ලෝක යුද්ධය හා විප්ලවය: 1914-1917

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකු වන නික් බීම්ස් විසින් අප්‍රේල් 8 වන සෙනසුරාදා පවත්වන ලද දේශනයේ ලිඛිත වාර්තාව අපි මෙසේ පලකරන්නෙමු. මෙම දේශනය, 1917 රුසියානු විප්ලවයේ සියවස් සංවත්සරය සිහි කරනු වස් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කෙරුනු දේශන පහකින් යුත් දේශන මාලාවේ තෙවැන්නයි.

යුද්ධය හා විප්ලවය: 1914-1917 මැයෙන් මා අද දින පවත්වන දේශනයේ අක්ෂය වනුයේ මෙම දේශන මාලාව ආරම්භ කරමින් ඩේවිඩ් නෝර්ත් විසින් පල කෙරුනු අතිශය වැදගත් කරුනකි.

රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන්දැයි ගෙන හැර දැක්වූ හේතු 10න් 7 වැන්න ලෙස ඔහු දැක්වුයේ පහත දැක්වෙන නිරීක්ෂනයයි:

“රුසියානු විප්ලවය විද්‍යාත්මක සමාජ චින්තනයේ වර්ධනයෙහි තීරක සිද්ධියක් ලෙස බරපතල අධ්‍යයනයක් ඉල්ලා සිටී. 1917 දී බෝල්ශෙවිකයන්ගේ ඓතිහාසික ජයග‍්‍රහනය විදහා දැක්වූයේ හා එමගින් සාක්ෂාත් කෙරුනේ විද්‍යාත්මක භෞතිකවාදී දර්ශනවාදය සහ විප්ලවවාදී භාවිතය අතර වන සාරභූත සම්බන්ධතාවයි.”

එකිනෙක හා බැඳුනු හේතූන් තුනක් නිසා මෙම ප‍්‍රවිෂ්ටය අත්‍යවශ්‍ය වෙයි:

පලමුව, පලමුවන ලෝක යුද්ධයේ ස්වභාවය, එහි ප‍්‍රභවයන්, ඊට පාදක වූ හේතුන් හා අපේ කාලයට එහි ඇති චිරස්ථායි වැදගත්කම හා අදාලත්වය වටහා ගැනීමේ යතුර වන්නේ ඒ සඳහා වන භෞතිකවාදී ප‍්‍රවිෂ්ටයකි.

දෙවනුව, යුද්ධය නිර්මානය කල ගෝලීය ධනේශ්වර ක‍්‍රමයේ විපර්යාසයන් තුලින්ම, රුසියානු විප්ලවයේ වෛෂයික හේතුන් ද ඉස්මතු වී එන අයුරු නිශ්චය කර ගැනීමට එය අපට අවකාශ සලසයි.

තෙවනුව, 1917 ඔක්තෝබරයේ බෝල්ශෙවිකයන්ගේ නායකත්වය යටතේ කම්කරු පන්තිය සාර්ථකව බලය අල්ලා ගැනීමට මග පෑදූ, අන් හැමට වඩා ලෙනින් විසින් වර්ධනය කෙරුනු, විප්ලවවාදී මූලෝපායයේ සාරභූත අන්තර්ගතය ග‍්‍රහනය කර ගැනීමට එය අපට මග පාදා දෙයි.

මෙම සිදුවීම් සිද්ධි වශයෙන්ම දිග හැරුනු ආකාරය ද ඒ පිලිබඳ ලෙනින්ගේ දේශපාලන විශ්ලේශනය ද අප විමසා බැලීමේ දී, දැනට යම්තාක් දුරකට වියුක්ත රූපාකාරයෙන් මෙහි දැක්වෙන කරුනු පැහැදිලි වෙතැයි මම අපේක්ෂා කරමි.

පලමු ලෝක යුද්ධයට වෛයික හේතු

අපි පලමුවන ලෝක යුද්ධය පිලිබඳ ප‍්‍රශ්නය කරා යොමු වෙමු. එය ඇවිලී ගිය 1914 අගෝස්තු 4 දින සිට වසර සියයකට වඩා ඉකුත්ව ගොස් ඇති අද දවසේ ද එහි සම්භවය මතභේදාත්මකව පවතී. ඊට හේතුව වන්නේ, සමකාලීන සිදුවීම් විශ්ලේෂනය කිරීමෙහි ලා එහි ඇති සෘජු අදාලත්වයයි.

දල වශයෙන් කිවහොත් මේ පිලිබඳව එකිනෙක හා ගැටෙන ආස්ථානයන් දෙකකි - එනම්, මාක්ස්වාදයේ ආස්ථානය හා ලිබරල් ධනේශ්වර පාන්ඩිත්‍යයේ විවිධ රූපාකාරයන්ය.

එහි පුලුල්තම ප‍්‍රකාශන සංක්ෂිප්තව ගෙන හැර දැක්වීමේදී මාක්ස්වාදී විශ්ලේෂනය වන්නේ මෙයයි: යුද්ධය, නිෂ්පාදනයේ ධනේශ්වර මාදිලිය තුල ගැඹුරින් මුල් බැස ඇති වෛෂයික හා නොවිසඳිය හැකි ඝට්ඨනයන්හි ප‍්‍රතිඵලයකි. එනම්, ආර්ථිකයේ ගෝලීය ස්වභාවය ද ලාභය මත පදනම් වූ පර්යාය රඳා සිටින ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර ගැටුමේ ප‍්‍රතිඵලයකි.

මීට පටහැනි න්‍යායපත‍්‍රයන් සියල්ල පහත දැක්වෙන සංකල්පයට සිඳවිය හැකිය: යුද්ධය දේශපාලන අත්වැරදි, අවගනනයන් හා සාවද්‍යක විනිශ්චයන්හි ප‍්‍රතිඵලයකි. වඩාත් නැනවත් මොලවලින් හසුරුවන ලද්දේ නම් එය යම් ආකාරයකින් මග හැර ගත හැකිව තිබිනි.

මෙකී එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ තක්සේරු කිරීම් දේශපාලන ප‍්‍රයුක්තීන් සමග එසැනින්ම බැඳී පවතී. මාක්ස්වාදී විශ්ලේෂනය නිවැරදි නම්, ඉන් ක්ෂනිකවම ගලා එන්නේ ධනේශ්වර පෞද්ගලික ලාභය හා ජාතික රාජ්‍ය පද්ධතිය අවසානයකට ගෙන එමින් නව සමාජ හා ආර්ථික පර්යායක් නිර්මානය කිරීමෙන් තොරව යුද්ධය හා සමූලඝාතනය අවසන් නොකල හැකි බවයි.

මිනිස් ඉතිහාසය තුල එතෙක් සිදු කෙරුනු දැවැන්තතම විනාශය ගෙන ආ සිව් වසරක යුද්ධයේ වගකීමෙන් එහි පටන් ගැන්මේ සිටම තමනුදු මිදී, තම නායකත්වයෙන් පැවැති ධනේශ්වර ක‍්‍රමය ද ඉන් නිදහස් කර ගැනීමට, එම යුද්ධයේ මුලසුන හොබවනු ලැබූ ධනේශ්වර දේශපාලනඥයන් විසින් තැත් කරනු ලබන්නේ මේ නිසාය. බ්‍රිතාන්‍යයේ යුදකාලීන අගමැති ලොයිඩ් ජෝර්ජ්ට අනුව එය නැගී ආවේ නොදැනීම වාගේය. ඔහුට අනුව, යුද්ධයේ පත්ලට මහබලවත්හු “ලිස්සා ගියෝය, නැතහොත්, එතුලට පැකිලී ඇද වැටුනාහ.” ජාතීහු “යුද්ධයේ පැසී බුබුලු දමන කටාරම අයිනේ සිට එතුලට ලිස්සා වැටුනෝය.” (1)

ප‍්‍රථම ලෝක යුද්ධය, ලෝක ධනේශ්වර පර්යායේ ප‍්‍රතිවිරෝධයන්හි ප‍්‍රචන්ඩ පුපුරායාමක් ලෙස දැක්වෙන මාක්ස්වාදී විශ්ලේෂනය ප‍්‍රතික්ෂේප කිරීම සඳහා ධනේශ්වර දේශපාලකයන් අනුයමින් ධනපති ඉතිහාසඥයෝ ද තමන්ට හැකි සෑම ප‍්‍රයත්නයක් ම දැරූහ. උදාහරනයක් ලෙස, බ්‍රිතාන්‍ය ඉතිහාසඥ නීල් ෆර්ගියුසන්ට අනුව, ව්‍යාපාරිකයන්ට යුද්ධයක් අවශ්‍ය වූ බවට කිසිදු සාක්ෂ්‍යයක් නොමැති තරම්ය. ඔහු පවසන්නේ, හරියටම කිවහොත්, යුද්ධයේ ප‍්‍රතිවිපාක පිලිබඳව ඔවුන් බියපත්ව සිටි බවයි. ඔහු අවධාරනය කරන්නේ, එබැවින් යුද්ධයේ ප‍්‍රභවයන් පිලිබඳ මාක්ස්වාදී අර්ථකථනය,“එය පෝෂනය කල රාජ්‍යයන් බොහොමයක් ද සමග ඉතිහාසයේ කුනු කූඩයට දැමිය හැකි” (2) බවයි. අවපාතයන් හා ආර්ථික අර්බුද කිසිම ව්‍යාපාරිකයෙකුට අවශ්‍ය නොවන නමුත් ඒවා ඇති වන බව මීට ප‍්‍රතිචාර ලෙස යමෙකුට පැවසිය හැකිය.

එය හුදු අත්වැරදි, අවගනනයන් හා සාවද්‍ය විනිශ්චයන්හි ප‍්‍රතිඵලයක් පමනක් වී නම්, යන්තම් දශක දෙකක ඇවෑමෙන් “සියලූ යුද්ධ අවසන් කිරීමේ යුද්ධයට” එනම් 1939 දී දෙවැනි ලෝක යුද්ධය, ඊට ද වඩා දැවැන්ත ව්‍යසනයක් ඇති කරමින් පුපුරා ගියේ මන්ද? තව ද ලෝක යුද්ධ දෙකටම මග පෑදූ තතු හා කැපී පෙනෙන ලෙසම සැසඳෙන ආකාරයේ තතුවලට - බුබුලු දමමින් පැසෙන තත්වයට ගිනියම් වූ නැගෙනහිර යුරෝපය, දකුනු චීන මුහුද, කොරියාව, මැද පෙරදිග ඇතුලු තවත් නො ගිනියහැකි තරම් තැන්වලින් ද ප‍්‍රධාන ධනපති බලයන් අතර ඉහල යන ආතතීන්ගෙන් ද සැදුම් ලත් තතුවලට - ලෝකය අද දින මුහුන පා සිටින්නේ මක්නිසාද?

මාක්ස්වාදය, යුද්ධය පිලිබඳ තම විශ්ලේෂනය පදනම් කරන්නේ, ජර්මානු න්‍යායාචාර්ය ක්ලෝස්විට්ස් විසින් 19 වන සියවසේ දී ඉදිරිපත් කරන ලද පහත දැක්වෙන සිද්ධාන්තය මතය: යුද්ධය නම්, වෙනත් ආකාරයකින් දිගටම පවත්වා ගෙනයන දේශපාලනයයි.

එසේ වී නම්, පලමුවන ලෝක යුද්ධය පැතිර යාමට ආසන්න කාල පරිච්ඡේදයේ දී පැවැති, එයට පදනම් වූ දේශපාලන සබඳතා මොනවාද?

ඒවා ග‍්‍රහනය කල හැක්කේ විද්‍යාත්මක - එනම්, අවසාන විග‍්‍රහයේ දී දේශපාලන සබඳතා ධනේශ්වර ආර්ථිකයේ වර්ධනය තුල පිහිටුවන භෞතිකවාදී - විශ්ලේෂනයක් මගිින් පමනකි.

සත්තකින්ම යුද්ධයට එලැඹීමේ තීන්දුව ද ඇතුලු තීරන ගනු ලබන්නේ ධනේශ්වර දේශපාලකයන් විසිනි. අසවල් දිනයට යුද්ධය කඩා පාත් විය යුතුයැයි කියැවෙන කිසිදු ආර්ථික න්‍යායක් නැත.

එහෙත් එකී දේශපාලකයන්ගේ තීරන හැඩ ගස්වනු ලැබ ඇත්තේ, ඔවුන් ක්‍රියා කරන දේශපාලන හා ආර්ථික රාමුව විසිනි. එම රාමුව තුල තමන් විසින් නායකත්වය දෙනු ලබන ධනපති ජාතික රාජ්‍යයේ උත්සුකයන්හි ප‍්‍රගමනය අපේක්ෂාවෙන් ඔවුහු ක්‍රියා කරති. එක අවස්ථාවක දී, එය තමන්ට කෙතෙක් රිසි හෝ නොරිසි වුව, ඔවුන් අබිමුව පවතින විකල්පයන් අතරින් අඩුම නපුර සහිත විකල්පය යුද්ධයට යාමේ තීරනය බවට පත්වෙයි.

පුලුල් ලෙස බැලූ කල, පලමුවන ලෝක යුද්ධය ඇවිල යාම දක්වා වූ කාල පරිච්ඡේදය එකිනෙකින් වෙනස් වකවානු දෙකකට බෙදී යයි.

1789-93 ප‍්‍රන්ස මහා විප්ලවය නව ඓතිහාසික අවධියකට - එනම්, යල් පිනූ වැඩවසම් රාජ්‍යය පෙරලා දමා, ධනේශ්වර ජාතික රාජ්‍යවල වර්ධනය සඳහා මග හෙලි කර දීමේ අවධියට - දොර විවර කලේය.

1789 න් ඇරැඹී 1871 දක්වා වූ කාල පරිච්ඡේදය තුල ජාතික යුද්ධ හා විප්ලව මාලාවක් හරහා ධනේශ්වර ජාතික රාජ්‍යවල නූතන රාමුව සංස්ථාපනය වනු දක්නා ලදී. ෆ‍්‍රැන්කෝ-ප‍්‍රසියානු යුද්ධය අවසානයේ, බිස්මාර්ක් විසින් ජර්මන් ජාතික රාජ්‍යය පිහිටුවීමෙන් එය කුලු ගැන්විනි.

ධනේශ්වර ක‍්‍රමය යටතේ නිෂ්පාදන බලවේගවල වර්ධනයට, කාර්මික උතුරු දිග ප‍්‍රදේශවල ජයග‍්‍රහනයෙන් කෙලවර වූ ඇමරිකානු සිවිල් යුද්ධය ද සමග මෙම ජාතික රාජ්‍ය දැවැන්ත පිනුම්පිත්තක් සම්පාදනය කලේය. කෙසේ වෙතත්, එම ක්‍රියාදාමයම, නව අවධියකට උපත ලබා දුන්නේය.

19 වන සියවසේ අවසාන කාර්තුව හා 20 වන සියවසේ මුල් දශකය සංලක්ෂනය වූයේ වැඩවසම් පරමාධිපත්‍යවාදයේ සුන්බුන් වලට එරෙහි ජාතික යුද්ධවලින් නොව, නැගෙමින් පැවැති ධනේශ්වර මහා බලවතුන් අතර යටත් විජිත සඳහා වූ අරගලයෙනි. උදාහරනයක් ලෙස, 1875 වන විට අප‍්‍රිකාවේ යටත්විජිතකරනය ආරම්භවී වත් නොතිබුන තරම්ය. කෙසේ වෙතත්, එම ශතවර්ෂයේ අවසානය දක්වා වූ වසර 25 ක කාලය තුල එය මුලුමනින්ම පාහේ බ්‍රිතාන්‍යය, ප‍්‍රන්සය, ජර්මනිය හා බෙල්ජියම විසින් කපා වෙන් කොට ගෙන තිබින.

