ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයට ගොදුරු වී ඇති දේවල් අතර එක් සැලකිය යුතු දෙයක් නම්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂවල 'අධිරාජ්‍ය-විරෝධී' පූච්චානම් ය. ඔවුහු සියල්ලෝ ම, 1940 ගනන් අග බ්‍රතාන්‍යයන් ස්වාධීනත්වය ප්රදානය කිරීමෙන් පසු මේ දක්වා ඉන්දියානු උප-මහාද්වීපයේ කෙරුනු ප්‍රථම සෘජු අධිරාජ්‍යවාදී මැදිහත්වීම වන මෙම එක්සත් ජනපද මිලිටරි ක්‍රියාමාර්ගයට, සහාය දී තිබේ. එපමනක් නොව, බුෂ් පරිපාලනයේ 'ත්රස්තවාදයට එරෙහි යුද්ධයට' සහාය දීම මගින්, ඔවුහු, එක්සත් ජනපදය සිය භූගෝලීය අවශ්‍යතා තව දුර හඹා යාම පිනිස දැනට ගෙනයන ආක්රමනික ක්‍රියාමාර්ගයට තථ්‍ය වසයෙන් ම සහාය දීමට බැඳී සිටිති.
තත්වාරක්ෂක එක්සත් ජාතික පක්ෂය (යූඇන්පී) හැරුනු කල, ශ්‍රී ලංකාවේ පක්ෂ පසුගිය දශක පහක කාලය තිස්සේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට හා ආක්රමනවලටර් -- අඩු ගනනේ වචනයෙන් වත් -- විරුද්ධ වී තිබේ. කෙසේ වෙතත්, 1990 ගනන්වල දී, සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන්, එනයින් ශ්‍රී ලංකාව වැනි රටවලට කඳවුරු දෙක අතර උපාමාරු දැමීමට තිබූ හැකියාව බිඳ වැටීමෙන්, පසුව ඔවුහු වඩ වඩා එක්සත් ජනපදයේ හා සෙසු ප්‍රධාන බලවතුන්ගේ අවශ්‍යතාවන්ට අනුගත වූහ. දරිද්‍ර ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයට ඔවුන් දෙන සහයෝගය මෙම දිග්ගැසුනු ක්රියාදාමයේ කුලූගැන්වීම සලකුනු කරයි.
එක්සත් ජනපදය මත සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්රහාරයන් එල්ල කෙරුනු විට බලයේ සිටියේ, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ පොදු පෙරමුනු තන්ත්රය යි. සභාගයේ ප්‍රධාන පක්ෂය කුමාරතුංගගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) යි. මෙම පක්ෂය 1950 ගනන් මුල පිහිටුවන ලද්දේ යූඇන්පියට 'වාම' විකල්පයක් ලෙස ය. සිංහල ස්වෝත්තමවාදය දිරිගැන්වීම මත පදනම් වූ ශ්රීලනිපය, පුරුද්දක් ලෙස, බ්‍රතාන්‍ය හා ඉක්බිතිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ 'ඒජන්තයෙක්' යයි යූඇන්පිය හෙලා දුටුවේ ය.
අඩ සියවසකට පසුව, කුමාරතුංග, ඇගේ පියා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායකගේ ද ඇගේ මව වූ 1960 ගනන්වල අගමැති ලෙස සිටි සිරිමා බන්ඩාරනායකගේ ද 'අධිරාජ්‍ය විරෝධය' අතහැර දමා ඇත. බන්ඩාරනායක මැතිනිය වියට්නාමයට එරෙහි එක්සත් ජනපද යුද්ධය පිලිබඳ ඇගේ විවේචනයන් ද නොබැඳි ව්‍යාපාරය තුල ඇගේ ක්‍රියාකලාපය ද සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ය. අතීතයේ දී කුමාරතුංග ම ද රැඩිකල් ඉරියව්වක් පෑවාය. මීට යන්තම් වසර දෙකකට ඉහත දී පවා, ඇගේ පොදු පෙරමුනු ආන්ඩුවට එක්සත් ජනපදය මෙහෙයවන යුද්ධයට සිය සහයෝගය ප්‍රකාශ කිරීමට සිදු වූයේ කොසෝවෝහි 'ජනවාර්ගික ශුද්ධය' පිලිබඳ සිය 'ගැඹුරු උත්සුකතා' අවධාරනය කරමින් වක්‍ර ආකාරයකට ය.
