ලසසප පාවාදීමේ සිට විකොස ආරම්භ කිරීම දක්වා

මෙම ලිපිය 2018 සැප්තැම්බර් 26 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින

මෙය, 1968 ජූනියේ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ආරම්භ කිරීමෙහි 50 වන සංවත්සරය සැමරීම සඳහා පල කෙරෙන ලිපි මාලාවක දෙවැන්නයි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) නමින් පිහිටුවනු ලැබූ එය 1996 දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) ලෙස යලි නම් කෙරින. 1968 ජූනි 16-17 දිනවල පැවැත්වූ විකොස ආරම්භක සම්මේලනය සලකුනු කරමින් ප්‍රකාශයක් දැනටමත් නිකුත් කෙරී ඇත.

මෙම ලිපිවල අරමුන, විකොස පිහිටුවා ගැනුනු මූලධර්මාත්මක පදනම් විස්තාරනය කිරීම හා එකී මූලධර්ම වෙනුවෙන් පසුගිය පනස් වසර තුල සිදු කල අරගලයේ සාරාත්මක දේශපාලන පාඩම් උකහා ගැනීමයි. විකොස පිහිටුවා ගනු ලැබූවේ, ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස තමන් හඳුන්වා ගත් ලසසපය, 1964 දී සිරිමා බන්ඩාරනායක මැතිනියගේ ධනපති ආන්ඩුවට ඇතුලු වීම මඟින් පාවා දෙනු ලැබ තුබූ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙල හා ඉදිරි දර්ශනය මතය.

සසපයේ කටයුතු අතර ප්‍රමුඛත්වය ගත්තේ, ධනේශ්වර වර්ධනය කල් පමා වූ රටවල කම්කරුවන්ගේ හා ග්‍රාමීය වැඩකරන ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රීය හා සමාජයීය අයිතිවාසිකම් සඳහා අරගලයට නායකත්වය සැපයිය හැක්කේ කම්කරු පන්තියට පමනක් බවත්, ඒ, සමාජවාදය සඳහා ඔවුන් ජාත්‍යන්තර පරිමානව ගෙන යන අරගලයේ කොටසක් ලෙස බවත් තහවුරු කල ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය වෙනුවෙන් සටන් වැදීමයි. මෙම පාඩම් ශ්‍රී ලංකාව තුල පමනක් නොව ආසියාව පුරාම හා ජාත්‍යන්තර පරිමානව ද කම්කරු පන්තියේ මතුවෙමින් පවත්නා අරගල සඳහා තීරනාත්මකය.

ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට ඇතුලු වෙමින් 1964 ජූනියේ සිදුකල පාවාදීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනය වසාගෙන උතුරා ගියේ, කම්කරුවන්ගේ දුගීන්ගේ හා තරුනයන්ගේ සෑම කොටසක් තුලම පැතිර ගිය දේශපාලන ව්‍යාකූලත්වයේ හා අපේක්ෂා භංගත්වයේ ගංවතුරකි.

කෙසේවෙතත්, ලසසපය විසින් බලගතු ඉල්ලීම් 21 ව්‍යාපාරය නවතා දමනු ලැබ තුබූ තතු යටතේ වුව නොසංසුන්කම, කම්කරුවන් හා විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ද, තරුනයන් ද අතර සෙමෙන් වැඩෙන්නට පටන් ගැනිනි.

පෞද්ගලික අංශයේ වර්ජන පැන නැඟින. වැඩි වශයෙන් ස්ත්‍රීන්ගෙන් සමන්විත වූ දහසකට වැඩි කම්කරු පිරිසක්, හවුල් ආන්ඩුවේ පොලිස් වධහිංසාවන්ට පාත්‍ර කෙරුනු වෙලෝනා ඇඟලුම් කම්හලේ වර්ජනය ද ඒ අතර විය. එම වර්ජනයට සහය දෙමින් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දහස් ගනන් සිසුහු මහනුවර නගරය දක්වා පෙලපාලි දැක්වූහ.

සමාජවාදය ගොඩනඟනු ඇතැයි ලසසප හා ස්ටැලින්වාදී නායකයන් ප්‍රතිඥා දී තිබූ බන්ඩාරනායකගේ හවුල් ආන්ඩුව, 1964 වසර අවසන් වන තෙක් හෝ පැවතුනේ නැත. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් සංවිධානය කරන ලද පාර්ලිමේන්තු කුමන්ත්‍රනයක් මඟින් එය බලයෙන් පහ කරන ලදී.

