රුසියානු විප්ලවයේ ශත සංවත්සරය පිලිබඳ දේශනය

පෙබරවාරි විප්ලවය තුල ස්වාභාවිකත්වය සහ සවිඥානකත්වය

මෙහි පල කරන්නේ අප්‍රේල් 22 දා ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් කරන ලද දේශනයයි. මෙය වනාහි හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් 1917 රුසියානු විප්ලවයේ සියවස සලකුනු කිරීම සඳහා අන්තර් ජාලය තුලින් කරන ලද දේශන 5කින් හතර වැන්නයි.

පෙබරවාරියට පසුබිම: රුසියානු වර්ධනයේ “ඒකාබද්ධ සහ අසමාන” ස්වභාවය සහ නොනවතින විප්ලව න්‍යාය

රුසියාවේ 1917 පෙබරවාරි සිදුවීම්, ඉතිහාසයේ ගමන් මග වෙනස් කල විප්ලවවාදී නැගිටීම්වල ආරම්භය සලකුනු කලේය. පෙබරවාරි 22දා විප්ලවයේ මුවවිටේදී ද දෙවන නිකොලස් සාර් සමස්ත රුසියාවේ අධිරාජයා හා පරමාධිපතියා විය. අපරාජිත යයි පෙනී ගිය, වසර 300ත් වැඩි කාලයක් රුසියාව පාලනය කල රොමානොව් රජ පෙලපත, සතියකට පසුව පෙරලා දැමුනි. එය විස්ථාපනය කිරීමෙන් පසුව බිහි වූයේ, ධනපති තාවකාලික ආන්ඩුව හා කම්කරු-සෙබල සෝවියට් සභාව අතර අස්ථාවර “ද්වන්ධ බලයකි.” පසුව එලඹි මාස අටක කාලය පුරා පැවති දේශපාලන ගැටුම්වල ආකෘතිය මෙය විය. එය තුඩු දුන්නේ, බොල්ශෙවික් පක්ෂ නායකත්වය යටතේ කම්කරු පන්තිය විසින් බලය අල්ලාගනු ලැබීමටය.

1917 රුසියානු විප්ලවය පිලිබඳව විමසීමේදී අප යලිත් වරක්, විප්ලවවාදී ව්‍යාපාරය විසින් “රුසියානු ප‍්‍රශ්නය” විශ්ලේෂනය කලේ හා අවබෝධකර ගත්තේ කෙසේ ද යන්න සලකා බැලිය යුතුව ඇත. මන්දයත්, 1917 වර්ධනය වූ බලගතු දේශපාලන සහ සමාජ සිද්ධීන් වටහා ගත හැක්කේ මේ සන්දර්භය තුල පමනක් හෙයිනි.

කෙසේ වෙතත් මාක්ස්වාදය රුසියාව තුල මුල්බැස ගත්තේ, සමාජවාදී ව්‍යාපාරයක ට අවශ්‍යමයයි සලකන ලද තරමක ට සමාජ සහ ආර්ථික වර්ධනයක් නොතිබුනු, විශේෂයෙන්ම ධනේශ්වර දේපොල සම්බන්ධතාවන්හි අධිකාරය හා පුලුල් කම්කරු පන්තියක් නො පැවති තත්වයක් තුල ය. 20වන සියවස ආරම්භ වන විටත්, සමස්ත ජනගහනයෙන් සියයට 85ම ගොවිජනතාව වූ අතර ඔවුන් වැඩිදෙනා නූගත් භාවයේ සහ දිලිඳුකමේ ගිලී සිටියෝය. ප‍්‍රවේනි දාසභාවය නිලවශයෙන් 1861දී අහෝසි කෙරුනු නමුත් ඉඩම් අයිතිය මහ ඉඩම් හිමියන්ගේ ආධිපත්‍යය යටතේ පැවතුනි. 17වන සහ 18 වන සියවස්හි බටහිර යුරෝපයේ විප්ලව විසින් අහෝසි කරන ලද පැරනි වැඩවසම් සම්බන්ධතා [රුසියාව තුල මේ වන විටත්] ඉතුරුව පැවතුනි. දේශපාලනිකව සාර්වාදී රදල පරපුර රට තුල ආධිපත්‍යය දැරීය. බටහිර යුරෝපයේ හා ඇමරිකාවේ පැවතියාක් වැනි පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍රය හා පාර්ලිමේන්තුවාදී සැබෑ ආකෘතීන් නොපැවතුනි. මෙහි අර්ථය වූයේ, රුසියාවේ විප්ලවවාදී ව්‍යාපාරයෙහි ක්ෂනික කර්තව්‍යයන් බවට පත්ව තිබුනේ ධනේශ්වර-ප‍්‍රජාතන්ත්‍රික ස්වභාවයේ දේ බව ය.

රුසියාවේ කම්කරු පන්තිය ගොවිජනයාට සාපේක්ෂකව ප‍්‍රමානයෙන් කුඩා වුවත්, ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේදී තීරනාත්මක භූමිකාව ඉටු කරනු ලබන්නේ කම්කරු පන්තිය විසින් බව වටහා ගනු ලැබුවේ “රුසියානු මාක්ස්වාදයේ පීතෘ” ජෝර්ජි ප්ලෙඛානොව් විසිනි. 1889 දී පැවැත්වුනු දෙවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයේ දී ඔහු එය ප‍්‍රකාශ කලේ මෙසේය: “රුසියානු විප්ලවවාදී ව්‍යාපාරය ජයග‍්‍රහනය කරනු ඇත්තේ කම්කරු පන්තියේ විප්ලවයක් හැටියට පමනි, එසේ නැතහොත් එය කිසිසේත්ම ජයග‍්‍රහනය කරනු නැත.” (1) ඔහුගේ සංකල්පය වූයේ, අවධි දෙකක විප්ලවයකි. එහිදී කම්කරු පන්තිය ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ දී නායකත්වය ගනු ඇත. කෙසේ වුවත් බලය අවශ්‍යයෙන්ම පැවරෙනු ඇත්තේ ධනපති පන්තියට ය. මෙය කම්කරු පන්තිය තමන්ගේ අතට බලය ගැනීමට තරම් ශක්තිමත් වනතෙක් ධනපති සංවර්ධනය උදෙසා අඩු හෝ වැඩි වශයෙන් දිග්ගැසුනු කාලයක් පවතිනු ඇත.

ප්ලෙඛානොව් සම්බන්ධයෙන් පසුගිය වසර අග නෝර්ත් හා වොල්කොව් සහෝදරවරුන් පල කල වැදගත් ලිපිය තුල මෙසේ සඳහන්වේ, “දේශපාලන චින්තකයෙක් ලෙස ප්ලෙඛානොව්ගේ කැපී පෙනෙන කාර්යභාරය, ඔහු කම්කරු පන්තියක් ජනතා සමාජ කන්ඩායමක් ලෙස ආර්ථික හා දේශපාලන ජීවිතයේ සුවිශේෂී තැනක් හිමිකර ගැනීමටත් පෙර හා රුසියාව තුල ධනවාදය එහි පලමු පියවර තැබුවාක් පමනක් වූ තතු තුල, එම පන්තියේ තීරනාත්මක ක්‍රියාකලාපය පෙර දැකීමට සමත්වුනේය යන කාරනය තුලය.”

පෙබරවාරි විප්ලවය තුල ස්වාභාවිකත්වය සහ සවිඥානකත්වය

“විප්ලවවාදී මූලෝපාය හා උපාය පිලිබඳ ක්ෂේත‍්‍රය තුල ලෙනින් හා ට්‍රොට්ස්කි යන දෙදෙනාම මුල පිරූ සියලු තදනන්තර ප‍්‍රගමනයන් සඳහා පදනම දැමුනේ මෙතුලින් ය. 1889 දෙවැනි ජාත්‍යන්තරය පිහිටුවීමේ සම්මේලනයෙහි දී ප්ලෙඛානොව් පැවැත්වූ කථාව තුල මෙම ප‍්‍රගමනයන් පිලිබඳ පූර්වාපේක්ෂාව ගැබ් වී පැවතින. ඔහුගේ පහත දැක්වෙන ප‍්‍රකාශය නියෝජිතයන්ට විදුලි සැර කැවීමක් විය: “රුසියාව තුල විප්ලවවාදී ව්‍යාපාරය ජයග‍්‍රහනය කරනු ඇත්තේ කම්කරුවන්ගේ ව්‍යාපාරයක් ලෙස පමනි. නැතහොත් එය කිසිදා ජයග‍්‍රහනය කරනු නැත.” පසුගාමී රුසියාවේ නිර්ධන පන්තියෙහි තීරනාත්මක විප්ලවවාදී කාර්යභාරය ඊට පෙර අන් කවර හෝ යුරෝපීය සමාජවාදියකු හඳුනාගෙන තිබුනේ නැත. සත්තකින්ම මෙම දුර දක්නා මූලික සංකල්පය සමස්ත රුසියානු මාක්ස්වාදී ව්‍යාපාරයේම පසුකාලීන සංවර්ධනය උදෙසා අත්තිවාරම දැමීය.

කෙසේ වෙතත් රුසියානු ධනවාදයේ ඉක්බිති පියවර, ප්ලෙඛානොව් ගේ අවධි දෙකේ සංකල්පයේ පැවති දුබලකම් හා ප‍්‍රතිවිපාක එලිදරව් කරන ඉදිරිදර්ශනය පිලිබඳ තීරක ගැටලූ ඉස්මතු කලේය. ෆ්‍රෙඞ් විලියම්ස් සහෝදරයා විසින් කරන ලද දේශනයේ දී සඳහන් කරන ලද පරිදි, 1905 විප්ලවය කම්කරු පන්තියේ යෝධ සමාජ බලය විදහා දැක්වූවා පමනක් නොව, එය හා බැඳී, ධනේශ්වරයේ ප‍්‍රතිවිප්ලවවාදී භූමිකාව ද එලිදරව් කලේ ය. මේ වන විට රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ මෙන්ෂෙවික් කන්ඩායම සමග සම්බන්ධව සිටි ප්ලෙඛානොව් මෙසේ ලිවීය: මෙම විප්ලවය ස්වභාවයෙන් ධනේශ්වරය, එහි අර්ථය, එය විසින් ධනවාදය බිඳ නොදමන බවය; ඔහුට අනුව ඒ වෙනුවට විප්ලවය විසින් සිදු කෙරෙනු ඇත්තේ, ‘ප‍්‍රථම වතාවට සැබෑ ආකාරයකට, පුලූල් සහ වේගවත්, යුරෝපීය වන, ආසියානු නොවන, ආකාරයේ ධනේශ්වර සංවර්ධනයකි. “පලමු වතාවට පන්තියක් ලෙස ධනේශ්වරයේ පාලනයකි.” (2)

එහෙත් බලය ගන්නට උවමනාවක් නැති පන්තියක් අතට, විප්ලවයේ ගාමක බලවේගය වූ කම්කරු පන්තියට හොඳටම බියවන පන්තියක් අතට, බලය මාරු කරන්නේ කෙසේ ද යන්න මතුවූ ප‍්‍රශ්නයයි. කම්කරු පන්තියට මෙම ඉදිරිදර්ශනයේ තර්කනය වූයේ, ධනපති පන්තිය බියට පත්වී ප‍්‍රතිගාමිත්වයේ කඳවුරට මාරුවනු ඇතැයි බියෙන්, තමන්ගේ අවශ්‍යතා මතු කිරීමෙන් වැලකී සිටිය යුතුය යන්න යි. අපට පසුව දක්නට ලැබෙන පරිදි, එම ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය, පෙබරවාරි විප්ලවයෙන් පසුව මෙන්ෂෙවිකයින් සහ සමාජ විප්ලවවාදී පක්ෂය විසින් වර්ධනය කරනු ලැබින.