මෙම ආර්ථික වර්ධනයන් විසින් ලෝකයේ දේශපාලන ව්‍යූහය පරිවර්තනයකට භාජනය කෙරින. 19 වන සියවසේ මුල් අඩ තුල ලෝකයේ අධිපති ධනේශ්වර බලවතාව සිටියේ මහා බ්‍රිතාන්‍යය යි. ලෝකය හැඩ ගැස්වූ කම්මල වූ එය සාගර ද පාලනය කලේය.

එහෙත් යුරෝපා මහාද්වීපය තුල දැවැන්ත කාර්මීකරනයකට බඳුන් වෙමින් සිටි ජර්මනිය ද පෙරදිගින් ජපානය ද බටහිරෙන්; ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධය හා ඉනික්බිති පිලිපීනය යටත් කර ගැනීම තුල යටත්විජිත පොරයට එක් වූ; එක්සත් ජනපදය ද ආදී වශයෙන් වූ නව ප‍්‍රතිවාදීන් ඉස්මතු වෙමින් සිටියේය.

මේ සෑම ධනේශ්වර බලවතෙක්ම, ජර්මනිය තුල යොදාගන්නා වැකියකින් කිවහොත්, “දිදුලන සූර්යයා තුල තම ස්ථානය” සොයා යමින් සිටියේය. එහෙත් එකී ප‍්‍රයත්නය තුල ඔවුන්ගේ ධාවන පථයන් පිහිටියේ එකිනෙකා හා ගැටෙන පරිද්දෙනි.

ජර්මනිය යටත් විජිත පිහිටුවීම සම්බන්ධයෙන් මහ රැජිනගේ ආන්ඩුව විපක්ෂ නොවන්නේ කවර ස්ථානයන් සඳහා දැයි එක් අවස්ථාවක දී ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයෙකුගෙන් විමසීය. බ්‍රිතාන්‍යයාගේ පිලිතුර වූයේ, ජර්මානු යටත්විජිත බ්‍රිතාන්‍ය විජිතවලට යාබදව හෝ බ්‍රිතාන්‍ය යටත්විජිත දෙකක් අතර නොපිහිටනා තාක් කල් වයිට්හෝල්හි රජය ජර්මානු විජිත සම්බන්ධව පරිපූර්න සුඛනම්‍ය පිලිවෙතක් අනුගමනය කරන බවයි. වෙනත් වචනවලින් කිවහොත් ජර්මානු තානාපතිට ලැබුන පිලිතුර “එය කොතැනකවත් නොකල හැකි” බවයි.

ධනේශ්වර මහ බලවතුන් අතර ආතතීන් උත්සන්න වෙමින් පැවතින. 1898 දී, ෆැෂෝඩා සිද්ධිය ලෙස හඳුන්වනු ලබන සිදුවීම් තුල නයිල් ග‍ඟේ ඉහල ප‍්‍රදේශයේ දී එකිනෙකාගේ සන්නද්ධ හමුදා ගැටුනු අවස්ථාවේ, බ්‍රිතාන්‍යය සහ ප‍්‍රන්සය අතර යුද්ධයක් හට ගැනීමට ඉතා ආසන්න තත්වයක් ඇති විය.

දකුනු අප‍්‍රිකාවේ බෝයර් වරුන්ට ජර්මනියේ කයිසර් අධිරාජයා සිය සහාය පල කල විට කලබැගෑනියක් ඇති විය. ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයේ ආධිපත්‍යය යටතේ බෝල්කන්වරු, ඔස්ට්‍රියානු පාලනයට එරෙහිව ජාතික ප‍්‍රතිවිරෝධයෙන් කැකෑරෙන වෙඩි බෙහෙත් හෙප්පුවක තත්වයකට පත්ව සිටියහ. මේ වූ කලී, සිය උත්සුකයන් බටහිර දිග ප‍්‍රදේශ කරා පැතිරවීමට මං සොයමින් සිටි රුසියාව සෘජුවම තම දාදු කැට පරදු තැබීමට ලැබුනු අවස්ථාවක් විය.

රාජ්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලවල මෙම නව කාල පරිච්ඡේදයේ ගම්‍යාර්ථ සම්බන්ධයෙන් තක්සේරු කෙරෙමින් තිබුනි.

1907 දී බ්‍රිතාන්‍යා විදේශ කාර්යාලයේ උපකාරක ලේකම්වරයෙකු වූ අයර් ක්‍රෝ, විදේශ ලේකම් ග්‍රේ සාමිවරයා සඳහා විස්තීර්න සිහිපතක් සකස් කලේය. ඔහුට පැවරී තිබුනේ ආර්ථිකය හා ආනුභාවය සීග‍්‍රයෙන් ප‍්‍රසාරනය වන තතු තුල, ජර්මනියේ අභිප‍්‍රායයන් සාමකාමී වනු ඇති ද නැතහොත් යුදවාදී වනු ඇති දැයි තක්සේරු කිරීමේ කර්තව්‍යයයි.

ඔහු නිගමනය කලේ, ජර්මනියේ හා ප‍්‍රසාරනය වෙමින් පැවැති එහි ගෝලීය උත්සුකයන්ගේ වර්ධනයම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට තර්ජනයක් බවයි. එබැවින් ජර්මනියේ අභිප‍්‍රායයන් පිලිබඳ තක්සේරුව කවරක් වුව, බ්‍රිතාන්‍යය යුද්ධයට සූදානම් විය යුතුව තිබින. ඉන් යන්තම් සත් වසරක් ගතවත්ම එම යුද්ධය ඇවිල ගියේය.

1914 මහා යුද්ධයට මුල පිරූ ආසන්නතම සිද්ධිය වූ ඔස්ට්‍රියානු මහාදිපාද ෆර්ඩිනඩ් බොස්නියාවේ සරයේවෝහි දී ජූනි 28දා සර්බියානු ජාතිකවාදියෙකු අතින් ඝාතනය වීම අහඹුවක් විය. එහෙත් ඉනික්බිති සිදු වූ දේ කිසිසේත් අහඹුවක් නොවේ.

මධ්‍යම හා ගිනිකොනදිග යුරෝපය තුල අධිරාජ්‍යයක් පාලනය කරමින් සිටි ඔස්ට්‍රියානු රජය, එය බිඳී යතැයි බියපත් වූයේය. ඒ අනුව, සර්බියානුන් පෙරමුන ගෙන සිටියා වූ ද රුසියාවෙන් ඉදිරිපත් වූ වඩාත් විශාල තර්ජනයක පිටුබලය ලද්දා වූ ද හිස ඔසවමින් තිබූ ජාතිකවාදී ප‍්‍රතිරෝධය සුන් කර දැමීමට එය අධිෂ්ඨාන කොට ගෙන සිටියේය. යුද්ධයක් අවුලුවා ගැනීමේ අරමුනින්, ඝාතන පරීක්ෂනය සම්බන්ධයෙන් සර්බියාව වෙත, කිසිසේත් ඉටු කල නොහැකි ඉල්ලීම් මාලාවක් නිකුත් කිරීමට එය කටයුතු කලේය.

ඔස්ට්‍රියාවේ ඇති වී තුබූ තත්වය යුරෝපයේ සියලු මහ බලවතුන්ගේ ආර්ථික හා මූලෝපායාත්මක උත්සුකයන් සමග වෙලී නොපැවතුනි නම්, යුද්ධය සුලු ප‍්‍රාදේශීය හබයකට සීමා වන්නට තිබින.

බර්ලිනයේදී හොහැන්සොලර්න් තන්ත‍්‍රය, සර්බියාවට එරෙහිව අවශ්‍ය සෑම පියවරක් ම - එමගින් රුසියාව සමග යුද්ධයකට පාර කැපුනේ වී වුව - ගැනීමට, සිය ඔස්ට්‍රියානු සගයන් වෙත “අත්සන් තැබූ හිස් චෙක් පතකට” සමාන සහයක් පිරිනැමීය. ආන්ඩුවේ නිල නිවේදනයකින් දැක්වුනු පරිදි, රුසියාවේ හා ප‍්‍රන්සයේ පිටුබලය ලද සර්බ්වරුන්ට ඔස්ට්‍රියානු රාජාන්ඩුවේ ස්ථාවරභාවය අනතුරේ හෙලීමට ඉඩ හලහොත්, එමගින් ජර්මනියේ තත්වය දුර්වල වෙතැයි සැලකින. පරදු තැබී තුබූ දේ අතර, ජර්මනියට අතිශය වැදගත් වූ ආර්ථික උත්සුකයන් ද ඇතුලත්ව තිබිනි.

1917 සිහිපත් කරමින් ජර්මානු දේශපාලනඥ ගුස්ටාව් ස්ට්‍රෝස්මාන්, තමන් පෙනී සිටි බලගතු කාර්මික කවයන් තුල පැවැති මතිමතාන්තර මෙසේ පිඬු කොට දැක්වීය: ජර්මනිය දැක තිබුනේ, “අපේ ආර්ථිකයේ ජීවන හුස්ම” වඩ වඩාත් සීමා කෙරෙන අතරතුර “අන්‍යයන් ලොව අභිභවනය කරන” අයුරුය, “අනුන්ගේ ජයකොන්තය යටතේ” පවත්නා ලෝකයකි.(3)

ජර්මනිය සමග ගැටුමේ දී රුසියාවට සහාය දීම තුල ප‍්‍රන්සය විසින් පරදුවට තැබුනේ ද ඊට කිසිසේත් නොඅඩු වැදගත්කමකින් යුතු දේ ය. 1871 දී ජර්මනිය විසින් අල්සාස්-ලොරේන් ප‍්‍රාන්තය ඈඳා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස නැගී ආවේ, මාක්ස් සංජානනාත්මකව පෙර දැක තුබූ පරිදි ම, ප‍්‍රන්සය හා රුසියාව අතර ජර්මනියට එරෙහිව දෙපාර්ශ්වයම සන්නද්ධ වන්නා වූ සන්ධානයකි. ප‍්‍රන්සයට මෙහිදී මධ්‍යස්ථව සිටිය නොහැකි විය. මක්නිසාද යත්, පසුකලෙක ප‍්‍රන්ස ජනාධිපති පොයින්කරේ පැහැදිලි කල පරිදි, ශත වර්ෂ කාලක් පුරා පැවැති සන්ධානයේ බිඳ වැටීම මගින් “අප හුදෙකලා කොට අපගේ ප‍්‍රතිවාදීන්ගේ අනුකම්පාව මත යැපීමට අත්හැර දමනු ඇති” (4)නිසාය.

එපරිද්දෙන්ම බ්‍රිතාන්‍යය ද මුහුන දී සිටියේ, සිය පැවැත්ම සම්බන්ධයෙන් මූලික, මූලෝපායයික හා ආර්ථික කාරනාවන්ටය. එහි පිලිවෙතේ පදනම වූයේ, තම අධිරාජ්‍යය, අන් සියල්ලටත් වඩා ඉන්දියාව කොල්ල කෑම, පාදක කොට පැවැති සිය ගෝලීය ආධිපත්‍යයට අභියෝග කිරීමට කිසිදු තනි බලවතෙකුට හෝ කන්ඩායමකට හැකියාවක් නොලැබෙන පරිදි යුරෝපයේ බලතුලනය සුරක්ෂිත කිරීමයි.

බ්‍රිතාන්‍ය රාජකීය නාවුක හමුදාවේ පරිපාලන කටයුතු සිදු කල රාජ්‍ය ආයතනය වන අද්මිරාල්තියෙහි එවකට ප‍්‍රධාන සාමිවරයා වූ වින්සන්ට් චර්චිල්, 1913-14 නාවුක පිරිවැය පිලිබඳ විවාදයේ දී, කැපී පෙනෙන ලෙස ම සෘජු වූ තක්සේරුවක යෙදෙමින් එහි තතු මෙසේ සාරාංශ ගත කොට දැක්වීය.

“අපට ඕනෑ තරම් භූමි ප‍්‍රදේශ ඇත. එකී අතිවිශාල හා කදිම දේපල කිසිවකුගේ අඩන්තේට්ටමකින් තොරව භුක්ති විඳීමේ අයිතිය අප සතු විය යුතු බවට වන අපේ හිමිකම් පෑම ප‍්‍රධාන කොටම ප‍්‍රචන්ඩත්වය මගින් අත්පත් කර ගැනුනු එකක් වන අතර, එය පවත්වා ගෙන යනු ලබන්නේ ද බොහෝ දුරටම බලහත්කාරයෙනි. අන්‍යයන්ට නිරතුරුවම එම හිමිකම් පෑමේ සාධාරනත්වය පෙනී යන්නේ අප එය දකිනවාට වඩා අඩුවෙනි.”(5)

ඒ අනුව, නොයෙකුත් බහුඅරුත් දනවන ප‍්‍රකාශයන්ගෙන් අනතුරුව ප‍්‍රන්සයට සහය දීමට තීරනය කල බ්‍රිතාන්‍යය, ජර්මනියට එරෙහිව යුද්ධයට ප‍්‍රවිෂ්ට වූයේය.

සත්තකින්ම යුද්ධයේ සැබෑ අරමුනු කිසිදිනෙක ප‍්‍රකාශයට පත් කෙරුනේ නැත. ලාභාපේක්ෂාවන් ද සම්පත් යටත්විජිත හා වෙලඳපොලවල් අත්පත් කර ගැනීමේ උත්සුකයන් ද මත තමන් විසින් දේශයේ සුපුෂ්පිත යොවුන් කුසුම් මිය යාමට හා අංගවිකල බවට පත්වීමට යුද බිම් කරා දක්කනු ලැබෙන බව රජයකට කෙසේනම් තම ජනයාට පැවසිය හැකි ද? මාධ්‍ය හරහා නිමක් නැති මුසාවාද වගුරමින් මහ බලවත්තු සිය සැබෑ අභිප‍්‍රායයන් වසන් කිරීමේ මං සෙවූහ.

ජර්මනිය තුල යුද්ධයට එලඹුනේ, රුසියාවේ මෘගකම්වලට එරෙහිව ජර්මානු සංස්කෘතිය හා ආර්ථිකය පවත්වා ගැනීම සඳහා “පීතෘභූමියේ ආරක්ෂාව” වෙනුවෙන් යුද වදින බව කියමිනි.

අන්තනෝමතික සාර් තන්ත‍්‍රය සමග සන්ධානගත ව සිටියේ වුව ප‍්‍රන්සය ප‍්‍රකාශ කලේ, තමන් පර්සියානු ඒකාධිපතිවාදයට එරෙහිව ප‍්‍රන්ස දේශපාලන ජීවිතයේ පරමාදර්ශයන් හා ප‍්‍රන්ස විප්ලවයේ උරුමය - නිදහස හා සමානාත්මතාවය - ආරක්ෂා කිරීම වෙනුවෙන් යුද වදින බවයි.

තමන් යුද්ධයට අවතීර්න වූයේ “හුන්වරුන්” විසින් ඒ සා අශිෂ්ට ලෙස උල්ලංඝනය කෙරුනු “කුඩා බෙල්ජියමේ” මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීමටයැයි බ්‍රිතාන්‍යය ප‍්‍රකාශ කල ද ඔවුන් කලේ ද එයමය.

