නිලධාරී පැලැන්තියේ තත්වය රැකීමට ස්ටැලින්වාදී තන්ත‍්‍රය විසින් ගනු ලැබූ තීරනයන් මගින් මෙය ඉක්මන් කෙරුනි. 1978දී, කාටර් පාලනාධිකාරියේ නියෝග මත, සීඅයිඒ සංවිධානය, පකිස්තානය හා සෞදි අරාබියේ සහයෝගය ඇතිව, සෝවියට් පිටුබලය ලැබූ කාබුල් ආන්ඩුවට එරෙහිව යුද්ධයක් ගෙන යාමට මුස්ලිම් මූලධර්මවාදීන්ට අරමුදල් සපයා සන්නද්ධ කලේ, දිග්ගැස්සුනු ත‍්‍රස්ත විරෝධී සටනකට සෝවියට් හමුදා ඇද දමමිනි. එක්සත් ජනපද ආන්ඩුව විසින් ආධාර කරනු ලැබූවන් අතර, සෞදි මිලියනපතියෙකු වූ බින් ලාඩන් මෙන් ම අල් කයිඩා ―කඳවුර― යැයි හැඳින් වූ පකිස්තානු කඳවුරුවලට ගෙන එන ලද ලෝකය පුරා වහබ්වාදී අන්තවාදීහු ද වූහ.

1980 ගනන් පුරා, රේගන් පාලනාධිකාරය ඉස්ලාමීය මුජහිදීන් සටන්කරුවන්ට “විමුක්ති සටන්කරුවන්” ලෙස ප‍්‍රශංසා කල අතර වොෂින්ටනය විසින් හිතාමතා ම ප‍්‍රකෝප කරන ලද ඇෆ්ගනිස්තානයේ සෝවියට් ආක‍්‍රමනය, ඇෆ්ගන් ජනතාවට එරෙහි අපරාධයක් ලෙස හෙලා දුටුවේය. ගෙවී ගිය 15ස් වසර තිස්සේ, ඇෆ්ගන් ජනතාවට එරෙහිව වොෂින්ටනය ත‍්‍රස්තවාදය දිග්ගස්සා ඇත්තේ, සෝවියට් සංගමය සිදුකල සියල්ල පරයා යමිනි. දැනට අවුරුදු 38ක කාලයක් පුරා දිග්ගැස්සෙන ඇෆ්ගන් ඛේදවාචකයට ප‍්‍රධාන කොටම වගකිව යුත්තේ එක්සත් ජනපදය යි. මරන හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මිලියනයකට වැඩි ය. මිලියන හයකට වැඩි පුද්ගලයන් රටින් පලා ගොස් ඇත. ඇෆ්ගනිස්තානය ලෝකයේ විශාලම සරනාගතයින් බිහි කරන රට බවට පත් කර තිබේ.

“ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” එක්සත් ජනපදය තුල ම විශාල ගම්‍යයන් තිබුනි. 2001 පීතෘභූමී පනත, ආන්ඩුවේ පාලනයකින් තොර ඔත්තු බැලීම්, දින නියමයක් නැති රඳවා ගැනීම්, මිලිටරි අධිකරන, පොලිස් ඒජන්සි මිලිටරීකරනය වේගවත් කිරීම හා මුස්ලිම් පසුබිමක් සහිත ඇමරිකානුවන්ට වද දීමට එය කඩතුරාවක් වී ඇත. මෙම පියවරයන්හි සැබෑ අරමුන ත‍්‍රස්තවාදය පසු බැස්සවීම නොව, නැගී එන සමාජ හා පන්ති හතුරුකම් මර්දනය කරනු පිනිස රාජ්‍ය සංවිධාන ශක්තිමත් කිරීම ය. එක්සත් ජනපදය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය ලෝකය පුරා ඒ හා සමාන ප‍්‍රතිපත්ති සඳහා ආදර්ශය වී ඇත.

ආක‍්‍රමනයෙන් වසර පහලොවකට පසු ඇමරිකානු පාලක පන්තිය මුහුන දෙන යථාර්ථය නම්, තම කොල්ලකාරී අරමුනුවලින් ජය ගත් කිසිවක් නැත යන්න යි. මේ දක්වා එක්සත් ජනපදය සටන් කර ඇති දීර්ග ම යුද්ධය ඇෆ්ගනිස්තානු යුද්ධය යි. ඩොලර් බිලියන 800කට වඩා එයට වැය කර ඇත. ඇමරිකානු හා සහචර හමුදා භටයින් දහස් ගනනක් මියගොස් හෝ තුවාල ලබා ඇති නමුත්, පෙනෙන තෙක් මානයක අවසානයක් නොමැත. පරාජය කර ඇතුවා වෙනුවට තලිබාන් හා වාඩිලා ගැනීමට විරුද්ධ අනෙකුත් මිලීෂියා හමුදා, එක්සත් ජනපද රූකඩ ආන්ඩුවට හා විදේශ හමුදාවන්ට එරෙහිව දිගට ම සටන් කරති. දකුනු ඇෆ්ගනිස්තානයේ මුලු ප‍්‍රදේශය ම ඔවුන්ගේ පාලනය යටතේ පවතී. මෑත සතිවලදී, උතුරේ කුන්දුස් නගරයේ පාලනය සඳහා දැඩි සටන් පැවතුනි.

