ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදය හා හතරවැනි ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ: හජාජාක 1988 ඉදිරිදර්ශන යෝජනාව පිලිබඳ විශ්ලේෂනයක්

මෙම ලිපිය 2019 සැප්තැම්බර් 20 දින ඉංග්‍රීසියෙන් පලකෙරුනි.  

මෙහි දැක්වෙන්නේ 2019 ජූලි 23 වන දින (එක්සත් ජනපදයේ) සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසලේ දී අන්ඩ්‍රේ ඩේමන් විසින් පවත්වන ලද දේශනයයි. අන්ඩ්‍රේ ඩේමන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නිත්‍ය ලේඛකයෙකු වන අතර ඔහු එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ නායක සාමාජිකයෙකු ද වෙයි. 

1988 වර්කර්ස් ලීගයේ දහතුන්වන ජාතික සම්මේලනයට ඉදිරිපත් කල සමාරම්භක වාර්තාවේ ඩේවිඩ් නෝර්ත් මෙසේ සඳහන් කලේය. 

... මාක්ස්වාදීන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ වැඩපිලිවෙල පැන නැගෙන්නේ විප්ලවවාදී කම්කරුවන්ගේ ව්‍යාපාරය මුල් බැස ඇති ලෝක ඓතිහාසික අත්දැකීම්වල ගැඹුරු ස්වීකරනයක් තුලිනි. පක්ෂයේ වැඩපිලිවෙල හැඩ ගැසී ආ හැක්කේ, මෙම “වර්තමානය”‍ ඉස්මතු වී ආ ක්‍රියාවලිය හෙලිපෙහෙලි කෙරෙන්නා වූ අතීතය පිලිබඳ විචාරයකින් පමනෙකි. එහි ඓතිහාසික මූලයන්ගෙන් වියෝ වූ කල්හි “වර්තමානය”‍ යනු හුදු මුහුනතක් වේ; වියමන් රටාවකින්, ගැඹුරින් හා සත්‍යයෙන් තොර හුදු දෘශ්‍යමානයක් වේ. [1] 

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සියලු‍ න්‍යායික කර්තව්‍යයන්හි දී මෙන්ම මෙහිදීද, අප නියැලී සිටින අධ්‍යයනයෙහි අභිප්‍රාය වන්නේ - එය දෛනික කටයුතු කෙරෙන් කෙතෙක් දුරට වියුක්තව පවතින්නා සේ පෙනී ගියේ වී නමුදු - වඩාත්ම ප්‍රායෝගික අරමුනු සාක්ෂාත් කිරීමයි. හජාජාකයේ ඉතිහාසය පිලිබඳ අපේ විචාරය තුල අප සිදු කරන්නේ, අද්‍යතන යථාර්ථය සංඥානය කිරීමෙහි හා හඳුනා ගැනීමෙහි ලා අප විසින් භාවිත කෙරෙන විශ්ලේෂනාත්මක උපකරන හැඩ තල ගැනීම, අප කම්කරු පන්තිය වෙත දිශාභිමුඛ කර ගැනීම හා සමාජය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීමේ අරගලය තුල එම පන්තියේ නායකත්වය බවට පත් වනු වස් සටන් වැදීමයි. 

අතීතයේ පාඩම් උපයෝගී කර ගැනීමමත් වර්තමානයේ කර්තව්‍යයන්ට සිදු කෙරෙන මෙහෙවරකි. හේගල්ගේ දර්ශනවාදයේ ඉතිහාසය කෘතිය තුල එන මානව චින්තනයේ වර්ධනය පිලිබඳ විවරනය දහතුන්වන ජාතික සම්මේලනය විසින් මෙසේ උපුටා දක්වා ඇත: 

අපේම කාර්යය ද, සෑම යුගයකම කාර්යය ද වන්නේ මෙයයි: දැනටම පවතින ඥානය ග්‍රහනය කිරීම, එය අපේම බවට පත් කර ගැනීම, සහ එසේ කිරීමේදී එය තවදුරටත් වර්ධනය කිරීම හා වඩාත් ඉහල මට්ටමකට ඔසොවා තැබීම. එපරිද්දෙන් එය අප වෙනුවෙන් උපයෝගී කර ගැනීමේ දී අපි එය ඉහත පැවැති දෙයට වඩා වෙනස් යමක් බවට පත් කරමු. අප විසින් එය යෝග්‍ය කර ගනු ලැබීම මඟින් පරිවර්තනය කෙරුනු දැනටම පවතින බුද්ධිමය ලෝකයක් පිලිබඳව පූර්වකල්පනය රඳා පවතින්නේ, එකී දර්ශනවාදය පැන නැගිය හැක්කේම ඉහත දර්ශනවාදය සමඟ සම්බන්ධව, එතුලින් පැන නැඟු‍නු අවශ්‍යතාව තුල පමනෙකිය යන කරුන මතය. ඉතිහාසයේ ගමන් මඟ අපට පෙන්වා දෙන්නේ එය අපට ආගන්තුක දේ බවට විකසිත වන බවක් නොව, අපම බවට හා අපේම ඥානය බවට විකසිත වන බවකි. [2] 

වෙනත් වචනවලින් කිවහොත්, අතීතය පිලිබඳ විචාරාත්මක ඇගයීම වූ කලී ආවර්ජනයේ අකර්මන්‍ය ක්‍රියාවක් නොවේ; ඊට බෙහෙවින් පටහැනි ලෙස එය විප්ලවවාදී භාවිතයකින් සමන්විත වේ. 

බොහෝ ආකාරයන්ගෙන් ජාත්‍යන්තර කමිටුව තුලම ජාතිකවාදී අවස්ථාවාදය පරාජය කිරීම සඳහා කල කැඳවීම්වල කාහල නාදය බවට පත් වූ ද, ඉනික්බිතිව Leon Trotsky and the Development of Marxism (ලියොන් ට්‍රොට්ස්කි හා මාක්ස්වාදයේ වර්ධනය) හි පල කරන ලද්දා වූ ද පහත දැක්වෙන වැකිවල අර්ථය වනුයේ එයයි: 

මෙකී ඉතිහාසයේ සමස්තය උකහා ගැනීම සඳහා සාමූහිකව පරිශ්‍රම නොදරන නායකත්වයකට කම්කරු පන්තිය කෙරේ එහි විප්ලවවාදී වගකීම් ප්‍රමානවත් ලෙස සපුරා ලිය නොහේ... ඒ අනුව, ට්‍රොට්ස්කිවාදයේ වර්ධනය පෙරට යන්නේ අපේ ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසයෙන් ව්‍යුත්පන්න වූ ඥානය මත පිහිටුවන ලද පන්ති අරගලයේ නව අත්දැකීම් මතිනි. [3] 

1988 අගෝස්තුවේ පැවැති සිය දහතුන්වන ජාතික සම්මේලනයේ සමාරම්භක වාර්තාව තුල වර්කර්ස් ලීගය, කම්කරු විප්ලවවාදී පක්ෂය සමඟ භේදයෙන් ඉක්බිතිව ගත ව තුබූ තෙවසරකට ආසන්න කාල පරිච්ඡේදය දෙස ආපසු හැරී බලමින්, “1985 අපේ ඔක්තෝබර් විප්ලවය”‍ ලෙස ඩේවිඩ් නෝර්ත් විසින් හඳුන්වා දෙන ලද්ද පිලිබඳව මෙසේ සඳහන් කරයි:   

1985 අපේම ඔක්තෝබර් විප්ලවයේ පටන් ජාත්‍යන්තර කමිටුවේ ඇතුලත ඉමහත් පරිවර්තනයක් සිදු වී ඇත. [4]

බැලූ බැල්මට එවැනි සංසන්දනයක් පමනට වැඩි එකක් ලෙසම පාහේ පෙනී යා හැකිය. ඔක්තෝබර් විප්ලවය යනු විසිවන සියවසේ සිදු වූ දැවැන්තතම සිදුවීමයි. කීප සියයක්, හෝ වැඩිම වුවහොත් කීප දහසක් පමනක් දෙනා ඍජු ලෙස සම්බන්ධ වූ සිදුවීමක්, සිදු වූ තැන් පටන් මේ දක්වා ජීවත් වූ බිලියන දහයක ජනයා අතර සෑම අයෙකුගේම ජීවිත හැඩ ගැස්වූ ඓතිහාසික සංසිද්ධියක් සමඟ කෙසේනම් සංසන්දනය කල හැකිද? 

එහෙත් එම සංසන්දනය අතිශයෝක්තියක් නොවේ. එකී භේදය මාක්ස්වාදයේ න්‍යායික පුනරුදයකට කොන්දේසි නිර්මානය කල අතර, එම පුනරුදයේ ශක්තිය, විෂය පථය හා ගතිකත්වය 1890 ගනන්වල හා 1917 මාක්ස්වාදී න්‍යායේ වර්ධනය සමඟ සැසඳිය හැක්කකි, එහෙත් මෙවර එය හුදු වසර කිහිපයක කාල පරාසයකට ගොනු වී තිබින. 

1988 අප්‍රේල් 1-2 දින වල දී මුලු‍ දුන් වර්කර්ස් ලීගයේ මධ්‍යම කාරක සභාවේ පුන්සැසිය සඳහන් කල පරිදි, “ජාත්‍යන්තර කමිටුව තුල අවස්ථාවාදය විමෝචනය කිරීමේ හා ට්‍රොට්ස්කිවාදය ඓතිහාසිකව පදනම් වූ වැඩපිලිවෙල ඊට හිමි ස්ථානයෙහි යලි පිහිටුවීමේ ක්‍රමානුකූල අරගලයක් අපි ලෝක පක්ෂය හා එහි සියලු‍ ශාඛා ඇතුලත ආරම්භ කලෙමු.” “‍භේදයේ සාරාත්මක වැදගත්කම වූයේ එයයි.”‍[5]

“මූලික අර්ථයකින් ගත් කල අපි භ්‍රෂ්ඨයින්ට එරෙහි සටන ජය ගෙන ඇත්තෙමු”‍යැයි වර්කර්ස් ලීගයේ දේශපාලන කමිටුව 1988 ජනවාරි 3 වන දින සඳහන් කලේය. 

අපේ අරගලය තුලින් අපි, මුලු‍මනින්ම දක්ෂිනාංශික අවස්ථාවාදී කල්ලියක් නෙරපා හැර, අපේ ට්‍රොට්ස්කිවාදී පදනම් යලි හැඩ ගස්වා හා පුනස්ථාපනය කොට, පක්ෂයේ න්‍යායික මට්ටම්වල විශාල වර්ධනයක් අත්පත් කොට ගෙන තුබුනෙමු. හතරවැනි ජාත්‍යන්තරය ප්‍රකාශනයේ නිකුතු පහෙන් පිලිබිඹු වී තුබුනේ ට්‍රොට්ස්කි ජීවත් වූ කාලයෙන් පසු අත්පත් කර ගැනුනු විශාලතම වර්ධනයයි. [6]

වර්කර්ස් ලීගයේ දහතුන්වන ජාතික සම්මේලනය මෙසේ නිවේදනය කලේය: 

භේදයේ සියලු‍ ද්වීතීයික විශේෂාංග හා ඒ කරා එලැඹුනු ආසන්නතම තතු පසෙකට ලු‍ව හොත් අපට ඉතිරි වන්නේ සුලු‍ ධනපති ජාතිකවාදීන් හා නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදීන් අතර භේදයකි.

... ලෝක පරිමානයෙන් ගත් කල කම්කරු ව්‍යාපාරයේ අද්‍යතන අර්බුදය විසින් හැඟවෙන්නේ, අනෙකුත් සියල්ලටම වඩා, සියලු‍ ජාතික-ප්‍රතිසංස්කරනවාදී ඉදිරි දර්ශනයන්ගේ අත්‍යන්ත බංකොලොත්භාවයයි. [7] 

වෙනත් වචනවලින් කිවහොත්, ජාතික අවස්ථාවාදයේ නියෝජිතයන් කෙරෙන් බිඳී යාම, කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) විසින් නොතකා හරිනු ලැබ හා අත්හැර දමනු ලැබ තුබූ එකී සංකල්පයම, - එනම්, ජාත්‍යන්තර වැඩ පිලිවෙලක් පිලිබඳව පැහැදිලි කර ගැනීම - සඳහා වේදිකාව සකස් කලේය. 

1988 අප්‍රේල් 1 වන දින මධ්‍යම කාරක සභාවේ පුන්සැසියට ඩේවිඩ් නෝර්ත් ඉදිරිපත් කල වාර්තාව විසින්, “කම්කරු පන්තිය තුල පක්ෂයේ අරගල මෙහෙයවීමෙහි හා ඒවාට මඟ පෙන්වීමෙහි ලා වැඩපිලිවෙල මූලික වේය යන සංකල්පයට එරෙහිව කවිප අනවරත ප්‍රහාරයක්”‍ එල්ල කල බව පැහැදිලි කලේය. ... එකී සංකල්පයට ප්‍රතිවිරුද්ධ ලෙස ඔවුහු වැඩපිලිවෙලෙහි වැදගත්කම පසෙකට ලා, මුලු‍මනින්ම වියුක්ත හා අනෛතිහාසික ආකාරයකින්, විධික්‍රමය පිලිබඳ ප්‍රයුක්තිය ඊට ඉහලින් පිහිටුවා ලූහ.”‍ [8]

චාරිත්‍රානුකූල සඳහන් කිරීම් ආදේශ විය. (ධනපති ක්‍රමයේ) බිඳවැටීම අපේක්ෂාවෙන් බලා හිඳිනු විනා සැබවින්ම කිසිවක් කල යුතු වූයේ නැත. ඩොලර් හා රත්රන් අතර පරිවර්ත්‍යතාව නිමා වීමෙන් ඉස්මතු ව තුබූ ආර්ථික අර්බුදය අන් සියලු‍ තැන්වලට පෙර බ්‍රිතාන්‍යය තුල විප්ලවවාදී තත්වයක් අවුලු‍වනු ඇතැයි යන ආකාරයේ මනෝ රටාවක් දක්වා මෙම වඩවඩාත් වියුක්ත වූ ඉදිරි දර්ශනය පිරිහී ගියේය. වඩවඩාත් ජාතිකවාදී වෙමින් පැවැති කවිප පෙලගැස්ම සාධාරනීකරනය කෙරුනේ එමඟිනි. [9] 

1970 ගනන්වල මුල් කාලයේ පටන් කවිප, ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක ක්‍රමානුකූල සූත්‍රගත කිරීම් හරහා නිවැරදි දේශපාලන පෙලගැස්මක් වර්ධනය කිරීම සඳහා වන අරගලය අපකීර්තියේ හෙලන්නා වූ එකිනෙක හා බැඳුනු පිලිගැනීම් මාලාවක් - “ප්‍රචාරකවාදයට එරෙහි අරගලය”‍, “අපරාජිත කම්කරු පන්තිය”‍, සහ “‍ඥානනයේ භාවිතය”‍ ආදී වශයෙන් - වැලඳ ගැනීමට පටන් ගත්තේය.