තවද 1917 අප්‍රේල් මස එක්සත් ජනපදය තමාගේම මූලෝපායයික හා මූල්‍යමය උත්සුකයන් ආරක්ෂා කර ගැනීම සඳහා යුද්ධයට එලැඹෙන කල්හි, මෙම යුද්ධය කෙරෙන්නේ “ලෝකය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ආරක්ෂා සහිත ස්ථානයක් බවට පත් කිරීම” සඳහා යැයි ප‍්‍රකාශ කරමින් එය මේ බේගල් කන්දට තවත් මුසාවක් එක් කලේය.

දෙවැනි ජාත්‍යන්තරය පාවාදීම

යුද්ධයේ ඇවිල යාම මාක්ස්වාදී ව්‍යාපාරයට මවිතකර දෙයක් නොවීය. ඇත්තෙන්ම 1887 තරම් ඈතක දී ෆ්‍රෙඞ්රික් එංගල්ස් එහි පෙරටු සේයා දැක තිබින.

දියත් කිරීමට ඉතිරිව තිබූ එකම යුද්ධය වන ප‍්‍රසියා-ජර්මනිය විසින් දියත් කෙරෙනු ඇති යුද්ධය, ලෝක යුද්ධයක් වනු ඇතැයි ද ප‍්‍රචන්ඩත්වයෙන් එය එම කාලයේ සිතා ගන්නට පවා නොහැකි මට්ටම්වලට නැගෙනු ඇතැයි ද ඔහු ලිවීය.

“අසූ ලක්ෂයේ සිට ලක්ෂ සියයක් දක්වා වූ සංඛ්‍යාවක් සෙබලුන් එකිනෙකා ගල ග‍්‍රහනයෙන් ගැනීමට පොර වදිනු ඇති අතර, එම ක්‍රියාදාමය තුල, ඔවුන් විශාල පලඟැටි රංචුවකට වඩා සාර්ථක ලෙස යුරෝපය නිර්වස්ත‍්‍ර කර දමනු ඇත. තිස් වස් යුද්ධයෙන් ජනිත විනාශය වසර තුන හතරකට සම්පීඩනය කොට එය සමස්ත මහාද්වීපය සිසාරා විස්තාරනය කෙරෙනු ඇත: දෙපාර්ශවයේ ම හමුදා හා ජනයා අතර සාගතය හා ව්‍යාධි ද, ලෝක පරිමානව ම්ලේච්ඡත්වය කරා ඇද වැටීම ද, වර්ධනය වන තීව‍්‍ර මංමුලාව හමුවේ වෙලඳාම, කර්මාන්ත හා නය සම්පාදනය සඳහා වූ අපගේ කෘතිම පර්යාය යලි එකලස් කල නොහැකි ලෙස කැඩී බිඳී යාම ද යන මේ සියල්ල කෙලවර වනු ඇත්තේ, විශ්ව පරිමාන බංකොලොත් වීමකින් පැරනි රාජ්‍ය හා ඒවායේ සාම්ප‍්‍රධායික දේශපාලන පර්යාය බිඳ වැටීමෙනි. එම බිඳ වැටීම කවර පරිමානයෙන් සිදු වනු ඇත්දැයි කිවහොත්, රජ කිරුලු දුසිම් ගනනින් කානු වලට පෙරැලී යනු ඇත.”

යුද්ධය කෙසේ අවසන් වනු ඇති ද සහ කවරෙකු එය ජය ගනු ඇති ද යන්න පෙර දැකීම නොකල හැක්කකැයි ලියූ ඔහු වැඩිදුරටත් සඳහන් කලේ, “එක් ප‍්‍රතිවිපාකයක් පමනක් උදක්ම නිසැක” බවයි: එනම්, “විශ්ව පරිමාන වෙහෙසට පත්වීම හා කම්කරු පන්තියේ අවසාන ජයග‍්‍රහනයට කොන්දේසි නිර්මානය වීමයි.”(6)

දෙවැනි ජාත්‍යන්තරය සමන්විත වූයේ මාක්ස්වාදයට බැඳී ඇති බව ප‍්‍රකාශ කර සිටි, මහ බලවතුන් අතර ආතතීන් උත්සන්න වීම පිලිබඳ කල් තබා සටහන් කොට ගෙන සිටි හා වෙලඳපොල සහ ලාභය සඳහා වන අරගලයෙන් ඉස්මතු වන යුද අනතුර පිලිබඳව කල් තබා පෙන්වා දුන් සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂවලිනි.

එහෙත්, යුද්ධය ඇවිල යාමම පමනක් සැලකු කල එය මවිතයට කාරනයක් නොවී නම්, ජාත්‍යන්තරයේ ප‍්‍රමුඛ පක්ෂ ඊට දැක්වූ ප‍්‍රතිචාරය නම් තිගැස්මක් ඇති කලේය.

1914 අගෝස්තු 4දා ජර්මන් හමුදාව ප‍්‍රන්සය ජය ගැනීමේ අපේක්ෂාවෙන් බෙල්ජියමට ඇතුලු වන කල්හි, ජාත්‍යන්තරයේ නායකත්වය දැරූ ජර්මානු එස්පීඩීයේ පාර්ලිමේන්තු නියෝජිතයෝ, යුද වියදම්වලට පක්ෂව එකාවන්ව ඡන්දය දුන්හ. නියෝජිතයන් 92 දෙනා අතරින් 14 දෙනෙකු මෙම තීන්දුවට විපක්ෂ ව හුන් නමුදු, පාර්ලිමේන්තු ඡන්දයේ දී ඔවුහු පක්ෂ විනයට අනුකූල වෙමින් සිය ඡන්දය පාවිච්චි කලෝය. ප‍්‍රන්ස සමාජවාදීහු ද එම මග ම ගනිමින්, තමන්ගේ ජාතියට සහාය පල කර සිටියෝය.

මෙකී තීන්දු, දෙවැනි ජාත්‍යන්තරයේ සමුලුව තුල සම්මත කර ගැනුනු සමුලු යෝජනා මුලුමනින්ම උල්ලංඝනය කිරීමක් විය. 1907 දී ජර්මනියේ ස්ටුට්ගාර්ට් හි පැවැති සම්මේලනයක දී ජාත්‍යන්තරය, තමන්ට අත්‍යවශ්‍යයැයි තමන් සලකන කවර හෝ ආකාරයකින් යුද්ධය වැලැක්වීමට දැරිය හැකි “සෑම ප‍්‍රයත්නයක්ම දැරීම” එහි සෑම පක්ෂයකම කර්තව්‍යය යැයි ප‍්‍රකාශ කෙරුනු සමුලු යෝජනාවක් නිකුත් කොට තිබින.

ඉක්බිති යෝජනාව මෙසේ ගිවිස ගත්තේය:

“කෙසේවෙතත් යුද්ධය ඇවිලී ගියහොත් ඔවුන්ගේ කර්තව්‍යය වනුයේ, ඉක්මනින් එය කෙලවර කිරීමට පක්ෂව මැදිහත් වෙමින්, ජනයා නැගිටුවා ගැනීමට සහ එමගින් ධනේශ්වර පන්ති පාලනය අහෝසි කිරීම ඉක්මන් කිරීමට, යුද්ධය ප‍්‍රභව කොට ඇති කෙරෙන ආර්ථික හා දේශපාලන අර්බුදය උපයෝගී කර ගැනීමයි.” (7)

යුද වලාකුලු ඒකරාශී වෙමින් පැවැති 1912 දී මුලු දුන් බැස්ල් සමුලුව, මෙම යෝජනාව තව දුරටත් වැර ගැන්වීය. ස්ටුට්ගාර්ට් සමුලුවේ වාග් ශෛලිය එලෙසම තබා ගත් එය, 1871 පැරිස් කොමියුනය හා 1905 රුසියානු විප්ලවය ගැන කෙරුනු සඳහන් මගින් තමන් අදහස් කලේ කුමක්දැයි වඩාත් පැහැදිලි ලෙස දැක්වීය.

යුද්ධය සම්බන්ධයෙන් ලෙනින්ගේ ප‍්‍රතිචාරය පදනම් වූයේ, යුද්ධය ඇරඹීමට අවුරුදු ගනනාවකට ඉහත වර්ධනය කෙරුනු විශ්ලේෂනය මතය. එනම්, එය යටත්විජිත හා ලාභ සඳහා කෙරුනු අධිරාජ්‍යවාදී යුද්ධයක් වන බවයි.

දෙවැනි ජාත්‍යන්තරයේ පාවාදීමේ අර්ථය වූයේ, එය මලකුනක් බවට පත්ව ඇති බවයැයි ලෙනින් මුල පටන්ම අවධාරනය කලේය. ඉන් දේශපාලනික වශයෙන්, මතවාදී වශයෙන් හා සංවිධානාත්මක වශයෙන් බිඳී යාම අත්‍යවශ්‍යක විය.

සිදු වී තුබූ දෙයෙහි වැදගත්කම වසන් කිරීමට දැරුනු සෑම ප‍්‍රයත්නයකට ම එරෙහිව මෙම කඩා වැටීම, “පිලිගෙන, එහි හේතු ප‍්‍රත්‍යයන් වටහා ගත යුතුව තිබින. ඒ, සියලු දේශයන්හි වාසය කරන කම්කරුවන් අතර නව්‍ය වූ හා වඩාත් කල් පවත්නා එක්සත්කමක් ගොඩනැගීමට හැකි වනු පිනිසය.”

ලෙනින් සහ විප්ලවවාදී පරාජකවාදය

තුන්වැනි ජාත්‍යන්තරය ලෙස නව ජාත්‍යන්තරයක් ගොඩ නැගීමෙහි ලා ලෙනින්ගේ මූලෝපායික මාවත, යුද්ධය ඇවිල යාමෙන් ඉක්බිතිව පැහැදිලි ලෙස ඉදිරිපත් කෙරුනු“අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධය බවට හරවනු” යන ඉදිරි දර්ශනය තුල පිඬු කොට දැක්වින.

1914 නොවැම්බරයේ දී යුද්ධය සහ රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රය යන මැයෙන් නිකුත් කෙරුනු නිවේදනයකින් මෙසේ ප‍්‍රකාශ කරන ලදී: “වර්තමාන අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධයකට පරිවර්තනය කිරීම යන සටන් පාඨය, කොමියුනය පැවැති සමයේ සිට අනුගමනය කෙරුනු හා 1912 බැස්ල් යෝජනාව තුල ගෙනහැර දැක්වූ එකම නිවැරදි නිර්ධන පන්ති සටන් පාඨයයි. ඉහල වර්ධනයකින් යුත් ධනේශ්වර රටවල් අතර ඇතිවන යුද්ධයක සියලු කොන්දේසිවලින් අනවනු ලැබ ඇත්තේ එයයි.”(8)

ඉනික්බිතිව එලැඹුනු කාල පරිච්චේදය පුරා, එනම්, 1917 ඔක්තෝබරයේ බලය ගැනීමෙන් කුලු ගැන්වුනු රුසියානු විප්ලවයට පූර්ව කාල වකවානුවේ ද එය සිදු කෙරුනු කාල පරිච්චේදය තුල දී ද ලෙනින්ගේ සියලු කටයුතු එල්ල වූයේ හුදෙක් රුසියාව තුල පමනක් නොව ජාත්‍යන්තර පරිමානයෙන් - මෙය විශේෂයෙන් අවධාරනය කල යුතුය - මෙම ඉදිරි දර්ශනය ක්‍රියාවට නැංවීම සඳහාය.

සෑම රටකම කම්කරුවන් මරනයේ හා විනාශයේ දිය සුලිය වෙත ඇද ගන්නා යුද්ධයේ - ලෝක යුද්ධයක - ස්වභාවය අනුව එලඹිය හැකි නිගමනය නම්, නිර්ධන පන්තියේ මූලෝපාය හා උපක‍්‍රම වර්ධනය කල හැකිව තුබුනේ ජාත්‍යන්තර පරිමානයකින්, පොදු ඉදිරි දර්ශනයක පදනම මත පමනක් බවයි. ට්‍රොට්ස්කි පසුකලෙක සඳහන් කල පරිදි, 1914 අගෝස්තුව සියලූ ජාතික වැඩ පිලිවෙලවලට මල බෙරය හැඬවීය.

ලෙනින්ගේ කටයුතුවල කොතෙකුත් වෙනස් පාර්ශ්වයන් හා අංශ පරීක්ෂා කර බැලීමට පෙර, “අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධය බවට හරවනු” යන සටන් පාඨයෙන් සැබවින්ම කුමක් අදහස් කලේ ද යන්න සම්බන්ධයෙන් පවත්නා ඇතැම් දුර්මත පහ කිරීමට මට ඉඩ දෙන්න.

එය රැඩිකල් වාක්‍ය ඛන්ඩයක් නොවීය. අරාජකවාදී, අර්ධ අරාජකවාදී හා සින්ඩිකල්වාදී ප‍්‍රවනතාවයන්ට ඒ සා නෛසර්ගික වූ මෙම මාදිලියේ -එනම්, රැඩිකල් ක්‍රියාමාර්ග පිලිබඳව ඝෝෂාවේ- සුලු ධනපති දේශපාලනයට ලෙනින් අන් සැම දෙයකටම ද වඩා එරෙහි වූයේය.

ඉන් අදහස් වූයේ පාරට බැස සිවිල් යුද්ධයේ අවශ්‍යතාවය නිවේදනය කිරීම නොවේ. එමෙන්ම කෘතිම ආකාරයෙන් අර්බුදය වඩාත් ගැඹුරු කරනු වස් කඩාකප්පල්කාරී වැඩවල හෝ එවැනි අනෙකුත් ක්‍රියාමාර්ගවල -ලෙනින් වරක් පවසා සිටි පරිදි “පාලම් පුපුරවා දැමීමේ”- නිරතවීම ද ඉන් අදහස් නොවීය.

එමගින් විස්තාරනය කරන ලද්දේ, යුද්ධයේ ඓතිහාසික සුවිශේෂිතාව හා ශීඝ‍්‍රයෙන් එය අභිමුඛ වනු ඇති විප්ලවවාදී කර්තව්‍යයන් සම්බන්ධයෙන් ප‍්‍රචාරය, අධ්‍යාපනය හා උද්ඝෝෂනය හරහා ජාත්‍යන්තර කම්කරු පන්තියට පැහැදිලි කර දෙනු පිනිස වන දේශපාලන කටයුතුවල මාවතයි.