(ඉන් පසුව) එජාපය බලයේ සිටි සමයේ ද දේශපාලන රැඩිකලීකරනය දිගටම සිදු විය. පෙරදිග සුලඟ, ගිනි පුපුර හා රතු තරුව වැනි සුලු ධනපති දේශපාලන කන්ඩායම් රැසක් ශිෂ්‍යයන් හා ග්‍රාමීය තරුනයන් අතරින් බිහි විය.

සෝවියට් සංගමයේ ලුමුම්බා සරසවියේ අධ්‍යාපනය ලබා තිබූ රෝහන විජේවීරගේ නායකත්වයෙන් බිහිවූ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඒ අතර ප්‍රමුඛ විය. එහි දෘෂ්ඨිවාදය තද්භව කර ගැනුනේ, මාඕවාදයේ, කස්ත්‍රෝවාදයේ, චේ ගුවේරාවාදයේ හා සිංහල ජනතාවාදයේ සංයෝගයක් මඟිනි. මේ සෑම කන්ඩායමක් ම ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර පරිමානව වර්ධනය වෙමින් පැවැති දේශපාලන අර්බුදයේ ජාත්‍යන්තර ස්වභාවය හා කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ප්‍රතික්ෂේප කලෝය.

කම්කරු පන්තිය නියෝජනය කරන බව කියා සිටි ප්‍රධාන දේශපාලන පක්ෂය වූයේ, බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලු වීමට එරෙහිව ඡන්දය පාවිච්චි කල ලසසප නියෝජිතයන් විසින් පිහිටුවා ගෙන තුබූ ලංකා සමසමාජ පක්ෂය (විප්ලවවාදී) හෙවත් ලසසප(වි)යයි.

1964 ජූනියේ ලසසප සම්මේලනයේ දී සභාග-විරෝධී කන්ඩායම ඉදිරිපත් කල අභියෝජනාව මඟින්, බන්ඩාරනායකගේ ධනපති ශ්‍රීලනිප ආන්ඩුව සමඟ සහයෝගීත්වය “පක්ෂයේ විප්ලවවාදී වැඩ පිලිවෙල අමුඅමුවේ උල්ලංඝනය කිරීමකැ”යි හංවඩු ගසන ලදී. කෙසේවෙතත් ලසසපයේ ද්‍රෝහිත්වය හවුල් ආන්ඩුවේ “අමාත්‍ය ධුර පිලිගැනීම” ලෙස ගුනාංඟීකරනය කිරීම මඟින් එය, සිංහල ජනතාවාදී ශ්‍රීලනිපය සමඟ නිතරඟ ගිවිසුමකට එලැඹීම හා වර්ගවාදී මහජන එක්සත් පෙරමුන සමඟ වාමාංශික එක්සත් පෙරමුනකට ඇතුලුවීම ද ඇතුලු ලසසපයේ අවස්ථාවාදී ප්‍රතිපත්ති-විරහිතභාවය සාධාරනීකරනය කලේය.

තව ද, ඉන් ඉහත දශකය තුල සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම වලින් ලසසපය පසු බැස යාම සම්බන්ධයෙන් දේශපාලනිකව වගකිව යුතු වූ පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ ලසසප(වි)ය දිගටම රැඳී සිටියේය. පැබ්ලෝවාදී අවස්ථාවාදයේ හරි මැද තිබුනේ, කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ද, ධනපති ජාතිකවාදය ස්ටැලින්වාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලු පාලක පන්තියේ සියලු නියෝජිතයන්ට එරෙහිව එම පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන් වැදීමට බෝල්ශෙවික් වර්ගයේ පක්ෂයක් ගොඩ නැඟීමේ අත්‍යවශ්‍යතාවය ද ප්‍රතික්ෂේප කිරීමයි.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ගොඩ නැඟීමට මුල් වූ එහි ආරම්භක සාමාජිකයන්, මුල දී ලසසපයේ පාවාදීමට එරෙහිව ට්‍රොට්ස්කිවාදය සඳහා සටන් වදින බව කියා සිටි ලසසප (වි)ය කරා හැරී තිබින. ලසසප පාවාදීමෙහි දේශපාලන මූලයන් පැන නැඟුනේ එහි පැබ්ලෝවාදී ඉදිරි දර්ශනය තුලින් බව 1968 දී විකොස ගොඩ නැඟීමට පියවර ගත් පිරිස වටහා ගත්තේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාකයේ) විශ්ලේෂනය තුලින් පමනෙකි.