බෝල්ශෙවිකයන්ගේ නායකයා වූ ලෙනින්ගේ ඉදිරිදර්ශනය මෙයට බෙහෙවින් වෙනස් විය. රුසියානු විප්ලවය ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයක් වන නමුත් එම විප්ලවයේ අති මූලික කර්තව්‍යයන් ධනේශ්වරය හෝ එය සමග සන්ධානයක් මගින් ඉටු කෙරෙන්නේ හෝ ඉටු කලහැක්කේ නැත. මෙම කර්තව්‍යයන් අතුරෙන් ඉතා වැදගත් එක, ගම්බද ප‍්‍රදේශවල වැඩවසම් සම්බන්ධතා අතුගා දැමීම ය. එහෙත් රුසියාවේදී මෙම කර්තව්‍යයන් ඉෂ්ට කිරීමට ධනේශ්වරය අකමැති ද අසමර්ථ ද විය. 1905 දී ප්ලෙඛානොව්ගේ ප‍්‍රකාශය, ක්‍රියාවන් මගින් කම්කරු පන්තික නොවන පක්ෂ “උපාය භංග ක්‍රියාවලින්” විරුද්ධ කරගත යුතු නැතැයි යන ප‍්‍රකාශයට ප‍්‍රතිවිරුද්ධව, ලෙනින් පැහැදිලි කලේ මෙසේ ය, “ලිබරලුන්ද ඉඩම්හිමියන් ද ඔබගේ ‘උපාය භංග ක්‍රියා’ මිලියනයකට වුව ද ඔබට සමාව දෙනු ඇත. ඔවුන් ඔබට සමාව නොදෙන්නේ ඔබ ඔවුන්ගේ ඉඩම් අල්ලාගතහොත් ය.” [3]

ලෙනින්, සාර්වාදී රදල පාලනය කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී “ඒකාධිපතිත්වයක්” මගින් පෙරලා දැමීමේ ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කලේ ය. මෙහිදී ‘ඒකාධිපතිත්වය’ යන වචනය යොදන ලද්දේ රාජ්‍ය බලය පිලිබඳ මාක්ස්වාදී අර්ථයෙනි. ගොවි ජනයා ගේ ආධාරයෙන් බලය ගනු ඇති කම්කරු පන්තිය, අතිශය රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රද පියවරයන් ගනු ඇත. කෙසේ වෙතත් මෙම විප්ලවය, ධනේශ්වර දේපල සබඳතාවන් ඉක්මවා යනු නැත. 1905 දී ඔහු මෙසේ ලිව්වේ ය: “සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිරතුරුවම රුසියාව තුල එලඹෙන විප්ලවයේ ධනේශ්වර ස්වභාවය ගැන අවධාරනය කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවම ක්‍රියා මර්ගය ද සමාජවාදී උපරිම ක්‍රියා මාර්ගය ද අතර පැහැදිලි බෙදුම් කඩනයක් ඇඳ ගැනීමේ අවශ්‍යතාව අවධාරනය කල ලෙනින් තව දුරටත් මෙසේ ද පවසයි: සිද්ධීන්ගේ ඓතිහාසික පථය දැන් රුසියානු කම්කරු පන්තිය ඉදිරියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධනේශ්වර විප්ලවය ඉෂ්ට කර ලීමේ කර්තව්‍යය නිශ්චිතවම ඉස්මතුකර ඇත්තේ ය... මෙම කර්තව්‍යටය සමස්තයක් වශයෙන් ජනතාව, එනම්, සුලු ධනේශ්වර හා ගොවිජනතාව ඉදිරියේ ඉස්මතු ව පවතී. එවන් විප්ලවයකින් තොරව අඩු හෝ වැඩි වශයෙන් සමාජවාදී විප්ලවය සඳහා පෘථුල ස්වාධීන පන්ති සංවිධානයක වර්ධනය ගැන සිතීමවත් කල නොහැක්කේ ය.” [4]

ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය, ප්ලෙඛානොව්ගේ අවධි දෙකේ න්‍යාය මෙන්ම ලෙනින් විසින් යෝජිත ‘කම්කරු පන්තියේ සහ ගොවි ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාධිපතිත්වය’ පිලිබඳ සූත‍්‍රය ද ප‍්‍රතික්ෂේප කලේ ය.

ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ මූලික කර්තව්‍යයන් සම්පූර්න කිරීමට තවමත් ඉතුරුව ඇති බව ට්‍රොට්ස්කි වටහා ගත්තේ ය. ධනේශ්වර සංවර්ධනයේ ‘අසමානතාව’ රුසියානු ආර්ථිකයේ ද සමාජයේ ද සාපේක්ෂ පසුගාමීත්වය තුල ප‍්‍රකාශිත විය. කෙසේ වෙතත් රුසියානු ආර්ථිකය ලෝක ආර්ථිකය සමග අන්තර්-ක්‍රියාකාරී වීම නිසා මෙම පසුගාමීත්වය තුලට, ඉතා වර්ධිත ස්වභාවයක පන්ති සම්බන්ධතා ඇතුලුකර තිබුනි. ට්‍රොට්ස්කි 1906 දී මෙසේ ලිවීය: සුලු ධනේශ්වර සහ කුඩා කාර්මිකයන් ගේ පෘථුල ස්ථරයක ප‍්‍රසාරනය සහිත ධනවාදයේ ඓන්ද්‍රීය වර්ධනයක් වෙනුවට, පරමාධිපති පාලනයේ සෘජු සහයෝගය ඇතිව බටහිර රටවල ප‍්‍රාග්ධනය කාවැදීමෙන්, කෙටි කාලයක් තුල යල්පැනගිය පැරනි නගර ගනනාවක්ම වානිජ්‍යනය සහ කර්මාන්තයේ කේන්ද්‍රය බවට පත් කලේය. එපමනක් නොව, මුලුමනින්ම ජනශුන්‍යව තුබුනු ස්ථානවල වානිජ හා කාර්මික නගර ද ඉතා කෙටි කාලයකින් නිර්මානය කලේ ය.” [5]

ට්‍රොට්ස්කි පසුව මෙම ප‍්‍රපංචය“ඒකාබද්ධ වර්ධනයේ නියාමය” යයි ද “ගමනේ විවිධ අවධීන් එකට බැඳීමක්, වෙන්වෙන් පියවර එකට බැඳීමක්, පුරාතන ආකෘතින් සමග නූතන ආකෘතින් කලවම් කිරීමක්” යනුවෙන් සඳහන් කලේ ය. [6]

රුසියානු වර්ධනයේ “ඒකාබද්ධ සහ අසමාන” ස්වභාවය, එරට විවිධ පන්තීන්ගේ සමාජ දේහ ලක්ෂනය හා දේශපාලන දිශාවනතිය නිර්නය කලේ ය. කාර්මීකරනයේ වේගය සහ සංකේන්ද්‍රනය, පන්ති අරගලයට සුවිශේෂ පුපුරනසුලු භාවයක් අත් කරදුනි.

ධනේශ්වරය ගතහොත්, එය විදේශීය ප‍්‍රාග්ධනය මත හා ඒ නිසාම යුරෝපියානු අධිරාජ්‍යවාදය මත දැඩි ලෙස වාරු විය. පන්ති අරගලයේ උග‍්‍රභාවයේ තේරුම වූයේ, සාර් ට විරුද්ධව විප්ලවවාදී ව්‍යාපාරයක් වර්ධනය වුවහොත් එය, පුද්ගලික අයිතියට විරුද්ධ කම්කරු පන්තියේ ව්‍යාපාරයක් අවුලුවාලනු ඇති ය යන භීතියෙන්, රුසියානු ලිබරල් ධනේශ්වරය නිරන්තරව පෙලෙමින් සිටි බවයි. ඒ නිසා රුසියානු ධනේශ්වරය නිරතුරුවම සාර්ගේ අත යටට රිංගා ගනිමින් ද ඉඩම් හිමි රදලයන් සමග සම්මුතියක් සොයමින් ද කාලය ගත කලෝ ය.

මෙම ප‍්‍රපංචය ම මීට වඩා තරමක් වෙනස් ආකාරයකට යුරෝපයේ 1848 විප්ලව තුලදී දක්නට ලබුනි. 19වන සියවසේ මැද හංගේරියාව, ජර්මනිය, සහ ඔස්ට්‍රියාවේ විප්ලවවාදී ව්‍යාපාරයන් ඉහල මට්ටමක කම්කරු පන්ති අරගලයන් ගෙන් විලක්ෂනය වී තිබුනි. විප්ලවය පිලිබඳව භීතියට පත් ධනේශ්වරය, ප‍්‍රතිගාමිත්වය සමග පෙල ගැසුනි. 1849 දී ජර්මනියේ විප්ලවවාදියෙකුව සිටි ෆර්ඩිනන්ඞ් ලසාල් කාල්මාක්ස් ට මෙසේ ලියා යැවීය: “සමාජ ප‍්‍රශ්න අන්තර්ගත කරගන්නේ හුදෙක් ඡායා මාත්‍රී අංගයක් හැටියට පමනක් නම්, ඒවා පවතින්නේ හුදෙක් පසුබිමේ පමනක් නම්, ඒවා කරගෙන යන්නේ ජාතික පුනර්ජීවනයේ ධජය යටතේ නම් හෝ ධනේශ්වර සමුහාන්ඩුවාදයේ ධජය යටතේ නම්, මොනම අරගලයකට වත් සාර්ථකත්වය අත් කරගත හැක්කේ නැත.” [7] “මාක්ස් සහ එංගල්ස් ප‍්‍රථම වතාවට ‘නොනවතින විප්ලවය!” (Revolution in Permanence) යන පාඨය යොදාගත්තේ, සංහිඳියාවේ නාමයෙන් කම්කරු පන්තියේ නිශ්චිත ඉල්ලීම් ඉදිරියට ගත යුතු නැතැයි කියාපාමින්, පොදු සමගිය සහ සමාදානය දේශනා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුලු ධනේශ්වරයේ කුටිල වාසගම් වලට එරෙහිව කොමියුනිස්ට් ලීගයේ මධ්‍යම අධිකාරිය ට ඔවුන් සැපයූ 1850 වාර්තාව තුල දී ය. [ 8]

ලෙනින් ට එරෙහිව ට්‍රොට්ස්කි අවධාරනය කලේ, කම්කරු පන්තිය බලය සිය අතට ගැනීමත් සමග, එයට හුදෙක් “ධනේශ්වර” කර්තව්‍යයන්ට සීමාවී සිටිය නොහකි බවත්, සමාජවාදය සඳහා පියවර ගැනීමේදී ධනපති දේපොල සම්බන්ධකම් තුලට කාවැදීමට බල කෙරෙන බවත්ය. බලය ගත් කම්කරු පන්තිය ක්‍රියාත්මක කරන්නේ කුමන වැඩපිලිවෙලක් ද ? කම්කරු පන්තිය ගොවිජනයා සමග සන්ධානයක් මගින් රාජ්‍යයක් ගොඩනගාගත්ත ද කම්කරු පන්තියේ පක්ෂය, විරැකියාවට සහ ආහාර හිඟයට හෝ කම්කරුවන්ගේ වැඩවර්ජන වලට සහ හාම්පුතුන්ගේ ලොකවුට් වලට ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේ ද? එකල ලෙනින් ලියා තිබු, “කම්කරු පන්තියේ පන්ති අවශ්‍යතා ද වෛෂයික තත්වය ද [එනම් රුසියාවේ පසු ගාමිත්වය ද] අතර ප‍්‍රතිවිරෝධය, කම්කරු පන්තිය විසින් විසඳාලනු ඇත්තේ, කම්කරු පන්තිය තමන් මත්තේ දේශපාලන සීමාවක් පනවා ගැනීම මගින්, එනම් ‘පන්ති තවුස්දමක්’ පිරීම මගින්” යයි විශ්වාස කිරීම, 1909 දී ට්‍රොට්ස්කි ගේ විවේචනයට ලක්විය.

රුසියාවේ විප්ලවයට නායකත්වය දීමට සමත් වුනේ කම්කරු පන්තිය පමනි. බලය සියතට ගත් කම්කරු පන්තියට සමාජවාදී ස්වභාවයේ පියවර ගැනීමට බල කෙරුනි. මෙය විප්ලවය “නොනවතින” විප්ලවයක් වනු ඇතැයි යන්න පිලිබඳ එක් අර්ථයකි.

පසුගාමී රුසියාවේ මෙය කෙසේ සිදු කල හැකි වී ද ? ආර්ථිකව එතරම්ම නොදියුනු වූ ද බොහෝ දුරට ගොවි ජනතාවගෙන් සමන්විත වූ ද රටක් තුලට සාතිශය සංවර්ධිත සමාජ සම්බන්ධතා ආකෘතින් යොදාගත හැකි වූයේ කෙසේ ද ? මෙම උභතෝකෝටිකය විසඳීමේ ලා තීරනාත්මක වන්නේ, රුසියානු විප්ලවය වනාහි හුදෙකලා ජාතික සිද්ධියක් නොව, ජාත්‍යන්තර විප්ලවයක උපාංගයක් බව වටහා ගැනීමයි.

1905 විප්ලවය මැද ඒ පිලිබඳව ට්‍රොට්ස්කි මෙසේ ලියා තැබිය:

සියලුම රටවල් සිය නිෂ්පාදන ක‍්‍රමය සහ වානිජය තුලින් එකට බැඳ දැමූ ධනවාදය, සමස්ත ලෝකයම එක් තනි ආර්ථික සහ දේශපාලන ජීවන මාර්ගයක් බවට පරිවර්තනය කොට ඇත. මෙය දැන් දරන හරිමින් පවත්නා සිද්ධීන්ට ජාත්‍යන්තර ස්වභාවයක් අත්කර දෙයි. නව ක්ෂිතිජයක් විවර කරයි. කම්කරු පන්තියේ නායකත්වයෙන් රුසියාව දේශපාලනිකව විමුක්ත කර ගැනීම මගින් ඉතිහාසයේ මෙතෙක් නො වූ විරු ඉහල මට්ටමකට එය ඔසොවාලන එම පන්තිය අතට දැවැන්ත බලයක් ද සම්පත් ද අත් කර දෙමින්, ලෝක ධනවාදය විනාශ කිරීමේ ආරම්භකයා බවට පත් කරනු ඇත.... [10]

1905 විප්ලවයද 1917 පෙබරවාරි විප්ලවයද අතර වූ දොලොස් වසර ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය නිසැකවම තහවුරු කලේ ය. යුරෝපයේ යුදපිටි වල ලේ ගංගාවල දී සෑම රටකම කම්කරුවන්ගේ ඉරනම එකට බඳිනු ලැබිනි. මහා යුද්ධය, ජාතික රාජ්‍ය පද්ධතියේ දැවැන්ත බිඳවැටීම ද ජාතික ක්‍රියාමාර්ගයන්හි අවසානය ද සලකුනු කලේය. දවසේ නියාමය බවට පත් කලේ, ලෝක ආර්ථිකය සමාජවාදී ආකාරයකට සංවිධානය කිරීමය. මෙය විප්ලවයේ “නොනවතින” ස්වභාවය තවත් ලෙසකින් පෙන්නුම් කලේය. ජාත්‍යන්තර ජනසංහාරය මධ්‍යයේ ට්‍රොට්ස්කි මෙසේ පැහැදිලි කලේ ය.

