ඇඟලුම් කම්කරුවන්ගේ විරෝධතා බංග්ලාදේශ කාර්මික කලාප සොලවාලයි

මෙම ලිපිය මැයි 7 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

අපනයනයට මත පදනම් වන ඇඟලුම් නිෂ්පාදකයින් අර්බූදයට යවමින්, කොරෝනා වයිරස් ආසාදන පිලිබඳ වැඩි අවධානයක් යොමු වී ඇති තතු තුල, කම්කරු පන්තියේ විරෝධතා සහ උද්ඝෝෂන බංග්ලාදේශ කාර්මික කලාප සිසාරා හඹා ගොස් ඇත.

රජයේ කාර්මික පොලිසියේ දත්ත උපුටා දක්වමින් ෆිනෑන්ෂල් එක්ස්ප්‍රස් විසින් අප්‍රේල් මාසයේදී කර්මාන්තශාලා 374 ක “කම්කරු නොසන්සුන්තාව” පිලිබඳ සිදුවීම් 440 කට වැඩි ප්‍රමානයක් සහ මාර්තු මාසයේ කර්මාන්තශාලා 179 ක සිදුවීම් 279 ක් වාර්තා කරනු ලැබ තිබේ.

කම්කරුවන්ගේ අරගල මැඩපැවැත්වීම සඳහා 2010 දී බංග්ලාදේශ ආන්ඩුව විසින් පිහිටුවන ලද 5,000 කට අධික කාර්මික පොලිසිය කර්මාන්තශාලා 7,600 කට අධික ප්‍රමානයක් ආවරනය කරයි. මෙයින් 4,500 ක් පමන නිල වශයෙන් ලියාපදිංචි ඇඟලුම් කම්හල් වන අතර එහි කම්කරුවෝ මිලියන හතරකට අධික සංඛ්‍යාවක් සේවය කරති.

කොරෝනා වයිරස් වසංගතය පෙබරවාරි මාසයේ සිට බංග්ලාදේශයේ කර්මාන්ත අංශයට බලපෑම් කිරීමට පටන් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇනවුම් සහ අපනයන ඉපැයීම් වහාම පහත වැටුනි. ඇඟලුම් කර්මාන්තයේ හිමිකරුවෝ එජ හා යුරෝපීය සිල්ලර වෙලෙන්දන් වන වෝල්-මාට්, එච් ඇන්ඩ් එම්, සී ඇන්ඩ් ඒ, මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර්, එස්ප්‍රිට්, ජීඒපී, ලී ඇන්ඩ් ෆන්ග් සහ ප්‍රීමාක් වැන්නන් විසින් අඩු කරන ලද හෝ අවලංගු කරන ලද ඇනවුම් වලට ප්‍රතිචාර දැක්වූයේ රැකියා සහ වැටුප් කපා හැරීම හෝ සම්පූර්නයෙන්ම වසා දැමීමෙනි.

බංග්ලාදේශය සිය පලමු කෝවිඩ්-19 සිද්ධීන් මාර්තු 8 වන දින නිල වශයෙන් වාර්තා කල නමුත් අගමැති ෂීක් හසීනාගේ ආන්ඩුව එහි බැරෑරුම්කම අවතක්සේරු කිරීමට වෑයම් කලේය. කෙසේ වෙතත්, මාර්තු 26 සිට අප්රේල් 4 දක්වා හදිසි සේවා සපයන්නන් හැර ජාතික පරිමාන අගුලු දැමීමක් ක්‍රියාවට දැමීමට ඇයට බල කෙරුනි.

වෛද්‍ය විශේෂඥයින් විසින් ප්‍රසිද්ධියේ කෙරුනු විවේචන හමුවේ හසීනා, සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සඳහා අගුලු දැමීම මැයි 5 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරනය කල නමුත් අපනයන අරමුනු කරගත් කර්මාන්ත අප්‍රේල් 26 වන දින නැවත විවෘත කිරීමට ඉඩ ලබා දුන්නාය.

කර්මාන්තශාලා 930 කට අධික සංඛ්‍යාවක් සිය සේවකයින් සේවයෙන් පහ කර ඇති අතර මාස ගනනක හිඟ වැටුප් ගෙවා නොමැත. නැවත විවෘත කල බොහෝ කම්හල්වල කම්කරුවන්ගේ ආරක්ෂාව උල්ලංඝනය කෙරින. සනීපාරක්ෂක, මුහුනු ආවරන සහ අත්වැසුම් ඉල්ලා වැඩ වර්ජන හා විරෝධතා වලින් ආරක්ෂාකාරී වැඩ පරිසරයක් සැපයීම සමාගම් විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව කම්කරුවෝ ප්‍රතිචාර දැක්වූහ.