‘සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්‘ කෘතිය මෙසේ පැහැදිලි කරයි: “පලමුව 1964 ජූනියේ ජෙරී හීලි විසින් ද, ඉනික්බිතිව, 1964 දෙසැම්බරයේ දී එස්එල්එල් [බ්‍රිතාන්‍ය සමාජවාදී කම්කරු ලීගය] හි පුවත් ලිපියේ සංස්කාරක මයික් බන්ඩා විසින් ද වශයෙන්; එස්එල්එල් හරහා හජාජාක ශ්‍රී ලංකාව තුල සිදු කල මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස, ලසසප(වි) තුල හජාජාකයට සහය දක්වන කන්ඩායමක් බිහි විය. කෙසේවෙතත් ලසසප(වි) තුල පැවැත්තේ සතුරු වාතාවරනයකි. ... ලසසප(වි) පලමු සමුලුවේදී හජාජාකයට සහය දක්වන්නෙකු විසින් ඉදිරිපත් කරන ලද “ජාත්‍යන්තරයේ ප්‍රශ්නය” පිලිබඳ - එනම්, පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව හජාජාක විසින් දියත් කොට තුබූ අරගලය පිලිබඳ - විවාදයක් පැවැත්වීමේ යෝජනාව වැලැක්වීමට සමස්ත නායකත්වයම අත්වැල් බැඳ ගති.”

1964 ජූනියේ පැවැති ලසසප සම්මේලනයට දේශපාලනිකව මැදිහත්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිනි ජෙරී හීලි ඔහුගේ ‘ලංකාව: මහා පාවාදීම’ කෘතියේ මෙසේ සඳහන් කරයි: ”ලංකාව තුල විප්ලවවාදී පක්ෂය යලි ගොඩනැඟීමේ ඓතිහාසික කාර්යභාරය ලසසප විප්ලවවාදී කන්ඩායමට දැන් පැවරී ඇත. ඔවුන්ට මෙය හොඳින්ම කල හැක්කේ අතීතය සමඟ එහි සම්බන්ධතාවය අවබෝධ කොට ගෙන, පැරිසියේ එක්සත් ලේකම් මන්ඩලයෙන් මුලුමනින්ම බිඳී වෙන් වූ කල්හිය.”

විල්ෆ්‍රඩ් “ ස්පයික්” පෙරෙයිරා

මෙම උපදෙස බැරෑරුම්ව ගත් එකම පුද්ගලයා වූයේ ලසසප(වි) මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වූ ද, දෙවැනි ලෝක යුද්ධය පැවැති කාලයේ ඉන්දීය බෝල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ සාමාජිකයෙකුව සිටි කෘතහස්ත ට්‍රොට්ස්කිවාදියෙකු වූ ද, ස්පයික් යන නමින් හඳුන්වනු ලැබූ විල්ෆ්‍රඩ් පෙරේරාය.

ලසසප(වි)ට බැඳුනු තරුනයන්ට හජාජාක විශ්ලේෂනයේ දූරදර්ශීභාවය තමන්ගේම අත්දැකීම් තුලින් ඉගෙනීමට සිදුව තිබිනි. 1965 මහ මැතිවරනය සඳහා උද්ඝෝෂනය තුල දී, ලසසපයේ පාවාදීම අවසානයේ සිදු වන තුරුම ලසසප(වි) නායකයන් ඒ පිලිබඳ අනතුරු හැඟවීමක් නොකලේ මන්දැයි ජනතාව විමසන කල්හි, ඊට දීමට පිලිතුරක් නොමැතිව තමන් නිරුත්තර වන බව ඔවුන්ට පෙනී ගියේය.”