මෙම ඉදිරිදර්ශනය, අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා බෝල්ශෙවික් පක්ෂයේ සාරභූත මූලෝපායික අත්තිවාරම සම්පාදනය කලේ ය; එහෙත් එය ඉටුකර ගැනීමට ලෙනින්ගේ නායකත්වයෙන් කරන ලද අභ්‍යන්තර අරගලයක් අත්‍යවශ්‍ය විය. මම මෙම අරගලය පසුව යලිත් විස්තර කරන්නෙමි.

දින පහක්

අපට සමහර විට දිග්ගැස්සී ඇතැයි සිතිය හැකි හැඳින්වීම තුලය, 1917 පෙබරවාරි සිද්ධීන් පමනක් නොව සමස්තයක් වශයෙන් 1917 රුසියානු විප්ලවයම අධ්‍යයනය කලහැකි වන්නේ. මෙම වර්ෂය තුල රුසියාවේ වර්ධනය ද සැබවින්ම පසු කලෙක සෝවියට් සංගමයේ ජාතිකවාදී සහ ස්ටැලින්වාදී පරිහානිය ද ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ වලංගු බව ද විවිධ ආකාරයෙන් තහවුරු කලේ ය. මෙම දේශනයේ මූලික ප‍්‍රතිපලය තව තවත් අය මේ පොත (ට්‍රොට්ස්කිගේ රුසියානු විප්ලවයේ ඉතිහාසයෙ) කියවීමට දිරිගැන්වීම නම් එය සාර්ථක වී යයි මම සිතමි.

මේ සිද්ධීන් පිලිබඳව වඩාත් තොරතුරු, ගතවු අවුරුදු 80 තුල ඉතිහාසඥයන් විසින් සොයාගනු ලැබ ඇති අතර පෙබරවරි විප්ලවය පිලිබඳ අගනා කෘතීන් ගනනාවක් අතර ට්‍රොට්ස්කිගේ රුසියානු විප්ලවයේ පිලිබඳ ඉතිහාසයය දරන්නේ වැදගත් තැනකි.

1905 විප්ලවයේදී මෙන්ම, 1917 පෙබරවාරි විප්ලවය සම්බන්ධයෙන්ද අතිශයින්ම සමීප කාරනය වන්නේ, එහි ප‍්‍රමුඛ ගාමක බලය කම්කරු පන්තිය බවයි, විශේෂයෙන්ම පෙට්‍රෝග‍්‍රෑඞ් නුවර කම්කරු පන්තිය බවයි.

පෙබරවාරි 23 ට පෙර පවා රුසියාවේ පන්ති අරගලය, යුද්ධයේ හා දුබල ආර්ථික තත්වයේ පීඩනය යටතේ උත්සන්න වෙමින් පැවැතුනි. 1914 ජනවාරි-ජුලි මාස වලදී මිලියන 1.3ක් වූ වැඩ වර්ජක කම්කරු සංඛ්‍යාව යුද්ධය ඔන්න මෙන්න කියා තිබුනු එම අවුරුද්දේ අගෝස්තු-දෙසම්බර් වලදී 10,000 දක්වා පහත වැටුනු අතර, 1915 වන විට 5,00,000 දක්වා ද 1916 දී 1 මිලියනයක් දක්වාද යලි ඉහල නැගුනි. පෙබරවාරි විප්ලවය කරා එලඹි සති වලදී වැඩවර්ජන සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වී ය. 1905 ලේවැකි ඉරිදා (සාර් පාලනය වෙඩිතබා දහස් ගනන් කම්කරුවන් ඝාතනය කල 1905 ජනවාරි 9 [පැරනි 22] ඝාතනයේ 12වන සංවත්සරයේ දී වර්ජනය කල 186,000 සහ පෙට්‍රොග‍්‍රෑඞ් හි විශාල තම පුටිලොව් ෆැක්ටරියේ කම්කරුවන් 25,000ක් දොට්ට දැමූ පෙබරවාරි 22 දා වැඩ වර්ජනය ද සමග සංඛ්‍යාව යලිත් ඉහල නැගුනි. ස්වභාවයෙන් වැඩ වර්ජන, වඩ වඩාත් දේශපාලනික ස්වභාවයක් ගත් අතර පරමාධිකාරය හා යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලීම් මුල් තැන ගත්තේය.

විප්ලවය ඒ හැටියට ඇරඹුනේ දැඩිව කාර්මිකරනය වූ බෝල්ශෙවික් පක්ෂයේ ප‍්‍රධාන දේශපාලන සහාය පදනම්ව පැවති විබෝග් දිස්ත්‍රික්කයේ කම්කරුවන් විසින් කරන ලද පෙලපාලි සහ වැඩවර්ජන ද සමගය.

පෙබරවාරි 23දා [වත්මන් කැලැන්ඩරය අනුව මාර්තු 8] ජාත්‍යන්තර කාන්තා දිනයේදී විබෝග් දිස්ත්‍රික්කයේ කාන්තා රෙදිපිලි කම්කරුවෝ, දිගු වැඩ පැය, ආහාර හිඟය සහ පාන් පෝලිම් ද ඉවරයක් නැති යුද්ධය ද ඉවසා සිටීමට නොහැකිව, උදෑසන රැස්වීමක් පවත්වා වැඩ වර්ජනය කලහ. ඔවුහු ලොකු ලෝහ කම්හල් ද ඇතුලු අසල්වැසි ෆැක්ටරි වල කම්කරු සහෝදරවරුන්ගේ සහාය ඉල්ලා සිටියෝ ය. [12]

ඉක්බිතිව සිදුවු දෙය, පෙට්‍රෝග‍්‍රෑඞ් හි විබෝග් දිස්ත්‍රික්කයේ, මැෂින් හදන විශාලතම නිව් ලෙස්නර් කම්හලේ කම්කරුවෙකු විසින් විස්තර කරන ලද්දේ මෙසේ ය: “අපේ අංශයේ ජනෙල් ඇරිය විට පෙනෙන පටු මග දිගේ ස්ත්‍රීන් කෑගසන හඬ ඇසුනි: ‘යුද්ධය භංග වේවා! ඉහලයන ජීවන වියදම පහත හෙලනු! බඩගින්න එපා!’ ජනෙල් වලට හිම බෝල එල්ලවිය. සටන්කාමී ගැහැනු කම්කරුවන්ගෙන් පටුමග පිරී තිබුනි. අප දුටු ගැහැනු අත්වනමින් ‘එලියට බසිනු! වැඩ නතර කරනු! කියා කෑගසන්නට පටන් ගත්තෝය. අපි පෙලපාලියට එක්වීමට තීරනය කලෙමු.” [13]

ඒ වනවිට පැවති බෝල්ශෙවික් පක්ෂයේ මධ්‍යම නායකත්වයේ පිලිවෙත වූයේ, වැඩ වර්ජන නො කැඳවීම වුව ද එදින රැස්වූ විබෝග් කමිටුව, වර්ජනයට සහාය දීමට තීන්දු කලේ ය. අනෙකුත් කම්හල් වල ද මීට සමාන තීන්දු ගැනුනු අතර මෙන්ෂෙවික්, බොල්ශෙවික් වරුන් පමනක් නොව සමාජ විප්ලවවාදී පක්ෂයේ අය ද එයට ඇදී ආවෝය. මුල් දවස ඉවරවන විට 100,000 ක් එනම් කාර්මික කම්කරුවන්ගෙන් තුනෙන් පංගුවක් පමන වර්ජනයට බැස සිටියහ.

සිකුරාදාවක් වූ පසුදින එනම් පෙබරවාරි 24 දා, වැඩවර්ජනය කාර්මික කම්කරුවන් ගෙන් හරි අඩක් දක්වා පුලූල් විය. 200,000 ඉක්මවූ එය විබෝග් දිස්ත්‍රිකයෙන් ඔබ්බට ද පැතිරෙන්නට පටන්ගති. යෝධ කම්හල්, යුදායුධ ඇතුලු කාර්මික නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථාන, විප්ලවවාදී ක්‍රියාකාරිත්වයේ හා උද්ඝෝෂනයේ මධ්‍යස්ථාන බවට පත් විය. පොලිසිය සමග ගැටුම් පටන්ගත්තේ ද මෙදින ය. ඒ වන විටත් විරෝධතාවලට වෙඩි තැබීමේ අන හමුදාවට ලැබී නොතිබුනු අතර කම්කරුවන් සහ සොල්දාදුවන් අතර සහෝදරත්වයේ මුල් ලකුනු ඇති වී තිබුනේ ය.

අරගලයේ තුන්වන දිනවූ පෙබරවාරි 25 දා වැඩවර්ජනය ප‍්‍රායෝගිකවම මහාවැවර්ජනයක් බවට පත් විය. කම්කරුවන් 250,00ක් පමන ඊට සම්බන්ධ වූහ. වර්ජන සහ පෙලපාලි මර්දනය කිරීමේදී පොලිසිය මුල්තැනක් ගත්තේ ය. අගනුවර සෙබලු සහ පොලිසිය අතර ඝට්ටනයක් ඇති විය. එක සිද්ධියක දී කොසැක් සොල්දාදුවෝ පෙලපාලියක් බිඳීමට පොලිසියට ආධාර කිරීම ප‍්‍රතික්ෂේප කලා පමනක් නොව, පොලිසියට පහරදී ඔවුන්ගේ ප‍්‍රධානියා මරා දැමූහ.

“අගනුවර කැරැල්ල ජර්මනිය හා ඔස්ට්‍රියාව අතර යුද ප‍්‍රයත්නය අනතුරේ හෙලීමට ඉඩ තිබෙන නිසා අඩු වශයෙන් හෙට වන විට මර්දනය කල යුතුයයි.” දෙවන නිකොලස් සාර් රජු පෙට්‍රොග‍්‍රෑඞ් මිලිටරි දිස්ත්‍රික් අනදෙන නිලධාරී කබාලොව් ට නියම කලේ ය. වීදිවල රැස්වීම් තහනම් කරන නියෝගයක් පනවමින් කබාලොව් ප‍්‍රතිචාර දැක්විය. එදින සැන්දෑවේ සිරාභාරයට ගැනීම පටන් ගැනිනි. මෙයට බෝල්ශෙවිකයන්ගේ පෙට්‍රොග‍්‍රෑඞ් කමිටුවේ සාමාජිකයන් 5 අයත් විය. මෙම තත්වය තුල පක්ෂයේ මෙහෙයුම් කටයුතු විබෝග් බෝල්ශෙවික් කමිටුව මතට වැටුනි.

පෙබරවාරි 26 දා උදෑසන වන විට ඇතිවූ දැවැන්ත සිදුවීමක්, ඊට පසු දින සිදුවන්නට යන්නේ කුමක් ද යන්න කල්තියා පෙන්නුම් කලේය. තමන්ගේම පුහුනු ඒකකය කම්කරුවන්ට වෙඩි තැබීම ගැන කෝපයට පත් අධිරාජ්‍යය ආරක්ෂක පැව්ලොව්ස්කි රෙජිමේන්තුව කැරලි ගැසී ය.

27 දා උදේ වොලින්ස්කි හමුදාංකයේ කැරැල්ලත් සමග සොල්දාදුවන්ගේ කැරැල්ල ආරම්භවිය. කලින් දිනයේ කම්කරුවන්ට වෙඩි තබන්නට අනදුන් නිලධාරියා සෙබලුන් විසින් වෙඩි තබා මරාදමන ලදී. කැරලිකරුවෝ සමීපයේ පිහිටි අනෙකුත් සේනාංකයන් ද කැරලි ගැසීම සඳහා පෙලඹවූහ. බැරැක්ක එකිනෙක කැරැල්ලට එක්වුහ. සාර්ට පක්ෂපාති හමුදා නිලධාරීන් විසින් පක්ෂපාති භටයන් එක්රැස්කර ගැනීමට දැරුනු උත්සාහය අසාර්ථකවිය. කම්කරුවන්ගේ කරැල්ල පැතිර ගියේ ය. ආන්ඩුවේ ගොඩනැගිලි අල්ලා ගන්නා ලද අතර දේශපාලන සිරකරුවෝ නිදහස් කරන ලදහ.

