ජෝර්ජි වැලෙන්තිනොවිච් ප්ලෙකනොව් (1856-1918): මාක්ස්වාදයේ ඉතිහාසය තුල ඔහුට හිමි තැන

දෙසැම්බර් 11 වන දින ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය ”රුසියාවේ මාක්ස්වාදයේ පියා” වන ජෝර්ජි වැලෙන්තිනොවිච් ප්ලෙකනොව්ගේ උත්පත්තියේ 160 වන සංවත්සරය සලකුනු කරයි. ”මිනිසුන්ගේ යහපත් ක්‍රියා බොහෝ විට ඔවුන්ගේ ඇටකටු සමග වලලනු ලැබේ. ඔවුන් කල අයහපත ඔවුන්ගෙන් පසුව ද ජීවත් වෙයි” යන කියමන බොහෝ දුරට ප්ලෙකනොව් සම්බන්ධයෙන් සත්‍ය වේ. මෙය හුදෙක් ඉතිහාසඥයන්ගේ ආත්මීය අත්තනෝමතියෙහි ප‍්‍රතිඵලයක් නොව, ඔහුගේ දීර්ඝ විප්ලවවාදී වෘත්තියෙහි පරස්පර විරෝධී ස්වභාවයෙන් පැනනගින්නකි.

ඔහුගේ ජීවිතයේ අවසාන වසරවලදී ජාතික ස්වෝත්තමවාදය හමුවේ ඔහුගේ දන ගැසීම නිසා විප්ලවවාදී වාමාංශය තුල ඔහුගේ කීර්තිය සුනුවිසුනුව ගියේය යන කරුන මගින්, ප්ලෙකනොව්ගේ දේශපාලන උරුමය බරපතල ලෙස පැහැ ගන්වනු ලැබ ඇත. 1914 ලෝක යුද්ධය පැතිර යන කල්හි, ජර්මනියට එරෙහිව රුසියාව ආරක්ෂා කිරීමට කැඳවුම් කරමින් ඔහු ප‍්‍රතිචාර දැක්වූයේය. 1917 දී ප්ලෙකනොව් ඔක්තෝබර් විප්ලවයට කර්කශ ලෙස එරෙහි විය. මෙම පාවාදීම් දෙක ප‍්‍රාසංගික වැරදි ගනන්බැලීම්වල ප‍්‍රතිඵල නොවේ. ප්ලෙකනොව්ගේ පුද්ගල ඉරනම පූර්වනිර්නිත එකක් වීයැයි තහවුරු කිරීමට තරම් දුර නොගොස් පවසන්නේ නම් -මිනිස්සු කවදත් තෝරාගැනීම් කරති- මෙසේ කිව හැකිය: කොයිහැටි වෙතත් ඔහුගේ දේශපාලනික ඇදවැටීම පිලිබිඹු කලේ 1914 අගෝස්තුවේ විදාරනය වූ ලෝක අර්බුදය විසින්, වෛෂයික අර්ථයෙන් ගත් කල, කුඩුපට්ටම් කරන ලද විප්ලවවාදීන්ගේ සමස්ත පරපුරක ඉරනමයි.

ප්ලෙකනොව් වැනි චරිතවල දුර්භාග්‍යසම්පන්න අවසානයේ ”මූලයන්” ඔවුන්ගේ මුල් කාලයේ වැරදි හා ප‍්‍රමාද දෝෂ තුල සොයා යාමට ඉතිහාසඥයන් හා චරිතාපදානකරුවන් පෙලැඹීම වටහා ගත හැක්කකි. කෙසේවතුදු, දේශපාලනික පශ්චාත් මරන පරීක්ෂනයෙහි දී අත්‍යවශ්‍ය වන එවන් අභ්‍යාසයන් යමෙකු ඒක පාර්ශ්වීය ඇගයුම් කරා ද රැගෙන යා හැකිය. පරීක්ෂාවට ලක් කෙරෙන මේ ජීවිතය එහි ”හොඳ” හා ”නරක” පාර්ශව අතර ගැටුමක් ලෙස අර්ථකථනය කෙරෙයි. දේශපාලන නායකයෙකුගේ පරිනාමය, සාධනීය හා නිශේධනීය ලක්ෂනයන් අතර සිදුවන, එක් එක් පාර්ශ්වය තම ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා කෙරෙන අරගලයකින් සමන්විත ගැටුමක් ලෙස සැලකීම මගින් නිසියාකාරව වටහා ගත නොහෙන බව හඳුනා ගැනීමට මෙම ප‍්‍රවිෂ්ටය අසමත්ය. ඒ වෙනුවට, වෛෂයික වාතාවරනයන්ගේ සන්දර්භය තුල, දේශපාලන පෞරුෂයක -සහ අප ඊට එක් කල යුතු, දේශපාලනික හා බුද්ධිමය ප‍්‍රවනතාවක- බහු පාර්ශ්වීය හා අන්තර් සම්බන්ධිත මූලිකාංගවල ගැඹුරුතර අර්ථභාරය ක‍්‍රමානුකූලව හෙලිදරව් වෙයි. ග’තේගේ මෙෆිස්ටොෆිලිස් මෙසේ අනතුරු හඟවයි: “Vernunft wird Unsinn. Wohltat Plage.” (”ප‍්‍රඥාව ප‍්‍රලාපයක් බවට පත්වෙයි. කාරුනික භාවය පරිපීඩනයක් වෙයි.”) ඓතිහාසික වර්ධනයේ එක් කාල පරිච්ඡේදයක දී සත්‍යය හා ශක්තියේ උල්පතක් ලෙස සහේතුකව පෙනී යන දෙය තවත් කාල පරිච්ඡේදයක දී අසත්‍යය හා මාරක දුර්වලතාවක් හැටියට හෙලිදරව් වෙයි.

ප්ලෙකනොව්ගේ ජීවිතය පිලිබඳ අධ්‍යයනය කිරීමේදී ඉදිරිපත් වන අභියෝගය වන්නේ අත්‍යවශ්‍ය ඓතිහාසික වෛෂයිකභාවය රැක ගැනීමයි. 1905 වන විටත් ඔහුගේ දේශපාලනික පසුබෑමේ සංඥාවන් පැහැදිලිව පෙනෙන්නට තිබූ බවට විවාදයක් නැත. මෙය පැහැදිලි කල යුත්තේ ඔහුගේ බුද්ධිමය බලමහිමයේ හදිසි දුබල වීම හෝ ඔහුගේ පෞරුෂයේ ”නිෂේධනීය” පැති ශක්තිමත් වීම ලෙස නොවේ. ප්ලෙකනොව්ගේ පසුබෑමේ ප‍්‍රමුඛ සාධකය වූයේ ප‍්‍රථම රුසියානු විප්ලවය ඇවිල යාම හා එහි බලපෑමයි.

රුසියාවේ කම්කරු පන්තිය විප්ලවවාදී සමාජ බලවේගයක් වශයෙන් ඉස්මතුවීම පෙරදුටු ප‍්‍රථම මාක්ස්වාදී න්‍යායධරයා වූයේ ප්ලෙකනොව්ය. 1905 විප්ලවය ඇවිලී යාම විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය තුල කම්කරු පන්තියේ කාර්යභාරයේ තීරනාත්මක භාවය පිලිබඳ ඔහුගේ තක්සේරුව තහවුරු කෙරින. එහෙත් එමගින් දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලය, ධනපති පන්තිය පෙරලා දැමීම හා සමාජවාදය පිහිටුවීම අතර සම්බන්ධය පිලිබඳ තීරනාත්මක දේශපාලනික ප‍්‍රශ්න ද -ගත වූ ශතවර්ෂ කාලක් පුරා ප්ලෙකනොව් විසින් වර්ධනය කෙරුනු ඉදිරි දර්ශනයේ ප‍්‍රමුඛතම අංගයන්ට පටහැනිව යන ප‍්‍රශ්න- මතු කෙරිනි. පරිපූර්න පාවාදීමෙන් කුලූ ගැන්වුනු දීර්ඝ පසුබෑමේ ක්‍රියාවලියකට ආරම්භක තල්ලුව සැපයුනේ ඔහු සිද්ධීන් විසින් අභිබවනු ලැබූ දේශපාලන ඉදිරි දර්ශනයක එල්බ සිටීම මගිනි.

එහෙත් ප්ලෙකනොව්ගේ අවසානය ඔහුගේ ජයග‍්‍රහන අවලංගු නොකරයි. එමෙන්ම, ඔහුගේ ඉදිරි දර්ශනයේ මූලිකාංගවල අවසාන නිෂ්ප‍්‍රභ වීමෙන්, ඔහුගේ දේශපාලන ලේඛන හැදෑරීමෙන් අද දින ලබා ගත හැකි දේ අල්ප වෙතැයි අදහස් වන්නේ නැත. ප‍්‍රාඥයන් සම්බන්ධයෙන් බොහෝ විට කිව හැකි පරිදි, තම විෂය ක්ෂේත‍්‍රය දේශපාලනය, විද්‍යාව හෝ කලාව වේවා - ඔවුහු ඉදිරි පරම්පරාවන් විසින් සොයා ගනු ලැබීම සඳහා බොහෝ සැඟවුනු මිනි මුතු ශේෂ කොට යති. නියත වශයෙන්ම මෙය ප්ලෙකනොව් සම්බන්ධයෙන් සත්‍යයකි. ඔහුගේ දුබලකම් හා අසාර්ථකත්වයන් සුප‍්‍රකටය. ඒවා පිලිබඳ අධ්‍යයනය, පරම්පරා ගනනාවක විප්ලවවාදීන්ට අවවාදාත්මක කතාන්තරයක් ලෙස සේවය කොට ඇත. එහෙත් ඔහුගේ කෘති පිලිබඳ අද දින කෙරෙන ගවේෂනයක් ඇසුරෙන් මාක්ස්වාදීන්ට ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයේ පුනරුත්ථානය සඳහා මහාර්ඝ වටිනාකමකින් යුත් බොහෝ දෑ ඔහුගේ න්‍යායික හා දේශපාලනික උරුමය තුලින් සොයා ගත හැකි වනු ඇත.

මාක්ස්වාදයේ මුල් කාලීන වර්ධනය හා ආරක්ෂාව වෙනුවෙන්, විශේෂයෙන්ම 1905 විප්ලවයට පෙර දශක තුන තුල, ප්ලෙකනොව් ලබා දුන් දායකත්වය එක් ලිපියක් තුල ප‍්‍රමානවත් ලෙස පිඬු කොට දැක්වීම කල නොහැක්කකි. ඔක්තෝබර් විප්ලවයට නායකත්වය සම්පාදනය කරමින් ඉතිහාසයේ ප‍්‍රථම කම්කරු රාජ්‍යය තහවුරු කල ලෙනින් හා ට්‍රොට්ස්කි ඇතුලු රුසියානු සමාජවාදීන්ගේ පරපුරෙහි න්‍යායික හා දේශපාලනික අධ්‍යාපනයට ඔහුගේ ලේඛන මගින් ඇති කල බලපෑම සුවිශේෂී විය.

මාක්ස්ගේ හා එංගල්ස්ගේ සංකල්ප පැහැදිලි කල හා වර්ධනය කල ඔහුගේ අනල්ප වූ න්‍යායික ලේඛන සම්භාරය මත ප‍්‍රමුඛ ඓතිහාසික පුද්ගල චරිතයක් ලෙස ප්ලෙකනොව්ගේ පෞරුෂය යුක්තියුක්ත ලෙස නැගී සිටී. On the Development of the Monist View of History, ඉතිහාසය පිලිබඳ අද්වෛතවාදී දෘෂ්ටියේ වර්ධනය ගැන, The Role of the Individual in History, ඉතිහාසය තුල පුද්ගලයාගේ කාර්යභාරය, On the Materialist Understanding of History, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී අවබෝධය ගැන සහ Fundamental Problems of Marxism මාක්ස්වාදයේ මූලික ගැටලු යන ලේඛන මේවා අතර වඩාත් ප‍්‍රකට කෘති වේ. 18 වන සියවසේ ප‍්‍රන්ස භෞතිකවාදයේ සීමාවන් සහ මාක්ස් හා එංගල්ස් විසින් අපෝහක හා ඓතිහාසික භෞතිකවාදයේ න්‍යාය විස්තාරනය කරනු ලැබීමට එහි වූ සම්බන්ධය පිලිබඳ ප්ලෙකනොව්ගේ විචාරය සාධිකාර ලේඛනයක් ලෙස පවතී. දර්ශනවාදයේ ඉතිහාසය පිලිබඳ ඔහුගේ දැනුම විශ්වකෝෂාකාර විය. වර්තමාන පාඨකයාට, ප්ලෙකනොව් විසින් පිරිසිඳ නොදන්නා ලද එකදු ප‍්‍රධාන දර්ශනවාදී ග‍්‍රන්ථයක් හෝ වීදැයි මවිත නොවී සිටිය නොහැකිය. සිය ව්‍යාකූල හා සාරසංග‍්‍රාහක දාර්ශනික සමපේක්ෂන, ගැඹුරු මූලකෘතීන් බව කියා සිටින ඒ හෝ මේ සුලු ධනපති මහාචාර්යවරයාගේ ස්වයං-රැවටිලිකාරී කියාපෑම්වලට පිලිතුරු ලෙස, මෙම උද්ධච්ච පිලිස්තීනුවාගේ ”සොයාගැනීම්” ඊට ශත වර්ෂයකට හෝ දෙකකට ඉහත දී පල කෙරුනු ග‍්‍රන්ථයක මීට වඩා බෙහෙවින් මනෝඥ සාහිත්‍යමය ශෛලියකින් ඉදිරිපත් කොට තිබූ බැව් පෙන්වා දීමෙන් ප්ලෙකනොව් නොමඳ සතුටක් ලැබීය.

ප්ලෙකනොව්ගේ ලේඛන අන්තර්ගතයෙන් පොහොසත් ය. ඒවා ප‍්‍රවේසමින් කියවීමට කාලය යොදවන්නකු ඔහුගේ අන්තර්දෘෂ්ටීන්ගේ නොනස්නා අදාලත්වය පිලිබඳ විස්මයට පත්වනු ඇත. ඓතිහාසික ක්‍රියාදාමයන් පැහැදිලි කිරීමට ජනවර්ගය පිලිබඳ සාවද්‍ය සංකල්පය යොදා ගැනීම සම්බන්ධයෙන් 1896 දී ප්ලෙකනොව් ප‍්‍රන්ස ඉතිහාසඥයකු වූ ටේන් පතුරු ගැසීය. ”කපා කොටා විභාග කිරීමට තරමක් සංකීර්න වන ප‍්‍රපංචයකට එවැනි නෛසර්ගික හා ප‍්‍රවේනිගත ස්වභාවයන් ආරෝපනය කිරීම තරම් සියලු දුෂ්කරතාවන් ගසා බසා ලීමට පහසු තවත් ක‍්‍රමයක් නැත. කෙසේවෙතත්, එමගින් ඓතිහාසික සෞන්දර්යයට අත් වන්නේ ඉමහත් හානියක් පමනෙකි.”(1) යි ඔහු ලිවීය.