ටකා 8000ක (ඇමරිකානු ඩොලර් 95 ක්) මාසික වැටුපක් ලබන කම්කරුවන් දස දහස් ගනනක්, ගම්වලින් පැමිනි අතර, අගුලු දැමීම හේතුවෙන් ඔවුහු නැවත ග්‍රාමීය නිවෙස් කරා ගියහ. අප්රේල් 26 න් පසු ඔවූහු කාර්මික කලාප වෙත ආපසු ගොස් දින නියමයක් නොමැතිව පවා, කම්හල් තවමත් වසා දමා ඇති බව දැන ගැනීම හේතුවෙන්, කෝපාවිෂ්ට ලෙස මතුවී පුපුරා ගිය උද්ඝෝෂන රැල්ල තවමත් දිග හැරෙමින් පවතී. 

“ගසිපූර් සහ අෂුලියා හි ඇඟලුම් කාර්මික කලාප ඊයේ යුධ පිටියක් බවට පත්විය. ඇඟලුම් කම්කරුවෝ දහස් ගනනක් පොලීසිය සමඟ ගැටුම් ඇති කර ගත්හ” යනුවෙන් නිව් නේෂන් හි අප්‍රේල් 28 කතුවැකිය වාර්තා කලේය.

මැයි 5 වන දින බිස්නස් ස්ටෑන්ඩර්ඩ් ලිපියකින් හෙලි වූයේ ඩකා, අෂුලියා, සවාර්, ගාසිපූර්, නාරායංගන්ජ් සහ චිතගොං හි කාර්මික කලාපවල ඇඟලුම් කර්මාන්තශාලා 10 ක පමන කම්කරුවෝ සිය රැකියා ආපසු ලබා දෙන ලෙසත්, ගෙවිය යුතු සියලු හිඟ වැටුප් ගෙවන ලෙසත් ඉල්ලා උද්ඝෝෂන කල බවයි.

•අෂුලියා හි නර්සිංපූර් ප්‍රදේශයේ ආඩියට් ඇපරල්ස් හි අවම වශයෙන් ඇඟලුම් කම්කරුවෝ 300 ක් දොට්ට දැමීම්වලට එරෙහිව උද්ඝෝෂන කලහ. පාලකයෝ මාර්තු 28 වන දින කම්හල වසා දැමූ අතර පසුව නිවේදනය කලේ සියලුම සේවකයින් ජුනි 1 වන දින දක්වා සේවයෙන් ඉවත් කරන ලද බවයි. කම්කරුවන්ට ඔවුන්ගේ මාර්තු වැටුප ගෙවා නොතිබිනි. 

•අඟහරුවාදා ඩකා හි මැලිබාග් ප්‍රදේශයේ ඩ්‍රැගන් ස්වීටර් කම්කරුවෝ 100 කට වැඩි පිරිසක් මාස පහක හිඟ වැටුප් ඉල්ලා සිටියහ.

•ජෙෂා ෆැෂන්හි කම්කරුවෝ 400 ක් පමන ඔවුන්ගේ නොගෙවූ මාර්තු වැටුප ඉල්ලා විරෝධය පල කල අතර තවත් සැටර් ටෙක්ස් කම්කරුවෝ 400 ක් මාස තුනක වැටුප් සඳහා උද්ඝෝෂනය කලහ.

•චැටෝග්‍රෑම් අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් කම්හල්වල පපෙල්ලා කම්හල් කම්කරුවෝ 900 ක් සහ යූඑෆ්එම් (බීඩී) සේවකයින් 1,300 ක් පමන ඔවුන්ගේ මාර්තු සහ අප්‍රේල් වැටුප් සඳහා පෙලපාලි ගියහ.

•ඇන්ටිම් නිටින්, ඩයින් ඇන්ඩ් ෆිනිෂින් ඇඟලුම් කම්කරුවෝ 3,000 ක් පමන ඔවුන්ගේ වැටුපෙන් සියයට 50 ක හිඟ වැටුප ඉල්ලා විරෝධය පල කලහ‍ෙ

•ඉරිදා, අෂුලියා, ධම්රායි සහ ගාසිපූර් කාර්මික කලාපවල කම්හල් වල කම්කරුවෝ දහස් ගනනක් සමාන ඉල්ලීම් සම්බන්ධයෙන් උද්ඝෝෂන කලහ.

