ලොව පුරා ආන්ඩු ජීවිත නොව ලාභයම රකිමින් කොවිඩ්-19 වෛරසයට ප්‍රතිචාර දක්වති

මෙම ලිපිය මැයි 12 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් 2020 මැයි 2 දා පවත්වන ලද ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය ඇමතූ එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසප් ක්‍රිෂෝර්ගේ කථාව පහත දැක්වේ. 

සහෝදරවරුනි, මිත්‍රවරුනි:

අද දින හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකයන් හා ඊට සහාය දක්වන අයවලුන් විසින් පවත්වන ලද දේශන සමන්විත වන්නේ, ලෝකයේ ආන්ඩු, පාලක පන්තිය හා ධනේශ්වර ක්‍රමය පිලිබඳව ඉදිරිපත් වන චෝදනා පත්‍රයකිනි.   

ඒ අතරම එම දේශන, පෙරලා සටන් වැදීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා වන වැඩ පිලිවෙලක හා ඉදිරි දර්ශනයක දල සැලැස්මක් ද ඉදිරිපත් කොට ඇත.

 

ජෝ කිෂෝර්ගේ කථාව වීඩියෝවේ 2:06:24 ට ආරම්භ වේ.

මෙම මැයි දින රැලිය විසින්, ලෝක ගෝලීය ඉදිරි දර්ශනයක් ලෝක ගෝලීය ප්‍රේක්ෂකාගාරයක් වෙත ඉදිරිපත් කෙරෙයි. 

අද දින පැවැති දේශනවලට නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, එක්සත් රාජධානියේ, ශ්‍රී ලංකාවේ, ප්‍රන්සයේ, ජර්මනියේ, බ්‍රසීලයේ, තුර්කියේ, එක්සත් ජනපදයේ, කොස්ටාරිකාවේ හා කැනඩාවේ දේශකයෝ ඇතුලත් වූහ. 

එම රටවලට අමතරව ඉන්දියාව, පේරු, නෝර්වේ, නැගෙනහිර ටිමෝරය, මෙක්සිකෝව, පිලිපීනය, තුර්කිය, නයිජීරියාව, ජපානය, ඉතාලිය, තායිලන්තය, ග්‍රීසිය යන රටවලින් ද එක්සත් ජනපදය පුරාම ප්‍රාන්තවලින් ද තවත් බොහෝ රටවලින් ද ජනයා ඊට සහභාගී වූහ.  

එම කරුන තුල මෙම මැයි දින රැලිය මුලුමනින්ම අද්විතීය වේ.  

කොරෝනා වෛරසය යනු ස්වභාවික ප්‍රපංචයකි. කෙසේ වෙතත්, එය මතු වී වර්ධනය වී ඇත්තේ නිශ්චිත සමාජ හා ආර්ථික ව්‍යුහයක් තුලය. දැවැන්ත වූත් තවදුරටත් ප්‍රසාරනය වෙමින් පවත්නා වූත් මරන සංඛ්‍යාව, කෝටි සංඛ්‍යාත ජනකායක් හිඟමනට වැටීම, අනාරක්ෂිත කොන්දේසි යටතේ ආපසු වැඩට යැවීම සඳහා වන උද්ඝෝෂනය යන මේවා, ස්වභාව ධර්මයේ නොව සමාජයේ නිෂ්පාදිතයන් වේ.     

අද දින දේශන මඟින් පෙන්නුම් කෙරුනු පරිදි, මෙම වසංගතයේ සෑම අවස්ථාවක දී ම ලෝකයේ ආන්ඩු ප්‍රතිචාර දක්වා ඇත්තේ ජීවිත බේරා ගැනීම නොව ලාභ බේරා ගැනීම අරමුනු කර ගත් පියවරයන් මඟිනි. 

කොවිඩ්-19ට විද්‍යාත්මක, ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත , තර්කානුකූල හා දයා පරවශ ප්‍රතිචාරයක් දැක්වීම වලක්වනු ලැබ ඇත්තේ එමඟිනි.   

මෙය, අන් කවර හෝ තැනක දීට වඩා වැඩියෙන් ම සත්‍ය වන්නේ ලෝක ධනේශ්වර ක්‍රමයේ මධ්‍යස්ථානය වන එක්සත් ජනපදය තුල දී ය. 

ට්‍රම්ප් පාලනය වසංගතයට පලමුව ප්‍රතිචාර දැක්වූයේ එහි වැදගත්කම අඩුවෙන් දක්වමිනි. කෙසේවෙතත්, වෛරසය ඔහේ "හේදී යනු ඇතැ"යි යන ට්‍රම්ප්ගේ නිවේදනය ප්‍රකෝටි සංඛ්‍යාත ජනකායකගේ ජීවිත කෙරේ දක්වන හුදු නොසැලකිල්ල පිලිබඳ වඩාත්ම නිරුවත් ප්‍රකාශනය විය.  