මෙකී විෂයය සම්බන්ධයෙන් ම තවත් විවේචනයක දී ප්ලෙකනොව් කර්කශ උපහාසයෙන් යුතුව මෙසේ සඳහන් කලේය: ” ඕනෑම ජනවර්ගයක්, විශේෂයෙන්ම එහි සමාජ වර්ධනයේ මුල් අවධි තුල, තමා වඩාත්ම උදාර ජනවර්ගය ලෙස සලකා ගන්නා අතර එය අනෙකුත් ජනවර්ගවලින් විශේෂ කොට දක්වන ගුනාංගයන්ට ඉහල අගයක් ආරෝපනය කරයි.”(2) ඓතිහාසික විශ්ලේෂනයෙහිලා වලංගු ප‍්‍රවර්ගයක් ලෙස ජනවර්ගය සැලකීම ප්ලෙකනොව් ප‍්‍රතික්ෂේප කලේය. ”ඓතිහාසික ජනයා පිලිබඳව සියුම්ව පරීක්ෂා කිරීමේ දී, ඔවුන් හැඳින්වීමට පොදුවේ ජනවර්ගය යන යෙදුම භාවිතා නොකල හැකි බව හා නොකල යුතු බව ප‍්‍රථමයෙන් හා ප‍්‍රමුඛ කොට පෙන්වා දීමට අපි කැමැත්තෙමු. ශුද්ධ ජනවර්ගයකට අයත් ජනයා ලෙස හඳුන්වා දිය හැකි එකදු ඓතිහාසික ජනතාවක් හෝ අපි නොදන්නෙමු; ඒ සෑම එකක්ම විවිධාකාර මානව වංශික මූලයන් අතර ඉතා දිගුකාලීන හා තීව‍්‍රතර අන්තරාභිජනනයේත් දෙමුහුන්කරනයේත් ප‍්‍රතිඵලයකි.”(3) අනන්‍යතා දේශපාලනයෙහි කෙලවරක් නැති ව්‍යාජ වාම හා විශ්ව විද්‍යාලීය යෝජකයන්ගේ මුහුනට දමා ගැසිය යුතු වචනවලින් ප්ලෙකනොව් මෙසේ ලිවීය:

”කිසියම් නිශ්චිත ජනතාවකගේ ආධ්‍යාත්මික ඉතිහාසය තුල අපට වටහා ගත නොහැකි ලෙස පෙනී යන මොනයම් ම හෝ දෙයක් ජනවර්ගයට පැවරීමේ නරක පුරුද්ද අප අන්තිමේදී අත්හැර දැමුවහොත් ඉන් සමාජ විද්‍යාවට ඉමහත් ප‍්‍රතිලාභ අත්වනු ඇත. ජනවාර්ගික ලක්ෂන එම ඉතිහාසය මත යම් බලපෑමක් ඇති කර තිබුනා විය හැකිය. එහෙත් එබඳු උපකල්පිත බලපෑමක් බොහෝවිටම ඒ පිලිබඳ පර්යේෂන පැවැත්වීම සඳහා වන උත්සුකය ශූන්‍යයට සමාන වන තරමේ අංශුමාත‍්‍ර එකක් වනු ඇත. ඕනෑම ජනතාවකගේ වර්ධනය තුල සැලකිල්ලට පාත‍්‍ර වී ඇති විශේෂාංග, එම වර්ධනය සිදු වූ නිශ්චිත ඓතිහාසික කොන්දේසිවල ප‍්‍රතිඵලය ලෙස විනා, ජනවාර්ගික බලපෑමේ ප‍්‍රතිඵලය ලෙස නොගත යුතුය.” (4)

දාර්ශනික භෞතිකවාදයේ අග‍්‍රගන්‍ය ආරක්ෂකයා ලෙස ප්ලෙකනොව් ආත්මීය විඥානවාදයේ විවිධ ගුරුකුලයන්හි අපමන අධිවාචකයන් සමග සටන් වැදී ඇත. බෙනෙදෙත්තෝ ක්රො චේ, විල්හෙල්ම් වුන්ඞ්ට් හා තෝමස් මැසරික් වැනි යුරෝපීය බුද්ධිමය ප‍්‍රදීපස්තම්භයන් ද ඇතුලත් ඔහුගේ විරුද්ධවාදීන් සාමාන්‍යයෙන් මෙම සංග‍්‍රාමාභිමුඛවීම්වලින් පසු නික්ම ගියේ ගැඹුරු හා ලේ ගලන තුවාල සහිතවය. භෞතිකවාදය ආරක්ෂා කිරීමෙහි ලා ඔහුගේ අනම්‍යභාවය අද දක්වාම ප‍්‍රහාරවල ඉලක්කයක් බවට ඔහු පත් කිරීමට හේතු වී ඇත. ඔහුගේ අදහස් මාක්ස්වාදයේ හා අපෝහකයේ ”ග‍්‍රාම්‍යකරනයක්” ලෙස නිතිපතා නිරූපනය කරනු ලැබේ -මේ වූ කලී නව කාන්ටියානු ව්‍යූහවාදයේ හා ඉන්ද්‍රියානුභූතවාදයේ සිට ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය හා පශ්චාත්නූතනවාදය දක්වා වූ අහේතුවාදී සහ විඥානවාදී ධාරාවන්ගේ කැපී පෙනෙන බලපෑමට යටත් ව්‍යාජ-වාම ප‍්‍රවනතාවන්ගේ සමාජ පරිසරය තුල පුලුල්ව පවතින මතයකි.

ප්ලෙකනොව් හේගල් වටහා නොගත් බවටත් අපෝහක විධික‍්‍රමය කෙරේ උදාසීන ආකල්පයක් දැරූ බවටත් නිරතුරුව කියා සිටිනු ලැබේ. ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ හා පශ්චාත්නූතනවාදයේ අනුගාමිකයන් අතරින් සුවිශේෂවම මේ අපවාදය නැගෙයි. ඔවුන්ගේ විවේචන මගින් ඔප්පු වන්නේ ඔවුන් ප්ලෙකනොව් කියවීමට කරදර වී නැති බව හා හේගල් සම්බන්ධයෙන් -මාක්ස් සම්බන්ධයෙන් කියනුම කවරේද- ඔවුන්ගේ අවබෝධය ඉතා දුගී එකක් බව පමනකි. ප්ලෙකනොව් 1891 දී ලියූ ”හේගල්ගේ අභාවයේ හයවන සංවත්සරය වෙනුවෙන්” යන රචනාව, මාක්ස්වාදයේ වර්ධනයෙහිලා එම ශ්‍රේෂ්ඨ විඥානවාදියාගේ අපෝහක ක‍්‍රමයෙහි වූ වැදගත්කම පිලිබඳව ලියවුනු මාහැඟිම විවරන අතර වෙයි. ප්ලෙකනොව් මෙසේ පැහැදිලි කලේය:

”සමාජ විද්‍යාවන් තුල හේගල්ගේ වැදගත්කම ප‍්‍රථමව හා ප‍්‍රමුඛව නිර්නය කෙරෙන්නේ ඔහු ඒවායේ සියලු ප‍්‍රපංච des Werdens (පැවැත්ම ආරම්භවීමේ) ක්‍රියාදාමයේ ආස්ථානයෙන්, එනම්, ඒවායේ ප‍්‍රාදුර්භූතවීම හා අන්තර්ධානවීම පිලිබඳ ආස්ථානයෙන් සලකා බැලීය යන කරුනෙනි.”(5)

ස්වභාව ධර්මයේ, ඉතිහාසයේ හා චින්තනයේ ප‍්‍රපංචමය සමස්තය, ක්‍රියාවලිය ලෙස අවබෝධ කර ගැනීමෙහිදී හේගල් විසින් අත්පත් කර ගැනුනු දැවැන්ත බුද්ධිමය විජයග‍්‍රහන තිබියදීම, ඔහුගේ කෘති වර්ධනය කෙරුනේ විඥානවාදයේ පදනම මතය. හේගල් නම් දර්ශනවාදියා මෙකී සීමාසහිතකම කෙරේ කිපී සිටියේය. ප්ලෙකනොව් නිරීක්ෂනය කල පරිදි, හේගල් ”තමා අත්පත් කර ගත් ප‍්‍රතිඵල පිලිබඳව අතෘප්තව සිටියා සේය. මීදුමෙන් වැසී ගිය විඥානවාදයේ කඳු මුදුන්වලින් ආර්ථික සබඳතා නමැති සංයුක්ත මහපොලොවට බැසීමට ඔහුට නිතරම සිදු විය.”(6) විඥානවාදයෙන් ඔබ්බෙහි ඇති මාවතක් සොයා ගැනීමෙහිලා හේගල්ගේම ප‍්‍රයත්න යොමු වන්නේ, ඉතිහාසය අධ්‍යයනයෙහි හා අවබෝධයෙහි නව කාල පරිච්ඡේදයකට මුල පිරූ සොයා ගැනීමක් -ආර්ථික වර්ධනයේ අර්ථභාරය සොයා ගැනීම- කරාය.

හේගල්ගේ අභාවයෙන් පසුව භෞතිකවාදය කරා වූ සංක‍්‍රාන්තිය, දහඅටවන සියවසේ අවිදග්ධ පාරභෞතික භෞතිකවාදය වෙත සරලව පෙරලා යාමක් විය හැකිව නොතිබින. මෙහිදී අපේ උත්සුකය යොමු වන විෂය පථය තුල -එනම්, ඉතිහාසය පැහැදිලි කිරීමේ කාර්යයෙහි දී- භෞතිකවාදයට ප‍්‍රථමයෙන්ම හා ප‍්‍රමුඛ කොටම ආර්ථික විද්‍යාව වෙත හැරීමට සිදු විය. අන් ආකාරයකින් කටයුතු කිරීම යනු හේගල්ගේ ඉතිහාසය පිලිබඳ දර්ශනවාදය හා සැසඳීමේ දී ප‍්‍රගතියක් නොව පසුබෑමක් විය.(7)

ඉතිහාසය පිලිබඳ අධ්‍යයනය භෞතිකවාදී පදනමක පිහිටවූයේ කාල් මාක්ස්ය.

හේගල් මෙන්ම ඔහු මනුෂ්‍ය ඉතිහාසය නියාමයන්ට අනුකූල වූ ද, මිනිසාගේ අභිමතයෙන් ස්වායත්ත වූ ද ක්‍රියාවලියක් ලෙස දුටුවේය; හේගල් මෙන්ම ඔහු සියලූ ප‍්‍රපංච සැලකිල්ලට භාජනය කලේ ඒවායේ ප‍්‍රාදුර්භාවයේ හා අන්තර්ධාන වීමේ ක්‍රියාවලිය තුලය; හේගල් මෙන්ම ඔහු ඓතිහාසික ප‍්‍රපංචයන් පිලිබඳ වඳ පීදුනු පාරභෞතිකවාදී පැහැදිලි කිරීම්වලින් තෘප්ත නොවීය; තවද අවසන් වශයෙන්, හේගල් මෙන්ම ඔහු සමාජ ජීවිතයේ ක්‍රියාකාරීත්වයේ හා අන්තර් ක්‍රියාකාරීත්වයේ පවතින සියලු බලවේගවල විශ්වීය සහ එකම ප‍්‍රභවය සලකුනු කිරීමට ප‍්‍රයත්න දැරීය. එහෙත් ඔහුට එම ප‍්‍රභවය හමුවූයේ පරම විඥානය තුල නොව, අප ඉහත දුටු පරිදි, තම බලගතු හා නිපුන හස්තයෙහි පවා විඥානවාදය බලරහිත හා නිෂ්ප‍්‍රයෝජන උපකරනයක් වූ කල්හි හේගල්ටමත් පිලිසරන සොයා යාමට සිදු වූ එම ආර්ථික සංවර්ධනය තුලමය. එහෙත් හේගල් තුල අහඹු, වැඩි හෝ අඩු ප‍්‍රතිභාවන්තයෙකුගේ අනුමානයක් වූ දෙය මාක්ස් තුල දෘඪතර විද්‍යාත්මක විමර්ශනයක් බවට පත් වෙයි.(8)

ප්ලෙකනොව් සිය ලේඛන තුල දාර්ශනික විධික‍්‍රමය කෙරේ ග‍්‍රාම්‍ය යථානුභූතවාදී උදාසීනතාවක් දක්වතියි ඔහුගේ නුගුන දකින්නෝ කියා සිටිති. මීට උචිතතම පිලිතුර විශාරදයාගේම (ප්ලෙකනොව්ගේම) වචනවලට අවධානය යොමු කිරීමෙන් සැපයිය හැකිය:

සිය දර්ශනවාදය තුල විධික‍්‍රමය පිලිබඳ ප‍්‍රශ්නයට හේගල් ඒ සා වැදගත් ස්ථානයක් ලබාදුන්නේ හෝ, ”හේගල් හා කාන්ට් කරා” අහම්බෙන් ”තම වංශානුක‍්‍රමයේ පිය සටහන් සලකුනු කිරීම” අභිමානයක් කොට සැලකූ එකී බටහිර යුරෝපීය සමාජවාදීන් සමාජ ප‍්‍රපංචයන් අධ්‍යයනය කිරීමේ විධික‍්‍රමයට, එම අධ්‍යයනයේ ප‍්‍රතිඵල ලෙස අත්පත් කරගත් දත්තවලට වඩා වැඩි වැදගත්කමක් ලබාදුන්නේ හෝ, නිකමට නොවේ. ප‍්‍රතිඵලවල කිසියම් දෝෂයක් නිසැකවම සැලකිල්ලට භාජනය වී නිවැරදි විධික‍්‍රමය තවදුරටත් යෙදීම මගින් නිවැරදි කෙරෙනු ඇත. සාවද්‍ය විධික‍්‍රමයක් ඒ හෝ මේ තනි සත්‍යයට පටහැනි නොවන ප‍්‍රතිඵල ලබාදිය හැක්කේ හුදෙක් විරල තනි තනි අවස්ථාවලදී පමනි. එහෙත් විධික‍්‍රමය පිලිබඳ ප‍්‍රශ්න කෙරේ බැරෑරුම් ආකල්පයක් පැවතිය හැක්කේ බැරෑරුම් දාර්ශනික අධ්‍යාපනයක් ලබා ඇති සමාජයක පමනෙකි. (9)

එඩුවාර්ඩ් බර්න්ස්ටයින්ට එරෙහි සිය නිර්දය ප‍්‍රහාරයෙහි දී ප්ලෙකනොව්, මාක්ස්වාදයේ විධික‍්‍රමික පදනම් සම්බන්ධයෙන් සංශෝධනවාදියාගේ නොදැනුවත්කම අවධාරනය කරයි:

”මාක්ස්වාදයේ පදනමෙහි වඩාත් වැදගත් අංගය, එනම්, එහි සමස්ත පද්ධතිය සිසාරා දිවෙන මූලික නියාමය වනුයේ ඓතිහාසික භෞතිකවාදය ලෙස නම් කෙරුනු එහි සුවිශේෂී ඓතිහාසික න්‍යායයි” යනුවෙන් බර්න්ස්ටයින් මහතා සඳහන් කොට ඇත. මෙය සාවද්‍යය. සත්තකින්ම, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී පැහැදිලි කිරීම මාක්ස්වාදයේ එන ප‍්‍රධාන සුවිශේෂී අංගයන්ගෙන් එකකි. එහෙත් එම පැහැදිලි කිරීම සමන්විත වන්නේ මාක්ස්ගේ සහ එංගල්ස්ගේ භෞතිකවාදී ලෝක දෘෂ්ටියේ හුදු කොටසකින් පමනකි. ඔවුන්ගේ පද්ධතිය සම්බන්ධයෙන් කෙරෙන විචාරාත්මක පර්යේෂනයක් එකී ලෝක දෘෂ්ටියේ ප‍්‍රමුඛ දාර්ශනික පදනම් පිලිබඳ විචාරයකින් ආරම්භ කල යුත්තේ එම නිසාය. තවද, විධික‍්‍රමය නිසැකවම ඕනෑම දාර්ශනික පද්ධතියක ආත්මය වන හෙයින්, මාක්ස් හා එංගල්ස්ගේ අපෝහක විධික‍්‍රමය පිලිබඳ කවර හෝ විවේචනයක් ස්වභාවිකවම ඔවුන්ගේ ඉතිහාසය පිලිබඳ න්‍යායේ ”සංශෝධනයකට” පූර්වගාමී වෙයි. (10)

කලාව හා සෞන්දර්යවේදය පිලිබඳ ප්ලෙකනොව්ගේ ලේඛන අනාවරනය කරනුයේ දැවැන්ත ඥාන සම්භාරයක් මත ගොඩ නැගුනු ගැඹුරු අවබෝධයක් හා සංවේදීතාවකි. මෙම ක්ෂේත‍්‍රය තුල ඔහු හේගල්ගේ ශිෂ්‍යයා ද ට්‍රොට්ස්කිගේ ගුරුවරයා ද විය. සෞන්දර්ය විනිශ්චය සඳහා ඓතිහාසික දැනුම හා සමාජ අන්තර්ඥානය අවශ්‍ය වෙතැයි ඔහු අවධාරනය කලේය. චෙර්නිශෙව්ස්කිගේ පහත දැක්වෙන වදන් ඔහු උපුටා දක්වන්නේ තමාගේ ද අනුමැතිය සහිතවය: ”කලාවේ ඉතිහාසය, කලා න්‍යායට පදනම ලෙස කටයුතු කරයි...”(11) උසස් කලාව යනු හුදෙක් ආත්මීය චිත්තවේගයන්ට ප‍්‍රකාශනය ලබා දීම නොවන අතර එය ප‍්‍රගාඪ චින්තනයට ප‍්‍රකාශනය සපයයි. ”කලා කෘතියක් විශ්ලේෂනය කිරීම යනු එහි අදහස වටහා ගෙන එහි ආකෘතිය අගය කිරීමයි. විචාරකයා අන්තර්ගතය හා ආකෘතිය යන දෙකම විනිශ්චය කල යුතුය; ඔහු සෞන්දර්යවේදියෙකු මෙන්ම චින්තකයෙකු ද විය යුතුය.”(12) Art and Social Life (කලාව හා සමාජ ජීවිතය) නම් සිය ලිපිය තුල ප්ලෙකනොව් කලාත්මක ආකෘතිය හා අන්තර්ගතය අතර සම්බන්ධතාව පිලිබඳ සූක්ෂ්මතම විවරනයක් සම්පාදනය කරයි. කලා කෘතියක ගුනය එහි ආකෘතිය විසින් නිර්නය වෙතැයි අවධාරනය කල ප‍්‍රන්ස රොමෑන්තික කිවියෙකු වන තියෝෆිල් ගෝතියේගේ මත විවේචනය කරමින් ප්ලෙකනොව් මෙසේ ලියයි:

කාව්‍යය කිසිවක් ඔප්පු කිරීමට තැත් නොකරන බව කියා සිටීමෙන් නොනැවතුනු ගෝතියේ එය කිසිවක් පැවසීමට පවා තැත් නොකරන බවත්, කාව්‍යයක රමනීයත්වය එහි සංගීතයෙන්, එහි රිද්මයෙන් නිර්නය වන බවත් කියා සිටියේය. එහෙත් මෙය බරපතල වැරදීමකි. මීට පටහැනි ලෙස, කාව්‍යමය හා සාහිත්‍යයික කෘතීහු පොදුවේ ගත් කල සෑමවිටම යමක් පවසති. මන්දයත්, ඒවා සෑමවිටම යමකට ප‍්‍රකාශනය දෙන නිසාය. සත්තකින්ම දේවල් ”පැවසීමේ” තමාගේම ක‍්‍රමයක් ඒවාට ඇත. කලාකරුවා සිය අදහස් සංකල්පරූප තුලින් ප‍්‍රකාශයට පත් කරයි; ප‍්‍රචාරකයෙක් තම සිතුවිලි තාර්කික නිගමන ආධාරයෙන් පෙන්වා දෙයි. ලේඛකයෙකු සංකල්පරූප වෙනුවට තාර්කික නිගමන සමග ක්‍රියාත්මක වන්නේ නම්, නැතහොත් නිශ්චිත තේමාවක් තර්කානුකූලව තහවුරු කිරීමට සංකල්පරූප නිපදවන්නේ නම්, රචනා හා ලිපි නොලියා නවකතා, කථා හෝ නාට්‍යම ලියූවද, ඔහු කලාකරුවෙකු නොව ප‍්‍රචාරකයෙක් ම වෙයි. මේ සියල්ල සත්‍ය ය. එහෙත් සාහිත්‍යික කෘතිවල දී අදහස්වල වැදගත්කමක් නැතැයි එයින් නොකියැවේ. තවත් දුර යමින්, අදහස්වලින් තොර සාහිත්‍ය කෘතීන් යැයි කිව හැකි යමක් නැතැයි මම කියමි. ඒවායේ අන්තර්ගතය පිලිබඳ නොතකා ආකෘතිය මත පමනක් සිය කෘතීන් ගොඩ නැගූ ලේඛකයන්ගේ කෘතීහු පවා, කෙසේ වුව, එක් හෝ අනෙක් ආකාරයකින් කිසියම් අදහසක් ප‍්‍රකාශයට පත් කරති.(13)

මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාව තුල ප්ලෙකනොව් ඇති කල බලපෑමේ පරිමානය ඊට වර්ෂ ගනනාවකට පසුව ට්‍රොට්ස්කිගේ සම චින්තක සහ සටන් සගයා වූ ඇලෙක්සැන්ඩර් වොරන්ස්කි ලියූ විශිෂ්ට රචනාව තුල මොනවට පිලිබිඹු වෙයි. ඔහු මෙසේ ලිවී ය:

කෘතියක් කලාත්මකව ඇගැයීම යනු අන්තර්ගතය ආකෘතියට කෙතෙක් දුරට අනුරූප වේදැයි නිර්නය කිරීමයි; වෙනත් වචනවලින් කිවහොත්, කෙතරම් දුරට අන්තර්ගතය වෛෂයික කලාත්මක සත්‍යයට අනුරූප වේදැයි නිර්නය කිරීමයි. කලාකරුවා සංකල්පරූපවලින් සිතන හෙයින් එකී පිලිබිඹුව කලාත්මකව සත්‍ය විය යුතුය, එනම්, එය, නිරූපිත දෙයෙහි ස්වභාවයට අනුරූප විය යුතුය. කලාකරුවෙකුගේ කෘතියක පරිපූර්නත්වය හා සෞන්දර්යය රැඳී තිබෙන්නේ මෙහිය. සාවද්‍ය අදහසකට, සාවද්‍ය අන්තර්ගතයකට පරිපූර්න ආකෘතියක් සොයා ගත නොහැකිය, එනම්, කලාත්මකව අප ප‍්‍රබල ලෙස සසල කල නොහැකිය, නැතහොත් අප ”ආසාදනය” කල නොහැකිය. ”සංකල්පනය සාවද්‍යය, එහෙත් එය සුන්දර ආකෘතියක් අත්පත් කර ගෙන ඇතැ”යි අප කිවහොත් - එය වටහා ගත යුත්තේ අතිශය පටු අර්ථයකිනි. (14)

රුසියාවේ පන්ති අරගලයේ සමාජ ගතිකයන් හා එහි දේශපාලන ප‍්‍රතිවිපාක පිලිබඳ ඔහුගේ ඇගයුමේ බරපතල සීමාසහිතකම් හෙලිදරව් කල 1905 විප්ලවයට පෙරාතුව, රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ අග‍්‍ර න්‍යායධරයා ලෙස ප්ලෙකනොව් දැරූ ස්ථානය අවිවාදිත විය. Encounters with Lenin නම් සිය වැදගත් නිබන්ධය තුල නිකොලායි වලෙන්තිනොව් මෙසේ ආවර්ජනය කලේ ය: ”අන් කිසිවකු නොකල පරිද්දෙන්, කෞට්ස්කි හා බෙබෙල්ටත් වඩා, ප්ලෙකනොව් ඔහු (ලෙනින්) කෙරේ බලපෑමක් ඇති කලේය. ප්ලෙකනොව් කල, කී, ලියූ සෑම දෙයක්ම ඔහුගේ මහත් සැලකිල්ලට භාජනය විය. ප්ලෙකනොව් පිලිබඳව සඳහන් කෙරුනු කවර හෝ අවස්ථාවක ඔහු මුලූ අවධානය යොදා ඊට ඇහුම්කන් දුන්නේය. ‘මොහු වූ කලී දැවැන්ත පෞරුෂයකි; ඔහු අබියස යමෙකු තමා අල්පත්වයෙහි ලා සැලකීම නිවැරදියැ’යි ඔහු ලෙපෙශින්ස්කිට පැවසීය.”(15)

ප්ලෙකනොව්ගේ බලපෑම රුසියාවට සීමා වූයේ නැත. ඔහු 1890 ගනන්වල අගභාගයේ බර්න්ස්ටයින්ගේ ප‍්‍රතිමාක්ස්වාදී සංශෝධනවාදයට එරෙහි අරගලය දියත් කල ප‍්‍රමුඛයන් අතර කෙනෙක් විය. බර්න්ස්ටයින්ගේ අවස්ථාවාදයේ කාන්ටියානු පදනම් පිලිබඳ ඔහුගේ අතිප‍්‍රබල හෙලිදරව්ව විසින්, තම නායකත්වය තුල සංශෝධනවාදයේ වැඩීමට එරෙහිව සටන් වැදීමට ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයට බල කෙරින. ”බර්න්ස්ටයින් හා භෞතිකවාදය, අප ඔහුට ස්තුති කල යුත්තේ කුමක් සඳහා ද?”, Bernstein and Materialism, What Should We Thank Him For? ”කාන්ට්ට එරෙහි වැදිබන හෙවත් බර්න්ස්ටයින් මහතාගේ කැමැත්ත හා අන්තිම කැමැත්ත” Cant Against Kant or Herr Bernstein’s Will and Testament සහ ”භෞතිකවාදය ද නැතහොත් කාන්ටියානුවාදය ද” Materialism or Kantianism වැනි ලේඛනවලින් ප‍්‍රකාශිත බර්න්ස්ටයින් පිලිබඳ ඔහුගේ විචාර, ප‍්‍රවේසම් සහගත අධ්‍යයනයක් ඉල්ලා සිටින, මාක්ස්වාදී විවාද කලාවේ අග‍්‍රකෘතීහු වෙති.

”රුසියානු මාක්ස්වාදයේ පියා” ලෙස ප්ලෙකනොව්ගේ ඓතිහාසික කාර්යභාරය හුදු ඔහුගේ සාහිත්‍යික-න්‍යායික ප‍්‍රතිදානය මත පමනක් පදනම් වූවක් නොවේ. ඔහු රුසියානු කම්කරු පන්තියේ විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයේ සමාරම්භකයා විය. 1883 දී ශ‍්‍රමයේ මුක්තිය කන්ඩායම Emancipation of Labor Group ගොඩ නැගීම මගින්, ඉන් 34 වසක ඇවෑමෙන් 1917 ඔක්තෝබරයේ බෝල්ෂෙවික් පක්ෂය බලය අල්ලා ගැනීමෙන් කුලුගැන්වුනු දේශපාලන ක්‍රියාවලියකට ආරම්භය සැපයින. සත්තකින්ම 1883 සිට 1917 දක්වා ව්‍යාපාරය සංලක්ෂනය වූයේ රුසියානු හා ලෝක ධනේශ්වර ක‍්‍රමයේ වර්ධනය තුල ගැඹුරින් මුල් බැස තිබූ ප‍්‍රතිවිරෝධයන්ගෙන් පැන නැගුනු ප‍්‍රකම්පනකාරී දේශපාලන ගැටුම්වලිනි. මේ ක්‍රියාවලිය තුල ප්ලෙකනොව්ගේ භූමිකාව ගැඹුරින්ම වැදගත් වූ සේම ගැඹුරින්ම ඛේදනීය ද විය. රුසියාවේ විප්ලවවාදී කම්කරු ව්‍යාපාරයේ න්‍යායික හා දේශපාලන පදනම් ලූ මිනිසා 1917 විප්ලවයේ කර්කශ විරුද්ධවාදියෙකු ලෙස සිය ජීවිතය අවසන් කලේය යන්න ප‍්‍රතික්ෂේප කල නොහැකි ඓතිහාසික කරුනකි.

බෝල්ෂෙවිකයන්ට බලය අත්පත් කරගැනීම සඳහා අවශ්‍යවූ මූලෝපායික දිශානතිය සම්පාදනය කල ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ වර්ධනය වටහා ගනු පිනිස ප්ලෙකනොව්ගේ ඛේදනීය ඉරනම පිලිබඳ අධ්‍යයනය කිරීම අතිශය වැදගත් වේ. තීරනාත්මක ප‍්‍රශ්න වනුයේ මේවායි: 1880 ගනන්වල මුල්භාගයේ ජනතාවාදයේ (නරෝද්නිචෙස්ත්වෝ* සිට මාක්ස්වාදය දක්වා වූ සිය මාවතේ දී ප්ලෙකනොව් විසින් විස්තාරිත දේශපාලන න්‍යාය සහ ඔක්තෝබර් විප්ලවයේ ඉදිරිදර්ශනය අතර සම්බන්ධතාව කුමක්ද? 1880 ගනන්වලදී ප්ලෙකනොව් විස්තාරනය කල සංකල්ප හා නොනවතින විප්ලවයේ න්‍යාය අතර කිසියම් සබැඳියාවක් වේද? නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම්ව 1917 දී බෝල්ෂෙවිකයන් ලද විජයග‍්‍රහනය මගින් ප්ලෙකනොව්ගේ සමස්ත දේශපාලන උරුමයේ පරිපූර්න ප‍්‍රතික්ෂේප වීමක් අඩු හෝ වැඩි වශයෙන් නොහැඟවිනිද? ඒ කෙසේවෙතත්, බෝල්ෂෙවිකයන්ගේ බලය අල්ලා ගැනීම අපරිනත ත‍්‍රාසක‍්‍රියාවක් ලෙස හඳුන්වා දෙමින් ඔහු එය නොපිලිගත් බව කවුරු නොදනිත්ද?

ප්ලෙකනොව්ගේ උරුමය පිලිබඳ එවන් පරම නිෂේධනීය තක්සේරුවක් යනු බරපතල වැරදීමක් වන අතර, එවැන්නක් ප්ලෙකනොව්ගේ අභාවයෙන් පසු සිය අවමඟුල් දේශනය තුල පහත සඳහන් ප‍්‍රකාශය කිරීමේදී 1918 ට්‍රොට්ස්කි සිදු කල ඇගයුමට පටහැනිව යනු ඇත:

”රුසියානු විප්ලවය විජයග‍්‍රහනය කරනු ඇත්තේ කම්කරුවන්ගේ විප්ලවවාදී ව්‍යාපාරයක ආකාරයෙන් පමනක් බව ඔක්තෝබරයට වසර 34 කට ඉහත දී ඔප්පු කලේ ඔහුය. බුද්ධිමතුන්ගේ මුල්කාලීන කවවල විප්ලවවාදී අරගලයේ මුදුන්මුලෙහි නිර්ධන පන්තියේ පන්ති ව්‍යාපාරය නමැති සාධකය පිහිටුවීමට ඔහු යත්න දැරීය. අප ඔහුගෙන් උගත්තේ මෙය වන අතර ප්ලෙකනොව්ගේ කටයුතුවල පමනක් නොව, අපේ සමස්ත විප්ලවවාදී අරගලයෙහිම පදනම රැඳී ඇත්තේ මෙහිය. [අවධාරනය එකතු කෙරිනි](16)

1917 ඔක්තෝබරයේ බෝල්ෂෙවිකයන් බලයට පත්වීම කල හැක්කක් බවට පත් වූයේ නිශ්චිත සමාජ-දේශපාලන හැඩගැසීමක් -එනම්, ලියොන් ට්‍රොට්ස්කි විසින් ප‍්‍රථම රුසියානු විප්ලවය සමයේ හා තදනන්තර 1905-1907 වසරවල මුලින්ම විස්තාරනය කරන ලද නොනවතින විප්ලවයේ න්‍යාය- නිසාම පමනෙකි. මෙම න්‍යායට අනුව, අධිරාජ්‍යවාදයේ යුගය තුල (වැඩවසම් ක‍්‍රමයේ ශේෂයන් අහෝසි කර දැමීම, සියලූ පුරවැසියන්ට සමාන ව්‍යවස්ථානුකූල අයිතීන් හා නිදහස ප‍්‍රකාශයට පත් කිරීම, ආදී) ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමෙන්, නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ස්ථාපනය කිරීමෙන් හා ඍජු සමාජවාදී ස්වභාවයේ පියවර හඳුන්වා දීමෙන් තොරව විසඳිය නොහැකිය.

ට්‍රොට්ස්කිගේ න්‍යාය ආරම්භයේදී රුසියාව වැනි සාපේක්ෂව පසුගාමී රටක් සම්බන්ධයෙන් සූත‍්‍රගත කෙරුනු අතර, එය ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයෙහි මූලෝපායික දිශානතිය සම්පාදනය කලේය. ලෝක ආර්ථිකයේ හා අධිරාජ්‍යවාදයේ පීඩනය යටතේ රුසියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සමාජවාදී ස්වභාවයක් අත්පත් කොට ගනු ඇතැයි පෙර දැකීමට ට්‍රොට්ස්කිට හැකි වූයේ නිශ්චිතවම පන්ති අරගලයේ ජාත්‍යන්තර ගතිකය ඔහු හඳුනා ගත් නිසාය. ලෝක අධිරාජ්‍යවාදයේ අවධිය තුල රුසියානු සමාජයේ වර්ධනය පිලිබඳ ගැටලුවට ට්‍රොට්ස්කි සම්පාදනය කල පිලිතුර ප්ලෙකනොව්ගේ සංකල්ප අභිභවා ගිය දැවැන්ත ප‍්‍රගමනයක් නියෝජනය කලේය.

කෙසේ වුවද, 1917 ඔක්තෝබරයේ රුසියානු කම්කරු පන්තිය ලද ජයග‍්‍රහනයට ට්‍රොට්ස්කි සිදු කල අතිමහත් දායකත්වය හඳුනාගැනීම, ඔහුගේ කටයුතු ඓතිහාසිකව වැදගත් අර්ථයකින් ප්ලෙකනොව්ගේ පුරෝගාමී ප‍්‍රයත්න තුල මුල් බැස තිබුනේය යන කරුනට පටහැනි නොවේ.

දේශපාලන චින්තකයෙකු ලෙස ප්ලෙකනොව්ගේ කැපී පෙනෙන වටිනාකම රඳා පවතින්නේ, කම්කරු පන්තිය ආර්ථික හා දේශපාලන ජීවිතයේ නිශ්චිත ස්ථානයක් අරා ගත් බහුජන සමාජ කන්ඩායමක් ලෙස ඉස්මතුවීමට බොහෝ කලකට පෙරාතුව, සහ රුසියාව තුල ධනවාදය හුදෙක් එහි ප‍්‍රථම පියවර කිහිපය පමනක් තබා තිබූ තතු යටතේ, කම්කරු පන්තියේ තීරනාත්මක කාර්යභාරය ඔහු පෙර දුටුවේය යන කරුන තුලය.