මැතිවරනය තුල ලසසප(වි) ලද අඩු ප්‍රතිඵලය මඟින් පක්ෂය තුල අර්බුදය වැඩි දුරටත් අවුලුවා ලන ලදී. ලසසප(වි) ප්‍රමුඛ සාමාජිකයෙකු වූ වී. කරාලසිංහම්, විශේෂයෙන් ම පේරාදෙනිය සරසවියේ ශිෂ්‍යයන් සමඟ, සමීප සබඳතා ගොඩනඟා ගැනීමට මේ තත්ත්වය යොදා ගත්තේය. 1965 දෙසැම්බරයේ සිසු වර්ජනයකට නායකත්වය දීමෙහිදී ඔවුන් ඉටු කල කාර්යභාරය නිසා නඩු පැවරුනු සිසුන්ට ඔහු නීති ආධාර ලබා දුන්නේය.

1964 දෙසැම්බරයේ රාජාසන කථාවට එරෙහිව ඡන්දය පාවිච්චි කරමින් බන්ඩාරනායක ආන්ඩුව බිඳ දැමීමට යූඇන්පීය සමඟ එක් වීම “මහමෙර තරම් මහත් දෝෂයකැ”යි සිය “සභාග දේශපාලනය” නම් ප්‍රකාශනය තුල කරාලසිංහම්, ලසසප(වි) පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනා පතුරු ගැසීය. ඔහු ලසසප(වි) තුල නව මාධ්‍යමික කන්ඩායමක් සංවිධානය කලේය. ප්‍රධාන කොටම මෙම කන්ඩායම සමන්විත වූයේ “ශක්ති” නමින් පුවත්පතක් පල කිරීම ආරම්භ කල ශිෂ්‍යයන්ගෙනි.

ශක්ති කන්ඩායම දිගටම පැබ්ලෝවාදී දේශපාලනයේ නියැලෙමින්, ශ්‍රීලනිප නායකත්වයෙන් පැවැති සන්ධානයේ කොටස්කරුවන් වූ ලසසපය හා කොපය “වමට” තල්ලු කිරීමට යත්න දැරීය. නව ශ්‍රීලනිප-ලසසප-කොප රජයක් යනු, එවකට පැවැති එජාප ආන්ඩුවට වඩා ප්‍රගතිශීලි විකල්පයක් වනු ඇති බව හා, “සැබෑ විප්ලවවාදී ආන්ඩුවක්” කරා “මාවතේ ඉදිරි පියවරක්” වනු ඇති බවටත් තර්ක කරමින්, 1966 මැයි දිනයේ කරාලසිංහම් විවෘත ලිපියක් නිකුත් කල අතර එය “ශක්ති” පුවත්පතේ පල විය.

ස්පයික් මෙම ලිපිය කර්කශ ලෙස විවේචනය කලේය. කරාලසිංහම් යෝජනා කරන “අතරමැදි රාජ්‍ය තන්ත්‍රය” යනු අනුක්‍රමයෙන් එන ධනපති ආන්ඩු ගනනාවක් විනා අනෙකක් නොවන බවත්, එමඟින් “යූඇන්පී විරෝධී ජනයාගේ වඩාත්ම පසුගාමී කොටස්වල පවතින විඥානයේ මට්ටමට යටත්වීමක්” නියෝජනය වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

විජේ ඩයස්

ඔහුගේ සැබෑ අභිප්‍රාය හෙලිදරව් කරමින් කරාලසිංහම් ශක්ති කන්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයන් හා ලසසප ලේකම් ලෙස්ලි ගුනවර්ධන අතර රහස් හමුවක් සංවිධානය කලේය. ලසසපය සමඟ යලි එක් වන්නේ නම් - එනම් ලසසපය ශ්‍රීලනිපය සමඟ පවත්වා ගෙන ගිය ප්‍රතිගාමී හවුලේ කොටස්කරුවෙකු වන්නේ නම් - ලබා දිය හැකි පැකේජයක් සකස් කෙරුනු අතර, ශක්ති කන්ඩායමේ සාමාජිකයන්ට වංචනික ලෙස එය කියා සිටියේ, එම කන්ඩායමේ දේශපාලන මාවතට එය වාසිදායක වනු ඇති බවටය. ශක්ති කන්ඩායමේ රැස්වීමක් කැඳවමින් කරාලසිංහම්, ලසසප වෘත්තීය සමිති තුල හා තරුන සංවිධානයේ ප්‍රධාන තනතුරු ලබා ගත හැකියයි, එම කන්ඩායමේ සාමාජිකයන්ට කියා සිටියේය. මෙය ට්‍රොට්ස්කි විසින් අනුදක්නා ලද “ප්‍රවේශන උපක්‍රම”වලට සම වෙතැයි ඔහු බොරුවක් ද ගෙතීය.