සිව්වන දිනය ඉරිදාවක් වූ අතර කම්හල් වසන දිනයකි. එහෙත් පෙලපාලි පැවැත්වුනි, නිකොලස්ගේ නියෝග පිලිපැදි කබලොව්, ප‍්‍රචන්ඩ මෙහෙයුමක් දියත් කිරීමට නියෝග කලේය. නිල නොලත් නිලධාරීන්ගෙන් සැදුම්ලත් පුහුනුවන සේනාංක ද ඇතුලුව වඩාත් විශ්වාසදායක මිලිටරි ඒකක බලමුලු ගන්වමින් ඔහු නියෝග කලේ, ජනතාවට වෙඩි තබන ලෙසයි, දහස් ගනනක් තුවාල ලබා සිය ගනනක් මරුමුවට පත් විය.

පෙබරවාරි විප්ලවයට නායකත්වය දුන්නේ කව් ද? සිද්ධින් මෙහෙයවන ලද මධ්‍යගත විප්ලවවාදී පක්ෂයක් නොතිබුනි. මෙන්ෂෙවිකයන්ට හෝ සමාජ විප්ලවවාදීන් ට කම්කරු පන්තියේ විප්ලවයක් උවමනාවී තිබුනේ ද නැත. පෙබරවාරි සිද්ධින් මැද්දෑවේ එම සංවිධානවල ප‍්‍රධාන නායකයන් සිටියේ ඩූමා සභාව තුලය. තත්වය පාලනයෙන් පිට පනින්නට පෙර ධනේශ්වර පක්ෂ ක්‍රියාත්මක විය යුතු යයි ඔව්හු ඉල්ලා සිටියහ.

පහල මට්ටමේ බෝල්ශෙවික් සංවිධාන, විශේෂයෙන්ම විබෝග් දිස්ත්‍රික්ක කමිටුව වැදගත් භූමිකවාක් ඉටු කලේය. කෙසේ වෙතත් නිරතුරුවම පක්ෂයේ ප‍්‍රධාන නායකත්වය සිටියේ සිද්ධීන්ට පිටුපසිනි. මේ අතර නගරයේ බොල්ශෙවික් පක්ෂ නායකත්වය, පත්‍රිකා නිකුත් කරමින් ද මහ වැඩවර්ජනයක් හා මහජන නැගිටීමක් කැඳවිය යුතු යයි ද බල කල, කම්කරු ක්‍රියාකාරිකයින්ගේ බලපෑමට හසුව සිටියේය. පෙබරවාරි සිද්ධීන් වන විට බෝල්ශෙවික් නායකත්වයෙන් වැඩි දෙනා සිටියේ පිටුවහලේ ය. ලෙනින් සිටියේ ස්විට්සර්ලන්තයේ ය. ඔහු අප්‍රේල් වන තෙක් රුසියාවට නොපැමිනියේය.

එහෙත් මෙයින් අදහස් වන්නේ විප්ලවය තනිකරම “ස්වයංසිද්ධ” ක්‍රියාවලියක්ය යන්න නොවේ. ට්‍රොට්ස්කි පෙන්නුම් කල පරිදි එවන් “ගූඪ මතයක්” එනම්, ඊයේ වනතෙක් සාමකාමීව සෙමෙන් පාලනය කරමින්, නඩු පවරමින්, විභාග කරමින් සහ තීන්දු දෙමින්, ආරක්ෂා වෙමින් හා ජාවාරම් කරමින් සිට, දැන් විප්ලවයෙන් වාසි ගන්නට දුව එන ඒ සියලු මහත්වරුන්ගේ සිත් වලට ඉතා මැනවින් ගැලපුනි. එලෙසම සිතීමට කැමැති, විප්ලවයේ කාලය පුරාම නිදාගෙන සිටි, බොහෝ වෘත්තීය දේශපාලඥයින් ද හිටපු විප්ලවවාදීන් ද ඒ සියලු දෙනාගෙන් වෙනස් වන්නේ නැත. (14)

එයට නායකත්වය දුන් කම්කරුවෝ වූ හ. ඔවුන් වනාහි, වසර ගනනාවක් තිස්සේ ගෙනගොස් තිබෙන සමාජවාදී ප‍්‍රචාරය විසින් ද 1905 කටුක අත්දැකීම් වලින් ද ඉගෙනගත් කම්කරුවෝ ය. යුද්ධය ඇතිවීමට පෙරාතුවම, විප්ලවවාදී තත්වයක් ඇති කිරීමේ තර්ජනය මතු කර තිබුනි, 1912-14 වැඩවර්ජන රැල්ලේ අත්දැකීම් මැදින් ඔවුන් ගමන් කොට තිබුනි. ඔවුන් ලිබරලුන්ගේ කොන්ද නැතිකම දැක තිබුනි. ඔවුන්ගෙන් සමහරෙක් යුද්ධයේ ආරම්භයත් සමග පැනනැගි ජාතිකවාදී රැල්ල ට හසුවී, නැතහොත් ඉන් බියවද්දනු ලැබින. එහෙත් පසුව ඔවුන්ට යුද්ධය කරපු විනාශය දැක ගන්නට ලැබී තිබුනි.

මොවුන්ගෙන් බොහෝදෙනෙක්, යුද්ධය පුපුරායාමට පෙර ප‍්‍රමුඛත්වයෙන් වැඩෙමින් පැවති බෝල්ශෙවික් පක්ෂයේ දැඩි බලපෑමට ලක්ව සිටියහ. ට්‍රොට්ස්කි ලිවූ පරිදි විප්ලවයට නායකත්වය දුන්නේ, “බොහෝකොටම ලෙනින්ගේ පක්ෂය විසින් උගන්වා පන්නර ගැන්වූ දැනුවත් කම්කරුවන් විසින්ය.” කෙසේ වෙතත් මේ නායකත්වය පමනක්ම “නැගිටීමේ ජයග‍්‍රහනය සහතික කිරීමටත්, විප්ලවයේ නායකත්වය කම්කරු පන්තියේ පෙරමුනු බලඇනියේ අතට වහාම මාරුකර හැරීමටත් නොසෑහෙන බව සනාථ කෙරුනි.” [15]

ද්වන්ධ බලය

පෙට්‍රොග‍්‍රෑඩයේ කම්කරු පන්තිය හා සොල්දාදුවන් විප්ලවයක් සිදු කලහ. නමුත් ඔවුනට දේශපාලන බලය ලබා ගැනීමට නොහැකි විය. ඒ වෙනුවට විප්ලවය දක්වා පැවතුනු සංකීර්න මෙන්ම අස්ථාවර “ද්වන්ධ බල” රෙජිමයක් ඉස්මතු විය.

සාර් තවමත් බලයේ සිටිද්දී පෙබරවාරි 27 වන දා, තත්ත්වය පාලනය කර විප්ලවය හීලෑ කරගන්නේ කෙසේද ? යන්න පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා ඩුමා නියෝජිතයන් රැස්වුනි. ඩුමා සාමාජිකයන් අතරින් තාවකාලික කමිටුවක් පිහිටුවීමට ඔවුන් තීරනය කල අතර එම කමිටුව, “රාජ්‍යයේ හා මහ ජනතාවගේ සාමය පුනස්ථාපනය තම අතට ගැනීම සඳහා බල කෙරී ඇති බව දැක ගත් බව”සඳහන් ප‍්‍රකාශනයක් නිකුත් කලහ.

ඔවුන් පසුව ගෙතූ පුරානෝක්තීන්ට ප‍්‍රතිකූලව ඩූමාහි ප‍්‍රධාන පක්ෂයන් ගෙන් නියෝජනය වූ ලිබරල් ධනපතීන්, කිසිදු විප්ලවීය භූමිකාවක් රඟපෑවේ නැත. ඔවුන් ජනතාව ගැන තැතිගැනී සිටි අතර දෙවන නිකලස් සාර් ඇතිව හෝ නැතිව ඒකාධිපතිවාදී පාලනය කෙසේ හෝ පවත්වා ගැනීමට මං සෙවූහ. ධනපති ව්‍යවස්ථාවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (කැඩෙට්) නායක පෝල් මිලියුකොව් පසුව පිලිගත් පරිදි, “අපට මෙම විප්ලවය ඕනෑ කලේ නැත. විශේෂයෙන් යුද කාලයේ එය එතැ යි අප පැතුවේ නැත. මෙය සිදු නොවීමට අප මහත් ලෙස වෙර දැරීමු.” (16)

කෙසේ වෙතත්, නව රජයක් පිහිටුවීම සඳහා සාර්ට පීඩනය යෙදීමේ ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථවූ පසුව සහ මහ ජනතාව එය නොපිලිගනු ඇතැයි පැහැදිලිව දිස්වූ පසුව, සාර්ගේ රජකම අතහැර දැමීමට බල කිරීම සඳහා ධනපති නියෝජිතයෝ ඉහල මිලිටරි නායකත්වය දෙසට හැරුනාහ. දෙවන නිකලස් බලයෙන් පහ කොට හෝ නව රජයක් පිහිටුවා යුද්ධය කරගෙන යෑම සඳහා වඩා හොඳ තත්ත්වයක් ඇතිකර ගැනීමට මිලිටරිය හා ධනපති පක්ෂ නායකයන් අතර, විප්ලවයට පෙර සිටම සාකච්ඡා පවත්වා තිබුනි. එවන් උත්සාහයක් සඳහා යම් සහයෝගයක් මිත‍්‍ර පාක්ෂික අධිරාජ්‍ය බලයන් විසින් ද දක්වා තිබුනි.

මිලිටරියේ සහය නොලද සාර් මාර්තු 2 වන දා, තම සොහොයුරු මහා ආදිපාද මිහායෙල් ඇලෙක්සැන්ඩ්‍රොවිච්ට බලය පවරා දෙමින් රජකම අත් හලේය. එදිනම ල්වොව් කුමාරයාගේ ප‍්‍රධානත්වයෙන් තාවකාලික ආන්ඩුව පිහිටුවන ලද්දේ, එය අලුත් සාර් යටතේ සේවය කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි. එහෙත් තම ඔලුව බේරාගැනීම ගැන උනන්දුවූ මිහායෙල් ද රජකම අත් හලේය. නව රජය මෙහෙය වූ ධනේශ්වර නියෝජිතයන්ගේ යහපත් අභිලාෂයන් මධ්‍යයේ වුව ද රොමනොව් රාජ වංශය අහෝසි කෙරුනි.

ටෝරිඩ් මාලිගයේ ඩූමා කොමිටිය පිහිටවූ පෙබරවාරි 27 දිනට පසුව කම්කරු හා සොල්දාදු නියෝජතයන්ගේ සෝවියට් සභාව ලෙස නම් කෙරුනු, කම්කරුවන් හා සොල්දාදුවන් මහත් රාශීන්ගේ සහායෙන් යුත්, කම්කරු නියෝජිතයන්ගේ සෝවියට් සභාව නමින් තවත් පාලක මන්ඩලයක් ස්ථාපනය කරන ලදී. එහි ප‍්‍රථම රැස්වීමට කම්කරුවන් සොල්දාදුවන් හා සමාජවාදී බුද්ධි ජීවීන් 250 ක් පමන සහභාගී වූහ. මෙම මුල් සෝවියට් සභාවේ නායකත්වයේ ආධිපත්‍යය මෙන්ෂෙවිකයන් හා ගොවි පදනමකින් යුතු සමාජ විප්ලවවාදීන් විසින් උසුලන ලදී.

ද්වන්ධ බලය නම් සංසිද්ධිය රුසියානු විප්ලවයට පමනක් සීමා වූයේ නොවේ. එක් පන්තියක් විසින් තවත් පන්තියක් පුනස්ථාපනය කරමින් සිදුවූ පෙර කල විප්ලව වලදී ද ආන්ඩු කරන ආයතන දෙකක් එකවර පැවැතී තිබුනි. මෙවැනි තත්ත්වයන් විසඳෙනුයේ සිවිල් යුද්ධයක් මගින් පමනි. එසේ වුව ද පෙබරවාරි විප්ලවයෙන් ඉක්බිතිව පැන නැගි ද්වන්ධ බල රෙජිමය අමුතු එකක් වූයේ, විප්ලවයේ ගාමක බලය වූ කම්කරුවන්ගේ හා සොල්දාදුවන්ගේ සහාය ලද සෝවියට් සභාවන්හි නායකත්වය, ධනපති තාවකාලික ආන්ඩුවට බලය මාරු කිරීම සඳහා දැනුවත්ව ද හිතාමතාම වැඩ කිරීම මගිනි. මෙම ආයතන දෙක අතර සම්බන්ධය තුල සැඟවී පැවැති පන්ති ඝට්ඨනය කෙලින්ම මතුව ආවේ, මාස කීපයකින් අනතුරුව බොල්ශෙවිකයන් සෝවියට් සභාවේ පාලන බලය අත්කර ගැනීමෙන් පසුව පමනි.