රුසියානු මාක්ස්වාදයේ පියා, සාර්වාදය ඇද වැටෙන අවස්ථාවකදී රුසියාව සමාජවාදය කරා සංක‍්‍රමනය ක්ෂනිකව ඇරඹීමට ඇති ශක්‍යතාව පෙරදුටුවේ නැත. එහෙත් එමගින් ඔහුගේ ඓතිහාසික ඉදිරි දර්ශනයේ කේන්ද්‍රීය මූලිකාංගය -එනම්, ධනේශ්වර විප්ලවය තුල නිර්ධන පන්තිය දරන ආධිපත්‍යය පිලිබඳ ඔහුගේ අදහස- අවලංගු වී නොයයි.

ප්ලෙකනොව් රුසියානු කම්කරු පන්තිය ”සොයාගැනීම” සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය තුල එහි නායකත්ව කාර්යභාරය පිලිබඳව ඔහු යෙදූ අවධාරනය 1880 ගනන්වලදී පෙරදැකිය නොහැකි වූ අනාගත ඝට්ටනයන්ගේ බීජ ගැබ් කොට ගත්තේය. ඔහුගේ අන්තර්දෘෂ්ටීන්ගේ ප‍්‍රායෝගික දේශපාලන ඇඟවුම් 1905 විප්ලවයේ ගමන් මග තුල ඉස්මතු වීමට නියමිත විය. එහිදී, විප්ලවයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජවාදී ”අවධීන්” අතර සම්බන්ධතාව පිලිබඳව ආරම්භයේදී ඔහු ඉදිරිපත් කල දෙයට වඩා සුනිශ්චිත හා කැපී පෙනෙන ලෙස වෙනස් තක්සේරුවක් අත්‍යවශ්‍ය විය. කෙසේවෙතත්, එක් අතෙකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජවාදී විප්ලවය දේශපාලන වර්ධනයේ වෙනම අවධීන් දෙකක් හැටියට ප්ලෙකනොව් කල වෙන්කිරීමද, අනෙක් අතින් ට්‍රොට්ස්කි විසින් වර්ධිත ඉදිරි දර්ශනයද අතර පවතින මූලික වෙනස්කම්වල තරම නොසඟවන අතරම, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය ප්ලෙකනොව්ගේ පුරෝගාමී න්‍යායික හා දේශපාලන කටයුතුවලට කිසි සේත් නයගැති නැත යන නිගමනයෙන් වැලකිය යුතු වෙයි.

ජනතාවාදයේ සිට මාක්ස්වාදය කරා

ජනතාවාදයේ සිට මාක්ස්වාදය කරා ප්ලෙකනොව්ගේ වර්ධනයේ ක්‍රියාදාමය සහ ඔහුගේ මුල්කාලීන දේශපාලන සංකල්පයන්හි වූ අව්‍යාජ ස්වභාවය 1920 ගනන්වල මුල් කාලය තුලදීම විශිෂ්ට මාක්ස්වාදී ලේඛකයෙකු හා වාම විපාර්ශ්වයේ සාමාජිකයෙකු වූ වී. ටර්-වේගනියන් (1893-1936) විසින් නිරවශේෂ පරිපූර්නත්වයකින් යුතුව ප‍්‍රතිනිර්මානය කොට තිබින. 1924 දී ඔහු ප්ලෙකනොව්ගේ සමාජ-දේශපාලන දෘෂ්ටියේ වර්ධනය හැදෑරීමට විශේෂයෙන්ම කැප කෙරුනු 700 කට ආසන්න පිටු සංඛ්‍යාවකින් යුත් විස්තීර්න චරිතාපදානයක් පල කලේය.(17)

1920 දී ටර්-වේගනියන්, ජාත්‍යන්තර සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයේ හා මාක්ස්වාදයේ ඉතිහාසය පිලිබඳ ඔහුගේ යුගයේ ඉහලම ප‍්‍රාමානික විද්වතෙකු වූ ඞී.බී. රියසනොව් මුල් පුටුව ඉසිලූ මාක්ස් හා එංගල්ස් පිලිබඳ ආයතනයේ සේවය කිරීම ආරම්භ කලේය. Under the Banner of Marxism (මාක්ස්වාදයේ ධජය යට) නම් න්‍යායික සඟරාවේ කර්තෘවරයා ලෙස වේගනියන් කටයුතු කලේය. ප්ලෙකනොව්ගේ කෘති පිලිබඳව වේගනියන් දැක්වූ උනන්දුව ඒත්තු ගත් රියසනොව් තම ආයතනයේ ප්ලෙකනොව් දෙපාර්තමේන්තුවක් පිහිටුවා, රුසියානු මාක්ස්වාදයේ ආදිකර්තෘවරයාගේ වෙලුම් 24 කින් සමන්විත එකතු කල කෘති ප‍්‍රකාශනයට සූදානම් කිරීමේ කාර්යය ටර්-වේගනියන්ට පැවරීය. 1923 දී පල වූ An Attempt at a Bibliography of G. V. Plekhanov (ජී.වී. ප්ලෙකනොව්ගේ ලේඛන නාමාවලියක් සඳහා ප‍්‍රයත්නයක්) නම් පුස්තකය ටර්-වේගනියන් භාර ගත් අධ්‍යයනයන්හි එක් අතරමැදි ප‍්‍රතිඵලයකි. මෙම ග‍්‍රන්ථයෙහි නව විස්තාරිත සංස්කරනයක් 1930 ගනන්වල මුල්භාගයේ දී සූදානම් කෙරුනු නමුදු, ඒ වනවිට ස්ටැලින් ප්ලෙකනොව් කෙරේ සතුරු ආකල්පයක් දැරීමේ හේතුවෙන් එය ප‍්‍රකාශයට පත් නොකෙරින. 1936 දී ටර්-වේගනියන් ප‍්‍රථම මොස්කව් නඩු විභාගවල විත්තිකරුවන් අතර සිටි අතර සිනොවියෙව් හා කමනෙව් සමග ඔහුට ද මරන දඬුවම පනවන ලදී.

මෙතැන් සිට අපි ටර්-වේගනියන් ලියූ චරිතාපදානයෙහි ඉදිරිපත් කෙරෙන වැදගත් ලේඛන මත පදනම් වන්නෙමු. මෙහිදී, ජනතාවාදයේ සිට මාක්ස්වාදය කරා ප්ලෙකනොව්ගේ පරිවර්තනය පිලිබඳ ගැටලුවට සහ 1883 දී ඔහු සිය ප‍්‍රථම මාක්ස්වාදී පුස්තිකාව වූ Socialism and the Political Struggle (සමාජවාදය සහ දේශපාලන අරගලය) තුල සිය දේශපාලන න්‍යාය සූත‍්‍රගත කලේ කෙසේද යන්නට අපි සීමා වන්නෙමු.

රුසියානු ජනතාවාදයේ (නරෝද්නික්වාදයේ) පැවැති ප‍්‍රධානතම විශේෂත්වය වූයේ ගොවි ජනයා පරමාදර්ශයට නැංවීම සහ රුසියානු ගොවි ඔබ්ස්ශීනාව (කොමියුනය) පන්ති රහිත සමාජයක් සඳහා ස්වභාවික පදනමක් සකසනු ඇති බවට වූ එහි සංකල්පයයි. මෙම න්‍යාය එවකට යුරෝපය පුරා බලපෑම ශක්තිමත් කරගනිමින් පැවැති මාක්ස්වාදයට ඍජුවම පටහැනි විය. ජනතාවාදීන් මාක්ස්ගේ උගැන්වීම් කෙරේ ගෞරවාන්විත හා අනුග‍්‍රහාත්මක සැලකිල්ලක් දැක්වූ නමුදු, ඔවුහු ඒවා රුසියාවේ පැවැති කොන්දේසිවලට නොගැලපෙන බැව් සැලකුහ.

කැපීපෙනෙන රුසියානු චින්තකයෙකු හා ලේඛකයෙකු වූ ඇලෙක්සැන්ඩර් හර්සෙන්ගේ (1812-1870) අදහස්වල බලගතු බලපෑම යටතේ මීට සමාකාර වූ දැක්මක් හැඩ ගැසිනි. සිය තුරුනු වියේදී බටහිර යුරෝපීය යුටෝපියානු සමාජවාදී ධාරාවන්ගෙන් එකක් වූ සෙන්ට් සිමොන්වාදයේ අනුගාමිකයෙකුව සිටි හර්සෙන් 1840 ගනන්වලදී, බටහිර යුරෝපීය ඉතිහාසයේ ආකෘතියට අනුව රුසියාවේ ඓතිහාසික ගමන්මග ද වර්ධනය වෙතැයි සැලකූ ඊනියා ”බටහිරයන්” කන්ඩායමේ ප‍්‍රමුඛ ප‍්‍රචාරකයකු ලෙස පෙරට ආවේය. කෙසේ වුව, 1848-1850 යුරෝපීය ධනේශ්වර-ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයන්හි පරාජයෙන් පසුව, ධනේශ්වර ශිෂ්ටාචාරය ආවෘත අන්තයකට පැමින තිබූ බවට සහ නිර්ධන පන්තිය පිලිස්තීනු පරිහානියකට පාත‍්‍රව පැවැති බවට වූ අසාරවාදී නිගමන කරා එලැඹෙමින් ඔහු අර්බුදයකට පත් විය. අවසානයේදී සර්ව-ස්ලාව්වාදී ප‍්‍රචාරකයෙකු ලෙස ද මාක්ස්ගේ උගැන්වීම්වල ආධාරකරුවන්ට එරෙහි සාහසික විවාදකරුවෙකු ලෙස ද හර්සෙන්, යුරෝපීය ශිෂ්ටාචාරය පුනර්ජීවනය කිරීමෙහි සමත් බලවේගයක් ලෙස රුසියානු ගොවි ජනයාගේ විශේෂ කාර්යභාරය පිලිබඳ ප‍්‍රතිගාමී න්‍යායක් වර්ධනය කලේය.

1870 ගනන්වලදී රුසියානු රසනොචින්ට්සි-බුද්ධිමතුන්ගේ (වංශවතුන් නොවූ උගතුන්ගේ) තරුන පරම්පරාවක සැලකිය යුතු ස්ථරයක්, සාර්වාදයට එරෙහිව ගොවියන්ගේ නැගී සිටීමක් අවුලුවා ලීමේ අදහසට ආකර්ශනය වෙමින් රැඩිකලීකරනයේ කාල පරිච්ඡේදයක් හරහා ගමන් කලෝය. එවන් නැගී සිටීමක් ඔබ්ස්ශිනාව දාසභාවයේ හා පරමාධිපත්‍යයේ වියගසින් විමුක්ත කොට ගැනීමේත්, සමාන හා නිදහස් ශ‍්‍රමිකයන්ගේ සමාජයක් ගොඩ නැගීමේත් ප‍්‍රාරම්භක කාර්යය ලෙස ඔවුන් විසින් සලකන ලදී.

1861 දී ප‍්‍රවේනිදාස ක‍්‍රමය අහෝසි කිරීමෙන් පසු ද ගොවි ජනයා මුහුන පෑ දුර්දශාවේ කිසිදු වෙනසක් නොසිදුවීම මෙකී මනෝභාවයන් සඳහා රුකුල් දුන්නේය. ඉඩම් තවමත් විශාල ඉඩම් හිමියන් අත පැවැති අතර, නිදහස ලද නමුදු, ගොවීන්ට සිය ඉඩම් ලබා ගැනීමට සිදුවූයේ අසාධාරන මිල ගනන්වලට හා සැබවින්ම දැරිය නොහැකි තරම් බර පැටවූ බැරෑරුම් කොන්දේසි යටතේය. තවද, ගොවි ප‍්‍රතිසංස්කරනය ගොවි සංවිධානයේ මෙම ප‍්‍රබල ආකෘතියට යටින් වල කපමින්, ඔබ්ස්ශිනාව තුල අභ්‍යන්තර ප‍්‍රභේදනයන් තීව‍්‍ර කලේය.

මේ තතු යටතේ තමන් රවටන ලද බවට ගොවි ජනයාට වඩවඩාත් හැඟී යාම මවිතයක් නොවේ. ඉඩම්හිමියන් විසින් බලහත්කාරයෙන් හා රැවටිල්ලෙන් කොල්ල කෑ තම ඉඩම් ”දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් ලෙස” තම සතු කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. එසේ වුවද ඒ අතරම, දශක ගනනාවක් පුරා රුසියානු විප්ලවයේ ප‍්‍රධාන ගාමක බලවේගයන්ගෙන් එකක් වූ රුසියානු ගොවි ජනයාගේ කැරලිකාරී මනෝභාවයන්, ”යහපත්” සාර්-විමුක්තිදායකයකු පිලිබඳ ගැඹුරින් මුල් බැස ගත් විශ්වාසයක් සමග ගැට ගැසී තිබිනි.

මේ හේතුව නිසා, ”ජනතාව වෙත යාමේ” ජනතාවාදීන්ගේ ඉදිරි දර්ශනය හා උද්ඝෝෂන කෙලවර වූයේ පරිපූර්න අසාර්ථකත්වයෙනි. 1870 ගනන්වල මැද භාගයේ දී කැරලිගැසීම පිලිබඳ අදහස ගොවීන් අතර ව්‍යාප්ත කිරීම සඳහා විප්ලවවාදී බුද්ධිමතුන් දැරූ ප‍්‍රයත්නය මහජන සහයෝගය දිනා ගැනීමට අසමත් වූවා පමනක් නොව ඊට ද වඩා, ඇතැම් අවස්ථාවලදී, ගොවීන් විසින් ප‍්‍රචාරකයන් සාර්වාදී පොලීසියට අල්ලා දෙනු ලැබීමෙන් පවා කෙලවර විය.

ජනතාවාදීන්ගේ සංවිධානය වූ ”ඉඩම් හා නිදහස” (සෙම්ල්යා ඉ වොල්යා) තුල, ඉක්මනින්ම භේදයක් කරා මග පෑදූ අභ්‍යන්තර අර්බුදයක් වර්ධනය විය. 1879 වසරේ ගිම්හානයේ වොරනෙස්හි පැවැති සම්මේලනයේදී මෙම භේදය හට ගැනිනි. සාර්වාදය මැඩ පැවැත්විය හැකි එකම මග රාජ්‍යයේ ප‍්‍රමුඛයන්ට එරෙහිව ක‍්‍රමානුකුල ත‍්‍රස්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීම යැයි සංවිධානයේ විශාල බහුතරයක් නිගමනය කලෝය. ජනතාවාදීන්ගේ ප‍්‍රකාශනය වූ ”ඉඩම් හා නිදහස”හි කර්තෘවරුන් සිව් දෙනා අතරින් දෙදෙනෙකු වූ නිකොලායි මොරසොව් හා ලෙව් ටිඛොමිරොව් ”වියවුල් ඇති කිරීමේ” හා ”නව ගරිල්ලාවාදයේ” උපායමාර්ගවලට සක‍්‍රීය ලෙස අනුග‍්‍රහ දැක්වූහ.

වොරනෙස්හි සම්මේලනයේදී ඔවුහු මෙම නව උපක‍්‍රමය යොදා ගැනීමට පක්ෂව විවෘතවම පෙනී සිටියෝය. මොරසොව්, ”ටෙල්ගේ ක‍්‍රමය”(18) භාෂනයේ හා රැස්වීමේ නිදහස දිනා ගැනීමේ මගක් ලෙස සැලකීය. විවාදය මධ්‍යයේ අනපේක්ෂිත ලෙස ඒ.ඩී. මිඛයිලොව් මෙසේ කෑ ගැසීය: ”අපි ව්‍යවස්ථාවක් ලබා ගනිමු. අපි ආන්ඩුව අවුල් කර දමා බලහත්කාරයෙන් එය [ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම] ඔවුන් ලවා කරවමු.” අප්තෙක්මන්ගේ මතක සටහන්වලට අනුව, පන්ති අරගලය මුලූමනින්ම අතහැර දැමීම අත්‍යවශ්‍යයැයි සෙලියාබොව් ප‍්‍රකාශ කර සිටියේ දේශපාලන සංරචකය මතභේදයේ පෙරමුනට ගෙන එමිනි.(19)

ජනතාවාදයේ ලෝක දෘෂ්ටියෙහි ස්වභාවයක් වූයේ පන්ති අරගලය දේශපාලනයට හා සමාජ විප්ලවයට සමීපස්ථව පිහිටුවීම බව සඳහන් කිරීම වැදගත් වෙයි. ජනතාවාදියෝ, රාජ්‍යයේ කවර හෝ ආකෘතියක් වහා වනසා දැමිය යුතු අනර්ථකාරී එකකැයි අනෛතිහාසික ආකාරයෙන් සැලකූ අරාජකවාදීහු වූහ. එම අවස්ථාවේ ප‍්‍රධාන විද්වත් නායකයෝ තිදෙනෙක් ඔවුන් අතරින් ඉස්මතුව ආහ.

