කෝවිඩ්-19 මුල්කරගෙන දෙමල ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ රාජපක්ෂ තන්ත්‍රයට සහාය දෙයි

මෙම ලිපිය 2020 මැයි 9 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල වින.

කෝවිඩ්-19 වසංගතය මධ්‍යයේ, වෙන කවරදාටත් වඩා සෘජුව හමුදාව මත පදනම් වෙමින් ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල ශක්තිමත් කරන ගෝඨාභය රාජපක්ෂට දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ)  විවෘත සහාය ලබා දී තිබේ. ආන්ඩුවේ අගුලු දැමීම සම්බන්ධයෙන් වැඩ කරන කම්කරු පන්තියේ කෝපය පලවෙමින් තිබියදී, දෙමල ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් සිය ප්‍රසිද්ධ ප්‍රකාශවලදී මෙය නොවරදින සුලු පැහැදිලි කමකින් කියා සිටියේය.

හිටපු ජනාධිපති, වත්මන් අගමැති සහ වත්මන් ජනාධිපතිගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ සමඟ ටීඑන්ඒ, 4වන සඳුදා වැසූ දොරවල් පිටුපස සාකච්ඡාවක් පැවැත්වීය. 1983-2009 ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයේ අවසන් දිනවලදී අනාරක්‍ෂිත දෙමල සිවිල් වැසියන් සමූලඝාතනය කිරීම සහ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ සාමාජිකයින් පරාජය කිරීම නිරීක්ෂනය කිරීම මුල්කරගෙන  ඔහු හෙලා දැකීමට ලක්ව ඇත.

රාජපක්ෂ කෙතරම් වෛරයට පාත්‍ර වී ඇත්ද යත්, 2019 ජනාධිපතිවරනයේදී ඔහුට එරෙහිව, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීමට ටීඑන්ඒට බල කෙරුනි. මෙයට හේතුව මහින්ද රාජපක්ෂ යටතේ, සිංහල සහ දෙමල යන දෙපක්ෂයේම යුද්ධයට විරුද්ධවූ අය සුදු වෑන් රථවලින් පැමින පැහැරගෙනයාම හා ඝාතනය කිරීමයි. එබැවින් පසුගිය වසරේදී ටීඑන්ඒ, රාජපක්ෂට එරෙහිව ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටියේ කිසිවෙකුත් ඒකාධිපතියෙකුට ඡන්දය නොදිය යුතු යැයි කියමිනි. කෙසේ වෙතත් මේ සතියේ, සුමන්තිරන් සහ අනෙකුත් දෙමල ජාතික සන්ධානයේ නායකයෝ ඔහු හමුවීමෙන් පසුව, ජනතාව ඔහුගේ කැමැත්තට හිස නැමිය යුතු බව කියා සිටියහ.

මහින්ද රාජපක්ෂ  සමඟ පැවැත්වූ රහසිගත රැස්වීමෙන් පසු සුමන්තිරන් සාඩම්බර ලෙස මාධ්‍යයට මෙසේ පැවසීය: “මේ තත්වය තුල අපගේ ස්ථාවරය , සෑම කෙනෙක්ම ආන්ඩුවට සහයෝගය දැක්විය යුතු බව හා සාමූහිකව වැඩ කල යුතුය යන්නයි. එය අපට මතුවන පලමු ප්‍රශ්නයයි. අපි මෙම රැස්වීමට පැමින අපගේ පූර්න සහයෝගය රජයට ලබා දෙමු. මෙම තත්වය යටතේ අපට දේශපාලන මත හා වෙනස්කම් වලට ඉඩ දිය නොහැක. මෙය අපේ රටේ පමනක් නොව ලොව පුරා ද සිදුවිය යුතුය.”

රාජපක්ෂ සහෝදරයින්ට සම්පූර්නයෙන් යටත් වන ලෙස සුමන්තිරන්ගේ ඉල්ලීම කෙරෙන්නේ, අගුලු දැමීමට මුවාවී දෙමල බහුතරයක් වසන උතුරේ මිලිටරි වාඩිලෑම දිගටම පවත්වාගෙන යමින් රටේ සෙසු ප්‍රදේශවලට ද එය ව්‍යාප්ත කරද්දී, කොලඹ මිලිටරි කුමන්ත්‍රනයක් පිලිබඳ වැඩෙන කටකතා සහ භීතිය මධ්‍යයේ ය. රාජපක්ෂ මාර්තු 2 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් 25ට නව මැතිවරනයක් කැඳවීය. මාර්තු 20 වන දින ඇඳිරි නීතිය සහ අගුලු දැමීම් ක්‍රියාත්මක කිරීමෙන් පසු ඔහු මැතිවරනය ජුනි 20 දක්වා කල් දැමීය.

