දකුනු ආසියාවේ මිලියන ගනන් ජනතාව ගෝලීය වසංගතය ඉදිරියේ පාලක ප්‍රභූව දක්වා ඇති නොහැකියාවට කම්පනයෙන් සහ සන්ත්‍රාසයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

මෙම ලිපිය මැයි 6 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

පහත දැක්වෙන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) මැයි 2 වැනි දා පැවැත් වූ 2020 මැයි දින ඔන්ලයින් අන්තර්ජාල රැලියේ දී ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රධාන ලේකම් විජේ ඩයස් පැවැත් වූ කතාවයි.

ආදරනීය සහෝදරවරුනි, මිතුරනි,

කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලක ප්‍රභූවේ පාලනය ගැන මහජන විශ්වාසය නවතාලිය නොහැකි ඛාදනයකට තල්ලු කර දමා ඇත. ගෝලීය වසංගතය ආරම්භ වීමට මත්තෙන් ම, ධනේශ්වර පන්ති පාලනය කෙරෙහි ලෝක පරිමාන ව පීඩිත මහජනතාවන්ගේ විශ්වාසය බිඳී ඇති බවට ලෝක ආර්ථිකයේ ගැඹුරු වන අර්බුදය සහ කම්කරුවන්ගේ වර්ධනය වන අරගල සාක්ෂි දරයි. කොවිඩ්-19 ව්‍යසනය පහ ව ගිය පසු එම බිඳී ගිය විශ්වාසය යලි ඇති නොවනු ඇත.

කෙසේ වුවත්, කම්කරු පන්තිය සහ ඔවුන්ට සහයෝගය පල කරන තරුන කොටස් සහ ග්‍රාමීය දුප්පතුන්ගේ කර්තව්‍යයන් සම්බන්ධයෙන් ස්වයං-තෘප්ත බවකට ඉඩක් නැත. සසප ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ කම්කරුවන්ට සහ තරුනයන්ට අනතුරු අඟවන්නේ, ධනේශ්වර පන්තිය තමන් අතින් ගිලිහෙන දේශපාලන බලය රැක ගැනීමට මිලිටරි කුමන්ත්‍රනයක් ඇතුලු ව හැම ආකාරයක ම ප්‍රතිගාමීත්වයන් අත්හදා බලනු ඇති බවටයි.

විජේ ඩයස්ගේ කථාව වීඩියෝවේ 45: 50ට ආරම්භවේ.

 

එ බඳු ප්‍රතිගාමී උත්සාහයන්ට එරෙහි ව, කම්කරු පන්තිය විකල්ප සමාජවාදී මූලෝපායකින් සන්නද්ධ වීම අත්‍යවශ්‍යයි.

වෛද්‍ය විද්‍යාවේ සහ තාක්ෂනයේ දැවැන්ත ජයග්‍රහන තිබියදීමත්, රෝගය හඳුනා ගෙන, ප්‍රතිකාර ආරම්භ කර, කම්කරු ජනගහනයේ සිය දහස් ගනනක් වටිනා ජීවිත බේරා ගැනීමට ධනේශ්වර පද්ධතිය කාලකන්නි ලෙස අසමත් ව ඇත.

පාලක ප්‍රභූවේ සම්පූර්න අසමත් වීම කෙරෙහි මිලියන ගනනකගේ කම්පනයටත් සන්ත්‍රාසයටත් ප්‍රතිචාර දක්වමින් හැම තැනක ම ආන්ඩු පෙලඹුනේ වැඩපල සහ නිවහන් ප්‍රදේශ අගුලු ලෑමටයි.

එහෙත් අප්‍රේල් වෙද්දී, වසංගතය වැඩි දුර පැතිර යත්ම, ධනේශ්වරය “රෝග නිවාරනය රෝගයට වඩා භයානක නොවිය යුතු ය” කියමින් ආර්ථිකය යලි විවෘත කිරීමේ විසකුරු උද්ඝෝෂනයක්, තකහනියේ දියත් කලේ ය.