කම්කරුවන් හා සොල්දාදුවන්ගේ මහත් කොටස් නායකත්වය සඳහා බැලුවේ ඩූමාව දෙස නොව සෝවියට් සභාව දෙසය. එසේ නමුත් සෝවියට් සභාවේ නායකත්වය දැරූ පක්ෂ වලට බලය අවශ්‍ය නොවූ අතර කම්කරුවන්ගේ හා සොල්දාදුවන්ගේ ඉල්ලීම් ඉටු කල හැකි පියවර ගැනීමට ද ඔවුන් නොකැමැති විය. විප්ලවයට නායකත්වය සැපයූ කම්කරුවන්ගේ හා සොල්දාදුවන්ගේ මූලික ප‍්‍රජාතන්ත්‍රීය හා සමාජ අභිලාෂයන්, ධනපති පන්තියේ උත්සුකතාවන් සමග ගැටුනු නමුත් සෝවියට් සභාවේ සිටි ඔවුන්ගේ නියෝජිතයෝ, ධනපතීන් පාලනය ගෙන යායුතු බව බලකර කියා සිටියහ.

මෙම විරෝධාභාෂය විවිධ ආකාරයෙන් ප‍්‍රකාශනය අත් කර ගති. පලමුවෙන් බලය පිලිබඳව හා තාවකාලික ආන්ඩුව පිලිගැනීම පිලිබඳ කාරනාව විය. සාර් නිකලස් රජකම අත හැරීමත් සමගම නව රජයට සහාය දැක්විය හැකි කොන්දේසි පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා සෝවියට් සභාවේ විධායක කමිටු නායකත්වය, ඩූමාවේ නියෝජිතයන් මුන ගැසුනහ. යුද්ධයේ නිමාව, ජනරජය, පැය අටේ වැඩ දිනය ඇතුලු කම්කරුවන්ගේ හා සොල්දාදුවන්ගේ කිසිදු මූලික ඉල්ලීමක්වත් ඔවුන්ගේ කොන්දේසි වලට ඇතුලත් නොවීය. ඔවුන්ට තිබුනේ එකම ඉල්ලීමකි. ඒ උද්ඝෝෂනය සඳහා නිදහස ය. එනම්, ධනපතීන් ඔවුන් අත් අඩංගුවට නොගැනීමට එකඟ වන තාක් දුරට, ධනපතීන්ට බලය පවරා දීමට ඔවුන් එකඟ හා උනන්දු සහගත බවය.

බලය පිලිබඳ කාරනාවට සමීප ලෙස සම්බන්ධ දෙවන කරුන වූයේ, කම්කරුවන් හා කම්කරු භටකායන් සන්නද්ධ කිරීම, නැතහොත් නිරායුධ කිරීමය. විප්ලවය අවධියේදී නැවතත් විබෝග් දිස්ත්‍රික්කයේ වඩාත් රහසිගත, වඩා ක්‍රියාශීලී කම්කරුවන්, කම්කරු භටකායක් තැනීම සඳහා ආරම්භකත්වයක් ගෙන තිබුනි. මෙම භටකාය තමන්ගේ අධිකාරය යටතේ සංවිධානය කර ගැනීමට උත්සාහ දැරීම මගින් සෝවියට් සභාව මෙම ස්ථාපිත කාරනාව පිලිගත් බව පෙන්නුම් කල අතර, ඩූමා කමිටුව ඔවුන්ගේම භටකායන් පිහිටුවාලී ය. මෙ මගින් භටකායන් දෙක අතර සන්නද්ධ ගැටුම්, එනම් සිවිල් යුද්ධය, සඳහා කොන්දේසි නිර්මානය විය.

තුන් වැන්න වූයේ කම්කරුවන් කම්හල් වෙත ආපසු යෑමයි. විධායක කමිටුව මුලින්ම නැවත වැඩ පටන් ගැනීම සඳහා මාර්තු 5 දින යොදා ගත්තේ, කම්හල් තුල ශ‍්‍රමය සඳහා කොන්දේසිවල කිසිදු වෙනසකින් තොරවමය. ධනපතීන් බිය වැද ඉවත්වනු ඇතැයි යන පදනම මත ඔවුහු, පැය අටේ වැඩ දිනයක් සඳහා කම්කරු ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කලහ. එසේ වුවත් කරුනු තම අතට ගනිමින් ප‍්‍රධාන කර්මාන්ත ශාලාවල බොහෝ කම්කරුවෝ, අටේ කනිසම වදිනවාත් සමග වැඩ නවතා රංචු පිටින් බැහැරව ගියහ.

අවසානයේදී අවශ්‍යතාව විසින් බල කෙරෙනු ලැබූ නිෂ්පාදකයින්ගේ සංගමයට අකැමැත්තෙන් වුව ද පැය අටේ වැඩ දිනය පිලිගැනීමට සිදුවිය. එක් ධනපති ප‍්‍රචාරකයෙක් පැහැදිලි කල පරිදි, ”මෙන්ෂෙවිකයන්ගේ අවාසනාවට මේ වන විටත් බොල්ශෙවිකයන් ත‍්‍රස්තය භාවිතා කරමින් පැය අටේ වැඩ දිනය වහාම ක්‍රියාත්මක කිරීමට නිෂ්පාදකයින්ගේ සංගමය බලහත්කාරයෙන් එකඟ කරවාගෙන ඇත. (18)

සිව්වැන්න, හමුදාවේ අභ්‍යන්තර සබඳතා. තම නිලධාරීන්ගේ විනයට යටත්වී තම ආයුධ ආපසු භාර දෙන ලෙස සොල්දාදුවන්ට නියෝග කරමින් ඩුමා නියෝජිතයෝ, මිලිටරිය නැවත තම අනසකට නතු කර ගැනීමට තැත් කල අතර, සෝවියට් නායකයන් ද ඊට සහාය ලබා දුනි. එසේ වුවත් මෙම උත්සාහයන් ප‍්‍රතික්ෂේප කල සොල්දාදුවෝ මාර්තු 1 වන දා, ආඥා අංක 1 සම්මත කරන ලෙස පෙට්‍රොග‍්‍රෑඞ් සෝවියට් සභාවට බලපෑම් කලහ. සෝවියට් සභාවේ නියෝග වලට පටහැනි, ඩුමා කමිටු නියෝග කිසිවක් පිලි නොපදින ලෙස එය සොල්දාදුවන්ට උපදෙස් දුනි. ආයුධ පාලනය තම අතට ගන්නා ලෙසටත්, සෑම රෙජිමේන්තුවකම කමිටු පත් කරගන්නා ලෙසටත් උපදෙස් දුනි.

නියෝග අංක 1 සම්මත වූයේ, මෙන්ෂෙවික් හා සමාජ විප්ලවවාදී (එස්ආර්) නායකයන් නැති අවස්ථාවකදී ය. පසුව ඔවුන් එහි බලපෑම පෙට්‍රොග‍්‍රෑඩයට සීමා කරන නියෝග අංක 2 සම්මත කිරීම මගින්, ආපසු හැරවීමට තැත් කලහ. කෙසේ වෙතත් මිලිටරිය තුල සබඳතා තර කිරීමේ මෙම ව්‍යායාමය ව්‍යර්ථ වූ අතර, සොල්දාදුවන් හා ඔවුන්ගේ නිලධාරීන් අතර ඒ වන විටත් වර්ධනය වෙමින් පැවැති සිවිල් යුද්ධයක් බඳු තත්ත්වය විප්ලවය විසින් දිරිමත් කරන ලදී.

අවසනට හා සියල්ලටත් වඩා වැදගත් කාරනාව යුද්ධය විය. සම්පූර්න ජයග‍්‍රහනය තෙක් යුද්ධය ධනේශ්වරයේ බැනරය විය. යුද්ධය සති දෙකක් තිස්සේ නොතකා සිටීමෙන් පසු විධායක කමිටුව, මාර්තු 14 වන දින ලෝක මහ ජනතාවන් වෙත ප‍්‍රඥප්තියක් පිලිබඳ සම්මත කල යෝජනාවක් ඉදිරිපත් කල අතර, එය බොහෝ සාමවාදී වාක්‍ය ඛන්ඩ ඇතුලත් කර ගත්තේ වී නමුත් ඇතුලතින් මෙන්ම පිටතින් එල්ල වන්නාවූ සියලූම ප‍්‍රතිගාමී උත්සාහයන්ගෙන් අපගේ නිදහස තිරසාරව රැුක ගනිමු, යටත් කරන්නන්ගේ බයිනේත්තු ඉදිරියේ රුසියන් විප්ලවය පසු නොබසිනු ඇත, විදේශීය මිලිටරි බලයන් කුඩු කර දැමීමට ඉඩ නොදෙනු ඇතැයි ප‍්‍රතිඥා දුන්නේය.

වෙනත් වචන වලින් කියතොත් යුද්ධය දිගටම යනු ඇත. යෝජනාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ද රුසියන් ධනේශ්වරයේ ද ඉහල පිලිගැනීමට ලක්විය.

1915 යුද විරෝධී සිමර්වෝල්ඞ් සම්මේලනයට සහභාගීවූ විධායක කමිටුවේ සාමාජික සුකනොෆ්, පසුව තම මතක සටහන් වල නොවලහා ලියූ පරිදි, “පූර්න ජයග‍්‍රහනය තෙක් යුද්ධය” යන මතයට වල කපන ව්‍යාපාරයන් සමග කිසිදු පොදු යමක් ධනේශ්වරයට තිබිය නොහැකි බව ප‍්‍රත්‍යක්ෂය. ඔවුන් ඒ දැක ගත්තේ, නැතහොත් අවම වශයෙන් කියා සිටියේ, එවැනි ව්‍යාපාරයක් ජර්මානු ප‍්‍රකෝපකරනයක ප‍්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව ප‍්‍රාගානුභූතවම පැහැදිලි කරුන වූයේ, ධනපති ආන්ඩුවේ හා ධනේශ්වරයේ විප්ලවය සඳහා වූ බැඳීම ගැන විශ්වාසය තැබීමට නම්, යුද්ධයට එරෙහි සටන් පාඨ තාවකාලිකව පසෙක තබා, රුසියාවේ විශේෂිතවම පීටර්ස්බර්ගයේ නිර්ධනීන්ගේ බැනරය බවට පත්ව තිබූ සිමර්වෝල්ඞ් බැනරය කලකට හකුලා ගත යුතු බවය. 19

ලාස් ලී හා නව ඉතිහාස මුසාකරනය

පෙබරවාරියේ හා මාර්තු මුල් කාලයේ සිද්ධීන්, දිග හැරෙමින් පැවැති විප්ලවයේ මුල් අවධිය සලකුනු කලේ ය. නව තත්වය විසින් පෙරට ගනු ලැබූ දේශපාලන කර්තව්‍යයන් තියුනු ලෙස පැහැදිලි කර ගැනීම මගින් ඊලඟ අවධිය සූදානම් කල යුතු විය. ස්විට්සර්ලන්තයේ සිටි ලෙනින් ද නිව්යෝර්ක්හි සිටි ට්‍රොට්ස්කි ද සිද්ධීන් සිදුවූ වහාම, විශ්වාස නොකලහැකි නිරවද්‍යතාවකින් එකම විශ්ලේශන ඉදිරිපත් කරමින් ප‍්‍රතිචාර දැක්වූහ. නොවිමිර් හි මාර්තු 6 වන දා පලවූ ලිපියක ට්‍රොට්ස්කි ලියූ පරිදි, “නාගරික නිර්ධනීන් ප‍්‍රමුඛ විප්ලවයේ බලයන් හා තාවකාලිකව බලයේ සිටින ප‍්‍රති විප්ලවවාදී ලිබරල් ධනේශ්වරය අතර විවෘත ගැටුමක් නිරපේක්ෂව නොවැලැක්විය හැකිය. 20

මාර්තු 3 වන දා ලෙනින් රුසියාවට උපදෙස් යවමින්, “අපේ උපාය මාර්ග -පූර්න අවිශ්වාසයයි. තාවකාලික ආන්ඩුවට කිසිදු සහයක් නැත. සියල්ලටම ඉහලින් කෙරෙන්ස්කි අවිශ්වාස කරනු. එකම සහතිකය ලෙස නිර්ධනීන් සන්නද්ධ කරනු.” මාර්තු 7 වනදා පලවූ ඔහුගේ දුරක සිට එවූ ලිපියෙහි ලෙනින් ලියූ පරිදි, “සාර්වාදී ප‍්‍රතිගාමිත්වයට එරෙහි අරගලයේ යහපත උදෙසා කම්කරුවන් නව රජයට සහය දිය යුතු යයි කියන්නා, කම්කරුවන්ගේ ද්‍රෝහියෙකි. නිර්ධන පන්තියේ නිදහස හා සාමය සම්බන්ධයෙන් ගත් කල ද්‍රෝහියෙකි. මන්දයත් සැබෑ ලෙසම, නිරවද්‍ය ලෙසම, නව ආන්ඩුව දැනටමත් අධිරාජ්‍යවාදීන්ගේ ප‍්‍රාග්ධනය විසින් ද යුද්ධය හා කොල්ල කෑමේ අධිරාජ්‍යයවාදී ප‍්‍රතිපත්තිය විසින් ද අත් පා බඳිනු ලැබ ඇති නිසාය.” 21

මෙම ඉදිරිදර්ශනය ඔහුගේ “දුරක සිට එවූ ලිපි” වල තවදුරටත් වර්ධනය කල ලෙනින්, සෝවියට් සභා වෙත බලය පවරා ගැනීම, වහාම යුද්ධ නතර කිරීම, ගොවීන් විසින් වතු ඉඩම් අහිමි කිරීම, නිෂ්පාදනයේ කම්කරු පාලනය, සමාජවාදය කරා සංක‍්‍රමනය ආරම්භ කිරීම, ඇතුලත් වැඩ පිලිවෙලක් ඒවායේ අන්තර්ගත කලේය.