මින් එක් අයෙකු වූයේ, විප්ලවය තුල උගත් බුද්ධිජීවීන්ගේ සුවිශේෂී කාර්යභාරය පිලිබඳ සංකල්පය වර්ධනය කලා වූ ද, ඉතිහාසය තුල ”ආත්මීය” සාධකය තීරනාත්මක ලෙස සැලකීමට ඔහු තුල වූ ප‍්‍රවනතාව ගැන ප‍්‍රසිද්ධියට පත්ව සිටියා වූ ද ප්යෝතර් ලව්රොව්ය (1823-1900. ) ඔහු මාක්ස් හා එංගල්ස් සමග මිතුරු සබඳතා පවත්වා ගෙන ගිය අතර, පොදු සතුරා වූ ඒකාධිපති රුසියානු රාජ්‍යයට එරෙහිව, අනෙකුත් වෙනස්කම් නොතකා ඒකාබද්ධ වීම සියල්ලටම වඩා වැදගත් වෙතැයි යන විශ්වාසයෙන් විවිධ කන්ඩායම් එක්සත් කිරීමට යත්න දැරීය.

ප්යෝතර් කචෙව් (1844-1886) තවත් ප‍්‍රවනතාවකට නායකත්වය දුන්නේය. විප්ලවවාදී කන්ඩායමක් විසින් අප‍්‍රමාදව බලය අල්ලා ගැනීමේ අවශ්‍යතාවය අවධාරනය කල ඔහු කුමන්ත‍්‍රනයක් පිලිබඳ අදහසට අනුග‍්‍රහ දුන් අතර, කිසියම් මාදිලියක රුසියානු බ්ලන්කිවාදයක් නියෝජනය කලේය. (කුමන්ත‍්‍රනකාරීන්ගේ කුඩා කන්ඩායමක තීරනාත්මක කාර්යභාරය පිලිබඳ කචෙව්ගේ විශ්වාසය සහ ඔහු කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයක් ලෙස සැලකීම ප‍්‍රතික්ෂේප කිරීම, රුසියානු නරෝද්නිකයන් නූතනත්වය සඳහා ආවේශය සපයන වීරෝදාර ප‍්‍රතිරූපයක් ලෙස යලියලිත් සිහිපත් කල චේ ගුවේරා කෙරේ බලපෑවේය.)

අවසාන වශයෙන්, රුසියානු ජනතාවාදයේ තෙවන සහ වඩාත් බලපෑම්සහගත දෘෂ්ටිවාදියා වූයේ, ප‍්‍රථම ජාත්‍යන්තරය තුල තම අනුහස පැතිරවීම සඳහා මාක්ස් හා එංගල්ස් සමග තරග වැදුනු මිඛායෙල් බකුනින් (1814-1876) ය. ජනතාවාදී ලෝක දෘෂ්ටියෙහි සැලකිය යුතු පරාසයක් සැදුම් ලද්දේ ගොවි ඔබ්ස්ශිනාව ලෝක සමාජවාදය සඳහා ස්වභාවික පදනම ලෙස ද, ෆෙඩරල්වාදය ”නිදහස් සමාජයක” සුවිශේෂී රාජ්‍යවාදී-නොවන ආකෘතියක් ලෙස ද වූ ඔහුගේ සංකල්පවලින් සහ, ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය කිසියම් ”රාජ්‍යවාදී”, ”අධිකාරවාදී”, ”ආඥාදායක” සංරචකයක් දරා සිටින බවට වූ ඔහුගේ නිෂේධනීය ආකල්පයෙනි.

ජෝර්ජි ප්ලෙකනොව් සිය මුල් විප්ලවවාදී කාල පරිච්ඡේදයේ දී බකුනින්වාදියෙකුව සිටි අතර, බකුනින්වාදය යනු ”සුවිශේෂී ආකාරයක අරාජකවාදී ස්ලාවානුරාගීවාදයකැ”යි :(Slavophilism) - පසු කලෙක විස්තර කලේය.

”ඉඩම් හා නිදහස” සංවිධානය තුල මතභේද තීව‍්‍රවීම ආරම්භ වීමත් සමග ජනතාවාදීන් ත‍්‍රස්තවාදය වැලඳගැනීම හා පන්ති අරගලය ප‍්‍රතික්ෂේප කිරීම පිලිබඳ ප‍්‍රමුඛ විරුද්ධවාදීන්ගෙන් කෙනෙකු ලෙස ප්ලෙකනොව් ඉස්මත්තට පැමිනියේය. ප‍්‍රතිඵලය වූයේ පැරනි ජනතාවාදී වැඩපිලිවෙල රැක ගැනීමට උත්සාහ කල චෙර්නී පෙරෙදෙල් හෙවත් බ්ලැක් රීපාර්ටිෂන් නමින් හැඳින්වුනු කන්ඩායම බිහි වීමයි.

කෙසේවෙතත්, ත‍්‍රස්තවාදී උපායමාර්ග ප‍්‍රතික්ෂේප කිරීම සනාථ කිරීම සඳහාත්, ”ජනතාව වෙත යාමේ” ඉදිරි දර්ශනයෙහි අසාර්ථකත්වය පැහැදිලි කිරීම සඳහාත් තමන් දැරූ ප‍්‍රයත්න තුල ප්ලෙකනොව් අරාජක-බකුනින්වාදී සංකල්ප පිලිබඳ ක‍්‍රමානුකුල සමාලෝචනයක් ආරම්භ කල අතර, එය මාක්ස්වාදය කරා ඔහුගේ හැරීමේ මූලාරම්භය විය.

1878-79 ශීත ඍතුව සෙන්ට් පීටර්ස්බර්ග්හි ගත කල ප්ලෙකනොව්ට, මතුවෙමින් තුබූ නාගරික කම්කරු පන්තිය තුල පැවැති අසංතෘප්තියෙහි මට්ටම් දැක ගත හැකි විය.

මෙම කාල පරිච්ඡේදය තුල ඔහු ලියූ ”සමාජයේ ආර්ථික වර්ධනය පිලිබඳ නියාමය සහ රුසියාව තුල සමාජවාදයේ කර්තව්‍යයෝ” නම් ලිපියක්, විප්ලවය පිලිබඳ වර්ධනය වෙමින් පැවැති තම සංකල්පනය තුල ඔහු ගොවීන්ගේ පසෙකින් නිර්ධන පන්තිය ද එක් කර ගැනීම පටන් ගත් අයුරු පිලිබඳ සාක්ෂ්‍ය සපයයි.(20) ඒ අතර, ටර්-වේගනියන් නිරීක්ෂනය කල පරිදි, ”ප‍්‍රධාන නගරවල කම්කරුවන්ගේ විප්ලවය, ගොවීන්ගේ විප්ලවයෙහි සහාය පිනිස ඇවිල එන්නක් වනු ඇතැයි ඔහු තවමත් සිතීය. සමාජ විප්ලවය සම්පූර්න කිරීම ගොවීන් අතින් සිදු කෙරෙතැයි ද, කම්කරුවන් හුදෙක් ඔවුන්ගේ මිත‍්‍ර පාර්ශවයක් පමනක් වනු ඇතැයි ද ඔහු සිතීය.”(21)

1880 අගෝස්තුවේ ප‍්‍රකාශයට පත් කෙරුනු චෙර්නී පෙරෙදෙල්හි දෙවැනි කලාපයට ඔහු ලියූ ලිපිවලින් ප්ලෙකනොව් පැරනි ජනතාවාදයේ සටන් පාඨ තවදුරටත් පුනරුච්චාරනය කලේය. එහෙත් නිකොලායි සීබර්ගේ (1844-1888) ශාස්ත්‍රීය කටයුතු විශේෂ අවධානයකින් යුතුව අනුයන්නට වූ ඔහු තුල මාක්ස්වාදය කෙරේ ගෞරවය වර්ධනය වෙමින් පැවතින. මාක්ස්ගේ උගැන්වීම් රුසියාව තුල ප‍්‍රචලිත කිරීමට සීබර් කටයුතු කලේය, එහෙත් ඒ ”විප්ලවවාදියකු ලෙස නොව, විද්‍යාවන්හි සැබෑ ආරක්ෂකයෙකු ලෙසටය.”(23)

1880-1881 ශීත ඍතුව පැරීසියේ ගත කිරීම ප්ලෙකනොව්ගේ වර්ධනයේ ඊලඟ වැදගත් ප‍්‍රගමනය වූයේය. එහිදී ඔහු ලැව්රොව් මුන ගැසුනේය. කම්කරුවන්ගේ පෙලපාලි දැකගත් ඔහු පොදු සමාව ලැබූ පැරිස් කොමියුනයේ විප‍්‍රවාසී නායකයන්ට ගෞරව කිරීම සඳහා පැවැත්වුනු ප‍්‍රධාන රැස්වීම්වලට සහභාගී විය. ජාතික පුස්තකාලයෙහි වැඩ කල ඔහු පැරිස් සමාජවාදීන්ගේ රැස්වීම්වලට නිතිපතා සහභාගී වෙමින් ජූල්ස් ගියෙස්ද් හා පෝල් ලෆාර්ග් වැනි මාක්ස්ගේ ප‍්‍රධානතම ප‍්‍රන්ස ආධාරකරුවන් දැනහැඳින ගත්තේය. ඔවුන්ගෙන් ඔහුගේ විචාරාත්මක චින්තනයේ වර්ධනය සඳහා ලැබුනු ආධාරය හා ආභාසය ”සුවිශේෂ විය.”(24)

ජනතාවාදයේ සිට මාක්ස්වාදය කරා ප්ලෙකනොව්ගේ පරිනාමය, තීරනාත්මක ලෙස සියලු බැමි සිඳබිඳ පෙරට ගියේ මේ කාලපරිච්ඡේදය තුලය. 1881 ජනවාරියේ චෙර්නී පෙරෙදෙල්හි කර්තෘ මන්ඩලයට ලිපියක් යවමින් ඔහු සමාජවාදයේ ස්වභාවය පිලිබඳ ප‍්‍රශ්නයකට පහත දැක්වෙන අයුරින් පිලිතුරු දුන්නේය:

සමාජවාදය යනු, වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවල ආස්ථානයේ සිට ප‍්‍රකාශයට පත් කෙරෙන, පවතින සමාජයේ පන්ති අතර සතුරුකමේ හා අරගලයේ න්‍යායික ප‍්‍රකාශනයයි.(25)

මෙම ලිපිය තුල ගොවි ජනයා සමාජවාදයේ සමාජ පදනම ලෙස සැලකීමක් සිදු නොවීය. එතැන් පටන් ප්ලෙකනොව් සමාජවාදය සැලකුවේ ”පවතින (එනම්, ධනේශ්වර) සමාජයේ පන්ති අතර සතුරුකමේ හා අරගලයේ” ප‍්‍රතිඵලය ලෙසය. ඔහු වැඩිදුරටත් මෙසේ ලිවීය:

”මේ [පන්ති අරගලය] වෙතින්, විප්ලවවාදී ක්‍රියාකාරීත්වය සඳහා ඉදිරිපත් කෙරෙන ප‍්‍රායෝගික කර්තව්‍යය සමන්විත වනුයේ කම්කරුවන්ගේ ස්තරය [රබොචියෝ සොස්ලොවියා] සංවිධානය කිරීම තුලය, සිය විමුක්තිය සඳහා ක‍්‍රමෝපායන් ඊට පෙන්වා දීම තුලය... බලවේගවල සංවිධානයෙන් පරිබාහිරව, ජනයාගේ සවිඥානිකත්වය හා ස්වයං ක්‍රියාකාරිත්වය පුබුදු කිරීමෙන් පරිබාහිරව, වඩාත්ම වීරෝදාර වූ විප්ලවවාදී අරගලයට පවා ප‍්‍රතිලාභ සැලසිය හැක්කේ ඉහල පන්තිවලට -එනම්, අද්‍යතන සමාජයේ යම් ස්තරයන්ට එරෙහිව අප වැඩකරන, වරප‍්‍රසාද නොලත් මහජනයා සන්නද්ධ කල යුතු ද, හරියටම එකී ස්තරවලටම- පමනකි. මහජනයාගේ විමුක්තිය මහජනයාගේම කාර්යයක් විය යුතුය.”(26)

ප්ලෙකනොව් ෆෙඩරල්වාදය කෙරේ සිය ආකල්පය ද තීරනාත්මක ලෙස වෙනස් කලේය. රාජ්‍යය මධ්‍යගතවීම, සමාජ සමානතාවේ පදනම මත සමාජය ප‍්‍රතිසංවිධානය කිරීමෙහිලා වැදගත් පූර්ව අවශ්‍යතාවක් ලෙස දැන් ඔහු සැලකීය.

මාක්ස්වාදය දෙසට වූ ඔහුගේ ගමනේ ඊලඟ සැතපුම් කනුව වූයේ, 1882-1883 සමයේ පීතෘභූමිය පිලිබඳ සටහන් (ඔශේචෙස්ට්විනේ සිපිස්කි) නම් නීත්‍යානුකුල රුසියානු සඟරාවේ කලාප ගනනාවක පල වූ ”කාල් රොඞ්බර්ටස්-ජැගට්සෝගේ ආර්ථික න්‍යාය” නමැති ලිපියයි.

ධනේශ්වර ලේඛකයන්ගේ ඇසට පෙනෙන්නේ, කම්කරු පන්තියට සිය විමුක්තිය සඳහා අරගල කිරීමට ඇති අයිතිය පිලිගන්නා අය සහ එම අයිතිය නොපිලිගන්නා අය වශයෙන් සියලු ජනයා දෙකට බෙදී සිටින අයුරකිනියි මෙම ලිපිය තුල ප්ලෙකනොව් තර්ක කලේය. ඔහු මෙසේ ලිවීය:

”ඔවුන් දකින අයුරින්, මෙම න්‍යායන්හි කර්තෘවරුන්ගේ ප‍්‍රායෝගික පරිශ‍්‍රමයන් සහ අන් සියල්ලටත් වඩා, ඇත්තෙන්ම, වැඩකරන පන්තිවල දේශපාලන ස්වයං ක්‍රියාකාරිත්වය පිලිබඳ ගැටලුව තීරනාත්මක වැදගත්කමකින් යුක්තය. කම්කරුවන් විශේෂ දේශපාලන පක්ෂයක් තුල සංවිධානය කිරීමට එරෙහි වන ලේඛකයා ඇතැම් විට, ඒ අතරතුර ඔහුට මග පෙන්වන න්‍යායික සංකල්ප කවරේදැයි නොතකාම ධනේශ්වර අර්ථ ශාස්ත‍්‍රඥයන්ගේ සහානුභූතිය දිනා ගනු ඇත.”(27)

මෙහි, 1882 මුල දී, ප්ලෙකනොව් සපුරාම පැහැදිලි ආකාරයකින් සූත‍්‍රගත කරමින් සිටියේ, කම්කරු පන්තිය සුවිශේෂී වූත්, පන්ති-පදනමකින් යුතු වූත් දේශපාලන පක්ෂයක් තුල සංවිධානය කිරීමේ අවශ්‍යතාවයි.

පිටුවහලේ සිටි ප්ලෙකනොව්ගේ න්‍යායික ප‍්‍රගතියට සමාන්තරව ”ජනතා අභිමතය” (නරෝද්නයා වොල්යා) සංවිධානයේ ත‍්‍රස්තවාදී ප‍්‍රයත්නද මුදුනටම නැගිනි. 1881 මාර්තුවේ IIවැනි සාර් ඇලෙක්සැන්ඩර්ගේ ජීවිතය විනාශ කිරීමට දැරුනු තවත් එක් ප‍්‍රයත්නයක් ඔහු ඝාතනය කර දැමීමෙන් කෙලවර විය. මුලුමහත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුරෝපයේ ඇසින් බැලූ කල, ජනතාවාදීන්ගේ විප්ලවවාදී අධිකාරය එහි උච්චතම කූටයට ලඟා වී තිබිනි. කෙසේවෙතත්, ත‍්‍රස්තවාදී උපායේ ”සාර්ථකත්වය” ම ”ජනතා අභිමතය” සංවිධානයේ අවසානයේ ආරම්භය බවට පත්විය. ඉනික්බිතිව පැමිනි කුරිරු මර්දනය සංවිධානයේ අනුගාමිකයන්ගේ හොඳම කේඩර උගුලුවා විනාශ කර දැමීය. ආන්ඩුවේ ”වියවුල” -එවැන්නක් කෙසේ හෝ සිදු වී නම්- වැඩිකල් නොපැවතුනු අතර, රුසියානු පරමාධිපත්‍යයේ පදනම් සෙලවීමට ඊට හැකි වූයේ නැත.