ඩේවිඩ් නෝර්ත් 1988 ජූනි 14 දින විජේ ඩයස්ට ලියූ පරිදි, “හීලි සම්බන්ධයෙන් ගත් කල, “අපරාජිත කම්කරු පන්තිය”‍ යනු සමස්ත පශ්චාත් යුද්ධ කාල පරිච්ඡේදය ගුනාංගීකරනය කිරීමට ඔහු යොදා ගත් වියුක්තනය විය.”‍ ඔහු තවදුරටත් ලියනුලැබුවේ, “හරය වශයෙන් ගත් කල, මෙම වියුක්තනය කම්කරු පන්තියේ මූලෝපායාත්මක අත්දැකීම් පිලිබඳව කිසිදු සංයුක්ත විශ්ලේෂනයක් සිදු කිරීම වලක්වා ලන ලද”‍ බවයි. [10] 

“ප්‍රචාරකවාදයට එරෙහි අරගලය”‍ හඳුන්වා දෙනු ලැබුවේ ප්‍රන්සයේ ඕසීඅයි සංවිධානය සමඟ භේදය ආරක්ෂා කරමින් ක්ලිෆ් ස්ලෝටර් 1972 දී ජාත්‍යන්තර කමිටුවේ නමින් නිකුත් කල ප්‍රකාශයක් මඟිනි. “‍වැඩ පිලිවෙල හා ප්‍රතිපත්ති සම්බන්ධ එකඟතාවයේ ගැටලු‍වලට වඩා ගැඹුරට කිඳා බැස ඇති චින්තනයේ ආත්මීයවාදී ආකාරයන්ට එරෙහි අරගලය අත්‍යවශ්‍ය වෙතැයි නිවේදනය කල එය, “ට්‍රොට්ස්කිවාදය දීර්ඝ හුදෙකලාවක කාල පරිච්ඡේදයක් හරහා ගමන් කොට තිබීම තුල ප්‍රචාරකවාදය නොවැලැක්විය හැකි ලෙස දෘඪ ග්‍රහනයක් ඒ මත පවත්වතැ”‍යි මැසිවිලි නැඟීය. 

ඩේවිඩ් නෝර්ත්

1988 අප්‍රේල් 1 වන දින වර්කර්ස් ලීගයේ පුන්සැසියට ඉදිරිපත් වුනු වාර්තාවක් මෙම ලේඛනය පිලිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කරයි: 

ඊලඟ දශකය තුල නැවත නැවතත් පුනරුච්චාරනය කිරීමට නියමිත ව තුබූ තේමාවක් මෙම ප්‍රකාශනය මඟින් හඳුන්වා දෙනු ලැබීය: එනම්, ජාත්‍යන්තර කමිටුවේ අත්‍යාවශ්‍ය කර්තව්‍යය වූයේ නිරවද්‍ය දේශපාලන දිශානතියක් සඳහා වූ අරගලය නොව, ප්‍රචාරකවාදයටත්, චින්තනයේ ආත්මීයවාදී ආකාරය ලෙස ඔවුන් විසින් හඳුන්වා දෙන ලද දෙයටත් එරෙහි අරගලය බවයි. එහි අන්තර්ගතය අර්ථ දැක්වීමක් කිසිදා නොසිදු වූ අතර එය “‍වැඩ පිලිවෙල හා ප්‍රතිපත්ති පිලිබඳ එකඟතාවට”‍ වඩා වැදගත් ලෙස හඟින ලදී. [11] 

ස්ලෝටර්ගේ ජාක ප්‍රකාශනය තවදුරටත් මෙසේ කියා සිටී:

මාක්ස්වාදයේ මූලික න්‍යායික සාධ්‍යයන් හුදු වාචිකව පිලිගන්නා තාක් දුරට පවා, උපචාරාත්මක සම්ප්‍රචාරන එකඟතාවයක් සැබැවින්ම ක්‍රියා කරන්නේ න්‍යායේ හා භාවිතයේ එකමුතුව පිලිබඳ අවබෝධය ලබා ගැනීමට එරෙහි බාධකයක් ලෙසය. ඉහතදී සම්ප්‍රචාරන පැවැත්මක් සාධාරනීකරනය කොට තුබුනා වූ ද, සැබෑම විප්ලවවාදී භාවිතයක් සඳහා මඟ පෙන්වීමට කිසිදු විටෙක කැඳවනු නොලැබුවා වූ ද එම න්‍යායම දැන්, වෙනස්වීමට බාධා පමුනුවන්නා වූ ද, පන්ති අරගලයේ ජීවමාන ව්‍යාපාරය පිලිබඳව වටහා ගැනීමට බාධා පමුනුවන්නා වූ ද උපචාරාත්මක එකඟතාවයේ කඩතිරයක් සම්පාදනය කොට ඇත. [12] 

වර්කර්ස් ලීගයේ පුන්සැසියට ඉදිරිපත් කෙරුනු වාර්තාව ඊට මෙසේ පිලිතුරු දෙයි: 

වෙනත් වචනවලින් කිවහොත්, න්‍යායේ සමස්ත අභිමතාර්ථයම වන්නේ සම්ප්‍රචාරන පැවැත්ම සාධාරනීකරනය කිරීමයි. ඒ අනුව මැවෙන චිත්‍රය වන්නේ, ලෝකයේ විවිධ ස්ථානවල වෙසෙන, අනුමාන වශයෙන් ගත් කල, කොමියුනිස්ට් පක්ෂයට හෝ පැවැති කවර බහුජන ව්‍යාපාරයකට හෝ බැඳී තමන්ගේ දෑත්වල කුනු තවරා ගනිමින් විප්ලවවාදී අරගලවලට සහභාගී වීමට කම්මැලි හෝ ඒ පිලිබඳ උනන්දුවක් නොමැති බුද්ධිජීවීන් අතලොස්සකි. 

වාර්තාව වැඩිදුරටත් මෙසේ පල කරයි: 1988 වර්කර්ස් ලීගයේ ගිම්හාන පාසලේ සමාරම්භක වාර්තාව මෙසේ සඳහන් කරයි:

1971 අගෝස්තු 15 වන දින නික්සන් විසින් නිවේදනය කෙරුනු තීරනවලින් ඉක්බිති එලැඹුනු කාල පරිච්ඡේදයේ දී, ඉදිරි දර්ශනය සම්බන්ධ ක්‍රමානුකූල වැඩ කටයුතු කෙලවර විය. ... අර්බුදයේ වැඩි දුර වර්ධනය පිලිබඳ විශ්ලේෂනය කිරීම වෙනුවට, අගෝස්තු 15 වන දින බ්‍රෙට්න්වුඩ්ස් පර්යාය බිඳවැටීම පිලිබඳ ස්ලෝටර්ගේ කර්තෘත්වයෙන් පල කෙරුනු මෙකී අර්ථ නිරූපනයට අනුව, හතරවැනි ජාත්‍යන්තරය තුල අර්බුදය එහි වැඩපිලිවෙල අවස්ථාවාදී ලෙස සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක් නොවේ. එය “‍සැබෑම විප්ලවවාදී භාවිතයන්ට”‍ එරෙහි වූ ද, “ජීවමාන ව්‍යාපාරය”‍ වටහා ගැනීම වලක්වා ලූ ද ප්‍රචාරකවාදයේ ප්‍රතිඵලයකි. 

“සැබෑ මහජන අරගල”‍වල නායකත්වය ගැනීමෙන් හතරවැනි ජාත්‍යන්තරය වලක්වා ඇත්තේ “‍ආධානග්‍රහයන්”‍ විසිනැයි නිවේදනය කල මයිකල් පැබ්ලෝගේ භාෂාවම පාහේ කවිප ඇත්ත වශයෙන්ම භාවිතා කරමින් සිටියේය. 

1979 ජූනියේ හජාජාකයේ අටවැනි ලෝක සම්මේලනයේ ප්‍රකාශනය මඟින්, ජාත්‍යන්තර වැඩපිලිවෙල පිලිබඳ සංකල්පයට එරෙහිව මුහුනට මුහුන ලා එල්ල කල මෙම ප්‍රහාරය තවදුරටත් තීව්‍ර කෙරිනි. බොහෝසෙයින් බන්ඩා විසින් ලියන ලද මෙම ප්‍රකාශනය මෙසේ නිවේදනය කලේය: 

පන්ති අරගලයේ වර්ධනයන්හි සාරය අපැහැදිලි කෙරෙන පරිදි හා ඒ පිලිබඳ කවර හෝ සැබෑ වියුක්තකරනයක් සිදු කිරීම වැලැක්වෙන පරිදි ප්‍රචාරක ලේබල් ඇලවීමෙන් වැලකී සිටින්නා වූ ද, ඒ වෙනුවට වර්ධනය වෙමින් පවත්නා විප්ලවවාදී යතාර්ථය විසින් ඉල්ලා සිටිනු ලැබෙන සටන්කාමී සම්ප්‍රජානනයක් වර්ධනය කරන්නා වූ ද කාර්යධරයන් පුහුනු කොට ගත යුතුය. 

මෙම ලේඛනය පිලිබඳ අදහස් දක්වමින් වර්කර්ස් ලීගයේ මධ්‍යම කාරක සභා පුන්සැසියේ වාර්තාව මෙසේ සඳහන් කරයි:

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කම්කරු පන්ති ව්‍යාපාරයේ ආධිපත්‍යය දරනා දේශපාලන සංවිධානවල පන්ති ස්වභාවය පිලිබඳ න්‍යායික විශ්ලේෂනයක් සිදුකිරීම වරදක් විය. ... එවැනි විශ්ලේෂනයක් සැබැවින්ම, විද්‍යාත්මකව තහවුරු කෙරී ඇති මාක්ස්වාදී ව්‍යාපාරයේ ඓතිහාසිකව වර්ධනය කෙරුනු දැනුමෙහි හා ලෝක ව්‍යාපාරයේ අත්දැකීම්වල පදනම මත පිහිටා සිදු කෙරෙන්නේය යන සංකල්පයට කවිප නායකයෝ එරෙහි වූහ. [13] 

එෆ්බීඅයි සංවිධානය විසින් (ඇමරිකා එක්සත් ජනපදයේ) එස්ඩබ්ලිව්පීය අත්පත් කර ගනු ලැබීම එම සංවිධානය මාක්ස්වාදී මූලධර්මවලට දැක්වූ අතීත අනුකූලතාවයේ ප්‍රතිඵලය වී යැයි නිවේදනය කරන තරම් දුරකට බන්ඩා ගමන් කලේය. “මාක්ස්වාදය, ඥානනයේ න්‍යායක සිට, ඓතිහාසික කරුනු හා වැඩ පිලිවෙලෙහි අවශ්‍යතා පුදන පූජාවිධිමය හා ආධානග්‍රාහී වන්දනාවක් බවට අවසානයේ පරිවර්තනය කිරීම”‍ට එස්ඩබ්ලිව්පීය ක්‍රියා කලේයැයි ඔහු පැවසීය. 

මයික් බන්ඩා

මෙම ඡේදයේ අර්ථය වූයේ “‍විප්ලවවාදී භාවිතය”‍, “ඓතිහාසික කරුනු”‍ හා “‍වැඩ පිලිවෙලෙහි අවශ්‍යතා”‍ ප්‍රතික්ෂේප කිරීමක් මත පදනම් විය යුතු බවයි. එහෙත් එවිට ඉතිරි වන්නේ කුමක්ද? හුදු ඔලමොල අවස්ථාවාදය හා, ඩේවිඩ් නෝර්ත් සඳහන් කරන පරිදි, “අවස්ථාවන් සොයා ඉව ඇල්ලීමට”‍ ඇති හැකියාව පමනකි. 

ප්‍රකාශනය හමාර කෙරුනු ආකාරය මේ සියල්ලටම වඩා ඉහලය! “‍සෑම ශාඛාවක් තුලින්ම අවශ්‍ය කෙරෙන්නේ, ‘නිවැරදි’ සූත්‍රය පුනරුච්ඡාරනය කිරීම නොව, මහජනයාගේ පුපුරන සුලු‍ බලවේග මුදා හැරිය හැකි ආකාරයේ විප්ලවවාදී භාවිතයක යෙදී ගැනීමය.”‍ 

එහෙත් එහි අරුත කුමක්ද? අවශ්‍ය කෙරෙන්නේ නිවැරදි වැඩ පිලිවෙලක්, නිවැරදි විශ්ලේෂනයක් හා නිවැරදි ප්‍රතිපත්තියක් නොවේ, “මහජනයාගේ පුපුරන සුලු‍ බලවේග මුදා හැරීම”‍ට සමත් වෙතැයි ආත්මීය ලෙස සලකනු ලබන කවරකට හෝ අනුවර්තනය වීමයි. කවිප පරිහානියෙන් පැහැදිලිව පෙනී යන්නේ, “නිවැරදි”‍ දේශපාලන මාවතක් සඳහා වූ අරගලය අත්හැර දැමීම මඟින් පක්ෂය විසින් මුදාහරිනු ලැබ ඇත්තේ මහජනයා නොව, මධ්‍යම-පාන්තික කලහකාරී උන්මත්තකයන් රැලක් පමනක් බවයි.