මීට පෙර දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා පක්ෂ හයක ලිපියකට අත්සන් කර තිබුනි. රබර් මුද්‍රාවක් වන පාර්ලිමේන්තුව නැවත විවෘත කිරීම වැඩකරන ජනතාවට කිසිවක් ලබා නොදෙනු ඇති අතර, දෙමල ජාතික සන්ධානය එය යෝජනා කලේ රාජපක්ෂ වරුන්ගේ විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටීමේ දුබල උත්සාහයක යෙදෙමිනි. කෙසේ වෙතත් එය දැන්, මෙම මවාපෑම පවා ඉවත දමා ඇත.

සුමන්තිරන් විවෘතව රාජපක්ෂ පාලන තන්ත්‍රය අනුමත කරන්නේ, එයට එරෙහිව මහජන කෝපය දැල්වෙමින් තිබියදීය. මාර්තු 20 වන දින සිට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය සහ අගුලු දැමීම යටතේ, කම්කරුවන්ට ලැබෙන මුලුමනින්ම අප්‍රමානවත් සහන ඔවුන් කුසගින්නෙන් හා සාගිනි අවදානමෙන් ගලවා ගැනීමට අසමත්ය.  ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් නොමැතිකම, රැකියා කප්පාදුව සහ කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ නැවත සේවයට දැක්කීම සඳහා කෙරීගෙන යන සාකච්ඡා, වැඩකරන ජනතාවට නිර්මානය කර ඇත්තේ ඉතා දුෂ්කර කොන්දේසිය.  

එපමනක් නොව ආන්ඩුව,  ප්‍රධාන ආයෝජකයින්ට දැවැන්ත ගෙවීම් ද බැංකු සහ ප්‍රධාන සමාගම් සඳහා ඇපදීම් ද සූදානම් කරමින් සිටී. ධනේශ්වර පුවත්පත්වල වාර්තා වලට අනුව, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 82 කට සමාන ඇමරිකානු ඩොලර් බිලියන 72 ක විදේශීය හා දේශීය නය රජය විසින් ගෙවිය යුතුය. මෙයින් ඇමරිකානු ඩොලර් බිලියන 35 ක් විදේශ නය යි. ගෙවිය යුතු නය පොලිය ඩොලර් බිලියන 4.8 කි.  ඉතිහාසයේ විශාලතම නයආපසු ගෙවීමය. ආන්ඩුව නය බර කම්කරුවන්ගේ කර මත පැටවීමට සැලසුම් කරයි.

කම්කරුවන්ට එරෙහිව යලිත් හමුදා යාන්ත්‍රනයක් සහ ඝාතක කල්ලි සූදානම් කරමින් තිබෙන බැවින් ගෝඨාභය රාජපක්ෂ,  ප්‍රධාන රාජ්‍ය හා පරිපාලන තනතුරුවලට ජෙනරාල්වරුන් සහ වෙනත් නිලධාරීන් පත්කර ඇත.  2000 වසරේදී ලමුන් තිදෙනෙකු ඇතුලු දෙමල සිවිල් වැසියන් අට දෙනෙකු අන්ධ කොට, ගෙල සිඳ, සිරුරු මලාපවහනයකට දැමීමේ චෝදනාවට වරදකරුවී 2015දී මරන දන්ඬනයට නියම කල සුනිල් රත්නායක යන මාන්ඬලික  සැරයන්ට මේ වසර මුලදී ඔහු, ප්‍රසිද්ධියේ සමාව දුන්නේ මේ නිසා ය.

කෙසේ වෙතත් සුමන්තිරන්, අසීමිත ලෙස රාජපක්ෂ තන්ත්‍රයට ප්‍රශංසා කරන්නේ, දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන්නේ සාමාන්‍ය දෙමල ජනතාව නොව, ධනේශ්වරයේ  දුෂ්ඨ හා දූෂිත තට්ටුවක් නිසාය. එය සිය ප්‍රතිපත්තිය වර්ධනය කරන්නේ, අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ, විශේෂයෙන්, වසංගතය හමුවේ යලි වැඩට දැක්කීමටත්, ජාත්‍යන්තර වශයෙන් වැඩකරන ජනතාවට වඩ වඩාත් ප්‍රහාර එල්ල කරන වොෂින්ටනය සමඟ  පෙලගැසෙමිනි. 

දෙමල ධනේශ්වරයේ ප්‍රතිගාමී ප්‍රතිපත්ති තීරනය කරන්නේ පන්තිය මිස වාර්ගිකත්වය නොවේ. එහි ධනය හා වරප්‍රසාද රඳා පවතින්නේ අධිරාජ්‍යවාදය විසින් ආධිපත්‍යය දරන ගෝලීය වෙලඳපොල වෙත ප්‍රවේශ වීම සහ  අඩු වැටුපට කම්කරුවන් සූරාකෑම මත ය. ඒ නිසාම ඔවුන්ට කෝවිඩ්-19න් බේරී නිවෙස්වල රැඳී සිටීමට පවා නොහැකිවී ඇත.

