අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලියේ ආරම්භක වාර්තාව

කොවිඩ්-19 වසංගතය: ලෝක ඉතිහාසයේ ප්‍රේරක සිදුවීමක්

මෙම ලිපිය 2020 මැයි 4 දා ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.  

මැයි 2 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පවත්වන ලද 2020 ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියට ඬේවිඞ් නෝර්ත් විසින් ඉදිරිපත් කෙරුනු ආරම්භක වාර්තාවේ සිංහල පරිවර්තනය අපි මෙහි පලකරමු. නෝර්ත් ලෝසවෙඅහි ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපතිවරයා ද, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපතිවරයා ද වෙයි. 

****

සහෝදරවරුනි, මිත්‍රවරුනි,

අප 2020 මැයි දිනය පවත්වන්නේ බරපතල කොන්දේසි යටතේය. මෙම රැස්වීමට සහභාගී වන සියලු‍ දෙනා, ලෝකය පුරා දිග හැරෙමින් පවත්නා ඛේදවාචකය පිලිබඳව දන්නා සහ එහි බලපෑමෙන් පීඩාවට පත් අය වෙති. ජනවාරියේ ආරම්භ වූ කොවිඞ්-19 කොරෝනා වෛරස් වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. ඊයේ (මැයි 1) වන විට ආසාදනයට ගොදුරු වූවන් මිලියන 3.4ට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. නිල වාර්තාවලට අනුව, මරනයට පත් මුලු‍ සංඛ්‍යාව 240,000 ට ඉතා ආසන්නව පවතින අතර, සැබෑ සංඛ්‍යාවන් නිසැකවම ඊට වඩා සැලකියයුතු ලෙස ඉහලය.            

ගෙවන්නට සිදු වී ඇති මෙම බිහිසුනු වන්දිය ද, ඉදිරියේ එලැඹෙන දින හා සති තුල දී මරනීය තත්වයට පත්වන්නන්ගේ සංඛ්‍යාව තවදුරටත් ශීඝ්‍රව ඉහල යාමට නියමිතය යන්න පිලිබඳව පවතින නිශ්චිතභාවය ද, ශෝකය දනවන කරුනු වේ. දිනපතාම, දහස් ගනන් ජීවිතවල ආයුෂ කැපී කෙටි වෙමින් පවතී. මෑතකදී නව වසර සැමරූ, අනාගතාපේක්ෂාවන්ගෙන් යුතුව පසු වූ, තමන්ට ඉතිරිව ඇත්තේ ඒ සා කෙටි කාලයකැයි විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නොපැවැති අපේ මානව සගයෝ අතිමහත් සංඛ්‍යාවක් හිටි අඩියේ ආසාදනයෙන් පහර ලැබ, බොහෝ අවස්ථාවලදී දින කිහිපයක් තුල මරනයට ගොදුරු වූහ.        

එහෙත් මෙකී ශෝකය සමඟ අත්වැල් බැඳ එන්නේ වර්ධනය වෙමින් පවත්නා කෝපයයි. දැවැන්ත ජීවිත හානිය හුදෙක් ජෛව විද්‍යාත්මක ප්‍රපංචය විසින් පමනක් නිර්මිත එකක් නොවේ. ආන්ඩුවල ප්‍රතිචාරය - ඔවුන්ගේ නුසූදානම්කම, ඉමහත් නොහැකියාව, හා කම්කරු ජනයාගේ ජීවිත පිලිබඳව ඔවුන්ගේ අලජ්ජි උදාසීනත්වය - මානව අවශ්‍යතා ධනේශ්වර ලාභාපේක්ෂාවන්ට හා පෞද්ගලික ධන සම්පත් ගොඩ ගැසීමට යටත් කිරීමේ නිර්මිතයක් ලෙස ලෝකය පුරාම දකින්නට ලැබින.

ඩේවිඩ් නෝර්ත්ගේ කථාව වීඩියෝවේ 3:49 ට ආරම්භ වේ.