කෙසේවෙතත්, කවිප එහි අවස්ථාවාදී දේශපාලන දිශානුයෝජනය වඩවඩාත් ගැඹුරු කරමින් සිටි තතු යටතේ වුව, ජාත්‍යන්තර කමිටුව තුල වෙනත් ප්‍රවනතාවයක් වර්ධනය වෙමින් පැවතින. වර්කර්ස් ලීගය හා ශ්‍රී ලංකාවේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, පැබ්ලෝවාදයට එරෙහි තම අරගලයේ අත්දැකීම්වලින් ලද සවිබලයෙන් සන්නද්ධව මෙම දිශානුයෝජනයට එරෙහි අරගලයට අවතීර්න විය. මෙම වෙනස්කම් 1971 තරම් ඉහතදී මතුව ආවේ 1971 ඉන්දු-පකිස්තාන යුද්ධයට (කවිප පූර්වගාමී) සෝෂලිස්ට් ලේබර් ලීගය දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් විකොස විවේචන සමඟය. 

ඩේවිඩ් නෝර්ත් සිය වාර්තාවේ දැක්වූ පරිදි, එක්සත් ජනපදය තුල වර්කර්ස් ලීගය විසින් ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තරවාදයේ සම්ප්‍රදායයන් උකහා ගනු ලැබීම ප්‍රකාශයට පත් වූයේ, “අධිෂ්ඨාන සහගතව කම්කරු පන්තිය වෙත දිශාභිමුඛ වීමකිනි.”‍ නෝර්ත් තරයේ කියා සිටි පරිදි, “ඊට මුහුනදීමට සිදු වූ සෑම දුෂ්කරතාවයන්ම තිබියදී වුව, වර්කර්ස් ලීගය ඇමරිකානු කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය පිලිබඳ ප්‍රගල්භ විශ්වාසයෙන් ආඪ්‍යව සිටියේය. ‘කැනන්වාදයේ’ විශිෂ්ඨතම සම්ප්‍රදායයන් ප්‍රකාශයට පත් වූයේ මෙහිදීය.”‍ [14] 

කම්කරු පන්තිය කරා වඩාත් ගැඹුරින් හැරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගික හා දේශපාලන පැහැදිලිකම අත්පත් කර ගනු වස් වර්කර්ස් ලීගය දැරූ ප්‍රයත්නය පිලිබඳව භේදයෙන් පසු ඩේවිඩ් නෝර්ත් පහත දැක්වෙන පරිදි විස්තර කරයි. 

1988 අප්‍රේල් 10 වන දින පැවැති දේශපාලන කමිටු රැස්වීමකදී ඔහු මෙසේ පැවසීය: “‍1981-84 කාල පරිච්ඡේදයේ මම පැට්කෝ, ග්‍රේහවුන්ඩ් හා ෆෙල්ප්ස් ඩොජ් සමාගම් ආශ්‍රිත වෘත්තීය සමිති කටයුතු සමඟ බොහෝ සෙයින් සම්බන්ධ වී සිටියෙමි. අප වැඩිවැඩියෙන් මෙම වෘත්තීය සමිති කටයුතුවල ප්‍රගතිය ලබත්ම, ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක අවශ්‍යතාව මට වැඩිවැඩියෙන් දැනී ගියේය. පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ පුනරාරම්භයක් සඳහා මම කැඳවුම් කලෙමි. මේ කාල පරිච්ඡේදයේ දී කවිප සමඟ අපේ දේශපාලන මතභේද වර්ධනය වූයේය. අපේ කටයුතු අබල දුබල වී ඇති බවත්, අපට දේශපාලන පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වී ඇති බවත්, මට හැඟී ගියේය.”‍ [15] 

වර්කර්ස් ලීගයේ කම්කරු පන්තිය කරා වන දිශානුයෝජනයෙන් පැන නැගෙන දේශපාලන වැඩ පිලිවෙලක් සඳහා වන මෙම අරගලය, ‘ධනවාදයේ ලෝක ආර්ථික දේශපාලන අර්බුදය හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මර ලතෝනිය’ ලෙස නම් කෙරුනු එය 1978 වැඩ පිලිවෙල තුල ප්‍රකාශයට පත් වූයේය. ගෝලීය ධනේශ්වර අර්බුදය පිලිබඳ බැරෑරුම් විග්‍රහයක් තුල මුල් බැස ගත් මූලෝපායයක් ඇමරිකානු කම්කරු පන්තිය සඳහා සම්පාදනය කිරීමට එම ලේඛනය යත්න දැරීය. කම්කරු පන්තියට එරෙහිව එලැඹෙමින් පැවැති - සුවිශේෂී විශදතාවයකින් යුතුව ලේඛනය මඟින් පුරෝකථනය කෙරුනු - ප්‍රහාරය වූ කලී, ධනේශ්වර ක්‍රමයේ ගෝලීය අර්බුදයේ රාමුව තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය පත් ව සිටි අර්බුදයේ ප්‍රතිඵලය ලෙස එය ගෙන හැර දැක්වීය. වෙනත් වචනවලින් කිවහොත් මෙම දිශානුයෝජනය විසින් වර්කර්ස් ලීගය පමුනුවනු ලැබූයේ කවිප වඩවඩාත් කැපවෙමින් සිටි ආස්ථානයන් සමඟ ඍජු ගැටුමක් කරා ය. 

1981 දී අධිරාජ්‍යවාදී යුද්ධයේ අනතුර සම්බන්ධයෙන් අප ගන්නා ආකල්පය නිර්වචනය කෙරෙන ජාත්‍යන්තර කමිටු ප්‍රකාශයක කෙටුම්පතක් ක්ලිෆ් ස්ලෝටර් ඉදිරිපත් කලේය. මෙම ලේඛනය විසින් යුද අනතුර “‍සුපිරි බලවතුන් දෙදෙනෙකුගේ”‍ ගැටුමක් ලෙස ඉදිරිපත් කරනු ලැබ තිබීම වර්කර්ස් ලීගයේ විවේචනයට පාත්‍ර විය. පසුකලෙක 1987 ගිම්හාන කඳවුරට ඩේවිඩ් නෝර්ත් ඉදිරිපත් කල වාර්තාවේ ඔහු මෙසේ සඳහන් කරයි: 

කම්කරු රාජ්‍යයක් හා අධිරාජ්‍යවාදී රාජ්‍යයක් අතර එම වර්ගයේ සමාන්තර ගුනාංගීකරනයක් අපි කිසිදු විටෙක නොපිලිගතිමු. “‍සුපිරි බලවතුන්”‍ යන යෙදුම එම රටවල් දෙක අතර පවත්නා ආවශ්‍යක පන්ති ප්‍රතිවිරෝධයන් සඟවා ලන සැබෑ ලෙසම පත්‍රකලාරූපී වූ යෙදුමකි. [16] 

කෙටුම්පත විවේචනය කරමින් ලියැවුනු ලිපිය ජාත්‍යන්තර කමිටුව සඳහා ලෝක ඉදිරි දර්ශනයක් වර්ධනය කිරීම දෙසට තැබූ සැලකිය යුතු ඉදිරි පියවරක් විය. එහෙත් දැන් ආපසු හැරී බැලීමේ දී පෙනී යන්නේ එම ලිපිය, 2016 දී ප්‍රකාශයට පත් කෙරුනු A Quarter Century of War, (යුද්ධයේ විසිපස් වසරක්) නම් වෙලු‍මේ අඩංගු ලේඛනවලින් පහදා දෙනු ලබන පහත දැක්වෙන තේමාවන් එදා මතු කල, අපූර්ව දුර දිග දක්නා භාවයකින් යුතු වූ ලියැවිල්ලක් බවයි: 

ලෝක ධනේශ්වර ක්‍රමයේ නොවිසඳිය හැකි ආර්ථික අර්බුදය විසින් එලවනු ලැබ සිටින ..... එක්සත් ජනපදය ප්‍රමුඛ කොට ගත් ලෝක අධිරාජ්‍යවාදය නිමග්නව සිටින්නේ, 1917 ඔක්තෝබර් විප්ලවය සහ, ආසියාව, මැද පෙරදිග හා අප්‍රිකාව පුරා දැවැන්ත ජාතික විමුක්ති අරගල තුලින් තමන්ට අහිමි වී ගිය ලෝක ගෝලීය ස්ථානය යලි ස්ථාපනය කිරීමේ ද, කවර වියදමක් හෝ දරා ලතින් ඇමරිකාවේ වහල්භාවය පවත්වා ගෙන යාමේ ද ප්‍රයත්නයකය. මේ වූ කලී, වචනයේ සැබෑම අර්ථයෙන් ගෝලීය යුද්ධයක්; එනම්, පීඩක ජාතීන් විසින් සෝවියට් සංගමයට හා පීඩිත ජාතීන්ට එරෙහිව කෙරෙන යුද්ධයක් වනු ඇත. [17] 

ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් විය:

සාධක දෙකක බලපෑම හේතුවෙන්, අධිරාජ්‍යවාදය සඳහා ලෝකයේ භූමි ප්‍රදේශ යලි බෙදීම අතිශයින් අපේක්ෂාභංගකරන සංකීර්නත්වයකට පත් වී ඇත. 

1. සෝවියට් සංගමය පැවතීම හා, 1945 න් පසු, නැගෙනහිර යුරෝපයේ, පෝලන්තයේ, නැගෙනහිර ජර්මනියේ, හංගේරියාවේ, බල්ගේරියාවේ, රුමේනියාවේ, යුගෝස්ලාවියාවේ, ඇල්බේනියාවේ හා ආසියාවේ ඉතා විශාල භූමි භාගයන්හි (චීනයේ, වියට්නාමයේ, ලාඕසයේ, කාම්බෝජයේ) ... ධනේශ්වර පාලනයන් පෙරලා දැමීම හා ඔවුන් සිය දේපලවලට අස්වාමික කිරීම මඟින් රාජ්‍ය සන්තක දේපල සබඳතා විස්තාරනය වීම.

2. යටත්විජිත විරෝධී අරගල ලෝක අධිරාජ්‍යවාදයට ඓතිහාසික පරාජයන් අත්පත් කර දී තිබීම. සෝවියට් සංගමය විනාශ කිරීමෙන්, යටත්විජිත වහල් භාවය යලි ස්ථාපනය කිරීමෙන් හා, එම පදනම මත අධිරාජ්‍යවාදී සූරාකෑමේ උත්සුකයන් ඔස්සේ ලෝකය යලි බෙදා ගැනීමෙන් විනා අන් ලෙසකින් ලෝක අධිරාජ්‍යවාදයට සිය පන නල රැක ගත හැකි නොවේ. 

ලෝකය ප්‍රචන්ඩ ලෙස යලි බෙදීමක් හරහා විනා අර්බුදයෙන් අත්මිදීමේ අන් මඟක් අධිරාජ්‍යවාදයට සොයා ගත නොහැක. එහෙත් මෙකී යලි බෙදීම ඉහත පැවැති ලෝක යුද්ධවලට වඩා වෙනස් ආකාරයකින් සිදු වනු ඇත. එය, අධිරාජ්‍යවාදී රාජ්‍ය එකිනෙකාගේ යටත්විජිත අල්ලා ගැනීමට යත්න දරමින් කෙරෙන කුලල් කෑමක් නොව, ජාතික විප්ලවවාදී ව්‍යාපාර විනාශ කිරීම හරහා ඒ හෝ මේ ආකාරයෙන් යටත්විජිත වහල්භාවය යලි ගොඩ නඟා ගැනීමෙන් ද, කම්කරු රාජ්‍ය - සියල්ලටමත් වඩා සෝවියට් සංගමය - වනසා ලීමෙන් ද “‍තමන්ට අහිමි වූ ස්ථානය යලි දිනා ගැනීමක්”‍ වනු ඇත. සියලු‍ අධිරාජ්‍යවාදී සන්ධානයන්හි පදනම වන්නේ මෙයයි. 

අධිරාජ්‍යවාදී යුද්ධයක දී “‍මංකොල්ල කනු ලබන වස්තුව”‍ බෙදා ගැනීමේ නිශ්චිත සැලසුම් ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් සකසනු ලැබ ඇත: එක්සත් ජනපදය පර්සියානු බොක්ක “‍ලබා ගනු”‍ ඇති අතර, එක්සත් ජනපදය සමඟ සමීපව කටයුතු කරන ප්‍රන්සයට කොංගෝ ප්‍රදේශ හරහා උතුරු අප්‍රිකාවේ එහි පැරනි අධිරාජ්‍යයේ යටත්විජිත ප්‍රදේශ “‍ලැබෙනු”‍ ඇත.... 

ලෝක අධිරාජ්‍යවාදය, සෝවියට් සංගමය හා පැරනි යටත්විජිත ද යන සියල්ල ඇතුලු‍ සමස්ත ලෝක ගෝලයම යලි බෙදීමේ පරිශ්‍රමයක නියැලෙන බවට එම ලිපිය තර්ක කලේය. ආපසු හැරී බැලීමේ දී අපට දැන් පෙනී යන්නේ ලිපියේ විස්තර කෙරෙන සාරාත්මක ක්‍රියාදාමය සෝවියට් සංගමය මිලිටරි බලයෙන් අල්ලා ගැනීමේ රූපාකාරයෙන් නොව, ස්ටැලින්වාදී නිලධරය ධනේශ්වර පුනස්ථාපනයට දොර හැර දීමේ ආකෘතිය යටතේ සිදු වූ බවය. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, 1991 ප්‍රථම ගල්ෆ් යුද්ධයෙන් ඇරඹෙමින් සත්තකින්ම ක්‍රියාවට නැංවුනේ, දැවැන්ත ලෙස යුද්ධය අවුලා ලීම හරහා ලෝකය නව යටත්විජිතවාදී ලෙස යලි බෙදීමේ ක්‍රියාදාමයයි. 

ඉනික්බිතිව එලැඹි වසරවලදී ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදය සඳහා දියත් කල අරගලය හරහා ලෝක ගෝලීය වැඩ පිලිවෙලක් සූත්‍රගත කිරීමේ අරගලය අඛන්ඩව පෙරට ගියේය. 1984 ජනවාරියේ ඬේවිඞ් නෝර්ත් තම කනස්සල්ල පල කරමින් මයිකල් බන්ඩාට මෙසේ ලියා යැවීය.