මෙම ඉදිරි දර්ශනය රැඩිකල් වාක්‍ය ඛන්ඩ විකිනීමෙන් කෙතෙක් දුරස් වූවක්දැයි 1915 දී ලෙනින්ගේ කර්තෘත්වයෙන් ගෙන එන ලද, අධිරාජ්යවාදී යුද්ධය සිවිල් යුද්ධයකට හැරවීමේ ප‍්‍රථම පියවර ගෙනහැර දක්වන යෝජනාවකින් පෙනී යයි. පහත දැක්වෙන ක්‍රියාමාර්ග ඊට ඇතුලත් විය යුතුය: 1. යුද වියදම්වලට පක්ෂව ඡන්දය දීම අනිවාර්යයෙන්ම ප‍්‍රතික්ෂේප කිරීම; 2) පන්ති සමාදානය පිලිබඳ පිලිවෙතින් මුලුමනින් බිඳී වෙන්වීම; 3. ආන්ඩු විසින් ව්‍යවස්ථාපිත නිදහස් අයිතීන් අහෝසි කරනු ලැබ යුද නීතිය පනවන ලද අවස්ථාවන්හි දී රහස් සංවිධානයක් පිහිටුවා ගැනීම; 4. යුද වැදී සිටින ජාතීන්ගේ සෙබලුන් අතර සහෝදරත්වය වර්ධනයට (සමාගමනයට) සහයෝගය දීම; 5. සෑම ආකාරයකම කම්කරු පන්ති විප්ලවවාදී බහුජන ක්‍රියාවලට සහයෝගය දීම. (9)

එවන් විප්ලවවාදී ක්‍රියාවන් යුද වැදී සිටින රට දුබල කර එහි පරාජයට මග පෑදිය හැකි බව ලෙනින් පැහැදිලිවම දුටුවේය. කෙසේවෙතත්, “තම” අධිරාජ්‍යවාදී මහ බලවතාගේ කැඩීබිඳී යාමට හා පරාජයට දායක වීමෙන් තොරව නිර්ධනයෙකුට “තම” ආන්ඩුවට එරෙහිව පන්ති ප‍්‍රහාරයක් එල්ල කිරීමට හෝ “තම පාර්ශ්වය” සමග යුද වැදී සිටින තවත් රටක කම්කරුවෙකුට සහයෝගය දීමට හෝ නොහැක. (10)

අධිරාජ්‍යවාදයේ ස්වභාවය

ආරක්ෂනවාදයට එරෙහිව, අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධයක් බවට හැරවීමේ විප්ලවවාදී පරාජකවාදය විස්තාරනය කිරීම පදනම් වූයේ, අධිරාජ්‍යවාදයේ ස්වභාවය පිලිබඳව සිදු කෙරුනු විද්‍යාත්මක විශ්ලේෂනයක් මතය.

අධිරාජ්‍යවාදය පිලිබඳ ප‍්‍රශ්නය යුද්ධයට පෙර වසරවලදී මාක්ස්වාදී ව්‍යාපාරය තුල මෙන්ම ඉන් පිටත පුලුල් සමාජය තුල ද සාකච්චාවට බඳුන් වෙමින් පැවතින.

1902 දී, බෝයර් යුද්ධයෙන් අනතුරුව, ඉංග්‍රීසි ජාතික සමාජ ලිබරල්වාදියෙකු වූ ජෝන් හොබ්සන් “අධිරාජ්‍යවාදය: අධ්‍යයනයක්” නමින් ඉහල බලපෑමක් ඇති කල පොතක් ප‍්‍රකාශයට පත් කලේය.

අධිරාජ්‍යවාදය යන යෙදුම අලුත් එකක් නොවීය. එහෙත් අතීතයේ ඉන් අදහස් වූයේ ශක්තිමත් ජාතික රාජ්‍ය්‍යයක තහවුරු වීමයි. “නව අධිරාජ්‍යවාදය” පැරනි අධිරාජ්‍යවාදයෙන් වෙනස් වූයේ, “එකිනෙකා හා තරඟ වැදී සිටින අධිරාජ්‍යයන් පිලිබඳ න්‍යාය හා භාවිතය” සහ මූල්‍ය ප‍්‍රාග්ධනය වානිජ ලාභය මත ආධිපත්‍යය දැරීම යන කරුනු සමග එය වෙලී තිබෙන නිසා යයි හොබ්සන් පෙන්වා දුන්නේය. මේ තතු විසින් මග පාදනු ලැබුවේ එක් අතෙකින්, නිෂ්පාදනය හා වෙලඳාම මගින් වැඩිමනත් යමක් නොලැබෙන, යටත් විජිත රාජ්‍ය හා අල්ලා ගත් ප‍්‍රදේශවලින් ලැබෙන කප්පම් මත වැඩි වශයෙන් ධනය රැස් කෙරෙන, මූල්‍ය පරපෝෂිතකමේ වර්ධනයටය. අනෙක් අතින්, තම ඉමහත් ධනය තම පාලනයට අවනත වන පහල පන්තිවලට අල්ලස් දීමට භාවිත කරමින් මූල්‍ය ප‍්‍රභූ තන්ත‍්‍රයක් නැගී ඒමටය.

1910 දී ඔස්ට්‍රියානු මාක්ස්වාදියෙකු වූ රුඩොල්ෆ් හිල්ෆර්ඩින් මූල්‍ය ප‍්‍රාග්ධනය නම් සිය කෘතිය ප‍්‍රකාශයට පත් කලේය. එමගින් ඔහු, මාක්ස්ගේ අභාවයෙන් පසු ගත ව තිබූ කාලය තුල මූල්‍යයේ සිදු වූ ඉමහත් වර්ධනය සැලකිල්ලට ගනිමින් මාක්ස්ගේ විශ්ලේෂනය පුලුල් කිරීමට ප‍්‍රයත්න දැරීය.

“මූල්‍ය ප‍්‍රාග්ධනය සම්බන්ධ නියාම සහ එහි ක්‍රියාකාරිත්වය පිලිබඳ දැනුමකින් තොරව අද දවසේ ආර්ථික ප‍්‍රවනතාවයන් වටහා ගැනීමට නොහැකි අතර, ඒ අනුව, එම දැනුමෙන් තොරව කවර ආකාරයක හෝ විද්‍යාත්මක ආර්ථික විද්‍යාවක් හෝ දේශපාලන විද්‍යාවක් පැවතිය නොහැකිය”යි, ඔහු ලිවීය. (11)

මෙම කෘතීන් දෙක, තම ඉදිරි දර්ශනය සඳහා න්‍යායික පදනම සම්පාදනය කිරීමෙහි දී ලෙනින්ට ඉමහත් බලපෑමක් ඇති කලේය. මූල්‍ය පරපෝෂිතකම පිලිබඳ හොබ්සන්ගේ විශ්ලේෂනයට හා මූල්‍ය ප‍්‍රාග්ධනය දේශපාලනය මත ඇතිකරන බලපෑම සම්බන්ධයෙන් හිල්ෆර්ඩින් එලැඹි නිගමනවලට ඔහු විශේෂයෙන්ම ආකර්ශනය විය.

මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යය විසින්, නිදහස් තරඟය හා වඩවඩාත් ප‍්‍රජාතන්ත්‍රීයකරනයවීම මත පදනම් ව පැවැති 19 වන සියවසේ ලිබරල් ධනේශ්වර දේශපාලනයේ අවසානය සනිටුහන් කරන ලද බව හිල්ෆර්ඩින් ලියා තිබින. මූල්‍ය ප‍්‍රාග්ධනයට, තම අවශ්‍යතාවයන් සපුරා ලීම සඳහා නව දෘෂ්ටිවාදයක් හැඩගස්වා ගැනීමට සිදු ව තිබින. “මෙම දෘෂ්ටිවාදය ...... ලිබරල්වාදයේ දෘෂ්ටිවාදයට මුලුමනින් පිලිමල් එකක් විය. මූල්‍ය ප‍්‍රාග්ධනයට අවශ්‍යව පැවතියේ නිදහස නොව ආධිපත්‍යයයි.”

පැරනි ලිබරල්වාදය අන්තර්ජාතික බල දේශපාලනයට විරුද්ධ ව සිටි අතර, මූල්‍ය ප‍්‍රාග්ධනය ඉල්ලා සිටියේ, “ලෝක ගෝලයේ සෑම කොනකම මැදිහත් විය හැකි හා සමස්ත ලෝකයම ආයෝජන අවස්ථාවක් බවට පරිවර්තනය කල හැකි” (12) ශක්තිමත් රාජ්‍යයකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක වේවා, නැතහොත් පරමාධිපති තන්ත‍්‍රයක වේවා, සෑම මහ බලවතෙකුගේම දේශපාලනය නිර්නය කෙරුනේ මෙම තතු විසිනි. මූල්‍ය ප‍්‍රාග්ධනයේ දේශපාලනය, ලෙනින් සඳහන් කල පරිදි, “ඉහල සිට පහලටම” ප‍්‍රතිගාමී විය.

1915 සමස්ත වසර පුරා ඔහු නිමවමින් සිටි “අධිරාජ්‍ය වාදය: ධනවාදයේ ඉහලම අවධිය” කෘතිය තුල ලෙනින්, යුද්ධය පැතිර ගිය තැන් පටන් තමා විසින් වර්ධනය කෙරෙමින් පැවැති විශ්ලේෂනයේ සියලු හුය පටවල් එකට ගොනු කලේය. දත්ත ඉදිරිපත් කිරීම හරහා ඔහු, යුද්ධය යනු වෙලඳපොලවල්, ලාභ සහ යටත්විජිත සඳහා මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් දැරෙන කොල්ලකාරී ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලය බැව් පෙන්වා දෙමින්, නව කාල පරිච්චේදයේ ස්වභාවය සටහන් කලේය.

සියලු විශිෂ්ඨ මාක්ස්වාදී කෘතීන් සේම, ලෙනින්ගේ අධිරාජ්‍යවාදය කෘතිය විවාදශීලී එකක් විය. එය ඉදිරිපත් කෙරුනේ, ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයේ පූර්ව යුදකාලීන ප‍්‍රමුඛ න්‍යායාචාර්යවරයා වූ, සමාජ ස්වෝත්තමවාදයට න්‍යායික සාධාරනීකරනයන් සම්පාදනය කිරීමෙහි ලා ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කල, කාල් කෞට්ස්කිට එරෙහිවය.

කෞට්ස්කිට අනුව, අධිරාජ්‍යවාදය ධනවාදයේ වර්ධනයෙහි යම් නිශ්චිත අදියරක දී හෝ අවස්ථාවක දී පැන නැගුනු එකක් නොව, විශාල කෘෂිකාර්මික භූමිප‍්‍රදේශ තම අනසක යටතට ගැනීමේ අරමුනින් නූල් සූත්තර අදිමින් සිටියවුන්ගෙන් සමන්විත ධනේශ්වර කොටස්වලට “වැඩිමනත්ව අභිමත වූ” පිලිවෙත විය.

මෙම අර්ථකථනය, කාර්මීකරනයේ නොව මූල්‍ය ප‍්‍රාග්ධනයේ කාර්යභාරයක් වූ අධිරාජ්‍යවාදයේ ප‍්‍රමුඛතම ලක්ෂනය නොතකා හැරියේය.

තවද අධිරාජ්‍යවාදය හුදු “වැඩිමනත්ව අභිමත” පිලිවෙත පමනක් වී නම්, ඒ අනුව එය ධනේශ්වර ආර්ථිකයේ වෛෂයික වර්ධනයන් තුල ගැඹුරින් මුල් ඇද පවතින්නක් නොවන්නේ නම්, ඉන් ගලා ආවේ, වෙනත් පිලිවෙතකට ”වැඩි අභිමතයක් දක්වන” ඒ හෝ මේ ධනපති පන්ති කොටස් සමග සන්ධානයක් ඇතිකිරීමට යත්න දැරීමේ දිශාවට කම්කරු පන්ති ව්‍යාපාරයේ දේශපාලනය මෙහෙයවිය හැකිව තිබූ බවයි.

කෞට්ස්කිගේ අර්ථ කථනයන්හි පැවතුනේ එකම ප‍්‍රධාන දේශපාලන අභිමතාර්තයකි: එනම්, සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයට සතුරුවීම සාධාරනීකරනය කිරීමයි.

අධිරාජ්‍යවාදය පිලිබඳ ලෙනින්ගේ විශ්ලේෂනය එහි හරය වශයෙන් පැවැති සංරචක තුනකින් සමන්විත විය:

1. “වැඩි අභිමතයක් දැක්වූ” ප‍්‍රතිපත්තියකින් නොව, තරඟය තුලින් ඒකාධිකාරය වර්ධනයවීම සහ කොල්ලකාරී මූල්‍ය ප‍්‍රාග්ධනය අධිපති තත්වයකට පත්වීම වශයෙන් වූ ධනේශ්වර වර්ධනයේ එක් වෛෂයික අවධියකින් යුද්ධය පැන නැගුනේ කෙසේදැයි එය පෙන්වා දුන්නේය.

2. මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යය ද ලෝක පරිමානව ක්‍රියාත්මක වූ යෝධ ව්‍යවසායයන්, බැංකු හා මූල්‍ය ආයතන සමග ඒකාධිකාරී ප‍්‍රාග්ධනය කරා ලෝක පරිමානයෙන් සංක‍්‍රමනය වීම ද හුදෙක් යුද්ධයට පාර කැපීමක් පමනක් නොවීය. එකී ක්‍රියාදාමයම නිෂ්පාදනයේ සමාජ සම්බන්ධතාවයන්හි අතිමහත් වෙනසක් ඇති කරමින්, නිෂ්පාදනය හා ශ‍්‍රමය සුවිසල් ලෙස සමාජකරනය කිරීමට හේතුභූත විය.

එබැවින් පරපුටු මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යය මත පදනම් වූ අධිරාජ්‍යවාදය යනු හුදෙක් මර ඇඳට වැටුනු ධනේශ්වර ක‍්‍රමය පමනක් නොවීය. එමගින් ඇති කොට තුබූ වෙනස්කම් - එනම් නිෂ්පාදනය සමාජකරනය වීම- විසින් ධනේශ්වර ආර්ථිකය තුලම, සමාජවාදය කරා සංක‍්‍රමනයේ ආරම්භය සනිටුහන් කෙරිනි. කෙසේවෙතත්, එම සංක‍්‍රමනය සාක්ෂාත් කර ගත හැකි වූයේ, පුබුදුවා ලිය හැකි වූයේ, අවස්ථාවාදය හා කම්කරු ව්‍යාපාරය තුල එය දැරූ ආධිපත්‍යය පරාජය කිරීම තුලින් පමනෙකි.

3. අවස්ථාවාදය යනු හුදෙක් තනිතනි නායකයන්ගේ පාවාදීමේ නිෂ්පාදිතයක් නොවීය. එය අධිරාජ්‍යවාදයෙන් පැන නැගෙන වෛෂයික ක්‍රියාදාමයන් සමග බැඳී පැවතුනු අතර ඓන්ද්‍රීය වශයෙන් ධනේශ්වර පාලක පන්තියේ උත්සුකයන් සමග වෙලී තිබින. ධනපති මහ බලවතුන් විසින් යටත්විජිත වලින් සුපිරි ලාභ ගරා ගනු ලැබීමට අධිරාජ්‍යවාදය මග පෙන්වා තිබින. මේ තතු විසින් එකී රටවල ධනපති පන්තියට මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති නිලධරය, වඩා සුඛිත මුදිත සේවා නියුක්තිකයන්ගෙන් සමන්විත සුලු ධනපතීන්ගේ වරප‍්‍රසාදිත ස්ථරයක්, හා ධනපති මේසයෙන් වැටෙන ඉඳුල් වලින් ද්‍රව්‍යමය ඵල ප‍්‍රයෝජන භුක්ති විඳින වරප‍්‍රසාදිත කම්කරු පන්ති කොටසක් ද නිර්මානය කර ගැනීමට හැකියාවක් සැලසින.

මෙම විශ්ලේෂනයෙන් ලෙනින් බොහෝ දුරදිග යන දේශපාලන නිගමන උකහා ගත්තේය.