එහෙත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුව කිසිදු පැකිලීමක් නො වීය. කුමාරතුංග ඇෆ්ඝනිස්තානයට එරෙහි යුද්ධය සඳහා වූ බුෂ් පරිපාලනයේ සැලසුම්වලට සිය පරිපූර්න සහාය ක්ෂනිකව ම ප්‍රකාශ කල අතර එක්සත් ජනපද මිලිටරියට රටේ ගුවන් හා නාවික තොටුපලවල් පාවිච්චි කිරීමේ ඉඩකඩ ප්රදානය කලා ය. පසුගිය මාසයේ මැතිවරනයෙන් පසුව බලයට පැමින සිටින විපාර්ශ්වික යූඇන්පීය, ඉක්මනින් ම ඒ මග අනුගමනය කලේ ය.
පොදු පෙරමුනු සභාගයට 'වාම' පක්ෂ දෙකක් ද -- ලංකා සම සමාජ පක්ෂය (ලසසප) හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (ශ්‍රීලකොප) -- ඇතුලත් වේ. 1940 ගනන්වල දී ට්‍රොට්ස්කිවාදී ලසසප බ්‍රතාන්‍ය විජිත පාලනයට එරෙහිව බලගතු කම්කරු පන්තික ව්‍යාපාරයක් මෙහෙය වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස දේශපාලන ආරෝහ සම්පත්තියක් දිනාගති. කෙසේ වෙතත්, 1950 ගනන්වල දී, පක්ෂය වඩ වඩාත් ශ්‍රීලනිපයේ සිංහල ස්වෝත්තමවාදයට අනුගත වූ අතර 1964 දී ට්‍රොට්ස්කිවාදී මූලධර්ම විවෘතව පාවා දී ශ්‍රීලනිප ආන්ඩුවට ඇතුලූ විය. කෙසේ වෙතත්, ඉන් අනතුරුව පැවති වසර ගනනාවක කාල පරිච්චේදය තුල දී. ලසසප නායකයෝ මාක්ස්වාදීන් ලෙස වෙස් පෑමේ දිගටම යෙදුනු අතර අධිරාජ්‍යවාදී කූටෝපායන් හෙලා දැක්කාහ.
අද, ලසසප වනාහි, පාලක පන්තියේ අවශ්‍යතාවන්ට සේවය කරමින්, එයට හිලව් වසයෙන් තමන්ට ලැබෙන සුලූ වරප්‍රසාද භුක්ති විඳින නිලධාරිවාදී කටුවකට වඩා වැඩි දෙයක් නො වේ. බුෂ්ගේ ත්රස්තවාදයට එරෙහි යුද්ධයට සහාය දීමට බැඳෙමින් ලසසප නිවේදනය කලේ, තමන් 'ත්‍රස්තවාදී ව්‍යාපාරවල හැකියාව දුර්වල කිරීමට ගනු ලබන පියවරයන්හි දී ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගී වීමට ශ්‍රී ලංකාව ගන්නා පියවර අනුමත කරන' බවයි. පක්ෂයේ නිවේදනය, 'සියලූම ආකාරයේ ත්රස්තවාදයට එරෙහිව සටන් කල යුතු' බව අවධාරනය කරමින්, එයට නීතිමය තහංචියක් ද එක් කලේ ය: 'ත්රස්තවාදයට එරෙහි යුද්ධ කිරීමේ ආවරනය යටතේ ස්වකීය අවශ්‍යතා තහවුරු කර ගැනීමට අධිරාජ්‍යවාදයට අවසර නොදිය යුතු ය.'
