චීනය: ටියනන්මෙන් චතුරස්‍රයේ සංහාරයෙන් තිස් වසරක්

මෙම දේශනය 2019 ජූලි 25 වන දින පීටර් සිමන්ඩ්ස් විසින් සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපද) ගිම්හාන පාසලේදී පවත්වන ලදී. සිමන්ඩ්ස් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකු වන අතර සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියාවේ) ලෝසවෙඅ ජාතික සංස්කාරකවරයා ද වේ.

***

1989 අප්‍රේල් මාසයේ සිට චීනයේ මහජන විරෝධතා පුපුරා යාම, ජුනි 3-4 රාත්‍රියෙන් පසු දින හා සතිවල කුරිරු මිලිටරි මර්දනය තුල කූටප්‍රාප්ති වීම චීනයේ තීරනාත්මක ඓතිහාසික සන්ධිස්ථානයක් වූ අතර, ජාත්‍යන්තරව සිදු වෙමින් පැවති ස්ටැලින්වාදයේ අර්බුදයේ ප්‍රධාන අංගයක් විය. 

1989 මැයි මාසයේ චීනයේ ටියනන්මෙන් චතුරස්‍රයේ මහජන විරෝධතාවක් [ඡයාරූප අනුග්‍රහය: සදයුකි මිකමි,(AP Photo - Sadayuki Mikami)] 

“ටියනන්මෙන් චතුරශ්‍ර සංහාරය” ලෙස හඳුන්වනු ලබන සිදුවීම් බීජිං සහ එහි ප්‍රසිද්ධ මධ්‍යම චතුරශ්‍රයට පමනක් සීමා නො වූ අතර මූලික වශයෙන් එය සිසුන්ට එරෙහිව පමනක් එල්ල කෙරුනා ද නොවේ. සියල්ලටත් වඩා, එය යොමු කෙරුනේ චීන විප්ලවයේ ජයග්‍රහන විනාශ කරමින් සිටි ඩෙන්ග් ෂියාඕපින් යටතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ වෙලඳපොල ගැති ප්‍රතිපත්තිවල සමාජ ප්‍රතිවිපාකවලට එරෙහිව කම්කරු පන්තියේ කැරැලි ගැසීම මැඩපැවැත්වීමට ය.

ලේවැකි මර්දනය සිදු වූ‍යේ විදේශ ප්‍රාග්ධනය ගලා ඒමත් සමග ආර්ථික වර්ධනයේ පුදුමාකාර මට්ටම් දෙකම ඇති කල, ධනවාදී ප්‍රතිෂ්ඨාපන ක්‍රියාවලීන් ඉමහත් ලෙස වේගවත් කිරීම සඳහා දොර විවර කිරීමට නමුත්, ඒ අතරම, චීනය දැන් පැටලෙන, අභ්‍යන්තර සමාජ ආතතීන් සහ බාහිර භූදේශපාලනික හතුරුකම් අත්‍යන්තයෙන් තියුනු වෙමින් තිබුනි.

මීට වසර 30 කට පෙර ඇති වූ සිදුවීම් පිලිබඳ කෙටියෙන් වුවද දල සටහනක් තැබීම අවශ්‍ය වේ. මෙය හුදෙක් මතකයන් පුනර්ජීවනය කිරීම හෝ එකල ජීවතුන් අතර නො සිටි අය සඳහා හිඩැස් පිරවීම පිලිබඳ ප්‍රශ්නයක් පමනක් නොවේ. සිදු වූ දෙය දැකීමේ වාසිය ඇති ව, 1949 චීන විප්ලවයෙන් පසු පූර්වාදර්ශයක් නොමැති ව සිටි කම්කරුවන්ගේ හා තරුනයින්ගේ අරගලවල විෂය පථය හා විප්ලවීය ස්වභාවය වඩාත් පැහැදිලිව පෙනේ. සීසීපී තන්ත්‍රය හරයට ම සොලවා දැමුනු අතර එතැන් පටන් ඔවුන් ජීවත් වී ඇත්තේ තවත් කැලඹිලි සහිත සමාජ නැගිටීමක් පිලිබඳ බියෙනි.

ඩෙන්ග් ෂියාඕපින් 

මුලින් පොරොන්දු වූ පරිදි 1978 දී ඩෙන් ෂියාඕපින් විසින් ආරම්භ කරන ලද වෙලඳපොල ගැති ප්‍රතිව්‍යුහගතකරනය දේශපාලන ප්‍රතිසංස්කරනයක් ඇති කිරීමට අසමත් වීම, 1989 වන විට බුද්ධිමතුන් හා සිසුන් අතර පුළුල් කලකිරීමකට හේතුවී තිබුනි. වර්සේල්ස් ගිවිසුමේ නියමයන් යටතේ චීන භූමි භාග ජපානයට පවරා දීමට එරෙහිව ශිෂ්‍යයින් විරෝධතා පෙලපාලි පැවත් වූ, 1919 මැයි 4 වන දින ව්‍යාපාරයේ 70 වන සංවත්සරය සැමරීම සඳහා කල්තියා සැලසුම් කර තිබු විරෝධතා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වූ වඩා පලල් ව්‍යාපාරයක් පුපුරා යාමට තුඩු දුන්නේ ය.

කෙසේ වෙතත්, සීසීපී හිටපු මහ ලේකම් හූ යෝබං 1989 අප්‍රේල් 15 වන දින මිය ගිය අවස්ථාවේ සැලසුම් වෙනස් කරන ලදී. ඔහු දේශපාලන ප්‍රතිසංස්කරනවාදියෙකු ලෙස සලකනු ලැබූ අතර 1986-87 දී පැවති මීට පෙර ශිෂ්‍ය විරෝධතා සම්බන්ධයෙන් ඔහුට දොස් පවරා තිබුනි. 1980-81 සහයෝගීතා වැඩ වර්ජනවල දී පෝලන්තයේ පුපුරා ගොස් තිබූ පරිදි, ශිෂ්‍ය විරෝධතා කම්කරු පන්තිය තුල පුලුල් සමාජ නොසන්සුන්තාවයක් අවුලුවනු ඇතැ යි යන ස්ටැලින්වාදී සංවිධාන තුල පැවති භීතිය මධ්‍යයේ, “ධනේශ්වර ලිබරලීකරනයට” අවසර දුන් බවට ඔහුට චෝදනා එල්ල කොට පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන ලදී.

හූ යෝබංගේ මරනය සනිටුහන් කිරීමේ විරෝධතා වේගයෙන් රට පුරා විරෝධතා ව්‍යාපාරයක් දක්වා ව්‍යාප්ත විය. ශිෂ්‍යෙයෝ හූ නෙරපා හැරීම පිලිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියා පමනක් නොව, වෙනත් ඉල්ලීම් ද ඉදිරිපත් කිරීමට පටන් ගත්හ. ඉහල නායකයින් සහ ඔවුන්ගේ පවුල්වල ආදායම් හෙලි කිරීම; මාධ්‍ය නිදහස; අධ්‍යාපන අරමුදල් වැඩි කිරීම; පෙලපාලි සම්බන්ධ සීමා අවසන් කිරීම; “දුෂ්ට” රජයේ නිලධාරීන් වෙනස් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරන පැවත්වීම ඒවා අතර විය. ස්ටැලින්වාදී සංවිධාන විශේෂයෙන් උත්සුක වූයේ බීජිං විශ්වවිද්‍යාල සිසුන්ගේ ස්වාධීන සම්මේලනයක් සහ බීජිං කම්කරුවන්ගේ ස්වාධීන සම්මේලනයක් පිහිටුවීම ගැන ය.

අප්‍රේල් 22 වන දින පුද්ගලයන් 100,000 ක් ටියනන්මෙන් චතුරස්‍රයේ එක්රැස් වූ අතර මිලියනයක් හූගේ අවමංගල්‍යය සඳහා වීදි බැස ඇත - ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කම්කරුවෝ ය. එදින පැවති කම්කරු සම්මේලනයේදී ඩෙන් ෂියාඕපින්ගේ පවුලේ ධනය, නිලධරයේ වරප්‍රසාද සහ වෙලඳපොල ප්‍රතිසංස්කරනයේ “අඩුපාඩු” හෙලා දකිමින් පත්‍රිකා බෙදා හැර තිබුනි. විශේෂයෙන් උද්ධමනය සියයට 30 කට ආසන්න මට්ටමක පැවති නිසා ඔවුහු මිල ස්ථාවර කිරීම ඉල්ලා සිටියහ.

මැයි 4 වන දින, ටියන්ආමෙන් චතුරශ්‍රයේ සංඛ්‍යාව 300,000 දක්වා ඉහල ගියේ, බීජිං කම්කරුවන් දෙලක්ෂ පනස්දහසක්, සිසුන් 60,000 ක් සමඟ එක්වෙමිනි. ෂැංහයි, නැන්ජින්, වුහාන්, චැංෂා සහ ෂියාන් ඇතුළු තවත් නගර 51 ක සැලකිය යුතු විරෝධතා රැලි හා පෙලපාලි පැවැත්විනි.

ලී පෙන්ග් 

ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සීසීපී නායකත්වය බෙදී ගියේය. පක්ෂ නායකයා ලෙස හූ වෙනුවට පත් කෙරුනු ෂාවෝ සියැන්ග් විරෝධතා මැඩපැවැත්වීම සඳහා බලය යෙදවීමට මැලිකමක් දැක්වූ අතර ශිෂ්‍ය නායකයන් සමඟ සංවාදයක් සෙවීමට වැඩි කැමැත්තක් දැක්වී ය. අගමැති ලී පෙන් විසින් නියෝජනය කලා වූ ද ඩෙන්ග් විසින් සහාය දැක්වූ ද දැඩි මතධාරී කල්ලිය මෙම ව්‍යාපාරය ව්‍යාප්ත වීම වැලක්වීම සඳහා පොලිස්-රාජ්‍ය ක්‍රියාමාර්ග ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත්, ශිෂ්‍ය නායකයන් සමගි කිරීමට ෂාඕ දැරූ උත්සාහය, සිදුවීම් මඟින් වේගයෙන් අභිබවා ගියේය.

දශක ගනනාවකට පසු, සෝවියට් නායකයෙකුගේ පලමු රාජ්‍ය සංචාරය සඳහා මිහායිල් ගොර්බචෙව් පැමිනීමට මොහොතකට පෙර, මැයි 13 වන දින සිසුහු පිරිසක් ටියනන්මෙන් චතුරශ්‍රයට ගොස් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු වන තෙක් උපවාසයක් ආරම්භ කලහ. සිසුන්, කම්කරුවන් සහ අනෙකුත් පුරවැසියන් විශාල වශයෙන් චතුරශ්‍රයට ගලා ඒමත් සමග උපවාසය වේගයෙන් වාඩිලා ගැනීමක් දක්වා ව්‍යාප්ත විය. බොහෝ දෙනෙකුට ගොර්බචෙව් සහ ඔහුගේ ග්ලැස්නොස්ට් හෝ “විවෘතභාවය” පිලිබඳ මිත්‍යාවන් තිබුනි. මෙම වාඩිලාගැනීම සීසීපී නායකයින්ට විශාල ලැජ්ජාවක් විය. ඔවුන් නිල පිලිගැනීම චතුරශ්‍රයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර අවසාන මොහොතේ ස්ථාන මාරු කිරීමට සිදු විය.

ඓතිහාසික චීන-සෝවියට් සමුළුවට බාධා නො කරන ලෙස ෂාඕ කල ප්‍රසිද්ධ ආයාචනා නො තකා මැයි 15 වන දින කම්කරුවෝ හා ශිෂ්‍යයෝ මිලියන භාගයක් ටියනන්මෙන් චතුරශ්‍රයේ රැස්ව සිටියහ. මැයි 17 වන දින මිලියන දෙකක ජනතාව බීජිං නුවරට පෙලපාගි ගියහ. පලාත් දහඅටක මහා පරිමාන විරෝධතා වාර්තා කෙරුනි. නිදසුනක් වශයෙන්, මැයි 18 වන දින, පලාත් අගනුවර වන හෙබෙයි හි, 150,000 ක ජනතාවක් පාරට බැස්සෝ ය. ෂැංහයි නගරයේ කම්කරුවෝ, ගුරුවරු, රජයේ නිලධාරීහු, ශිෂ්‍යයෝ සහ විද්‍යාඥයෝ 100,000 ක් විරෝධතාවලට සහභාගී වූහ. 

එක් ශාස්ත්‍රඥයෙකු සඳහන් කල පරිදි: 

මැයි මැද භාගයේ දැවැන්ත පෙලපාලිවල වැදගත්කම වූයේ හුදෙක් සහභාගී වූවන්ගේ අතිමහත් සංඛ්‍යාව නො ව ඔවුන්ගේ සමාජ සංයුතිය යි. සිසුන්ට අමතරව බුද්ධිමතුන් හා මාධ්‍යවේදීන් සමඟ පක්ෂ සාමාජිකයින්, රජයේ කාර්යාල සේවකයින්, පාසල් ගුරුවරුන්, බීජිංහි ග්‍රාමීය තදාසන්න ප්‍රදේශවලින් පාගමනින් පැමිනි ගොවීන් සහ වඩාත් වැදගත් ලෙස කම්හල් කම්කරුවන් සිය දහස් ගනනක් එකතු වී ඇත... පලමු ශිෂ්‍ය විරෝධතාවන්ගෙන් මසකට පසු, රජයට විරුද්ධව පෙලපාලි ගිය අය අතර සියලු නාගරික සමාජ හා වෘත්තීය කන්ඩායම් නියෝජනය විය. සියලු දෙනා ආඩම්බරයෙන් තම ආයතන සහ වැඩ ඒකක හදුන්වන තමන්ගේ ම බැනර් ඔසවා ගෙන ගියහ. එය හරියට ඩෙන් ෂියාඕපින්ගේ පාලන තන්ත්‍රයට එරෙහිව මුළු නගරය ම ස්වයංසිද්ධව නැගී සිටියාක් මෙනි. [ඩෙන් ෂියාඕපින් යුගය, මොරිස් මීස්නර්, පි .428 

සීසීපී නිලධරයට ශිෂ්‍ය නායකයින්ගේ සමහර ඉල්ලීම් සපුරාලීම ගැන සලකා බැලිය හැකි වූ අතර, කම්කරු පන්තිය සමඟ ඇති ඕනෑම සම්මුතියක් ප්‍රශ්නයෙන් බාහිර විය. මිල නියම කිරීම, රැකියා සහතික කිරීම සහ සමාජ සේවා පවත්වා ගැනීම සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම් ධනේශ්වර පුනස්ථාපනයේ න්‍යායපත්‍රය හරහා කෙලින් ම කපා ගෙන ගියේය. එපමනක් නො ව, ඔවුන්ගේ විරුද්ධත්වය එල්ල වූයේ සමස්ත නිලධර යාන්ත්‍රනයට සහ සීසීපී නායකයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් රැස් කරන ලද ධනය හා වරප්‍රසාදයන්ට ය.

ඩෙන්ග්ගේ උසිගැන්වීම තුල, ස්ටැලින්වාදී තන්ත්‍රය ක්‍රියාත්මක විය. සාඕ පසෙකට දමා නිවාස අඩස්සියේ තබන ලදී. ලී පෙන්ග් විසින් මැයි 20 වන දින යුද නීතිය පැනවන ලදී. කෙසේ වෙතත්, බිය ගැන්වීම් තිබියදී වුවත් මිලියනයකට අධික පිරිසක් පසුදා සහ නැවත මැයි 23 වන දින ටියනන්මෙන් චතුරශ්‍රයට රැස් වූහ. මැයි 23 වන දින හමුදාව පැමිනි විට කම්කරුවන් සහ සිසුන් දහස් ගනනක් සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ ආයුධ ජනතාව වෙත එල්ල නො කරන ලෙස ලෙස යි. බොහෝ භට පිරිස් කඳුළු සැලීමට පටන් ගත් අතර තම ට්‍රක් රථ පවා ආපසු පදවාගෙන ගියහ. ඊ ලඟ දවසේ, සොල්දාදුවන් කම්කරුවන් සමඟ එක්වීම වලක්වනු පිනිස බීජිං කලාපයේ හමුදා කාන්ඩවලට ඉවත් වීමට නියෝග කෙරුනි .

ජුනි 3-4 දිනවල ලේවැකි මර්දනය සඳහා දුර පලාත්වලින් හමුදා ගෙන්වා ගැනීමට ඩෙන්ග්ට සිදුවිය. සති දෙකක කාලය අතරතුර, විරෝධතාකරුවන් අතර දේශපාලන නායකත්වයේ අර්බුදය පැහැදිලි විය. ශිෂ්‍ය නායකයන් බෙදී ගිය අතර, වඩාත් ගතානුගතික ස්ථරයන් ටියනන්මෙන් චතුරශ්‍රයේ වාඩිලෑම අවසන් කරන බව ප්‍රකාශ කල අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වෙනත් නගරවලින් බීජිං නගරයට පැමිනි සිටි අයයි. වඩාත් රැඩිකල් කන්ඩායම්, රැඳී සිටීමට සපථ කලහ. කම්කරු පන්තියේ විශාල කොටස් සිසුන් ආරක්ෂා කිරීම හා විරෝධතා දිගට ම ගෙන යාමේ අධිෂ්ඨානය ප්‍රකාශ කලහ. තදාසන්න කම්කරු පන්තික ප්‍රදේශවල මාර්ග බාධක ඉදි කෙරුනු අතර මෝටර් බයිසිකලවල නැගුනු අය කන්ඩායම් ප්‍රයත්නයන් සම්බන්ධීකරනය කලහ.

කම්කරු ස්වාධීන සම්මේලනයේ සාමාජික සංඛ්‍යාව 20,000 දක්වා ඉහල ගියේ ය. බීජිංහි බලධාරීන් අඩපන වීමත් සමග, කම්කරුවන් ගමනාගමනය මෙහෙයවීම වැනි මූලික කටයුතු ඉටු කරමින් කාර්යයන් තම අතට ගැනීමට පටන් ගත්හ. පෙලපාලිවලට කම්කරුවන් සහභාගී වීම නිසා නිෂ්පාදන කටයුතු නතර විය. මැයි 25 වන දින මිලියනයක ජනතාවක් බීජිං හි තවත් දැවැන්ත විරෝධතාවක් පැවැත්වූහ.

පසුදා නිකුත් කෙරුනු සම්මේලනයේ ප්‍රකාශනයක් මෙසේ ප්‍රකාශ කලේ ය:

අපි [කම්කරු පන්තිය] මේ ජාතියේ නියම ස්වාමිවරු වෙමු. ජාතික කටයුතුවල දී අපට සවන් දිය යුතු ය. ජාතියේ පරිහානියට පත් මෙම කුඩා කල්ලියට … අපගේ නම උදුරා ගැනීමට හා සිසුන් මර්දනය කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමට හා මානව හිමිකම් පාගා දැමීමට කිසිසේත් ඉඩ නොදිය යුතු ය.

ජුනි 3 වන දින රාත්‍රියේ භට පිරිස් ටියනන්මෙන් චතුරශ්‍රය දෙසට ගමන් කරන විට ධෛර්යයේ කිසිදු අඩුවක් නො තිබුන ද ප්‍රධාන සටන් සිදු වූයේ බීජීං හි කම්කරු පංතියේ තදාසන්න ප්‍රදේශවල ය. චතුරස්‍රයේ ම ඉතිරිව සිටියේ සාපේක්ෂව කුඩා සංඛ්‍යාවක් පමනී. එක් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් මෙසේ පැවසීය. “සන්නද්ධ රථ මාර්ග බාධක උඩින් ගියා, කාර් බස් හැප්පුවා. නිරායුද මිනිස්සුන්ට තිබුනේ ගඩොල් විතරයි … ඔවුන්ට ආපසු ලැබුනේ වෙඩි උන්ඩ, මැෂින් තුවක්කුවලින් ඔටෝමැටික් තුවක්කුවලින් උන්ඩ වැස්සක් ආවා. ” [මීස්නර්, පිටුව 458 හි උපුටා දක්වා ඇත]

තවත් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් මෙසේ ලිවීය. 

මුළු බීජිං නගරය ම දැඩි කෝපයක හා උද්ඝෝෂන තත්වයක තිබෙන බවක් පෙනෙන්නට තිබුනි. චන්ගන් මාවත දෙපස වීදිවල දී, වෙඩි තැබීම් අතර කාල පරාසයන් අතරතුර අපි දහස් ගනනක් රිද්මයානුකූලව කෑ ගැසූවා: “උඹලා සත්තු!” “ලී පෙන් - ෆැසිස්ට්වාදියා!”, “වැඩ වර්ජනය කරනු!” එහෙත් හමුදාව බිම ඇන තියාගන්න හෝ ඉවත් වීමට තරම් ඉක්මන් නො වූ හෝ උන්ඩවලට ඇහුම්කන් නො දුන් අය මරාදාමින්.. මිනිසුන් නිරන්තරයෙන් බිම වැටී අසල රෝහලකට ගෙන යමින් සිටියත්, කෝපයේ මනෝභාවය භීතියේ ඕනෑම හැඟීමක් මුලුමනින්ම යටපත් කලා. [මීස්නර්, පි .460 හි උපුටා දක්වා ඇත]

නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කිරීමෙන් කෝපයට පත් කම්කරුවන් අතෙහි වූ ඕනෑම දෙයකින් සන්නද්ධ ව මිලිටරි ආරක්ෂක කන්ඩායම්වලට පහර දී ට්‍රක් රථ හා සන්නද්ධ වාහනවලට ගිනි තැබූහ. සමූලඝාතනය පිලිබඳ පුවත රටේ වෙනත් ප්‍රදේශවලට පැතිර යත්ම, විරෝධතා සහ වැඩ වර්ජන පුපුරා ගිය අතර, ඊට එරෙහිව තන්ත්‍රය ප්‍රතිචාර දැක්වූයේ සමූහ අත්අඩංගුවට ගැනීම් සමගිනි. ශිෂ්‍ය නායකයින් සාපේක්ෂව සැහැල්ලු සැලකිලි ලැබුව ද, ආන්ඩුවේ පූර්න බලය කම්කරු පන්තිය මතට යොදන ලදි. තන්ත්‍රය මහජනතාව අතර බිය කාවැද්දීමට ප්‍රසිද්ධියේම කම්කරුවන් ඝාතනය කලේ ය.

අධිෂ්ඨානය හා නැවුම් ධෛර්යය අඩු නො වුන ද, දේශපාලන නායකත්වයක් නො තිබුනි. 1949න් පසු සීසීපී තන්ත්‍රයේ දරුනුත ම අර්බුදය සහ කම්කරු පන්තියේ කැරලිකාරී ස්වභාවයේ නැගිටීම මධ්‍යයේ, මෙම දැවන්ත ව්‍යාපාරය මෙහෙයවීමට විප්ලවවාදී පක්ෂයක් හෝ විප්ලවවාදී නායකත්වයක් නො තිබුනි. ඔවුන්ගේ දෘෂ්ටිය කෙතරම් රැඩිකල් වුවත්, ව්‍යාපාරය විසින් ස්වයංසිද්ධව ඉහලට ඔසවා තැබූ නායකයින් උත්සාහ කලේ ප්‍රතිසංස්කරන සඳහා පාලන තන්ත්‍රයට බලපෑම් කිරීමට මිස එය පෙරලා දැමීමට නො වේ.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ප්‍රතිචාර දක්වයි

මෙම වැදගත් සිදුවීම් මධ්‍යයේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ජූනි 8 වන දින “චීනයේ දේශපාලන විප්ලවයේ ජයග්‍රහනය!” සහ ජුනි 22 දා “චීන කම්කරුවන්ට එරෙහි ස්ටැලින්වාදී ත්‍රස්තවාදය නවත්වනු!” යනුවෙන් ප්‍රකාශන දෙකක් නිකුත් කලේ ය. එය ස්ටැලින්වාදී ම්ලේච්ඡත්වය හෙලා දුටුවා පමනක් නොව, සිදුවීම් පිලිබඳ පැහැදිලි විශ්ලේෂනයක් සපයා, අවශ්‍ය පාඩම් උකහා ගනිමින් බීජිං හි පරිහානියට පත් මාඕවාදී නිලධරයට එරෙහිව කම්කරු පන්තියට සටන් කල හැකි දේශපාලන ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කලේ ය.

ෆෝර්ත් ඉන්ටර්නැශනල්, සඟරාව ජනවාරි-ජූනි 

චීන විප්ලවයේ ජයග්‍රහන එම අවස්ථාවේ දී මුළුමනින්ම විනාශ වී නැති බවත්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් විකෘති වූ කම්කරු රාජ්‍යයක් ලෙස ගුනාංගීකරනය කර තිබූ පරිදි චීනය පවතින බවත් වටහා ගත් ජාත්‍යන්ර කමිටුව තම පලමු ප්‍රකාශනයේ දී, සීසීපී තන්ත්‍රය නෙරපා හැරීම, 1949 විප්ලවයෙන් පසුව පිහිටුවන ලද දේපල සම්බන්ධතා ආරක්ෂා කිරීම හා ව්‍යාප්ත කිරීම මෙන් ම ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස අව්‍යාජ කම්කරු රාජ්‍යයක් ගොඩනැගීම සඳහා දේශපාලන විප්ලවයක් ඉල්ලා සිටියේ ය.

සමූල ඝාතනයෙන් දින හතරකට පසු පලමු ජාත්‍යන්තර කමිටු ප්‍රකාශනය මෙසේ සඳහන් කලේ ය:

අර්බුදයේ වර්තමාන අවධියේ ක්ෂනික ප්‍රතිඵලය කුමක් වුවත්, ටියනන්මෙන් චතුරශ්‍රයේ සිදු වූ සමූලඝාතනය චීනයේ දේශපාලන විප්ලවය අවසන් කර නැත. ඒ වෙනුවට, දැන් රුධිරයෙන් බෞතීස්ම කෙරී ඇති විප්ලවය නව හා දේශපාලනික වශයෙන් වඩාත් සවිඥානික මට්ටමේ වර්ධනයකට පිවිසෙනු ඇත. මහජන විරෝධතාවල පීඩනය යටතේ ස්ටැලින්වාදී තන්ත්‍රය ප්‍රතිසංස්කරනය කල හැකි ය යන බොලඳ මිත්‍යාවන් සුනුවිසුනු වී ගොස් තිබේ. පසුගිය සතියේ සිදු වූ ඛේදනීය සිදුවීම් බලගතු ලෙස සනාථ කලේ කම්කරු පන්තිය විසින් ස්ටැලින්වාදී නිලධරය විප්ලවීය ලෙස පෙරලා දැමීමේ අවශ්‍යතාව පිලිබඳව හතරවැනි ජාත්‍යන්තරය විසින් ඉදිරිපත් කරන ලද අවධාරනය යි.[Fourth International (හතරවන ජාත්‍යන්තරය), 16 වන වෙළුම, අංක 1-2, 1989 ජනවාරි-ජූනි, පිටුව 2]

විදේශ ප්‍රාග්ධනය සඳහා ඇති අවස්ථාවන් පිලිබඳව තම දෑත් අතුල්ලමින් සිටි අධිරාජ්‍යවාදී නායකයින්ගේ කුහක කිඹුල් කඳුළු හා අද දක්වා ම විරෝධතා ව්‍යාපාරය ප්‍රති-විප්ලවවාදී යැයි හංවඩු ගසනු ලබන, ස්ටැලින්වාදී තන්ත්‍රයේ මුසාවන් ද එම ප්‍රකාශනයෙන් හෙලිදරව් කෙරුනි. බටහිර මාධ්‍යයන් ටියනන්මෙන් චතුරශ්‍රයේ ශිෂ්‍ය විරෝධතා කෙරෙහි අවධානය යොමු කල අතර, පාලන තන්ත්‍රයේ ප්‍රධාන ඉලක්කය වූයේ කම්කරු පන්තිය බව ජාත්‍යන්තර කමිටුව වහා ම වටහා ගත්තේය.

එය මෙසේ සඳහන් කලේ ය:

ඇත්ත වශයෙන්ම, පසුගිය සතියේ සිදු වූ සමූහඝාතන චීනයේ ධනවාදය පුනස්ථාපනය කිරීමට හා එහි ආර්ථිකය ලෝක අධිරාජ්‍යවාදයේ ව්‍යුහයට නැවත ඒකාබද්ධ කිරීමට බීජිං ස්ටැලින්වාදීන් විසින් ක්‍රමානුකූලව කටයුතු කල දශකයක දේශපාලනික කූටප්‍රාප්තිය යි. බීජිං තන්ත්‍රය විසින් මුදා හරින ලද ත්‍රස්තවාදයේ ප්‍රධාන අරමුන වන්නේ චීන ජනතාව බිය ගැන්වීම සහ චීන විප්ලවයේ සමාජ ජයග්‍රහහන හිතාමතා ම දිය කර හැරීමට එරෙහි සියලු විරුද්ධත්වයන් මැඩපැවැත්වීම යි. [එම පි.1]

ජාත්‍යන්තර කමිටුව මෙසේ අනතුරු ඇඟවී ය:

ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් චීන නිර්ධන පංතිය තීරනාත්මක ලෙස පරාජයට පත් කිරීමේ ප්‍රතිවිපාක (මෙය කිසිසේත් සාක්ෂාත් කර ගෙන නැත) වනු ඇත්තේ චීන විප්ලවයේ ඉතිරිව ඇති සියලු සමාජ ජයග්‍රහන සම්පූර්නයෙන් දිය කර හැරීම හා නව ධනවාදී පදනම් මත ආර්ථිකය අසීමිත ලෙස ප්‍රතිසංවිධානය කිරීම යි. [එම පි.3]

ජාත්‍යන්තර කමිටුවේ කාලෝචිත ප්‍රතිචාරය කෙලින්ම පැන නැගුනේ, බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ භ්‍රෂ්ටයන්ට එරෙහිව එය ගෙන ගොස් තිබූ දේශපාලන අරගලයෙන් සහ 1988 අගෝස්තු මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද එහි ජාත්‍යන්තර ඉදිරිදර්ශන ලේඛනය හා ඊට පසු වර්ධනයන්ගෙනි. කවිපය අනුගත වී තිබුනේ, එරෙහිව සටන් කිරීම සඳහා 1953දී ජාත්‍යන්තර කමිටුව ආරම්භ කොට තිබූ දේශපාලන බලවේගයන්ට, එනම් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වූ අරගලය අතහැර දමා, කම්කරු පන්තිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, වෘත්තීය සමිති, ධනේශ්වර ජාතිකවාදය සහ විශේෂයෙන් ස්ටැලින්වාදයට යටත් කිරීමට උත්සාහ කල පැබ්ලෝවාදී අවස්ථාවාදයට ම ය. 

“ට්‍රොට්ස්කිවාදය සහ චීන විප්ලවය” යන මාතෘකාව යටතේ ටියනන්මෙන් චතුරශ්‍ර සංහාරය ආසන්නයේ ප්‍රකාශයට පත් කරන ලද  Fourth International (හතරවැනි ජාත්‍යන්තරය) ජනවාරි-ජූනි කලාපයේ කතුවැකිය, පැබ්ලෝ සහ මැන්ඩෙල් මෙන් ම කවිප භ්‍රෂ්ටයින් ද මාඕවාදයට අනුගත වීමට එරෙහි ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය අරගලය පිලිබඳ ශේෂ පත්‍රයක් සැපයී ය. 

ජාත්‍යන්තර කමිටුවේ ආරම්භය සනිටුහන් කරමින්, 1953 දී ජේම්ස් කැනන් විසින් ලියන ලද විවෘත ලිපිය, පැබ්ලෝ සහ මැන්ඩෙල් චීනයේ මාඕවාදී තන්ත්‍රයට අනුගත වීම ද, තියුනු වෙමින් තිබූ සමාජ ආතතීන් මධ්‍යයේ, 1952 දී සමූහ වශයෙන් අත්අඩංගුවට ගෙන සිටි චීන ට්‍රොට්ස්කිවාදීන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීම ද හෙලා දකින ලදී. චීන ට්‍රොට්ස්කිවාදීන් මර්දනය කිරීම ප්‍රසිද්ධියට පත් කිරීමට හා ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල සහයෝගය බලමුලු ගැන්වීමට ගත් උත්සාහයන් පැබ්ලෝ හිතාමතා ම අවහිර කලේ ය. ඔහු අවඥාවෙන් යුතු ව මෙසේ ප්‍රකාශ කලේ : “මාඕ සේතුංගේ විප්ලවයේ ජයග්‍රහනය හා සසඳන විට ට්‍රොට්ස්කිවාදීන් සිය ගනනක් අත්අඩංගුවට ගැනීම නො වැදගත් ය.”

විවෘත ලිපියේ කැනන් මෙසේ සඳහන් කලේ ය:

විශේෂයෙන් ම කැරැලි ගැසීම යනු හතරවැනි ජාත්‍යන්තරයේ චීන අංශයේ දේශපාලන ස්ථාවරය පිලිබඳ ව පැබ්ලෝ විසින් පෝෂනය කර ඇති අපහාසාත්මක සාවද්‍ය නිරූපනයකි. පැබ්ලෝ කන්ඩායම ඔවුන් “කන්ඩායම්වාදීන්” ලෙසත්, “විප්ලවයෙන් පලාගිය අය” ලෙසත් නිරූපනය කර ඇත. පැබ්ලෝ කන්ඩායම හිතාමතාම නිර්මානය කරන ලද ධාරනාවට පටහැනි ලෙස චීන ට්‍රොට්ස්කිවාදීහූ, චීන නිර්ධන පංතියේ අව්‍යාජ නියෝජිතයන් ලෙස ක්‍රියාකලහ. ඔවුන්ගේ ම වරදකින් ඔවුන් මාඕ තන්ත්‍රයේ ගොදුරු බවට පත්වී ඇත… නමුත් ස්ටැලින්වාදය කෙරෙහි වූ පැබ්ලෝගේ අවිරෝධී මාවත, නො වැලැක්විය හැකි ලෙස ඔහු මෙහෙය ‍වන්නේ මාඕ තන්ත්‍රයේ රෝස වර්නය ස්පර්ශ කිරීම සඳහා අපේ චීන සහෝදරවරුන් පෙනී සිටින ස්ථීර ප්‍රතිපත්තිමය ස්ථාවරය මත අළු පැහැයන් තවරන අතර ය.

කවිප නායකත්වය 1963 දී සමාජවාදී කම්කරු පක්ෂය නැවත පැබ්ලෝවාදීන් සමඟ එක්වීමට විරුද්ධ වූ නමුත් ස්ටැලින්වාදය කෙරෙහි එහි ආකල්පය වඩ වඩාත් පැබ්ලෝවාදීන්ගේ ආකල්පයට සමාන විය. 1960 ගනන්වල සිට, කවිප හිටපු ජාතික ලේකම් මයිකල් බන්ඩා, මාඕගේ සංස්කෘතික විප්ලවය හා රතු රැකවලුන්ගේ ව්‍යාපාරය අගය කරමින් හා මාඕගේ ගරිල්ලා උපක්‍රම ගෞරවයෙන් පිලිගනිමින් මාඕවාදය ප්‍රශංසාවට ලක් කරමින් සිටියේය. Fourth International (හතරවැනි ජාත්‍යන්තරය) සඟරාවේ කතුවැකිය ප්‍රකාශ කල පරිදි, බන්ඩාගේ මාඕවාදී නැමීම් සමග සටන් කිරීමට හා පැහැදිලි කිරීමට හීලි අසමත් වීම මාරාන්තික දේශපාලන ප්‍රතිවිපාක ඇති කිරීමට හේතු විය. කවිප නායකත්වය ස්ටැලින්වාදයට අනුගත විය. බෙදීමෙන් පසු භ්‍රෂ්ටයින්ගේ සියලු කන්ඩායම් නිර්ලජ්ජිත ව, ධනේශ්වර පුනස්ෂ්ථාපනයේ පෙරමුන ගත් ගොර්බචෙව් නායකත්වය පිම්බූහ.

රුසියානු හා චීන විප්ලවයන්හි ජයග්‍රහන ආපසු හැරවිය නො හැකි යැයි ප්‍රකාශ කල මයිකල් බන්ඩා වැනි අයට එරෙහිව ජාත්‍යන්ර කමිටුව, 1988 තම ඉදිරිදර්ශන ලියවිල්ල තුල, චීනයේ මාඕවාදී තන්ත්‍රය 1949 විප්ලවයෙන් පසු ස්ථාපිත කෙරුනු ජනසතු දේපල සම්බන්ධතා වේගයෙන් කඩා බිඳ දැමීමට ඉදිරියට යමින් සිටින බවට අනතුරු ඇඟවී ය. එය මෙසේ සඳහන් කලේ ය:

නැගෙනහිර යුරෝපය පුරා සහ චීනය, වියට්නාමය සහ ලාඕසය යන රටවල නිලධරයන් සෝවියට් සංගමයට වඩා වේගයෙන් තම ජාතික ආර්ථිකයන් ලෝක ධනවාදයේ ව්‍යුහයට ඒකාබද්ධ කිරීම කරා ගමන් කරමින් සිටී. මෙම ක්‍රියාවලිය චීනයේ වඩාත්ම දියුනු ය. මාඕගේ මෘතදේහය තවමත් මහජන ප්‍රදර්ශනය සඳහා එම්බාම් කර තබා ඇති නමුත් ඔහුගේ උරුමය මේ වන විටත් කුනුවීමේ ඉහල මට්ටමක පවතී. ඔහුගේ අනුප්‍රාප්තිකයන් සැලසුම්ගත ආර්ථිකයේ පැවති ඕනෑම දෙයක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ. 1949 න් පසු සාමූහිකකෙරුනු සියලු ම ඉඩම් පාහේ පුද්ගලික අයිතියට පවරා ඇති අතර, “ධනවත් වීම තේජාන්විත ය” යන ආනුභාව ලත් සටන් පාඨයේ ධජය යටතේ ධනවාදී සබඳතා ගම්බද ප්‍රදේශවල වර්ධනය වෙමින් පවතී.

යන්තම් මාස නවයකට පසු, ටියනන්මෙන් චතුරශ්‍ර සංහාරය මාඕවාදයේ ප්‍රති-විප්ලවවාදී ස්වභාවය සනාථ කලේය. ඒ ගැන කල් තියා අනතුරු ඇඟ වූ හා චීන කම්කරු පන්තිය සඳහා පැහැදිලි ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කල එකම දේශපාලන පක්ෂය ජාත්‍යන්තර කමිටුව යි.

Fourth International (ෆෝර්ත් ඉන්ටර්නැශනල්) කතුවැකිය මෙසේ පැහැදිලි කලේ ය:

1985-86 භේදයේ දී එකිනෙකාට ප්‍රතිවිරුද්ධ ප්‍රවනතා දෙක, අද චීන සිදුවීම්වල ප්‍රතිවිරුද්ධ පැතිවල රැඳී සිටිති. ජාත්‍යන්තර කමිටුව නියෝජනය කරන කම්කරු පංතික ජාත්‍යන්තර ප්‍රවනතාවය, ජාත්‍යන්තර සමාජවාදය සහ දේශපාලන විප්ලවයේ නාමයෙන් චීන කම්කරුවන්ගේ හා සිසුන්ගේ අරගලය ආරක්ෂා කරයි. කවිප භ්‍රෂ්ට නායකත්වය විසින් නියෝජනය කෙරෙන සුලු ධනේශ්වර ජාතිකවාදී ප්‍රවනතාවය, සියල්ලටමත් වඩා, හීලි, බන්ඩා සහ ස්ලෝටර්, එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ස්ටැලින්වාදීන්ට සහයෝගය දක්වති. 

චීන විප්ලවය 

හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛාවක් ලෙස චීනයේ විප්ලවවාදී පක්ෂයක් පිහිටුවීමට චීනයේ පමනක් නොව ජාත්‍යන්තරව ද 20 වන සියවසේ කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම් අවබෝධ කර ගැනීම තීරනාත්මක ය. 1989 ජුනි 8 වන දින ජාත්‍යන්ර කමිටු ප්‍රකාශනය, චීනය තුල මාඕවාදයට එරෙහි අව්‍යාජ මාක්ස්වාදය එනම් ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ තීරනාත්මක ප්‍රශ්න පිලිබඳ ව සංක්ෂිප්ත සාරාංශයක් සැපයී ය. මාඕවාදය සෝවියට් ස්ටැලින්වාදයට විප්ලවීය විකල්පයක් නො ව, “තනි රටක සමාජවාදය” පිලිබඳ එකම ප්‍රතිගාමී ජාතිකවාදී වැඩපිලිවෙල තුල මුල් බැස ගත් චීන ප්‍රභේදයක් බව එය පැහදිලි කලේ ය.

ප්‍රකාශය මෙසේ පැහැදිලි කලේ ය:

බීජිං තන්ත්‍රයේ පරිනාමය, මාඕවාදය හුදෙක් ස්ටැලින්වාදයේ ප්‍රගතිශීලී ප්‍රභේදයක් පමනක් නො ව, ට්‍රොට්ස්කි හා හතරවැනි ජාත්‍යන්තරයේ යල්පැනගිය “සම්භාව්‍ය” මාක්ස්වාදය ඉක්මවා ගිය අව්‍යාජ විප්ලවවාදී දෘෂ්ටිවාදයක් බව පසුගිය අවුරුදු 40 පුරා ප්‍රකාශ කර ඇති සියලු සුලු ධනේශ්වර ප්‍රවනතාවන් අවලංඟු කල ඓතිහාසික චෝදනා පත්‍රයකි. මෙම මතයේ වඩාත්ම දැඩි ප්‍රකාශකයින් වන පැබ්ලෝවාදීන්ට අනුව මාඕවාදය පෙන්නුම් කලේ, සමාජවාදය අත්පත් කර ගැනීම, ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මත පදනම් වූ ජාත්‍යන්තර නිර්ධන පංතික පක්ෂයක් ගොඩනැගීම මත රඳා නො පවතින බව යි. ඒ වෙනුවට, ප්‍රධාන වශයෙන් ගොවි ජනතාව හෝ කම්කරු පන්තික නොවන අනෙකුත් බලවේග මත පදනම් වූ පක්ෂවලට බලයට පැමින හා ඊට පසු, ජාතික ආර්ථිකයක රාමුව තුල සමාජයේ සමාජවාදී පරිවර්තනය සිදු කල හැකි ය. මෙම ක්‍රියාවලියට, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම හා (රාජ්‍ය) බලය සඳහා තමන්ගේ ම සංවිධාන නිර්මානය කිරීම අවශ්‍ය නො වී ය.

මෙම තර්කය යථාර්ථයේ දී" පොදුවේ ස්ටැලින්වාදය ද විශේෂයෙන් ම මාඕ සේතුංගේ ප්‍රතිපත්ති වෙනුවෙන් ද විචක්ශනශීලී ක්ෂමාලාපයකට වඩා වැඩි දෙයක් නො වේ. එය සේවය කලේ , 1927 දී චියැං කායි-ෂෙක් කොමියුනිස්ට් පක්ෂයේ හිස ගසා දැමීමෙන් පසු, ස්ටැලින්වාදීන් විසින් චීන නිර්ධන පංතිය අතහැර දැමීම නීත්‍යානුකූල කිරීමට ය. චීන ධනේශ්වරය සමග සම්මුති ගැසීමේ ස්ටැලින්ගේ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වූ මෙම පරාජයෙන් පසු, මාඕ උකහා ගත් “පාඩම” වූයේ, නාගරික නිර්ධන පංතිය මත විප්ලවවාදී පක්ෂයේ වර්ධනය පදනම් කිරීම නිෂ්ඵල බව යි. ඒ වෙනුවට කොමියුනිස්ට් පක්ෂය පදනම් විය යුතු ව තිබුනේ තවත් සමාජ බලවේගයක් වන ගොවි ජනතාව මත බව යි.

1949 චීන විප්ලවය, දියුනු ධනේශ්වර රටවල් තුල මෙන් ම, දෙවන ලෝක යුද්ධය ඉක්බිත්තේ චීනය වැනි කල් පසු වූ ධනේශ්වර වර්ධනයක් සහිත රටවල් තුල ද මතු වූ විප්ලවවාදී අරගල රැල්ලක කොටසක් විය. ප්‍රතිගාමී හා අර්බුදයෙන් ඔද්දල්ව පැවති කුවොමින්ටෑං තන්ත්‍රය පෙරලා දැමීම, රට බෙදා තිබූ ද දරිද්‍රතාව හා පසුගාමිත්වයේ ගිල් වූ ද අධිරාජ්‍යවාදයට එරෙහි දැවැන්ත පහරක් විය. එය ප්‍රකාශ කලේ ආර්ථික ආරක්ෂාව, මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතිවාසිකම් සහ දශක ගනනාවක දේශපාලන නැගිටීම් හා යුද්ධයෙන් පසු යහපත් ජීවන තත්වයක් සඳහා වූ ජනගහනයේ අති බහුතරයකගේ අභිලාෂයන් ය.

1949 චීන විප්ලවයේ දී ජනතා විමුක්ති හමුදාව බෙයිජිනයට ඇතුලුවෙයි 

කෙසේ වෙතත්, 1925-27 අතරතුරු දෙවැනි චීන විප්ලවය ස්ටැලින් විසින් පාවදීමෙන් ඉක්බිත්තේ, 1949 දී මාඕ සේතුං විසින් ප්‍රකාශයට පත් කරන ලද විප්ලවයේ ගමන් මග හා පසුව ඇති වූ මහජන චීන සමූහාන්ඩුවේ පරිනාමය, සීසීපියේ ආධිපත්‍ය දැරූ ස්ටැලින්වාදය විසින් විනාස කොට විකෘති කරන ලදී. ස්ටැලින් ඉතා තරුන සීසීපීය ධනේශ්වර ජාතිකවාදී කුවොමින්ටෑනයට යටත් කිරීමේ ප්‍රතිපලය, 1927 අප්‍රේල් මස දී ද, පසුව නැවත වතාවක් 1927 මැයි මාසයේ දී ද චීන කොමියුනිස්ට්වාදීන්ට හා කම්කරු පන්තියට දරුනු ප්‍රහාරයකට මුහුන දීමට සිදුවීමයි. නො නවතින විප්ලව න්‍යාය මත පද පදනම් ව, ස්ටැලින්ගේ පාවාදීම පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනයට සහාය දුන් සීසීපී නායකයින් හා සාමාජිකයින් නෙරපා හරින ලදී.

සීසීපීය ගොවි ජනතාව වෙත හැරීම හා එහි ගොවි හමුදාවන් නගර හා පුරවරයන්ට ඇතුළු වන විට කම්කරු පන්තිය මුහුන දෙන විභව අන්තරායන් ගැන ට්‍රොට්ස්කි 1932 දී අනතුරු ඇඟවී ය. දෙවන ලෝක සංග්‍රාමයේ අවසානය හා ජපාන අධිරාජ්‍යවාදයේ පරාජයෙන් පසුව මාඕවාදී නායකත්වය, මොස්කව් තන්ත්‍රය විසින් ජාත්‍යන්තර ව ස්ටැලින්වාදී පක්ෂවලට නියම කල පිලිවෙත අනුගමනය කරමින් මුලින් උත්සාහ කලේ, අධිරාජ්‍යවාදය සමඟ යුද කාලීන සන්ධානය දිගට ම පවත්වා ගෙන ගෙන යාමට හා චියංකායි-ෂෙක් සමග සභාග රජයක් පිහිටුවීමට ය. එය කල්පසුවී 1947 ඔක්තෝම්බර් මාසයේ දී පමනක්, කුවොමින්ටෑනය බලයෙන් පහ කිරීම ඉල්ලා සිටියේ ය. සීසීපීය කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට කිසිදු උත්සාහයක් නො ගත් අතර, එය නගරවලට ඇතුළු වෙමින්, “නව ප්‍රජාතන්ත්‍රවාදයක්” පිලිබඳ මාඕගේ ඉදිරිදර්ශනය සහ සුලු ධනේශ්වරය හා ජාතික ධනේශ්වරයේ සන්ධානයක කොටසක් ලෙස පුද්ගලික දේපල ආරක්ෂා කිරීමට පියවර ගත්තේ ය.

චීන ට්‍රොට්ස්කිවාදී පෙන්ග් ෂුෂි සිය ලිවලිවල, වැටුප් හා පීඩාකාරී තත්වයන් සම්බන්ධයෙන් කම්කරුවන්ගේ වැඩ වර්ජන කුරිරු මර්දනයකට ලක් කල බව සඳහන් කරමින්, නව සීසීපී තන්ත්‍රය කම්කරු පන්තිය කෙරේ දක්වන සතුරුකම අවධාරනය කලේ ය. ඔහුගේ එක් උදාහරනයක් උපුටා දක්වනනෙමි: 

හෝපේ පලාතේ චිං හ්සිං ගල් අඟුරු ආකරවලදී, කම්කරුවන් සෝවියට් උපදේශකයින් හා විශේෂඥයින්ගේ කුරිරුකමට හා අහංකාරයට එරෙහිව කැරලි ගැසූ විට [1950 මැයි මාසයේදී] සීසීපීය කැරැල්ල මැඩපැවැත්වීම සඳහා විශාල හමුදා භට පිරිසක් යැවී ය. මියගිය හෝ තුවාල ලැබූ කම්කරුවන් 200 කට වැඩි පිරිසකි. දහසකට වැඩි පිරිසක් නෙරපා දමා මැන්චූරියාවට හෝ සයිබීරියාවට පිටුවහල් කරනු ලැබී ය. [බලයේ සිටින චීන කොමියුනිස්ට් පක්ෂය, පෙන්ග් ෂුෂි, පි .132] 

සෝවියට් සංගමයේ නිලධාරිවාදී මාවත් ඔස්සේ, පුලල් ලෙස පුද්ගලි දේපල අහිමි කිරීමට හා මධ්‍යගත සැලැසුම්කරනයට මාඕ තන්ත්‍රය හැරුනේ, කොරියානු යුද්ධය විසින් නිර්මානය කරන ලද ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හා එක්සත් ජනපද අධිරාජයවාදය තුලින් “විමුක්තිය” පිලිබඳ අපේක්ෂාවන් දැකගත්, ධනේශ්වර ස්ථරයන් විසින් කරන ලද අභ්‍යන්තර කඩාකප්පල් කිරීම්වලින් පසුව පමනී. 1952 දෙසැම්බරයේ දී සීසීපී තන්ත්‍රය, කොරියානු යුද්ධය හා කම්කරු පන්තියේ වැඩෙන ප්‍රතිරෝධය මධ්‍යයේ චීන ට්‍රොට්ස්කිවාදීන් සහ ඔවුන්ගේ පවුල් සියල්ල ම වටලා සිරගත කලේ ය.

චීන ට්‍රොට්ස්කිවාදියා පෙන්ග් ෂුෂි 

සීසීපීය විසින් ගනු ලැබූ ආර්ථික පියවර මුල දී යුද්ධයෙන් විනාශ වූ ආර්ථිකයේ පුනර්ජීවනයකට තුඩු දුන්නේය. “තනි රටක සමාජවාදය” පිලිබඳ එහි ජාතික වශයෙන් සමෘද්ධිමත් වීමේ ඉදිරිදර්ශනය නො වැලැක්විය හැකි ලෙස ගමන් කලේ, නරක අතට හැරෙන ආර්ථික හා සමාජ කැලඹීම්වලට හා අර්බුදවලට ය. ඒ සඳහා සීසීපී නිලධරයට විසඳුමක් නො තිබුනි. එහි ප්‍රතිඵලය වූයේ කටුක අභ්‍යන්තර කල්ලිවාදී යුද්ධ සහ හදිසි පෙරලීම් හා හැරීම් ය. මාඕගේ “මහා ඉදිරි පිම්ම ” විසින් නිර්මානය කරන ලද සමාජවාදී සමාජයක් සඳහා වූ මනෝරාජික යෝජනා ක්‍රම අවසන් වුනේ, ආර්ථික ව්‍යසනයකින් හා මහා දුර්භික්ෂයකිනි . ලියු ෂාවෝකිගේ නායකත්වයෙන් යුත් කල්ලිවාදී ප්‍රතිමල්ලවයන් බර කර්මාන්ත කෙරෙහි අවධාරනය යොමු කරමින් නිලධාරිවාදී සැලැසුම්කරනයේ සෝවියට් ආදර්ශය අනුගමනය කල නමුත් මෙය විකල්පයක් නො සැපයී ය. 1961-63 සෝවියට් සංගමය සමග භේද වීම සහ සෝවියට් ආධාර හා උපදේශකයින් ඉවත් කර ගැනීමත් සමග, ආර්ථික අර්බුදය විශාල ලෙස නරක අතට හැරුනි.

අද දින විවිධ නව-මාඕවාදී ප්‍රවනතා ඉදිරියට ගෙන යන මාඕවාදී මිථ්‍යා කථාවලින් බොහොමයක් ව්‍යුත්පන්න වී ඇත්තේ, මාඕගේ ඊනියා මහා නිර්ධන පංතික සංස්කෘතික විප්ලවයෙන් වන අතර එය ශ්‍රේෂ්ට ද, කම්කරු පංතික හෝ විප්ලවවාදී ද නො වී ය. අතීත සංස්කෘතික වර්ධනයන් හෙලා දකිමින් හා විනාශ කරමින් හා එය ස්ටැලින්වාදී තුච්ඡකම් වලින් විස්ථාපනය කරමින්, එය සංස්කෘතිය කෙරෙහි මුළුමනින්ම ප්‍රතිගාමී ආකල්පයක් ගත්තේය. යථාර්ථයේ දී, “ධනවාදී මාවත් සොයන්නන් ” ලෙස හංවඩු ගැසු ඔහුගේ ප්‍රතිවාදීන් නෙරපා හැරීමේ අවසාන, මංමුලා සහගත උත්සාහය, මාඕගේ සංස්කෘතික විප්ලවය විය. එය වේගයෙන් පාලනයෙන් පිට දිග්ගැස්සී ගියේ, තන්ත්‍රයේ පැවත්මට ම තර්ජනය කෙරුනු ව්‍යාකූල හා දැඩි ලෙස ගැහුනු සමාජ අරගලයන්ට මගපාදමිනි. 1967 දී ස්වාධීන ෂැංහයි ජනතා කොමියුනය පිහිටුවමින් ෂැංහයි නගර කම්කරුවෝ “මූලස්ථානයට බෝම්බ හෙලනු” නම් මාඕගේ ආඥාව වචනානුසාරයෙන් ගෙන දැවන්ත වැඩ වර්ජනවල නිරත වූ විට, මාඕ හමුදාව යෙදවී ය.

ජාත්‍යන්තර කමිටු ප්‍රකාශය මෙසේ අදහස් දැක්වී ය:

කම්කරු පන්ති අරගලයේ මෙම පුපුරා යෑම පිලිබඳ මාඕවාදී නායකත්වයේ ආකල්පය සංස්කෘතික විප්ලවයේ “නිර්ධන පංති” ස්වභාවය පිළිබඳ ඔවුන්ගේ වංචනික ප්‍රකාශ හෙලිදරව් කලේ ය. නිලධරයන් වැඩ වර්ජිත කම්කරුවන් “ආර්ථිකවාදයට” යටත් වීම හෙලා දුටු අතර, මෙම කාලය තුල මාඕගේ ප්‍රධාන හොරනෑව වන සංස්කෘතික විප්ලව කන්ඩායමේ ප්‍රධානියා ෂැංහයි කම්කරු පංතියට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කලේ, “කම්කරුවන් වශයෙන් ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ වැඩ කිරීම යි . විප්ලවයට සම්බන්ධ වීම හුදෙක් දෙවැනි ය. එබැවින් ඔවුන් නැවත රැකියාවට යා යුතු” යැ යි ප්‍රකාශ කරමිනි. 

මාඕ සහ ඔහුගේ කල්ලිය “ධනවාදී මාවත් සොයන්නන්” හෙලා දකිමින් සමාජවාදයට වන ඔවුන්ගේ ඇල්ම ප්‍රකාශ කල ද, ඔවුන්ට විකල්පයක් ඉදිරිපත් කල නො හැකි විය. ස්වයංපෝෂිත චීනයක් පිලිබඳ මාඕගේ මනඃකල්පිතය ව්‍යසනයක් බව ඔප්පු වී තිබුනි. රට පුරා පැතිරී පැවති දැවැන්ත ආර්ථික හා සමාජීය ගැටලු විසඳීමට අපොහොසත් ව, සෝවියට් සංගමය සමඟ මිලිටරි ගැටුමකට මුහුන දුන් සීසීපී නිලධරය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ සෝවියට් විරෝධී සන්ධානයක් ඇති කර ගත් අතර එය චීනය ගෝලීය ධනවාදයට ඒකාබද්ධ වීමට පදනම දැමී ය. වෙලඳපොල ප්‍රතිසංස්කරන ආරම්භ කිරීමේ ගෞරවය ඩෙන් ෂියාඕපින්ට හිමිවන අතර, 1972 දී එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් සමඟ මාඕගේ එකඟතාවය විදේශ ආයෝජන හා බටහිර රටවල් සමඟ වෙලඳාම වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික පූර්ව කොන්දේසිය විය.

සංස්කෘතික විප්ලවය අවධියේ සිසුහු 

කෙසේ වෙතත් අධිරාජ්‍යවාදය හා ධනේශ්වර වෙලඳපොල දෙසට හැරීම කිසිවක් විසඳුවේ නැත. සංස්කෘතික විප්ලවය අතරතුර “අංක 2 ධනවාදී මාවත්කරුවා” ලෙස නෙරපා හරින ලද ඩෙන්ග් ෂියාඕපින් පුනරුත්ථාපනය කරන ලද අතර, 1976 දී මාඕගේ මරනයෙන් පසු ස්ටැලින්වාදී නිලධරයේ ප්‍රමුඛයා බවට පත්විය. 1978 සිට ඩෙන්ග් සිය පුළුල් “ප්‍රතිසංස්කරන හා විවෘත කිරීමේ” න්‍යාය පත්‍රය ආරම්භ කලේ ය: විදේශීය ආයෝජකයින් සඳහා විශේෂ ආර්ථික කලාප හතරක් පිහිටුවීම, ගම්බද ප්‍රදේශවල කොමියුන විසුරුවා හැරීම, පුද්ගලික ව්‍යවසායයන් සඳහා වූ සීමාවන් ඉවත් කිරීම සහ වෙලඳපොලට මිල නියම කිරීමට ඉඩ දීම එයට ඇතුලත් විය. එහි ප්‍රතිඵලය වූයේ විශේෂයෙන් ගම්බද ප්‍රදේශවල පෞද්ගලික ව්‍යවශාය විශාල වශයෙන් ව්‍යාප්ත වීම; සමාජ අසමානතාව, සීසීපී නිලධරයන්ගේ කොල්ලකෑම හ දූෂනය වේගයෙන් ඉහල යාම; වැඩෙන රැකියා විරහිතභාවය හා උද්ධමනය ඉහල යාම යි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශිෂ්‍ය විරෝධතා විසින් අවුළුවනු ලදු ව, 1989 දී පුපුරා ගියේ මෙම සමාජ වෙඩි බෙහෙත් ගබඩාව යි.

ටියනන්මෙන් චතුරශ්‍ර සංහාරය චීනයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියට, සහ හතරවන ජාත්‍යන්තරයට තීරනාත්මක අත්දැකීමක් විය. චීනයේ සිදුවීම් ජාත්‍යන්තර ව ස්ටැලින්වාදයේ අර්බුදය සමඟ මුළුමනින් ම බැඳුනු අතර, 1989 නොවැම්බරයේ බර්ලින් තාප්පය බිඳ දැමීම, නැගෙනහිර යුරෝපීය පාලන තන්ත්‍රයන් වේගයෙන් කඩා වැටීම සහ 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමේ පූර්වනිමිති විය.

සමූලඝාතනයට පෙර හා පසුව ජාත්‍යන්තරව සිදු වූ විරෝධතා සහ උද්ඝෝෂනවලට ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛා ආක්‍රමනශීලීව මැදිහත් වූයේ, ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශනයේ පිටපත් බෙදා හරිමින්, චීනය තුල දේශපාලන විප්ලවය ඉල්ලා සිටිමින් හා චීන සිසුන් හා පුරවැසියන් අතර ඇති ප්‍රශ්න පැහැදිලි කිරීමට උත්සාහ කරමිනි. මතුපිටින් බැලූ විට, යුද ටැංකි බීජීං නගරයට ඇදෙන විට දේශපාලන විප්ලවය පිලිබඳ ඕනෑ ම අපේක්ෂාවක් අවසන් වී ඇති බවක් පෙනෙන්නට තිබුන ද, යථාර්ථය වූයේ, සීසීපී තන්ත්‍රය ගැඹුරු අර්බුදයක ගිලී, ඉදිරියට යා යුතු ආකාරය හා විරුද්ධ ජනයාට මුහුන දෙන්නේ කෙසේ ද යන්න මත බෙදී යෑම යි.

ක්ෂනික ප්‍රතිඵලය වූයේ වඩාත් සීමිත ප්‍රතිසංස්කරන, වෙඳපොල තුල පාලනයක් හා මන්දගාමී වර්ධන වේගයකට කැමති වූ වූ ලී පෙන් හා චෙන් යුන් වැනි ඔහුගේ ආධාරකරුවන්ගේ පාලනය ශක්තිමත් කිරීම යි. බීජීනයේ විවාදය බැඳුනේ, මෙම කල්ලිය විසින් චීනයට ආදර්ශයක් ලෙස අවධාරනය කල නැගෙනහිර යුරෝපයේ හා සෝවියට් සංගමයේ වර්ධනයන් සමඟිනි. ලී පෙන්ග් හා චෙන් යුන් සීසීපී නිලධරයේ කොටස් නියෝජනය කල අතර ඔවුන්ගේ වරප්‍රසාද, රජය සතු ව්‍යවසායන් හා මධ්‍යගත සැලසුම්කරනය සමඟ බැඳී තිබුන ද, කම්කරු පන්තියේ නව නැගිටීමක් ගැන ඔවුහු දැඩි ලෙස බිය වූ අතර “ප්‍රතිසංස්කරන හා විවෘත කිරීමේ” ප්‍රතිපත්තිවලට දොස් පැවරූහ. 

කෙසේ වෙතත් ඩෙන්ග් අවධාරනය කලේ එවැනි ප්‍රවේශයක් ආර්ථික එකතැන පල්වීමට හේතු වන බවත් වෙලඳපොල ප්‍රතිසංස්කරනයේ නාටකාකාර වේගවත් කිරීමක් අවශ්‍ය බවත් ය. මහජන විරැකියාව මග හැරීමට හා සමාජ නොසන්සුන්තාව වැලක්වීමට ඉහල වර්ධන අනුපාත අවශ්‍ය විය. ඔහුගේ නව නැගීමට පදනම දැමූ 1992 ඩෙන්ග්ගේ දකුනේ සංචාරය, සෝවියට් සමූහාන්ඩුව විසුරුවා හැර දින කිහිපයකට පසු සිදු වීම අහම්බයක් නො වේ. පලමු ගල්ෆ් යුද්ධයේදී ඇමරිකානු ආයුධවලින් ඉරාකය විනාශ කිරීම දුටුවා වූ ද, මහජන විමුක්ති හමුදාව නවීකරනය කිරීම සඳහා මුදල් හා ආයුධ ලබා ගැනීමට ඩෙන්ග් දෙස බලා සිටියා වූ ද ඉහල පෙලේ මිලිටරි නායකයින්ගේ සහාය ඩෙන්ග්ට ලැබුනි. වඩා වැදගත් වන්නේ, ඔහුගේ ප්‍රතිවාදීන්ට ඉදිරිපත් කිරීමට විකල්ප ආර්ථික ඉදිරිදර්ශනයක් නොතිබීමයි. එය “තනි රටක සමාජවාදය” පිලිබඳ මාඕවාදී ඉදිරිදර්ශනයේ සම්පූර්න බංකොලොත්භාවයේ පිලිබිඹුවකි.

චීනය, අවුරුදු 30ක ඉදිරි ගමන

වසර තිහකට පසුව ද යටින් පවතින ආර්ථික ප්‍රතිවිරෝධතා හෝ භූ-දේශපාලනික උභතෝකෝටිකයන් කිසිවක් සීසීපීය විසින් ජයගෙන ඇත්තේ නැත. විශාල වශයෙන් පුළුල් වූ පොලිස් රාජ්‍ය පර්යාය මගින් මැඩපැවත් වූ සමාජ ආතතීන් වඩාත් තීව්‍ර වී ඇතිවා පමනී.

අසාමාන්‍ය ආර්ථික ප්‍රසාරනයක් සිදු වී ඇත. 1992 හා 2010 අතරතුර චීන ආර්ථිකය, 11 ගුනයකින් වර්ධනය විය. විකිපීඩියාවට අනුව, 1995 දී චීනය ලෝකයේ අටවන විශාලතම ආර්ථිකය වූ අතර, 2011 වන විට එය ජපානය අභිබවා දෙවන විශාලතම ආර්ථිකය බවට පත්විය. මෙම වර්ධන අනුපාතයන් රැඳුනේ, පලමුව, 1949 විප්ලවයේ ජයග්‍රහන, එනම්, උගත් හා පුහුනු ශ්‍රම බලකායක්, මූලික කර්මාන්ත හා යටිතල පහසුකම් නිර්මානය කිරීම මත හා දෙවනුව, ප්‍රමුඛ ලාභ ශ්‍රම වේදිකාව ලෙස ලෝක ආර්ථිකය තුල චීනයේ ස්ථානය මත ය . 1992න් පසු විදේශ තාක්‍ෂනය හා විශේෂඥ ඥානය සමග විදේශ ආයෝජන රට තුලට ගලා ආවේ ය. 

චීනය “අධිරාජ්‍යවාදීන්” ලෙස හඳුන්වන ව්‍යාජ වාම සංවිධාන ඇතුළු විවිධ විචාරකයෝ, ජාත්‍යන්තර හා ඓතිහාසික සන්දර්භයෙන් ඉරා දැමුනු වර්ධනය, වෙලඳාම සහ ආයෝජනය පිලිබඳ ආර්ථික දර්ශක ඩැහැ ගනිති. එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දරන දීර්ග-කාලීන අධිරාජ්‍යවාදී පර්යායට එරෙහිව චීනයේ ආර්ථික ව්‍යාප්තිය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව දැන් වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ.

චීනයේ ආර්ථික ව්‍යාප්තිය ඔවුන්ගේ ආර්ථික හා භූ-දේශපාලනික උත්සුකයන්ට අභියෝග නො කල තාක් දුරට, එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවත්හු ලාභ චීන ශ්‍රමයේ වාසී නෙලා ගැනීමට මනාප වූහ. ඔබාමා සහ දැන් ට්‍රම්ප් යටතේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය චීනය ඇමරිකානු ආධිපත්‍යයට අභියෝග කිරීම වැලක්වීම සඳහා සිය ආර්ථික මාංශ පේශි සහ මිලිටරි ශක්තියේ පූර්න බලය යොදා ගැනීමට අධිෂ්ඨානශීලීය. නිරතුරුවම එක්සත් ජනපදයෙන් බේරී සිටීමට නම් චීනය, “ජාත්‍යන්තර නීති මත පාදක පද්ධතිය” එනම් වොෂිංටනය විසින් කොන්දේසි නියම කරන, පවත්නා ලෝක අධිරාජ්‍යවාදී පර්යාය පිලිපැදිය යුතු ය.

වේගයෙන්යුද්ධයට ඇද වැටීම මධ්‍යයේ, ගැටුම් වලක්වා ගත හැකි එකම සමාජ බලවේගයට, එනම් චීනයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියට ආයාචනා කිරීමට සීසීපීය ඓන්ද්‍රීයව අසමත් ය. ස්ටැලින්වාදී නිලධරය අධිරාජ්‍යවාදයේ තර්ජනයට වඩා කම්කරුවන්ගේ දැවන්ත ව්‍යාපාරයක් ගැන බොහෝ සෙයින් භීතියට පත්ව සිටී. ඔවුන් සමාජ කාල බෝම්බයක් මත හිඳගෙන සිටිමින් සිටින බව හොඳින් දන්නා අතර, එය මිලිටරියට වැය කරනවාට වඩා අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වැය කරයි.

චීනයේ සමාජ අසමානතාවයේ දැවැන්ත වර්ධනය සිදුව ඇත්තේ , රාජ්‍ය ව්‍යවසායන් කොල්ලකෑම හා පුද්ගලීකරනය කිරීම, තොටිල්ලේ සිට මිනීවල දක්වා මිනිසුන්ගේ සුභසාධන ප්‍රතිලාභ බෙහෙවින් විනාශ කිරීම සහ සුපිරි ධනවතුන් ඉතා සුළු පිරිසකගේ අතේ ධනය විශාල වශයෙන් සමුච්ඡය කිරීම සමඟ අත්වැල් බැඳගනිමිනි. චීනය පිලිබඳ ෆෝබ්ස් පොහොසතුන්ගේ ලැයිස්තුවේ ඉහලම 100 දෙනා අතරට යාමට, 2019 දී අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක් අවශ්‍ය විය. ඩොලර් බිලියන 38කශුද්ධ වත්කමක් සහිතව මෙම ලැයිස්තුවේ ඉහලින් ම සිටින්නේ අලිබබා සමූහයේ විධායක අධ්‍යක්ෂ ජැක් මා ය. එය 2018ට වඩා ඩොලර් බිලියන 3.4ක් ඉහල යාමකි. චීනයේ ඉහල ම ධනවත් පුද්ගලයින් පස් දෙනාගේ ඒකාබද්ධ වත්කම ඩොලර් බිලියන 155.9 කි. සීසීපීය නියෝජනය කරන්නේ ද එයට සමීපතම සබඳතා ඇත්තේ ද මෙම ස්ථරය සමඟ යි. බොහෝ දෙනෙක් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් වන අතර ඉහල දේශපාලන උපදේශක මන්ඩලවල තනතුරු දරති.

ඊට වෙනස් ව, චීනයේ කම්කරුවෙකුගේ අවම වැටුප මසකට ඩොලර් 370 ක් හෝ වාර්ෂිකව ඩොලර් 4,440 ක් පමන වේ. කෙසේ වෙතත්, මෙය මූලික සමාජ අයිතිවාසිකම් නොමැති, ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිනෙන සංක්‍රමනිකයන් දස දහස් ගනනක් වන කම්කරු පන්තියේ විශාල කොටස් මුහුන දෙන තත්වය සඟවයි. ඌන රැකියා හා වැටුප් නො ගෙවීම විශාල වශයෙන් සිදුවේ. කර්මාන්තශාලාවල කොන්දේසි පීඩාකාරී වන අතර බොහෝ විට සෞඛ්‍යයට අහිතකර මෙන් ම භයානක ය. සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය වචනාර්ථයෙන් රැකියා ස්ථානවල සීසීපී නිලධරයේ හස්තය වන අතර විරුද්ධත්වය, විරෝධතා සහ වැඩ වර්ජන මැඩපවත්වමින් සිටී.

ධනවාදී වෙලඳපොල හා රුදුරු සූරාකෑම යලි තහවුරු කිරීම, 1949 විප්ලවයෙන් පසු ව විශාල ලෙස අතු ගා දැමුනු ලමා ශ්‍රමය, බලහත්කාරයෙන් වැඩ ගැනීම, ගනිකා වෘත්තිය සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි සමාජ පීඩා යලි පැමිනීමට මග පාදා ඇත.

දර්ශක කිහිපයක් උපුටා දක්වමු:

• ගෝලීය වහල් භාවය පිලිබඳ දර්ශකය ඇස්තමේන්තු කර ඇති පරිදි, 2016 දී සලකා බැලෙන ඕනෑම දිනයක චීනයේ නූතන වහල් තත්වයන් යටතේ මිලියන 3.8 කට අධික ජනතාවක් ජීවත් වූ අතර, ඊට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව රටේ ජනගහනයෙන් සෑම දහසකට ම 2.8 කි. [ගෝලීය වහල් භාවයේ දර්ශකය

• චීනයේ ලිංගික ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව හරියට ම කිසිවෙකු දන්නේ නැත… 2013 දී එක්සත් ජාතීන්ගේ තක්සේරුව අනුව මිලියන 4 ත් 6 ත් අතර සංඛ්‍යාවක් සිටි. බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වයි. පිලිගනු ලබන්නේ චීනයේ ලිංගික ශ්‍රමිකයන් මිලියන 4 ත් 10 ත් අතර සංඛ්‍යාවක් සිටින බවයි. [සවුත් චයිනා මෝනිං පෝස්ට්, 2018]

• චීනයේ ජාතික මත්ද්‍රව්‍ය පාලන කොමිෂන් සභාවේ 2017 වාර්තාවක් ඇස්තමේන්තු කර ඇත්තේ, 2016 අවසාන භාගය වන විට චීනයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් මිලියන 2.51 ක් සිටි බව යි. එය වසරින් වසර ආසන්න වශයෙන් සියයට 7 කින් වැඩි වීමකි. [ටයිම් සඟරාව, 2019]

අද ජාත්‍යන්තර කමිටුව මුහුන දෙන දේශපාලන කර්තව්‍යයන් මොනවාද?

පැහැදිලිව ම චීනය තුල හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවක් ස්ථාපිත කිරීම හෝ යලි - ස්ථාපිත කිරීම ප්‍රධාන මූලෝපායික කාර්යයකි. චීන කම්කරු පන්තිය ලෝකයේ විශාලතම කම්කරු පන්තිය වන අතර, එක් ඇස්තමේන්තුවකට අනුව මිලියන 400 ක් වන එය ලෝකයේ බොහෝ රටවල ජනගහනයට වඩා විශාල වේ. එපමනක් නොව, 1949 සිට චීනය විශාල වශයෙන් පරිවර්තනය වී ඇති අතර, 1989 දී පවා එය ප්‍රධාන වශයෙන් ගොවි හෝ ග්‍රාමීය සමාජයක් නො ව නාගරික සමාජයකි. ජනගහනයෙන් බහුතරයක් ජීවත් වන්නේ එක්කෝ ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත කෙරුනු නැතහොත් මීට පෙර නො තිබූ විසල් නගරවල ය.

ඊට අමතරව, ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම පිලිබඳ 2016 ජාත්‍යන්තර කමිටු ප්‍රකාශය පැහැදිලි කල පරිදි, චීනය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද සැලසුම්වල කේන්ද්‍රීය ඉලක්කයක් වන අතර, එය සිය ආධිපත්‍යය පවත්වා ගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි. යුද්ධයට තල්ලුවීමට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයක් අනිවාර්යයෙන් ම චීනයේ කම්කරුවන් ඇතුලත් කර ගත යුතු ය.

ජාත්‍යන්තර වශයෙන් මෙන් ම, චීනයේ කම්කරු පන්තිය ද ලොව පුරා පන්ති අරගලය වඩ වඩාත් යලිපිබිදීමේ කොටසක් වනු ඇත. පවතින ඉතා සීමිත සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා මට්ටම ඉහල යන බව යි. ප්‍රභූ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයින්ගේ ස්ථරයක් මෙම අරගලයන් වෙත හැරී ඇති අතර, ඔවුන්ගේ සහභාගිත්වය හේතුවෙන් අත්අඩංගුවේ රඳවාගෙන සිටීම, මෙම අරගල දේශපාලන ස්වරූපයක් ගනු ඇති බවට සංඥාවකි.

චීනය තුල පවතින ආන්තික සමාජ හා දේශපාලන ආතතීන් පිලිබඳ පැහැදිලි ඇඟවුම වන්නේ, දැන් යාවජීව ජනාධිපති වන, ජනාධිපති ෂී ජිංපිංගේ අතෙහි සංකේන්ද්‍රය වී ඇති අසාමාන්‍ය බලය යි. පසුගිය වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්ර කමිටුවේ ඉදිරිදර්ශන ලිපියේ ප්‍රකාශයට පත් කල පරිදි, ෂී, සීසීපී නිලධරයේ ප්‍රතිවාදී කල්ලි අතර මැදිහත් වෙමින්, සියල්ලටමත් වඩා, සියලු විවේචන හා විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා එහි විශාල පොලිස් රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කරමින් සිටින චීන ගතිලක්‍ෂන සහිත බොනපාට්වාදියෙකි.

අද වන විටත්, 1989 ජුනි මාසයේ සිදුවීම් පිලිබඳ තම තක්සේරුව, මොනයම් ආකාරයකට හෝ සංශෝධනය කිරීම හෝ එයින් පීඩාවට පත් අය දේශපාලනිකව පුනරුත්ථාපනය කිරීම සඳහා වන ඕනෑම ඉල්ලීමකට ස්ටැලින්වාදී තන්ත්‍රය විරුද්ධ වී තිබේ. මීට වසර 30 කට පෙර යුද නීතිය ප්‍රකාශයට පත් කල ලී පෙන්ගේ ජුලි 22 වන දින මියගිය විට, නිල වශයෙන් රජයට අයත් ෂින්හුවා පුවත් සේවය මෙසේ ප්‍රකාශ කලේ ය: “ලී පෙන්ග් සහෝදරයා ස්ථීර ස්ථාවරයක් ගත් අතර, දේශපාලන මන්ඩලයේ බහුතරයක් සහෝදරවරුන් සමග එක් ව, ආරවුල් නවතා දැමීමට හා ප්‍රතිවිප්ලවවාදී කැරැල්ල මැඩපවත්වීමට නිර්භීත පියවර ගත්තේය.”

මෙය කම්කරු පන්තියට එරෙහිව හමුදාව නැවත කැඳවිය හැකි බවට අනතුරු ඇඟවීමකි. එය ශක්තියේ සංඥාවක් නො ව, විශාල දුර්වලතාවයක් වන අතර පන්ති අරගලයට විශේෂයෙන් පුපුරන සුලු ස්වභාවයක් ලබා දෙනු ඇත.

1989 විරෝධතාවල ප්‍රතිඵලය පැහැදිලි කරන පරිදි, අපගේ කාර්යයන් වන්නේ, සියල්ලටමත් වඩා, කම්කරු පන්ති ව්‍යාපාරයකට මග පෙන්විය යුතු න්‍යායික හා දේශපාලන ඉදිරිදර්ශනය පැහැදිලි කිරීම යි. සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගය විමසා බැලීම මෙන් ම එක් චීන ජාතිකවාදයක් හෝ වෙනත් එකක් මත පාදකවන චීනයේ ධනේශ්වර පුනස්ථාපනය පිලිබඳ විවිධාකාර හා විවිධ විවේචනවලින් එය ස්වාධීන කර ගැනීම ද අත්‍යාවශ්‍ය ය. පලමු පෙලේ මූලාශ්‍ර නොමැතිකම නිසා එම කාර්යය වඩාත් දුෂ්කර වී ඇති අතර, පාලන තන්ත්‍රයේ සර්ව ව්‍යාප්ත වාරනයෙන් එය සංකීර්න වී ඇත. එපමනක් නොව, මේ සියලු විරුද්ධ දේශපාලන ප්‍රවාහයෝ, එනම් නව වම, නව මාඕවාදීහු බොහෝ විෂමජාතී වෙති.

වර්කර්ස් නිව්ස් -1989 මැයි 26 

චීන සිසුන්, කම්කරුවන් සහ බුද්ධිමතුන්ට පැහැදිලි කිරීමේ දී කේන්ද්‍රීය වන්නේ ඉතිහාසය පිලිබඳ ප්‍රශ්න යි. එනම්, චීන විප්ලවයේ තීරනාත්මක සංරචකයක් වන,ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රධාන මූලෝපායික අත්දැකීම් ය. ඕස්ට්‍රේලියාවේ චීන සිසුන් සමඟ අප කල සාකච්ඡාවලින් පෙනී යන්නේ ලියොන් ට්‍රොට්ස්කි ගැන හා ස්ටැලින් 1925-27 චීන විප්ලවය පාවාදීම ගැන කිසිවක් හෝ කොහෙත් ම නො දන්නා බව යි. 1949 විප්ලවය මෙන් ම සංස්කෘතික විප්ලවය වැනි පසුකාලීන වර්ධනයන් පිලිබඳ ඕනෑ ම දැනුමක් ප්‍රවර්තනය කෙරෙන්නේ ස්ටැලින්වාදී තන්ත්‍රයේ ප්‍රචාරය හා මුසාවන් හරහා ය.

තරුනයින්, බුද්ධිමතුන් හා කම්කරුවන්ගේ ස්ථරයක් මාඕවාදයට සහ එහි “විප්ලවීය” සටන් පාඨවලට පිලිතුරු සෙවීම සඳහා යොමු වී ඇති බව අපි දනිමු. කෙසේ වෙතත් චීනයේ ධනවාදී පුනස්ථාපනය මාඕවාදයෙන් බිඳී යාමක් නො වේ. එය ඓන්ද්‍රීය ව ගලා ආවේ “තනි රටක සමාජවාදයේ” ආවෘත අන්තයෙනි. එය අව්‍යාජ මාක්ස්වාදයට, එනම්, චීන ට්‍රොට්ස්කිවාදීන් ඇතුළු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් පමනක් තහවුරු කරන ලද සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනයට සම්පූර්නයෙන්ම විරුද්ධ ය.

බීජිං හි සීසීපී තන්ත්‍රයට, හා එය ආරක්ෂා කරන ධනවාදී පද්ධතියට එරෙහිව සටන් කිරීම සඳහා දේශපාලන මාධ්‍යයන් සොයන්නා වූ චීන කම්කරුවන් හා ශිෂ්‍යයින් සිටිනු ඇති බව ද, එමෙන් ම ඔවුන් අවශ්‍ය ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය සඳහා ජාත්‍යන්තර කමිටුව වෙත හැරෙනු ඇති බව ද අපි විශ්වාස කරමු.