අධිරාජ්‍යවාදය විසින් කම්කරු පන්තියේ නිල නායකත්වයන් ධනේශ්වරයේ විවෘත නියෝජිතයන් බවට පරිවර්තනය කිරීම සඳහා මග පෙන්වා තිබිනි. තුන්වැනි ජාත්‍යන්තරය පිහිටුවීම සඳහා ද්‍රව්‍යමය අවශ්‍යතාවය වූයේ එයයි.

ඒ අරගලය කෙසේ සිදු කෙරුනේ ද යන්න මේ මොහොතේ ප‍්‍රධාන ප‍්‍රශ්නයයි.

අවස්ථාවාදයට එරෙහි අරගලය

වරප‍්‍රසාදිත ස්ථරවලින් සමන්විත වූ “පීතෘභූමිය ආරක්ෂා කිරීමේ” සමාජ කන්ඩායම හුදු සුලුතරයක් පමනක් විය. සමාජයේ “පහලම මහජනයා” කරා සමාජ පත්ල වෙත ගැඹුරට විනිවිද යමින් අවස්ථාවාදයෙන් බිඳී වෙන්වීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීමත් එමගින් ඔවුන් විප්ලවය සඳහා උගන්වා ගැනීමත් අතිශයින් අවශ්‍ය විය.

මෙහිදී ප‍්‍රධාන වෙඩි මුරය තැබිය යුතුව තුබුනේ අවස්ථාවාදීන්ට හා සමාජ ස්වෝත්තමවාදීන්ට දේශපාලන ආවරන සපයා දීමට මාක්ස්වාදී ලෙස වෙස්වලාගත් වාග් සම්ප‍්‍රදායයක් භාවිතා කරමින්, වඩාත් භයානක කාර්යභාරයක් ඉටු කලවුන්ට එරෙහිවය. මෙකී ප‍්‍රවනතාවයේ නායකයා වූයේ කෞට්ස්කිය.

යුද වියදම්වලට එරෙහි වීම දැනටමත් ප‍්‍රතික්ෂේප කොට සිටි කෞට්ස්කි, යුද්ධය ආරම්භ වූ තැන් පටන් සමාජ ස්වෝත්තමවාදයට ජාත්‍යන්තරවාදී පැහැයක් තැවරීම සඳහා ප‍්‍රයත්න දැරීය.

1914 ඔක්තෝබරයේ දී ඔහු මෙසේ ලිවීය: “තම පීතෘභූමිය ආරක්ෂා කිරීම සියලු දෙනාගේම අයිතිය සහ යුතුකම වෙයි; සැබෑ ජාත්‍යන්තරවාදය සමන්විත වන්නේ මගේ ජාතිය සමග යුද වැදී සිටින ජාතීන් ද ඇතුලු සියලු ජාතීන්ට අයත් සමාජවාදීන්ට එම අයිතිය ඇති බව පිලිගැනීමයි.”(13)

වෙනත් වචනවලින් කිවහොත්, සැබෑ ජාත්‍යන්තරවාදය සමන්විත වන්නේ, “පීතෘභූමිය ආරක්ෂා කිරීමේ” නාමයෙන් ජර්මන් කම්කරුවන් ප‍්‍රන්ස කම්කරුවන්ට සහ ප‍්‍රන්ස කම්කරුවන් ජර්මන් කම්කරුවන්ට වෙඩි තැබීම සාධාරනීකරනය කිරීම තුලය.

අවස්ථාවාදයට “ජාත්‍යන්තරවාදී” ආවරනයක් සම්පාදනය කිරීමේ තවත් ප‍්‍රයත්නයක් දැරුනේ, යුරෝපයේ ජාතික රාජ්‍ය ගොඩනැගීමේ මාවත හෙලි කල 19 වන සියවසේ යුද්ධ සම්බන්ධයෙන් මාක්ස් දැරූ ආකල්පය යලි මතුකරමින් සිටි අයවලුන් විසිනි.

මේ සියලු යුද්ධවලදී මාක්ස් ජාත්‍යන්තරවාදී ස්ථාවරයක් දැරුවේය. කවර පාර්ශ්වයක ජයග‍්‍රහනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා එමගින් කම්කරු පන්තියේ අර්ථසාධනයට වඩාත් වාසිදායක වන්නේදැයි තක්සේරු කිරීමට ඔහු යත්න දැරීය. වත්මන් යුද්ධය සම්බන්ධයෙන් ද එම විධික‍්‍රමයම අනුගමනය කල යුතුයැයි තර්කයක් ගෙන එන ලදී. කම්කරු පන්තියේ සහ සමාජවාදයේ ස්ථාවරයෙන් ගත් කල, කවර පාර්ශ්වයක ජයග‍්‍රහනය වඩාත් වාසිසහගත දැයි “ජාත්‍යන්තරවාදී” තක්සේරුවක පදනම මත නිර්නය කිරීම අත්‍යවශ්‍ය ය.

එවැනි ආස්ථානයක් සමාජ ස්වෝත්තමවාදීන්ට උඩ ගෙඩි දීමක් බව වටහා ගැනීම අසීරු නොවේ. ජාත්‍යන්තරවාදී ස්ථාවරයක සිට සලකා බැලූ කල රුසියාවේ පරමාධිපත්‍යය පරාජය කිරීම වඩාත්ම වාසිසහගතයැයි ජර්මන් අවස්ථාවාදීන් කියා සිටිනු ඇති අතර, එපරිද්දෙන්ම ප‍්‍රසියානු ඒකාධිපතිත්වය පරාජය කිරීම වැඩිම වාසිදායී කර්තව්‍යය බවට -යලිත් ජාත්‍යන්තරවාදී ස්ථාවරයක පිහිටා- ප‍්‍රන්ස අවස්ථාවාදීන් ද තර්ක කරනු ඇත.

සමාජ ස්වොත්තමවාදයට ජාත්‍යන්තරවාදී ආවරනයක් සම්පාදනය කිරීම සඳහා වූ මෙම ප‍්‍රයත්නය, යුද්ධය පිලිබඳ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මාක්ස් ලියූ කාලයේ පටන් ඇති වී තිබූ දැවැන්ත වෙනස්කම් මුලුමනින්ම නොතකා හැරියේය.

19 වන සියවසේ මුල් දශක හත තුල ඇති වූ ජාතික යුද්ධ, ඒකාධිපතිත්වය පෙරලා දැමීම සමග අත්වැල් බැඳී පැවැති අතර, ඒවා ඇති වූයේ සමාජවාදය සඳහා වූ වෛෂයික කොන්දේසි සපිරී නොතිබූ තතු යටතේය. එහෙත් එදා පටන් ගතව තිබූ, අඩ සියවසක් පමන වූ කාල පරිච්චේදය තුල, බ්‍රිතාන්‍යයේ, ප‍්‍රන්සයේ, ජර්මනියේ, ඉතාලියේ, ඔස්ට්‍රියාවේ හා රුසියාවේ පාලක පන්තීහු යටත්විජිත කොල්ලයේ හා අනෙකුත් ජාතීන් මර්දනය කිරීමේ පිලිවෙතක් අනුයමින් උන්හ. මෙම වර්තමාන යුද්ධය තුල දිගින්දිගටම ක්‍රියාවට නැංවුනේ එකී පිලිවෙත බැව් ක්ලෝස්විට්ස් සිද්ධාන්තය අනුව යමින් ලෙනින් ලිවීය.

වර්තමාන තත්වය තුල කවර පාර්ශ්වයේ ජයග‍්‍රහනය වඩාත් වාසිදායකදැයි විමසීම වූ කලී, ඉන්දියාව කොල්ලකනු ලැබීම වඩාත් හොඳ වන්නේ ජර්මනිය විසින් ද නැතහොත් බ්‍රිතාන්‍යය විසින් ද, චීනය කැබලි කල යුත්තේ ජපානය ද ඇමරිකාව ද, අප්‍රිකාව ගොදුරු විය යුත්තේ කවරෙකුගේ කොල්ලයට ද -ප‍්‍රන්සයේ ද නැතහොත් ජර්මනියේ ද ආදී වශයෙන් නිර්නය කිරීමක් වනු ඇත.(14)

ආරක්ෂකවාදීන්ට එරෙහිව

“අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධය බවට හැරවීමේ” ඉදිරි දර්ශනය ඉදිරිපත් කිරීමේදී ලෙනින්ට, තවත් සැලකිය යුතු තර්ක දෙකක් සමග පොර බැදීමට සිදු විය.

යුද්ධයට “ජයග‍්‍රහනය එපා, පරාජයත් එපා” වර්ගයේ සටන් පාඨය තීරනාත්මක ප‍්‍රශ්න දෙකක් මතු කලේය.

පලමුව එය ආරක්ෂකවාදීන්ට දේශපාලන ආවරනයක් සැපයීය. කොයිහැටිවෙතත්, “තමන්ගේම” ආන්ඩුවල යුද ප‍්‍රයත්නයන්හි ආධාරකරුවන්ට, තමන් පරාජයට එරෙහිව සටන් වදින බව පැවසිය හැක. ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රය දක්ෂිනාංශයේ නායකයෙකු වූ එඩුවාඩ් ඩේවිඩ් පැහැදිලි කල පරිදි: “අගෝස්තු 4 වන දින අපේ ඡන්දයේ විශේෂත්වය වනුයේ, අප යුද්ධය වෙනුවෙන් නොව, පරාජයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමයි.”(15)

යමෙක් ජයග‍්‍රහනය සඳහා නොව පරාජයට එරෙහිව පෙනී සිටිත් නම් එයින් හැඟවෙන්නේ, ඔවුන් විප්ලවවාදී අරගලයට විපක්ෂ බවයි. මක්නිසාදයත්, විප්ලවවාදී අරගලය විසින් යමෙකුගේ “තම” ආන්ඩුවේ පරාජයට මග කපනු ලැබිය හැකි බැවිනි. එබැවින් එවන් සියලු ක්‍රියාමාර්ගවලට විරුද්ධ විය යුතුය.

දෙවනුව, “ජයග‍්‍රහනය එපා, පරාජයත් එපා” සටන්පාඨය තවත්, ඊට ද වඩා වැදගත් ප‍්‍රශ්නයක් මතු කලේය. එය පදනම්ව තුබුනේ, පෙර පැවැති කාල පරිච්චේදය කරා පෙරලා පැමිනිය හැකිය යන සංකල්පය මතය. ඒ අනුව එමගින්, යුද්ධය ගුනාත්මක ඓතිහාසික හැරීමක් සනිටුහන් කල බව හඳුනා ගැනීම ප‍්‍රතික්ෂේප කෙරිනි.

සාපේක්ෂව සාමකාමී ඓන්ද්‍රීය වර්ධනයක සමස්ත යුගය, අගෝස්තුවේ තුවක්කුවලින් කැබලි වලට පුපුරුවා හැර තිබින. ඒ කරා ආපසු ගමනක් තිබිය නොහේ.

යුද්ධය විදාරනයවීම ම, 1871 - 1914 කාල පරිච්චේදය තුල ඇති වූ ආර්ථික වර්ධනයේ ප‍්‍රතිඵලය විය. අලුත් යුගයක් උදා වී තිබු අතර එම නව යුගයේ ස්වභාවය වූයේ, පවත්නා සමාජ-ආර්ථික ක‍්‍රමයේ පදනම් එසේම පවතින අතර සාමය උදා වී නම්, එම “සාමය” හුදු අලුත් යුද්ධ සඳහා වූ බීජ මෝරා යන අභිජනන භූමියක් පමනක් වන පරිදිය. සමස්ත පර්යායම, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය මගින් පෙරලා දැමිය යුතු විය.

ජන හානි ගැඹුරු වත්වත්ම සහ යුද්ධයේ සැබෑ ස්වභාවය වඩවඩාත් ගම්‍යමාන වත්වත්ම, දැන් ප‍්‍රමුඛ පිලිගැනීමකට නැගුනු “සාමය” පිලිබඳ සටන්පාඨය සම්බන්ධයෙන් ද එකී ගැටලූවම, යන්තමට වෙනස් වූ ආකාරයකින්, පැන නැගුනි. 1914 වසරේ අවසානය එලැඹෙන කල යුද අගල් පෙලක් සමස්ත බටහිර යුරෝපය හරහා ප‍්‍රසාරනය විය. ඒවා ඉදිරි වසර හතර පුරාම එසේ පැවතීමට නියමිත විය. ඉක්මන් අවසානයක් දැකීමේ ඉදිරි දර්ශනය වාෂ්ප වී සිඳී යන අතරතුර, ප‍්‍රහාර හා ප‍්‍රතිප‍්‍රහාර හැරෙන්නට සිදුවූ වෙනසක් වී නම් ඒ ජන ඝාතනයම පමනක් විය.

යුද්ධයට දැක්වූ විරුද්ධත්වය නිසා තමා රඳවා තුබූ බර්ලිනයේ පිහිටි සිර කුටියේ සිට ජර්මානු - පෝලන්ත ජාතික රෝසා ලක්සම්බර්ග් විප්ලවවාදිනිය 1915 අප්‍රේල් මස ලියූ පරිදි:

“දර්ශන පථය මුලුමනින්ම වෙනස් වී ඇත. සති හයකින් පැරිස් කරා ලඟා වීමට ඇරැඹු ප‍්‍රයානය ලෝකයම අලලා ගත් නාටකයක් බවට පත් ව ඇත. ජන ඝාතනය නීරස ඒකාකාරී කටයුත්තක් බවට පත් ව ඇත, එතෙකුදු අවසාන විසඳුම එක් පියවරකිනුදු සමීප වී නැත. ධනේශ්වර පාලනය තමන්ගේම උගුලට අසු වී ඇත. ප‍්‍රථම උමතු විභ‍්‍රමය දැන් පහව ගොසිනි.... සංදර්ශනය හමාරය. දුම්රිය පිටත් වන කල්හි උද්‍යෝගිමත් යුවතියන් නැගූ ප‍්‍රමුදිත කෑ ගැසීම් මධ්‍යයේ දුම්රිය පුරා සිටි විශේෂ හමුදා ඛන්ඩවලට තිරය පහතට වැටී ඇති බව පෙනී යයි.... එම දුම්රිය පාන්ඩු පැහැ ගත් දිවා ආලෝකයෙන් යුත් මායාභග්න පරිසරය තුලට පිවිසෙත්ම නද දෙනු ඇසෙන්නේ වෙනස් ගායන වෘන්දයකි; ඒ, යුද්ධ භූමියේ උකුස්සන්ගේ හා හයිනාවන්ගේ ගොරෝසු මූසල හඬය...... කාලතුවක්කු සඳහා උන්ඩ බවට පත්වීමට අගෝස්තුවේ හා සැප්තැම්බරයේ දුම්රියට පැටවූ ගොදුරු, බෙල්ජියමේ හා වෝෂ්හි යුදබිම්වල කුනුවෙමින් දිරා යන අතර, මලවුන්ගේ භූමියෙන් වල් පැලෑටි මෙන් ලාභය දලු ලා වැඩේ.”(16 )

යුද්ධයේ භීෂනයන් එකක් මත එකක් ලෙස කඳු ගැසෙන විට, යුද වැදී සිටින රටවල ජනයාගේ වඩවඩාත් පුලුල් කොටස් අතර සාමය සඳහා දැල්වෙන අභිලාෂයේ ඇති වැදගත් කම ලෙනින් පෙන්වා දුන්නේය. ඔහු අවධාරනය කලේ, “එකී මනෝභාවයෙන් අවුලුවනු ලැබූ කවර පෙලපාලියක හෝ ප‍්‍රබලතම කාර්ය කොටසක් ඉටු කිරීම” සමාජවාදීන්ගේ කර්තව්‍යය බවයි.