     

ජනවාරියේ මුල් දිනවල වුහාන්හි ඇති වූ වර්ධනයන් පිලිබඳ වාර්තා ප්‍රසිද්ධියට පත් කෙරුනු අතර ඒ අනුව ලොව පුරාම ඒ ගැන දැනගන්නා ලදී. චීන අධිකාරීහු හා වෛද්‍ය සේවා ප්‍රජාව විස්තීර්න තොරතුරු සිය සමවෘත්තිකයන් සමඟ ගෝලීය වශයෙන් බෙදා හදා ගත්තෝය. මේ        රැස්වීමේ ඉදිරියේදී කථා කරන පීටර් සිමන්ඞ්ස් සහෝදරයා චීනයට එරෙහිව නඟා ඇති චෝදනා පිලිබඳව ද, වසංගතය පැතිර යාම හා එමඟින් පනවනු ලැබ ඇති බිහිසුනු වන්දිය සම්බන්ධයෙන් එම රට දඩමීමා කර ගැනීමට යෙදෙන ප්‍රයත්න පිලිබඳව ද විමර්ශනය කරනු ඇත. එහෙත් වසංගතයට ක්ෂනිකව හා ඵලදායී අයුරින් ප්‍රතිචාර දැක්වීමෙහි ලා ඇමරිකාවේ, යුරෝපයේ හා සෙසු රාජ්‍ය දැක්වූ අත්‍යන්ත අසමර්ථතාව හා එසේ කිරීම ඔවුන් විසින් එකහෙලාම ප්‍රතික්ෂේප කරනු ලැබීම, චීනයේ කර මතට වරද පැටවීමට දැරෙන ප්‍රයත්න මඟින් පැහැදිලි නොකෙරෙන බව පමනක් මේ මොහොතේ පැවසීමට මට අවසර දෙන්න. තීරනාත්මක කාලය නාස්ති කර දමා ඇත. ට්‍රම්ප් පාලනයට හා වසංගතය ගැන තතු විමර්ශනය සඳහා වගකිව යුතු ද්විපක්ෂ කොන්ග්‍රස් කමිටුවලට ද, තමන් ප්‍රමුඛවම උත්සුක වූ කාරනය වී තිබුනේ වෝල් වීදිය හා ගෝලීය මූල්‍ය වෙලඳ පොලවල් විනා මිනිස් ජීවිත ආරක්ෂා කිරීම නොවේ. ඔවුන් අනුගමනය කල පිලිවෙත ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ව්‍යක්ත ලෙස අර්ථ දක්වා තිබුනේ “‍දුෂ්ට නොසැලකිල්ල”‍ ලෙසය.      

මීට යන්තම් මාසයකට ඉහත දී, අප්‍රේල් 1 දා, සමස්ත ලෝකයේ තහවුරු කල මරන සංඛ්‍යාව වී තිබුනේ 42,540 කි. එක්සත් ජනපදය තුල මරන සංඛ්‍යාව 4,000ක් ව පැවතින. මැයි 1 දින වන විට ලෝකයේ මරන සංඛ්‍යාව 240,000 කරා ලඟා වී තිබින. එක්සත් ජනපදය තුල කොරෝනා වෛරසයට ගොදුරුව මිය ගිය සංඛ්‍යාව, අද උදයේ ප්‍රකාශිත පරිදි, 65,000 කි. අප්‍රේල් මාසයේ දින 30 තුල ඇතුලත 200,000 කට ආසන්න ජනයා වෛරසය නිසා මිය ගොස් ඇති අතර, ඉන් 60,000 ක් ඇමරිකානුවෝ වෙති. එහෙත් එම දින 30 ඇතුලතම, මරනයේ හා දුක්ඛ පීඩාවන්ගේ භයංකාර දර්ශනය මධ්‍යයේ ම, ඩෝ ජෝන්ස් කාර්මික මධ්‍යකය සියයට 30 ක් ඉක්මවූ ප්‍රතිශතයකින් ඉහල නැඟු‍නි. එය වසර 30 කට වැඩි කාලයක් තුල එය අත්පත් කර ගත් වඩාත්ම පිපිරුම්කාරී ඉහල නැඟීමයි! වෝල් වීදිය මරනය උත්සවශ්‍රීයෙන් සැමරීමේ හේතුව කුමක්ද? 

පිලිතුර පහත දැක්වේ: බැංකු, සමාගම් හා වෝල් වීදියේ සමපේක්ෂකයන් වෙත ඩොලර් ට්‍රිලියන ගනනාවක නය ලබා දීමේ යෝජනාවක් මාර්තු මාසයේ අග භාගයේ කොන්ග්‍රසය විසින් අනුමැතිය දෙනු ලදුව හා ට්‍රම්ප්ගේ අත්සන ලබා නීතියක් බවට පත් විය. ඉහත දශකය තුල ගොඩ ගැසී තිබූ සියලු‍ අසාධු නය පියවිය යුතු විය. මූල්‍ය වෙලඳ පොලවල්වලට සහාය දීම සඳහා කෙරෙන වියදම් ප්‍රමානයට සීමාවක් නොපනවනු ඇතැයි ෆෙඩරල් මහ බැංකුව නිවේදනය කලේය. වටහා ගත නොහැකි තරමේ මුදල් සම්භාරයක් ෆෙඩරල් මහ බැංකුවේ ඩිජිටල් මුද්‍රනාල විසින් නිර්මානය කරනු ලැබ, කිසිදු කොන්දේසියකින් හෝ සීමා පැනවීමකින් තොරව මූල්‍ය - සමාගම් ප්‍රභූවේ අතට පත් කෙරී ඇත. එම නය සම්පාදනය ක්‍රියාවට දැමූ කල පාලක පන්තියේ උද්වේගවත් සැලකිල්ල යොමු වූ අර්බුදය බොහෝ දුරට විසඳෙනු ඇත. මහජනයාට වසංගතයෙන් ඇති වන බලපෑම එතරම් සැලකිලිමත් විය යුතු කරුනක් නොවේ.          

මෙම වසංගතය ධනේශ්වර සමාජයේ ආර්ථික, දේශපාලන, සාමාජයීය හා සදාචාරාත්මක බංකොලොත්කම හෙලිදරව් කරන ඓතිහාසික සිදුවීමකි. එය ධනපති ආන්ඩු පාලනය කරන හා ඒවායේ ප්‍රතිපත්ති නිර්නය කරන සංගත-මූල්‍ය කතිපයාධිපත්‍යයන් ද, කම්කරු පන්තියේ අවශ්‍යතා හා උත්සුකයන් ද අතර පවත්නා යා කල නොහැකි අගාධය අනාවරනය කොට දක්වයි.  

වර්තමාන ගෝලීය අර්බුදය පිලිබඳ සිය විශ්ලේෂනය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය, වසංගතය “ප්‍රේරක සිදුවීමක්”‍ ලෙස අර්ථ කථනය කොට ඇත. එය 1914 ජූනි 28 වන දින ඔස්ත්‍රියානු මහාදිපාද ෆර්ඩිනන්ඞ් හා ඔහුගේ භාර්යාව ඝාතනය කිරීම සමඟ සැසඳිය හැක්කකි. එම සිදුවීම, සති පහකට මඳක් වැඩි කාලයක් තුල, 1914 අගෝස්තුවේ මුල් භාගයේ, පලමුවන ලෝක යුද්ධය ඇවිලී යාම දක්වා ශීඝ්‍රයෙන් මඟ හෙලි කලේය. ඉදින් මෙම ඝාතනය සිදු නො වී නම් අගෝස්තුවේ යුද්ධය එලැඹේ ද යන්න සැක සහිතය. එහෙත් ඉක්මනින් හෝ පමා වී හෝ, ඇතැම්විට 1914 ශීත ඍතුවේ හෝ ඊලඟ වර්ෂයේ හෝ, යුරෝපීය හා ගෝලීය ධනේශ්වර ක්‍රමයේත්, අධිරාජ්‍යවාදයේත් ආර්ථික හා භූ දේශපාලනික ප්‍රතිවිරෝධයන් විසින් යුදමය වහ්නි ජාලාවකට මඟ පෑදෙනු ඇත. ඝාතනය විසින් ඓතිහාසික ක්‍රියාදාමය වේගවත් කරන ලදී; එහෙත් එය ක්‍රියාත්මක වූයේ කල් තබා පැවතෙමින් තිබූ හා අතිශයින්ම ඇවිලෙන සුලු‍ සමාජ ආර්ථික හා දේශපාලන තතු මත ය. වසංගතය සම්බන්ධයෙන් ද එසේම පැවසිය හැකිය.    

ඉදිරියේ එලඹෙන වර්ෂවල දී, 2020 මහා වසංගතය දෙස ඉතිහාසඥයන් හැරී බලන විට, මෙම සිද්ධිය ජාත්‍යන්තර කම්කරු පන්තියේ හා සමාජවාදය සඳහා ගෝලීය ව්‍යාපාරයේ මහජන විප්ලවවාදී අරගලවලට මූලාරම්භය සැපයූවේ මක්නිසාදැයි ඔවුන් නිසැකවම විමසනු ඇත. විද්‍යාර්ථීන් මෙම සිද්ධීන් විමර්ශනය කරමින්, ඊට ඉහත දශක දෙක තුල විද්‍යාඥයන් විසින් එලැඹෙන වසංගතය පිලිබඳව සිදු කර තිබූ අනතුරු හැඟවීම් මත ක්‍රියාත්මක වීමට ප්‍රභූන් අසමර්ථවීම කෙරේ අවධානය කැඳවනු ඇත. වඩාත්ම බලගතු ධනේශ්වර රටේ පුරවැසියන්ට ප්‍රමානවත් වෛද්‍ය සේවාවක් සම්පාදනය කිරීමට නොහැකි වන අඩියකට එය පත් කල, එක්සත් ජනපද සමාජ යටිතල ව්‍යූහයේ පැවැති දුර්භාග්‍ය සම්පන්න තතු පිලිබඳව ඔවුන් සැලකිල්ලට ගනු ඇත. ඉතිහාසඥයන් නිසැකවම සමාජ අසමානතාවයේ පැවැති විස්මය දනවන මට්ටම්, කතිපයාධිපතීන්ගේ අතිලෝභී කෑදරකම්, ඔවුන්ගේ ජාතික සම්පත් කොල්ලය, ඔවුන්      රැකියා විරහිත කම්කරුවන්ට හා බලාපොරොත්තු සුන් වූ කුඩා ව්‍යාපාරවලට ආර්ථික සහන සම්පාදනය කිරීම ප්‍රතික්ෂේප කිරීම, සහ අනාරක්ෂිත තතු යටතේ ආපසු වැඩට පැමිනීමට බලකිරීමේ කුරිරු පරිශ්‍රමය පිලිබඳව අවධාරනය කරනු ඇත. එමෙන්ම, අත්‍යන්ත අර්බුදයේ අවස්ථාවක දී  සමාජ-ව්‍යාධී මොට්ටයෙකු ධවල මන්දිරය අරා සිටියේ කෙසේද හා කුමක් නිසා ද යන්න පැහැදිලි කිරීමට ද ඉතිහාසඥයන් යත්න දරනු ඇත.           

ධනේශ්වර පන්තිය වසංගතයට දැක්වූ ප්‍රතිචාරය යනු, ධනේශ්වර ක්‍රමයේ පද්ධතිමය අර්බුදයට ප්‍රතිරෝධ දැක්වීම් ලෙස එය ඉහත දශකවල යොදා ගනිමින් තුබූ එම පරපෝෂිත ආර්ථික හා සමාජ පිලිවෙත් ම පවත්වා ගෙන යාම හා තීව්‍ර කිරීම වූ බැව්, මෙම ප්‍රශ්නවලට පිලිතුරු ලෙස මාක්ස්වාදීන් පැහැදිලි කර දෙනු ඇත. ප්‍රගාඪ සමාජ පරිවර්තන අත් දුටු ඉන් ඉහත ඓතිහාසික කාල පරිච්ඡේදයන්හි දී සිදුව තිබූ පරිදි ම, කෙතෙක් අත්‍යවශ්‍ය වුව, තම ධනය හා බලය සමඟ ගැටෙන කවර හෝ ප්‍රතිසංස්කරනයක් සිදු කිරීම පාලක ප්‍රභූන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම විප්ලවය නොවැලැක්විය හැක්කක් බවට පත් කල බැව් ඔවුන් පැහැදිලි කරනු ඇත. දහඅටවන ශත වර්ෂයේ නැඟිටීම් පිලිබඳව ලියමින්, ඉතිහාසඥ ආර්.ආර්. පාල්මර් මෙසේ ලිවීය: “(ප්‍රන්ස) විප්ලවය වේගවත් කරවමින් ආරම්භයේදී පෙර දැකිය නොහැකි වූ දුරක් කරා එය රැගෙන යනු ලැබුවේ ප්‍රන්සය තුලම විප්ලවයට එරෙහි ගතානුගතිකයේ ප්‍රතිරෝධය විසිනි.”‍ අද දිනයේ ධනේශ්වර ප්‍රභූ තන්ත්‍රය හැසිරෙන්නේ සිය වැඩවසම් මුතුන්මිත්තන්ට නොවෙනස් ආකාරයකට වන අතර, ඔවුන්ගේ ක්‍රියා කලාපයන් සමාන ප්‍රතිඵල ජනනය කරවනු ඇත.     

ධනේශ්වර ක්‍රමයේ දිගු කල් ඇදී ගිය දිරාපත්වීම, මූල්‍යකරනය ලෙස හඳුන්වනු ලැබෙන ක්‍රියාවලිය තුල -- එනම්, නය ප්‍රසාරනය කිරීම හරහා සංගත-මූල්‍ය පරපෝෂිත ප්‍රභූන් සඳහා ධනය ජනනය කිරීම සහ නිෂ්පාදන ක්‍රියාවලිය, කිසිදා නොවූ විරූ ආන්තික පරිමානයකින් එකිනෙකින් වෙන් කිරීම තුල -- අනර්ථකාරී ප්‍රකාශනයක් අත්පත් කර ගෙන ඇත. විශේෂයෙන්ම 2008-2009 බිඳ වැටීමෙන් ඉක්බිත්තේ බැංකු කරුවන්, සංගත හා වෝල් වීදියේ සමපේක්ෂකයන් ඔවුන්ගේ ඉවබවක් නැති සමපේක්ෂනයන්හි ප්‍රතිවිපාක වලින් ගලවා ගැනීමට එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුව හා යුරෝපයේ මහ බැංකු මැදිහත් වූහ. “ප්‍රමානාත්මක ලිහිල්කිරීම”‍ නමින් හැඳින්වුනු 2008-2009 මෙම ගලවා ගැනීම විසින්, කම්කරු පන්තිය සූරාකෑම උත්සන්න කෙරෙන අතර ම, එක්සත් ජනපද හා ගෝලීය කොටස් වෙලඳ පොලවල් නව උස් මුදුන් කරා ඔසවාලූ, ඉනික්බිතිව එලැඹුනු සමපේක්ෂනයේ දශක සඳහා කොන්දේසි නිර්මානය කෙරින.             

නය ඉන්ධන යොදා දුවවන ලද එක්සත් ජනපද හා ගෝලීය ආර්ථිකයේ අඩමාන තතු වසංගතය පැතිර යාමට පූර්වයෙන් පවා පැහැදිලිව පෙනෙන්නට තිබින. 2018 අග භාගයේ එජ ෆෙඩරල් මහ බැංකුව වෝල් වීදියේ කොටස් අගයන්හි හදිසි ඇද වැටීමක් අවහිර කිරීමට යත්න දරමින් පොලී අනුපාත තව දුරටත් කපා දැමීය. 2020 ඇරඹෙන විට කොටස් අගයන් වාර්තාගත මට්ටම් කරා ලඟා වී තිබින.   

නිෂ්පාදනය ක්ෂනිකව නැවැත්වීමකට බල කෙරෙමින් හා ඉහල උත්තෝලනයක් ලබා දුන් සමපේක්ෂනාත්මක ක්‍රියාකාරකම් කඩාකප්පල් කෙරෙමින් වසංගතය පැතිර යාම, මාර්තුවේ වෝල් වීදියේ දැවැන්ත ලෙස මිල කඩා වැටීමකට තුඩු දුන්නේය. වෝල් වීදියේ තක්සේරු කිරීම්වල ව්‍යාජ ස්වභාවය හෙලිදරව් කරමින් දින ගනනක් තුල කොටස් අගයන්ගෙන් ඩොලර් ටි්‍රලියන ගනනක් -- නූතන ඉතිහාසයේ සිදු වූ සෑම මිල කඩා වැටීමකදීම සිදු වූවාට වඩා වැඩි වේගයකින් -- කප්පාදු වී ගියේය. නිකුත් කල කොටස්වල මිලෙහි ඉහත ඉහල යාමේ පැවැති අතාත්වික ස්වභාවය මෙම බිඳ වැටීමේ ප්‍රවේගය විසින් හෙලිදරව් කරන ලදී. එකී නිකුත් කොටස් මිල ඉහල යාම නිර්මානය කෙරී තිබුනේ බොහෝ දුරටම, සංගත තම කොටස් තමා විසින් ම මිලට ගැනීම මඟින් තෙල් දමා දල්වන ලද ගින්නක් ලෙසටය.   