වෙනත් වචනවලින් කිය තොත්, ලසසප, එක්සත් ජනපදය ත්රස්තවාදයට එරෙහිව සටන් කරන තාක් කල් ඇෆ්ඝනිස්තානයට එරෙහිව එක්සත් ජනපද යුද්ධයට සහාය දෙන අතර එහෙත් ස්වකීය අවශ්‍යතා තහවුරු කර ගනු පිනිස මැදිහත්වීමට එක්සත් ජනපදයට 'අවසර' නො දෙනු ඇත. එවන් වෙන් කිරීමක් මුලූමනින් ම කෘත්‍රිම හා සාවද්‍ය වේ. බුෂ් පරිපාලනය සැප්තැම්බර් 11 ප්‍රහාර ඩැහැ ගත්තේ, මධ්‍යම ආසියාවේ තෙල් හා ගෑස් නිධි මත තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ දිගු කාලීනව පැවති එක්සත් ජනපද අභිලාෂයන් සාක්ෂාත් කර ගනු පිනිස ඇෆ්ඝනිස්තානයේ යුද්ධයක් ගෙනයාමට ය. මෙම කරුන පිලිබඳව ලසසප මුලූමනින්ම නිහඬතාවක් පවත්වාගෙන යයි.
1940 ගනන්වල ලසසප නායකයෝ, අද පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන තර්ක දේශපාලනිකව කීතු කරනු ඇත. සත්තකින් ම, ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ට්‍රොට්ස්කිවාදීහු, යුද්ධය ෆැසිස්ට්වාදයට එරෙහිව ප්රජාතන්ත්රවාදය සඳහා අරගලයක් යයි තර්ක කරමින් දෙවන ලෝක යුද්ධයේ දී බ්රතාන්යයන්ට සහයෝගය දුන් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ විතන්ඩවාදය එලිදරව් කලහ. එකල ලසසප විසින් නිවැරදිව පැහැදිලි කරන ලද පරිදි, බ්‍රතාන්‍යය, අධිරාජ්‍යවාදී කඳවුරු දෙක අතර ගෙනයනු ලබන යුද්ධයක දී, ඉන්දියානු උප-මහාද්වීපයේ සිය විජිත ආරක්ෂා කර ගැනීම ඇතුලූ සිය අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාකරනු පිනිස දේශපාලන කඩතුරාවක් ලෙස, 'ප්රජාතන්ත්රවාදය' යන්න නරුම ලෙස යොද ගති.
පොදු පෙරමුනු සභාගයේ අනෙක් වාම සහකරු වන ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (ශ්‍රීලකොප), සම්ප්‍රදායිකව සෝවියට් නිලධරයට බැඳී සිටි අතර මොස්කෝවේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සිය අධිරාජ්‍ය-විරෝධී පූච්චානම් ගෙතුවේ ය. සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමග පක්ෂය එක්සත් ජනපද මැදිහත්වීම්වලට -- 1990 දී ඉරාකයට එරෙහිව හා 1999 දී යුගෝස්ලාවියාවට එරෙහිව -- විරුද්ධ වීම දිගටම කරගෙන ගිය නමුත් ඒ වඩා ඇල්මැරුනු ආකාරයන්ගෙනි. කෙසේ වෙතත්, සැප්තැම්බර් 11 ප්‍රහාරවලින් පසුව, සියලූ අතීත මවාපෑම් පසෙකට අතුගෑවුනි. ශ්‍රීලකොප 'ලෝක තලයෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා' තම පරිපූර්න 'කැපවීම හා සහයෝගය' පුද කලේ කිසිදු දෙගිඩියාවකින් හෝ කිසිදු සීමාවකින් තොරව හා 'අධිරාජ්‍යවාදය' යන වචනය සඳහන් කිරීමකින් පවා තොරව ය.