පාලක ස්ථරය වාර්ගික-නිකායික බෙදීම්, ජාත්‍යන්තර ආධාර සොරා ගැනීම සහ අබිං හා හෙරෝයින් වෙලඳාම මත පදනම්ව සිටින ඇෆ්ගන් ආන්ඩුව, ලෝකයේ ඉතා දූෂිත ආන්ඩුවක් බවට පත්වේ. 15,000ක එක්සත් ජනපද හා යුරෝපීය හමුදාවන්ගේ දැනට පවතින මුක්කුව ගලවා දැමුව හොත්, ඇෆ්ගන් ජනතාව විසින් නීච කොට සලකන, පාලන තන්ත‍්‍රය, ඇද වැටෙනු ඇතැයි පොදුවේ පිලිගැනේ.

මධ්‍යම ආසියාවේ තෙල් හා ගෑස් සම්බන්ධයෙන් ගත් විට, ඒවා ප‍්‍රයෝජනයට ගැනීමේ ආධිපත්‍යය තවමත් රුසියාව විසින් දරන නමුත්, නව නල මාර්ග ඉදි කිරීමත් සමග ඒවා වඩ වඩා චීන බලශක්ති සංගත යටතට එමින් පවතී. ඩිප්ලොමැට් සඟරාවේ මෑත අදහස් දැක්වීමක් මෙසේ සඳහන් කලේ ය: “වර්තමාන ප‍්‍රවනතාව ඉදිරියට ගිය හොත්, 2020 වන විට කලාපයේ තෙල් හා ගෑස් නිෂ්පාදනයෙන් සියයට 50ක් චීනය විසින් ආනයනය කිරීමට ඉඩ ඇත. එමඟින් බටහිර සිට නැගෙනහිරට වන මධ්‍යම ආසියාවේ බලශක්ති ගලනයේ තීරනාත්මක වෙනසක් සංඥා කරන බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ඇස්තමේන්තු කර ඇත.”

ඇෆ්ගනිස්තානය මත තම ග‍්‍රහනය ලිහිල් කිරීමට ඇමරිකානු ධනපතීන්ට අභිප‍්‍රායක් නොමැති අතර, එය අද වඩ වඩාත් යොමු වන්නේ, සිය ගෝලීය ආධිපත්‍යයට න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ චීනය හා රුසියාව ඇති කරනවා යැයි සිතන තර්ජනය අවසන් කිරීමට ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ මූලෝපායඥයින් අධිෂ්ඨාන සහගත වී ඇත්තේ, භූගෝලීයව, දේශපාලනිකව හා මිලිටරිමය වසයෙන් දැවන්ත භූමි ස්කන්ධයක ආධිපත්‍යය ගන්නා රටවල් දෙක තුල, රූකඩ ආන්ඩු පිහිටු වීමට ය. ලොකු කුඩා සෑම බලවතෙකු ම, පෙර නො වූ තරම් සංයුක්ත තත්වයන් යටතේ, තම පාලක ප‍්‍රභූවේ උත්සුකයන් තහවුරු කිරීමට උත්සාහ ගැනීමත් සමග සෑම තැනක ම ආතතිය ඉහල යමින් පවතී. මානවවර්ගයාට ඉහලින් තුන්වැනි ලෝක යුද්ධයේ හැකියාව තර්ජනාත්මක ලෙස ලඹදෙමින් තිබේ.

අනාගතය රඳාපවතින්නේ කම්කරු පන්තිය මත පදනම් වන්නා වූ ද විප්ලවවාදී සමාජවාදී ඉදිරිදර්ශනයකින් මග පෙන්වන්නා වූ ද ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක වර්ධනය මත ය. එක්සත් ජනපද සසප විසින් නොවැම්බර් 5වැනිදා ඩෙට්‍රොයිට් හි දී පවත් වනු ලබන ධනවාදය හා යුද්ධයට එරෙහිව සමාජවාදය නම් සම්මේලනය එවැනි ව්‍යාපාරයක් සඳහා වන සටනේ තීරනාත්මක පියවරකි. යුද්ධය, කප්පාදු හා මර්දනයට විරුද්ධත්වය දැක්වීමට මාවතක් සොයමින් සිටින සෑම අයෙකු ම, ඒ සඳහා ලියාපදිංචි විය යුතු අතර එයට සහභාගී විය යුතු යයි ඉල්ලා සිටිමු.

ජේම්ස් කෝගන්

Share this article: