මූල්‍ය කතිපයාධිකාරය එක්සත් රාජධානිය ඝාතන භූමියක් බවට හරවයි

මෙම ලිපිය 2020 මැයි 6 වනදා ඉංග්‍රීසි බසින් පලවීය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 2දා පවත්වන ලද 2020 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියේ දී, බ්‍රිතාන්‍ය සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජාතික ලේකම් ක්‍රිස් මාස්ඩන් විසින් පහත පලවන කතාව පවත්වන ලදී.

අගමැති බෝරිස් ජොන්සන්ගේ නාමය සදාකල් සම්බන්ධ කරනු ඇත්තේ, මිනීමරු “සමූහ ප්‍රතිශක්ති” පිලිවෙත සමගිනි.

යුරෝපය තුල ඉතාලිය අභිබවමින් කොරෝනා වෛරස් වසංගතයේ කේන්ද්‍රය බවට එක්සත් රාජධානිය පත් කර ඇති මෙම පිලිවෙත හේතුවෙන්, ලෝක පරිමාන ව ගත් කල එය එක්සත් ජනපදයට පමනක් දෙවැනි තැනට ඇද දමා ඇත්තේ ජීවිත දසදහස් ගනනක් බිලිගනිමිනි.

සැබෑ මරන අනුපාතය ගැන ආන්ඩුව බොරු කෙලිමින් සිටීම නිසා නිල අපරාධකාරීත්වයේ සම්පූර්න විශාලත්වය තවමත් පවතින්නේ සැඟවී ය. රැකවරන නිවාසවල මරන දහස් ගනනක් සිදු වූ බව පිලිගත්තේ මේ සතියේ පමනක් වන අතර, බොහෝ සෙයින් පරීක්ෂන නො පවතින තත්ත්වයක වාර්තා වන්නේ, පවතින පරීක්ෂනවල දී ආසාදනය වී ඇති අය පමනි.

ක්‍රිස් මාස්ඩන් කල කථාව වීඩියෝවේ 55:37 ට ආරම්භ වේ.

සමස්ත මරන සංඛ්‍යාව නිල සංඛ්‍යාව මෙන් දෙගුනයකින් වෙමින් 50,000ට අධික යයි තක්සේරු කෙරේ.

වසංගතයකින් මිලියන භාගයේ සිට මිලියන තුන්කාලක් දක්වා මරන ගනනක් සිදුවනු ඇතැයි ආන්ඩුව පූර්වාපේක්ෂා කලේ ය. එහෙත් එයට සූදානම් වීම් වසයෙන් එය කිසිවක් කලේ නැත. ආරක්ෂක උපකරන ගබඩා කිරීමට හෝ ආසාදනය පැතිරීම වැලැක්වීමට ද එය කිසිවක් නො කලේ ය. ජාතික සෞඛ්‍ය සේවයේ (එන්එච්එස්) අරමුදල් කපා දැමූ එය, ඒ බව හෙලිදරවු වූ විට එහි අපරාධ සැඟවීමට උත්සාහ කලේ ය.

තමන්ට “තැචර් විප්ලවය සම්පූර්න කිරීමට” අවශ්‍ය වූ බව ටෝරීහු කී හ. දැන් මෙහි අර්ථය කුමක්දැයි අපි දනිමු!

මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා වෙනුවෙන් කම්කරු පන්තියට එරෙහි ව එල්ල කරන අනවරත හා රුදුරු ප්‍රහාරයක් විසින් එක්සත් රාජධානිය ඝාතක භූමියක් බවට පරිවර්තනය කර ඇත. දුගී බවෙන් පෙලෙන ප්‍රදේශවල කොවිඩ්-19 මරන අනුපාතය ධනවත් ප්‍රදේශවල මෙන් දෙගුනයක් වන්නේ ය යන්න තුල මෙය එහි විෂඝෝර ප්‍රකාශනය සොයාගනී.

“සමාජය කියා දෙයක් නැත” යි යන තැචර්ගේ ප්‍රකාශයේ සිට, ටෝනි බ්ලෙයාර්ගේ නව ලේබර් පක්ෂය “මිනිසුන් ආන්තික ලෙස ධනවත් වීම ගැන සන්සුන්” බව ප්‍රකාශ කිරීම දක්වා වූ එම දශක කිහිපය තුල සමුච්ඡය වී ඇති සියලු දෘෂ්ටිවාදාත්මක කුනුහරප, වසංගතයට ජොන්සන් දක්වන ප්‍රතිචාරය තුල ප්‍රකාශනය සොයාගනී. 

ආන්ඩුවේ සැබෑ න්‍යාය පත්‍රය කුමක් ද?

වැඩිහිටියන් හා දුබලයන් මරා දමනු!