ලෙනින්ගේ ආස්ථානයන් 1917 මාර්තු හා අප්‍රේල් මාස වල බොල්ශෙවික් පක්ෂය තුල විශාල ආරවුලක් ඇති කල අතර, එහිදී ඔහු ට්‍රොට්ස්කි හා සම්බන්ධිතව පැවති දේශපාලන පිලිවෙත් සඳහා සටන් වැදුනි. මෙහිදී පක්ෂය තාවකාලික ආන්ඩුවට හා යුද්ධයට සහයෝගය දීමේ දිශානතියකට හැරවීම සඳහා මාර්තු මැද පෙට්‍රොග‍්‍රෑඩයට පැමින, ප‍්‍රව්ඩාවේ කතෘත්වය පිලිබඳ වගකීම අත් කරගත් කමනෙව් ස්ටැලින් හා මුරනොෆ් සම්බන්ධ බොල්ශෙවික් පක්ෂයේ දක්ෂිනාංශය සමග සටන් වැදීමට ලෙනින්ට සිදුවිය.

මෙම අරගලයේදී, බොල්ශෙවික් පක්ෂය තුලම, විශේෂයෙන් එහි කම්කරු පදනමෙහි ලෙනින්ට ප‍්‍රබල මිතුරන් සිටියේය. ඉතිහාසඥ ඇලෙක්සැන්ඩර් රැබිනොවිට්ස් සටහන් කල පරිදි මාර්තු 1 වන දා තරම් කලින් පක්ෂයේ විබෝග් දිස්ත්‍රික් කමිටුව, “කම්කරුවන් විසින් වහාම බලය අල්ලා ගැනීම හා ඩූමාවේ තාවකාලික කමිටුව අහෝසි කිරීම කැඳවුම් කරමින්, යෝජනාවක් සම්මත කර ගත්තේය.

“ෂ්ලියාප්නිකොව් නායකත්වය සැපයූ මධ්‍යම කාරක සභා බියුරෝව, තාවකාලික ආන්ඩුව ‘මහා ධනේශ්වරයේ හා විශාල ඉඩම් හිමියන්ගේ‘ නියෝජිතයකු බවත් ”තාවකාලික විප්ලවවාදී ආන්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා අරගලයක් ආරම්භ කිරීම “අවශ්ය” බවත් ප‍්‍රකාශ කරන යෝජනාවක් සම්මත කලේය. එසේ වුවත් මෙම යෝජනාව පක්ෂයේ පීටර්ස්බර්ග් කමිටුව වෙත ඉදිරිපත්වූ විට එය ප‍්‍රතික්ෂේප වූයේ, මෙන්ෂෙවිකයන්ගේ සූත‍්‍රය ප‍්‍රතිබිම්බනය කල, “තාවකාලික ආන්ඩුවේ ප‍්‍රතිපත්ති මහජනතාවගේ උත්සුකයන් හා සංගත වන තාක් බොල්ශෙවික් පක්ෂය ඊට විරුද්ධ නොවනු ඇත.” යන යෝජනාවට පක්ෂ වෙමිනි.22

ඔවුන්ගේ ජාතිකවාදී හා අවස්ථාවාදී ප‍්‍රතිපත්ති සාධාරනීකරනය සඳහා සහ ඉතිහාසයෙන් ට්‍රොට්ස්කි ඉවත් කිරීමේ සාමාන්‍ය උත්සාහයේ කොටසක් ලෙස ද ඉතිහාසයෙන් නොනවතින විප්ලව න්‍යායේ වැදගත්කම ඉවත් කිරීමේ කොටසක් ලෙස ද මෙම ඉතිහාසය ස්ටැලින්වාදීන්ගේ නිර්දය මුසාකරනයට මාතෘකා විය. එසේ වුව ද සැබෑ ඉතිහාසඥයන් සඳහා රුසියානු විප්ලවයේ මූලික දේශපාලන ගතිකයන් පැහැදිලි ලෙස මතු කෙරින. ද්වන්ද බලයේ ප‍්‍රති විරෝධී ස්වභාවය, තාවකාලික ආන්ඩුව හා සෝවියට් අතර සබඳතාව, බොල්ශෙවික් පක්ෂය තුල වූ භේදයන්ගේ වැදගත්කම, ලෙනින්ගේ අප්‍රේල් ආගමනයේ බලපෑම එ්වා අතර විය.

හරයෙන් නව ස්ටැලින්වාදී ස්වභාවයක් ගන්නා, ඉතිහාසය මුසාකරනයෙන් නැවත පන පොවන ලද ව්‍යාපාරයක් අපි දකින්නෙමු. එක් කැපී පෙනෙන නිදසුනක් වන්නේ, ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ (ISO)එහි ප‍්‍රකාශන හස්තය වන හේමාර්කට් මගින් දැඩි ලෙස ප‍්‍රවර්ධනය කරනු ලබන ඉතිහාසඥ ලාර්ස්ලී ය. ඇත්තෙන්ම ලාර්ස්ලී අද හවස, මාර්තු මාසයේ බොල්ශෙවික් පක්ෂය තුල තිබූ මතභේද විෂය කොට ගෙන ඓතිහාසික භෞතිකවාද සම්මන්ත‍්‍රනයේ මාන්ඩලික සාමාජිකයෙක් ලෙස අයිඑස් ඕ සාමාජික ටොඩ් ක්රිටින් සමග සහභාගී වූයේ ය.

මෑත ලිපි ගනනාවක ලී තර්ක කරන්නේ, පෙබරවාරි විප්ලවයෙන් පසුව පැමිනි මාස තුල බොල්ශෙවික් පක්ෂය තුල අති මූලික භේද නොතිබූ බවත්, පෙබරවාරි හා ඔක්තෝබර් විප්ලව අතර සුමට අවිච්චින්නතාවක්වූ බවත්, විප්ලව දෙක අතර කාල පරිච්ඡේදය වටහා ගැනීම සඳහා “ද්වන්ද බලය” ඵලදායී ප‍්‍රවර්ගයක් නොවන බව සහ විශ්වාස කල නොහැකි ලෙස රුසියන් විප්ලවය සමාජවාදය හා කිසිදු සම්බන්ධයක් නැති බවටත්ය.

“මුලුමනින් සන්නද්ධ වී: 1917 මාර්තුවේ කමනෙව් හා ප‍්‍රව්දා” යන මැයෙන් 2014 පල කල ලී ගේ රචනාව, මාර්තුවේ ස්ටැලින් හා කමනෙව්ගේ දේශපාලන පිලිවෙත, ඔක්තෝබර් මස බලය ගැනීම සඳහා බොල්ශෙවිකයන් “සම්පූර්නයෙන්ම” සූදානම් කලේය යන්න ගැන තර්ක කිරීම සඳහා කැපවේ. (23) මෙම ආඛ්‍යානය ගොඩනැගීම සඳහා කමනෙව්, මුරනොව්, හා ස්ටැලින් පිටුවහලේ සිට ආ මාර්තු මස 15 දා යින් පසුව ප‍්‍රව්දාවේ පලවූ කතු වැකි වලින් එකම එකක් පමනක් උපුටා දක්වයි. අත්සනක් යොදා නොමැති එහෙත් කමනෙව්ගේ යයි සැලකෙන එම කතු වැකිය මෙසේ පවසයි. “පරන රෙජිමය හා රාජාන්ඩුව සම්පූර්නයෙන් අහෝසි කිරීම, ස්වාධීනත්වය ක්‍රියාවට නැංවීම ආදියේදි අපි අලුත් තාවකාලික රජයට ජව සම්පන්නව සහය දෙන්නා සේම අපි, තාවකාලික ආන්ඩුව එහි ප‍්‍රකාශිත අරමුනු සඳහා ක්‍රියා කිරීමට අසමත් වන සෑම අවස්ථාවක්ම, තීරනාත්මක අරගලයෙන් සෑම අපසරනයක්ම, බුරා නගින විප්ලවීය වහ්නිය නිවා දැමීමට හෝ ජනතාවගේ දෑස් බැඳ දැමීමට තැත් කරනා සෑම උත්සාහයක්ම විවේච්නය කරන්නෙමු”

ලෙනින් ගේ ඈතක සිට ලිපි හා සමග මෙම කතුවැකිය කෙලිින්ම ප‍්‍රතිවිරෝධී විය. පැරනි තන්ත‍්‍රය සමග අරගලය තුල නව ආන්ඩුවට සහාය සඳහා කැඳවුම් කල ඕනෑම අයෙකු, “නිර්ධනීන්ගේ ව්‍යාපාරයේ ද්‍රෝහියකු” ලෙස අංග ලක්ෂනය කල සැබවින්ම, “ සිට එවූ ලිපි” වලින් ප‍්‍රකාශයට පත් කල එකම ලිපිය වූ මෙය, ප‍්‍රව්දාවේ පසුව පලකරද්දී, මෙම පාඨය ද ඇතුලු පාඨ කීපයක්ම ඉවත් කර තැබීමට එහි කතුවරු වග බලා ගත්හ ලෙනින් ලියන්නේ කුමක්ද යන්නේ වැදගත්කම ඔවුන් පැහැදිලිව වටහා ගෙන තිබුනි.”

කමනෙව්ගේ ලිපිය පිලිබඳ පැහැදි අර්ථ දැක්වීම මුලු කතුවැකියම නොකියවූ “අනවධානී පාඨකයන්ගේ” නිෂ්පාදිතයක් සේ ලී බැහැර කරයි. ලී ගේ පරිවර්තනයට අනුව “කතුවැකිය පසුව සඳහන් කරන්නේ” “ප‍්‍රජාතන්ත්‍රීය බලයන්ගේ හා තාවකාලික ආන්ඩුවේ පථයන් අපසාරී වනු ඇත. එනම්, ධනේශ්වරය (නැවත) තම සිහි එලවා ගත් විට, විප්ලවීය ව්‍යාපාරය නතර කර දැමීමට අනිවාර්යයෙන් තැත් කර, නිර්ධනීන්ගේ හා (පීඩිත) ගොවීන්ගේ අත්‍යාවශ්‍ය ඕනෑ එපාකම් තෘප්ත කිරීමේ ලක්ෂ්‍යය කරා ඊට වර්ධනය වීමට අවසර නොදෙනු ඇත.... ඔවුන්ගේ ඉල්ලීම්වල මෙවන් පූර්න සන්තර්පනයක් සඳහා හැකිවනු ඇත්තේ, සම්පූර්න හා මුලු බලයම ඔවුන්ගේ අතට ලැබීමෙන් පසුව පමනි.”

ඇත්තෙන්ම මෙය නම් සම්පූර්නයෙන්ම මෙන්ෂෙවික් තර්කයකි. වර්තමානයේදී, තාවකාලික ආන්ඩුව - එනම් ධනේශ්වරය- විප්ලවීය ක්‍රියාවන් සිදුකරයි. ඒ සඳහා ඔවුනට උදව් කල යුතුය. සම්ප‍්‍රධායික අවස්ථාවාදී විලාසයෙන් විප්ලවීය කර්තව්‍යයන් අනිශ්චිත අනාගතයකට කල් දැමෙනු ඇත. මෙය තාවකාලික ආන්ඩුවට සහයෝගය දීම සාධාරනකරනය සඳහා තර්කයක් වේ.

තමන්ගේම පැහැදිලි කිරීම් තුලින් ලී, කමනෙව්ගේ ප‍්‍රකාශනය පරිපූරනය කරයි.

දේශපාලන දිවියකට අලුතින් පුබුදුවනු ලැබූ, සොල්දාදුවන්ගේ හා කම්කරුවන්ගේ මහත් රාශිය බැලූ බැල්මට විශිෂ්ඨ යයි පෙනී ගිය, එහි ප‍්‍රති-සාර්වාදී අක්ත පත‍්‍ර සහිත තාවකාලික ආන්ඩුව කෙරෙහි විශ්වාසය තැබීය. මෙම විශ්වාසය, අප එතරම්ම සුලු නොවන නිහතමානී බවක් ආරෝපනය කර ගනිමින් බොහෝ විට මෙම අවස්ථාව විස්තර කරන පරිදි, මුලාව මත පාදක වූ විප්ලවීය යහ හැඟීම් විදාරනයක් මතම පදනම් වුවක් නොවීය. ඇත්ත කාරනාව වූයේ මෙම කාලය තුලදී තාවකාලික ආන්ඩුව, ඇත්ත වශයෙන්ම විප්ලවීය පියවරයන් ගනිමින් සිටි බවයි. සාර්වාදී පොලිස් යාන්ත‍්‍රනය බිඳ විසුරුවීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, දේශපාලන නිදහස සඳහා ප‍්‍රතිඥාවන් ස්ථාපනය කිරීම, ජාතික මැතිවරන සඳහා මූලික කටයුතු කිරීම ආදී වශයෙනි.