ජාත්‍යන්තර කමිටුව කිසියම් කාලයක් පුරා එහි භාවිතයට මඟ පෙන්වන පැහැදිලි හා දේශපාලනිකව ඒකාබද්ධ ඉදිරි දර්ශනයකින් තොරව වැඩ කරමින් සිටින බවක් අපට හැඟී යයි. සෑම රටකම ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩ නැඟීමේ ඉදිරි දර්ශනයක් වෙනුවට වසර ගනනාවක් පුරා ජාත්‍යන්තර කමිටුවේ කටයුතුවල කේන්ද්‍රීය අවධානය යොමු වී ඇත්තේ විවිධ ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍රයන් හා විමුක්ති ව්‍යාපාර සමඟ සන්ධානයන් වර්ධනය කර ගැනීම කෙරේය. [18] 

ලිපිය තවදුරටත් මෙසේ අනතුරු ඇඟවීය: 

ජාතික ශාඛා තුල ඇතැම් වර්ධනයන් කෙතෙක් අපේක්ෂා දනවන සුලු‍ සේ පෙනී යන්නේ වී මුත්, විද්‍යාත්මකව ව්‍යුත්පන්න කල ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් මඟින් මඟ පෙන්වනු නොලබන කල්හි ඒවා සැබෑ ජයග්‍රහනයන් කරා මං පාදනු නැත. විවිධ වෘත්තීය සමිති අරගල තුල අපේම අත්දැකීම් විසින් පෙන්වා දෙනු ලබන්නේ ද එයයි. වර්කර්ස් ලීගය වඩවඩාත් කම්කරු පන්තිය දෙසට හැරෙත්ම අපේ කටයුතු පෙරට ගෙන යාම සඳහා අපේ ජාත්‍යන්තර සහෝදරවරුන් සමඟ සමීපතම සහයෝගීත්වයක අවශ්‍යතාව අපට වඩවඩාත් හැඟී යයි. 

1984 පෙබරවාරියේ වර්කර්ස් ලීගයේ නියෝජිතයන් ජාත්‍යන්තර කමිටු රැස්වීමකට සහභාගී වීමට පිටත් වීමේදී ඔවුහු මෙම කරුනු පිලිබඳව රැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වූහ. එහෙත් එකී විවේචන ඉවත් කර නොගතහොත් වහා භේද වන බවට වර්කර්ස් ලීගයට කවිප නායකත්වය තර්ජනය කලෝය. ඬේවිඞ් නෝර්ත් පසුකලෙක සඳහන් කල පරිදි: 

ධනපති ජාතිකවාදීන්, වෘත්තීය සමිති හා ලේබර් පක්ෂ නිලධරයන් සමඟ කවිප නායකත්වය ගොඩ නඟා ගෙන තුබූ දේශපාලන සන්ධානයන්ට ද, සෝවියට් නිලධරය සමඟ ගනුදෙනු කිරීම සඳහා එය තිරය පිටුපස සිදු කල මුල පිරීම්වලට ද ජාත්‍යන්තර කමිටුව තුල ඉදිරි දර්ශනය පිලිබඳ සාකච්ඡාවක් හමුවේ බේරී යා නොහැකි වන්නට තිබින. [19] 

ජාත්‍යන්තර කමිටුවේ හත්වන පුන් සැසියේ ආරම්භක වාර්තාව පටන් ගැනෙන්නේ මෙසේ සඳහන් කරමිනි:

ඉදිරි දර්ශනය පිලිබඳ සාකච්ඡාවක් ලබා දෙන ලෙස අපි 1984 දී හීලි, ස්ලෝටර් හා බන්ඩාගෙන් ඉල්ලා සිටියෙමු. එම සාකච්ඡාව පැවැත්වීම ශක්‍යතාවයක් බවට පත් වූයේ අපේ ව්‍යාපාරය තුල දැවැන්තතම භේදයකින් පසුවය. නිර්ධන පන්ති විප්ලවයේ අපේ ජාත්‍යන්තර ඉදිරි දර්ශනය විස්තාරනය කිරීම ඇරඹීමට පෙර ප්‍රථමයෙන් ජාත්‍යන්තර කමිටුව තුල සුලු‍ ධනපති බලවේගවලින් නිර්දය ලෙස බිඳී වෙන්වීමට අපට සිදු වී තිබින. ඇත්තෙන්ම සිදු වූයේ එයයි. 

ජාත්‍යන්තර කමිටුව තුල වර්ධනය වෙමින් පැවැති අර්බුදයට මුහුන දෙනු වස් පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ පුනර්කරනයක් හා අපේ ජාත්‍යන්තර ඉදිරි දර්ශනය වර්ධනය කිරීම අවශ්‍ය වන බැව් භේදයට පෙරාතුව වර්කර්ස් ලීගය අවධාරනය කොට තිබින. මෙම සාකච්ඡාව කවිප සමඟ ආරම්භ කිරීම නොකල හැක්කක් විය. ඊට හේතුව වූයේ ඔවුන්ගේ දිශානුයෝජනය ජාතිකවාදී වීමයි - ජාත්‍යන්තර කමිටුවේ කටයුතු බි්‍රතාන්‍යය තුල ඔවුන්ගේ කටයුතුවලට යටත් කරනු ලැබ තිබින. ඔවුන්ගේ මාවත සුලු‍ ධනපති ජාතිකවාදී එකක්ව තිබින. වසර ගනනාවක් පුරා ගෙල සිර වී තුබූ අපේ ඉදිරි දර්ශන වර්ධනය කර ගැනීමේ කටයුතු ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර කමිටුව සමත් වූයේ ඊට එරෙහි අරගලය තුල පමනෙකි. [20]

වර්කර්ස් ලීගයේ මධ්‍යම කාරක සභා පුන්සැසියේ සමාරම්භක වාර්තාවේ සඳහන් වූ පරිදි, “අවස්ථාවාදයට එරෙහි අරගලය හා අපේ ජාත්‍යන්තර ඉදිරි දර්ශනය විස්තාරනය කිරීම අතර ඉතා සමීප සම්බන්ධයක් පවතී.”‍ 

හජාජාක තුල ශේෂව තිබූ ජාතිකවාදයේ සකලවිධ ආකාරයන්ට එරෙහිව සවිඥානක අරගලයක් දියත් කිරීම අන් සියල්ලටම ප්‍රථමයෙන් අත්‍යවශ්‍යව තුබූ අතර, ඒ අතරම ලෝක ධනේශ්වර අර්බුදයේ වෛෂයික වර්ධනයන් හා හජාජාක සවිඥානික වැඩ පිලිවෙල තුඩ බව අපි හඳුනා ගත යුත්තෙමු. ඒ, අවසානයේ ගත් කල, සියලු‍ අවස්ථාවාදයන් ජාතික උපයෝජනයන්හි සුවිනිශ්චිත ආකාරයන් තුල මුල් බැස ඇති හෙයිනි. [21] 

වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ:

පක්ෂය ගොඩ නැඟීම, සැබෑ නිර්ධන පන්ති පක්ෂයක් නිර්මානය කිරීම, ප්‍රගමනය වන්නේ කම්කරු පන්තියේ ඓතිහාසික වෛෂයික උත්සුකයන් ආරක්ෂා කිරීම මත පදනම් වූ වැඩ පිලිවෙලක් විද්‍යාත්මක ආකාරයෙන් සකසා ගැනීම සඳහා කෙරෙන නිර්දය අරගලයක ක්‍රියාවලිය හරහා ය... එය හුදෙක් කිසිදා නොවූ විරූ සාමාජික සංඛ්‍යාවක් රාශිභූත කර ගැනීම පිලිබඳ කාරනාවක් නොවේ. ඒ වූ කලී, වෛෂයික තත්වය වර්ධනයේ නිශ්චිත අවස්ථාවක දී කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාවන්ට උර දීමට තමන්ගේ යෝග්‍යතාවය ඔප්පු කිරීමට සමත් උපකරනයක් හැඩ ගස්වා ගැනීම පිලිබඳ කාරනාවකි. [22] 

භේදයේ සමස්ත අත්දැකීම පිරික්සා බලමින් නෝර්ත් මෙසේ නිගමනය කරයි: 

මාක්ස්වාදී ව්‍යාපාරය තුල අවස්ථාවාදයේ ඓතිහාසික වර්ධනය නැවත නැවතත් අත්පත් කොට ගෙන ඇත්තේ, සමාජවාදය එහි ජාත්‍යන්තරවාදී සාරයෙන් වෙන් කිරීමේ ආකෘතියයි. හුදෙක් දෙවැනි හා තුන්වැනි ජාත්‍යන්තරයන් තුල දී පමනක් නොව මෙය හතරවැනි ජාත්‍යන්තරය තුල දී ද සත්‍යයකි. ... 

“ජාත්‍යන්තරවාදය යනු හතරවැනි ජාත්‍යන්තරය මත අවස්ථාවාදයේ විනාශකාරී බලපෑම අවසාන වශයෙන් මැඩ පැවැත්වීම සඳහා කෙරෙන අරගලයේ සාරයයි,” යනුවෙන් නෝර්ත් අවධාරනය කරයි. 

මෙම මූලධර්මය විසින් 1988 ඉදිරි දර්ශන යෝජනාවේ සාරය සකස් කෙරෙයි. එහි 169 වන කරුන යටතේ මෙසේ ප්‍රකාශ කෙරී ඇත: 

විප්ලවවාදී ජාත්‍යන්තරවාදය යනු අවස්ථාවාදයේ දේශපාලන ප්‍රතිබද්ධයයි. අවස්ථාවාදය යනු දෙන ලද ජාතික වාතාවරනයකට හැඩ ගැසීමේ දී දේශපාලන ජීවිතයේ ඊනියා යථාර්ථයන්ට ඒ හෝ මේ ආකාරයෙන් නිශ්චිත අනුගතවීමකි. .. ඒ අනුව, ජාත්‍යන්තර කමිටුවේ ශාඛා තමන් ක්‍රියාත්මක වන රටවලදී කම්කරු ව්‍යාපාරයට ලබා දෙන ප්‍රධාන ඓතිහාසික දායකත්වය වනුයේ ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය සඳහා කෙරෙන සාමූහික හා ඒකාබද්ධ අරගලයයි. [23] 

ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදය හා හතරවැනි ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ: හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන යෝජනාව 1988 අගෝස්තු The World Capitalist Crisis and the Tasks of the Fourth International (1988)

මෙම වැඩ පිලිවෙල සඳහා අරගලය වර්ධනය කිරීමට දැරුනු ජාත්‍යන්තර කමිටු ප්‍රයත්නයට කවිප ඉතිරි වී සිටි කොටස දැක්වූයේ වික්ෂේපය හා සතුරුබව මුසු ප්‍රතිචාරයකි. එක් උදාහරනයක් උපුටා දක්වතහොත්, ශීලා ටොරන්ස්ගේ නිව්ස්ලයින් පුවත්පතට ලියමින් රේ ඇතෝ, වර්කර්ස් ලීගයේ මැතිවරන වේදිකාව නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය සඳහා අරගලය මත යොදන අවධාරනය පිලිබඳ සිය ශංකා පල කර සිටියේය. ඔහු පහත දැක්වෙන ඡේදය උපුටා දක්වයි:

ලෝක ගෝලීය පරිමානයකින් ක්‍රියාත්මක වන ධනේශ්වරයන් පරාජය කිරීමට නම්, ඇමරිකානු කම්කරුවන් ජාත්‍යන්තර විප්ලවවාදී මූලෝපායයක් යොදා ගනිමින් සිය අරගල ආසියාවේ, අප්‍රිකාවේ, යුරෝපයේ හා ලතින් ඇමරිකාවේ සිය පන්ති සහෝදරයන්ගේ අරගල සමඟ ඒකාබද්ධ කල යුතුය. තම රට, භාෂාව, ආගම හෝ සමේ වර්නය කුමක් වුව, කම්කරුවෝ එකම උත්සුකයන් සහිතව, එක සේම ධනේශ්වර සතුරෙකුට මුහුන දී සිටිති. 

ඇතෝ මීට මෙසේ පිලිතුරු දෙයි: 

‘මාක්ස්වාදය’ට නෝර්ත් සිදු කරන ප්‍රතිපදානය සුලු‍ කොට දැක්වීමට අපට අවශ්‍ය නැත. එහෙත්, ‘ලෝකයේ කම්කරුවනි, එක්වව්!’ යනුවෙන් ප්‍රකාශ කිරීමේ දී මාක්ස්ම වර්ෂ 140 කට ඉහත දී මේ ප්‍රශ්නය වඩාත් සංක්ෂිප්ත ව දක්වා ඇත. 

“‘වර්කර්ස් ලීගය එක්සත් ජනපදයේ කම්කරු ව්‍යාපාරය කරා ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායය රැගෙන යන්නේය’ යන ආකාරයේ ප්‍රකාශයන්ගෙන් අනාවරනය වන්නේ මෙම මැතිවරන ව්‍යාපාරයේ පවතින ආගමික ආකාරයකට ආසන්න ස්වභාවයයි.”‍ 

එම ප්‍රකාශයට පටහැනි ලෙස ඇතෝ මෙසේ නිවේදනය කලේය. “‍ලෝක විප්ලවය වර්ධනය වන්නේ එහි ජාතික කොටස් හරහා පමනෙකි.”‍

ඇතෝගේ ප්‍රකාශයට පිලිතුරු දෙමින් නෝර්ත් මෙසේ ලිවීය: 

‘ලෝකයේ කම්කරුවනි, එක්වව්!’ යන වචන නැවත කීම ප්‍රමානවත් නොවේ. අන් සියල්ලට පලමුව, ජාත්‍යන්තරවාදයේ අන්තර්ගතය ලෝක ආර්ථිකයේ සංයුක්ත පරිනාමය පිලිබඳ අධ්‍යයනයක් මඟින් ව්‍යුත්පන්න කොට වර්ධනය කල යුතුය. සියලු‍ විද්‍යාත්මක මාක්ස්වාදී සංකල්ප සේම ජාත්‍යන්තරවාදයේ සංකල්පය ද ලෝක ධනේශ්වර ක්‍රමයේ වෛෂයික වර්ධනයට අනුකූලව පරිනාමය වී ඇත. 