සංගත වෙත බිලියන ගනන් ප්‍රදානය කරනු!

මිනිසුන් ආපසු වැඩට දක්කා ලාබ උපයනු!

සදාකල් පවතින වේදනාකාරී රෝගී තත්ත්වයේ හා අකල් මරනයේ තර්ජනයට ඔවුන් ව හුරු කරනු!

අප මෙය කරා පැමිනියේ කෙසේ ද? බ්ලෙයාර්ගේ නම සඳහන් කොට, ලේබර් පක්ෂය යුද්ධයේ හා සමාජ ප්‍රතිගාමීත්වයේ විවෘත පක්ෂයක් බවට පරිවර්තනය වීමටත්, වෘත්තීය සමිති, කලමනාකාරීත්වයේ හස්තයක් හා ආන්ඩුවේ කාර්මික පොලීසියක් බවට පරිවර්තනය වීමටත් නමක් දෙන්න.

ජෙරමි කෝබින්ගේ තේරී පත්වීමට ස්තුති වන්නට, මෙම තත්ත්වය ආපසු හරවා, ලේබර් පක්ෂය කම්කරුවන්ගේ හා තරුන ජනයාගේ පක්ෂයක් බවට පුනර්ජීවනය කරනු ලැබිය හැකි යයි පසුගිය වසර පහ පුරා ඔවුන්ට කියන ලදී.

අද මෙම මායාවේ ස්වරූපය කෙබඳුද?

කෝබින් නායකත්වය දැරූ වසර පහ, කම්කරු පන්තිය දේශපාලනික ව විසුරුවාලීමේ අභ්‍යාසයක් විය. බ්‍රෙක්සිට් අරබයා ඉස්මතු වූ ආන්ඩුවේ අර්බුදයක් මධ්‍යයේ, ටෝරීන්ගේ කප්පාදුවලට එරෙහි ව කිසිදු වර්ජනයකට හෝ දේශපාලන බලමුලුගැන්වීමකට විරුද්ධවීමේ මුදුනත වාඩිවූ නායක කෝබින්, සිරියාවට, රුසියාවට හා චීනයට එරෙහි ව යුද්ධයට දිරිදෙමින්, බ්ලෙයාර්වාදීන් පන්නා දැමීමේ කවර හෝ පියවරකට විරුද්ධ විය.

දැන් බෝරිස් ජොන්සන් අගමැති නිල නිවසේ සිටින අතර හා ලේබර් පක්ෂයේ නායකයා ලෙස ශ්‍රීමත් කෙයිර් ස්ටාමර් සිටී.

පාර්ලිමේන්තුව තුල කෝබින්ගේ අවසාන ක්‍රියාව වූයේ, “පොකුරු ප්‍රතිශක්ති” පිලිවෙත හෝ සංගතවලට ඇප තැබීමට පවුම් බිලියන 350ක් වෙන්කිරීම ගැන සඳහනක් පවා නො කර, ආන්ඩුවේ කොරෝනා වෛරස් වාර්තාව පිලිබඳ ව “නිර්දය ලෙස ඍනාත්මක” වීමට තමන් මනාප නැතැයි ප්‍රකාශ කිරීම යි. ඒ වෙනුවට ඔහු කලේ, “එකිනෙකාගේ වටිනාකම සහ එකිනෙකා ගැන සැලකිල්ලට ගන්නා හා සියල්ලන් කෙරෙහි සැලකිලිමත් වන සමාජයක ශක්තිය හඳුනාගැනිමේ” අවශ්‍යතාව ගැන දේශනා කිරීම යි.

සටන් කිරීම මෙලෙස අවසාන වතාවටත් ප්‍රතික්ෂේප කිරීම හා ස්ටාමර්ට කීකරු ලෙස සහයෝගය දීමට කෝබින් විසින් පොරොන්දු වීම, අප්‍රකාශිත ජාතික සමගි ආන්ඩුවක් තුල ලේබර් පක්ෂයට හා වෘත්තීය සමිති සම්මේලනයට (ටීයූසී) ඔවුන්ගේ තැන ගැනීමට අවස්ථාව සලසා ඇත.

ටීයූසීයේ ප්‍රකාශිත ඉල්ලකය ලෙස “අගුලු දැමීම අවසානයේ හෝ එය ලිහිල් කල විට මහජනයා ආපසු වැඩට යාම කලමනාකරනය කිරීම” ලේඛනයෙන් මම උපුටා දක්වමි.