හසිනා ආන්ඩුව අපනයන කර්මාන්ත සමාගම්වලට කම්කරුවන්ගේ වැටුප් ගෙවීම සඳහා ටකා බිලියන 50 ක (ඇමරිකානු ඩොලර් මිලියන 595) “සහන පැකේජයක්” ලබා දී ඇති නමුත් මෙය බොහෝ කම්කරුවන් වෙත ලඟා වී නොමැත.

වසා දැමීමේ කාල සීමාව තුල කම්කරුවන්ගේ දල මාසික වැටුපෙන් සියයට 40 ක් කපා හැරීමට ආන්ඩුව සහ සමාගම් හිමිකරුවෝ සමහර වෘත්තීය සමිතිවල සහාය ඇතිව එකඟ වූහ

පුලුල් විරෝධතාවන්ට බිය වූ ඉන්ඩස්ට්‍රියල් බංග්ලාදේශ් කවුන්සිලයට (අයිබීසී) අනුබද්ධිත සමහර වෘත්තීය සමිති හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධිත ගාමන්ට් වර්කර්ස් ට්‍රේඩ් යූනියන් සෙන්ටර් (ජීඩබ්ලිව්ටීයූසී) මෙය ප්‍රතික්ෂේප කලහ. කෙසේ වෙතත් පසුව ඔවූහු සියයට 35 ක වැටුප් කප්පාදුවකට එකඟ වූහ. 2018 දී අයිබීසී සහ ජීඩබ්ලිව්ටීයූසී ඇඟලුම් කම්කරුවන් විසින් වැඩි වැටුප් ඉල්ලා සිදුකල පුළුල් වැඩ වර්ජන ක්‍රියාමාර්ගය පාවා දුන් අතර මෙමගින් කර්මාන්තශාලා හිමියන්ට දහස් ගනනක් සේවයෙන් නෙරපීමට මග විවර විය.

විශේෂයෙන් ඩකා, නාරායංගන්ජ් සහ ගාසිපූර්හි කම්හල් අසල ජනාකීර්න නවාතැන් වල ජීවත් වන අයට අපනයන-කර්මාන්ත ඇඟලුම් කම්හල් නැවත විවෘත කිරීම නිසා කෝවිඩ්-19 වලට ගොදුරු වීමේ අවදානමක් ඇත. මෙම ප්‍රදේශ දැන් කොරොන වෛරස් වසංගතය බෝකරන ස්ථාන ලෙස සැලකේ. මැයි 3 ද නිව් ඒජ් වාර්තා කලේ කර්මාන්තශාලා 10 ක අවම වශයෙන් කම්කරුවන් 12 දෙනෙකු ව‍ෛරස් ආසාදනයට ගොදුරු වී ඇති බව පරීක්ෂන මගින් තරවුරු වී ඇති බවයි.

ප්‍රතිපත්ති පර්යේෂන ආයතනයේ විධායක අධ්‍යක්ෂ අහ්සාන් එච් මන්සූර් සුදුසු කලට පෙරාතුව හා අනාරක්ෂිත ලෙස කම්හල් නැවත විවෘත කිරීමේ අනතුර ගැන අනතුරු ඇඟවීය. “ඇඟලුම් කම්කරුවන් අතර වෛරස් සම්ප්‍රේෂනය වීමේ අවදානමක් පවතින බැවින් ඩකා, නාරායංගන්ජ් සහ ගාසිපූර් යන ප්‍රදේශවල දින 8 සිට 10 දක්වා දරුනු ලෙස පීඩාවට පත් ප්‍රදේශවල කොරොන වයිරස් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල යා හැකි” බව ඔහු ද නිව් ඒජ් ට පැවසීය.

ඇමරිකානු හා යුරෝපීය මහ පරිමාන වෙලෙන්දන් සඳහා ඇනවුම් ඉටු කිරීම සඳහා පීඩනයකට මුහුන දී සිටින ආන්ඩුව සහ කර්මාන්තශාලා හිමියන් විසින් එවැනි අනතුරු ඇඟවීම් නොසලකා හැර තිබේ. 

දැනටමත් නිෂ්පාදනය නැවත ආරම්භ කර ඇති වියට්නාමය, චීනය සහ කාම්බෝජය වැනි ගෝලීය තරඟකරුවන් අතර තමන්ගේ තැන අහිමි වනු ඇතැයි බංග්ලාදේශ කර්මාන්තශාලා හිමිකරුවෝ බිය වෙති. ඊයේ වන විට බංග්ලාදේශ ඇඟලුම් කම්හල්  2,590 කට අධික ප්‍රමානයක් විවෘතව පැවතිනි. රටේ ඩොලර් බිලියන 40 ක වාර්ෂික අපනයන ආදායමෙන් සියයට 84 ක් පමන ඇඟලුම් කර්මාන්තය විසින් ඉපැයේ. මේ මූල්‍ය වර්ෂයේදී ඩොලර් බිලියන 6 ක් පමන වටිනා ඇනවුම් අහිමි විය හැකිය.