එය ලසසපයේ පාවාදීමට විරුද්ධවීම සඳහා 1964 ජූනියේ ගනු ලැබූ තීරනය ආපසු හැරවීමකැයි කියා සිටිමින්, විජේ ඩයස් තවත් ශක්ති සාමාජිකයෙකුගේ සහාය ඇතිව, මෙම යෝජනාව ප්‍රතික්ෂේප කලේය. 1966 ජනවාරියේ ශ්‍රීලනිපය විසින් සංවිධානය කෙරුනු වර්ගවාදී, ද්‍රවිඩ විරෝධී පෙලපාලියකට ලසසපය ලබා දුන් සහය, එම හවුලේ අන්ත ප්‍රතිගාමී කාර්යභාරය තහවුරු කිරීමට ප්‍රමානවත් වෙතැයි ඔහු පැහැදිලි කලේය. අවසාන තීරනයක් ගැනීමෙන් තොරව රැස්වීම නිමා විය.

මේ දිනවල කොලඹට පැමින සිටි එස්එල්එල්හි ප්‍රමුඛ සාමාජිකයෙකු වන ටෝනි බන්ඩා මුන ගැසීමට ශක්ති කන්ඩායමේ සාමාජිකයන් ගනනාවකට අවස්ථාව ලැබිනි. කරාලසිංහම්ගේ “ප්‍රවේශවීමේ” දේශපාලනයේ අවස්ථාවාදී ස්වභාවය පැහැදිලි කර දුන් බන්ඩා, ඒ වනවිට ලසසප(වි) තුල හජාජාක හා අව්‍යාජ ට්‍රොට්ස්කිවාදය සඳහා සටන් වදිමින් සිටි ස්පයික් සමඟ ඔවුන් සම්බන්ධ කිරීමට කටයුතු කලේය.

හජාජාක ඉදිරි දර්ශනයට ආකර්ෂනය වූවෝ විරෝධය නමින් නව කන්ඩායමක් පිහිටුවා ගත්හ. විරෝධය යනු මෙම කන්ඩායම ප්‍රකාශයට පත් කල පුවත්පතේ නමයි. සති ගනනාවක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි බන්ඩා, 1953 දී හතරවැනි ජාත්‍යන්තරයේ ඇති වූ භේදය ද, 1963 දී ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) පැබ්ලෝවාදීන් සමඟ යලි එක්සත්වීමට එරෙහි එස්එල්එල්හි දේශපාලන අරගලය ද ඇතුලුව, පැබ්ලෝවාදයට එරෙහි හජාජාක අරගලයෙහි ආවශ්‍යක ඉතිහාසය මෙම කන්ඩායමට පැහැදිලි කලේය.

කීර්ති බාලසූරිය රැස්වීක් අමතයි

මෙම සාකච්ඡාවලදී විරෝධය කන්ඩායමේ ලාබාලම සාමාජිකයා වූ, යන්තම් දහනව වන විය සපිරි කීර්ති බාලසූරිය, ට්‍රොට්ස්කිවාදය සඳහා සටනේ තියුනුම න්‍යායික හා දේශපාලන සටන්කරුවා ලෙස ඉස්මතු වූ අතර, විකොස පිහිටුවා ගන්නා කාලය වන විට ඔහු කන්ඩායමේ ප්‍රධාන නායකයා ලෙස අවිවාදයෙන් සලකනු ලැබීය.