විනාශයට මුහුන පා සිටි මූල්‍ය හා සංගත කතිපයාධිපත්‍යය තමන් ගලවා ගන්නා ලෙස ඉල්ලමින් යලිත් වරක් ෆෙඩරල් මහ බැංකුව කරා හැරී ගත්හ. එහෙත් මෙවර ඒ සඳහා හුදු ඩොලර් බිලියන ගනනින් නොව, ඩොලර් ටි්‍රලියන ගනනින් අවශ්‍යව තිබින. ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ නව සංස්කරනයක් නිර්මානය කරන ලදී. 2008 බිඳ වැටීමට ප්‍රතිචාර ලෙස නිර්මානය කල ප්‍රථම සංස්කරනයේ දී, සංගත ශේෂ පත්‍රවල පවත්වා ගෙන ගිය අනතුරට පත් වත්කම් මිල දී ගැනීමට ෆෙඩරල් මහ බැංකුව ආසන්න වශයෙන් මසකට ඩොලර් බිලියන 80 බැගින් වැය කලේය.  

ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ නව සංස්කරනයේ දී ෆෙඩරල් මහා බැංකුව විසින් වත්කම් මිලදී ගනු ලැබීම දිනකට ඩොලර් බිලියන 80 දක්වා ඉහල දමා ඇත.     

අතිමහත් ලෙස ප්‍රසාරනය කෙරුනු ෆෙඩරල් මහ බැංකුවේ නය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය ආදායම විසින් ඉල්ලා සිටිනු ලැබෙන්නේ කම්කරු පන්තිය සූරාකෑම එහි ආන්තික මට්ටම් කරා තීව්‍ර කිරීමයි. කම්කරුවන්ගේ ජීවිතවලට තර්ජන එල්ල වන තතු යටතේ පවා ආපසු වැඩට යාමට ඔවුන්ට බල කෙරෙන, මාධ්‍ය මඟින් උඩ ගෙඩි දෙනු ලබන උද්ඝෝෂනයට ප්‍රභවය වන්නා වූ අවශ්‍යතාව වන්නේ මෙයයි. 

පාලක ප්‍රභූවේ සේප්පුවලට ඩොලර් ටි්‍රලියන ගනනින් ලබා දීම හුදු පිලිකුල හා කෝපය පුලු‍ල් ලෙස පුබුදුවා ලනු පමනක් නොවේ. එය, ධනේශ්වර ක්‍රමයේ නීත්‍යානුකූල භාවය රඳා පවත්නා සමස්ත ආර්ථික හා දෘෂ්ටිවාදාත්මක පදනමට ම යටින් වල කපයි. නිමක් නැතිව යලියලිත් නිවේදනය කර ඇති පරිදි, ධනපතියා ප්‍රාග්ධනය සම්පාදනය කරමින් එහි අවදානම ගනියි. දැන් මේ කියාපෑම් කිසිවක් වලංගු නොවේ. මූල්‍ය සම්පත් සමාජය විසින් සම්පාදනය කෙරෙන අතර, නිමක් නොමැතිව නය සම්පාදනය කර රැක ගැනීමේ ප්‍රතිඥාවන් මඟින් අවදානම ඉවත් කෙරේ.       

වසංගතයට ප්‍රතිචාර ලෙස පාලක පන්තිය අනුයමින් පවතින කුරිරු පිලිවෙත්, කම්කරු පන්තිය රැඩිකලීකරනයට භාජනය කරයි. එහෙත් මෙම රැඩිකලීකරනය, වසංගතය පැතිර යාමට පූර්වයෙන් ද වර්ධනය වෙමින් පැවතින. පසුගිය වසර ගනනාව විසින් අත්දකිනු ලැබුවේ පන්ති ගැටුමේ බලගතු උත්සන්න වීමකි. සමාජ ගැටුම පිලිබඳව, වසංගතය එහි ප්‍රාරම්භක රංගනය යන්තමින් කරලියට නංවමින් සිටි මාර්තුවේ පල කෙරුනු විශ්ලේෂනයක් මඟින්, ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බුද්ධි මන්ඩලයක් වන මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයනයන් සඳහා වූ මධ්‍යස්ථානය (සීඑස්අයිඑස්) මෙසේ අනතුරු හැඟවීය:        

අප ජීවත් වෙමින් සිටින්නේ, සිදු වන වාර ගනනින් වේවා, විෂය පථයෙන් වේවා, ප්‍රමානයෙන් වේවා, ඓතිහාසිකව පෙර නො ඇසූ විරූ ගෝලීය මහජන විරෝධතාවයන්හි යුගයක ය....