දශක ගනනක සිට විද්‍යාඥයෝ හා වසංගත පිලිබඳ විශේෂඥයෝ එවැනි වසංගතයක් සම්බන්ධයෙන් නිරවද්‍ය ලෙස අනතුරු හඟවා ඇත්තාහ. කෙසේවෙතත්, ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙපක්ෂයම යටතේ, සෞඛ්‍ය සේවකයන් සඳහා ආරක්ෂක පලඳනා හෝ ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරන සංචිත ගොඩ නඟා ගැනීමට කිසිවක් සිදු කෙරුනේ නැත. ඒ වෙනුවට සමාගම්කාර හා මූල්‍ය ප්‍රභූව, ධනවතුන්ගේ සම්පත් පොදි ගැසීමට හා කම්කරු පන්තිය සූරාකෑමට බාධාකාරී වූ කවර හෝ දෙයක් වේ නම් එය කඩා බිඳ දමමින් සමාජ යටිතල ව්‍යුහය කාබාසිනියා කර දැමූහ.      

ඒ අතරතුර ම, ලෝකය පුරා ජන සමාජයන් එහැම පිටින් කාබාසිනියා කර දමමින් ද, දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා කොරෝනා වෛරස් වසංගතයට ගොදුරු වීමේ අන්තරායයට භයානක ලෙස මුහුන දී සිටින සරනාගතයන් බවට පත් කරමින් ද, අවසානයකින් තොරව දිගින් දිගට ප්‍රසාරනය වෙමින් පැවැති යුද්ධය වෙනුවෙන් ට්‍රිලියන ගනනින් වැය කරන ලදී.  

තවදුරටත් කිව යුත්තේ, දැනට සිදු කෙරෙමින් පවත්නා ක්‍රියා දාමයෙහි පූර්ව පරීක්ෂනය ලෙස සැලකිය හැකි, 2008 බිඳ වැටීමෙන් පසු ක්‍රියාත්මක වූ වෝල් වීදිය රැක ගැනීමේ ඇප මුදල් සම්පාදන වැඩ පිලිවෙල සඳහා කටයුතු කලේ ඔබාමා පරිපාලනය බවයි.  

පසුගිය වසර තුන හමාර පුරා ඩිමොක්‍රටිකයන් යත්න දැරුවේ, ට්‍රම්ප් පාලනයට එරෙහි සියලු ප්‍රතිරෝධය, ඇමරිකානු මහජනයාට එරෙහිව පවත්නා විශාලතම තර්ජනය වනුයේ ව්ලැදිමීර් පුටින් හා රුසියාවයැයි යන කියාපෑම කෙරේ කේන්ද්‍රගත කර ගැනීමට ය. ට්‍රම්ප් තන්ත්‍රය කෙරේ වූ සමාජයීය විරෝධයේ සමස්තය, ජුලියන් අසාන්ජ්ට වධ හිංසා පැමිනවීම ද ඇතුලත්ව මිලිටරියේ හා ඔත්තු සේවා ඒජන්සිවල ප්‍රතිගාමී න්‍යාය පත්‍රයට යටත් කරනු ලැබීය.       

වසංගතයට දැක්වෙන ප්‍රතිචාරය මෙහෙයවනු ලබන්නේ ද, මෙකී කොන්දේසි නිර්මානය කල එම සමාජ උත්සුකයන් විසින්මය. 

අනතුර පිලිබඳව අඩු ලංසුවෙන් දක්වන අතරතුර දී ම පාලක පන්තිය, 2008 මූල්‍ය අර්බුදයෙන් අනතුරුව සිදුකල සියලු දේ පවා ඉක්මවා යන සුලු මංකොල්ල කෑමේ හා පැහැර ගැනීමේ මෙහෙයුමක් සූදානම් කරමින් හා ක්‍රියාවට නංවමින් සිටිති.     

වෝල් වීදියට ලබා දී ඇති ධන සම්භාරයේ සංඛ්‍යාත්මක අගය සාමාන්‍ය පුද්ගලයෙකුට වටහා ගත නොහැකි තරම්ය. ඒවා මනින්නට සිදුවන්නේ ඩොලර් ට්‍රිලියන ගනනිනි. ෆෙඩරල් මහ බැංකුව ධනවතුන්ට සෑම දිනෙකම ඩොලර් බිලියන 80 බැගින් ලබා දෙයි.