මිනිස් ජීවිත ගැන නොසැලකිලිමත්  ටීඑන්ඒ, සියල්ලටත් වඩා බියව සිටින්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල වැඩෙන කෝපයට ය. දිනකට මරන දහස් ගනනකට එක්සත් ජනපද කම්කරුවන් හුරුවිය යුතු බවට ට්‍රම්ප් පරිපාලනය හඬ නඟන අතර යුරෝපීය ආන්ඩු, පැතිර යන වසංගතයක් මධ්‍යයේ මිලියන ගනනක් ආපසු වැඩට යවමින් සිටිති. ඉන්දියාවේ හින්දු-අධිපතිවාදී ආන්ඩුවේ ප්‍රතිගාමී මුස්ලිම් විරෝධී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව පසුගිය වසරේ මහජන විරෝධතා පුපුරා ගියේය. කෙසේ වෙතත්, සුමන්තිරන් ඉල්ලා සිටින්නේ, මෙහි පමනක් නොව, ඔහු පැවසූ පරිදි, “ලොව පුරා” කිසිදු දේශපාලන විවේචනයකට ඉඩක් නොතැබිය යුතු බවයි.

2018 දී සුමන්තිරන් අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ තමාට ඇති සමීප සම්බන්ධතා ගැන ආඩම්බරයෙන් ප්‍රකාශ කරමින් මාධ්‍යයට මෙසේ පැවසීය: “එහි ස්පන්දනය දන්නා, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යන පුද්ගලයා මමයි.” සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු සිදුවීම් මෙම ප්‍රකාශයේ පන්ති අන්තර්ගතය පැහැදිලි කර තිබේ.

2010 ජනාධිපතිවරනයේදී ටීඑන්ඒ, 2009 සිවිල් යුද්ධයේ අවසන් මාසවලදී මිලිටරි අන දෙන නිලධාරි ලෙස කටයුතු කල ජෙනරාල් සරත් ෆොන්සේකාට  සහාය දැක්වීය. එවකට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ද මහින්ද රාජපක්ෂ ජනාධිපති ද විය. උතුරේ දෙමල සිවිල් වැසියන් 40,000 කට වැඩි පිරිසක් ඝාතනය කර දහස් ගනනක් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් තිදෙනාම දේශපාලන වගකීම දරති. ඔවුන්ගෙන් වැඩි පිරිස, සුවිශේෂවම නොවුනත්, දෙමල වැසියන්ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක පිටුබලය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සභාග ආන්ඩුවක් 2015 දී බලයට පත්වීම ගැන ටීඑන්ඒ දැනටමත් උදම් අනා ඇත. වොෂින්ටනයේ අරමුන වුනේ, එකල චීනය සමඟ වඩා සමීපව බැඳී සිටි බව සැලකූ රාජපක්ෂ සහෝදරයන් නෙරපා හැරීම ය. ශ්‍රීලනිප- එජාප ආන්ඩුව ජාමූඅ විසින් නියම කරන ලද අයවැය කප්පාදු ක්‍රියාවට නැඟීමට එරෙහිව හටගත් වැඩ වර්ජන හා මහජන විරෝධතා වලට එරෙහිව ද මුස්ලිම්වරුන් ඉලක්ක කර ගත් හදිසි තත්වයට පක්ෂව ද ටීඑන්ඒ  විපක්ෂ කඳවුරේ සිට ආන්ඩුවට සහාය දැක්වීය.

ශ්‍රීලනිප-එජාප ආන්ඩුවක් දිවයිනේ ජනවාර්ගික ගැටුම් නතර කරන බවට පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමේ දී දුන් ප්‍රතිඥාවෙන්  පසුව, ටීඑන්ඒ අංශක 180 ක් කැරකුනු අතර, එහි නායක ආර්. සම්පත්තන් 2016 දී නරුම ලෙස ප්‍රකාශ කලේ, දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කර ගත හැකි බන්ධනාගාර යතුරු තමන් සතුව නොමැති බවය. ඒ අතර දිගින් දිගටම ඔහු, ආන්ඩුවේ නිලධාරීන් ද එක්සත් ජනපද හමුදා නිලධාරීන් ද හමුවිය.

ධනේශ්වරයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයේදී කම්කරු පන්තිය එක්සත් කිරීම මත පදනම්ව, දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම, දෙමල ජාතිකවාදයට එරෙහි සමාජවාදී සමානතා පක්ෂය දශක ගනනාවක් තිස්සේ ගෙනගිය සටන, ටීඑන්ඒ හි ප්‍රතිගාමී වාර්තාව මඟින් පුුලුල් ලෙස සනාථ කෙරේ. වසංගතය මධ්‍යයේ ලොව පුරා ප්‍රතිගාමී ආන්ඩු වෙත කම්කරුවන් මුලුමනින්ම යටත් විය යුතු බවට කරන ඉල්ලීම නිසා ඔවුන්, කම්කරු පන්තියේ සතුරන් ලෙස පමනක් නිර්නය කල හැකිය.

පැරනි යටත් විජිත රටවල කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට හැකි වන්නේ, ශ්‍රී ලංකාවේ, ඉන්දියානු උප මහාද්වීපයේ සහ ගෝලීය වශයෙන්, සමාජවාදය සඳහා වන  කම්කරු පන්තියේ එක්සත් අරගලයකට පමනි.

Loading