තාවකාලික කම්පනයකින් ඉක්බිති IIIවැනි සාර් ඇලෙක්සැන්ඩර් සහ ඔහුගේ පරිවාරකයෝ රුසියාවේ තවත් ”ශීත යුගයක්” ඇරඹුහ. ඊලඟ වසර 15 පුරා ඔවුහු සැහැසි ජාතිකවාදී ප‍්‍රතිගාමිත්වයේ තන්ත‍්‍රයක් රට තුල පවත්වාගෙන ගියෝය. සමාජ හායනයේ වාතාවරනයක් පැවැති අතර ඒ හා අත්වැල් බැඳ පැමිනියේ රැඩිකලීකරනය වූ බුද්ධිමතුන් අතර අසාරදර්ශනය හා කලකිරීම වර්ධනය වීමයි. එම අසාරදර්ශනය හා කලකිරීම, ”කුඩා දේවල්” හා සුලු ඉඩම් ප‍්‍රතිසංස්කරන දිනා ගැනීම පිලිබඳ න්‍යායක් යොදා ගැනීමට නැඹුරු මනෝගතීන් ඔවුන් අතර ශක්තිමත් කලේය.

II වැනි ඇලෙක්සැන්ඩර්ගේ ඝාතනයෙන් පසු ප්ලෙකනොව්ගේ ප‍්‍රමුඛතම ප‍්‍රයත්නයන් යොමු වූයේ අනාගත රුසියානු විප්ලවවාදී ව්‍යාපාරයට තීරනාත්මක වැදගත්කමකින් යුතු ප‍්‍රශ්න පැහැදිලි කිරීම සඳහාය. ජනතාවාදීන් න්‍යායිකව හෙලා දැකීමෙහි දී ප්ලෙකනොව් ඉමහත් කායික හා බුද්ධිමය ධෛර්යයක් විදහා පෑවේය.

ප්ලෙකනොව්ගේ න්‍යායික ශ‍්‍රමයෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ 1883 සැප්තැම්බරයේ ස්විට්සර්ලන්තයේ දී ”ශ‍්‍රමයේ මුක්තිය” කන්ඩායම ආරම්භ කිරීමයි. 1903 දී පැවැති රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ (ආර්එස්ඩීඑල්පී) දෙවැනි සම්මේලනය දක්වා මෙම කන්ඩායම පැවතුනි. සංවිධානය සඳහා එහි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වභාවය අවධාරනය කෙරෙන ආකාරයේ නමක් යොදා ගැනීමට ප්ලෙකනොව්ට අවශ්‍ය වී තිබින. එහෙත් ඊට කන්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ගේ විරුද්ධත්වය පල වූ අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුහු සම්මුති සහගත විසඳුමකට එලඹුනහ.

සමාජවාදය සහ දේශපාලන අරගලය නමැති පුස්තිකාව

”ශ‍්‍රමයේ මුක්තිය” කන්ඩායම ආරම්භ කිරීමට පූර්වගාමීව ප්ලෙකනොව්ගේ සමාජවාදය සහ දේශපාලන අරගලය නමැති පුස්තිකාව ප‍්‍රකාශයට පත් කෙරිනි. එතුල ඔහු, ප‍්‍රථම වරට, සිය දේශපාලන වැඩ පිලිවෙලේ මූලික කරුනු නිශ්චිතවම මාක්ස්වාදී වූ පදානුසාරයෙන් සූත‍්‍රගත කලේය.

මෙම කෘතිය රුසියානු සමාජවාදයේ වර්ධනයෙහි ලා තීරනාත්මක වූ අතර, යුරෝපය පුරා සමාජවාදීන්ගේ අවධානය දිනා ගත්තේය. ලන්ඩනයේ සිටියදී ප්ලෙකනොව්ට ෆ්‍රෙඞ්රික් එංගල්ස් හමු වූ අතර, ඔහු දර්ශනවාදය පිලිබඳ විශේෂඥයකු බවට එංගල්ස් විසින් පිලිගැනින. නූතන භෞතිකවාදය වනාහි සාරාර්ථයෙන් ගත් කල, ඌනතාවන් සෝදා හැර තාර්කික නිෂ්ඨාව කරා ගෙන යනු ලැබූ ස්පිනෝසියානුවාදයම ය යන ප‍්‍රස්තුතයට එංගල්ස් එකඟ වූ බැව් ප්ලෙකනොව් [පසුව] සිහිපත් කලේ ය. මේ වූ කලී, සියලු ආකාරයේ විඥානවාදී විකෘතිකරනයන්ට හා ප‍්‍රහාරයන්ට එරෙහිව භෞතිකවාදයේ ආරක්ෂාව සඳහා ඉනික්බිති ප්ලෙකනොව් විසින් කෙරුනු සියලු අරගලවල පදනමේ පැවැති ප‍්‍රවාදයකි.

නැගී එමින් පැවැති නාගරික නිර්ධන පන්තියේ සමාජීය වැදගත්කම මුලුමනින් නොතකා හැරීමට නොහැකි වූ ජනතාවාදීහු කම්කරුවන් ”විප්ලවය සඳහා” වැදගත් වෙතියි අදිමදියෙන් පිලිගත්හ. ”විප්ලවය සඳහා” යන එම වාක්‍යාංශය ජනතාවාදීන්ට එරෙහිව හරවමින් ප්ලෙකනොව්, අපේ වෙනස්කම් නමැති කෘතිය තුල මෙසේ පිලිතුරු දුන්නේ ය: “මෙය කොයි ලෙසකින්වත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙකු කතා කරන ක්‍රමය නොවේ:විප්ලවය සඳහා කම්කරුවන් අවශ්‍ය වීම පිලිබඳ කාරනයක් නැති බවත්, ඒ වෙනුවට ඇත්තේ කම්කරුවන්ට විප්ලවය අත්‍යවශ්‍ය වීම බවත් ඔහු ඒත්තු ගෙන සිටී.”(28) මෙම වාක්‍යය, උපරි-පන්ති (පන්තිවලට ඉහලින් සිදු වන) ජනතා විප්ලවයක් පිලිබඳ ජනතාවාදීන්ගේ සංකල්පයට එරෙහිව ප්ලෙකනොව්ගේ අරගලයේ ප‍්‍රතිඵල සැකෙවින් පිඬු කොට දැක්වීය. ඒකාධිපතිත්වයට එරෙහිව එලැඹෙන විප්ලවය තුල කම්කරු පන්තිය සුවිශේෂී, ස්වාධීන හා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත; තවද, එය තමාගේම පන්ති අවශ්‍යතා හා අරමුනු පිලිබඳ සවිඥානික වෙමින් ස්වාධීනව ක්‍රියාත්මක වනු ඇත.

මෙම කෘතිය තුලම, ප්ලෙකනොව් මෙසේ ද ප‍්‍රකාශ කලේය:

”ඓතිහාසික හා ආර්ථික වර්ධනයේදී බටහිර (රටවල්) පසු කර ආ නිශ්චිත අදියර තුලින්ම රුසියාව ද ගමන් කල යුතුය යන අභූත නිගමනය මාක්ස්ගේ ඉගැන්වීම්වලට ආරෝපනය කෙරේ.”(29)

ප්ලෙකනොව් මාක්ස්ගේ න්‍යාය ”යාන්ත්‍රික ලෙස” රුසියාවට යෙදූ බවට ඔහුගේ විවේචකයන් ඉදිරිපත් කරන කියාපෑම් මෙම ප‍්‍රකාශයෙන් පමනක් වුව නිෂ්ප‍්‍රභ කෙරෙයි. ප්ලෙකනොව් මෙසේ අවධාරනය කලේය:

”... මාක්ස් විසින් බටහිර යුරෝපීය සම්බන්ධතාවන්ගේ ඉතිහාසය භාවිත කෙරුනේ, නිශ්චිතවම ලෝකයේ එම ප‍්‍රදේශයේ පැන නැගී වර්ධනය වූ ධනේශ්වර නිෂ්පාදනයේ ඉතිහාසයෙහි පදනම ලෙස පමනකි. ... කැපිටාල් ග‍්‍රන්ථයේ කර්තෘවරයා හෝ ඔහුගේ සුප‍්‍රකට මිතුරා සහ සගයා වූ තැනැත්තා හෝ කිසියම් නිශ්චිත රටක ආර්ථික සුවිශේෂතා කෙරෙහි අන්ධ වූවෝ නොවෙති; ඔවුන් සියලු රටවල සමාජ, දේශපාලන සහ බුද්ධිමය ව්‍යාපාර පිලිබඳ පැහැදිලි කිරීමක් සොයනුයේ එම සුවිශේෂතා තුල පමනි.”(30)

මාක්ස්ගේ ඉගැන්වීම් රුසියානු ඉඩම් ඔබ්ස්ශිනාවේ වැදගත්කම නොතකා නොසිටි බව ප්ලෙකනොව් විශේෂයෙන් පැහැදිලි කලේය. 1882 ජනවාරියේ කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ රුසියානු පරිවර්තනයට මාක්ස් හා එංගල්ස් විසින් ලියන ලද පෙරවදනින් ඔහු උපුටා දැක්වීය. නිශ්චිත තත්වයන් යටතේ රුසියානු ඔබ්ස්ශිනාව ”ඉඩම් අයිතියේ ඉහල, කොමියුනිස්ට් ආකෘතිය කරා කෙලින්ම ගමන් කිරීමට” ඉඩ ඇති බැව් එහිදී ඔවුහු පැවසූහ.

ප්ලෙකනොව් වැඩිදුරටත් මෙසේ ලිවීය:

ඔවුන්ගේ අදහසට අනුව මෙකී තතු, බටහිර යුරෝපය තුල හා රුසියාව තුල විප්ලවවාදී ව්‍යාපාරයේ ගමන් මග සමග සමීපව බැඳී තිබුනේය. ඔවුහු මෙසේ පවසති: ”දෙකම එකිනෙකට අනුපූරක වන පරිද්දෙන් රුසියානු විප්ලවය බටහිර නිර්ධන පන්තික විප්ලවයකට දෙන සංඥාවක් වුවහොත්, රුසියාවේ වත්මනෙහි කි‍්‍රයාත්මක ඉඩම්වල පොදු අයිතිය, කොමියුනිස්ට් වර්ධනයක් සඳහා ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස ක්‍රියා කල හැකිය.” (කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාශනය, VIII.)... නූතන ශිෂ්ට සම්පන්න සමාජයන්හි ආර්ථික ජීවිතය තුල ජාත්‍යන්තර සබඳතාවල වැදගත්කම වටහා ගන්නා කවරෙකුට වුව, රුසියානු ග‍්‍රාමීය කොමියුනය ”කොමියුනිස්ට් පොදු අයිතියේ ඉහල ආකෘතියක් කරා” වර්ධනය වීම, බටහිර කම්කරු පන්ති ව්‍යාපාරයේ ඉරනම සමග සමීපව බැඳී ඇති බව ප‍්‍රතික්ෂේප කල නොහැක.(31)

වෙනත් වචනවලින් කිවහොත්, රුසියාවේ අභ්‍යන්තර සමාජ-දේශපාලන වර්ධනය පිලිබඳ විශ්ලේෂනය කල හැක්කේ නිර්ධන පන්ති විප්ලවයේ පොදු ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක රාමුව තුල පමනකැයි ප්ලෙකනොව් අවධාරනය කලේය.

ප්ලෙකනොව් පිලිබඳ විවේචකයින්ගේ තවත් කියාපෑමක් වන්නේ ඔහු රුසියානු විප්ලවය පිලිබඳ සිය සංකල්පය ”අවිවේචනාත්මකව” 19 වන සියවසේ බටහිර යුරෝපයේ ධනේශ්වර-ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවවල අත්දැකීම් මත පදනම් කල බවයි.

එහෙත් එවන් වඳ ප‍්‍රවිෂ්ටයක් ප්ලෙකනොව් කිසිදා යොදා නොගත්තේය. ඔහු මෙසේ ලිවීය:

”බටහිර යුරෝපයේ ඉතිහාසය වඩාත්ම ඒත්තු යන ආකාරයෙන් අපට පවසන්නේ, ‘රතු අවතාරය’ කිසියම් තර්ජනාත්මක ආකාරයක් ගත් කවර හෝ විටෙක ‘ලිබරලුන්’ වඩාත්ම දලදඬු මිලිටරි ආඥාදායකත්වයන්ගේ තුරුලේ රැකවරන සොයා යාමට සූදානම්ව සිටි බවයි.”(32)

මෙම වචනවලින් පෙනී යන්නේ රුසියාව තුල නිර්ධන පන්තියේ ධනේශ්වර-විරෝධී දේශපාලන ක්‍රියාකාරිත්වයෙහි තර්ජනය, ලිබරල් ධනේශ්වරය පරමාධිපතිවාදී ප‍්‍රතිගාමීත්වයේ තුරුල්ලට තල්ලු කරනු ඇත යන්න ගැන ප්ලෙකනොව් මැනැවින් දැනුවත්ව සිටි බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලයේ රාමුව තුල කම්කරු පන්තියේ තත්ත්වය ශක්තිමත් කරන අතරවාරයේම මෙම ප‍්‍රතිඵලය මග හැරීමට ඔහු අදහස් කලේය. නිසගයෙන්ම පරස්පර විරෝධී තත්ත්වයකට උචිත ප‍්‍රතිචාරයක් සොයා ගැනීමට යත්න දරමින් ප්ලෙකනොව් මෙසේ තර්ක කලේය:

”... පූර්ව-ව්‍යවස්ථාදායක කාලපරිච්ඡේදය තුල පවා කම්කරු පන්තියට වාසිදායක පරිදි වෙනස් වන රුසියානු සමාජ බලවේගවල තථ්‍ය සබඳතාවන් ගැන අපේ සමාජවාදී බුද්ධිමතුන් සැලකිලිමත් විය යුතුය. එසේ නොවුනහොත් පරමාධිපත්‍යයේ බිඳවැටීම විසින්, ඒ කෙරෙහි [එම බිඳවැටීම කෙරෙහි] රුසියානු සමාජවාදීන් පමනක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් තැබූ බලාපොරොත්තු පවා කොයි ලෙසකින්වත් සාධාරනීකරනය කෙරෙනු නැත ... සමාජවාදී පක්ෂයටමත්, ලිබරල් ධනපතීන් සඳහා කථා කිරීමේ හා ක්‍රියා කිරීමේ නිදහස දිනා දීමෙන් පසු, ජර්මානු සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය අද දින පත්ව සිටින තත්ත්වයට සමාන වූ ”සුවිශේෂී” ස්ථානයකට තමන් පත්ව සිටින බැව් පෙනී යනු ඇත.... රුසියානු සමාජවාදීන්ට... කම්කරු පන්තිය මත ප‍්‍රථම හා ප‍්‍රමුඛ ලෙස සිය බලාපොරොත්තු රැඳවිය හැකි අතර, ඔවුන් එසේ කල යුතුය. අන් ඕනෑම පන්තියක මෙන්ම කම්කරු පන්තියේ ද ශක්තිය රැඳී පවතින්නේ, අනෙකුත් දේ අතර, එහි දේශපාලන විඥානයේ පැහැදිලිකම මතය, එහි ඒකාබද්ධතාව හා එහි සංවිධානයේ මට්ටම මතය. අපේ සමාජවාදී බුද්ධිමතුන්ගේ බලපෑම ලැබිය යුත්තේ එහි ශක්තියේ මෙකී සංරචකවලටය. මෙහි පසු කී සංරචකය එලැඹෙන විමුක්ති ව්‍යාපාරය තුල කම්කරු පන්තියේ නායකයා බවට පත් වී, එහි දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා සහ එකී අවශ්‍යතාවන්ගේ අන්‍යොන්‍ය රඳාපැවැත්ම එම පන්තියට පහදා දෙමින්, රුසියාවේ සමාජ ජීවිතය තුල ස්වාධීන කාර්යභාරයක් ඉටුකිරීමට එය සූදානම් කල යුතුය. රුසියාවේ ව්‍යවස්ථාමය ජීවිතයේ මුල්ම කාල පරිච්ඡේදය තුල අපේ කම්කරු පන්තියට නිශ්චිත සමාජ හා දේශපාලන වැඩ පිලිවෙලක් සහිත වෙනම පක්ෂයක් ලෙස පෙරට පැමිනිය හැකි වන පරිදි ඔවුන් තමන්ගේ මුලු ශක්තිය යොදා වැඩ කල යුතුය.”[අවධාරනය එකතු කෙරිනි](33)

”රුසියානු සමාජවාදීන්ට ... ඔවුන්ගේ බලාපොරොත්තු ප‍්‍රථම හා ප‍්‍රමුඛ ලෙස කම්කරු පන්තිය කෙරෙහි රැඳවිය හැකි අතර, ඔවුන් එසේ කල යුතුයැ”යි ද ”සමාජවාදී පක්ෂය ලිබරල් ධනේශ්වරය සඳහා කථා කිරීමේ හා ක්‍රියා කිරීමේ නිදහස දිනා දෙනු” ඇතැයි ද ලියමින් ප්ලෙකනොව් සාර්වාදයට එරෙහි අරගලය තුල නිර්ධන පන්තියේ (සහ එහි පක්ෂයේ) ආධිපත්‍යය පිලිබඳ සිය න්‍යාය සූත‍්‍රගත කලේය.