මේ වන විට, දකුනු ආසියාවේ කොරෝනා වෛරසයට ගොදුරු වූවෝ 50 000ක් දෙනා සිටිති. ඉන් බහුතරය ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවලින් වෙති. මරන සංඛ්‍යාව දෙ දහසකට ආසන්නයි. සිදු කල යුතු සමූහ පරිමාන පරීක්ෂා කිරීම් නොතකා හැර ඇති නිසා ම, මේ සංඛ්‍යා ලේඛන පහල අගයන් පෙන්වයි.

මෙ බඳු ඇඟ කිලි පොලන තත්ත්වයක දී ම, ධනේශ්වර ආන්ඩු අත්‍යවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරන නොමැති ව කම්කරුවන් නැවත වැඩට දැක්කීමට ෆැසිස්ට් තාලයේ ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එක පෙලට සමීප ව පියවර තැබීමට පටන් ගෙන ඇත. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ අගමැති නරේන්ද්‍ර මෝදි දකුනු ආසියානු කලාපයේ පෙරමුනේ රාලයි. තව ද, ඔහු ඉන්දියානු මිලිටරිය වයඹ දිගින් පිහිටි පාකිස්ථානය සහ නැගෙනහිරින් පිහිටි චීනය යන ඉන්දියානු සතුරන්ට එරෙහි ව, රටේ දේශප්‍රේමී ආරක්ෂකයා වශයෙන් දැනටමත් ඔජ වඩා ඇත.

වත්මන් හදිසි සෞඛ්‍ය තත්ත්වයට පෙරමත්, මිලිටරිය සිවිල් පරිපාලනය ඉස්මත්තේ තබමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෝදිව පරයා ගොස් ඇත. තිස් අවුරුදු දෙමල විරෝධී යුද්ධයේ දී දහස් ගනන් සිවිල් ජනතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරනයේ අපරාධ නඩු ඇති මිලිටරිකාරයෝ යුද විරුවන් ලෙස බෞතීස්ම කෙරෙති. ජනාධිපති මිලිටරිය පුම්බන්නේ “එල්ටීටීඊය පරාජය කලාක් මෙන්” වෛරසය පරාජය කිරීමේ දී ද, වඩාත් ම කාර්යක්ෂම මෙවලම එය ලෙසටයි.

රට මිලිටරි පාලනයෙන් මුදා ගන්නෙමැයි කියමින් බලයට පැමිනි පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් අප්‍රේල් 24 වැනි දා ගෝලීය වසංගතයට අදාල විශේෂ කර්තව්‍යයන් සඳහා මිලිටරිය කැඳවමින් තම ධනේශ්වර සගයන්ගේ පිලිවෙත සමග එක් වී ය.

බංග්ලාදේශයේ දී, තම පාලනයට එරෙහි ව වැඩෙන විරෝධය මැඬීමට සන්නද්ධ බලකායන්ගේ වාරුව මත දැඩි ලෙස රඳා සිටින අගමැති ෂීක් හසීනා කොවිඩ්-19 නිර්මානය කල නව තත්ත්වය උදවු කර ගනිමින් බුරුමයෙන් එන රෝහින්ග්‍යා සරනාගතයන් නිදහසට කාරනාව කර ගනිමින් තම පරිපාලනය තුල මිලිටරි භූමිකාව ඉහල නැංවීමට කටයුතු කරමින් සිටී.

ඒ ගමන් ම, මේ ආන්ඩු හැම එකක් ම ගෝලීය වසංගතය මතු කල අභියෝග ඉදිරියේ තම අසමර්ථ බව කම්කරු පන්තියට පෙනී යාම වැලැක්වීමට ඔවුන් මංමුලා කොට ව්‍යාකූල කිරීමට වර්ගවාදය අවුලුවමින් සිටිති.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙ රටේ ම පාලක ප්‍රභූව ඊනියා “වෛරස් පොකුරු” නිර්මානය කිරීමේ ලා මුස්ලිම් පවුල් වගකිව යුතු යැයි මුස්ලිම් විරෝධී භීතිකාවක් උත්සන්න කරමින් සිටී.

මහජනතාව ධනපති පන්ති පාලනයට යටහත්බවක ගිල්වා දැමීමට ප්‍රතිසංස්කරනවාදීන්, වෘත්තීය සමිති නිලධාරීන් සහ බොරු වම්මුන්ගේ අප්‍රමාදී සහය ඇති ව ධනේශ්වර මාධ්‍ය අතොරක් නැති ව භාවිතා කෙරෙයි.