එහෙත් මර්දනයෙන්, ඈඳා ගනු ලැබීමෙන් හා කොල්ලකනු ලැබීමෙන් තොරවූ ද නව යුද්ධයන්හි කලලය නිර්මානය කිරීමෙන් තොරවූ ද කවර හෝ සාමයක් යනු විප්ලවවාදී ව්‍යාපාරයකින් තොරව උදා නොවන්නක් බව, සියල්ලටමත් පෙර ඔවුන්ට පැහැදිලි කර දිය යුතුව තිබින.

“දිගුකල් පවත්නා සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාමයක් අවශ්‍ය කවරෙකු හෝ වුව, ආන්ඩු හා ධනපති පන්තියට එරෙහි සිවිල් යුද්ධය වෙනුවෙන් පෙනී සිටිය යුතුය”යි ඔහු ලිවීය. එනම්, ඔවුන් සමාජවාදී විප්ලවය සඳහා සටන් කල යුතුය. (17)

මෙම ඉදිරිදර්ශනයට පහර දීමේ ප‍්‍රමුඛ කාර්යභාරය ඉටු කලේ කෞට්ස්කි විසිනි.

තමන් බැස්ල් යෝජනාවේ අඩංගු වූ බැඳීම් ප‍්‍රතික්ෂේප කිරීම සාධාරනීකරනය කරනු වස් කෞට්ස්කි හා අන්‍යයන් විසින් ඉදිරිපත් කෙරුනේ, එම යෝජනාව විප්ලවවාදී තත්වයක් වර්ධනයවීම අපේක්ෂාවෙන් ඉදිරිපත් වූවක්ය යන හේතුවයි.

යුද්ධය පැනනැගීමත් සමග එම විප්ලවවාදී තත්වය ඇති වූයේ නැත. -මහජතතාවෝ අධිරාජ්‍යවාදී යුද ප‍්‍රයත්නයට අසු වී සිටියාහ - එබැවින්, යෝජනාව මගින් අපේක්ෂිත කොන්දේසි අදාල වූයේ නැත. සමාජවාදී විප්ලවයේ ප‍්‍රතීක්ෂාව -එබැවින්- මිරිඟුවක්, හිතලුවක් විය. විද්‍යාත්මක ඉදිරි දර්ශනයක් ලෙස මාක්ස්වාදය මිරිඟු හා මායාවන් මත නොව පවතින තත්වයේ වෛෂයික ඇගයීමක් මත පදනම් විය යුතුව තිබිනි.

යුද වැදුනු රටවල හමුදා සේවයට බඳවා ගැනීමේ නියෝග නිකුත් කෙරුනු සමයේ මහජනයා යුද පරිශ‍්‍රමයට අසු වී සිටි බවට සැකයක් නැත. යුද්ධය පැනනගින අවස්ථාවේ බහුජන මනෝවිඥානයේ මෙම වර්ධනයටත් විප්ලවවාදී පෙරටු බලඇනියට මුහුන දීමට සිදු වන බැව් පෙනී යන හුදෙකලාවටත් හේතුව ට්‍රොට්ස්කි පැහැදිලි කලේය.

සාමකාමී කාලවලදී සමාජවාදීන්ගේ බලපෑමට හසුවන්නේ සහ නතුවන්නේ කම්කරු පන්තියේ වඩාත්ම වැඩි දියුනු කොටස් පමනෙකි. ජනයාගේ විශාල කොටස් ක්ෂනික දේශපාලන අරගලවලින් පිටස්තර ව සිටිති. එහෙත් යුද්ධය හටගැනීමත් සමග සහ යුද්ධයට බඳවා ගැනීම ආරම්භ වීමත් සමග ඔවුහු දේශපාලනය කරා ඇද ගනු ලැබෙති.

ප‍්‍රශ්න ජීවිතයත් මරනයත් අතර ක්ෂනික ප‍්‍රශ්න වලට ඔවුන් මුහුන දෙයි. එම ප‍්‍රශ්නවලදී, ආන්ඩුව සහ හමුදා ඔවුන් ඉදිරියේ ඔවුන්ගේ ආරක්ෂකයා හා රැකවලා ලෙස නැගී සිටියි. මෙකී හැඟීම් මුසුව පවතින්නේ වෙනසක් සඳහා වූ ව්‍යාකුල මනෝභාවයන් ද, වඩාත් හොඳ තත්වයක් සඳහා වූ අපේක්ෂා හා අභිලාෂයන් ද සමගය.

“විප්ලවයක ආරම්භයේ දී ද මේ දේම සිදුවෙයි,” ට්‍රොට්ස්කි ලිවීය. එහෙත් ඒ එක් අතිශයින් වැදගත් වෙනසක් ද සහිතවය. විප්ලවයක් මෙම අලුතින් පිබිදුනු කොටස් විප්ලවවාදී පන්තිය සමග ඈඳන නමුත්, යුද්ධය ඔවුන් ඈඳන්නේ - රජය සහ හමුදා සමගය.”

ව්‍යාකූල වූ බලාපොරොත්තු හා දුක්ඛ දෝමනස්සයන් විටෙක විප්ලවවාදී උද්‍යෝගය තුල සිය ප‍්‍රකාශනය සොයා ගන්නා අතර තවත් විටෙක එකී සමාජ උද්වේගයෝම “දේශප්‍රේමයෙන් මත්වීමේ රූපාකාරය තාවකාලිකව අත්පත් කර ගනිති.” -මේ දෙවැන්න වූ කලී, සමාජවාදයේ බලපෑමට නතු වූවන් ද ඇතුලු කම්කරු පන්තියේ පුලුල් කොටස් ආසාදනයට ලක් කල හැකි මනෝභාවයකි.(18)

එබඳු කොන්දේසි යටතේ පක්ෂයට ක්ෂනිකව විප්ලවවාදී අරගලය දියත් කල නොහැකි බැව් ට්‍රොට්ස්කි තව දුරටත් සඳහන් කලේය. එහෙත්, යුද්ධයට ඇති ස්වකීය විරුද්ධත්වය හා ආන්ඩුව කෙරේ විශ්වාස භංගත්වය ප‍්‍රකාශ කිරීමට, යුද වියදම් සඳහා ඡන්දය දීම ප‍්‍රතික්ෂේප කිරීමට සහ එමගින් යුද්ධයේ මාවත ඔස්සේ නොවැලැක්විය හැකි ලෙස ගලා එනු ඇති මහජන විඥානයේ වෙනස්වීම සඳහා සූදානම් වීමටත් ඊට හැකි විය යුතුව තිබිනි.

මෙය සිදු නොවීමෙනුත්, යුද්ධයට බඳවා ගැනීමේ සංඥාවම ජාත්‍යන්තරය කඩා වැටීමේ සංඥාව ද වීමෙනුත්, සියලු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා කම්කරු පක්ෂ “එකම විරෝධයකිනුදු තොරව සිය ආන්ඩු සමග පෙල ගැසීමෙනුත්” යන කරුනුවලින් අදහස් වන්නේ ඒ සඳහා ගැඹුරු හේතුන් පැවතිය යුතුව තුබූ බවයි.

අන් සෑම අයෙකුටමත් වඩා ලෙනින් එම හේතු සම්පූර්නයෙන් විමර්ශනය කල අතර, එමගින් ඔහු, සාර්ථකව බලය අත්පත් කර ගැනීම කරා කම්කරු පන්තියට මග පෙන්වූ දේශපාලන මූලෝපාය හා උපායයන් වර්ධනය කලේය.

අවස්ථාවාදීන් ආරක්ෂා කිරීමට යත්න දැරූවෝ, යුද්ධය පැනනැගීමත් සමග තත්වය පිලිබඳ වැරදි චිත‍්‍රයක් ඉදිරිපත් කරමින් වැඩ ආරම්භ කලහ.

1914 ඔක්තෝබරයේ ලියූ කෞට්ස්කිට අනුව, “යුද්ධය හටගත් අවස්ථාවේ තරම්, ආන්ඩු ඒ සා ශක්තිමත්ව පැවැති, පක්ෂ ඒ සා දුබලව පැවැති වෙනත් කාලයක් නොවීය” යනුවෙනි.

සැබවින්ම ලෙනින් මීට ප‍්‍රතිචාර දැක්වීය: “පාලක පන්තියේ සියලු පක්ෂ සමග එකඟතාවයට පැමිනීමට, නැතහොත්, යුද්ධය අවස්ථාවේ සියලු පීඩිත පන්තීන් එම පාලනයට ‘සාමකාමීවʼ යටත් වනු දැකීමට ආන්ඩුවලට ඒ සා අවශ්‍යතාවයක් පැවැති වෙනත් කාලයක් නොවීය.” (19)

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ, ආන්ඩු ඉතා ශක්තිමත් සේ පෙනී යා හැකි නමුදු, “පෙනී යන” දේ සැබෑ තතු සමග සම්පාත නොවන බවයි. තව ද කිසිවෙකු විප්ලවවාදී අපේක්ෂාවන් හුදු යුද්ධය පුපුරා යාම සමග ඈඳුවේ නැත. එය ක්‍රියාදාමයක හුදු ආරම්භය පමනක් වූ අතර, දැනටමත් -ලෙනින් මෙය ලියන්නේ 1915 දීය- මහජනයා අතර අතෘප්තිය වැඩී යද්දී හා ආන්ඩු වඩවඩාත් විශාල කැපකිරීම් ඉල්ලා සිටියදී, විප්ලවවාදී තත්වයක ලකුනු සියලු රටවල් තුල වර්ධනය වෙමින් පවතී.

“මේ තතු දිගු කල් පවතිනු ඇති ද එය තව කෙතෙක් දුර තීව‍්‍ර වනු ඇති ද? එය විප්ලවයක් කරා පාර කපනු ඇති ද? එය අප නොදන්නා යමකි. එමෙන්ම කිසිවෙකුට එය දැනගත හැකි ද නොවේ. ඊට පිලිතුර සම්පාදනය කල හැක්කේ විප්ලවවාදී මනෝ භාවයන් වර්ධනය වන අතරවාරයේ හා වැඩි දියුනු පන්තිය, එනම්, නිර්ධන පන්තිය විසින් එය විප්ලවවාදී තත්වයක් බවට පරිවර්තනය කෙරෙන අවස්ථාවේ ලබන අත්දැකීම් තුලින් පමනෙකි.”(20)

තවද, යුද්ධය හටගත් වහාම විප්ලවවාදී අරගල පැන නොනැගීම වූ කලී, කම්කරු පන්තිය මුහුන දෙමින් සිටි තතු විසින් නිර්මිත එකකි. සෑම රටකම කම්කරු පන්තිය මුහුන දී සිටියේ වාරනයට හා යුද්ධ නීතියටය; ස්වකීය නායකත්වය අධිරාජ්‍යවාදී ආන්ඩු සමග එක්සත්ව එකී ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමෙන් ප‍්‍රකාශිතව පැවති තතු වලටය.

භෞතිකවාදී දර්ශනවාදය සහ විප්ලවවාදී භාවිතය

ක්ෂනික තතුවලින් ඔබ්බට යමින් ලෙනින් විසින් මතු කෙරුනු කාරනාවන්හි ඉමහත් ක‍්‍රමවේදී වැදගත් කමක් ගැබ් ව පවතී. එය ඩේවිඩ් නෝර්ත්ගේ ප‍්‍රාරම්භක දේශනයේ ඔහු දක්වා ලූ 7 වන කරුන, එනම්, “විද්‍යාත්මක භෞතිකවාදී දර්ශනය හා විප්ලවවාදී භාවිතය” වෙත අප කැඳවා ගෙන යයි.

ලෙනින් අවධාරනය කල කරුන මෙයයි: පාලක පන්තිවලට පැරනි ආකාරයට පාලනය කල නොහැකි වීමේ හා මහජනයාට වඩ වඩාත් පෙර පරිදි ජීවත්වීමට නොහැකි වීමේ අර්ථයෙන් තත්වය වෛෂයිකව විප්ලවවාදී වෙයි. එහෙත් මෙම වෛෂයිකව විප්ලවවාදී තත්වය සැබෑ විප්ලවයක් කරා මග සකසනු ඇත්දැයි යන්න සමපේක්ෂනයෙන් තක්සේරු කල නොහැකි වන අතර, එය තක්සේරු කල හැකි වන්නේ විප්ලවවාදී භාවිතය වර්ධනය කිරීමෙන් පමනෙකි.

ඇති තතුවල සැබවින්ම ගැබ්ව පවත්නේ කුමක් ද එහි විභවය සාක්ෂාත් කර ගත හැකිවේ ද යනු සොයා ගත හැකිවනුයේ, දැනුවත් ආත්මීය සාධකයේ, විප්ලවවාදී පක්ෂයේ, මැදිහත්වීම හරහා පමනෙකි. එනම්, කම්කරු පන්තියේ සංවිධානය වර්ධනය කිරීමට යත්න දැරීම, තමා මුහුන දී සිටින වෛෂයික තතු පිලිබඳව එකී පන්තියට හෙලිදරව් කිරීම සහ එහි වර්ධනය වෙමින් පවත්නා අරගල පැහැදිලි, අවසානය දක්වා තේරුම් බේරුම් කරගත්, දේශපාලන බලය අත්පත් කර ගැනීම අරමුනු කර ගත් වැඩ පිලිවෙලකින් සන්නද්ධ කිරීම හරහා පමනෙකි.

හුදෙක් “පෙනී යන” තතු නොව සැබෑ තත්වය ග‍්‍රහනය කරගත යුතුව තිබුනේ කෙසේද යන්න සම්බන්ධයෙන් ලෙනින්ගේ අවධාරනය, භෞතිකවාදී දර්ශනයට මාක්ස් විසින් දායක කෙරුනු තීරනාත්මක වර්ධනයන් සංක්ෂිප්ත ලෙස ඉදිරිපත් කෙරෙන ෆොයබාක් තීසීසයේ දැක්වෙන අතිශය වැදගත් කරුනක් කෙරේ අපේ අවධානය යොමු කරවයි.

කෞට්ස්කි හා අන්‍යයන් කියා සිටියේ ලෙනින් විසින් මිත්‍යාවන් පතුරුවා හරිනු ලැබීමට හා සිවිල් යුද්ධයේ හා ධනේශ්වරය පෙරලා දැමීමේ ඔහුගේ ඉදිරි දර්ශනයට එරෙහිව තමන් භෞතිකවාදයේ ප‍්‍රතිෂ්ඨාව මත නැගී සිටින බවය.

කෙසේවෙතත්, ඔවුන් පදනම්වී ගැනීමට යත්න දැරූ භෞතිකවාදය කිසිසේත් මාක්ස්ගේ භෞතිකවාදය නොවීය. එය, ජර්මානු විඥානවාදී දර්ශනවාදයේ දියුනුව ද අන් සියල්ලටත් වඩා ඓතිහාසික ක්‍රියාවලියේ ක්‍රියාකාරී පාර්ශ්වය, එනම්, මානුෂික ක්‍රියාකාරිත්වය මත අවධාරනය තැබුනු හේගල්ගේ එකතු කිරීම් ද ඇතුලත් කර ගැනීම මගින් ඔහු විසින් ඉක්මවනු ලැබ තුබූ භෞතිකවාදී දෘෂ්ටියයි.