ඝට්ටනයක් එනු ඇත. තාවකාලික ආන්ඩුවට විරුද්ධ වීම අවශ්‍ය කරනුයේ එවිට පමනි, මාස කිහිපයකට පසු එසේ සිදුවුනි. ඒ ආකාරයෙන් ලීට අනුව, කමනෙව්ගේ දේශපාලන හුය, “බෝල්ශෙවිකයන් ඔක්තෝබරය දක්වා මුලු දුරම ගෙන ගියේය.”

මෙම විශ්ලේෂනය මුල සිට අග දක්වාම සාවද්‍යය. අලූත් ආන්ඩුවට “බැලූ බැල්මට විශිෂ්ඨ වූ ප‍්‍රති-සාර්වාදී අක්ත පත‍්‍රයන්” නොතිබුනි. එය මොන වියදමක් දරා හෝ ඒකාධිකාරය රැක ගැනීමට උත්සාහ කර තිබුනි. කම්කරුවන් හා සොල්දාදුවන්ගේ මහා රාශින්, විප්ලවීය පියවරයන් ක්‍රියාවට නැගීම සඳහා බැලූවේ, තාවකාලික ආන්ඩුව දෙස නොව, තාවකාලික ආන්ඩුව සඳහා සහයෝගය උනන්දු කිරීමට උත්සාහ දරමින් සිටි දේශපාලන පක්ෂ නායකත්වය දුන් සෝවියට් සභාව වෙතය. ලෙනින් සඳහාත් ට්‍රොට්ස්කි සඳහාත් කර්තව්‍යය වූයේ, දේශපාලන විභේදනය තියුනු කිරීමත් කෙරෙන්ස්කිි වැන්නන් හා ආන්ඩුව කෙරෙහි සම්පූර්න අවිශ්වාසය දිරිමත් කිරීමත්, ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරන ක්‍රියාත්මක කරනු ඇතැයි ද යුද්ධය නතර කරනු ඇතැයි ද යන මායාවන් උපදේශනය නොකිරීමත්ය.

තම කියාපෑම් තුලදී ලී, මාර්තු මස බොල්ශෙවික් පක්ෂය තුල ඇති වූ ඝට්ටනයට සම්බන්ධිත මූලිකම කාරනාව සම්පූර්නයෙන්ම නොතකා හරී. එනම් යුද්ධය පිලිබඳ කරුනයි. තාවකාලික ආන්ඩුව සඳහා ඔවුන්ගේ සහයෝගය හා අනුරූපී ලෙස, යුද්ධය කෙරෙහි ආරක්ෂනවාදී ස්ථාවරයක්. නමින්, මාර්තු මස පලවූ කමනෙව් හා ස්ටැලිින්ගේ කතුවැකි බොහෝ ගනන ඔහු නොතකා හරී.

“රහස් රාජ්‍යෝපායෙන් තොරව!” යන සිරස්තලය යටතේ, කමනෙව් ලියූ, මාර්තු 15 දින කතුවැකිය තරයේම මෙන්ෂෙවික් ලිපියකි. “යුද්ධය නොකඩවා කෙරී ගෙන යයි. ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවය විසින් එය නතර කර නොමැත,” එය පටන් ගනී. “කිසිවකු එය හෙට හෝ අනිද්දා නිමා වනු ඇතැයි යන බලාපොරොත්තුව පෝෂනය නොකරති. බලයෙන් පහ කල සාර්ගේ කැඳවුමට අනුව සංග‍්‍රාමයට ගිය, ඔහුගේ ධජ යටතේ තම රුධිරය හෙලූ, රුසියාවේ සොල්දාදුවන්, පීඩිත ගොවීන් හා කම්කරුවන් තමන්ගේ විමුක්තිය ලබා ද සාර්ගේ ධජ පතාක විප්ලවයේ රතු ධජයන්ගෙන් ප‍්‍රතිස්ථාපනය වී ද ඇත.”

එනම්, යුද්ධය තාවකාලික ආන්ඩුවේ නායකත්වයෙන් මෙහෙයවන විප්ලවීය විමුක්ති යුද්ධයක් බවට පත් වී ඇත. මේ මෙන්ෂෙවිකයන් හා සමාජ විප්ලවවාදීන් ඔසවා තබමින් සිටි ධාරාවම වීය. කමනෙව් ලියූ පරිදි, “හමුදාවක් තවත් හමුදාවකට මුහුනට මුහුනලා සිටින විට, ඉන් එකකට තම ආයුධ බිම තබා නැවත නිවෙස් වෙත යා යුතු යැයි කරන යෝජනාව වඩාත්ම හාස්‍යජනක ප‍්‍රතිපත්තිය වනු ඇත. මෙම පිලිවෙත සාමයේ පිලිවෙත නොව, නිදහස් ජනතාවත් විසින් අවඥාවෙන් ප‍්‍රතික්ෂේප කෙරෙන, වහල් භාවයේ පිලිවෙතකි. නැත, ඔවුන් තමන්ගේ නියමිත ස්ථානවල තිරසාරව නැගී සිටිමින්, උන්ඩයට උන්ඩයෙන්ද, ෂෙල් වෙඩිල්ලට ෂෙල් වෙඩිල්ලෙන් ද පිලිතුරු දෙනු ඇත. මෙය අත්‍යාවශ්‍යය.”

මිත‍්‍ර පාක්ෂික අධිරාජ්‍යවාදී බලයන් ඉදිරියේ තම දීන මුනින්තලා නමස්කාරය ප‍්‍රදර්ශනය කරමින් ඔහු තවදුරටත්, එංගලන්තය, ප‍්‍රන්සය හා වෙනත් රටවල් සමග රුසියාව මිත‍්‍ර සන්ථව මගින් බැඳී තිබේ. සාමය පිලිබඳ ප‍්‍රශ්නවලදී, ඔවුන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට ඊට නොහැක. එහෙත් මෙයින් අදහස් වන්නේ, සාර්වාදී වියගසින් තමා ඒ ගලවාගත් විප්ලවීය රුසියාව, සාම සාකච්ඡා ඇරඹීම පිලිබඳ ප‍්‍රශ්නය නැවත සලකා බැලීම උදෙසා තම මිත‍්‍ර පාක්ෂිකයන් වෙත සෘජුවම හා විවෘතව හැරිය යුතු බවය.

අපගේ සටන් පාඨය, විප්ලවීය හමුදාව සහ තවදුරටත් විප්ලවකාරී වෙමින් පවතින හමුදාව, විසුරුවා හැරීම නොවේ. “යුද්ධය භං වේවා” යන හිස් සටන් පාඨය ද නොවේ. අපගේ සටන් පාඨය නම්, ලෝක යුද්ධය නතර කිරීමේ මාර්ගය පිලිබඳ සාකච්ඡා වහාම ආරම්භ කිරීම සඳහා යුද වැදී සිටින සියලු රටවල් පෙලඹවීම පිනිස, මුලු මහත් ලෝක ව්‍යාප්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියේ විවෘතවම හා වහාම කටයුතු කිරීම සඳහා තාවකාලික ආන්ඩුව කෙරෙහි පීඩනය යෙදීමයි. එතෙක් සියලුදෙනා තම ස්ථානවල සිටිය යුතු වේ. 24

මා කලින් සඳහන් කල, සුකනොෆ් විසින් කෙටුම්පත් කල සෝවියට් සභාවේ ආයාචනය සඳහා “උනුසුම් සුභාශිංසනයක්”සමග එය නිමා වේ.

ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රය විසින් පසුව මුසාකරනයට ලක් කල ද කමනෙව්ගේ යුදවාදී ස්ථාවරය ස්ටැලින් විසින් ද පුනරුච්ඡාරනය කෙරුනි. ස්ටැලින් මාර්තු 16 දා, “යුද්ධය” නමින් වු තම ලිපියෙහි,“යුද්ධය භංග වේවා” යන සටන් පාඨය ප‍්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට පවසා සිටියේ, “ස්වයං නිර්නය සඳහා ජාතීන්ගේ අයිතිය පිලිගැනීමේ පදනම මත, සාම සාකච්ඡා වහාම ඇරඹීම සඳහා සියලු යුද වැදී සිටින බලයන් පොලඹවා ගැනීමට තාවකාලික ආන්ඩුව විවෘතව හා ප‍්‍රසිද්ධියේ කටයුතු කල යුතු බවට, කම්කරුවන්, සොල්දාදුවන් හා දුගීී ගොවීන් රැස්වීම් සංවිධානය කරමින්, උද්ඝෝෂනය කරමින් බලකර සිටිය යුතු වේ”.(25)

එහි ලේ වැකි ගමන් මග පුරාම යුද්ධයේ අතිශයින් උද්‍යෝගීමත් සහායකයන් වූ පුද්ගලයින් හා සංවිධාන වලින් සමන්විත වූ හා නායකත්වය ලැබූ මෙම ධනපති ආන්ඩුවට, යුද්ධය නතර කිරීම සඳහා බල කිරීමට එම තාවකාලික ආන්ඩුව මත පීඩනය යොදන්න.

මෙවන් ප‍්‍රකාශනයක හා ලෙනින්ගේ ලේඛනය අතර ඇති මහා දේශපාලන අගාධය දැක ගැනීම සඳහා ඒවා සංසන්දනය කිරීම පමනක් වුව සෑහේ. “මේ ආන්ඩුවට අධිරාජ්‍යවාදී යුද්ධය කර ගෙන යාමට අවශ්‍ය බවත්, එය බ්‍රිතාන්‍ය ප‍්‍රාග්ධනයේ ඒජන්තයෙකු බවත්, රාජාන්ඩුව පුනස්ථාපනය කිරීම හා ඉඩම් හිමියන්ගේ හා ධනපතීන්ගේ පාලනය සවිමත් කිරීම ඊට අවශ්‍ය බවත්, අපගෙන්ම හා ජනතාවගෙන් සැඟවීම සඳහා අත්‍යන්තයෙන්ම අවසර නැත.” මාර්තු 9 වනදා ලෙනින් ලිවීය. පසුව, මාර්තු 12 වනදා ඔහු කීවේ, “ඉක්මන්, අවංක, ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා යහ-අසල්වාසී සාමයත් සඳහා ගුච්කොෆ් - මිලියුකොෆ් ආන්ඩුව උනන්දු කිරීම, ගමේ කරුනාවන්ත පූජකයා “දෙවියන් අනුයන මාර්ගයේ හැසිරෙන්න” තම අසල්වාසීන්ට ආදරය කරන්න.”(26)

ලීගේ කමනෙව් ආරක්ෂා කිරීම සහ ස්ටැලින් හුවාදැක්වීම මගින් තවත් ආස්ථානයක් ඉදිරිපත්වේ. පසුගිය මස මිචිගන් සරසවියෙහිදී ඔහු ඉදිරිපත් කල වාර්තාව තුල පෙබරවාරියේ විප්ලවය “ධනේශ්වර ප‍්‍රජාතන්ත්‍රීය” වන බැව් සහ ඔක්තෝබරයේ විප්ලවය “සමාජවාදී” වන බැව් කිව නොහැකි බව කියා සිටියි. මෙය ඔහු, අනෙකුන් අතර ද බෙදාහදා ගන්නා ලෙනින් ඔහුගේ අප්‍රේල් ප‍්‍රවාදයෙන් සමාජවාදී විප්ලවයක් සඳහා කැඳවුම් කරද්දී, ලෙනින් රුසියාවට නැවත පැමිනීමට පෙරාතුව, ස්ටැලින් හා කමනෙව් ධනේශ්වර- ප‍්‍රජාතන්ත්‍රීය විප්ලවයකින් එහාට යෑමට අදහස් නොකල බවට ට්‍රොට්ස්කි හා ඔහුගේ අනුගාමිකයන් ද තවත් අය ද කරන කියාපෑම මිථ්‍යාවකි.