ප්ලෙකනොව්ගේ න්‍යායික ජයග‍්‍රහන අවප‍්‍රමාන නොකරන අතරම, ඔහුගේ සූත‍්‍රනය විප්ලවයේ අදියර දෙකක් පිලිබඳ න්‍යායක් ඉදිරිපත් කල බව පිලිගැනීම ද අවශ්‍ය වෙයි. පලමු අදියර ධනපති ප‍්‍රජාතන්ත‍්‍රයක් පිහිටුවීම සඳහා සටන් කරනු ඇත. දෙවැනි අදියරක්, අනාගත වර්ධනයේ යම් නොදන්නා තැනක දී කම්කරු පාලනය හා සමාජවාදය සඳහා සටන පෙරට ගෙන යනු ඇත.

1880 ගනන්වල මුල් භාගයේ සාර්වාදී රුසියාවේ පැවැති සමාජ-ආර්ථික පසුගාමීත්වයේ තතු යටතේ, සමාජවාදී සමාජයක් ගොඩනැගීම කරා වහා ගමන් කිරීමේ කිසිදු ඉඩක් නිර්ධන පන්තියට ඇතැයි ප්ලෙකනොව් නොදිටීය. කෙසේ වෙතත්, ධනේශ්වර පාලනයේ ආධිපත්‍යය තවමත් යුරෝපයේ පවතින අතරතුර රුසියානු විප්ලවයේ වර්ධනය විසින් පරමාධිපත්‍යය පෙරලා දැමීම දවසේ න්‍යායපත‍්‍රයට ඇතුලු කරන්නේ නම් කම්කරුවන්ගේ පක්ෂය කෙසේ ක්‍රියා කල යුතු ද යන ප‍්‍රශ්නයට පිලිතුරක් සෙවීමට ඔහු තැත් කලේය.

ප්ලෙකනොව් මෙම ප‍්‍රශ්නයට ඓතිහාසික දෘෂ්ටි කෝනයකින්, එවක රුසියාවේ පැවැති වෛෂයික සමාජ යථාර්ථයට අනුකූල, ගැඹුරින්ම අපෝහක වූ පිලිතුරක් සම්පාදනය කලේය. එහෙත් එම හේතුව නිසාම මේ පිලිතුර අවසාන පිලිතුරක් නොවූ අතර, මුලුමනින්ම තේරුම් ගත හැකි පරස්පරතාවන් එහි ගැබ් ව තිබින.

ඒකාධිපත්‍යයට එරෙහි අරගලයේ දී රුසියානු නිර්ධන පන්තිය, ධනපති පන්තිය ද ඇතුලු අනෙකුත් සියලු සමාජ ස්තරයන්හි දේශපාලන නායකයා විය යුතුව තිබූ බව ප්ලෙකනොව් අවධාරනය කලේය. එහෙත් සාර්වාදය පරදවා ජයගැනීමෙන් පසු ක්ෂනිකව එලඹෙන වකවානුව තුල තමාගේම පන්ති වැඩ පිලිවෙල සාක්ෂාත් කර ගැනීම ආරම්භ කිරීමට එයට හැකියාවක් නොවීය. එබැවින්, වෛෂයිකව විවෘතව පැවැති ගැටලුව පහත ප‍්‍රශ්නය දක්වා ඌනනය කල හැකි විය: නිර්ධන පන්ති පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ ජය අත්පත් කොට ගෙන සිටිය දී බලය ධනපති පන්තියට පැවරීම කල හැක්කක් ද? මෙම ක්‍රියාවලියේ සංයුක්ත යාන්ත‍්‍රනය කුමක් විය යුතු ද?

තව ද, නිර්ධන පන්තිය ලිබරල් ධනේශ්වරයට බලය පැවරුවහොත්, එම ධනපතියන් ”රතු අවතාරයේ” තර්ජනයෙන් බියපත්ව ”වඩාත්ම දලදඬු මිලිටරි ඒකාධිපතිත්වයේ” විධික‍්‍රම යොදා ඔවුන් මර්දනය කිරීමට තැත් නොකරන බවට හෝ, රාජාන්ඩුව පුනස්ථාපනය කිරීමට තැත් නොකරන බවට පවා හෝ ඇති සහතිකය කුමක්ද?

ඔහුගේ යුගයෙහි පැවැති කොන්දේසි යටතේ මෙකී ප‍්‍රශ්නවලට අවසාන පිලිතුරක් සම්පාදනය කර ගැනීමට ප්ලෙකනොව් සමත් වූයේ නැත. විප්ලවවාදී ක්‍රියාදාමය තුල නිර්ධන පන්තියේ තීරනාත්මක කාර්යභාරය පිලිබඳ අවධාරනය කරන අතරම, සෑහෙන දිගු කාල පරිච්ඡේදයකින් මෙපිට විප්ලවය ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවධියෙන් ඔබ්බට ප‍්‍රගමනය විය හැකියැයි ඔහු විශ්වාස කලේ නැත. කොයි ලෙසින් බැලුවද ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට සමාජවාදී විප්ලවය කරා සංක‍්‍රමනය වීමට දශක ගනනක් ගතවනු ඇත. නිසැකවම මෙහි අනාගත මෙන්ශේවික්වාදයේ මූලයන් දැකගත හැකිය.

ට්‍රොට්ස්කි, ”රුසියානු විප්ලවයේ සංකල්ප තුන” නම් සිය 1939 නිබන්ධය තුල ප්ලෙකනොව්ගේ ඉදිරි දර්ශනයට ආවේනික වූ සීමාසහිතකම් කෙරේ අවධානය යොමු කලේය:

”ප්ලෙකනොව්, කර්තව්‍යයක් වශයෙන් ධනේශ්වර විප්ලවය, -ඔහු විසින් අවිනිශ්චිත අනාගතයක් දක්වා කල් දැමුනු- සමාජවාදී විප්ලවයෙන් වෙන් කලා පමනක් නොව, මේ එක එකක් සඳහා ඔහු බලවේගයන්ගේ මුලුමනින්ම වෙනස් සංයෝජනයන් ද විස්තාරනය කලේය. දේශපාලන නිදහස දිනා ගත යුතුව තුබුනේ නිර්ධන පන්තිය ලිබරල් ධනපති පන්තිය සමග ඇති කරගන්නා සන්ධානයකිනි; දශක ගනනාවක ඇවෑමෙන්, ධනේශ්වර වර්ධනයේ ඉහල අවධියක දී නිර්ධන පන්තිය ධනපති පන්තියට එරෙහි සෘජු අරගලයක් තුල සමාජවාදී විප්ලවය සිදු කරනු ඇත.(34)

දේශපාලන නිදහස සඳහා වූ අරගලය සමාජවාදය සඳහා අරගලය සමග සෘජුව ඒකාබද්ධ කිරීමේ ශක්‍යතාව ප්ලෙකනොව් නොදිටීය. මෙම ශක්‍යතාව 1880 ගනන්වල හා 1890 ගනන්වල නොපැවතින. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජවාදී විප්ලව අතර සෘජු හා ක්ෂනික සම්බන්ධයක් පැවතීම ප‍්‍රතික්ෂේප කරන කල්හි පවා, නිර්ධන පන්තියේ සවිඥානික ක්‍රියා මාර්ගය වනු ඇත්තේ -දීර්ඝ කාල පරිච්ඡේදයක් පුරා වුව- ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවධියේ සිට සමාජවාදී අවධිය දක්වා වන එම සංක‍්‍රමනය සඳහා පහසුකම් සම්පාදනය කිරීම බැව් ප්ලෙකනොව් පෙන්වා දුන්නේය. Socialism and the Political Struggle(සමාජවාදය සහ දේශපාලන අරගලය) කෘතිය තුල ප්ලෙකනොව් මෙසේ ප‍්‍රකාශ කලේය:

”ඒ අනුව, එක් අතකින් දේශපාලන නිදහස සඳහා අරගලය, සහ අනෙක් අතින් කම්කරු පන්තිය එහි අනාගත ස්වාධීන හා ආක‍්‍රමනශීලී කාර්යභාරයට සූදානම් කිරීම - අපේ අදහසට අනුව, වර්තමානයේ ”පක්ෂ කර්තව්‍යයන් සඳහා” වූ එකම ශක්‍ය සැකැස්ම එබඳුය. පරමාධිපත්‍යය පෙරලා දැමීම හා සමාජවාදී විප්ලවය වැනි ඒ සා මූලික වෙනස්කම් වලින් යුත් විෂයයන් දෙකක් එකට ගැටගැසීම වූ කලී, (එනම්) සමාජ වර්ධනයේ මෙම මූලිකාංග අපේ රටේ ඉතිහාසය තුල සම්පාත වෙතැයි විශ්වාසයෙන් විප්ලවවාදී අරගලය දියත් කිරීම යනු, ඒ දෙකෙහිම පැමිනීම කල් දැමීමයි. එහෙත් මේ මූලිකාංග දෙක හැකිතාක් එකිනෙක ආසන්නයට ගෙන ඒම රැඳී පවතින්නේ අප මතය.(35)

රුසියානු විප්ලවයේ ගමන්මග අදියර දෙකකට බෙදමින් වුවද, ඒවා හැකිතාක් ”එකිනෙක ආසන්නයට” ”ගෙන ඒමට” ප්ලෙකනොව්ට ලාලසීය අන්දමින් අවශ්‍ය වූ බව දැක ගැනීම වැදගත්ය. ප්ලෙකනොව්ගේ චරිතාපදානය ලියූ ඇමරිකානු මහාචාර්ය සැමුවෙල් බැරන්, ඔහුගේ ආස්ථානය තුල නිසගයෙන් පැවැති විසංවාදය කෙරේ අවධානය යොමු කරයි. බැරන්ට අනුව ප්ලෙකනොව්,

”වර්ධනයේ ධනේශ්වර අවධිය මුලුමනින් උපුටා දැමීමට නොවේ නම්, එය කෙටි කිරීම සඳහා අනුබල දීමට සූදානම්ව සිටියේය. මෙය සාක්ෂාත් කොට ගත හැක්කේ විප්ලවවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් තුලින් ඓතිහාසික ක්‍රියාවලිය වෙනස් කිරීමෙනි. සත්තකින්ම ප්ලෙකනොව්, තම විප්ලවවාදී පක්ෂයේ ඉච්ඡානුගතවාදී ක්‍රියාකාරීත්වය, ආර්ථික වර්ධනයේ පවතින මට්ටම විසින් නිර්නය කෙරෙන සීමා තුල පවත්වා ගත යුතුය යන පදනම මත, සිය දෘෂ්ටිය හා මූලෝපායත් නරෝද්නිකයින්ගේ දෘෂ්ටිය හා මූලෝපායත් අතර සීමා තියුනු අන්දමින් සලකුනු කරගෙන සිටියේය. ඔහුගේ තක්සේරුවට අනුව, මෙම සීමාවන් හඳුනා ගැනීම විසින් මාක්ස්වාදය විවිධ වර්ගවල මනෝරාජිකවාදයන්ගෙන් වෙන් කොට තැබින. එය විප්ලවවාදී අධිෂ්ඨානය ඓතිහාසික ක්‍රියාවලියට හා එහි නියාමයන්ට යටත් කල අතර, එමගින් මාක්සියානු විප්ලවවාදී පිලිවෙතේ තාර්කිකත්වය සහතික කෙරින. ඒ කෙසේ වෙතත්, පෙනී යන පරිදි, ප්ලෙකනොව්ගේ පද්ධතිය ඉච්ඡානුගතවාදය හා නියතිවාදය යන දෙකෙහිම අංශයන් වැලඳ ගත් අතර, ඒවා අතර සුසංවාදයක් ඇති කිරීමෙහිලා ඔහු සමත් වූයේ නැත.(36)

කම්කරු පන්තියේ පන්ති විඥානය වර්ධනය කිරීමෙහි හා එය විප්ලවවාදී ක්‍රියාකාරීත්වය සඳහා සූදානම් කිරීමෙහිලා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයේ වැදගත්කම ප්ලෙකනොව් දිගින්දිගටම අවධාරනය කලේය. ඉතිහාසය නියාම-පාලිත ක්‍රියාදාමයක් ලෙස සැලකීම කෙරෙහි ප්ලෙකනොව් යෙදූ අවධාරනය, විප්ලවවාදී භාවිතය අවතක්සේරු කිරීම කරා ඔහු රැගෙන ගියේය යන කියමන මූලිකවම සාවද්‍යය. ”විප්ලවවාදී පක්ෂයක් හැකිතාක් ඉක්මනින් පිහිටුවාගැනීම වත්මන් රුසියාවේ සියලු ආර්ථික හා දේශපාලන පරස්පරවිරෝධයන් විසඳීමේ එකම මාවතයි” යනුවෙන් ප්ලෙකනොව් තර්ක කලේය. [අවධාරනය මුල් කෘතියෙනි](37) එනයින්, විප්ලවයෙහි ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදියරේ සිට සමාජවාදී අදියර දක්වා දිවෙන මාවතට බලපෑම් කිරීමට හා එය කෙටි කිරීමට, ඇතැම් නිශ්චිත තත්වයන් යටතේ, පක්ෂයේ භාවිතයට හැකි වනු ඇතැයි ඔහු පිලිගත්තේය.

එහෙත් කෙසේ, කවර තත්වයන් යටතේ මෙය සාක්ෂාත් කල යුතුව ඇත්දැයි කීමට ඔහුට නොහැකි විය. රුසියානු සමාජ-ආර්ථික වර්ධනයේ වෛෂයික කොන්දේසි, ප්ලෙකනොව් විසින් වටහා ගැනුනු පරිදි, සමාජවාදය සඳහා වූ පක්ෂයේ පරිශ‍්‍රමය මත ජයගත නොහෙන තරමේ සීමාවන් පනවා ඇති සෙයක් පෙනෙන්නට තිබින. එහෙත් මේ පරස්පරවිරෝධය ඉස්මතුකිරීම ම, ප්ලෙකනොව් විසින් හඳුනා ගැනුනු ඓතිහාසික ගැටලුවට වෙනත් විසඳුමක් සොයා ගැනීම සඳහා දොර විවර කලේය. මෙම විසඳුම සොයාගනු ලැබුනේ 1905 විප්ලවයෙන් හෙලිදරව් කෙරුනු වෙනස් වූ වෛෂයික කොන්දේසි පිලිබඳ විශ්ලේෂනයක පදනම මත ට්‍රොට්ස්කි විසිනි. නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය, විප්ලවයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජවාදී අවධීන් ”එකිනෙක කරා ගෙන ඒමෙන්” නොනැවතී, දෙවැන්නේ විධික‍්‍රම යොදා ගැනීමෙන් තොරව ප‍්‍රථම අවධිය සාක්ෂාත් කල නොහැකි බව ද අවධාරනය කරයි.

ට්‍රොට්ස්කිගේ න්‍යාය ප්ලෙකනොව්ගේ ඉදිරි දර්ශනයට ඔබ්බෙහි වූ අතිමහත් ප‍්‍රගමනයක් නියෝජනය කල බවට විවාදයක් නැත. (එමෙන්ම, එය නිර්ධන පන්තියේ හා ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආඥාදායකත්වය පිලිබඳ ලෙනින්ගේම 1917ට පෙර වැඩ පිලිවෙලට ද ඔබ්බෙන් වූවක් බව අවධාරනය කල යුතුය.) කෙසේ වුවද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය තුල රුසියානු නිර්ධන පන්තියේ ප‍්‍රමුඛ කාර්යභාරය ප්ලෙකනොව් විසින්ම හඳුනා ගනු ලැබීම, -ප්ලෙකනොව්ගේ ජීවිතයෙහි ශ්‍රේෂ්ඨත්වය හා ඛේදනීය බව යන දෙකම රැඳී ඇත්තේ මෙහිය- විප්ලවවාදී මූලෝපාය හා උපාය පිලිබඳ ක්ෂේත‍්‍රය තුල ලෙනින් හා ට්‍රොට්ස්කි යන දෙදෙනාම මුල පිරූ සියලු තදනන්තර ප‍්‍රගමනයන් සඳහා පදනම දැමීය. 1889 දෙවැනි ජාත්‍යන්තරය පිහිටුවීමේ සම්මේලනයෙහි දී ප්ලෙකනොව් පැවැත්වූ කථාව තුල මෙම ප‍්‍රගමනයන් පිලිබඳ පූර්වාපේක්ෂාව ගැබ් වී පැවතින. ඔහුගේ පහත දැක්වෙන ප‍්‍රකාශය නියෝජිතයන්ට විදුලි සැර කැවීමක් විය: ”රුසියාව තුල විප්ලවවාදී ව්‍යාපාරය ජයග‍්‍රහනය කරනු ඇත්තේ කම්කරුවන්ගේ ව්‍යාපාරයක් ලෙස පමනි. නැතහොත් එය කිසිදා කොයිලෙසකින්වත් ජයග‍්‍රහනය කරනු නැත.”(38) පසුගාමී රුසියාවේ නිර්ධන පන්තියෙහි තීරනාත්මක විප්ලවවාදී කාර්යභාරය ඊට පෙර අන් කවර හෝ යුරෝපීය සමාජවාදියකු හඳුනාගෙන තිබුනේ නැත.

