ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවීමේ 50වන සංවත්සරය

දෙමල විරෝධී සිවිල් යුද්ධයට එරෙහිව විකොස/සසප අරගලය

දිවයිනේ දෙමල සුලුතරයේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමටත් සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පන්තිය එකමුතු කිරීමටත් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත, විකොස/සසප ගෙනගිය ක්ෂමාවිරහිත දේශපාලන අරගලය සංක්ෂිත්ත කොට දක්වයි. කොටස් හයකින් සමන්විත ලිපි මාලාවේ මෙය පස්වන කොටසයි. පලමුවන; දෙවන ; තුන්වන; හතරවන කොටස් වෙත පිවිසීමට මෙතැනින්

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ලෙස ආරම්භ කල අතර එය 1996 දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) ලෙස නම් කරන ලදී. 1968 ජුනි 16-17 දිනවල පැවති විකොස ආරම්භක සම්මේලනය සැමරීමට ප්‍රකාශයක් පලකොට ඇත.

විකොස මූලධර්මාත්මක පදනම් විස්තාරනය කරන මෙම ලිපි, පසුගිය 50 වසර තිස්සේ එම මූලධර්ම සඳහා කල අරගලයෙන් අත්‍යවශ්‍ය පාඩම් උකහා ගනී. 1964 දී ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් යයි කියාගත් ලංකා සම සමාජ පක්ෂය සිරිමා බන්ඩාරනායක මැතිනියගේ සභාග ආන්ඩුවට ඇතුලු වෙමින් පාවා දී තිබුනු සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය මත විකොස ආරම්භ කරන ලදී.

සසප වැඩකටයුතුවල කේන්ද්‍රයේ පවතින්නේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, කල්පසු වූ ධනේශ්වර වර්ධනයක් සහිත රටවල කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා අරගලයට නායකත්වය දිය හැක්කේ කම්කරු පන්තියට පමනක් බව ස්ථාපනය කල ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය සඳහා අරගලය යි. ශ්‍රී ලංකාවේ පමනක් නො ව ආසියාවේ ද ලෝකය පුරා ද ඉස්මතු වන කම්කරු පන්තියේ අරගලවලට මෙම පාඩම් තීරනාත්මක වේ.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) හා එහි අනුප්‍රාප්තික සමාජවාදී සමානතා පක්ෂය (සසප) ද, නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම් වෙමින්, සිංහල පාලක ප්‍රභූවේ වෙනස්කම්කිරීම්වලට හා ප්‍රචන්ඩත්වයට එරෙහිව දෙමල සුලු ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමටත්, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත හා කම්කරුවන් අතට බලය ගැනීමේ අරගලය තුල සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පන්තිය එකමුතු කිරීමටත් සම්මුතිවිරහිතව සටන් වැදුනෝය.

ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය විසින් අවුලුවනු ලැබ, තිස් වසරකට ආසන්න කාලයක් පුරා (1983-2009) පවත්වා ගෙන යන ලද සිවිල් යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා සටන් වැදුනු එකම බලවේගය වූයේ විකොස-සසපයයි. එක් අතෙකින් ජාතිවාදය අවුස්සා කම්කරු පන්තිය බෙදීමේ දේශපාලන - මතවාදී අවියක් ලෙස ද අනෙක් අතට රාජ්‍යයේ මර්දන බලතල දැවැන්ත ලෙස ප්‍රසාරනය කර ගැනීමේ මාධ්‍යයක් ලෙස ද යොදා ගනිමින් යුද්ධය ගෙනගියේ හුදෙක් දෙමල ජනයාට එරෙහිව පමනක් නොව සමස්ත කම්කරු පන්තියටම එරෙහිව ය යන අවබෝධයෙන් කම්කරු පන්තිය සන්නද්ධ කිරීම සඳහා විකොස සහ සසපය සටන් වැදුනේ රාජ්‍ය මර්දනයටත් සහ සිංහල ජාත්‍යෝත්තමවාදී ජවිපෙ හා දෙමල ජාතිකවාදී-බෙදුම්වාදී එල්ටීටීඊය යන දෙපාර්ශ්වයේම ප්‍රචන්ඩ ප්‍රහාරවලටත් මුහුන දෙමිනි.

රුසියානු විප්ලවයේ, දකුනු ආසියාකරයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහි අරගලයේ හා පශ්චාත් දෙවන ලෝක යුද්ධ යටත් විජිත හරනයේ පාඩම් භාවිතයට ගනිමින් විකොස-සසපය එල්ටීටීඊයේ සුලු ධනේශ්වර දේශපාලනය පිලිබඳ ක්‍රමානුකූල විවේචනාත්මක විග්‍රහයක් සිදු කලේය. එමඟින් දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කොට ගත හැක්කේ, සමාජවාදී විප්ලවය හා දකුනු ආසියාවේ ප්‍රතිගාමී වාර්ගික පදනමකින් යුත් රාජ්‍ය පද්ධතිය පෙරලා දැමීම තුලින් පමනක් බවත්, එය සිදු කල හැක්කේ කම්කරු පන්තියට පමනක් බවත් එමඟින් එය පෙන්වා දුන්නේය.

අධිරාජ්‍ය විරෝධී අරගලය මැඩ පැවැත්වීම, ශ්‍රී ලංකා රාජ්‍යය හා දෙමල විරෝධී ජාත්‍යෝත්තමවාදය

1968 විකොස පිහිටුවා ගැනීමේ කේන්ද්‍රය වූයේ සිංහල ජනතාවාදයටත් පැබ්ලෝවාදී ලසසපය ඊට බියසුලු ලෙස අනුගතවීමටත් එරෙහිව, පන්තියේ එකමුතුකම සඳහා සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත ගෙන ගිය අරගලයයි.

සිරිමා බන්ඩාරනායක

සභාගය - එනම්, ලසසපය හා ධනපති ශ්‍රීලනිපය අතර පැවැති, ස්ටැලින්වාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය (කොප) ද එක් කර ගැනීමෙන් වැඩි කල් නොයාම ප්‍රසාරනයවීමට නියමිත වූ සන්ධානය - ශ්‍රී ලංකාව තුල “සිංහල - බෞද්ධ ආඥාදායකත්වයක් සඳහා දේශපාලන පසුබිම සකස් කරන්නා වූ” “ජාතිකවාදී උද්ඝෝෂනයක්” නඟන බවට විකොස එහි ආරම්භක සම්මේලනයේදී අනතුරු හැඟවිය.

දකුනු ආසියාකරය හැර යන බි්‍රතාන්‍ය විජිතවාදී අධිපතියන් දේශීය ධනේශ්වරයේ ජන වාර්ගික හා කුලවාදී වශයෙන් නිර්වචනය කෙරුනු විවිධ කල්ලිවලට ඉඩ විවෘත කර දී, නිර්මානය කරන ලද්දා වූ ප්‍රතිගාමී රාජ්‍ය පද්ධතිය සම්බන්ධයෙන් 1947-48 වසරවලදී ඉන්දීය බෝල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය සිදු කොට තුබූ විශ්ලේෂනයට යලි පන දුන් විකොස, කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරයන් අර්ථකථනය කිරීම තුල එය තවදුරටත් වර්ධනය කලේය.

ජනයාගේ පන්ති උත්සුකයන්ට සිදු කෙරෙන ආයාචනයක පදනම මත ඔවුන් අධිරාජ්‍යවාදයට, වංශාධිපතිවාදයට හා ධනපති සූරාකෑමට එරෙහි පොදු අරගලයක් තුල එක්සත් කිරීමට විරුද්ධ වූ හා ඊට ඓන්ද්‍රීය ලෙසම අසමත් වූ ගාන්ධි-නේරු නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික කොන්ග්‍රසය, එක්සත් අනාගමික ඉන්දියාවක් සඳහා වූ තමාගේම වැඩ පිලිවෙලට ද්‍රෝහී වෙමින්, 1947 දී දකුනු ආසියාව මුස්ලිම් පාකිස්තානයක් හා හින්දු ඉන්දියාවක් ලෙස වාර්ගිකව බෙදා ලීම ක්‍රියාවට නැංවීය.

ශ්‍රී ලංකාවේ ධනේශ්වරය, ඉදින් ඊට වෙනස් වී නම්, ඒ ඊට ද වඩා බියසුලුවීමෙන් පමනෙකි. 1930 ගනන්වල හා 1940 ගනන්වල බ්‍රිතාන්‍යයන් යටතේ පැවැති ඉන්දියාව යටත්විජිත පාලනයට එරෙහි මහජන අරගලවලින් ප්‍රකම්පනය වෙද්දී, ලංකාවේ ධනේශ්වරය ලංකාව ඉන්දු උපමහාද්වීපයෙන් වෙන්ව පාලනය කෙරුනු රාජ්‍ය ව්‍යුහය වඩවඩාත් බදා වැලඳ ගත්තේ එක් අතෙකින් එය තමන්ට තමාගේම වරප්‍රසාද ප්‍රසාරනය කර ගැනීමේ පදනමක් සම්පාදනය කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි; අනෙක් අතට, උප මහාද්වීපයේ අධිරාජ්‍ය-විරෝධී අරගලය ශ්‍රී ලංකාවේ මහජනයා අරගලයට කැඳවනු ඇතැයි යන භීතියෙනි.

බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවේ ධනේශ්වරයට දේශපාලන බලය පවරා දුන් වහාම එය ක්‍රියා කලේ, කම්කරු පන්තියේ විශාලතම හා වඩාත්ම බලගතු කොටස වන දමිල වතු කම්කරුවන්ට පුරවැසි අයිතිය අහිමි කිරීමටය. මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාව සාධාරනීකරනය කිරීමට ඉදිරිපත් කල ව්‍යාජ හේතුව වූයේ, බි්‍රතාන්‍ය යටත්විජිතවාදීන්ගේ වැවිලි ශ්‍රම බලකායේ සේවය කිරීමට ඔවුන්ගේ මුතුන්මිත්තන් දකුනු ඉන්දියාවේ සිට දිවයිනට ගෙන එන ලද හෙයින් ඔවුන් “විදේශිකයන්” වීමයි.

දෙමල දේශපාලන ස්ථාපිතයෙන් තියුනු ලෙස විලක්ෂනය වෙමින් (දෙමල දේශපාලන ස්ථාපිතයට තියුනු ලෙස ප්‍රතිකූලව) ශ්‍රී ලාංකීය ට්‍රොට්ස්කිවාදීහු දෙමල වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාරය හෙලා දුටුවෝය. “රාජ්‍යය ජාතිය සමග ද, ජාතිය වර්ගය සමග ද සහවර්තී විය යුතුය” යන සංකල්පය ෆැසිස්ට්වාදී එකකැයි ඔවුහු අනතුරු හැඟවූහ. “මෙම රටෙහි ශ්‍රමය වගුරන ජනගහනය අතර, වාර්ගික සම්භවයන් මත මිනිසා මිනිසාගෙන් වෙන් කිරීමක් ඇති කිරීමට අප සූදානම් නැතැ”යි ඔවුහු නිවේදනය කලෝය. “කම්කරුවා යනු පලමුව ද ප්‍රමුඛව ද කම්කරුවෙකු බැව් අපි කියා සිටින්නෙමු.”

එලැඹෙමින් පැවැති දශකවලදී, අර්බුදග්‍රස්ත ශ්‍රී ලාංකීය ධනේශ්වරයට තම පාලනය පවත්වා ගෙන යනු සඳහා, විෂකුරු දෙමල-විරෝධී ජාත්‍යෝත්තමවාදය අන් කවරදාටත් වඩා අත්‍යවශ්‍ය වීමට නියමිතව තිබින.

1953 හර්තාලයෙන් ඉක්බිතිව එලැඹි වකවානුවේ, 1951 දී ආන්ඩුවෙන් ඉවත් වූ ධනපති දේශපාලකයෙකු වූ බන්ඩාරනායක හා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ජාත්‍යෝත්තමවාදී “සිංහල පමනක්” උද්ඝෝෂනයක් දියත් කලේය. මෙය ගෙන එන ලද්දේ සමාජ ප්‍රතිසංස්කරනවාදී ජනතාවාදී පොරොන්දු හා දක්ෂිනාංශික එජාප තන්ත්‍රය පිලිබඳ ඝෝෂාකාරී හෙලාදැකීම් ද සමඟ පූට්ටු කරමිනි.

“සිංහල පමනක්” උද්ඝෝෂනයට විරුද්ධ වූ නමුදු ලසසපය වඩවඩාත් ශ්‍රීලනිපයට හා එහි සිංහල ජනතාවාදයට අනුගත වන්නට විය. ඒ අනුව, 1956 දී බලයට පත් බන්ඩාරනායක සිංහලය රටේ එකම රාජ්‍ය භාෂාව බවට පත් කල කල්හි ලසසපය ඊට එරෙහි වූයේ, කම්කරු පන්තියේ පන්ති එක්සත්කමේ ආස්ථානය මත නොව, ශ්‍රීලනිපයේ සිංහලට මුල් තැන දීමේ පිලිවෙත විසින් ශ්‍රී ලංකා රාජ්‍යයේ එක්සත්කම අනතුරේ හෙලනු ඇතැයි යන පදනමේ පිහිටාය.

ශ්‍රීලනිපයට පීඩනය දීම මඟින් හා ශ්‍රී ලංකා රාජ්‍යය ක්‍රියාවට නංවන ප්‍රතිසංස්කරන මඟින් “සමාජවාදය” සාක්ෂාත් කර ගත හැකිය යන ප්‍රතිසංස්කරනවාදී සංකල්පය ලසසපය වඩවඩාත් පිලිගත් පමනට එය දෙමල සුලු ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ ප්‍රශ්නයේදී වඩවඩාත් ශ්‍රීලනිපයට ඉඩ දෙමින් පසුබැස ගිය අතර අනෙක් අතට එම පසුබැසීම ලසසපය තවතවත් එකී ප්‍රතිසංස්කරනවාදී සංකල්පය තුලම ගිල්වා දැමීය.

1964 දී ලසසපය, ධනේශ්වර පාලනය බේරා ගනිමින් හා කම්කරු පන්තියේ කැරලිකාරී ව්‍යාපාරයක් පාවාදෙමින් සිංහල ජනතාවාදී ශ්‍රීලනිප ආන්ඩුවට එක් විය. ඉන් පසුව ඒ වසරේම එය පන් ලක්ෂයක් දෙමල වතු කම්කරුවන් හා ඔවුන්ගේ දරුපවුල් ඉන්දියාවට පිටුවාහල් කිරීමට තුඩු දුන් ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමකට අනුමැතිය පල කලේය.

ලසසපය ධනේශ්වර පාලනයේ මුක්කුවක් බවට පරිවර්තනය වීමත් සමගම, ස්ටැලින්වාදය, කස්ත්‍රෝවාදය හා සිංහල ජාත්‍යෝත්තමවාදය සාරසංග්‍රහවාදී ලෙස කලවම් කල ජවිපෙට දොර විවර විය.

එපමනක් නොව, “සිංහල පමනක්” පිලිවෙත ඔසොවා තැබූ පක්ෂයත් සමග ලසසපය පැවැත්වූ ප්‍රතිවිප්ලවවාදී සන්ධානය, විප්ලවවාදී සමාජවාදී නායකත්වයක් යටතේ තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය මත අපේක්ෂා රඳවා තැබිය හැකි බවට වූ දෙමල ජනයාගේ විශ්වාසය කුඩුපට්ටම් කර දැමීය. අවසානයේ මෙය පාර කැපීමට නියමිතව තුබුනේ, යාපනය අර්ධ ද්වීපයේ තරුන ශිෂ්‍යයන් අතරින් එල්ටීටීඊය හා එයට සමාන අදහස් දැරූ දෙමල ජාතිකවාදී-බෙදුම්වාදී කන්ඩායම් පැන නැඟීමටය.

දෙමල ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා විකොස අරගලය

1970 මැයි මාසයේ, එනම් - විකොස පිහිටුවා වසර දෙකක් ඉක්ම යාමට පෙර, දෙවැනි ශ්‍රීලනිප-ලසසප-කොප සභාග ආන්ඩුව බලයට පත් වූයේය.

ලෝක ආර්ථික අර්බුදයට ද 1968 ප්‍රන්ස මහා වැඩ වර්ජනයෙන් විදහා දැක්වුනු පරිදි කම්කරු පන්තියේ පෙරලා පහර දීමට ද මුහුන දී සිටි ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් සභාගය වහා යොමු වූයේ වර්ගවාදී ගින්න අවුලුවා ලීමටය.

කොල්වින් ඩි සිල්වා

ව්‍යාජ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවූ සභාගය 1972 දී නව ප්‍රජාතන්ත්‍රවිරෝධි ව්‍යවස්ථාවක් සම්මත කරවා ගත්හ. ලසසප නායක කොල්වින් ආර්. ද සිල්වා විසින් සම්පාදිත නව ව්‍යවස්ථාව සිංහලයේ වරප්‍රසාදිත තත්වය උච්ඡස්ථානයට නැංවූ අතර බුද්ධාගම රාජ්‍ය ආගම වශයෙන් මස්තකාරූඪ කලේය. එය දෙමල සිසුන්ගේ විශ්ව විද්‍යාල ප්‍රවිෂ්ටයට කෝටාවන් පැනවීමට ද, සියලු රජයේ සේවකයන්ට සිංහල අනිවාර්ය කිරීමට ද පාර කැපීය.