දෙවැනි ජාත්‍යන්තරයේ කාල පරිච්ඡේදය තුල, ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ අරුනලු‍ යාන්තමින් වැටෙමින් පැවැති සමයේ මාක්ස් විසින් ඉදිරිපත් කෙරුනු සටන් පාඨය හා ධනේශ්වර වර්ධනයේ නව බහුජන කම්කරු පන්ති පක්ෂ හැඩ ගැසෙමින් පැවැති අදියරේ තතු අතර ඓතිහාසික වශයෙන් නිර්නය වූ අගාධයක් වන් සැබෑ පරතරයක් පැවතින. දහනව වන සියවසේ අවසාන දශකය තුල පැවැති ජාතික රාජ්‍යයේ රාමුව තුල, තවමත් ප්‍රගතිශීලී වූ, තුරුනු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල සාන්දෘෂ්ඨික අවධානය කල් තබා දිනා ගත් කර්තව්‍යයන් පැවැති අතර, ඒවා මඟින් බොහෝ දුරට එම පක්ෂවල ප්‍රායෝගික කටයුතු නිර්නය විය.... 

... ලෝක සමාජවාදී විප්ලවය යනු හුදෙක් ජාතික විප්ලවයන්හි ඓක්‍යය නොවේ. හුදෙක් එය එසේ වී නම්, එය සම්පූර්නයෙන් සිදු වී අවසාන වූ ක්‍රියාදාමයක් විස්තර කිරීමට පමනක් යොදා ගැනෙන්නක් වනු ඇති අතර, ඒ තාක් දුරට ලෝක සමාජවාදී විප්ලවය යන සංකල්පය කිසිදු විශේෂ වැදගත්කමකින් යුත් සංකල්පයක් නොවනු ඇත. එහෙත් ලෝක සමාජවාදී විප්ලවය යනු එකිනෙකින් හුදෙකලා වූ සිදුවීම් මාලාවක් නොව, එයම වශයෙන් ගත් කල නිශ්චිත ඓතිහාසික අවධියකි. එය ලෝක අවධියකි. ‘ජාතික කොටස්’ වර්ධනය වන්නේ මෙම ලෝක ඓතිහාසික ක්‍රියාදාමය පාලනය කෙරෙන නීතිවලට අනුකූලව ය. 

ලෝක විප්ලවය පවතින්නේ ජාතික විප්ලවවල සමුච්චිතයක් ලෙස පමනක් නම්, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය සඳහා ඇති පදනම කුමක්ද? එකිනෙකට අසම්බන්ධිත “‍ජාතික අරගලවල අනුක්‍රමයක”‍ හෝ, සදාචාරාත්මක සහයෝගීතාවයෙන් පමනක් බැඳුනු ජාතික අරගලවල හෝ, දේශපාලන සහානුභූතියේ අවිශද ආකාරයක හෝ පදනම මත ලෝක සමාජවාදය සාක්ෂාත් කල හැකිනම්, ජාත්‍යන්තර පක්ෂයක් අවශ්‍ය වන්නේ කුමකටද? නිරවද්‍ය ලෙසම ලෝක පක්ෂයක අවශ්‍යතාව ගලා එන්නේ ලෝක සමාජවාදී විප්ලවය සඳහා සටන් වැදිය යුත්තේ හා එය සාක්ෂාත් කර ගත හැක්කේ ජාත්‍යන්තර නිර්ධන පන්තියේ සවිඥානක ලෙස සමෝධානික හා ඒකාබද්ධ අරගලය ලෙස පමනක්ම වන හෙයිනි.

1987 ජූලියේ හජාජාක සිව් වන පුන් සැසිය ලෝක ධනේශ්වර ක්‍රමයේ ආවශ්‍යක ව්‍යුහයන්හි වෙනස්වීම් හා ජාත්‍යන්තර පන්ති අරගලය කෙරේ එම වෙනස්කම්වල බලපෑම පිලිබඳ සාකච්ඡාවකට මුල පිරීය. මෙම සමුලු‍වේදී ඬේවිඞ් නෝර්ත් මෙම ප්‍රශ්න නැඟීය:

ලෝක සමාජවාදී විප්ලවයේ වර්ධනයන් අප පෙරදකින්නේ කෙසේද? කම්කරු පන්තියේ නව නැඟී සිටීමක් හා විප්ලවවාදී පන්ති අරගලයේ අලු‍ත්වීමක් සඳහා පදනම් වනු ඇත්තේ කවර ක්‍රියාදාම හා ප්‍රතිවිරෝධයන් ද? 

අප අවධාරනය කල පරිදි, පිලිතුරු සොයා ගත හැකිව තුබුනේ “‍නිෂ්පාදන ක්‍රියාවලියේ ගෝලීයකරනය සමඟ සබැඳුනු ලෝක ධනේශ්වර ක්‍රමයේ වර්ධනය”‍ තුලය. මෙය සමාජවාදී ජාත්‍යන්තරවාදයේ නොවැලැක්විය හැකි අවශ්‍යතාවයේ වැදගත්කම නව මට්ටමකට ඔසොවා තැබීය. 

2020 මොඩලයට පෙර 2019 අවසාන ජීඑම්සී සියරා නිෂ්පාදිතය සිලාඕ හිදී 2019 අගෝස්තු 8 [ ඡායාරූප අනුග්‍රහය/ ජෙරාඩෝ ඇල්ඩාකෝ , Credit: Gerardo Aldaco]

වර්කර්ස් ලීගයේ 1987 ගිම්හාන කඳවුරට ඉදිරිපත් කෙරුනු සමාරම්භක වාර්තාව මෙම තේමාවන් පහත දැක්වෙන පරිදි ප්‍රකාශයට පත් කලේය: 

විප්ලව ඇති විය හැක්කේ ඒවා වෛෂයිකව අවශ්‍ය වේ නම් පමනක්‌වන අතර, අපි එම අවශ්‍යතාවයේ දැනුවත් නියෝජිතයෝ වම්හ. වෙනත් වචනවලින් කිවහොත්, අපේම කටයුතු, ජාත්‍යන්තර කමිටුව තුල අරගලය, සමාජයේ ආර්ථික පදනමෙහි දී නිෂ්පාදන බලවේග හා සමාජ සම්බන්ධතා අතර ඇති ගැටුමේ වෛෂයිකව නිර්මිත ආකෘතීන් අතරින් එකක් වේ. 

කම්කරු පන්තියේ ලෝක ගෝලීය එක්සත්කම කරා වූ මෙම දිශානුයෝජනය අප පමුනුවා ඇත්තේ, ආර්ථික ජාතිකවාදයේ හා ධනේශ්වර ප්‍රතිගාමීත්වයේ වඩාත්ම ෆැසිස්ට්වාදී ආකාරයන් අතර පවතින සම්බන්ධතාවය ට්‍රම්ප් හා බැනන් විසින් ප්‍රතික්ෂේප කල නොහැකි සේ සුවිශද කරන ලද කාල වකවානුවට පූර්ව කාලයේ, ධනේශ්වර විරෝධය ගෝලීයකරන විරෝධය සමඟ සමාන කිරීමට ප්‍රයත්න දැරූ සුලු‍ ධනපති රැඩිකල් දේශපාලනයේ දෘෂ්ටිවාදීන් සමඟ ඍජු ගැටුමක් කරා බැව් මෙහිදී සඳහන් කල යුතුය. අපේ ඉදිරි දර්ශන යෝජනාව ලියැවෙමින් පැවති දිනවලම මවුෆ් හා ලාක්ලාවු “විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදී”‍ ව්‍යාපාරයේ ඉහලම කර්තව්‍යය වන්නේ “‍ජාතිය ඓන්ද්‍රීය ලෙස ප්‍රතිසංස්කරනය කිරීම”‍ බැව් කියා සිටියහ. තව ද, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්, බෂ්කා සුන්කාරාගේ වචනවලින් අද ප්‍රකාශ කොට ඇත්තේ, තම ව්‍යාපාරය “‍21 වන සියවසේ ඇමෙරිකානුවාදයේ”‍ මාදිලියක් ගොඩ නැඟීමට තැත් කරන බවයි. 

ඉදිරි දර්ශන ලියැවිල්ල පිලිබඳව ශ්‍රී ලංකාවේ පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් වර්කර්ස් ලීගයේ දේශපාලන කමිටුවට වාර්තා කරමින් ඬේවිඞ් නෝර්ත් මෙසේ නිගමනය කලේය: 

බහුජාතික සමාගම්වලත්, අන්තර්ජාතික පරිමානයෙන් සිදුවන නිෂ්පාදනයේත් අති දැවැන්ත වර්ධනය තුල මූර්තිමත් ව ඇති ලෝක ආර්ථිකයේ සහ ජාත්‍යන්තර ශ්‍රම විභජනයේ අද දින වර්ධනය, ජාත්‍යන්තරවාදයට පෙර නොවූ විරූ සංයුක්තභාවයක් ලබා දී ඇත. මෙය කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමායෝජනය හා ඒකාබද්ධ අරගලය අත්‍යවශ්‍ය බවට පත් කරයි. මේ යුගයේ අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය සඳහා අන් පදනමක් නොපවතී.”‍ 

සත්වන පුන් සැසියට ඉදිරිපත් කල සිය වාර්තාව තුල ඔහු මෙම තේමාව තව දුරටත් වර්ධනය කලේය: 

කම්කරු පන්තිය යනු ජාත්‍යන්තර පන්තියකි. මෙය මූලධර්ම පිලිබඳ ප්‍රශ්නයකි. නිර්ධන පන්තිය ලෝක ඓතිහාසික පන්තියක් ලෙස මාක්ස් අර්ථ නිරූපනය කලේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර ස්වභාවය දෘශ්‍යමාන වීමට පෙර කාලයේ දී ය. බොහෝ රටවල එය පහල වී නොතිබින. දැන් නිෂ්පාදන බලවේගවල අතිමහත් වර්ධනය තුල මෙම ලෝක ඓතිහාසික කාර්යභාරය පදනම්වීමේ තතු යටතේ, තවදුරටත් මෙය සෛද්ධාන්තික ප්‍රශ්නයක් නොවේ. එය ප්‍රායෝගික ගැටලු‍වක් බවට පත් ව ඇත. කම්කරු පන්ති අරගල හුදු සාරයෙන් පමනක් නොව ආකෘතියෙන් ද ජාත්‍යන්තරවාදීයැයි (මෙම) ලේඛනය ආරම්භයේදී අප පවසන්නේ ඒ නිසාය.

කවිප ආධිපත්‍යය යටතේ ජාත්‍යන්තර කමිටුවේ දිශානතිය විවේචනය කරමින් හත්වන පුන්සැසියට ඉදිරිපත් කෙරුනු ඬේවිඞ් නෝර්ත්ගේ වාර්තාව මෙසේ අනතුරු ඇඟවීය: 

ජාතිකවාදී මාවත ඔස්සේ, ජාතික වැඩපිලිවෙලක් ඔස්සේ ජාත්‍යන්තර කමිටුව බිඳී යාමේ අනතුර පැවතින. අපේ ජාත්‍යන්තර මූලෝපායය හුදු රූපික ආකාරයෙන්, දෙවැනි ජාත්‍යන්තරයේ මාදිලියෙන්, දක්නා ලදී. 20 වන සියවසේ මුල් කාලයේ එවැනි ආකල්පයක් පැවතීම වටහා ගත හැක්කකි - ක්ෂමාව දිය නොහැකි නමුත් වටහා ගත හැක්කකි. (එදා) ජාතික ආර්ථිකයන්ගේ සුවිශේෂත්වයන් අත්‍යන්තයෙන්ම සංලක්ෂිත විය. ලෝක ආර්ථිකය පැන නැඟී තුබූ මුත් වර්තමානය සමඟ සසඳා බලන විට එය පැවතියේ කලල අවස්ථාවක ය. 

භේදයෙන් අනතුරුව කටයුතු ආරම්භ කල ජාත්‍යන්තර කමිටුවට, ලෝක විප්ලවයේ ප්‍රමුඛතාව කෙරේ සිය බැඳීම යලි තහවුරු කිරීම; එනම්, ලෝක ඉදිරි දර්ශනයක් පැහැදිලිව ප්‍රකාශ කිරීම; අත්‍යවශ්‍ය විය. එහෙත්, මධ්‍යම කාරක සභා පුන් සැසියේ ආරම්භක වාර්තාව සඳහන් කරන පරිදි එය, “ජාත්‍යන්තර කමිටුව තුල නව මට්ටමක අරගලයක් නිර්මානය කලේය. මෙම විශ්ලේෂනයෙන් මතු වී ආවේ අපේ ලෝක වැඩ පිලිවෙලෙහි ප්‍රමුඛතාව ජාත්‍යන්තර කමිටුවේ සෑම ශාඛාවක් තුලම පැහැදිලි කර ගැනීමේ අතිශය ක්‍රමානුකූල අරගලයක් සිදුකිරීමේ අවශ්‍යතාවයයි.”‍ 

වාර්තාව සඳහන් කරන්නේ, මෙම වර්ධනය කෙතෙක් වැදගත් වී ද යත්, වර්කර්ස් ලීගයමත් “‍වෙනස් පක්ෂයක්”‍ ලෙස ඉන් ඉස්මතු වූ බවයි. 

ජාතිකවාදයේ සියලු‍ සලකුනු මකා දමා හා විනාශ කොට, ව්‍යාපාරය මත තැවරී තුබූ පැබ්ලෝවාදයේ කුනු තට්ටු සූරා ඉවත් කොට, ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ විධික්‍රමය තුල ජාත්‍යන්තර ව්‍යාපාරය යලි පන ගැන්වීමට හා යලි ගොඩනැඟීමට අරගල කිරීම සඳහා පසුගිය දෙවසර තුල අපි ප්‍රයත්න දරා ඇත්තෙමු. ජාත්‍යන්තරය ගොඩ නැංවීම සඳහා වන දීර්ඝ හා කල් පමා වූ සටන දැන් තීරනාත්මක අදියරකට සේන්දු වී ඇත. 

ඬේවිඞ් නෝර්ත් අවධාරනය කල පරිදි මෙම වෙනස, “පක්ෂය ... සුලු‍ ධනපති රැඩිකල්වාදය සමඟ අසංගත බවට පත් කරයි. එසේ කල හැක්කේ ජාත්‍යන්තර වැඩ පිලිවෙලක පදනම මත පමනෙකි. අප වැඩිවැඩියෙන් මෙම සවිඥානකත්වය ගොඩ නඟමින් මෙම පොදු වැඩ පිලිවෙල හා මෙම පොදු සංකල්පය මත ව්‍යාපාරය ජාත්‍යන්තරව සවිමත් කරන තරමට, අපට කම්කරු පන්තියේ බහුජන පක්ෂය ගොඩ නැඟීමට වඩවඩාත් හැකි වනු ඇත.”‍ 

ජාත්‍යන්තර කමිටු ශාඛාවන් පොදු ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් මත සාර්ථකව යලි දිශාභිමුඛ කිරීමකට මෙම අරගලය මඟ පෙන්වීය. එය අපේ දේශපාලන විශ්ලේෂනය ගැඹුරු හා තීව්‍ර කොට අවසානයේ 1988 වැඩ පිලිවෙලම වෙර ගැන්වීය. 

අවසානයේදී, අප සියලු‍ දෙනා මෙහි සිටින්නේ වර්කර්ස් ලීගය හා ජාත්‍යන්තර කමිටුව සමස්තයක් ලෙස ජාත්‍යන්තරවාදයේ ඉදිරි දර්ශනය තෝරා ගෙන, සත් වන පුන් සැසියේදී ඉදිරි දර්ශන යෝජනා පිලිගැනීමට ඡන්දය ලබා දුන් නිසාය. 

වර්කර්ස් ලීගයේ දහතුන්වන ජාතික සම්මේලනයට ඬේවිඞ් නෝර්ත් ඉදිරිපත් කල ආරම්භක වාර්තාව යෝජනාවේ සාරාත්මක අන්තර්ගතය සංක්ෂිප්ත කොට දක්වයි:

සාරය වශයෙන් ගත් කල, මෙම ලේඛනය මූලික හා අන්තර්සම්බන්ධිත වෛෂයික ක්‍රියාදාමයන් දෙකක් සමඟ ගනුදෙනු කරයි: එනම්, ලෝක ධනේශ්වර අර්බුදයේ වර්ධනය, ධනේශ්වර පන්නයේ නිෂ්පාදනයේ අර්බුදය; සහ නිර්ධන පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය - හා, එතුල, හතරවැනි ජාත්‍යන්තරයේම ඓතිහාසික අර්බුදය; වශයෙනි. [24] 

මූලික වශයෙන් මෙම ලේඛනය අපේ මතකයේ රැඳී පවතින්නේ නිෂ්පාදනයේ ගෝලීයකරනය වටහා ගැනීමට එය සැපයූ දායකත්වය නිසාය. එහෙත්, එය 1960 ගනන්වල හා 70 ගනන්වල, පැබ්ලෝවාදීන් විසින් ක්‍රමානුකූලව පාවා දෙන ලද බහුජන සමාජ අරගල මූලිකව විප්ලවවාදී වූ බවට කල නිරවද්‍ය විශ්ලේෂනය ද ඒ සා සමාන වැදගත්කමකින් යුතු විය. 1960 ගනන්වල හා 70 ගනන්වල කම්කරු පන්තියේ නැඟී ඒම කඩාකප්පල් කිරීමේ දී පැබ්ලෝවාදී සංවිධාන ඉටු කල කාර්යභාරය වර්කර්ස් ලීගයේ දහතුන් වැනි ජාතික සමුලු‍ව පෙන්වා දුන්නේය: 

ලෝක ධනේශ්වර ක්‍රමය 1968 හා 1975 අතරතුර එහි ඉතිහාසයේ දැවැන්තතම විප්ලවවාදී අර්බුදය තුලින් ගමන් කල බවත්, එයට ඉන් ගැලැවී ගත හැකි වූයේ කම්කරු පන්තිය එහි නායකත්වය විසින් පාවා දෙනු ලැබීම හරහා පමනක් බවත්, ඉනික්බිතිව කම්කරු පන්තියට එරෙහිව ජාත්‍යන්තර ධනපතියන් විසින් එල්ල කෙරුනු ප්‍රහාරය මෙකී පාවාදීම්වල නිර්මිතයක් බවත්, හුදු කටුසටහනක ආකාරයෙන් පමනක් සේ වුව, අපි තහවුරු කලෙමු. [25] 

ලතින් ඇමරිකාවේ දැවැන්ත නය සම්භාරය හා එහි විපාක ලෙස දශ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් හා ගොවියන් දරිද්‍රතාවයේ පත්ලටම ඇද වැටීම හුදෙක් වියුක්ත ආර්ථික ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලය නොවේ. සියලු‍ ආර්ථික ක්‍රියාදාමයන් පෙරී එන්නේ සමාජ පන්තිවල අරගලය තුලිනි. 1980 ගනන්වල ලතින් ඇමරිකාවේ පැවැති තතු බොලීවියාවේ, චිලියේ හා ආර්ජෙන්ටිනාවේ කම්කරුවන් අත් විඳි පරාජයන්හි විවෘත නිර්මිතියයි. [26] 

අපේ ආකල්පය 1923 දී ජර්මනියේ පැවැති තතු සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි දැරූ ආකල්පයමය: එහි නායකත්වයේ දුර්වලතාවයන් හා පාවාදීම් නොවන්නට යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල ධනේශ්වරය පෙරලා දැමිය හැකිව තුබුනි. 60 ගනන් හා 70 ගනන්වල විප්ලවවාදී අත්දැකීම් 1923 ට ද වඩා විශාල ඒවා පවා විය. ධනේශ්වරය දිවි රැක ගැනීම යලිත් වරක් පදනම් වූයේ ස්ටැලින්වාදීන්ගේ හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ද්‍රෝහීත්වය මතය.

විශේෂයෙන්ම 1990 ගනන්වල ශාස්ත්‍රාලීය ආර්ථිකඥයෝ, 1980 ගනන්වල ඇරඹුනු ගෝලීයකරනය, 1914 දී අවසානයට පත් වූ ගෝලීයකරනය සමඟ සසඳමින් “ගෝලීයකරනයේ වකවානු දෙකක්”‍ පිලිබඳව පෙන්වා දෙති. අපේ තක්සේරුව එබඳු සංසන්දනයන් පිලිබඳ පූර්ව සංඥා නිකුත් කලේය. 1987 ගිම්හාන පාසලේ ආරම්භක වාර්තාවේ මෙසේ සඳහන් වේ: 

දෙවැනි ලෝක යුද්ධයේ අවසානයේ සිට ඉකුත් වී ඇති වසර 42 හා ධනේශ්වර වර්ධනයේ ඓන්ද්‍රීය වර්ධනයේ අවසාන කාල පරිච්ඡේදය - එනම්, බටහිර යුරෝපයේ ධනේශ්වර රාජ්‍ය පද්ධතියේ තහවුරුවීම සලකුනු කල ජර්මානු අධිරාජ්‍යය පිහිටුවීම හා 1871 පැරිස් කොමියුනයේ පරාජයේ සිට, 1914 පලමුවන ලෝක යුද්ධයේ පිපිරීම අතරතුර වූ වසර 40 ක පමන කාල පරිච්ඡේදය - අතර යම් සමානත්වයන් පවතී.”‍ [27] 

මෙම ලේඛනයේ ප්‍රධාන සංරචක, කරුනු හයක් තුල සාරාංශගත කොට ඇත: 

පලමු කරුන වන්නේ, ලෝක වෙලඳපොලේ පෙර නොවූ විරූ සමෝධානය හා නිෂ්පාදනයේ ජාත්‍යන්තරීකරනයයි.

යෝජනාවේ 117 වන අංකය යටතේ මෙසේ සඳහන් කොට ඇත:

... ලෝක වෙලඳ පොලේ පෙර කිසිදා නොවූ විරූ (පරිමානයේ) සමෝධානය හා නිෂ්පාදනයේ ජාත්‍යන්තරීකරනය. එක්සත් ජනපද ආර්ථිකය ද ඇතුලු‍ සියලු‍ ජාතික ආර්ථිකයන්ට ඉහලින් ලෝක ආර්ථිකයේ පරිපූර්න හා සක්‍රීය ප්‍රමුඛත්වය පැවතීම නූතන ජීවිතයේ මූලික පරිසිද්ධියක් ව පවතී. සංයුක්ත පරිපථ සොයාගැනීම සහ පාරප්‍රාප්තියට පත් කිරීම සමඟ බැඳුනු තාක්ෂනික ප්‍රගමනයන් විසින් සන්නිවේදනයේ විප්ලවකාරී වෙනස්කම් නිර්මානය කරනු ලැබ ඇති අතර, එම වෙනස්කම් පෙරලා ගෝලීය ආර්ථික සමෝධානයේ ක්‍රියාවලිය වේගවත් කොට ඇත. එහෙත් මෙකී ආර්ථික හා තාක්ෂනික වර්ධනයන් විසින් ධනපති ක්‍රමය සඳහා නව ඓතිහාසික දර්ශන පථයන් විවෘත කෙරෙනු වෙනුවට, ලෝක ආර්ථිකය හා ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, සමාජ නිෂ්පාදනය හා පෞද්ගලික අයිතිය අතරත් පවතින මූලික ප්‍රතිවිරෝධයන් පෙර නොවූ විරූ මට්ටමක තීව්‍රතාවයන් කරා ඔසොවා තබනු ලැබ ඇත. 

එක්සත් ජනපදය ලෝකයේ ප්‍රධාන නය දෙන්නාගේ සිට ප්‍රධානතම නයකරුවා බවට පරිවර්තනය වීමෙන් සංකේතවත් වන්නේ එක්සත් ජනපදයට එහි ලෝක ගෝලීය ආර්ථික ආධිපත්‍යය, සාපේක්ෂ හා නිරපේක්ෂ යන දෙ ආකාරයේම කොන්දේසි යටතේ අහිමිවීමයි. කම්කරුවන්ගේ ජීවන මට්ටම්වල ව්‍යසනකාරී කඩා වැටීම තුල ඍජු ලෙස තුමූම ප්‍රකට වන මෙම පරිවර්තනය, එක්සත් ජනපදය තුල විප්ලවකාරී පන්ති ඝට්ටනයන්හි කාල පරිච්ඡේදයකට දොර විවර කරයි.... 

ජපානය පෘථිවි ගෝලයේ සෑම අහු මුල්ලක දීම ඇමරිකානු ප්‍රාග්ධනයට අභියෝග කරමින් වඩාත් වැඩි විභවයකින් යුත් කාර්මික බලවතා හා විශාලතම ප්‍රාග්ධන අපනයනකරුවා ලෙස නැඟී එන අතර, එමඟින් අධිරාජ්‍ය-විරෝධී ප්‍රතිඝතිතාවන්ට අතිමහත් තීව්‍රතාවක් අත් කර දෙයි. 

මෙම කාල පරිච්ඡේදයේ දී ජපානය ලෝකයේ දෙවැනි විශාලතම අපනයනකරුවා ලෙස නැඟී ආ අතර, ඔවුන්ගේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදනය එක්සත් ජනපදයට ද වඩා වැඩි අගයක පැවතිනි.

ආසියානු පැසිෆික් වලල්ලේ ආර්ථිකයන්හි අසාමාන්‍ය ශීඝ්‍ර වර්ධනය විශාල කම්කරු පන්තීන් බිහි කල අතර, ස්වකීය ආර්ථික තත්වය අනිත්‍ය අපනයන වෙලඳ පොලවල් මත මුලු‍මනින්ම රඳා පැවැති ස්වදේශීය ධනපතීන් සමඟ විප්ලවවාදී ගැටුම් කරා එකී කම්කරු පන්තීහු තල්ලු‍ කරන ලදහ. 

අංක 137 හි මෙසේ සඳහන් කෙරේ: 

දෙවැනි ලෝක යුද්ධය අවසානයේ පටන් පෘථිවි ගෝලයේ විවිධ කොටස්වල ඇති වූ ධනපති ක්‍රමයේ ප්‍රසාරනය හා ආසියාවේ දැවැන්ත නිෂ්පාදන මධ්‍යස්ථාන නිර්මානය වීම, අධිරාජ්‍යවාදය ධනේශ්වර ක්‍රමයේ ඉහලම අවධිය ලෙස දැක්වූ ලෙනින්ගේ අර්ථ කථනයට පටහැනි නොවේ. අධිරාජ්‍යවාදය කෘතියේ ලෙනින් විශේෂයෙන්ම අනතුරු හැඟවූ පරිදි, ”ක්ෂය වී යාමේ මෙම ප්‍රවනතාව ධනේශ්වර ක්‍රමයේ ශීඝ්‍ර වර්ධනයට බාධා පමුනුවතැයි විශ්වාස කිරීම දෝෂයක් වනු ඇත. එය එසේ නොකරයි.”‍ ඇමරිකානු අධිරාජ්‍යවාදය ආසියානු පැසිෆික් රටවල් “‍එකලස් කිරීමේ වේදිකා”‍ ලෙස භාවිතා කොට ඇත. 

පසුගාමී රටවල් බියකරු මට්ටමකින් හිඟමනට ඇද දැමීම හා බෙලහීන ජාතික ධනපතියන්ගේ අපමන “‍සංවර්ධන”‍ මූලෝපායයන් මුලු‍මනින් කඩාවැටීම විප්ලවකාරී ගැටුම් නිර්මානය කල යුතුය.

සියලු‍ ස්ටැලින්වාදී නිලධරයන් - විශේෂයෙන්ම චීනයේ හා සෝවියට් රුසියාවේ නිලධරයන් - වෙලඳපොල ආර්ථිකයේ පිලිවෙත් කරා හැරීම, නිලධරයන් හා කම්කරු පන්තිය අතර විප්ලවවාදී ගැටුම්වල කාල පරිච්ඡේදයකට දොර විවර කරයි. 

යෝජනාවේ අංක 14 මඟින් අනතුරු අඟවා ඇත්තේ ගෝලීය නිෂ්පාදනයේ නව ආකෘතීන් විසින් ලෝක යුද්ධයේ අනතුර අහෝසි නොකෙරෙන බව හා ඒ වෙනුවට එය වඩාත් තීව්‍ර කෙරෙන බවයි:

ධනේශ්වර නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය විසින් ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් අතර පවත්නා ආර්ථික හා දේශපාලන සතුරුකම් ඉමහත් ලෙස තියුනු කරනු ලැබ ඇති අතර, ලෝක ආර්ථිකයේ වෛෂයික වර්ධනයත්, ධනේශ්වර දේපලවල සමස්ත පද්ධතිය ඓතිහාසිකව මුල් බැස ඇත්තා වූ ජාතික රාජ්‍යයේ ආකෘතියත් අතර පවත්නා ශමනය කල නොහෙන ප්‍රතිවිරෝධයන් ප්‍රමුඛස්ථානයට පමුනුවනු ලැබ ඇත.

1960 ගනන් හා 70 ගනන්වල බහුජන සමාජ අරගල පැබ්ලෝවාදීන් විසින් පාවා දෙනු ලැබීමෙන් මඟ පාදනු ලදුව, සමස්ත පාලක ප්‍රභූව පවත්වා ගෙන ගිය ක්‍රමානුකූල ලෝක ගෝලීය ප්‍රහාරය එය පැහැදිලි කලේය: 

ඇමරිකානු ධනේශ්වරය 1979-80 කාල පරිච්ඡේදයේ දියත් කල පිලිවෙත් පන්ති පාලනයේ විධික්‍රමයන්හි ජාත්‍යන්තර පරිමාන වෙනස්වීමක් පිලිබඳ සංඥා කලේය. ඒ සමගම 1979 මැයි මාසයේ තැචර් බලයට පත්වීම සලකුනු කලේ, කම්කරු පන්තිය හික්මවා ගැනීම හා දෙවැනි ලෝක යුද්ධය අවසානයේ නිර්මානය කෙරුනු සමාජ සුබසාධන පද්ධතිය විනාශ කිරීම අරමුනු කොට ගත් අනවරත ප්‍රහාරයක ආරම්භයයි. ප්‍රංශයේදී තම ස්ටැලින්වාදී ඇමතිවරුන් සිව් දෙනා ද සමඟ ”‍සමාජවාදී”‍ මිතරොං ආන්ඩුව, රැඩිකල්වාදයේ රැවටිලිකාරී සංදර්ශනයකින් ඉක්බිති, රේගන්ගේ ආර්ථික ප්‍රතිපත්තීන්ගෙන් වෙන් කොට හඳුනාගැනීමට අසීරු ආකාරයේ ආර්ථික පිලිවෙත්වලට වහා පල්ලම් බැස්සේය. හෙල්මුට් කෝල් තේරී පත් වූ පසු එවැනිම වර්ධනයක් ජර්මනිය තුල ද හට ගත්තේය. රේගන්වාදී ”‍නියාමනහරනයේ”‍ යුරෝපීය අනුෂංගය බවට පත් වූයේ ජනසතු කර්මාන්ත විසුරුවා හැරීම ඉලක්ක කොට ගත් වියරු ”‍පෞද්ගලීකරන”‍ උද්ඝෝෂනයන්ය. 1979 හා 1988 අතරතුර පෘතුගාලයේ සිට ග්‍රීසිය දක්වා යුරෝපයේ සෑම ආන්ඩුවක්ම සමාජ ප්‍රතිසංස්කරනයේ හා පන්ති සම්මුතියේ පිලිවෙත් පිලිකෙව් කලෝය. මෙම ක්‍රියාවලිය හුදෙක් එක්සත් ජනපදයට හා යුරෝපයට පමනක්‌සීමා වූයේ ද නැත. හෝක් යටතේ ඔස්ට්‍රේලියාවේ හා ලෑං යටතේ නවසීලන්තයේ ද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩු නිර්බාධිත ධනේශ්වර සූරාකෑමට එරෙහිව කම්කරු පන්තිය ඉදි කොට තුබූ සීමිත බාධකයන් පවා කුඩුපට්ටම් කරමින් සිටිති. 

ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම්වලට ස්ටැලින්වාදීන්ගේ හා සුලු‍ ධනපති ජාතිකවාදීන්ගේ යටත්වීම තිබියදීම, අභියෝජනාව මෙම කාල පරිච්ඡේදය ගුනාංගීකරනය කලේ, ධනපති ක්‍රමයේ උද්ගමයේ කාලපරිච්ඡේදයක් ලෙස නොව එහි අර්බුදයේ සමයක් ලෙසයි: 

ධනේශ්වර ක්‍රමයේ නව ස්වර්නමය යුගයක් නිවේදනය කිරීම සඳහා ධනපති පන්තියේ ප්‍රචාරකයෝ ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ දෘශ්‍යමාන අර්බුදය ඩැහැ ගෙන ඇත්තාහ. එහෙත් දරිද්‍රතාවයේ අතිමහත් වර්ධනය තිබියදී ම, සමස්ත ධනේශ්වර පර්යායේ ගැඹුරු වෙමින් පවතින ලෝක අර්බුදයෙන් මිදී ගැනීමට ධනපති පන්තියට හැකි වී නැත. ලෝක පරිමානයකින් ධනපතීන් මුහුන පා සිටින අර්බුදය හුදෙක් අවස්ථායික නොව, ඓතිහාසික හා පද්ධතිමය ස්වභාවයේ එකකි. 

ගෝලීයකරනයේ අවදානම්කාරී තතු හමුවේ ලොව පුරා වෘත්තීය සමිති සිදු කල ක්‍රමානුකූල පාවාදීම් පිලිබඳ මෙම ලේඛනයේ සිදු කෙරෙන විශ්ලේෂනය, වෘත්තීය සමිතිවලින් බික්‍ෂෙන ලෙස පසු කලෙක කෙරුනු අපේ කැඳවුමට න්‍යායික පදනම සැපයීය: 

ධනපතීන්ගේ විවිධ ජාතික හා මහාද්වීපික කාන්ඩ අතර පවත්නා රුදුරු තරඟයේ දී, හදිසි අවශ්‍යතාවයක් ලෙස, කම්කරුවන්ගේ සංවිධාන, රාජ්‍ය මූල්‍ය ප්‍රාග්ධනයේ උත්පාදක යාන්ත්‍රනයන්ට මුලු‍මනින්ම සමෝධානය කිරීම අවශ්‍ය කෙරේ. ස්වාධීන, හෝ අඩුතරමින් අර්ධ - ස්වාධීන, ප්‍රතිසංස්කරනවාදී කම්කරු සංවිධාන සඳහා කිසිදු ඉඩක් නොපවතී. ජාතික රාජ්‍යයේ උත්සුකයන් සාක්ෂාත් කරනු වස් නිර්ධන පන්තිය වඩාත් තීව්‍රතර ලෙස සූරා කෑම සඳහා යොදා ගැනෙන උපකරන බවට වෘත්තීය සමිති ඍජුව පරිවර්තනය කෙරෙමින් පවතී. පවත්නා සියලු‍ කම්කරු නිලධරයන් දන ගැසීමේ ප්‍රභවය ඇත්තේ මෙහිය. ජාත්‍යන්තර අර්බුදයට ජාතික විසඳුම් සොයා යාම නොවැලැක්විය හැකි පරිදි මඟ පාදා ඇත්තේ සෑම ජාතික කම්කරු ව්‍යාපාරයක්ම ධනේශ්වරයේ වෙලඳ යුද්ධ පිලිවෙත්වලට යටත් වීම කරා ය. විප්ලවවාදී ජාත්‍යන්තරවාදයෙන් විනා මේ වංකගිරියෙන් පිටතට ඒමේ අන් මඟක් නැත. එම ප්‍රකාශය මඟින් අප අදහස් කරන්නේ, හුදෙක් නිවාඩු පාඩු ඇති විටෙක යාදින්නාවක් ලෙස යොදා ගන්නා වාක්‍යාංශයක් නොවේ. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මුහුනට මුහුන සටන් වැද සිටින ශේෂ්ඨතම මූලෝපායාත්මක කර්තව්‍යය වනුයේ සමස්ත ලෝකයේ කම්කරු පන්තිය, ”එක් ලෝක මධ්‍යස්ථානයක් හා එක් ලෝක දේශපාලන දිශානුයෝජනයක් ඇති, ජාත්‍යන්තර නිර්ධන පන්තියේ විප්ලවකාරී ක්‍රියාකාරීත්වයේ එකම සංවිධානය”‍ ලෙස, ට්‍රොට්ස්කි වරක් හඳුන්වා දුන්, සංවිධානය තුල එක්සත් කිරීමයි. [28] 

මෙම විශ්ලේෂනය පිලිබඳව අදහස් දක්වමින් ඬේවිඞ් නෝර්ත් මෙසේ නිගමනය කරයි: “‍කම්කරු ව්‍යාපාරයේ අර්බුදයේ සැබෑ අන්තර්ගතය වන්නේ මාක්ස්වාදයේ අසාර්ථකත්වය නොව, සමාජ ප්‍රතිසංස්කරනවාදයේ බංකොලොත්කමයි.”‍

13 වන කරුන යටතේ මෙම කරුනු තවදුරටත් වර්ධනය කෙරෙයි: 

පන්ති අරගලය ජාතික වන්නේ එහි ආකෘතියෙන් පමනක් බව ද, හරයෙන් එය ජාත්‍යන්තර අරගලයක් බව ද මාක්ස්වාදයේ චිරකාලීන ආමුලික ප්‍රස්තුතයක් වෙයි. කෙසේවෙතත්, ධනේශ්වර වර්ධනයේ නව විශේෂාංග සැලකිල්ලට ගත් කල්හි, පන්ති අරගලයේ ආකෘතිය පවා ජාත්‍යන්තර ස්වභාවයක් ගත යුතුව ඇත. ඒ අනුව, ප්‍රාග්ධනයේ පෙර නො ඇසූ විරූ සංචලනය විසින් විවිධ රටවල කම්කරු ව්‍යාපාරය සඳහා වන සියලු‍ ජාතිකවාදී වැඩ පිලිවෙලවල් යල් පිනූ හා ප්‍රතිගාමී ඒවා බවට පරිවර්තනය කෙරී ඇත. 

හජාජාකයේ වැඩිවර්ධනය, අවශ්‍යයෙන් ම බැඳී තිබෙන්නාවූ වෛෂයික පදනම සමන්විත වන්නේ, නිරවද්‍ය ලෙසම මෙම වර්ධනයන්ගෙනි. මෙම කරුන වර්කර්ස් ලීගයේ දහතුන්වන ජාතික සම්මේලනයට 1988 අගෝස්තු මස ඉදිරිපත් කෙරුනු ඬේවිඞ් නෝර්ත්ගේ වාර්තාව තුල වර්ධනය කොට හා අවධාරනය කොට ඇත: 

වෛෂයික ආර්ථික ප්‍රවනතාවයන්ගේ හා මාක්ස්වාදීන්ගේ ආත්මීය ආනුභාවයේ ඒකාබද්ධ පීඩනය යටතේ, ජාත්‍යන්තර පරාවක්‍රයක් ඔස්සේ නිර්ධන පන්ති අරගලයේ ඊලඟ අදියර නිර්දය ලෙස වර්ධනය වනු ඇති බව අපි පෙරදකිමු. නිර්ධන පන්තිය තමන් ජාත්‍යන්තර පන්තියක් බවට සිය භාවිතය තුල නිර්වචනය කර ගැනීමට වැඩි වැඩියෙන් නැඹුරු වනු ඇති අතර; තම පිලිවෙත් මෙම ඓන්ද්‍රීය ප්‍රවනතාවයේ ප්‍රකාශනය වන මාක්ස්වාදී ජාත්‍යන්තරවාදීහු මෙම ක්‍රියාවලිය වර්ධනය කර එයට සචේතනික ආකෘතියක් ලබා දෙනු ඇත්තාහ. 

වැඩපිලිවෙල තුල විශ්ලේෂනයට භාජනය වූ දේ අතරින් බොහොමයක් පන්ති අරගලයේ වර්ධනයවීම තුල මෙන්ම පක්ෂයේම සංවිධානය තුලමත් සනාථ වී ඇත. 

අපි මෙසේ පෙරදුටුවෙමු. “‍එලැඹෙන සමයේ කම්කරුවන් ජාත්‍යන්තර මූලෝපායයක් මත පදනම්ව වැඩ වර්ජන හෝ වෙනත් රූපාකාරයන්ගෙන් යුත් අරගල සංවිධාන කිරීම හුරුපුරුදු දෙයක් බවට පත් වනු ඇත. ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ, එනම් ජාතික දේශසීමාවන්ගෙන් පිටත වාසය කරන කම්කරු පන්තිය සමඟ, අරගලවල සෑම පාර්ශවයක්ම සම්බන්ධීකරනය කර ගැනීමට යෙදෙන ප්‍රයත්නයකින් තොරව ධනවාදයට එරෙහිව මහා අරගලවලට එලඹීම බලාපොරොත්තු සුන් කෙරෙන තරමේ යල් පිනූ ක්‍රියාවක් ලෙස පෙනෙනු ඇත.”‍[29] 

කිව යුතුව ඇත්තේ: එම ලේඛනය තුල හඳුනා ගැනුනු මූලික ප්‍රවනතා, ඉනික්බිති සමයේ හුදෙක් අඛන්ඩව පැවතීමෙන් හා වර්ධනය වීමෙන් නොනැවතී තීව්‍ර ද වූ බවයි. 