ඒ වෙනුවට, මු 1917 ම වටහාගතයුත්තේ “ප‍්‍රතිධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් ලෙසටය. ලී තිිර කොට පවසන්නේ” සමාජවාදී විප්ලවයක් පිලිබඳ එල්ලය, 1917 පුරාම බෝල්ශෙවිකයන්ගේ පනිවිඩයේ කොටසක් නොවූ බවයි. 27

ඔහුගේ සෑම තර්කයකදීම ලී, තම පාඨකයන්ගේ නොදැනුවත්කම මත යැපෙයි. බොල්ශේවිකයන් සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකලේය යන ප‍්‍රකාශනය, ලෙනින්ගේ නැවත පැමිනීමට පසු පැවැත්වූ අප්‍රේල් සම්මේලනය ද ඇතුලත් පක්ෂ ලියවිලි පිලිබඳ විශ්ලේෂනයකින් නිෂ්ප‍්‍රභා වේ. ලෙනින්ගේ යෝජනාවන්හි අර්ථය ගැන ප‍්‍රව්දාවේ කතුවරුන්ට කිසිදු මායාවක් නොවීය. ලෙනින්ගේ අප්‍රේල් ප‍්‍රවාදය පලවීමෙන් පසුව අප්‍රේල් 8 වන දා ඔවුන් ලියූ පරිදි“ලෙනින් සහෝදරයාගේ සාමාන්‍ය යෝජනා ක‍්‍රමය පිලිබඳව නම්, එය ධනේශ්වර-ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය අවසන් වී ඇතැයි යන උපකල්පනයෙන් ආරම්භ කර මෙම විප්ලවය වහාම සමාජවාදී විප්ලවයකට පරිවර්තනය කිරීම ගැන ගනන් බැලීම නිසා අපට පිලිගත හැකි යයි නොපෙනේ.” 28

1917 සැප්තැම්බර් මස ලියූ “එලැඹෙන ව්‍යසනය සහ ඊට විරුද්ධව සටන් කරන්නේ කෙසේද ?” යන්නෙහි “සමාජවාදය කරා පෙරට යෑමට අප බියවන්නේ නම් අපට ඉදිරියට යාමට හැකි වේද ?” යන මැයෙන් වූ කොටසේ විප්ලවය හුදෙක්ම ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී යයි ද ඊට සමාජවාදී ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක නොකල හැකි යයි ද ? කියා පෑ මෙන්ෂෙවිකයන් හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට විරුද්ධව ලෙනින් තර්ක කලේය.

ලෙනින් ප‍්‍රකාශ කරන පරිදි:

විශේෂයෙන්ම යුද අවධියේ ද සාමාන්‍ය වශයෙන් ඉතිහාසයේදී ද එක තැන නිශ්චලව සිටිය නොහැකිය. එක්කෝ අප ඉදිරියට යා යුතුය. නැතිනම් පසුබැසිය යුතුය. ජනරජයක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය විප්ලවීය ක‍්‍රමයකට දිනා ගත්් විසිවන සියවසේ රුසියාවට සමාජවාදය දෙසට ප‍්‍රගමනයකින් තොරව පෙරට යා නොහැකිය, ඒ කරා පියවර ගැනීමෙන් තොරව, තාක්ෂනයේ හා සංස්කෘතියේ මට්ටම මගින් හැඩගස්වන හා නිශ්චය කරනු ලබන පියවර ගැනීමෙන්, කුඩා ගොවි කෘෂිකර්මාන්තය තුල මහා පරිමාන යාන්ත්‍රික නිෂ්පාදනය හඳුන්වා දිය නොහැක. එමෙන්ම සීනි කර්මාන්තය තුල ඒවා අහෝසි කල ද නොහැක.

ඉතිහාසයේ අපෝහකය කෙසේදයත් යුද්ධය, ඒකාධිකාරී ධනවාදය රාජ්‍ය-ඒකාධිකාරී ධනවාදය බවට පරිවර්තනය වීම අසාමාන්‍ය ලෙස ඉක්මන් කිරීම මගින් මානව සංහතිය, සමාජවාදය දෙසට අසාමාන්‍ය ලෙසට ප‍්‍රගමනය කර ඇත. 29

මෙම දේශනය තුලදී මෙම කාරනය ගැන සවිස්තර ලෙස කථා කිරීමට මට නොහැකි වුව ද මෙම අවසාන උද්ධ‍්‍රැතය න්‍යායිකව හා ක්‍රියාමාර්ගිකව, ලෙනින් හා ට්‍රොට්ස්කි එක්තැන් කල තත්වයන් කෙරෙහි අවධානය යොමු කරවයි. අධිරාජ්‍යවාදී යුද්ධය ලෝක පද්ධතියක් ලෙස ධනවාදයේ ප‍්‍රතිවිරෝධතා අනාවරනය කර ජාත්‍යන්තර පන්තියක් ලෙස කම්කරු පන්තියේ ඉරනමෙහි අන්තර් සබඳතාවය හෙලි කරයි. එය ජාතික ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් පිලිබඳ ප‍්‍රශ්නයක් නොව, නික් සහෝදරයාගේ දේශනයේ අවසනට සඳහන් කල උද්ධ‍්‍රැතය නැවත සඳහන් කරන්නේ නම්, “අධිරාජ්‍යවාදී යුද්ධය සමාජවාදය සාක්ෂාත් කර ගැනීම පිනිස පීඩිතයන්ට එරෙහි පීඩිතයන්ගේ සිවිල් යුද්ධයක් බවට” හැරවීම පිලිිබඳ ප‍්‍රශ්නයකි.

ලී ගේ මුසාකරනය නැවත වතාවක් තහවුරු කරන්නේ, රුසියානු විප්ලවයේ ඉතිහාසයෙහි අතිමහත් සමකාලීන වැදගත්කමයි. විසිවන ශත වර්ෂයේ ඉතිහාසය තුලදී, කම්කරු පන්තියේ විප්ලවීය නැගිටීම් අනේකවාරයක්, විශේෂයෙන් ස්ටැලින්වාදීන් ද්‍රෝහිත්වය තුලින් ධනේශ්වරයට යටත් කර ඇත. 1927 චීනයේදී, 1930 ගනන්වල ස්පාඤ්ඤයේදී, 1940 ස් ගනන්වල ඉන්දියාවේ හා ඉන්දු- චීනයේ, යුද්ධයෙන් පසු මුලු යුරෝපය පුරා, 1960 ගනන්වල ඉන්දුනිසියාවේ, 1970 ගනන්වල චීනයේ හා ලතින් ඇමරිකාවේ, 1979 ඉරානයේ සිට 2011 ඊජිප්තුව දක්වා.

අද දින, අප යුද්ධයන්ගේ හා විප්ලවයේ නව අවධියකට එලඹෙද්දී, සමාජවාදය කරා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය වීම වැලැක්වීම සඳහා ඉහල මධ්‍යම පන්තියේ පක්ෂ ඔවුනට හැකිිි සියල්ල කරමින් සිටිති.

රුසියානු විප්ලවය ඒ සා අසමසම කල කාරනය නම්, අවසානයේ රාජ්‍ය බලය අත්කර ගැනීම දක්වා කම්කරු පන්තියේ විප්ලවීය නැගිටීම මෙහෙයවීම සඳහා, ලෙනින් හා ට්‍රොට්ස්කි නායකත්වය දුන් නායකත්වයක පැවැතීමයි. මෙම අරගලයේ ඊලඟ අවධිය වූ ලෙනින් රුසියාවට නැවත පැමිනීම හා අප්‍රේල් ප‍්‍රවාද, මීලඟ දේශනයේ මාතෘකාව වේ.

සටහන්:

1. “ජෝර්ජි වැලෙන්තිනොවිච් ප්ලෙකනොව් (1856-1918) : මාක්ස්වාදයේ ඉතිහාසය තුල ඔහුට හිමි තැන” ඬේවිඞ් නෝර්ත් හා ව්ලැඩිමීර් වොල්කොව් විසින් ලෝසවෙඅ 2016 දෙසැම්බර් 5

2. Three Conceptions of the Russian Revolution, “රුසියානු විප්ලවයේ සංකල්ප තුන” ලිපියෙහි උපුටා දැක්වේ, ලියොන් ට්‍රොට්ස්කි, 1939

3. එම.,

4. ”කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර-විප්ලවවාදී ආඥාදායකත්වය”, වී. අයි. ලෙනින්, Collected Works (එකතුකල කෘති*, 8 වෙලූම, ප‍්‍රගති ප‍්‍රකාශකයෝ, 1965, 294-98 පිටු.

5. Results and Prospects ප‍්‍රතිඵල සහ ඉදිරිදර්ශන, ලියොන් ට්‍රොට්ස්කි, ii පරිච්ඡේදය: නගර හා අගනුවර, ලියෙන් ට්‍රොට්ස්කි, 1906.

6. History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, ලියොන් ට්‍රොට්ස්කි, ප්ලූටෝ මුද්‍රනාලය, 1977, 27 පිටුව.

7. Results and Prospects ප‍්‍රතිඵල සහ ඉදිරිදර්ශන, iii පරිච්ඡේදයේ උපුටා දැක්වේ, 1789-1848-1905.

8. “කොමියුනිස්ට් සංගමයේ මධ්‍යම කාරක සභාව ඇමතීම” කාල් මාක්ස් හා ෆෙඩ්‍රික් එංගල්ස්, 1850 මාර්තු.

9. “අපේ මතභේද” 1905, වින්ටේජ් බුක්ස්, 315-17 පිටු.

10. “ජූරිය අමතා ෆර්ඩිනන්ඞ් ලසාල් කල කථාවට හැඳින්වීමක්” Results and Prospects,ප‍්‍රතිඵල සහ ඉදිරිදර්ශන හි උපුටා දැක්වේ, 9 පරිච්ෙඡ්දය: යුරෝපය හා විප්ලවය.

11. 1905”බලය සඳහා අරගලය” එම, 322 පිටුව.

12. පෙබරවාරි විප්ලවය හා ඉන් ඉක්බිතිව සියලූ දින හා විස්තර පැරනි ජූලියන් දින සටහන් අනුවය.

13. The Russian Revolution, 1917රුසියානු විප්ලවය, 1917, රෙක්ස් හා වේඞ්, කේම්බ්‍රිජ් යුනිවසිටි ප්‍රෙස්, 1917, 29 පිටුව.

14.History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, ලියොන් ට්‍රොට්ස්කි, 161 පිටුව.

15. එම., පිටුව 171.

16. The February Revolution: Petrograd, 19171917 පෙට්‍රොග‍්‍රෑඞ්, පෙබරවාරි විප්ලවය, ට්සුයොෂි හසගාවා, යුනිවර්සිටි ඔෆ් වොෂින්ටන් ප්‍රෙස්, 1989, 227 පිටුව, උපුටා දැක්වේ.

17.“පෙබරවාරි විප්ලවයේ මිලිෂියාවන් පිහිටුවීම: ද්වන්ධ බලයේ මූලාරම්භයන් පිලිබඳ සංකල්ප” ට්සුයොෂි හසගාවා,Slavic Review ස්ලාවික් විමර්ෂන, වෙලූම 32, අංක 2, 1973 ජූනි, 303-22 පිටු.

18. The History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසය, ලියොන් ට්‍රොට්ස්කි, එම පිටු 258, උපුටා දැක්වේ.

19. The Russian Revolution 1917: A Personal Record 1917 රුසියානු විප්ලවය: පෞද්ගලික වාර්තාවක්, එන්. එන්. සුකානොව්, ප‍්‍රින්ස්ටන් යුනිවර්සිටි ප්‍රෙස්, 1984, 12 පිටුව.

20. The Growing Conflict,“වර්ධනය වන ගැටුම” එල්. ට්‍රොට්ස්කි ( පරිවර්තනය කලේ ෆ්‍රෙඞ් විලියම්ස්*.

21. ලෙනින් Collected Works (එකතුකල කෘති), 23 වෙලූම, (ප‍්‍රගති ප‍්‍රකාශකයෝ, 1964*, පිටු 292,305.

22.Prelude to Revolution: The Petrograd Bolsheviks and the July 1917 Uprising විප්ලවයට පෙරවදනක්: පෙට්‍රොග‍්‍රෑඞ් බොල්ශෙවිකයෝ හා 1917 ජූලි නැගිටීම, ඇලෙක්සැන්ඩර් රබිනොවිච්, (ඉන්දියානා යුනිවසිටි ප්‍රෙස්, 1991*, 34-35 පිටු.

23. “පූර්න ලෙස සන්නද්ධව: 1917 මාර්තුවේ කමනෙව් හා ප‍්‍රව්දා, ලාස් ටී. ලී, The NEP Era: Soviet Russia 1921-1928නව ආර්ථික පිලිවෙතේ අවධිය: 1921-28 සෝවියට් රුසියාව, 2014, 55-68 පිටු.

24. ප‍්‍රව්දා, බදාදා, 1917 මාර්තු 15 (පැරනි 28) රුසියානු බසින් පරිවර්තනය කලේ ෆ්‍රෙඞ් විලියම්ස්.

25. ප‍්‍රව්දා, බ‍්‍රහස්පතින්දා, 1914 මාර්තු 16 (පැරනි 29) ස්ටැලින් Works කෘති, 3 වෙලූම, මාර්තු-ඔක්තෝබර්, 1917.

26. ලෙනින්ගේ දෙවන හා සිව්වන “ඈතක සිට එවූ ලිපි” වලින්, Collected Works (එකතු කල කෘති*, 23 වෙලූම, එම, 315,336 පිටු.

27. ලී මෙම තර්ක ගෙන ආවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ ඈන් ආබර් සමලූවට ඉදිරිපත් කල වාර්තාවකය. Revolutionary Longings රෙවලූෂනරි ලොන්ගිංග්ස්, 2017 මාර්තු.

28. History of the Russian Revolution රුසියානු විප්ලවයේ ඉතිහාසයෙන් උපුටා ගැනින, එම 326-27 පිටු.

29.Lenin, Collected Works(එකතු කල කෘති), 25 වෙලුම, .

[මෙම ලිපිය 2017 අප්‍රේල් 26 වන දින ඉංග්‍රීසි බසින් පල විය.]

Loading