2019 වසරේ මුල් සිව් මස තුල පමනක්, බේරුට් සිට බාසිලෝනාව දක්වා ද, හොංකොං සිට හරාරේ දක්වා ද රටවල් 37 ක් දැවැන්ත ආන්ඩු-විරෝධී ව්‍යාපාර අත් දුටුවෝය. 2019 වර්ෂය තුල රටවල් 114 ක ආන්ඩු-විරෝධී විරෝධතා පැන නැඟින. මෙය දශකයකට ඉහත පැවැති තත්වයට වඩා සියයට 31 ක වැඩි වීමකි. .....     

සැලකිය යුතු කරුනක් වන්නේ, වැඩි දියුනු ආර්ථිකයන්ට ද මෙම කැලඹීම් රැල්ලට මුහුන දීමේ ප්‍රතිශක්තිය නොමැති බව පෙනී යාමයි. ඇත්තෙන්ම, සිවිල් ජනයාගේ ආන්ඩු-විරෝධී විරෝධතා යුරෝපයේ දී හා උතුරු ඇමරිකාවේ දී ගෝලීය සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් වර්ධනය වූයේය. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධුරයේ වැඩ ආරම්භ කල 2017 ජනවාරි 1 දින සිට 2020 ජනවාරි 1 දින තෙක් මිලියන 11.5 ක්ම පාහේ ඇමරිකානුවෝ සෑම එජ ප්‍රාන්තයක ම පැවැති විරෝධතා ව්‍යාපාර 16,000 ක සහභාගී වී ඇත්තාහ. එජ ඉතිහාසයේ එන විශාලතම පෙලපාලි පහ ද ඒ අතර විය.      

සීඑස්අයිඑස් පහත දැක්වෙන කනස්සලු‍කාරී පුරෝකථනය ගෙන එයි: 

ඉතිහාසයේ මහා හැරීමක් තුල, මෑත සතිවලදී -- බොහෝ විට නව කොරෝනා වෛරසයේ පැතිර යාම නිසා -- විරෝධතා නිහඬ වී ඇත... එක් අතෙකින් නාගරික ප්‍රදේශවල රාජ්‍ය සීමා පැනවීම් නිසා ද, අනෙක් අතට විශාල මහජන ඒකරාශී වීම්වලට තමන් නිරාවරනය කර ගැනීමට පුරවැසියන්ගේම අදිමදිය නිසා ද කොරෝනා වෛරසය කෙටි කාලීනව විරෝධතා යටපත් කරනු ඇතැයි සිතිය හැකිය. කෙසේවෙතත්, මෙම වසංගත තත්වය අනාගතයේ ගැනීමට ඉඩ ඇති ගමන් මඟ හමුවේ රජයේ ප්‍රතිචාරයමත් බහුජන දේශපාලන විරෝධයේ තවත් ප්‍රේරකයක් බවට පත් විය හැකිය.  

මහජන විරෝධතාවල මෙම හදිසි නැඟීම පිලිබඳ තවත් සැලකිය යුතු අංශයක් කෙරේ සීඑස්අයිඑස් අවධානය කැඳවයි: 

මෙම මහජන විරෝධතා යුගයේ එක් කනස්සලු‍කාරී මුද්‍රාවක් වන්නේ ඒවායේ පොදු සම්බන්ධකය වන නායකත්වයක් නොමැති වීමේ ස්වභාවයයි. පුරවැසියෝ වර්තමාන නායකයන්, ප්‍රභූන් හා ආයතන කෙරේ විශ්වාසය සිඳ ගනිමින්, අපේක්ෂා භංගත්වයෙන් හා නිරතුරුවම කලකිරීමෙන් යුතුව වීථි බසිති.    

විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය තවමත් කම්කරු මහජනයාගේ නායකත්වයට පත් ව නැති බව සත්‍යයකි. එහෙත් මාක්ස්වාදී - එනම්, ට්‍රොට්ස්කිවාදී - ව්‍යාපාරය බහුජනයා අතර නායකත්වය දිනා ගන්නා එකී ක්‍රියාවලිය ශීඝ්‍රයෙන් පරිනත වෙමින් පවතී. දැන් මසකට ජාත්‍යන්තර පාඨක සංඛ්‍යාව මිලියනයට බෙහෙවින් වැඩි අගයකට පත් ව ඇති ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨක සමූහයාගේ වර්ධනය විසින් පෙන්නුම් කෙරෙන්නේ කම්කරු පන්තියේ දිනෙන් දින වැඩෙන කොටස් තුල වර්ධනය වෙමින් පවතින විප්ලවවාදී සමාජවාදී දිශාවනිතයයි.  

හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක ලියොන් ට්‍රොට්ස්කි අවධාරනය කල පරිදි, කම්කරු පන්තියේ දේශපාලන දිශාවනිතිය තුල තීරනාත්මක සාධකය වන්නේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදයෙන් පැන නඟින වෛෂයික කොන්දේසි ය. පන්ති අරගලයේ තර්කනය විසින් කම්කරු පන්තිය විප්ලවවාදී නිගමන කරා එලඹවනු ලබයි. පාලක පන්තිය සමාජය මංකොල්ල කමින්, තමන්ට නොමිලයේ ලබා දෙන ටි්‍රලියන ගනන් ධනයෙන් තම බැංකු ගිනුම් තර කර ගන්නා අයුරු දකින කම්කරුවෝ ධනපති දේපල අයිතිය කෙරේ ගෞරවය සිඳ ගනිමින් සිටිති. ධනපති දේපල අල්ලා ගැනීමට එරෙහි පැරනි අවිචාරක හැඟීම් පහව යමින් පවතී.     

ප්‍රාග්ධනයේ පලමු වෙලු‍මේ සමාප්තියෙහි ලියන ලද මාක්ස්ගේ වචන අපේ යුගයේ දී දැවෙන තථ්‍යතාවක් අත්පත් කර ගනී: “‍ධනපති දේපලවල මල බෙරය හැඬවේ. පැහැර ගන්නෝ අස්වාමික කරනු ලැබෙති.”‍   

අවසාන වශයෙන්, මෙම අර්බුදය හරහා ගමන් කරන කල්හි කම්කරු පන්තිය, ලොව පුරා වැඩකරන ජනයාගේ පොදු අරගලය හා ඉරනම පිලිබඳව පෙර කිසිදා නොලද අවබෝධයක් ලබයි. වසංගතය ලෝක ගෝලීය විසඳුමක් අවශ්‍ය කෙරෙන ලෝක ගෝලීය අත්දැකීමකි. කොරෝනා වෛරසයට එරෙහි සටනේ දී වර්ගය, ජනවාර්ගිකත්වය, ජාතිකත්වය හා ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධ කාරනා නොවැදගත්කම තුල බොඳ වී යයි. වසංගතයට එරෙහි අරගලය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ මානවයාගේ ඵලදායී හා ප්‍රගතිශීලී සහයෝගීතාව වලකා ලන සියලු‍ ජාතික බාධක අභිබවා ජය ගැනීමයි.  

ලෝකය වෙනස් විය යුතු බවට ගැඹුරින් ම හැඟී යන විශ්වාසයක් පවතී. ධනේශ්වර ක්‍රමය කාල-විරෝධී සමාජ පර්යායක් ලෙස, ප්‍රගතියට පමනක් නොව මානව වර්ගයාගේ සුරක්ෂාවටමත් එරෙහි බාධකයක් ලෙස, වසංගතය විසින් නිරාවරනය කරනු ලැබ ඇත.  

වෛෂයික තතු විසින් කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය දිශාවට පොලඹවනු ලබයි. එහෙත් වෛෂයිකව කල හැකි හා අත්‍යවශ්‍ය දෙය මත ක්‍රියාත්මක විය යුතුය. කල හැක්ක සහ එය සාක්ෂාත් කර ගැනීම අතර අත්‍යවශ්‍ය සම්බන්ධකය වනුයේ දැනුවත් ක්‍රියාකාරීත්වයයි. ලෝකයේ තතු විවේචනය කිරීම පමනක් නොසෑහේ. කර්තව්‍යය වනුයේ එය වෙනස් කිරීමයි. එබැවින්, ලොව පුරා (මෙම රැලිය) නරඹන හා ඊට සවන් දෙන සියල්ලන්ගෙන් මා ඉල්ලා සිටින්නේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස ගොඩ නැඟීමේ අරගලය තුල අප හා එක්වන ලෙසයි. 

Loading