ජාත්‍යෝත්තමවාදී ව්‍යවස්ථාවට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් වැදුනේ විකොස පමනක්ම වූ අතර, එබැවින් එයට ප්‍රහාරවලට ලක් වීමට සිදු විය. රාජ්‍ය මුද්‍රනාගාරයේ වෘත්තීය සමිති නායකත්වයේ සිටි විකොස සාමාජිකයන් නව ව්‍යවස්ථාවට එරෙහි යෝජනාවක් සම්මත කල විට, ලසසපය ඊට ප්‍රතිචාර දැක්වූයේ විකොස ක්‍රියාධරයන්ට එරෙහිව දඩයමක් මුදා හරිමිනි.

1970 තරම් ඉහත කාලයක දී, කොලඹ ආන්ඩුව දෙමල ජනයා තැති ගැන්වීමට උතුරට හමුදා යැවූ කල්හි, විකොස හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. මෙය සිවිල් යුද්ධය පුරාමත්, අදත් දස දහස් ගනනින් හමුදා දිගින්දිගටම දෙමල බහුතරයක් වාසය කරනා උතුරු නැගෙනහිර ප්‍රදේශවල යොදවා ඇති තතු යටතේ විකොස සසප ඉදිරිපත්කල ප්‍රමුඛ ඉල්ලීමක් වීමට නියමිත විය.

රාජ්‍යයේ මර්දනකාරී ක්‍රියාවන් මඟින් රැඩිකලීකරනය කෙරුනු දෙමල තරුනයන් අතරට විකොස උද්‍යෝගී ලෙස මැදිහත් විය. ජාතික ප්‍රශ්නය පිලිබඳ ලෙනින්ගේ ලේඛන සමඟ එක පෙලට සිටිමින් විකොස 1972 ජූනියේ දී දෙමල ජනයා සඳහා ස්වයංනිර්නයේ “නිෂේධනාත්මක” ඉල්ලීම මතු කලේය. මේ වූ කලී, සිංහල ආධිපත්‍යතාවාදය හා ශ්‍රී ලංකා රාජ්‍යය කෙරේ විකොසයේ ක්ෂමා විරහිත විරුද්ධත්වය අවධාරනය කිරීමේ ද, තම අයිතීන්වලට එල්ල කෙරෙන ප්‍රහාර කෙරේ දෙමල ජනයා තුල පවතින කෝපය ගසා කමින් දෙමල ජාතිකවාදය අවුස්සාලීමටත්, එමඟින් තමාගේම ආත්මාර්ථකාමී පන්ති අරමුනු හඹා යාමටත් මං සොයමින් සිටි දෙමල ධනේශ්වරය හෙලිදරව් කිරීමේ ද ක්‍රමෝපායයක් වූයේය

“මාක්ස්වාදීන් වශයෙන් අපි දෙමල ජාතියට ස්වයංනිර්නයට ඇති අයිතිය පිලිගනිමු”යැයි විකොස නිවේදනය කලේය. “ඒ අතරතුරම, මෙම අයිතිය දිනා ගත හැක්කේ සමාජවාදී පිලිවෙත් මත, මෙකී අයිතිය පිලිගන්නා කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩනැඟීම සඳහා සිංහල හා දෙමල කම්කරුවන් බලමුලු ගැන්වීමෙන් පමනෙකැයි අපි අවධාරනය කරමු.”

ධනේශ්වර අර්බුදයේ බර කම්කරු පන්තියේ හා ග්‍රාමීය ජනයාගේ කර මත පැටවීමට අනවරත ලෙස ක්‍රියා කරන අතරම “සමාජවාදී වාක්‍යාංශ” දෙඩවීමට ක්‍රියා කල ශ්‍රීලනිප-ලසසප-කොප සභාගයට එරෙහිව වර්ධනය වූ මහජන කෝපය ගසා කමින්, 1977 දී, ජේ.ආර්. ජයවර්ධන යටතේ විවෘතවම දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් බලයට පත් විය. යූඇන්පී තන්ත්‍රය ගෝලීය ප්‍රාග්ධනයේ නිර්බාධිත සූරාකෑම සඳහා ශ්‍රී ලංකාව විවෘත කරමින්, 1980 රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ මහා වැඩ වර්ජනය කුඩුපට්ටම් කර දමා, නැගෙමින් පැවැති සමාජ ආතතීන් හා කෝපය ප්‍රතිගාමී දිශාවකට හරවා යැවීමට සිංහල වර්ගවාදය අවුලුවා ලීය.

උතුරට හා නැගෙනහිරට හමුදා යෙදවීමත්, මෘග ත්‍රස්ත විරෝධී නීති පැටවීමත්, දෙමල සුලු ජාතියට පහර දීමට මැර කල්ලි යෙදවීමත් සාධාරනීකරනය කිරීම සඳහා දෙමල තරුනයන් අතර වර්ධනය වූ සන්නද්ධ විරෝධතාවන් ආන්ඩුව විසින් ව්‍යාජ හේතු ලෙස යොදා ගත්තේ ය. කම්කරු පන්තියට එල්ල කෙරුනු ආන්ඩුවේ ප්‍රහාරවලට හා දෙමල සුලුජනයා මර්දනය කිරීමට විරුද්ධත්වය දැක්වීම නිසා 1979 දී, විකොස ප්‍රමුඛ ක්‍රියාධරයෙකු වූ ආර්.පී. පියදාස යූඇන්පී මැරයන් විසින් කුරිරු ලෙස ඝාතනය කරන ලදී.

1983 ජූලි මාසයේ, හමුදා ඛන්ඩයකට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයක් ඩැහැ ගත් එජාප ආන්ඩුව කොලඹ දී බිහිසුනු දෙමල විරෝධී ජන සංහාරයක් මුදා හැරීම සඳහා එය භාවිත කලේය.

ආන්ඩුවේ දෙමල-විරෝධී උද්ඝෝෂනයට විකොසහි අනම්‍ය විරුද්ධත්වය ද, කම්කරු පන්තියේ එක්සත්කම සඳහා වෙහෙස නොතකා ඉටු කල පෙරටුගාමී කාර්යභාරය ද හේතු කොට ගෙන, විකොස රාජ්‍යය විසින් සංවිධානය කෙරුනු ප්‍රචන්ඩත්වයේ විශේෂ ඉලක්කයක් විය. එහි සිංහල භාෂාවෙන් පලකෙරුනු කම්කරු මාවත පුවත්පතෙහි කර්තෘ කේ. රත්නායකගේ නිවස ගිනි තබා බිමට සමතලා කරන ලදී. ආන්ඩුවේ මැරයෝ පක්ෂයේ මුද්‍රනාලය විනාශ කිරීමට ද ප්‍රයත්න දැරූහ.

ආන්ඩුව 1983 අගෝස්තුවේ දී දෙමල ඊලම - එනම්, වෙන් වූ දෙමල රාජ්‍යයක් - පිහිටුවා ගැනීමට පක්ෂ වීම අපරාධකාරී වරදක් ලෙස ප්‍රකාශ කෙරුනු හයවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේය. මෙය යුද්ධ ප්‍රකාශ කිරීමකට සමාන විය. ඉනික්බිති එය දෙමල එක්සත් විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරුන් සියලු දෙනාට සිය පාර්ලිමේන්තු ආසන අහිමි කිරීමට මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීතිය භාවිතා කලේය.

විකොස රාජ්‍ය වාරනය බිඳිමින්, ජන ඝාතනය සඳහා පෙලඹවීම සම්බන්ධයෙන් ආන්ඩුවට හා විපක්ෂ දේශපාලන පක්ෂවලට අධිචෝදනා ගෙන එමින් ද, දමිලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට එන ලෙස කම්කරු පන්තියට කැඳවුම් කරමින් ද, “වර්ගවාදී යුද්ධයට පිලිතුර” නමින් දීර්ඝ ප්‍රකාශයක් පල කලේය.

දැන්, දිවයිනම සිවිල් යුද්ධයේ කිඳී ගිය තතු යටතේ, විකොස උතුරෙන් හා නැගෙනහිරෙන් සියලු ආරක්ෂක හමුදා වහා සහ කොන්දේසි විරහිත ලෙස ඉවත් කිරීම සඳහා බල කර සිටීමට කම්කරු පන්තිය බලමුලු ගන්වා ගැනීම සඳහා වූ සිය අරගලය දෙගුන කලේය. ඒ අතරම එය, ලසසපය හා ස්ටැලින්වාදීන් ද ඇතුලු කොලඹ දේශපාලන ස්ථාපිතයේ සියලු පාර්ශ්වයන්ගේ සහාය ලත් යුද්ධය, සමස්ත කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහර දීම සඳහා යොදා ගනිමින් ඇත්තේ කෙසේදැයි හෙලිදරව් කරමින් ආන්ඩුවේ යුද ප්‍රචාරයන් ක්‍රමානුකූලව ඛන්ඩනය කලේය.