බංග්ලාදේශ කර්මාන්තශාලා නැවත විවෘත කිරීම සහ කම්කරුවන්ගේ ජීවිත අහිමිවීමේ තර්ජනය ඇමරිකාවේ හා යුරෝපයේ සමාන පියවර සමඟ සමපාත වේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝගයේ ප්‍රතිඵලයක් ලෙස මස් සැකසුම් කම්හල් නැවත විවෘත කිරීමට බල කිරීමේ හේතුවෙන්, පසුගිය සිකුරාදා, එජ යේ ඉන්දියානා හි ලෝගන්ස්පෝර්ට් හි ටයිසන් ෆුඩ්ස් ඌරු මස් කම්හලේ කම්කරුවන් 2,200 න් සියයට 40 ක් එනම් 890 කුට කෝවිඩ්-19 ආසාදනය වූ බව තහවුරු කෙරිනි.

කර්මාන්තශාලා නැවත විවෘත කිරීම සහ අනාරක්ෂිත සේවා කොන්දේසි වලට එරෙහිව ඇමරිකාවේ- එනම් වසංගතයේ ගෝලීය කේන්ද්‍රස්ථානයේ- කම්කරු අරගලවල නව රැල්ලක් මතුව තිබේ. මාර්තු සිට අප්‍රේල් දක්වා කාලය තුල එජ යේ අවම වශයෙන් හදිසි වැඩ වර්ජන 140 ක් පමන සිදුවී ඇති අතර, වෙනත් රටවල කම්කරුවෝ වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගෙන තිබේ.

හසීනා ආන්ඩුව අවධාරනය කරන්නේ ඇඟලුම් කර්මාන්තශාලා දිගටම ක්‍රියාත්මක වන ලෙසයි. කෙසේ වෙතත්, වසංගතය පාලනයෙන් බැහැරව පවතින හෙයින්, ජාතික පරිමාන අගුලු දැමීම රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල සේවා ස්ථාන සඳහා පමනක් මැයි 16 දක්වා දීර්ඝ කිරීමට තීරනය කර ඇත. 

අප්‍රේල් 18 වන දින 84 සිට මැයි 5 දක්වා 186 දක්වා පසුගිය සති දෙක තුල නිල කෝවිඩ්-19 මරන සංඛ්‍යාව දෙගුනයකට වඩා වැඩි වී තිබේ. ඊයේ උදෑසන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තා වලට අනුව තවත් මරන දෙකක් සහ තනි දවසක ඉහලම වන නව රෝගීන් 665 ක් වාර්තා කර තිබේ. 

නිල වශයෙන් තහවුරු කරන ලද මුලු රෝගීන් සංඛ්‍යාව 9,455 ක් වන නමුත් මහා පරිමාන පරීක්ෂනයක් නොමැත. වෛද්‍ය විශේෂඥයින් විසින් නිර්දේශ කරනු ලබන අවම වශයෙන් 10,000 ට සාපේක්ෂව දෛනික පරීක්ෂන සංඛ්‍යාව 6,000 ට වඩා අඩුය. මිනිසුන් කොරොන වයිරස් වැනි රෝග ලක්ෂන නිසා මිය යන නමුත් මෙම මරන නිල වශයෙන් ගනන් නොගැනේ.

පුද්ගලික ආරක්ෂන උපකරනවල දැඩි හිඟයක් මධ්‍යයේ වෛද්‍ය සේවකයින් එනම් වෛද්‍යවරුන් 574 ක් සහ හෙදියන් 600 කට වැඩි වශයෙන් ආසාදනය වී ඇති හෙයින් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටීමට මුහුන දී තිබේ. වෛද්‍යවරුන් දෙදෙනෙකු වෛරසයෙන් මියගොස් ඇති අතර, බංග්ලාදේශ් නර්සින් ඇන්ඩ් මිඩ්වයිෆ් කවුන්සිලයට අනුව, රටට වශයෙන් අවශ්‍ය හෙද හෙදියන් 300,000 න් රට තුල ඇත්තේ සියයට 24 ක් පමනි.

Loading