කම්කරු පන්තියේ අව්‍යාජ විප්ලවවාදී පක්ෂය ගොඩනැඟීමේ ගැටලුව සමඟ පොර බදමින් ලෙනින් ලියූ ‘කල යුත්තේ කුමක්ද?‘ කෘතිය කෙරේ විශේෂ අවධානය යොමු කල යුතුව ඇතැයි බන්ඩා බල කර සිටියේය. ”මාක්ස්වාදය දේශීය වාතාවරනයට සරිලන පරිද්දෙන් අනුහුරු කරන” බව කියා සිටි, එකල පැවැති නොයෙකුත් සුලු ධනපති රැඩිකල් කන්ඩායම් සමඟ සටන් කිරීමට එය අත්‍යවශ්‍ය විය. ඔවුන්ගේ ජාතිකවාදී දැක්මට, ඔවුන් න්‍යාය කෙරෙහි දැක්වූ අවඥාවෙන් ද, වඩාත් වැදගත් වන්නේ, “න්‍යාය මහාමෙරක් නොව ප්‍රායෝගික සාර්ථකත්වයන්ය” යනුවෙන් ඔවුන් කල අවධාරනයෙන් ද මුක්කුව සැපයින.

ඔහුගේ කාලයේ පැවැති අවස්ථාවාදී කන්ඩායමකට පිලිතුරු දෙමින් ලෙනින් මෙසේ ප්‍රකාශ කර ඇත: “සැබෑ ව්‍යාපාරයක් විසින් තබනු ලබන සෑම පියවරක්ම වැඩපිලිවෙලවල් දුසිමකට වඩා වැදගත් වෙතැ”යි යන මාක්ස්ගේ ප්‍රකාශය ජයග්‍රාහී ආකාරයෙන් උපුටා දක්වන කල්හි, රබොචියේ දියෙලෝව කෙතරම් අවිචාරමත්දැයි අපට විනිශ්චය කල හැක. න්‍යායික වශයෙන් අක්‍රමවත් කාල පරිච්ඡේදයක එම වචන පුනරුච්ඡාරනය කිරීම, අවමංගල්‍යයක දී ශෝක වන්නන්ට මෙවන් ප්‍රීතිමත් දින වඩවඩාත් උදාවේවායැයි ප්‍රාර්ථනා කිරීමක් වැනිය.”

පැබ්ලෝවාදීන්ගේ අවස්ථාවාදය හෙලිදරව් කිරීමට විරෝධය කන්ඩායම යලි යලිත් මැදිහත් වූයේය. 1967 දී එක්සත් ලේකම් මන්ඩලයේ නායක අර්නස්ට් මැන්ඬේල්ගේ කොලඹ පැවැති දේශනයේ දී විරෝධය කන්ඩායමේ සාමාජිකයෝ ඔහුට අභියෝග කලෝය. 20 වන සියවසේ මහා දේශපාලන අපරාධය කුමක්දැයි අසනු ලදුව, 1940 ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය නොතකා හල මැන්ඩෙල්ගේ පිලිතුර වූයේ, එකී මහා අපරාධය, 1963 දී ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දේශපාලන නියෝජිතයෙකු වූ එක්සත් ජනපද ජනාධිපති ජෝන් කෙනඩි ඝාතනය කිරීම බවයි.

මැන්ඩෙල් සහභාගී වූ ලසසප(වි) සාමාජික රැස්වීමක්, එක්සත් ලේකම් මන්ඩල නායකයාට මුහුන දීමේ අවස්ථාවක් ලෙස පාවිච්චි කිරීමට ස්පයික් කටයුතු කලේය. “ලසසපයේ පරිහානිය හා එය අවසානයේ පත් විපත ද සම්බන්ධයෙන්” එක්සත් ලේකම් මන්ඩලය “ඍජුවම වගකිව යුතුයැ”යි ඔහු චෝදනා කලේය. මැන්ඩෙල්ගේ ප්‍රතිචාරය වූයේ ත්‍රෛ-මහාද්වීපික සමුලුවක දී හතරවැනි ජාත්‍යන්තරයට එරෙහිව මුදා හල වියරු ප්‍රහාරය පිලිබඳව කස්ත්‍රෝ හෙලා දකිමින් ඊට සය මසකට ඉහත ස්පයික් විසින් ලියන ලද කතුවැකියක් සම්බන්ධයෙන්, ඔහුට එරෙහිව දඩයමක් දියත් කිරීමයි.