කවිපය විසින් නොනවතින විප්ලවය පාවා දෙනු ලැබීම

ප්‍රතිගාමිත්වයේ, ජන වාර්ගික ධ්‍රැවීකරනයේ හා අවසානයේ සිවිල් යුද්ධයේ ද කොන්දේසි යටතේ කම්කරු පන්තිය සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩ පිලිවෙලට ඒකරාශී කර ගැනීමේ විකොස අරගලය, බි්‍රතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිපය) විසින් ට්‍රොට්ස්කිවාදය පාවාදෙනු ලැබීම මඟින් අතිමහත් සංකිර්නත්වයකට පත්විය. 1973 දී එස්එල්එල් පක්ෂය එ‘තුලට දිය කර ගැනීමෙන් පිහිටුවා ගනු ලැබූ කවිපය, එ‘විසින් නොනවතින විප්ලවයේ න්‍යාය අතහැර දැමීම මඟින් මූර්තිමත් වූ පරිදි, ජාතිකවාදය හා අවස්ථාවාදය හමුවේ වඩවඩාත් දන ගසන්නට වූයේය

1950 ගනන්වලදී හා 1960 ගනන්වලදී තමන් විසින් ඒ සා නිර්භය ලෙස පැබ්ලෝවාදයට එරෙහිව ආරක්ෂා කරන ලද ආස්ථානයන් ප්‍රතික්ෂේප කරමින් සිටි ජෙරී හීලි හා අනෙකුත් කවිප ජ්‍යෙෂ්ඨ නායකයෝ, පලස්තීන විමුක්ති සංවිධානය සහ සිම්බාබ්වේහි සානු (අප්‍රිකානු ජාතික සංගමය) හා සාපු (අප්‍රිකානු මහජන සංගමය) සංවිධාන ද ඇතුලු නිමක් නැති ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර ජාතික විමුක්තිය දිනා ගැනීමේ උපකරන ලෙස හඳුන්වා දෙමින් ද, අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වදින බවට ඉරාකයේ සදාම් හුසේන්ගේ හා ලිබියාවේ මුවම්මර් ගඩාෆිගේ කියාපෑම්වලට අනුග්‍රහ දක්වමින් ද එකී ධනේශ්වර ජාතිකවාදීන්ගේ තැරැව්කරුවන් ලෙස ක්‍රියා කරන්නට වන්හ. තවද කවිපය, පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිවීමේ එස්එල්එල්හි නායක කාර්යභාරය නිසා තමන් වටා ගොනුව තුබූ දේශපාලන අධිකාරිය අසික්කිත ලෙස අවභාවිත කරමින් තම දක්ෂිනාංශික ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් ශාඛා මත පැටවීමට කටයුතු කලේය.

තම විකොස සහෝදරයන්ට හොර රහසේ එල්ටීටීඊය සමඟ සම්බන්ධතා ගොඩ නඟා ගත් කවිපය අවිවේචනාත්මකව ඊට අනුග්‍රහ දක්වමින්, එහි ධනේශ්වර අනන්‍යතාවාදී වැඩ පිලිවෙලට “සමාජවාදී” මතුපිට ඔපයක් උලා ගැනීමට ආධාර කලේය. 1979 දී කවිපයේ ලේබර් රිවිව් පත්‍රය එල්ටීටීඊයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ ලිපියක් පල කල අතර, එම ලිපිය තුල ලෙනින්ගේ ලේඛන උඩුයටිකුරු කල බාලසිංහම්, සෑම කල්හිම ප්‍රධානතම ප්‍රශ්නය “කම්කරු පන්තියේ ස්වයංනිර්නය” බැව් සැලකූ ලෙනින් නිරූපනය කර තිබුනේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්ෂමා විරහිත ආරක්ෂකයා ලෙස නොව, ධනේශ්වර ජාතිකවාදයේ ග්‍රාම්‍ය ප්‍රකාශකයෙකු ලෙසය.

යුද්ධයට හා ශ්‍රී ලාංකීය ධනේශ්වරයට එරෙහි තම විරුද්ධත්වය සෑමවිටම තම ස්වාධීන පන්ති උත්සුකයන් ආරක්ෂා කිරීම තුල සිංහල හා දෙමල කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා කල අරගලය මත පදනම් කිරීමට සටන් කල විකොස, එම අරගලයෙහි දී ස්ථිරසාර විය. එම හේතුව නිසා එය විනාශ කිරීමට කවිපය දැරූ අලජ්ජි ප්‍රයත්නයන්ට වඩවඩාත් මුහුන දීමට ඊට සිදුවිය. විකොස හජාජාකයෙන් අන්තනෝමතික ලෙස නෙරපා දැමීමේ යෝජනාවක් ද ඊට ඇතුලත් විය. එහෙත් එල්ටීටීඊයට කවිපය පිදූ අවිවේචනාත්මක සහයෝගය, එල්ටීටීඊයේ හා අනෙකුත් සන්නද්ධ දෙමල කන්ඩායම්වල ධනේශ්වර ජාතිකවාදී දේශපාලනය ක්‍රමානුකුල පරීක්ෂාවට හා හෙලිදරව් කිරීමට ලක් කිරීමෙන් විකොස වලක්වා එය දුර්වල කර දැමීය.

කවිපයේ අවස්ථාවාදී ගමන පිලිබඳව එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය 1982 පටන් සිදු කර තුබූ විවේචන පිලිබඳව දැන ගැනීමෙන් හජාජාකයේ ශ්‍රී ලංකා ශාඛාව තවදුරටත් වලක්වාලීමට 1985 දී කවිපය අසමත් වූ කල්හි, වර්කර්ස් ලීගය විසින් නායකත්වය දෙන ලද හජාජාක බහුතර කන්ඩායමට සහාය පල කිරීමට විකොස වහා එක්වූයේය.

කවිපය සමඟ 1985-86 කාල පරිච්ඡේදයේ ඇති වූ භේදයේ හරි මැද පැවතුනේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ, අධිරාජ්‍යවාදී යුගයේ සියලු ස්වාධීන පන්ති දේශපාලනයන්හි ද, විප්ලවවාදී මූලෝපායයේ ද පදනම ලෙස නොනවතින විප්ලවයේ න්‍යායය ආරක්ෂා කිරීමයි. පසුව හජාජාකය හා එහි සියලු ශාඛා මෙම අවබෝධය තම කටයුතුවල සෑම අංශයකටම කාවද්දා ගැනීමේ සිය ප්‍රයත්න තීව්‍ර කලෝය.

1987 ඉන්දු-ලංකා ගිවිසුම

කවිප සමඟ භේදයෙන් පසු ඊට ආසන්න ඉක්බිත්තේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා ජාත්‍යන්තර කමිටුව නව වටයකින් ප්‍රහාරාත්මකව ඇරැඹු ඉදිරි ගමන බලගතු සංයුක්ත ප්‍රකාශනයක් අත්පත් කර ගනු ලැබුවේ, 1987 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට කම්කරු පන්තියේ ප්‍රතිචාරය විස්තාරනය කිරීමේ දී ය.

ඉන්දියානු ධනේශ්වරයේ භූ දේශපාලනික උත්සුකයන් පෙරට ගෙන යාමේ නරුම කූටෝපායයක් ලෙස, ඉන්දීය ආන්ඩුව එල්ටීටීඊයට හා දෙමල ඊලම් මහජන විමුක්ති සංවිධානය (ප්ලෝට්) වැනි අනෙකුත් දෙමල කැරලිකාරී කන්ඩායම්වලට දේශපාලන හා යුදමය උපායාත්මක සහයෝගය සම්පාදනය කරමින් සිටියේය. එහෙත් ශ්‍රී ලංකාවේ අර්බුදය ප්‍රතිගාමී දකුනු ආසියානු ජාතික රාජ්‍ය පද්ධතියම සමස්තයක් ලෙස අනතුරේ හෙලනු ඇතැයි යන බියෙන් හිටි අඩියේ සිය මාවත වෙනස් කල එය දෙමල කැරලිකාරිත්වයට දැක්වූ අනුග්‍රහය ඉවත් කොට කොලඹ ආන්ඩුව සමඟ ගනුදෙනුවක් කිරීමේ ප්‍රයත්නයක් දැරීය.

ඉන්දීය ධනේශ්වරයේ සහාය මත එකසේම තම බෙදුම්වාදී ඉදිරි දර්ශනය පදනම් කොට තුබූ දෙමල ජාතිකවාදී කන්ඩායම්, මෙම උපාමාරුව නිසා වික්ෂිප්තභාවයට පත් වූහ.