ට්‍රොට්ස්කි විසින් නොනවතින විප්ලවයේ න්‍යාය විස්තාරනය කරනු ලැබීමෙන් කුලු ගැන්වුනු, රුසියාවේ සමාජවාදී විප්ලවයේ මූලෝපාය සම්බන්ධ සියලු තදනන්තර අරගල වර්ධනය වූයේ හරියටම මේ විශිෂ්ට අන්තර්දෘෂ්ටියේ පදනම මතය. ප්ලේකනොව්ගේ දේශපාලන හා න්‍යායික කටයුතු ”අපේ විප්ලවවාදී අරගලයේ සමස්තයට” පදනම සම්පාදනය කල බව 1918 දී අවමංගල දේශනය පවත්වමින් ට්‍රොට්ස්කි අවධාරනය කලේ මේ නිසාය.” [අවධාරනය එකතු කෙරිනි]

වසර ගනනාවක ඇවෑමෙන් 1922 දී, රුසියාවේ ඓතිහාසික වර්ධනයේ ඇතැම් අනන්‍යසාධාරන විශේෂාංගයන් පිලිබඳ ප්ලෙකනොව්ගේ සංකල්පනය සම්බන්ධයෙන් ඉතිහාසඥ මිඛායෙල් පොක්රොව්ස්කි එල්ල කල ප‍්‍රහාරයකට පිලිතුරු දීමට ට්‍රොට්ස්කිට බල කෙරින. රුසියාවේ ඓතිහාසික වර්ධනය පිලිබඳ ට්‍රොට්ස්කිගේම අවබෝධය කෙරේ ප්ලෙකනොව්ගේ මුල්කාලීන න්‍යායික කටයුතු ඉමහත් බලපෑමක් සිදු කොට තුබූ බව සුප‍්‍රකට කරුනක් විය. ස්ටැලින් පාර්ශ්වයේ උද්‍යෝගීමත් ආධාරකරුවෙකු ලෙස ඉස්මතුවෙමින් සිටි පොක්රොව්ස්කි, ප්ලෙකනොව්ට පහර දීමෙන්, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායයේ ඓතිහාසික පදනමට යටි උගුල් මෑනීමට යත්න දරමින් සිටියේය. ප්ලෙකනොව්ගේ දේශපාලන දුබලතාවන් හා සමාජවාදී විප්ලවය අවසාන වශයෙන් පාවා දීම ද, තම ප‍්‍රහාරයට ආධාර පිනිස, පොක්රොව්ස්කි සිහිපත් කලේය. පොක්රොව්ස්කිගේ ප‍්‍රහාරයට එරෙහිව ප්ලෙකනොව්ගේ ඓතිහාසික න්‍යායන් ආරක්ෂා කරමින්, ට්‍රොට්ස්කි මෙසේ පිලිතුරු දුන්නේය:

”රුසියානු ධනපති පන්තියේ දුබලතාව සහ රුසියාවේ ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රැවටිලිකාරී ස්වභාවය නිසැකවම නියෝජනය කලේ, රුසියාවේ ඓතිහාසික වර්ධනයේ අතිශය වැදගත් ගුනාංගයන්ය. එහෙත් අනෙකුත් සියලු කොන්දේසි පවතින විට, නිර්ධන පන්තියෙහි බලය අල්ලා ගැනීමේ ශක්‍යතාව හා ඓතිහාසික අවශ්‍යතාව පැන නගින්නේ හරියටම එයිනි. ප්ලෙකනොව් මෙම නිගමනය කරා නොඑලැඹුනු බව සත්‍යයකි. එහෙත්, ඔහුගේ නිසැකවම නිවැරදි වූ තවත් ප‍්‍රස්තුතයකින් ද -එනම්, ”රුසියාව තුල විප්ලවවාදී ව්‍යාපාරය ජයග‍්‍රහනය කරනු ඇත්තේ කම්කරුවන්ගේ ව්‍යාපාරයක් ලෙසය, නැතහොත් එය කොයිලෙසකින්වත් ජයග‍්‍රහනය කරනු නැත” යන ප‍්‍රස්තුතයෙන් ද- ඔහු කිසිදු නිගමනයකට එලැඹුනේ නැත. ප්ලෙකනොව් නරෝද්නිකයන් හා ග‍්‍රාම්‍ය මාක්ස්වාදීන්ට එරෙහිව කියූ සියල්ල ඔහුගේ කැඩෙටානුරාගය (Kadetophilia)(39) හා දේශානුරාගය සමග කලවම් කොට ගතහොත් ප්ලෙකනොව්ගෙන් කිසිවක් ඉතිරි නොවනු ඇත. එහෙත් යථාර්ථයේ දී ප්ලෙකනොව්ගෙන් ශේෂ වූ දෑ බොහෝය, ඔහුගෙන් යලියලිත් ඉගෙන ගැනීමෙන් වරදක් සිදු නොවේ.(40)

ප්ලෙකනොව්ට ගෞරව ප‍්‍රශංසා පිරිනැමීමෙන්, නොනවතින විප්ලවයේ න්‍යාය ආරක්ෂා කිරීමට අපේ ඇති කැපවීම හෝ, ඔක්තෝබර් විප්ලවය සූදානම් කිරීමෙහි හා එය ජයග‍්‍රහනය කිරීමෙහි ලා ට්‍රොට්ස්කි ඉටුකල ඓතිහාසික කාර්යභාරය පිලිබඳ අපේ අවධාරනය සම්බන්ධයෙන් සුලු වශයෙන් හෝ සම්මුති ගැසීමක් සිදු නොවේ. මෙම මහා මාක්ස්වාදී න්‍යායධරයා පිලිබඳව අධ්‍යයනය කිරීමෙන් හා ඔහුගෙන් ඉගෙන ගැනීමෙන් ”වරදක් සිදු නොවන” බවට ට්‍රොට්ස්කි සමග අපි එකතු වන්නෙමු. විශේෂයෙන්ම ප‍්‍රතිභෞතිකවාදයේ හා දාර්ශනික අතාර්කිකවාදයේ නින්දිතම රූපාකාරයන්ගෙන් බුද්ධිමය ජීවිතය කෙලෙසී ඇති අද දිනයේ සහ මෙම යුගයේ, ප්ලෙකනොව්ගේ ලේඛන ඓතිහාසික ක්‍රියාවලියේ වර්ධනය පිලිබඳ විද්‍යාත්මක අවබෝධයක් සඳහා ද එම පදනම මත, කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී විඥානයේ පුනරුත්ථානය සඳහා ද වන අරගලයේ අත්‍යවශ්‍ය ආයුධ ලෙස සේවය සලසනු ඇත. වැඩිදුරටත් කිවහොත්, ප‍්‍රතිගාමී සුලු ධනේශ්වර ව්‍යාජ-වාමවාදයේ අසංඛ්‍ය නියෝජිතයන් කම්කරු පන්තියට නින්දා කිරීමට හා එහි තීරනාත්මක විප්ලවවාදී කාර්යභාරය ප‍්‍රතික්ෂේප කිරීමට තමන්ට හැකි සියල්ල කරමින් සිටින වකවානුවක, කම්කරු පන්තියේ විප්ලවවාදී ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ප්ලෙකනොව් සිදු කල අරගලය අතිමහත් සමකාලීන අදාලත්වයක් දරයි.

සිය උපතින් අවුරුදු 160 ක ඇවෑමෙන් හා අභාවයෙන් සියවසකට ආසන්න කාලයක් ගෙවී යාමෙන් පසු තවමත්, ප්ලෙකනොව් සමාජවාදී හා මාක්ස්වාදී චින්තනයේ ඉතිහාසය තුල ප‍්‍රමුඛ පෞරුෂයක් ව සිටී. 1922 දී ලෙනින් ප්ලෙකනොව් වෙත දැක්වූ අවසාන ගෞරව ප‍්‍රශංසාව මුලුමනින්ම සාධාරනීකරනය වී ඇත:

”මෙය තරුන පක්ෂ සාමාජිකයන්ගේ ප‍්‍රයෝජනය සඳහා වරහන් තුල දැක්වීමට මට අවසර දෙන්න. ප්ලෙකනොව්ගේ සියලු දාර්ශනික ලේඛන අධ්‍යයනය කිරීමෙන් -මෙහිදී මා අදහස් කරන්නේ ඒවා අධ්‍යයනය කිරීමයි- තොරව, ඔබට සැබෑ බුද්ධිමත් කොමියුනිස්ට්වාදියෙකු වීමට අපේක්ෂා කල නොහැකිය. මක්නිසාද යත්, මාක්ස්වාදය පිලිබඳව ඊට වඩා හොඳ ලේඛන ලෝකයේ කොතැනකවත් ලියැවී නැති බැවින්ය.”(41)

***

ජී ප්ලෙකනොව්ගේ Fundamental Problems of Marxism available කෘතිය ඩොලර් 7.65 ක මිලට මේරිං ප‍්‍රකාශකයින් වෙතින් ලබාගත හැකිය.

The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left ඩේවිඩ් නෝර්ත්ගේ available කෘතිය මේරිං පොත් වෙතින්, ගන පිටකවරය සහිතව, සාමාන්‍ය පිටකවරය සහිතව හා Kindle හා ePub ස්වරූපවලින් සහන මිලට දැන් ලබාගත හැකිය.

සිංහල පරිවර්තනය සඳහා සටහන්:

* Slavophilism හෙවත් ස්ලාවානුරාගීවාදය යනු ස්ලාව් සහ විශේෂයෙන් රුසියානු සංස්කෘතිය බටහිර යුරෝපීය සංස්කෘතියට ඉහලින් ඔසවා තබමින්, රුසියාව තුල බටහිර බලපෑමට එරෙහි ව කටයුතු කල බුද්ධිමතුන්ගේ ප‍්‍රවනතාවකි.

සටහන්:

1. “Essays on the History of Materialism” Selected Philosophical Works', 2 වන වෙලුම (මොස්කව්: ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස්, 1976), පි. 158.

2. “On the Materialist Conception of History” Selected Philosophical Works, 2 වන වෙලුම (මොස්කව්: ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස්, 1976), පි. 235.

3. එම, පිටු 235-236.

4. එම, පි. 237.

5. Selected Philosophical Works, 1 වන වෙලුම (මොස්කව්: ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස්, 1974), පි. 402 [ඇලකුරු එක් කොට ඇත].

6. එම, පි. 416.

7. එම, පිටු 416-17.

8. එම, පි. 422.

9. “Our Differences” Selected Philosophical Works, 1 වන වෙලුම, පි. 164.

10. “Cant Against Kant' or Herr Bernstein’s Will and Testament'” Selected Philosophical Works, 2 වන වෙලුම, පි. 352.

11. “N.G. Chernyshevsky’s Aesthetic Theory'” Selected Philosophical Works, වෙලුම 5 (මොස්කව්: ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස්, 1981), පි. 223.

12. එම, පි. 225.

13. එම, පි. 648.

14. ඇලෙක්සැන්ඩර් කේ. වොරන්ස්කි, Art as the Cognition of Life: Selected Writings 1911-1936, translated and edited by Frederick Choate ( ඕක් පාර්ක්, MI: මෙහ්රින්ග් බුක්ස්, 1998), පි. 120.

15. නිකොලායි වැලන්තිනොව්,Encounters with Lenin (ලන්ඩන්: ඔක්ස්ෆඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 1968), පිටු 180-81.

16. “In Memory of Plekhanov” ඩේවිඩ් නෝර්ත්ගේ The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left කෘතියෙහි ඇතුලත්ය - ( ඕක් පාර්ක්, මිචිගන්: මේරිං බුක්ස්, 2015), පිටු 281-82.

17. ටර්-වේගනියන්: G. V. Plekhanov: An Attempt at a Characterization of his Socio-Political Views, (මොස්කව් 1924).

18. විල්හෙල්ම් ටෙල් ”13 වන සියවසේ අවසාන භාගයේ සිට 14 වන සියවසේ ආරම්භය දක්වා ස්විට්සර්ලන්තයේ විසූ බව සැලකෙන ජනප‍්‍රවාදගත ජනප්‍රිය වීරයා. දක්ෂ දුනුවායෙකු හා සටන්කරුවකු වූ ඔහු ඔස්ට්‍රියාවෙන් හා ශුද්ධ රෝමන් අධිරාජ්‍යයෙන් සිය රට නිදහස් කර ගැනීමට සටන් වැදුනු බව කියැවේ.

19. ටර්-වේගනියන්, පිටු 42, 43.

20. ජී.වී.ප්ලෙකනොව්,Sochinenia, ඞී. රියසනොව් සංස්කරනය, 1 වන වෙලුම (මොස්කව්, 1922), පි. 70.

21. ටර්-වේගනියන්, පි. 30.

22. එම, පි. 53.

23. එම, පි. 35.

24. එම, පි. 56.

25. Sochinenia, 1 වන වෙලුම, පි. 134.

26. එම

27. එම, පි. 220.

28.Selected Philosophical Works, 1 වන වෙලුම, පි. 339.

29. Плеханов Г.В. Избранные философские произведения в пяти томах. Том 1. (М., 1956), с. 72.[ජී.වී. ප්ලෙකනොSelected Philosophical Worksනි, 1 වන වෙලුම, පිටු 68-69].

30. එම

31. එම

32. එම, පි. 99 [එම, පි. 94].

33. එම, පි. 108 [එම, පි. 102].

34. Writings of Leon Trotsky 1939-40 (නිව්යෝර්ක්: පාත් ප්‍රෙස්, 1973), පි. 56.

35. Плеханов Г.В. Избранные философские произведения в пяти томах. Том 1., с. 110. Selected Philosophical Works, 1 වන වෙලූම, පි. 104].

36. සැමුවෙල් බරොන්,Plekhanov: The Father of Russian Marxism (ස්ටැන්ෆර්ඩ්: ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 1963), පි. 114.

37. “Our Differences'” Selected Philosophical Works, 1 වන වෙලුම, පි. 346.

38. එම, පි. 419 [එම, පි. 400]. ප්ලෙකනොව්ගේ දේශනයෙහි පෙල අප මෙහිදී භාවිත කරන්නේ 1920 ගනන්වල ඔහුගේ එකතු කල කෘතීන්හි ප‍්‍රකාශයට පත් කොට ඇති ස්වරූපයෙනි. (බලන්න, 24 වැනි වෙලුම, මොස්කව් 1927, පිටු 319-320). 1950 ගනන්වල දී නිකුත් වූ වෙලුම් පහකින් සමන්විත ප්ලෙකනොව්ගේ තෝරාගත් දාර්ශනික කෘතීන්හි මෙම පෙල පල වී ඇත්තේ ඔහුගේ දේශනයේ දෙවැනි පිටපත ලෙසිනි. ඒ සමග එහි ”මුල්” ස්වරූපය ද දක්වා තිබූ අතර, එය අන්තර්ගතය අතින් ගත් විට දෙවැන්නට සර්වසම විය.

39. ට්‍රොට්ස්කි මෙහිදී සඳහන් කරන්නේ, 1905 න් පසුව ධනපති කැඩෙට් පක්ෂය සමග සන්ධානයකට ප්ලෙකනොව් වඩවඩාත් අවස්ථාවාදී ලෙස දැක්වූ පක්ෂපාතිත්වයයි.

40. ලියොන් ට්‍රොට්ස්කි, 1905, පරිවර්තනය: අන්යා බොස්ටොක් (නිව්යෝර්ක්: රැන්ඩම් හවුස්, 1971), පි. 332.

41. වී. අයි. ලෙනින්, Collected Works, 32 වන වෙලුම (මොස්කව්: ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස්, 1977), පි. 94.

මෙම ලිපිය 2016 දෙසැම්බර් 5 වන දින ඉංග්‍රීසි බසින් පල විය.

Loading