1988 ඉදිරි දර්ශන ලේඛනය ප්‍රකාශයට පත් කොට තිස් වසරක ඇවෑමෙන් ආර්ථික විද්‍යාඥ බ්‍රැන්කෝ මිලනොවික් ගෝලීය අසමානත්වය (Global Inequality) නම් පොතක් ප්‍රකාශයට පත් කලේය. ලොව පුරා කම්කරුවන්ගේ සමාජ තතුවල අභිසරනයක් පිලිබඳ සඳහන් කෙරෙන මෙම කෘතිය,“වඩාත් ප්‍රමුඛ බෙදුම්කඩනය ප්‍රදේශය නොව පන්තියයැයි සැලකෙන තැනට ලෝකය පත්වෙමින් ඇතැයි පෙන්වා දෙයි.”‍ ජාත්‍යන්තර කමිටුව සම්බන්ධයෙන් ධනපති ආර්ථික විද්‍යාඥයන් සාමාන්‍යයෙන් කියා සිටින පරිදි, එක දිනයක ප්‍රමාදයක් හා එක ඩොලරයක හිඟයක් තිබිය හැක, එහෙත් එය 1988 අභියෝජනාවේ හඳුනා ගෙන තුබූ ක්‍රියාවලීන්ගේ වඩවඩාත් නිසැක වෙමින් පවත්නා තත්‍යතාවය පිලිබිඹු කලේය . 

හොරයිසන් ලයින්ස් ඉන්කෝපරේෂන් හි බහාලුම් නෞකාවක් 2008 පෙබරවාරි 13 වන බදාදා ටකෝමා වොෂ් හි (ටකෝමා, වොෂිංටන්හි) දී මුදා හරිනු ලැබේ.( ස්තුතිය: ටෙඩ් එස්. වොරන් /AP Photo/Ted S. Warren)

ඇත්තෙන්ම, ලොව පුරා කම්කරුවෝ සිය අරගල ජාත්‍යන්තර රේඛා හරහා සම්බන්ධීකරනය කිරීමට ආරම්භ කොට ඇත්තාහ. 2018 දෙසැම්බරයේ ඩෙට්‍රොයිට්හි දී ලෝසවෙඅ ඔටෝ වර්කර්ස් නිව්ස්ලෙටර් විසින් සංවිධානය කෙරුනු මෝටර් රථ කම්හල්වල කම්කරුවන්ගේ රැස්වීමක දී අපෙන් අසන ලද ප්‍රථම ප්‍රශ්නය,“ලෝසවෙඅ ලෝකයේ විවිධ ප්‍රදේශවල කම්කරුවන්ගේ අරගල සම්බන්ධීකරනය කිරීමට ක්‍රියා කරන්නේද?” යන්න වීම කිසිසේත් මවිතයට කරුනක් නොවේ. 

ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ සිය විශ්ලේෂනය තුල ජාත්‍යන්තර කමිටුව විසින් හඳුනා ගනු ලැබූ සියලු‍ මුඛ්‍යාංග මත; තාක්ෂනය, ලෝක වෙලඳාම, හෝ කම්කරු පන්තියේම ගෝලීය සමෝධානය මත වේවා; පරිනාමනයික බලපෑම තීව්‍රවීම පමනෙකි. 

අවසාන වශයෙන්, ගෝලීයකරනයේ ඊනියා අවසානය හා අන්තර්ජාලයේ ඛන්ඩනය පිලිබඳව මාධ්‍ය තුල බොහෝ දේ කියැවී ඇත. එහෙත් මෙයමත් ඉහත ලේඛනය තුල හඳුනා ගනු ලැබූ ක්‍රියාදාමයන්ගේ විද්‍යමානවීමකි. බිඳ වැටෙමින් පවතින්නේ මුවර්ගේ නියමය නොවේ. ට්‍රොට්ස්කි විසින් ශත වර්ෂයකට ඉහත දී සිදු කෙරුනු හා භේදයෙන් අනතුරුව යලි තහවුරු කෙරුනු විශ්ලේෂනයට අනුකූල ලෙස බිඳ වැටෙමින් පවතින්නේ ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියයි.

දැන් ප්‍රාරම්භක ආකාරයෙන් විද්‍යමාන වීමට පටන් ගෙන ඇති පන්ති අරගලයේ ලෝක ගෝලීය පරිමාන සමෝධානය එහි වඩාත්ම සාන්දෘෂ්ටික ප්‍රකාශනය අත්පත් කොට ගෙන ඇත්තේ ජාත්‍යන්තර කමිටුව තුලින්මය. 1988 දී ඩෙට්‍රොයිට් ඇග්‍රිගේට් වෙත වාර්තා කල පරිදි: 

පසුගිය වසරේ හජාජාක ශාඛා සිය ප්‍රායෝගික කටයුතු දෛනික පදනමකින් සම්බන්ධීකරනය කොට ගෙන ඇත්තාහ. වර්කර්ස් ලීගය හා එස්එල්එල්ය සිය ලිපි ගොනු හුවමාරු කර ගැනීමට අවම වශයෙන් සතියකට දෙවරක් පරිගනක හා සන්නිවේදන තාක්ෂනය උපයෝගී කොට ගෙන ඇත්තාහ - මේ වූ කලී පුවත්පත් නිෂ්පාදනයේ හා දේශපාලන කටයුතුවල ලෝක ගෝලීය සමෝධානය දෙසට තබන ලද පියවරකි. චීනයේ සිදුවීම් පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව හා ජර්මනිය තුල එක විට ප්‍රකාශයට පත් කිරීමට අපි සමත් වීමු. තවද, බීඑස්ඒ හා අයිසීපීය සමඟ අපේ පරිගනක සම්බන්ධතා වර්ධනය කිරීමට අපි කටයුතු කරමින් සිටිමු. ප්‍රායෝගික කටයුතුවල අනෙකුත් ක්ෂේත්‍ර සමීප ජාත්‍යන්තර සහයෝගීතාවයක පදනම මත වර්ධනය කෙරෙමින් පවතී. 

මෙම ජාත්‍යන්තර ප්‍රායෝගික කටයුතුවල වැදගත්කම අවතක්සේරු නොකල යුතුය. මෙම ජාත්‍යන්තර සහයෝගීතාවයේ විෂය පථය හා සෑම ශාඛාවකම ප්‍රායෝගික කටයුතුවල සෑම අංශයකටම සැබෑ ලෙසම සිදු කෙරෙන එහි ඍජු බලපෑම හජාජාක හා එහි ශාඛාවන්හි ස්වභාවය ගැඹුරින් හා සාධනීය ලෙස විවර්තනය කොට ඇත. මෙම ශාඛා ස්වාධීන ප්‍රපංචයන් වශයෙන් දේශපාලනිකව හා ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් ආකාරයකින් නොපවතී. පොදු දේශපාලන වැඩපිලිවෙලක පදනම මත සෑම ශාඛාවක්ම එකිනෙකට බැඳ තබන සංකීර්න සම්බන්ධතා ජාලයක් හජාජාකය තුල මතුව විත් ඇත. එනම්, හජාජාකයේ ශාඛා නිර්මිතව ඇත්තේ තනි දේශපාලන ඓන්ද්‍රියයක අන්තර් සම්බන්ධිත හා අන්‍යොන්‍ය පරායත්ත සංරචක ලෙසය. එකී සම්බන්ධතාවයේ බිඳී යාමක් අදාල ශාඛාව තුල අතිශය විනාශකාරී ප්‍රතිවිපාක දන්වනු ඇත. සෑම ශාඛාවක්ම දැන් එහි දෘෂ්ඨිමය හා ප්‍රායෝගික පැවැත්මම සඳහා මෙම ජාත්‍යන්තර සහයෝගය හා සහකරනය මත යැපෙයි. 

1989 ජූලි 10 වන දින ලින්ඩා නෙතන්බෞම් වෙත යැවූ ලිපියක ඬේවිඞ් නෝර්ත් නිරීක්ෂනය කරන පරිදි, “ට්‍රොට්ස්කි විප්ලවවාදී න්‍යායේ වර්ධනය සඳහා සිය ප්‍රගාඪතම ප්‍රතිපදානය සම්පාදනය කලේ, නිරවද්‍යවම කිවහොත්, ප්‍රතිගාමීත්වයේ උල් දත් අතර හිඳිමින් විප්ලවවාදී ඉදිරි දර්ශනය වර්ධනය කිරීමට ඔහු සටන් වදිමින් සිටි (1907-1917 හා ඉනික්බිති 1923-1940) දේශපාලන ප්‍රතිගාමීත්වයේ කාල පරිච්ඡේදවල දී ය.”‍ 

මා හිතන හැටියට අප මෙහි විස්තාරනය කරන්නේ ද එම ක්‍රියාවලියමය. අප විශ්ලේෂනයට භාජනය කරන අවධිය ප්‍රතිගාමිත්වයේ කාල පරිච්ඡේදයකි. එහෙත් ඒ කාල වකවානුව තුල ප්‍රගාඪ ලෙස ප්‍රගතිශීලී ධාරාවන් හා ප්‍රවනතා පැවැත්තේය. 1985න් පසුව හජාජාක තුල මාක්ස්වාදයේ න්‍යායික පුනරුදය තුල සිය ප්‍රකාශනය අත්පත් කොට ගත්තේ එම ප්‍රගතිශීලී ප්‍රවනතාවයන් ය. 

පාද සටහන්:

1) ඩේවිඩ් නෝර්ත්, “වර්කර්ස් ලීගයේ විසිවන ජාතික සමුලු‍ වාර්තාව,” Fourth International, July–December 1988,1988 ජූලි-දෙසැම්බර් හතරවන ජාත්‍යන්තරය, 41 පිටුව

2) History of Philosophyදර්ශනවාදයේ ඉතිහාසය 2-3 පිටු

3) ඩේවිඩ් නෝර්ත්, Leon Trotsky and the Development of Marxism ලියොන් ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදයේ වර්ධනය, (ඩෙට්‍රොයිට්, 1985), පි. 5; 17-18.

4) Fourth International, July–December 1988හතරවන ජාත්‍යන්තරය, 1988 ජූලි-දෙසැම්බර්, පි. 33 .

5) ඩේවිඩ් නෝර්ත්, “අප්‍රේල් 1 වර්කර්ස් ලීග් මධ්‍යම කමිටු සමුලු‍වේ දේශපාලන වාර්තාව,” වර්කර්ස් ලීග් අභ්‍යන්තර ලේඛන, 1988 මැයි, පි. 47.

6) එම, වර්කර්ස් ලීග් අභ්‍යන්තර ලේඛන, 1988 මැයි, පි. 3.

7) Fourth International හතරවන ජාත්‍යන්තරය, 1988 ජූලි-දෙසැම්බර්, පි. 48 .

8) ඩේවිඩ් නෝර්ත්, “අප්‍රේල් 1 වර්කර්ස් ලීග් මධ්‍යම කමිටු සමලු‍වේ දේශපාලන වාර්තාව,” වර්කර්ස් ලීග් අභ්‍යන්තර ප්‍රකාශනය, 1988 මැයි, පි. 44 .

9) ඩේවිඩ් නෝර්ත්, “හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය පිලිබඳ දේශපාලන වාර්තාව,” හතරවන ජාත්‍යන්තරය, 1988 ජනවාරි සිට මාර්තු දක්වා, පි. 67 .

10)  ඩේවිඩ් නෝර්ත්, “1988 ජූනි 14, ඩේවිඩ් නෝර්ත් විජේ ඩයස්ට ලියූ ලිපිය,” හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කාලවේදය 1982-1991, පි. 44 .

11) ඩේවිඩ් නෝර්ත්, “අප්‍රේල් 1 වර්කර්ස් ලීග් මධ්‍යම කමිටු සමුලු‍වේ දේශපාලන වාර්තාව,” වර්කර්ස් ලීග් අභ්‍යන්තර ප්‍රකාශන, 1988 මැයි, පි. 48 .

12) “ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය (බහුතරය), 1972 මාර්තු 1,” Trotskyism vs. Revisionism, Volume 6 සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය , 6 වන වෙළුම, පි. 83 .

13) ඩේවිඩ් නෝර්ත්, “අප්‍රියෙල් 1 වර්කර්ස් ලීග් මධ්‍යම කමිටු සමුලු‍වේ දේශපාලන වාර්තාව,” වර්කර්ස් ලීග් අභ්‍යන්තර ප්‍රකාශන, 1988 මැයි, පි. 49 .

14) ඩේවිඩ් නෝර්ත්, “අගෝස්තු 4 සසප 2019 ගිම්හාන පාසලට ඉදිරිපත් කල ආරම්භක වාර්තාව.”

15) ඩේවිඩ් නෝර්ත්, “අප්‍රේල් 10 වර්කර්ස් ලීග් දේශපාලන කමිටු රැස්වීම,” වර්කර්ස් ලීග් අභ්‍යන්තර ප්‍රකාශන, 1988 මැයි, පි. 87.

16) Fourth International. හතරවන ජාත්‍යන්තරය, 1988 ජනවාරි-මාර්තු, පි. 67 .

17) ඩේවිඩ් නෝර්ත්, “1981 නොවැම්බර් 4 මයික් බන්ඩාට ලියූ ලිපිය.”

18) “ඩේවිඩ් නෝර්ත් මයික් බන්ඩාට යැවූ ලිපිය - 1984 ජනවාරි 23,” හජාජාක ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කරයි, පි. 35.

19) Fourth International. හතරවන ජාත්‍යන්තරය, 1988 ජනවාරි-මාර්තු, පි. 67 .

20) ඩේවිඩ් නෝර්ත්, “හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ හත්වන සමලු‍ව.”

21) ඩේවිඩ් නෝර්ත්, “අප්‍රේල් 1 වර්කර්ස් ලීග් මධ්‍යම කමිටු සමුලු‍වේ දේශපාලන වාර්තාව,” වර්කර්ස් ලීග් අභ්‍යන්තර ප්‍රකාශනය, 1988 මැයි, පි. 56 .

22) එම, පි. 52 .

23) Fourth International. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, “ලෝක ධනවාදයේ අර්බුදය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ” පි. 70 .

24) Fourth International. හතරවන ජාත්‍යන්තරය, 1988 ජූලි-දෙසැම්බර්, පි. 33 .

25) එම, පි. 33 

26) එම, පි. 35 .

27)Fourth International. හතරවන ජාත්‍යන්තරය, 1988 ජනවාරි-මාර්තු, පි. 71.

28) Fourth International. හතරවන ජාත්‍යන්තරය, 1988 ජූලි-දෙසැම්බර්, පි. 38.

29) Fourth International. හතරවන ජාත්‍යන්තරය, 1988 ජනවාරි-මාර්තු, පි. 82 .