1987 ජූලියේ ඇති කර ගත්, ආරම්භයේ දී දෙමල කන්ඩායම් විසින් සහයෝගය දෙන ලද ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම යටතේ දිවයින තුල ඉන්දීය හමුදා යොදවන ලදී. බැලූ බැල්මට ඔවුන් සාමසාධක හමුදාවක් වුව ද, යථාර්ථයේ දී ඔවුන් යෙදවීමේ අරමුන වූයේ දෙමල කැරලිකරුවන් මැඩ පවත්වා ධනපති ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයභාවය ආරක්ෂා කර දීමයි.

කම්කරු පන්තියේ උත්සුකයන්හි ස්ථාවරයේ සිට ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට එරෙහිව විකොස තනිව නැඟී සිටියේය. විකොස නායකත්වය සමඟ පැවැති තීව්‍ර සාකච්ඡාවකින් පසු හජාජාකය, “ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දේශපාලන කර්තව්‍යයෝ” නමින් යුත් විස්තීර්න ප්‍රකාශනයක් නිකුත් කලේය.

මෙම ප්‍රකාශනය ජයවර්ධනගේ හා ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ අධම උපාමාරු හෙලිදරව් කලා පමනක් නොවේ. එය, එල්ටීටීඊය විසින් දෙමල ජනයා රැගෙන විත් තුබූ ලේ වැකි වංකගිරිය පසුපස පැවැති පන්ති තර්කනය පැහැදිලි කර දුන්නේය. “පීඩිත ජාතියක ධනේශ්වර පන්තිය ස්වයංනිර්නය යන්නෙන් අදහස් කර ගන්නේම තමන් සඳහා ජාතික වරප්‍රසාද ලබා ගැනීමද ‘ස්වාධීන‘ රට තුල කම්කරුවන් හා ගොවීන් සූරාකෑම සඳහා වාසිදායකම තහවුරු කර ගැනීම ද වෙයි” යනුවෙන් ජාත්‍යන්තර කමිටු ප්‍රකාශනය පැහැදිලි කලේය. විමුක්ති අරගලය ධනපති පාලනයට තර්ජනයක් විය හැකිය යන බිය හොල්මන් කරන හෙයින් එය නිරතුරුවම, “පීඩිත ජනයා බලමුලු ගැන්වීම මත සීමා පනවමින්”, “අධිරාජ්‍යවාදී පරිපීඩනයෙන් තම ජාතිය විමුක්ත කර ගැනීමට” අත්‍යවශ්‍ය වන “සාර්වභෞමවාදයක් කරා එලැඹිමට ඓන්ද්‍රීයව අසමත් වන්නාවූ ජාතික අනන්‍යතාවාදී මාවතක්” අනුගමනය කරයි.

උක්ත ප්‍රකාශනය මඟින්, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ආසියාවේ, අප්‍රිකාවේ හා මැද පෙරදිග රටවල ජාතික ධනේශ්වර පාලනය යටතේ ස්ථාපනය කරන ලද ස්වාධීන රාජ්‍යවල වඩාත් පුලුල් ඓතිහාසික ශේෂ පත්‍රයක බහා, ශ්‍රී ලංකාවේ සිදුවීම් පිලිබඳව තක්සේරු කරන ලදී. එය මෙසේ පැහැදිලි කලේය: “අධිරාජ්‍යවාදයේ අනුමැතිය ලත් ‘ස්වාධීනත්වයේ‘ අර්ථය වූයේ අනිවාර්යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මාරක ලෙස උල්ලංඝනය කිරීම මත පදනම් කෙරුනු අවජාතක රාජ්‍යයන් බිහි කිරීමය. මෙම ක්‍රියාදාමයේදී ජාතික ධනේශ්වර පන්තිය ක්‍රියා කොට ඇත්තේ පීඩිත ජනතාවගේ විමුක්තිදායකයා ලෙස නොව අධිරාජ්‍යවාදී කොල්ලයේ කනිෂ්ට හවුල්කරුවා ලෙසය.

”මෙබඳු තත්වයන් තුලින් පැන නගින්නේ ධනපති පන්තියේ විකෘත ප්‍රීතියට හෙතුභුතවූ අන්තර්-වාර්ගික යුද්ධයන්ය. ධනේශ්වර පාලනය පවත්නා තාක් මෙම තත්වය වෙනස් කල නොහේ.”

කොලඹ ආන්ඩුව මුදා හල වර්ගවාදී යුද්ධයට එරෙහිව විකොස දැක්වූ ක්ෂමා විරහිත විරුද්ධත්වය යලි තහවුරු කරන අතරම ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශනය, දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සාක්ෂාත් කොට ගත හැක්කේ සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලය හරහා පමනෙකැයි සුනිශ්චිත ලෙස කියා සිටියේය. ධනේශ්වරයේ ශ්‍රී ලාංකීය හා දෙමල පාර්ශ්වයන්ට ද, ඔවුන්ගේ අන්‍යෙන්‍ය වශයෙන් ප්‍රතිවාදී ජාතිකවාදයන්ට ද එරෙහිව එය ශ්‍රී ලංකාවේ හා දෙමල ඊලාමයේ සමාජවාදී එක්සත් ජනපද රාජ්‍යයක් සඳහා කැඳවුමක් ඉදිරිපත් කලේය.

කීර්ති බාලසූරිය

ඛේදජනක ලෙස, මෙය 1968 දී විකොස පිහිටවූ දිනයේ පටන් එහි ප්‍රධාන ලේකම්වරයා වූ කීර්ති බාලසූරිය සහෝදරයාගේ දායකත්වය ලැබූ ප්‍රමුඛ ප්‍රකාශනවල අවසාන එක විය. 1987 දෙසැම්බරයේ හදිසි හෘදයාබාධයක් නිසා සිදු වූ ඔහුගේ අභාවය ශ්‍රී ලංකා හා ජාත්‍යන්තර කම්කරු පන්තියට ලෝක සමාජවාදී විප්ලවයේ දීප්තිමත් මූලෝපායඥයෙකු අහිමි කලේය. ඔහු එවකට 39 වියට පත්වුවා පමනි.

යුරෝපයේ රැකවරනය ලබා ගැනීමට බල කෙරී තුබූ තරුන දෙමල සටන්කරුවන් අතර, මෙම ප්‍රකාශයේ විස්තාරනය කෙරුනු දේශපාලන ක්‍රියාමාර්ගය මත පදනම්ව මැදිහත්වීමට විකොස සමත් විය. ඔවුන් අතර වඩාත් දුරදිග දුටුවෝ, දෙමල මර්දනය අවසාන කල හැක්කේ හජාජාකයේ ඉදිරි දර්ශනයේ පදනම මත හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ පෙලගැසීමෙන් පමනකැයි යන නිගමනයට එලැඹ ගත්හ. මෙම බලවේගයෝ හජාජාකයට බැඳෙමින් යුරෝපයේ මෙන්ම දකුනු ආසියාවේ ද එහි කටයුතු ශක්තිමත් කලෝය.

ශ්‍රී ලංකා රාජ්‍යයට, සිංහල ජාත්‍යෝත්තමවාදයට හා දෙමල ජාතිකවාදයට එරෙහි විකොස/සසප අඛන්ඩ අරගලය

ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට එල්ටීටීඊය අනුමැතිය ලබා දී තුබූ මුත්, එය නිරායුධ කිරීමට ඉන්දියානු හමුදා එවූ වහා ඔවුහු ගැටුමට එලැඹුනාහ. ඒ අතරතුර කොලඹ ආන්ඩුව, අලුතින් ඇවිල ගිය සිවිල් යුද්ධය හරහා ගිවිසුමෙන් දෙමල ප්‍රභූවට පිදුනු සීමිත සහන ද ඉවත හෙලීමට හැකිය යන ගනන් බැලීම මත, ගිවිසුමට පිදූ තමාගේම සහාය ද ප්‍රතික්ෂේප කිරීම සඳහා උතුරේ සටන් ඇවිල යාම ඩැහැ ගත්තෝය

ඉනික්බිතිව ඇති වූ වර්ධනයන් විසින් එල්ටීටීඊයේ දේශපාලන බංකොලොත්භාවය හා එහි කම්කරු පන්ති විරෝධී ස්වභාවය තවදුරටත් හෙලිදරව් කෙරුනා පමනෙකි. ස්ටැලින්වාදී නිලධරයන් විසින් පෙර සෝවියට් සංගමයේ හා චීනයේ ධනවාදය පුනස්ථාපනය කෙරුනු වහා එල්ටීටීඊය, වොෂින්ටනයේ, අනෙකුත් බටහිර බලවතුන්ගේ හා, පශ්චාත් 1991 යුගයේ ධනේශ්වර ගෝලීයකරනය වැලඳ ගෙන වොෂින්ටනය සමඟ මූලෝපායාත්මක සබඳතා වර්ධනය කර ගැනීමට තැත් කරන ඉන්දීය ධනේශ්වරයේ සහාය දිනා ගැනීමට දැරෙමින් පැවැති සිය ප්‍රයත්නයේ කොටසක් ලෙස, තවදුරටත් ඉතිරි වී තිබූ යම් සමාජවාදී බොරු වෙස්මුහුනු වී නම් ඒ සියල්ල උනා දැමීය.

මේ අධිරාජ්‍යවාදයට පක්ෂපාතී පෙලගැස්ම හිතාමතාම සිංහල වැඩකරන ජනයා ඉලක්ක කොට දකුනට එල්ල කෙරුනු ත්‍රස්තවාදී ප්‍රහාර සමඟ අත්වැල් බැඳ ගැනුනු අතර, එමඟින් වර්ගවාදය තීව්‍ර වෙමින් සිංහල ජාත්‍යෝත්තමවාදී ධනේශ්වරය දේශපාලනිකව ශක්තිමත් වූයේය. දිවයිනේ උතුරු නැගෙනහිර පලාත්වල තම පාලනය යටතේ පැවැති ප්‍රදේශවලදී කම්කරු පන්තිය නිර්දය ලෙස මැඩ පැවැත්වීමට ද මුස්ලිම් ජනයාට එරෙහිව වර්ගවාදී එදිරිවාදුකම් ඇවිස්සීමට ද එල්ටීටීඊය කටයුතු කලේය.

1996 දී විකොසය සසප බවට පරිවර්තනය වී සිටි අතර, යුද්ධයට එරෙහිව හා දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩ පිලිවෙලකින් දේශපාලනිකව සන්නද්ධ කිරීම සඳහා එය සිදු කරමින් සිටි අරගලය නිසා එල්ටීටීඊය සසපයට එරෙහිව ප්‍රහාර එල්ල කලේය. 1998 ගිම්හානයේදී එල්ටීටීඊය සසප සාමාජිකයන් බලහත්කාරයෙන් රඳවා ගනිමින්, රාජේන්ද්‍රන් සුදර්ශන්, තිරුඥාන සම්බන්දන් හා කාසිනාදන් නගුලේශ්වරන් යන සසප සාමාජිකයන් තිදෙනා දින 50 ක් පුරා ද රාසරත්නම් රජවේල් නම් සිව්වැනි සාමාජිකයෙකු දින දාහතක් පුරා ද සිරගත කොට ගෙන හුන්නෝය.

ඔවුන් නිරුපද්‍රිතව මුදා හැරීම, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සසප හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සිදු කෙරුනු, ලෝකය පුරා වැඩකරන ජනයාගේ සහයෝගය දිනා ගත් උද්ඝෝෂනයක ප්‍රතිඵලය විය. සහාය දුන් ජනයා අතර, කැපී පෙනෙන පරිදි, යුරෝපයේ උතුරු ඇමරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ වාසය කරන විසෘත දෙමල ජනයා බොහෝ දෙනෙක් වූහ.

1990 ගනන්වල මුල්භාගයේ දී හජාජාකය, ජාතික ප්‍රශ්නය පිලිබඳව හා, විශේෂයෙන්ම “ස්වයංනිර්නය අයිතියේ” ඉල්ලීම පිලිබඳව මාක්ස්වාදී ව්‍යාපාරයේ ආකල්පය සම්බන්ධ විචාරාත්මක විමර්ශනයක් සිදුකලේය. එය, ජාතික රාජ්‍ය පද්ධතිය හා ගෝලීයකරනය විසින් උපත දෙන ලද ලෝක ආර්ථිකය අතර ප්‍රතිවිරෝධයේ උත්සන්නවීම; ස්ටැලින්වාදීන් ධනවාදයේ පුනස්ථාපනය වැලඳ ගැනීම; සහ සමාන්තරව සිදු වූ වෘත්තීය සමිතිවල බිඳ වැටීම ද විසින් පොලඹවනු ලදුව සිදුකරන ලද්දා වූ, තම වැඩ පිලිවෙල අලුතින් සකස්කිරීමේ කටයුත්තක කොටසක් විය.

මෙම විමර්ශනය තීරනාත්මක ප්‍රයුක්තීන් ගනනාවක් අවධාරනය කොට දැක්වීය. පලමුව, ස්ටැලින්වාදීන්, පැබ්ලෝවාදී අවස්ථාවාදීන් හා අන්‍යයන් විසින් සිදුකෙරුනු ක්‍රමානුකූල විකෘතිකරනයන්හි ප්‍රතිඵලය ලෙස “ස්වයංනිර්නය” යන යෙදුම පොදුවේ හඳුනා ගැනුනේ, වෙන්වීමට සහයෝගය දීමටත්, ඕනෑම සහ සෑම ධනේශ්වර බෙදුම්වාදී ව්‍යාපාරයකටම සහාය දීමටත් කම්කරු පන්තිය බැඳී සිටින්නේය යන ප්‍රතිගාමී, මාක්ස්වාද-විරෝධී සංකල්පය සමග සමානවය.

දෙවැන්න නම්, ජාතික ඉල්ලීම් පිලිබඳ සංයුක්ත ඓතිහාසික, සමාජ-ආර්ථික හා දේශපාලනික විශ්ලේෂනයක් වෙනුවට “ස්වයංනිර්නය සඳහා ජාතීන්ට ඇති අයිතිය” යන සටන්පාඨය ආධානග්‍රාහී ලෙස පුනරුච්චාරනය කිරීම ආදේශකයක් නොවීමයි. අධිරාජ්‍යවාදය විසින් ඓතිහාසිකව මර්දනයට ලක් කල රටවල ප්‍රධාන දේශපාලනික කර්තව්‍යයන් විසඳීමට ජාතික ධනේශ්වරය අසමත්වීම විසින්, යටත්විජිතහරනය හරහා ආසියාව හා අප්‍රිකාව පුරා නිර්මානය කෙරුනු එකි “ස්වාධීන රාජ්‍ය” තුල විවිධාකාර බෙදුම්වාදී ව්‍යාපාර පැන නංවනු ලැබ තිබිනි. ස්වදේශීය සූරාකන්නන්ගේ උත්සුකයන් මත, රාජ්‍යයන් වාර්ගික, භාෂාමය හා ආගමික සුවිශේෂතාවාදී සීමා රේඛාවන් ඔස්සේ බෙදීම සඳහා මහජනයාගේ දුක්පීඩා ගසා කෑමේ ප්‍රයත්නයක, එම ව්‍යාපාර නියැලී සිටියෝය.

එමෙන්ම, බෝල්කන් ප්‍රදේශවලදී, ධනවාදය පුනස්ථාපනය කරන කල්හි, වොෂින්ටනය හා බර්ලිනය සමඟ සම්බන්ධව කටයුතු කරමින් සිටි නොයෙක් ස්ටැලින්වාදී කල්ලි තම ධනය හා බලය සුරක්ෂිත කර ගැනීම හා ප්‍රසාරනය කිරීම සඳහා “ජාතික ස්වයංනිර්නයේ” ධජය ඔසවමින් සිටියෝය. හජාජාකය පැහැදිලි කල පරිදි, “එවැනි ව්‍යාපාරවලට අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය සමඟ කිසිදු ගනුදෙනුවක් නොවූ අතර ඒවා විසින් පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් මූර්තිමත් කෙරුනේද නැත. ඒවා සේවය කලේ කම්කරු පන්තිය භේද භින්න කිරීමට හා පන්ති අරගලය ජන වාර්ගික යුදකාමී මාවත කරා හැරවීමටය.”

තුන්වනුව, නිෂ්පාදනයේ ගෝලීයකරනය ජාතික වෙලඳපොලවල හා ජාතික නිෂ්පාදනයේ වැදගත්කම අතිශයින් හීන කර තිබීම මඟින්, එවැනි ජාතික-බෙදුම්වාදී ව්‍යාපාර සඳහා සමාජ ආර්ථික පදනමක් සම්පාදනය කර තිබින. ලෝක වෙලඳපොල සමඟ සම්බන්ධ වීමේ හැකියාවත්, ගෝලීය ප්‍රාග්ධනයේ හා එහි ස්වදේශීය ධනේශ්වර නියෝජිතයන්ගේ ක්‍රියාකාරිත්වයන් සඳහා වාසිදායී පදනමක් සම්පාදනය කිරීමේ විභවයත් දැන් කුඩා භූමිප්‍රදේශවලට පවා හිමි වී තිබින.

මෙකි වර්ධනයන් විසින් ජාතික පීඩනයට එරෙහි අරගලයේ හදිසිභාවය අහෝසි කෙරුනේ නැත. ඒවායින් සිදුකෙරුනේ, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ අනෙකුත් ඉටු නොවූ කර්තව්‍යයන් සේම, සියලු ජාතික පීඩනයන් අතු ගා දමා ජනයා සහ ජාතීන් අතර නිර්ව්‍යාජ සමානාත්මතාවයක් තහවුරු කිරීම ද කල හැකි වනුයේ කම්කරු පන්තිය විසින් නායකත්වය දෙනු ලබන සමාජ විප්ලවයක් හරහා පමනෙකිය යන හතරවැනි ජාත්‍යන්තරයේ ඉදිරි දර්ශනයට පක්ෂව වැඩි දුරටත් සාක්ෂ්‍ය ලබාදීම පමනෙකි.

හජාජාකයේ මෙම යලි තක්සේරු කිරීමේ කොටසක් ලෙස විකොස නිගමනය කලේ, ප්‍රායෝගික දේශපාලන කොන්දේසි යටතේදී, “දෙමල ජනයාගේ ස්වයංනිර්නය අයිතියට” දෙනු ලබන සහයෝගයේ අර්ථය වනු ඇත්තේ එල්ටීටීඊයේ ජාතිකවාදී - බෙදුම්වාදී ව්‍යාපෘතියට සහය පිදීම පමනක් බවත් එබැවින් එහි කවර හෝ ප්‍රගතිශීලි අන්තර්ගතයක් අඩංගු නොවන බවත්ය.

ඒ අතරතුරම - රාජ්‍ය මර්දනය හමුවේ, ශ්‍රී ලංකා රාජ්‍යයටත් එහි යුද්ධයටත් එරෙහිව සහ උතුරෙන් හා නැගෙනහිරෙන් සියලු ආරක්ෂක හමුදා ඉවත්කිරීම සඳහා දිගටම කරනු ලබන විකොස-සසප උද්ඝෝෂන හරහා - ස්වයංනිර්නය පිලිබඳ ඉල්ලීමේ අව්‍යාජ ලෙස ප්‍රගතිශීලි වූ සියල්ල රඳවා ගැනෙමින් ඒවාට සාධනීය ප්‍රකාශනයක් ලබා දෙනු ලැබීය.

විකොස සහ සිවිල් යුද්ධයේ අවසාන අවධීන්: ව්‍යාජ සාම සාකච්ඡාවල සිට ”සමූලඝාතක යුද්ධය” දක්වා

2002 දී එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ හා සෙසු මහ බලවතුන්ගේ සහය ලැබූ හා නෝර්වීජියානු රජය විසින් පහසුකම් සලසන ලද සාම සාකච්ඡාවලට එල්ටීටීඊය සහභාගී විය. එල්ටීටීඊය ඊට සහභාගී වූයේ එක් අතෙකින් සකලාංග පරිපූර්න “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක” නාමයෙන් වොෂින්ටනය ඇෆ්ගනිස්තානය ආක්‍රමනය කොට තුබූ තතු තුල තීව්‍ර වූ මූලෝපායාත්මක හුදෙකලාවෙන් ඔවුන් බියපත් වූ නිසාය. අනෙක් අතට, දකුනු ආසියාවේ ධනේශ්වර ස්ථාවරත්වයේ ඇපකරු බවට පත්වීමට ඔවුන් දැක්වූ සූදානම හේතුවෙන් සාකච්ඡා තුල වැඩියෙන් සහන ලබාදීමට කොලඹ ආන්ඩුව පොලඹවා ලීම සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් හා නවදිල්ලි ආන්ඩුව ක්‍රියා කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කලහ.

ස්වාධීන දෙමල ඊලමක් “ව්‍යාඝ්‍ර ආර්ථිකයක්” බවට පත් වනු ඇතැයි යන එල්ටීටීඊයේ නිරන්තර කියාසිටීම මඟින්, අධිරාජ්‍යවාදී සූරාකෑමේ කනිෂ්ඨ සහකරුවෙකු බවට පත්වීමේ එල්ටීටීඊයේ අභිලාෂයන් මූර්තිමත් විය. “ව්‍යාඝ්‍ර ආර්ථිකය” යන යෙදුම, ඒකාධිපති පාලනයක් යටතේ කම්කරු පන්තිය කුරිරු ලෙස මර්දනය කරන අතර එජ හා ජපන් ප්‍රාග්ධනයට දශක ගනනක් පුරා ලාභ ශ්‍රමය ලබා දුන් “ආසියානු ව්‍යාඝ්‍රයන්” වන සිංගප්පූරුව, දකුනු කොරියාව හා තායිවානය පිලිබඳ නොවරදින සුලු සැඳහුමකි.

කෙසේවෙතත්, ස්වාධීන දෙමල රාජ්‍යයක් නිර්මානය වීම මඟින්, දකුනු ආසියාව සිසාරා බෙදුම්වාදී කැරලිකාරිත්වයන් දිරිමත් කෙරෙමින් තම උත්සුකයන්ට වල කැපෙනු ඇතැයි ගනන් බැලූ ඉන්දියාව හා අධිරාජ්‍යවාදී බලවත්තු දිගටම දෘඩතරව එවැන්නකට එරෙහිව සිටියෝය. ඒ අනුව එල්ටීටීඊය යලිත් ගියර මාරු කරමින්, 2002 සැප්තැම්බරයේ දී වෙනම රාජ්‍යයක ඉලක්කය අතහැර දමා, ප්‍රතිසංවිධිත, “ෆෙඩරල් (සන්ධීය)” ශ්‍රී ලංකා ධනේශ්වර රාජ්‍යයක් යටතේ බලය බෙදා ගැනීමක් පිලිගැනීම සඳහා සිය කැමැත්ත දක්වා සිටියේය.

ලොසවෙඅය 2002 සැප්තැම්බරයේ දී පලකෙරුනු කර්තෘ මන්ඩල ප්‍රකාශයකින් පැහැදිලි කල පරිදි, දෙමල ධනේශ්වරයේ ආත්මාර්ථකාමී පන්ති අරමුනු හඹා යාම සඳහා තමාගේම වැඩ පිලිවෙල අතහැර දැමීම මඟින් එල්ටීටීඊය “තමන්ගේ යුද සරතැස රාජ්‍ය පරිපාලනයේ හා සමාගම්වල පාලක මන්ඩල කාමරවලට ඇතුලුවීමේ කාඞ්පත් සඳහා හුවමාරු කරන ලද ජාතික විමුක්ති ව්‍යාපාරයන්හි දීර්ඝ ලැයිස්තුවට” ඇතුලු වෙමින් සිටියේය.

ව්‍යාජ වමේ නසසපය, එක්සත් සමාජවාදී පක්ෂය හා අපමන රාජ්‍ය නොවන සංවිධාන විසින් පාවාඩ එලා පිලිගන්නා ලද සාම සාකච්ඡාවලින් දෙමල වේවා, සිංහල වේවා ශ්‍රී ලංකාවේ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් හා සමාජ අවශ්‍යතාවයන් සපුරාලීමෙහි ලා කෙරෙන කිසිවක් හෝ නැතැයි අනතුරු හඟවමින්, සසපය ඊට එරෙහි විය. බලය බෙදාගැනීමේ කවර ගනුදෙනුවක් වුව, කොල්ල කා ගත් දේ ප්‍රතිවාදී ධනේශ්වර පිල් අතර බෙදා ගැනීමක් වනු ඇතිව තුබූ අතර, එහි එල්ලය වූයේ දිවයින සිසාරා ධනේශ්වර පාලනය ශක්තිමත් කිරීමයි. සසප වැඩිදුරටත් පැහැදිලි කල පරිදි, තිරයට පසුපසින් සිංහල පාලක ප්‍රභූව යුද්ධය යලි ආරම්භ කිරීම සඳහා උන විකාරයෙන් මෙන් සූදානම් වෙමින් සිටියේය.

2006 දී, දෙමල ජනයාට හා එල්ටීටීඊයට එරෙහිව මුදා හැරුනු ප්‍රකෝපකරනයන් මාලාවකින් ඉක්බිති ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ශ්‍රීලනිප ආන්ඩුව, එජ, ඉන්දියාව හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සම්පූර්න සහාය ද ලබා ගනිමින්, මුලු වැර යොදා යලි යුද්ධාරම්භ කලේය.

එල්ටීටීඊය ඊට ප්‍රතිචාර දැක්වූයේ අධිරාජ්‍යවාදීන්ට හා ඉන්දීය ධනේශ්වරයට කෙරුනු සිය ආයාචනා තීව්‍ර කිරීමෙනි. වර්ගවාදී යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන් හා වැඩකරන ජනයා ඒකරාශී කර ගැනීමේ කිසිදු උත්සාහයක් එය කවර අවස්ථාවකදී හෝ නොදැරීය.

සසපය ඒ අතරතුර කම්කරු පන්තිය යුද්ධයට එරෙහිව බලමුලු ගැන්වීමේ සිය ප්‍රයත්නය තවදුරටත් දෙගුන තෙගුන කලේය. කුරිරු මිලිටරි ප්‍රහාරය පිලිබඳව කොලඹ පාලනයට චෝදනා නැඟූ 2006 ඔක්තෝබර් 21 වන දින සසප දේශපාලන කමිටු ප්‍රකාශය, ග්‍රාමීය දුගීන්, තරුන ජනයා හා මධ්‍යම පන්තියේ කොටස් තමා වටා ගොනු කර ගනිමින්, යුද්ධය හා යුදවාදයේත් වර්ගවාදයේත් ප්‍රභවය වන ලාභය මත පදනම් වූ ක්‍රමය අවසන් කිරීම සඳහා වූ තමන්ගේම ස්වාධීන දේශපාලන උද්ඝෝෂනය ආරම්භ කරන ලෙස කම්කරු පන්තියට කැඳවුම් කලේය.

මෙකී ප්‍රකාශනය, කොලඹ ආන්ඩුවේ ප්‍රචන්ඩ ආක්‍රමනයට එරෙහි වන ලෙසත්, ශ්‍රී ලංකාවේ සිය පන්ති සහෝදර සහෝදරියන්ට සහයෝගය දෙන ලෙසත්, ඉන්දියානු උප මහාද්වීපය පුරා ද, ආසියාවේ හා ජාත්‍යන්තරව ද කම්කරු ජනයා කැඳවා සිටියේය. “යුද්ධයට හා ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තිය එක්සත් කිරීමේ අත්‍යවශ්‍ය පදනම වන්නේ කොලඹ දේශපාලනඥයන්ගේ සිංහල ස්වෝත්තමවාදය හා එල්ටීටීඊයේ බෙදුම්වාදය ද ඇතුලුව සියලු ආකාරයන්හි ජාතිකවාදයට, ජාතිවාදයට හා වර්ගවාදයට දක්වන සම්මුතිවිරහිත විරුද්ධත්වයයි,” යනුවෙන් ප්‍රකාශනය අවධාරනය කලේය.

යුද්ධය, ඊට ශතවර්ෂ කාලකටත් වඩා ඉහත එය ආරම්භ වූ පරිද්දෙන්ම 2009 දී අවසාන විය. වෙනස වූයේ එල්ටීටීඊයට එරෙහිව අවසාන සමූලෝත්පාටක යුද්ධයේදී ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව හා එහි රාජ්‍යය විසින් 2009 අප්‍රේල්-මැයි දිනවලදී දසදහස් ගනන් සිවිල් වැසියන් අවසාන ලේ ගංගාවේ ගිල්වා මරා දමමින් සිදුකෙරුනු අපරාධ අතිශයින්ම විශාලතර පරිමානයක වීම පමනෙකි.

අද දවස සඳහා තීරනාත්මක පාඩම්

2011 පැවැති එහි ප්‍රාරම්භක සම්මේලනයට ඉදිරිපත් කෙරුනු ලේඛනයේදී සසපය පැහැදිලි කල පරිදි, “එල්ටීටීඊයේ පරාජය ප්‍රාථමිකවම යුදමය පරාජයක් නොවීය. එම පරාජය එල්ටීටීඊයේ දේශපාලන ඉදිරි දර්ශනයේ ආවේනික දුබලකම්වල ප්‍රතිපලයක්විය. .... ශ්‍රී ලංකාවේ ධනපති පන්තියට සහ ඔවුන්ට පිටුබලය සපයන බලයන්ට එරහිව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා අරගලයක් කිරීමට සමත් සමාජය තුල පවත්නා එකම සමාජ බලවේගය නම් කම්කරු පන්තියයි. කෙසේවෙතත්, එල්ටීටීඊය සෑමවිටම දෙමල හා සිංහල කම්කරුවන් පන්ති පදනමක ඒකාබද්ධ කිරීමේ කුමන යොමුවකට හෝ ඓන්ද්‍රීයවම විරුද්ධ විය.”

එතැන් පටන් ගත වූ දශකයක් තුල, සිවිල් යුද්ධයක් කරා මඟ පෑදූ පාදක ප්‍රයුක්තීන් කිසිවක් සඳහා ප්‍රගතිශීලි විසඳුමක් ලැබී නැත. කොලඹ ස්ථාපිතය විසින් මහත් සේ ඔජ වඩවන ලද “සාමයේ ලාභාශ” යනු කුරිරු වංචාවක් බැව් පෙනී ගොස් ඇත. ආරක්ෂක හමුදා දිගටම උතුර අල්ලා ගෙන සිටිති. යුද්ධය සමයේ වර්ධනය කෙරුනු මිලිටරීකෘත රාජ්‍ය යන්ත්‍රය ද මර්දන නීති ද වැඩිවැඩියෙන් කැරලිකාරී වෙමින් සිටින කම්කරු පන්තියකට එරෙහිව යොදාගැනීම සඳහා සුරැකිව තබා ඇත.

යුද්ධයෙන් ඉක්බිතිව දෙමල ධනේශ්වරය එල්ටීටීඊයට සහයෝගය දීමේ සිට, කොලඹ දේශපාලන ස්ථාපිතයේ කඩඇනයක් බවට පත්ව ඇත්තාවූත් විවෘතවම ඇමරිකාවට පක්ෂපාතී වන්නා වූත් දෙමල ජාතික සන්ධානය (දෙජාස)ට සහය දීම කරා මාරු විය. ටීඑන්ඒය ශ්‍රී ලංකාවේ ප්‍රභූව තුල වොෂින්ටනයේ වඩාත්ම උද්‍යෝගි ආධාරකරුවන් අතර ලා ගැනෙන්නකි. බීජිං පාලනයට පමන ඉක්මවා සමීප වී ඇතැයි එජ විසින් සලකන ලද රාජපක්ෂ 2015 ජනවාරියේදී ඔහුගේ දීර්ඝකාලීන හෙන්චයියෙකු වූ සිරිසේන මඟින් විස්ථාපනය කෙරුනු, එජ විසින් මෙහෙයවන ලද රාජ්‍ය තන්ත්‍රමාරු මෙහෙයුමේ දී දෙජාස වැදගත් කාර්යභාරයක් ඉටු කලේය. වොෂින්ටනයෙන් උදව් ද, කොලඹින් මුදල් හදල් හා බලය ද හඹා යාම තුල ටීඑන්ඒය, දෙමල ජනයාට ශ්‍රී ලංකා රජය විසින් සිදුකෙරුනු බිහිසුනු යුද අපරාධ පිලිබඳ කවර හෝ පරීක්ෂනයක් පැවැත්වීම සඳහා වූ තම ඉල්ලීම සැබැවින්ම හකුලා ලේඛන රාක්කයේ තැන්පත් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කෙරුනු කප්පාදු පියවරයන්ට එරෙහි මෑතකාලීන අරගලවලදී සිංහල හා දෙමල කම්කරුවෝ උරෙනුර ගැටී සටන් කර ඇත්තාහ. මේ සහජාසයානුගත පන්ති සමඟිය, සිවිල් යුද්ධයේ හා රාජ්‍ය මර්දනයේ අතිශය අසීරු කොන්දේසි යටතේ සිදු කල අරගල ද ඇතුලු පසුගිය දශක පහක විකොස-සසප අරගලයට ජීව ගුනය සැපයූ සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩ පිලිවෙල මඟින් දේශපාලනික මුහුන් යොදා පැසවා ගත යුතුය.

අද දිනයේ - ලෝක ධනපති ක්‍රමය බිඳවැටීමේ, අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය පුනරුත්ථානය වීමේ, සහ ධනපති පාලක ප්‍රභූන් අන්ත දක්ෂිනාංශික ස්වෝත්තමවාදී හා ජාතිකවාදී දේශපාලනයන් කරා ගෝලීය පරිමානයෙන් හැරීමේ කොන්දේසි යටතේ - සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා විකොස-සසප අරගලය ද, නොනවතින විප්ලවය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම මත පදනම් ව “දෙමල ජාතික ප්‍රශ්නය” හා දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමේ ගැටලුව පිලිබඳ විප්ලවවාදී කම්කරු පන්ති පිලිතුර විස්තාරනය කිරීම ද, හුදු ශ්‍රී ලංකාවේ හා දකුනු ආසියාවේ මතු නොව, ලොව පුරාම කම්කරුවන් හා තරුනයන් සඳහා සාරභූත මූලෝපායාත්මක පාඩම් සම්පාදනය කරයි.

මෙම ලිපිය 2018 දෙසැම්බර් 28 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින

කර්තෘ විසින් නිර්දේශිත ලේඛන:

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්
Loading