බාලා තම්පෝ

“ෆිදෙල් කස්ත්‍රෝගේ විප්ලවවාදී අභිප්‍රායයන්ගේ අවංකභාවය පිලිබඳ සැක සංකා වපුරන පූර්ව අනුමානයන් පලකිරීම මඟින් කස්ත්‍රෝට එරෙහි රාජාපරාධයක් කිරීම” පිලිබඳව ලසසප(වි) නායක බාලා තම්පෝ හා එහි මධ්‍යම කාරක සභාව තමන්ට චෝදනා නඟන්නේයැයි ප්‍රකාශ කරමින් ස්පයික් නිර්භීත ලෙස තමාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේය. තමන් කස්ත්‍රෝ විවේචනය කලේ සාමාන්‍ය හුදෙකලා පුද්ගලයෙකු ලෙස නොවන බවත්, “ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවැනි ජාත්‍යන්තරයේ ප්‍රෞඩ සාමාජිකයෙකු” ලෙස බවත් ඔහු නිවේදනය කලේය. ”... ජාත්‍යන්තර කම්කරු පන්තිය රැවටීමට හා පීලි පැන්නවීමට උත්සාහ කිරීම හා ට්‍රොට්ස්කිවාදීන්ට එරෙහි දඩයමක් සඳහා වක්‍රාකාර පෙලඹවීම් සිදුකිරීම සම්බන්ධයෙන් කස්ත්‍රෝ විවේචනය කිරීමට තරම් මම එඩිතර වී ඇත්තෙමි.”

1968 අප්‍රේල් මස පැවැති ලසසප(වි) සම්මේලනයේදී ස්පයික්, පක්ෂය එක්සත් ලේකම් මන්ඩලයේ සංශෝධනවාදී දේශපාලනයෙන් බිඳී වෙන්වෙමින් ජාත්‍යන්තර කමිටුවට බැඳිය යුතුයැයි සමුලු යෝජනාවක් ඉදිරිපත් කලේය. එය පරාජය වූ කල්හි ලසසප(වි)යෙන් භේද වූ ස්පයික් විකොස පිහිටුවා ගැනීම සඳහා එක් විය. මෙය, ජාත්‍යන්තර වශයෙන් ධනවාදයේ දේශපාලන හා ආර්ථික අර්බුදය ගැඹුරු වෙමින් පැවැති වකවානුවක් වූ අතර, එය ශ්‍රී ලංකාව කෙරේ බලපෑවේ 1967 දී රුපියල බාල්දුවීමේ, ඇද වැටෙමින් පැවැති ජීවන තත්වයන්හි, වැඩෙමින් පැවැති සමාජ අසහනයේ හා රාජ්‍ය අංශයේ වර්ජන රැල්ලක ද ආකාරයෙනි.

ශ්‍රී ලංකාවේ මෙම අරගල ජාත්‍යන්තර පරිමාන බලගතු පන්ති සටන් සමඟ සමපාත විය. ඩිගෝල් තන්ත්‍රයට එරෙහි ප්‍රන්ස කම්කරුවන්ගේ 1968 මැයි-ජූනි මහා වැඩ වර්ජනයෙන් ඇරැඹී, 1968 චෙකොස්ලෝවැකියාවේ “ප්‍රාග් වසන්තය”ත් සමඟ ස්ටැලින්වාදී නැගෙනහිර යුරෝපය ද අත් නොහැර සමස්ත යුරෝපය සිසාරා 1968 - 1975 කාල පරිච්ඡේදය තුල විප්ලවවාදී අරගල පැතිර ගියේය. වියට්නාමයෙන් එක්සත් ජනපද හමුදා පලවා හැරින. ඉන්දියාවේ වැඩ වර්ජන හා කම්කරුවන්ගේත් ග්‍රාමීය දුගී ජනයාගේත් විරෝධතා තලා දැමීමට 1975 දී ගාන්ධි රජය හදිසි නීතිය අතට ගත්තේය.

විකොස ආරම්භක සම්මේලනය 1968 ජූනි 16 හා 17 දෙදින තුල පැවැත්වින. එය 1966 දී බ්‍රිතාන්‍යයෙහි පැවැත්වූ හජාජාක තුන්වැනි සම්මේලනයේ වාර්තාව සාකච්ඡාවට භාජනය කලේය. තුන්වැනි සමුලුවේ දී, හතරවැනි ජාත්‍යන්තරය අහෝසි වී පැවැති බවත්, එය යලි පිහිටුවිය යුතුව ඇති බවත් නිවේදනය කල ප්‍රවනතාවයකට එරෙහිව එස්එල්එල් සංවිධානය සටන් කොට තිබින. සියලු ආකාරයන්හි අවස්ථාවාදයට එරෙහිව නොනැවතී සිදු කල දේශපාලන අරගලය හරහා හතරවැනි ජාත්‍යන්තරයේ අඛන්ඩත්වය සුරැකී ඇති බවට එස්එල්එල් අවධාරනය කලේය. විකොස පිහිටුවා ගැනීම වූ කලී, ලසසප හා ලසසප(වි) යන පක්ෂ දෙකෙහිම පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව හජාජාක අරගලයේ කේන්ද්‍රීය වැදගත්කම පිලිබඳ ජීවමාන තහවුරුවක් විය.