'වමේ වම'
ලසසප 1964 කල පාවාදීමේ ප්රතිවිපාකවලින් එකක් නම්, ජාතිවාදී දේශපාලනය මත පදනම් වූ රැඩිකල් සංවිධානවල මතුවීමයි. දකුනේ දී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සිංහල ස්වෝත්තමවාදයේ, මාඕවාදයේ හා කැස්ට්රෝවාදයේ මිශ්‍රනයක් වැලඳගත් අතර රැකියා විරහිත ග්‍රාමීය තරුනයන් අතර සහයෝගී පදනමක් වර්ධනය කර ගති. එහි ආනුෂංගික පරිනාමය සිදුව ඇත්තේ, තියුනු ලෙස දකුනට ය, විවෘතව ෆැසිස්ට් දේශපාලනය හා විධික්රම දෙසට ය. එහෙත් එය 'වමේ වම' ලෙස මවා පෙන්වා ගැනීම දිගටම කරගෙන විත් තිබේ.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහි ලේ කකියන පූව්චානම් ජවිපෙ වෙලඳ ලකුනුවලින් එකක් ලෙස පැවත ඇත. සැප්තැම්බර් 11ට යන්තම් මාස කිහිපයකට පෙර ජවිපෙ, ඉරාකයට එරෙහිව අඛන්ඩව එල්ල කෙරෙන බෝම්බ ප්‍රහාර හෙලා දැකිමින්, කොලඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක් පැවැත්වී ය. එහෙත් මෙම පක්ෂය ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්සක් ජනපද යුද්ධයට සහාය දීමට ඉදිරිපත් වූ ප්‍රථමයන් අතර විය. ඇමරිකාවේ 'විද්‍යාත්මක ඥානය හා ආර්තික හැකියාවන් මානව වර්ගයාගේ යහපත පිනිස' භාවිත කරනු පිනිස සිය විදේශ පිලිවෙත 'යහපත් දිශාවකට' යොමු වන පරිදි සංශෝධනය කරන ආකාරය පිලිබඳව වොෂිංටනයට නොමිලේ අවවාද දීමට පවා ජවිපෙ ඉදිරිපත් වී තිබේ. පක්ෂයේ නිවේදනය, බුෂ් පරිපාලනය මෙම යෝජනා අනුගමනය කරන්නේ නම් එයට 'කිසිඳු ප්‍රයත්නයකින් තොරව ලෝකයේ නායකයා' බවට පත් විය හැකි බවට සිය විශ්වාසය පල කලේය.
1994 පටන් මේ දක්වා, වඩා වඩා අපකීර්තියට පත්ව ඇති පොදු පෙරමුනට හා යූඇන්පියට විකල්පයක් ලෙස ජවිපෙ අනවරතයෙන් ම දේශපාලන පොදු ප්රවාහයට ගෙන විත් තිබේ. එහි වැඩපිලිවෙලේ අරටුවේ ම ඇති දෙයක් නම් සිංහල ස්වෝත්තමවාදයට සහාය දීම හා එල්ටීටීඊයට එරෙහිව මිලිටරි ජයග්රහනයක් ඉල්ලා සිටීමයි. ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයට සිය සහාය ප්‍රකාශ කිරීමේ දී, ජවිපෙ ප්‍රකාශයට පත් කලේ, එල්ටීටීඊයට එරෙහිව එක්සත් ජනපද මිලිටරි සහාය බලාපොරොත්තු වන මිලටිරියේ, රාජ්‍ය නිලධරයේ හා ව්‍යාපාරික කොටස්වල අදහස් ය. පක්ෂ නිවේදනය සඳහන් කරන පරිදි: 'රටේ ඒකීය භාවය රැකගැනීම හා බෙදුම්වාදය පරාජය කිරීම පිනිස වත්මන් ලෝක තත්වය යොදා ගැනීමේ රාජ්‍යතාන්ත්‍රික විචක්ෂනභාවයක් අපට අවශ්‍ය ය.'
කුඩා පක්ෂයක් වන නව සම සමාජ පක්ෂය (නසසප) මෙම රීතියට ව්‍යාතිරේකයක් ලෙස පෙනී ගියේ ය. මෙම අතිශයින් ම අවස්ථාවාදී දේශපාලන සංවිධානයේ සියලූ දේශපාලන දඟර දැමීම් විස්තර කිරීමට ගිය හොත් එය කුඩා පොතක් වනු ඇත. නසසප තනන ලද්දේ 1970 ගනන් අග ලසසපයෙන් හේද වීමකින් ය යන්න පැවසීම සෑහේ -- නසසප නායකයෝ 1964 ලසසපයේ පාවාදීමට සහාය දුන් අතර 1970 ගනන්වල මුල් කාල පරිච්චේදය පුරාම, ජවිපෙ නැගිටීමක් ම්ලේච්ච ලෙස මර්දනය කල ක්ම්කරු පන්තියේ ජීවන කොන්දේසිවලට බරපතල පහර එල්ල කල ආන්ඩුවක කොටසක් ලෙස, පක්ෂය තුල රැඳී සිටි අතර ඔවුන් ලසසප හැර ගියේ සාමාන්‍ය කම්කරුවන්ගේ වැඩෙන වෛරයට ලසසපය මුහුන දීමෙන් පසුව පමනි.
නසසප ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයට විරුද්ධ නමුත් එසේ කිරීමේ දී සිය දේශපාලනයේ බංකොලොත්කම එලිදරව් කර ඇතුවා පමනි. 'යැංකි ත්රස්තයන් කල පව් පඩිසන් දෙයි' යන මැයෙන් යුත් නිවේදනයක එය අල් ක්වේඩා හා තලිබාන් සංවිධානවල ප්රතිගාමී ඉස්ලාම් මූලධර්මවාදීන්ට සහයෝගය දෙමින් අහිංසක මිනිසුන් දහස් ගනන් ඝාතනය කල එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර ප්‍රශංසාවට ලක් කලේය. 'ඇෆ්ඝන් යුද්ධය' 'මුස්ලිම් ජනයා අතර සටන්කාමී ජීවය ශක්තිමත් කිරීමට පමනක් හේතු වනු ඇතැයි' සඳහන් කරන එය, සැප්තැම්බර් 11 මගින් පෙන්නුම් කෙරෙන්නේ 'කුඩා මිනිසුන් කන්ඩායමකට පවා තමන්ගේ තෝරාගත් සතුරන් වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි ය. . . . පීඩිතයන්ගේ හා කොන් කිරීමට ලක්වූවන්ගේ අභියෝගයන්ගෙන් ඔබ්බෙහි පිහිටි පද්ධතියක් ලෙස නවීන ධනවාදය සතු ප්‍රතිරූපය දැන් සඳහටම බිඳ වැටී ඇත.' යන්න යයි තව දුරටත් සඳහන් කලේය.
නසසප තලිබාන් ව්‍යාපාරයට පුදන සහයෝගය එහි සාමාන්‍ය පිලිවෙතින් ඉවතට හැරීමක් නොව එහි රැඩිකල් දේශපාලනයේ තර්කානුකූල ප්‍රතිපලයයි. මෙම පක්ෂය විවිධ අවස්ථාවාදී සන්ධාන හා උපාමාරු වෙනුවෙන් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලය නිරතුරුවම ප්‍රතික්ෂේප කලේ ය. එවන් සන්ධාන හා උපාමාරු සමාජවාදයට කෙටි මාවතක් විවෘත කරනු ඇතැයි එය තර්ක කලේ ය. අතීතයේ දී නසසපය, මාඕ හා ගුවේරා මෙන් ම බෙදුම්වාදී එල්ටීටීඊය වැනි පුද්ගලයන්ට හා සංවිධානවලට හුරේ දැම්මේ, එල්ටීටීඊයේ ජාතිවාදී දේශපාලනය හා ත්‍රස්ත උපක්‍රම ආරක්ෂා කරමිනි. දැන් මෙම පක්ෂය නතර වී ඇත්තේ, නවීන ධනවාදයට අභියෝග කරන විධික්රම ලෙස, අල් ක්වේඩා හා තලිබාන් ව්‍යාපාරවලට -- මෙම සංවිධානවල මුල් පවතින්නේ 1980 ගනන්වල ඇෆ්ඝනිස්තානයේ සෝවියට් මුක්කුව ලද තන්ත්රයට එරෙහිව යුද්ධයක් ගෙනගිය එක්සත් ජනපද සහාය ලද මුජහිදීන් කන්ඩායම්වල ය -- සහයෝගය දීමෙනි.
මෙම පක්ෂ සියල්ල ම දේශපාලන අවෘත අන්තයකට ලඟා වී ඇත යන කාරනාවට ශ්‍රී ලංකා දිවයිනේ සීමාවෙන් ඔබ්බට යන වෛෂයික අර්ථභාරයක් පවතී. එමගින් පෙන්නුම් කෙරෙන්නේ, මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින 'අධිරාජ්‍ය විරෝධීන්' හා 'සමාජවාදීන්' ලෙස පෙනී සිටීමට පසුගාමී ධනවාදී රටවල රැඩිකල් මධ්‍යම පන්තික ස්ථරයන්ට හා පාලක පන්ති කොටස්වලට පවා හැකිව තිබූ කාල පරිච්චේදය අවසානයකට ලඟා වී ඇත යන්නයි. බුෆ් පරිපාලනයට ඔවුන්ගේ යටත් වීම මගින් තහවුරු කෙරෙන්නේ ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රිය මූලධර්මයකි -- එනම්, කල් පසුවූ ධනවාදී සංවර්ධනයක් සහිත රටවල ජාතික ධනේශ්වරයට අධිරාජ්‍යවාදී පීඩනයට එරෙහිව ස්තිරසාර අරගලයක් කිරීමේ හැකියාවක් නැති බවයි.
ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්සත් ජනපද යුද්ධය මගින් නියෝජනය කෙරෙන විජිතවාදයේ පුනර්ජීවනය එලඹෙන කාල පරිච්චේදයේ දී එයට එරෙහි විරුද්ධත්වයක් නිර්මානය කරනු ඇති බව නිසැක ය. තමන් ගමන් කරන්නේ තුනී අයිස් කුට්ටියක් මතින් බව හොඳින් දන්නා ශ්‍රී ලංකාවේ පක්ෂ බුෂ් පරිපාලනය ඉදිරියේ බඩ ගෑමේ තම පිලිවෙත මහජන අවධානයෙන් ඉවත තබා ගැනීමට බොහෝ සෙයින් උත්සාහ දරා ඇත. කුමාරතුංග ත්රස්තවාදයට එරෙහි බුෂ්ගේ යුද්ධයට දෙන සිය සහාය යුක්තියුක්ත කරනු වස් 'ජාතිය ඇමතීමේ කතාවක්' කලේ නැත. පාර්ලිමේන්තුව තුල කිසිදු විවාදයක් නොපැවැත්වුනි. තම ආරම්භක නිවේදනවලින් අනතුරුව සියලූ ම පක්ෂ පරෙස්සම් සහගත නිහඬතාවක ගිලී සිටියේ හීලෑ වූ මාධ්‍යවල පරිපූර්න එකඟතාව ඇතිව ය. එය හරියටම කොලඹ සමස්ත දේශපාලන සංස්ථාපිතය ම, මහජනතාව ඇවිස්සෙතැයි බියෙන්, කැත රහසක් පිලිබඳ කතා කිරීමෙන් වැලකීමේ පුද්ගලික එකඟතාවකට පැමින ඇතුවාක් මෙනි.
යුද්ධයට එරෙහි වූ ද ශ්‍රී ලංකාවේ හා ඉන්දු උප-මහාද්වීපය පුරා කම්කරු ජනතාව මුහුන දෙන අන්තරායන් පැහැදිලි කිරිමට දෙසැම්බර් මැතිවරනයේ දී උද්ඝොෂනය කලා වූ ද එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය යි. එක්සත් ජනපද ආක්රමනය මගින් මතු කෙරෙන වැඩෙන තර්ජනයට අභියෝග කල හැකි එකම විධික්රමය ලෙස සමාජවාදය සඳහා අරගලය වටා කම්කරු පන්තිය ජාත්‍යන්තරව ඒකාබද්ධ විය යුතු බවට සසප අවධාරනය කලේ ය. අධිරාජ්‍යවාදයේ ක්‍රියාවන්ට එරෙහි වන කම්කරුවන්, බුද්ධිමතුන්, ශිෂ්‍යයන් හා සෙසු අය දැන් හැරිය යුත්තේ මෙම කාරනාවන්ට ය.
අදාල වෙනත් ලිපි
අප ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට විරුද්ධ වන්නේ ඇයි?
2001 ඔක්තෝබර් 23
බුෂ් පරිපාලනයට යුද්ධය අවශ්‍ය වනුයේ ඇයි?
2001 ඔක්තෝබර් 10
ශ්‍රී ලංකා ආන්ඩුව එක්සත් ජනපදය තුල ත්‍රස්ත ප්‍රහාර නරුම ලෙස ගසා කයි
2001 ඔක්තෝබර් 05
නිව්යෝර්ක් සහ වොෂිංටන් නගර මතට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ දේශපාලන මූලයෝ
2001 සැප්තැම්බර් 14
[මෙම ලිපිය 2002 ජනවාරි 31 වැනි දින ඉංග්‍රීසි බසින් පල වූ ලිපියක පරිවර්තනයකි.]