ෆොයබාක් පිලිබඳ ඔහුගේ ප‍්‍රථම නිබන්ධනය තුල මාක්ස් මෙසේ ලිවීය:

ෆොයබාක්ගේ භෞතිකවාදයත් ඇතුලත්ව, මෙතෙක් පැවැති සකල භෞතිකවාදයේ ම ප‍්‍රධාන දෝෂය නම් විෂය, යථාර්ථය, ඉන්ද්‍රීයගෝචරය, යන මෙය මානුෂික ඉන්ද්‍රියමූලක ක්‍රියාකාරිත්වය, භාවිතය වසයෙන් ආත්මීයත්වයෙන් නො ව හුදෙක් විෂයේ හෝ සංකල්පනයේ ස්වරූපයෙන් තේරුම් ගැනීම යි.... එසේ හෙයින්, ඔහු “විප්ලවවාදී”, “ව්‍යවහාරික-විචාරාත්මක” ක්‍රියාකාරිත්වයේ, වැදගත්කම ග‍්‍රහනය කර නො ගනී. (21)

කෞට්ස්කිට එරෙහිව ලෙනින් පැහැදිලි කලේ, ඊලඟට එලැඹෙන යුද්ධය නොව වර්තමාන යුද්ධයම විප්ලවයක් නිර්මානය කරනු ඇතැයි කිසිදු සමාජවාදියෙකු කිසිදා සහතික වී නැති බවයි. කාරනය වූයේ, විප්ලවවාදී තත්වයක් තථ්‍ය වශයෙන්ම පවතින බව හෙලිදරව්කිරීම මගින් කම්කරු පන්තියේ විප්ලවවාදී විඥානය පුබුදුවා ගැනීම සමාජවාදීන්ගේ වගකීමක්ව තිබීමයි.

සමාජ ස්වෝත්තමවාදයට එරෙහිව මාක්ස්වාදය

තීරනාත්මක ප‍්‍රශ්නය වූයේ, ජාත්‍යන්තර සමාජවාදයේ ප‍්‍රමුඛතම නියෝජිතයන්ගේ පාවාදීම කෙසේ සිදු විය හැකි වී ද, යන්නයි. මීට පිලිතුර පවතින්නේ සමාජ ස්වෝත්තමවාදයේ ප‍්‍රවනතාවයෙහි ප‍්‍රභවය සම්බන්ධයෙන් කෙරෙන භෞතිකවාදී විශ්ලේෂනයක් තුලය.

යුද්ධය දක්වා වූ කාල පරිච්චේදය තුල, දශක එක හමාරකට වැඩි කාලයක් පුරා, සමාජවාදී ව්‍යාපාරය එහි ඉදිරි දර්ශනය පිලිබඳව වූ මූලික බෙදීමකින් ඉරි තලා ගොස් තිබින.

සමාජවාදය සාමකාමී, ක‍්‍රමානුකුල වර්ධනයක් හරහා, පාර්ලිමේන්තුවාදී හා වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මගින් දිනා ගනු ලැබෙන ප‍්‍රතිසංස්කරන සමුච්චිත වීමක් ලෙස උදා වනු ඇති ද නැතහොත් එය ධනේශ්වර ක‍්‍රමයේ බිඳ වැටීමක් හා විප්ලවවාදී අරගල පුපුරා යාමක් තුලින් බිහි වනු ඇති ද?

1898 දී, ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයේ නායකයකු වූ එඩුවාඩ් බර්න්ස්ටයින් පක්ෂයේ මූලික ඉදිරි දර්ශනයට ප‍්‍රධාන සංශෝධනයක් යෝජනා කොට තිබින. ක‍්‍රමානුකූලවාදී ප‍්‍රවනතාවයේ දැක්ම පිඬු කොට දක්වමින් ඔහු කීවේ, ව්‍යාපාරය සියල්ලම වන අතර අවසාන එල්ලය වැදගැම්මකට නැති ශුන්‍යයක් බවයි. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (එස්පීඩීයේ) නිල ආස්ථානය සම්බන්ධයෙන් ගත් කල, ඒ තාක් දුරට, සංශෝධනවාදී ප‍්‍රවනතාවය පසුපසට තල්ලු කර දමා තිබින. එහෙත් එය පදනම් ව තිබූ භාවිතයන් - පන්ති සහයෝගිතාවය හා ධනපති පාලනයේ එම ව්‍යූහයටම සමෝධානය වීම- දිගටම වඩවඩාත් ශක්තිමත් වෙමින් පැවතුනි.

රුසියාවේ 1905 විප්ලවයෙන් අනතුරුව මෙම කාරනය යලිත් බුරබුරා ඇවිල යන්නට විය. සති දෙකකට ඉහත දී ෆ්‍රෙඩ් විලියම්ස් සිය දේශනය තුල ඒ සා විචිත්‍රී ලෙස සංක්ෂිප්ත කල පරිදි, බහුජන සහාය ලැබූ මහා වැඩ වර්ජන දියත්වීමත්, සෝවියට් සභා හෝ කම්කරු සභා ගොඩ නැගීමත් එහි සිදු විය. රෝසා ලක්සම්බර්ග් උදක්ම කියා සිටි ආකාරයට, මේ යුරෝපීය විප්ලවය විසින් අත්පත් කර ගනු ඇති ආකෘතීන් පෙරදකින්නා වූ, එම විප්ලවයේ පූර්ව දූතයා ද? නැතහොත් ඇගේ විරුද්ධවාදීන් - අන් හැමට ද වඩා වෘත්තීය සමිති තුල හුන් විරුද්ධවාදීන් - කියා සිටි පරිදි මේ වැඩි දියුනු බටහිර යුරෝපයට මෙලෝ සම්බන්ධයක් නොමැති, හුදු රුසියානු පසුගාමිත්වයේ ප‍්‍රකාශනයක් ද?

දෙවැනි ජාත්‍යන්තරය පාවා දීම මෙම කරුන පැහැදිලිව පෙන්නුම් කලේය. එහි ප‍්‍රභවය වූයේ, මුලුමනින් මල්පල දරා පරිනතව පැවැති, යුද්ධය තුල තමන්ගේම ධනපති පන්තියට විවෘතව සහාය දීම කරා පැන ගත් අවස්ථාවාදී ප‍්‍රවනතාවයේ දියුනුව හා වර්ධනයයි.

මෙම ප‍්‍රවනතාවයේ ද්‍රව්‍යමය මූලයන් පිලිබඳ ලෙනින්ගේ විශ්ලේෂනයට, ගැඹුරු දේශපාලන ගම්‍යයන් පැවතින. එයින් අදහස් වූයේ නව ජාත්‍යන්තරය -තුන්වැනි ජාත්‍යන්තරය- දෙවැන්නේ ශේෂයන්ගෙන් ප‍්‍රතිනිර්මානය නොකල හැකි හා, එහි න්‍යාය හා භාවිතයේ පදනම මත නොපිහිටුවිය හැකි බවයි.

දෙවැනි ජාත්‍යන්තරය “ක‍්‍රමානුකූල” වර්ධනයේ කාල පරිච්චේදය තුල වැදගත් ප‍්‍රාරම්භක කාර්යභාරයක් ඉටු කර තිබින. එහෙත් තුන්වැනි ජාත්‍යන්තරය මුහුන දී සිටියේ නව කර්තව්‍යයන්ටය: ධනේශ්වර ආන්ඩුවලට එරෙහිව සෘජු විප්ලවවාදී අරගලයට, ධනේශ්වරයට එරෙහි සිවිල් යුද්ධයට, දේශපාලන බලය අල්ලා ගැනීමට හා සමාජවාදය ජයග‍්‍රහනය කරවීමටය.

ඒ සඳහා, දෙවැනි ජාත්‍යන්තරය සමයේ සමාජවාදය තුල “නීත්‍යානුකූල” ප‍්‍රවනතාවයක් ලෙස සැලකුනු අවස්ථාවාදයෙන් දේශපාලනිකව, දෘෂ්ටිමය වශයෙන් හා සංවිධානාත්මකව මුලුමනින්ම වෙන්වීම අත්‍යවශ්‍ය විය.

රුසියාව තුල දී මෙන්ෂෙවිකයන් සමග භේදය හරහා එකී දේශපාලනික හා සංවිධානාත්මක වෙන්වීම ඉටු කෙරුනි. එහි ජාත්‍යන්තර අර්ථභාරය ලෙනින්ට දැන් වඩවඩාත් පැහැදිලිව පෙනී යමින් තිබින.

බෝල්ශෙවිකයන් හා මෙන්ෂෙවිකයන් අතර බෙදීම ඇරඹුනේ, රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ 1903 සම්මේලනයේ දීය. පක්ෂ සාමාජිකත්වය කුමකින් සමන්විත වේ ද යන්න පිලිබඳව වූ වාක්‍යාංශයක් අරභයා වර්ධනය වූ එය ඒ වනවිට යම්තාක් දුරකට අපැහැදිලිව පැවතියේය.

1905 විප්ලවය විදාරනය වීමත් සමග ප‍්‍රතිවිරුද්ධතාවයේ පන්ති පදනම ඉස්මතු වන්නට පටන් ගැනින. බෝල්ශෙවික් පිලිවෙත පදනම් වුයේ ලිබරල් ධනේශ්වරය කෙරේ සතුරුභාවය හා විරුද්ධත්වය මතය. මෙන්ෂෙවික පිලිවෙත ලිබරල් ධනේශ්වරයට අනුග‍්‍රයහ දැක්වීය. දෙසැම්බර් නැගිටීමේ දී මොස්කව් කම්කරුවන් අවි අතට නොගත යුතුව තිබිනැයි යන ප්ලෙකනොව්ගේ ප‍්‍රකාශය තුල මෙය වඩාත්ම විචිත්‍රීව ප‍්‍රකාශයට පත් විය.

රුසියාවේ ඉටු කිරීමට ඇත්තේ ධනපති-ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයකි යන මතයේ ඔවුහු එල්බ සිටියහ. වැඩවසම් පරමාධිපති පාලනය අහෝසි කිරීම හා ධනේශ්වර තන්ත‍්‍රයක් බලයට පත්කිරීම එහි කර්තව්‍යයන් විය. මොස්කව්හි ක්‍රියාකාරිත්වයන් තුලින් සිදු වනු ඇත්තේ ලිබරල් ධනපති පන්තිය තමාට පැවරුනු ඓතිහාසික කාර්යභාරයෙන් හුදෙක් ඉවතට තල්ලු කර දැමීම පමනෙකි. එබැවින්, ප්ලෙකනොව්ට අනුව, ධනපති පක්ෂය - කැඩෙට්වරුන් - සම්බන්ධයෙන් “උපායශීලි” ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍යය.

1905 න් අනතුරුව මතභේදය දිගටම පැවැති අතර, ජාත්‍යන්තරය තුල එය යම් ආකාරයක රුසියානු සුවිශේෂත්වයක් ලෙස දක්නා ලදී. ඔවුන් “නැවතත් එය පටන් අරන්” යන්න සුලබ ප‍්‍රතිචාරයක් විය.

දෙවැනි ජාත්‍යන්තරය පාවාදීම අවස්ථාවාදයෙන් හා එහි ආරක්ෂකයන්ගෙන් මුලුමනින් සංවිධානාත්මකව බිඳී වෙන්වීමේ අත්‍යවශ්‍යතාවය මතු කලේය. මෙන්ෂෙවිකයන් සමග භේදයේ ජාත්‍යන්තර අර්ථභාරය ලෙනින්ට සුපැහැදිලි විය.

රුසියාවේ නිර්ධන පන්ති ව්‍යාපාරය සුලු ධනපති අවස්ථාවාදී කොටස්වලින් පරිපූර්නවම කපා වෙන් කර ගැනීම, ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසය පුරා සූදානම් කොට තුබූ එකෙකැයි ලෙනින් ලිවීය.

“‘කල්ලිවාදය’ට එරෙහිව ඝෝෂා කිරීම මගින්, එම ඉතිහාසය නොතකා හරින්නෝ, රුසියාව තුල නිර්ධන පන්ති පක්ෂයක් බිහිවීමේ තථ්‍ය ක්‍රියාවලිය වටහා ගැනීමට නොහැකි තැනකට තෙමේම ඇද වැටෙති....”

රුසියාවේ අරගලය ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් එකක් විය. මන්ද යත්, අවසාන විග‍්‍රහයේ දී එය මුල් බැස තිබුනේ ද දෙවැනි ජාත්‍යන්තරය තුල 1914 පාවාදීමට මාවත විවර කර දෙමින්, අවස්ථාවාදයට වර්ධනය හා ජයග‍්‍රහනය අත්පත් කර දුන් එම ක්‍රියාවලිය තුලම නිසාය. එම මාදිලියේ ම “යුරෝපීය” වර්ධනයක් තුල, “තමාගේම” ජාතිය විසින් භුක්ති විඳිනු ලබන ඇතැම් “මහ බලවතුන්ට හිමි” වරප‍්‍රසාද අත් කර ගත් සුලු ධනේශ්වරයේ වරප‍්‍රසාදිත ස්ථරයකට තම ප‍්‍රතිමූර්තිය, රුසියාවේ මෙන්ෂෙවික්වාදය තුල සොයා ගත හැකියැයි ලෙනින් ලිවීය.

එහෙත් රුසියාව තුල එකී බලවේගවලින් දේශපාලනිකව හා සංවිධානාත්මකව බිඳී වෙන්වීමක් සිදු කර ඇත. දැන් පුලුල් කල යුතුව තිබූ අනවරත විප්ලවවාදී “ජාත්‍යන්තරවාදී” උපායයන් වූයේ ඒවාය.(22)

සිමර්වල්ඩ් සම්මේලනය

මෙම අරගලය ආරම්භ වූ සංග‍්‍රාමභූමිය, 1915 සැප්තැම්බර් 5-8 දිනවලදී කුඩා ස්විස් ගම්මානයක් වූ සිමර්වල්ඩ්හි පැවැත්වූ සමාජවාදී යුද-විරෝධී සමුලුවයි. එය රහසිගතව පවත්වන ලදී. හෝටල් ලියාපදිංචිය සිදු කෙරුනේ පක්ෂි විද්‍යා සංගමයක නමිනි. පක්ෂීන් නැරඹීමක් කිසිසේත් සිදු නොවූ නමුදු මානුෂික චින්තනයේ සැබෑම තීක්ෂන ඇතැම් උකුස්සෝ ඊට සහභාගී වූහ. ඉන් වඩාත් කැපී පෙනුනේ ලෙනින් හා ට්‍රොට්ස්කිය.

සිමර්වල්ඩ් සමුලුව සංවිධානය කරන ලද්දේ ස්විස් සමාජවාදියෙකු වූ රොබට් ග්‍රීම් විසිනි. ඔහුගේ ද සංඛ්‍යාවෙන් 43 ක් වූ නියෝජිතයන් අතුරින් බහුතරයක් වූ ඔහුගේ ආධාරකරුවන්ගේ ද ඉදිරි දර්ශනය ලෙනින්ගේ ඉදිරි දර්ශනයෙන් බොහෝ සේ දුරස්ත එකක් විය. ග්‍රිම්ගේ අරමුන වූයේ යුද්ධයට එරෙහි විප්ලවවාදී ව්‍යාපාරයක් දියත් කිරීම නොව, අගෝස්තු 4 පාවාදීමේ කලු පැල්ලම් දෙවැනි ජාත්‍යන්තරයෙන් සෝදා හැර, සාමයේ පොදු සටන්පාඨය යටතේ එහි යුද-පූර්ව පදනම් ප‍්‍රතිස්ථාපනය කිරීමයි.