විකොස පිහිටුවා ගැනීම, ලසසප, ලසසප(වි) හා ශක්ති කන්ඩායම හරහා සිය ඉතිහාසයේ ගමන් මඟ සනිටුහන් කල ශ්‍රී ලංකාවේ ජාතික විප්ලවවාදී ධාරාව, හජාජාක සමඟ සම්පර්කයකට එලැඹීම නියෝජනය කලේය යන්න, විකොස ආරම්භක සම්මේලනයේදී විවාදයට ගැනුනු ප්‍රධාන කරුන වූයේය.

කීර්ති බාලසූරිය මෙම ආස්ථානයට තදින්ම එරෙහි වූයේ, දේශපාලන ව්‍යාපාරයේ අඛන්ඩත්වය රැඳී තිබුනේ පැබ්ලෝවාදයට එරෙහි හජාජාකයේ ජාත්‍යන්තර අරගලය තුල විනා ජාතික ප්‍රවනතාවයක් තුල නොවන බැව් අවධාරනය කරමිනි. විකොස ගොඩ නැඟිය හැකි වූයේ, ලසසප පාවාදීම ජාත්‍යන්තර පරිමානව පැබ්ලෝවාදයේ වඩාත් පුලුල් බලපෑමේ කොටසක් ලෙස පැහැදිලි කොට දුන් හජාජාකයේ ප්‍රධාන ශාඛාව වූ එස්එල්එල්හි මැදිහත් වීම හරහා පමනක්ම වූ බැව් ඔහු පැහැදිලිව පෙන්වා දුන්නේය.

හජාජාක තුන්වැනි සමුලුවේ දී සම්මත කොට ගෙන තුබූ එස්එල්එල් අභියෝජනාවට සිය පූර්න එකඟතාවය පල කෙරෙන යෝජනාවක් විකොස සම්මේලනය ඒකච්ඡන්දයෙන් සම්මත කලේය. එහි මෙසේ කියවින: “මධ්‍යගත නිර්ධන පන්ති නායකත්වය ලෙස හතරවැනි ජාත්‍යන්තරය ගොඩ නැගීමේදී මතුවන නව අභියෝගවලට මුහුනදීමට, හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිලිවෙල හා විධික්‍රමය සඳහා වූ එහි සංගත අරගලය හරහා අත්පත් කර ගනු ලැබූ හජාජාක ශක්තතාවය පිලිබඳව මෙම සම්මේලනය එහි පරිපූර්න විශ්වාසය පල කරයි.

“සියලු ආකාරයන්හි සංශෝධනවාදයට එරෙහි සම්මුතිවිරහිත අරගලය තුල හජාජාක ශාඛාව ලෙස ලංකාව තුල නිර්ධන පන්ති විප්ලවයේ පක්ෂය ගොඩනැඟීමේ කර්තව්‍යයට මෙම සම්මේලනය තරයේ කැප වන අතර මෙම කර්තව්‍යය සෑම තන්හිම හා සියලු තතු යටතේ හැකි උපරිම ආකාරයෙන් පන්ති අරගලය තුල ක්‍රියාකාරීව මැදිහත්වීම සමඟ අවියෝජනීය ලෙස බැඳී ඇති බව ද එය නිවේදනය කරයි.”

ආරම්භක සම්මේලනය විකොස ප්‍රථම ප්‍රධාන ලේකම්වරයා ලෙස කීර්ති බාලසූරිය ඒකච්ඡන්දයෙන් තෝරා පත් කර ගත්තේය.

ලංකා සම සමාජ පක්ෂයේ මහා පාවාදීමේ පාඩම්

[2018 සැප්තැම්බර් 24 ]

මතු සම්බන්ධයි.