ලොව පුරා ඇති හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තම සහෝදර පක්ෂ සමගින් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය පමනක් දකුනු ආසියානු කලාපයේ සියලු ම ජන වර්ගවලට අයත් කම්කරු ජනතාවට සමාජවාදී විප්ලවවාදී ඉදිරි දර්ශනය සහ නායකත්වය සම්පාදනය කිරීමේ ඓතිහාසික කර්තව්‍යයට උර දීමට සූදානම් ය. අපගේ න්‍යායික සහ දේශපාලනික සූදානම පසු ගිය සියවස මුලුල්ලේ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අරගලවලින් උකහා ගත් ඓතිහාසික පාඩම් මත දෘඪතර ව පාදක ව ඇත.

වසර 72 කට පෙර, මෙම කලාපයේ බ්‍රිතාන්‍ය යටත් විජිතවලට ව්‍යාජ නිදහසක් ප්‍රදානය කෙරෙන විට, ඉන්දියාවේ බොල්ෂෙවික් ලෙනින් පක්ෂයේ ට්‍රොට්ස්කිවාදියෝ එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සහ දේශීය ධනේශ්වරය අතර වංචාකාරී ගනුදෙනුවක් ලෙස නිවැරදි ව හෙලා දැක්කෝ ය. ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ වක්‍රාකාරී ආධිපත්‍ය බවට පත් ව තිබූ දේශීය ධනේශ්වර පාලනය පෙරලා දැමීමට ඔවුහු කැඳවුම් කලෝ ය.

ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පාදක වූ හජාජාකයේ සහ එහි ශාඛාවන්ගේ විශ්ලේෂන සනාථ ව ඇත. ශ්‍රී ලංකාවේ හෝ වෙන අන් තැනක හෝ ධනේශ්වර පන්ති පාලනය යටතේ අධිරාජ්‍යවාදයෙන් නිදහසවත්, ප්‍රජාගනවාදයට එරෙහි ව කම්කරු පන්තියේ එක්සත් බවවත් සාධා ගත නොහැක්කේ, එය මූල්‍ය ප්‍රාග්ධනයේ කුනු වූ නියෝජිත ආයතනය මිස අන් කිසිවක් නොවන නිසා ම ය.

පසු ගිය දශකය මුලුල්ලේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ විධානයන් යටතේ ධනේශ්වරය විසින් පෙර පැවති මහජන සෞඛ්‍ය සේවාවන් උගුල්ලා දමනු ලැබ ඇත්තේ, විශේෂයෙන් ම, වත්මන් ගෝලීය වසංගතයේ තතු යටතේ බිලියන ගනනකට ව්‍යසනය කැඳවමිනි.

ලෝක ධනවාදයේ බංකොලොත් බව සහ ප්‍රතිගාමී භූමිකාව එලිදරවු කිරීමට කොවිඩ්-19 ගෝලීය වසංගතය කොන්දේසි නිර්මානය කර ඇත. වෛරසය පමනක් නොව, ලාභ පද්ධතියේ සෑම ව්‍යසනකාරී කොල්ලයක් ම ජය ගැනීමට සම්පත්, දැනුම සහ කම්කරු පන්තියේ උත්සාහයන් ගෝලීය ව ඒකාබද්ධ කිරීමේ ඓතිහාසික අවශ්‍යතාව සපුරා ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය යටතේ පමනි.

දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩුවක් ද වෙන් කල නොහැකි කොටසක් වන සමාජවාදී රාජ්‍යයන්ගේ ජාත්‍යන්තර සමූහාන්ඩුවක් පිහිටු වීම සඳහා වන අරගලය පැන නගිමින් පවතින විප්ලවවාදී අරගලයන්ගේ කම්කරු පන්තිය යෙදී ගන්නවාත් සමග ඔවුන්ගේ නායකත්වය වශයෙන් හජාජාකයේ ශාඛාවන් සෑම රටක ම ගොඩ නැගීම මත රඳා පවතී. අපි අපගේ සියලු ම ශ්‍රාවකයන්ගෙන් මේ අරගලයට සම්බන්ධ වන්නැයි ඉල්ලා සිටිමු.