සමුලුවේ සුලුතරය ලෙස පුලුල් වාම පාර්ශ්වයක් පැවතින. එතුල වඩාත් කුඩා - සංඛ්‍යාවෙන් 5 ක් පමන වූ - කන්ඩායමක්, ලෙනින් වටා එක්රැස්ව සිටයහ.

සමුලුවේ ප‍්‍රතිඵල කුමක් වේ ද යන්න පිලිබඳව ලෙනින්ට කිසිදු මිත්‍යාවක් නොවීය. සංඛ්‍යාවෙන් එය කෙතෙක් කුඩා වුව, අව්‍යාජ මාක්ස්වාදී බලඇනි ජාත්‍යන්තරව ඒකරාශී කිරීමේ ඉදිරි පියවරක් ලෙස ඔහු එය දුටුවේය.

ස්විස් වාමාංශික සමාජවාදියෙකු වූ ෆ්‍රිට්ස් ප්ලටන් සිහිපත් කල පරිදි, සමුලුවේ කටයුතු වලදී වඩාත්ම සාවධානව අසා සිටින්නා වූයේ ලෙනින්ය. කලාතුරකින් පමනක් කථා කල ඔහු කිසිවිටෙක දීර්ඝව කථා නොකලේය. එහෙත් ඔහු කථා කල අවස්ථාවන්හි දී, ඔහුගේ වචනවල “කර්කශ උපහාසයන් වරුසාවක බලපෑම” ගැබ් වී තිබින. සමුලුවට යෝජනා කෙටුම්පතක් ඉදිරිපත් කල එකම නියෝජිතයා වූයේ ලෙනින්ය. බොහොමයක් සාකච්ඡාවන් සඳහා තානය සැකසුනේ ඔහුගේ ඉදිරි දර්ශනයෙනි.

ප්ලටන්ට අනුව, “ලෙනින්ගේ ප‍්‍රබලත්වය සමන්විත වූයේ, ඔහු විසින් ඓතිහාසික වර්ධනයේ නීති ආශ්චර්යවත් පැහැදිලිකමකින් දකිනු ලැබීම තුලය.” (23)

අගෝස්තු 4 පාවාදීමේ කලු පැල්ලම් පිස දැමීමට තැත් කිරීම මගින් දෙවැනි ජාත්‍යන්තරය ප‍්‍රතිස්ථාපනය කිරීමට දැරුනු සියලු ප‍්‍රයත්නයන් කෙරේ ලෙනින්ගේ ආකල්පය නිර්නය කෙරුනේ එකී නියාමයන් මත ඔහු යොදා තිබූ අවධානය විසිනි.

දෙවැනි ජාත්‍යන්තරයේ බිඳවැටීම හුදෙක් එහි නායකත්වය කල පාවාදීමේ ප‍්‍රතිඵලයක් පමනක් නොවීය. එය සාපේක්ෂව සාමකාමී ලෙස වර්ධනය වීමේ සමස්ත ඓතිහාසික කාල පරිච්චේදයක අවසානය සනිටුහන් කලේය. යුද්ධ සහ විප්ලවයන්හි නව කාල පරිච්චේදයක් උදා වී තිබින. නව කර්තව්‍යයන්ට මුහුන දෙනු වස්, නව පදනම් මත, නව ජාත්‍යන්තරයක් ගොඩනැගිය යුතුව තිබින.

යෝජිත සටන්පාඨය සාමය සඳහා යන්නයි. එතෙකුදු, සියලු විවාදාපන්න විෂයයන් එතුල ගැබ්ව තිබිනි: අධිරාජ්‍යවාදය කරා වූ තම ඓතිහාසික වර්ධනය විසින් යුද්ධයට මාවත තැනූ ධනේශ්වර ක‍්‍රමය පෙරලා දැමීමෙන් තොරව සාමයක් කෙසේ නම් උදා කර ගත හැකිද? තව ද කම්කරු ව්‍යාපාරය ඇතුලත අධිරාජ්‍යවාදයේ උත්සුකයන් නියෝජනය කිරීමට පැමිනි සියල්ලන් කෙරෙන් පරිපූර්නවම වෙන්වීමෙන් තොරව, සහ ඔවුන්ට එරෙහිව සම්මුති විරහිත අරගලයක් කිරීමෙන් තොරව එම කර්තව්‍යය කෙසේ නම් සපුරා ලිය හැකි ද?

සැප්තැම්බර් 7 වන දින සන්ධ්‍යා සැසිය තුල ප‍්‍රන්ස නියෝජිත ඇල්පොන්ස් මර්හයිම් සාකච්චා වූ කරුනු පිඬු කොට දැක්වීය. බහුතරයට අවශ්‍යවන්නේ, නිර්ධන පන්තිය සාමය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග විනා පටු සූත‍්‍ර නොවේයැයි ඔහු සඳහන් කලේය. මර්හයිම් විප්ලවයට විපක්ෂ නොවූයේය. එනමුදු, “විප්ලවවාදී ව්‍යාපාරයක් වර්ධනය විය හැක්කේ සාමය සඳහා දැරෙන පරිශ‍්‍රමයකින් පමනෙකි. ලෙනින් සහෝදරය, ඔබ සාමය සඳහා දැරෙන පරිශ‍්‍රමයකින් අභිප්‍රේරනය නොලබන්නෙහිය. ඔබ පොලඹවනු ලබන්නේ නව ජාත්‍යන්තරයක් ගොඩනැගීමට ඇති අභිප‍්‍රායෙන් පමනෙකි. අප වෙන් කෙරෙන්නේ එයිනි.” (24 )

සිමර්වල්ඩ් සමුලුවේ ප‍්‍රතිඵලය වූයේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ට්‍රොට්ස්කි විසින් කෙටුම්පත් කරන ලද හා සියලු නියෝජිතයන් විසින් අත්සන් තබන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් නිකුත් කිරීමයි. එය කිසි ලෙසකිනුත් ලෙනින්ට හෝ ට්‍රොට්ස්කිටම පවා හෝ අවශ්‍ය වූ සියල්ල නියෝජනය නොකලේය. එහෙත් එය, ලෙනින් දැක්වූ පරිදි, “අවස්ථාවාදයෙන් හා සමාජ ස්වෝත්තමවාදයෙන් දෘෂ්ටිමය වශයෙන් හා ප‍්‍රායෝගිකව බිඳී වෙන්වීමේ දිශාවට” (25) තැබූ ඉදිරි පියවරක් විය.

ඊලඟට එලඹි මාසවල සිදුවෙමින් පැවැති ජනඝාතන හා ගැඹුරු වෙමින් පැවැති අගහිඟකම් මධ්‍යයේ, මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අන්තර්ගතය අධිරාජ්‍යවාදය හෙලා දකිමින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ වඩාත් පුලුල් කොටස්වල විඥානයට ආමන්ත‍්‍රනය කරන කල්හි, යුද්ධයට එරෙහිව පුලුල් වන විරෝධයක් සමග සිමර්වල්ඩ් අත්වැල් බැඳ ගැනීමට නියමිතව තිබිනි.

නව ජාත්‍යන්තරයක් සඳහා පදනම්

එහෙත් සමුලුවේ හැරීම්වලට යටින් පැවතුනු පාදක විවාදාත්මක විෂයයන් නොවෙනස්ව එලෙසම පැවතුනි.

1916 මාර්තුවේ, නව ජාත්‍යන්තරයක පදනම් පිලිබඳව රෝසා ලක්සම්බර්ග් විසින් නිකුත් කෙරුනු යෝජනාවක ඒවා පැහැදිලිව දක්වා තිබින. එය බිහිවිය හැක්කේ, සාමය අත්පත් කර ගැනීම සඳහා බල කෙරෙන බහුජන ක්‍රියාමාර්ග මුලටම සිටින, බහුජන විප්ලවවාදී අරගලයන්හි ප‍්‍රතිඵලයක් ලෙස පමනෙකැයි ඇය ලියුවාය.

“ජාත්‍යන්තරයේ පැවැත්ම හා එහි ශක්‍යතාවය යනු සංවිධානාත්මක ප‍්‍රශ්නයක් නොවේ, එය කම්කරු ජනයාගේ ප‍්‍රතිපාක්ෂික- නැඹුරුවකින් යුත් ස්ථරයක, තනිතනි මිනිසුන්ගේ කුඩා කවයක් තුල, අන්‍යොන්‍ය අවබෝධය පිලිබඳ ප‍්‍රශ්නයක් ද නොවේ. ඒ වෙනුවට, එය සියලු දේශයන්හි නිර්ධන පන්තියේ මහජන ව්‍යාපාරය පිලිබඳ ප‍්‍රශ්නයකි.”(26)

ලෙනින්ගේ සංකල්පය සමග මෙහි මූලික වෙනසක් පවතී.

යුද්ධය විසින් බහුජන විප්ලවවාදී අරගල අවුලුවා ලනු ලැබීම පිලිබඳ ඔහුට සැකයක් නොවීය. එහෙත් තීරනාත්මක ප‍්‍රශ්නය වූයේ එම අරගලවලට පූර්වගාමී විප්ලවවාදී නායකත්වයක් පවතින්නේ ද යන්නයි. එකී විප්ලවවාදී නායකත්වය, අත්‍යවශ්‍ය වැඩ පිලිවෙලෙහි ප‍්‍රධාන සංරචකයන් තේරුම් බේරුම් කරගත් එකක් විය යුතු අතර, වඩාත් වැදගත් වූයේ, යුද්ධයට සහය පුදන ලදුව, විප්ලවය පීලි පැන්නවීමට ඉදිරිපත් විය හැකි දේශපාලන ප‍්‍රවනතාවයන්ට, සියල්ලටමත් වඩා කම්කරු ව්‍යාපාරය තුලින්ම ඉස්මතු වන එවන් ප‍්‍රවනතාවලට තමන්ගේ සතුරු කම පැහැදිලිව ප‍්‍රකාශයට පත් කල එකක් ද විය යුතුය.

යුද්ධයට පාර කැපූ එම කොන්දේසිවලම නිෂ්පාදිතයක් වන විප්ලවයේ ඇවිල යාම, කම්කරු පන්තිය විසින් බලය දිනා ගැනීම කරා සාර්ථකව මෙහෙයවිය හැක්කේ එබඳු සූදානමක පදනම මත පමනෙකි.

මෙම ඉදිරි දර්ශනයේ නිරවද්‍යතාව, 1917 සිදුවීම්වල ගමන් මග ඔස්සේ තහවුරු විය යුතුව තිබින. සිමර්වල්ඩ් සමුලුවෙන් යන්තම් වසර එක හමාරක් ගෙවී ගිය තන්හි පෙබරවාරි විප්ලවය පුපුරා ගිය අතර, ඊට අට මසක ඇවෑමෙන් ඔක්තෝබර් විප්ලවය ද පැමිනියේය.

ස්විට්සර්ලන්තයේ සිට රුසියාව කරා ආපසු ගමන් අරඹන විට ස්විස් කම්කරුවන්ට ලියූ වෙන්වීමේ සුබපැතුම් ලිපියේ ලෙනින් මෙසේ ලිවීය:

“1914 නොවැම්බරයේ අපේ පක්ෂය, ‘අධිරාජ්‍යවාදී යුද්ධය, සමාජවාදය අත්පත් කර ගැනීම සඳහා පීඩිතයන් විසින් පීඩකයන්ට එරෙහිව කෙරෙන සිවිල් යුද්ධයක් බවට හරවනු’ යන සටන්පාඨය ගෙන එන විට, සමාජ දේශප්‍රේමීන් විසින් මෙම සටන්පාඨය පිලිගනු ලැබුනේ, වෛරයෙන් හා ද්වේශ සහගත අවමානයකිනි. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ‘මධ්‍යස්ථානය’ එය පිලිගත්තේ සංශයවාදී, නිවට හා අසාමාන්‍ය නිශ්ශබ්දතාවයකිනි. දැන්, 1917 මාර්තුවෙන් පසුව, එය නිවැරදි සටන්පාඨය වූ බව නොදැක සිටිය හැක්කේ අන්ධයෙකුට පමනි. අධිරාජ්‍යවාදී යුද්ධය පරිවර්තනය කිරීම සත්‍ය කරුනක් බවට පත්වෙමින් පවතී. යුරෝපයේ ආරම්භ වෙමින් පවත්නා නිර්ධන පන්ති විප්ලවය දිගු කල් දිනේවා!”(27)

සටහන්:

1. උපුටා දක්වා ඇත, Hamilton and Herwig, Decisions for War, 1914–17 (Cambridge, 2004), පි. 19

2. Niall Ferguson, The Pity of War (Allen Lane, 1998), පි. 31

3. උපුටා දක්වා ඇත: Fritz Fischer, War of Illusions: German Policies from 1911 to 1914 (London: Chatto & Windus, 1975), පි. 449

4. උපුටා දක්වා ඇත: David Stevenson, Armaments and the Coming of War (Oxford: Clarendon Press, 1996), පි. 391

5. උපුටා දක්වා ඇත: Paul Kennedy, The Rise of Anglo-German Antagonism (London: The Ashfield Press, 1987), පි. 467

6. Engels, Introduction to Borkheim Abstract, available at, බලන්න: https://www.marxists.org/archive/marx/works/1887/12/15.htm

7. Resolution of the Second International Stuttgart Congress, available at, බලන්න: https://www.marxists.org/history/international/social-democracy/1907/militarism.htm

8. Lenin, Collected Works Volume 21, පි. 34

9. Lenin, Collected Works Volume 21, පි. 161

10. Lenin, Collected Works Volume 21, පි. 279

11. Rudolf Hilferding, Finance Capital (London: Routledge & Kegan Paul, 1985), පි. 22

12. Hilferding :එම ,පි.334

13. උපුටා දක්වා ඇත: Lenin, Collected Works Volume 21, පි.219

14. Lenin, Collected Works Volume 21, පි. 187

15. උපුටා දක්වා ඇත: Lenin, Collected Works Volume 21, පි. 278

16. Rosa Luxemburg, The Junius Pamphlet: The Crisis in the German Social Democracy in Rosa Luxemburg Speaks (New York: Pathfinder Press, 1970), පි. 261*262

17. Lenin, Collected Works Volume 21, පි. 315-316

18. Leon Trotsky, War and the International, පි. 51-52

19. Lenin, Collected Works Volume 21, පි. 215

20. Lenin, Collected Works Volume 21, පි. 216

21. Karl Marx, Theses on Feuerbach බලන්න: ලුඩ්විග් ෆොයාබාක් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය, උපග‍්‍රන්ථය 1, (කම්කරු මාවත ප‍්‍රකාශන, 2015), පි.97

22. Lenin, Collected Works Volume 21, පි. 258

23. Catherine Merriedale, Lenin on the Train (Allen Lane, 2016), පි. 86

24. උපුටා දක්වා ඇත: R. Craig Nation, War on War (Chicago: Haymarket Books, 2009), පි. 89

25. Lenin, Collected Works Volume 21, පි. 384

26. උපුටා දක්වා ඇත :R. Craig Nation, War on War, පි.95

27. Lenin, Collected Works Volume 23, පි. 373

[මෙම ලිපිය 2017 අප්‍රේල් 10 වනදා ඉංග්‍රීසි බසින් පල විය.]

Loading