“වසංගතය කලමනාකරනය කරන්නේ කෙසේ ද යන විද්‍යාව ගැන හෝ ආපසු වැඩට යාමක වේගය හෝ ස්වභාවය ගැන ටීයූසීය ආස්ථානයක් ගන්නේ නැත. මහජනයාගේ සෞඛ්‍යයේ හෝ ආර්ථික වර්ධනයේ සාපේක්ෂ ප්‍රමුඛතාව ගැන තර්ක කිරීම ද්වේෂ සහගත ය: වැඩකරන ජනයාගේ යහපතට ඒ දෙක ම වැදගත් වේ” එහි පිලිවෙත් ලේඛනය ප්‍රකාශ කරයි.

ඔවුන්ට ගෙවන හාම්පුතුන්ගේ ලාබ ශක්‍යතාවන් එකම උත්සුකය කරගන්නා වෘත්තීය සමිති නිලධරයෝ, වසංගතයේ නො වැලැක්විය හැකි දෙවන රැල්ලක දී තවත් ජීවිත දහස් ගනනක් බිලිගනු ඇති සැලසුම් සූත්‍රගත කරමින් ටෝරි ඇමතිවරු සමග වාඩි වෙමින් සිටිති. 

ඒ අතර අපේ කාලයේ උරියා හීප් (චාල්ස් ඩිකන්ස්ගේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නවකතාවේ ප්‍රධාන චරිතය) කෙනෙක් මෙන්, ඔහු ටෝරීන්ට නිවට ලෙස යටත් වන්නේ, එහි “සමාජ දුරස්ථකන හා විමර්ශනාත්මක රැකවරනය පුදුම සහගත” යි උත්කර්ෂයට නංවමිනි.

 “කරන්න බැරි දේ කරන ලෙස මා ඉල්ලා සිටින්නේ නැති බව මා කී අතර, මා එසේ කරන්නේ නැහැ” යි ඔහු පාර්ලිමේන්තුවේ දී කීවේ ය. ඔහුගේ කියන දේ කරන බව විශ්වාසය.

එක්තරා කාලයක මිලියන ගනනකගේ පක්ෂපාතීත්වය දරා සිටි පැරනි පක්ෂ ඒවායේ පතුලට යටින් කුනුවෙමින් තිබේ. ලොව පුරා එහි පන්ති සහෝදර සහෝදරියන් මෙන් බ්‍රිතාන්‍ය කම්කරු පන්තිය ද ධනපති පන්තියට එරෙහි අශමනීය අරගලයක් දියත් කිරීමට අවශ්‍ය නායකත්වය දැන් ගොඩනැගිය යුතු ය.

වෙලඳපොලෙහි ආශ්චර්යය හා සමාජවාදයේ උපකල්පිත අසාර්ථකත්වය පිලිබඳ අසීමාන්තික හා වඩ වඩා ව්‍යාජ ස්තෝත්‍රවලට කම්කරුවන් හා තරුන ජනයා ව දශක හතරක් තිස්සේ යටත් කරනු ලැබ ඇත. සදා පලල් වන සමාජ අසමානතාවේ හා මිලියන ගනන් දෙනා ක්‍රමානුකූල ව දුගී බවට ඇද දැමීම මධ්‍යයේ, මෙම පචය මහජනයා විසින් ප්‍රතික්ෂේප කිරීම ආරම්භයේ දී කෝබින් වාසිය ඩැහැගත්තේ ය.

කොරෝනා වෛරසය පහර දීමට පෙර, ධනවතුන් සඳහා සෙල්ලම් බිමක් බවටත්, මිලියන ගනන් වැඩකරන ජනයා සඳහා සමාජීය මුඩුබිමක් බවටත් බ්‍රිතාන්‍යය පරිවර්තනය කරනු ලැබ තිබුනි. දැන්, මහා පරිමාන විරැකියාවේ, වැටුප් කප්පාදුවේ, වැඩ වේගවත් කිරීමේ හා ඉතිරි පහදු වී ඇති සමාජ ආරක්ෂන සාමාන්‍යයීකෘත අප්‍රසන්න භාවය හා වේදනා විඳීම මධ්‍යයේ, සුපිරි ධනවතුන්ට සිටුවරු මෙන් දිගට ම ජීවත් විය හැකි වන පරිදි වැඩපිලිවෙලවල් විනාශ කිරීමේ “නව සාමාන්‍යය” පිලිගන්නා ලෙස අපට කියනු ලැබේ.

එක්සත් රාජධානියේත් භූගෝලය පුරාත් මෙමගින් අවුලුවාලුනු ඇති මහජන විරෝධයේ නො වැලැක්විය හැකි පුපුරා යාමට දැන් සසප සූදානම් වෙමින් සිටී. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අපගේ සම-චින්තකයන් හා සහෝදරයන් සමග දියත් කරන ඒකාබද්ධ අරගලයකින්, මෙම ව්‍යාපාරයේ ජයග්‍රහනය සඳහා අවශ්‍ය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගය හා නායකත්වය අපි සම්පාදනය කරන්නෙමු. 

Loading