මෙම සංඛ්‍යාව පිලිබඳ හැඟීමක් ඇති කර ගත හැකි වන පරිදි කිවහොත්, වසරකට ඩොලර් 31,000 ක් උපයන එක්සත් ජනපදයේ පොදු කම්කරුවෙකුට, සෑම දිනෙකදී ම වෝල් වීදියට ලබා දෙන මෙම මුදල් ප්‍රමානය ඉපැයීමට වසර 2,580,000 ක් ගත වේ. 

මහා පරිමාන මරනයේ හා ආර්ථික විනාශයේ තතු තුල බිලියනපතියන් සිය ධන සම්පත් එලෙසම පවත්වා ගැනීමෙන් ද නොනැවතී, සැබවින්ම ඒවා වැඩි වර්ධනය කර ගැනීමටත් වඩා අශිෂ්ඨ තවත් යමක් තිබිය හැකිද?

මෙසේ සාරය උරා බී තමා පෝෂනය කර ගත් මූල්‍ය කතිපයාධිකාරය සහ එහි මාධ්‍ය රූකඩයෝ, ඉදින් තවත් ලක්ෂ සංඛ්‍යාත නොවේනම්, දස දහස් සංඛ්‍යාත ජනයාගේ මරනයට පාර කපන, හා එසේ පාර කැපෙන බව තමා ද දන්නා, පිලිවෙතක් වන "ආපසු වැඩට යනු" යන ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටිති.   

මේ කරුන සැලකිල්ලට ගන්න: හදිසි තත්වයන් කලමනාකරනය කිරීමේ ෆෙඩරල් ඒජන්සිය පසුගිය මාසයේ "කොවිඩ්-19ට ගොදුරු වන අයගේ මෘත ශරීර බහා ලීමට අලුතින් මල සිරුරු බහා ලන මලු ලක්ෂයකට බෙහෙවින් වැඩි සංඛ්‍යාවක් සඳහා ඇනවුම් කර ඇතැ"යි එන්බීසී පුවත් සේවය වාර්තා කර ඇත. එසේ වුව, කෙසේ හෝ වේවා ආපසු වැඩට යාම ආරක්‍ෂිතයැයි ඔවුහු කියා සිටිති. එය මුසාවකි.   

ඔවුන්ගේ අරමුන වී ඇත්තේ මරනය "සාමාන්‍ය තත්ත්වය" බවට පත් කිරීමටය; වසංගතය "සාමාන්‍ය තත්ත්වය" බවට පත් කිරීමටය; එනම්, විශාල සංඛ්‍යාවක් ජනයා මිය යනු ඇති බවත්, එබඳු මරන හුදු ජීවිතයේ යථා තත්ත්වයක් සේ සැලැකිය යුතු බවත් පිලිගැනීමට ජනයා පුරුදු කිරීමයි.    

කම්කරුවන් ක්ෂය වී යන දෙයක් සේ සැලකිය යුතුය. ඉදින් ඔවුන් මිය ගිය හොත්, මැරී යන්නන් අන්‍යයන් මඟින් විස්ථාපනය කෙරෙන තතු යටතේ එය ව්‍යාපාරය පවත්වා ගෙන යාමේ පිරිවැයක් පමනක් වනු ඇත.   

ආපසු වැඩට යාම සඳහා බල කිරීමට මහජනයා අතර පෘථුල ලෙස පැතිර පවත්නා සමාජමය අපේක්ෂා භංගත්වයෙන් ප්‍රයෝජන ගැනීමට පාලක පන්තිය අදහස් කරයි. එක්සත් ජනපදය තුල මිලියන 30ක ජනයා දැනටමත් විරැකියාවෙන් පෙලෙති. ඇත්තෙන්ම කිවහොත්, මේ සංඛ්‍යාව යථා තතු බොහෝ සෙයින් අඩු කොට දැක්වීමකි. හුදෙක් විරැකියා ප්‍රතිලාභ ලබා ගත නොහැකි වූ දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වෙති.

කිසිවෙකුට මේ සම්බන්ධයෙන් කිසිදු මුලාවක් පැවතිය යුතු නැත. දශ ලක්ෂ සංඛ්‍යාත ජනයාට එකී ප්‍රතිලාභ අහිමි කිරීම සිතා මතා පවත්වා ගෙන යනු ලබන පිලිවෙතකි. 

වෝල් වීදියට කිසිදු දුෂ්කරතාවයක් නැති තතු තුල කම්කරුවන්ට ප්‍රතිලාභ දීම දුෂ්කරයැයි කාට නම් කිව හැකිද? එක්සත් ජනපදයේ පෙඩරල් මහ බැංකුවෙන් බිලියන ගනන් ලබා ගැනීමට කිසිවෙකු ආහාර පෝලිම්වල නොසිටියෝය; පිටාර ගිය පරිගනක පද්ධති හරහා අන්තර්ජාල ඉල්ලුම්පත් ද ඉදිරිපත් නො කලෝය.  

අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කරන්නන්ට ප්‍රතිලාභ ලබා දීම ප්‍රතික්ෂේප කෙරෙනු ඇති අතර, ඔවුන්ට සියලු රාජ්‍ය සහනාධාර කපා හරිනු ඇත. ආදර්ශ පාඨය වනු ඇත්තේ මෙයයි: එක්කෝ වැඩ කරනු; නැතහොත් හාමත් වෙනු.  

ඒ අතරම, කොරෝනා වෛරසය හේතු කොට ගෙන මිය යන කම්කරුවන් වෙනුවෙන් වන නෛතික වගකීමෙන් සමාගම් නිදහස් කෙරෙන බව තහවුරු කර ගැනීමට ට්‍රම්ප් පාලනය හා කොන්ග්‍රසය පීඩනය යොදමින් සිටිති. එනම්, රජය ඇමරිකාවේ සමාගම්කරුවන්ට මෙසේ පවසයි: ඔබේ සේවකයන් මරා දමන්න, ඔබට කිසිදු ප්‍රතිවිපාකයකට මුහුන දීමට සිදු නොවේ.

මේ ධනේශ්වර ක්‍රමයේ ද, පන්ති පාලනයේ ද, මූල්‍ය කතිපයාධිපත්‍යයේ ආඥාදායකත්වයේ ද යථාර්ථයයි. 

සිය පසුගාමිත්වය තුල, මිනිස් ජීවිත පිලිබඳ සිය නොතැකීම තුල, සිය අනාවරනිත දූෂනය හා අපරාධකාරීත්වය තුල ට්‍රම්ප් පාලනය මෙකී පන්ති උත්සුකයන් මූර්තිමත් කරයි. 

කෙසේවෙතත්, 2020 වෝල් වීදියේ මහා මංකොල්ලයට එක්සත් ජනපද කොන්ග්‍රසයේ ඒකමතික අනුමැතිය ලැබුනේය යන කරුන කෙතෙක් වාරයක් යලියලිත් කීව ද ප්‍රමානවත් නොවන්නකි. ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී" බර්නි සෑන්ඩර්ස් ද ඇතුලුව සෙනෙට් සභාවේ සෑම රිපබ්ලිකානුවෙකුම හා සෑම ඩිමොක්‍රටිකයෙකුම ඊට පක්ෂව ඡන්දය දුන්හ.   

නිවාඩු කාලීන වාක්‍ය ඛන්ඩයන් හා හිස් පොරොන්දුවලට වඩා ඉතා උස් හඬින් රජයේ ප්‍රතිපත්තිය නිර්නය කෙරෙන සැබෑ පන්ති උත්සුකයන් ප්‍රකාශයට පත් කෙරෙන්නේ "කෙයාර්ස් පනතේ" වගන්ති මඟිනි. 

බර්නි සෑන්ඩර්ස්ට සිදු වී ඇත්තේ කුමක් ද? හරියටම, යථාර්ථය විසින් ධනේශ්වර ක්‍රමයේ බංකොලොත්කම විදහා දක්වන එම මොහොතේ ම, තම "දේශපාලන විප්ලවය" අවසන් වී ඇතැයි නිවේදනය කල සෑන්ඩර්ස්, වෝල් වීදියේ හා මිලිටරියේ පක්ෂය ලෙස ඩිමොක්‍රටික් පක්ෂය පෙනී සිටීමේ පුද්ගලාරෝපනය වූ බිඩෙන් වෙත සිය පූර්න හා අවිවේචනාත්මක සහාය ප්‍රකාශ කර සිටියේය. 

ඔහු ඉටු කරමින් සිටින්නේ සෑම විටම තම උද්ඝෝෂනයේ පරමාර්ථය ලෙස පැවැති දෙයයි: එනම්, සමාජ හා දේශපාලන කෝපාග්නිය ඩිමොක්‍රටික් පක්ෂයේ සීමාවන් ඉක්මවා පැතිර යාම වැලැක්වීමට තමාට හැකි හැම දෙයම කිරීමයි.  

එහෙත් එය කීමට පහසුය, කෙරුවාව අපහසුය.

එක්සත් ජනපදයේ තතු සමාජවාදය සඳහා හා විප්ලවය සඳහා මෝරා, පැසී, සත්තකින්ම පමනට ද වඩා ඉදී පවතී. 

වසංගතය කඩා වදින්නට පෙර, සමාජවාදී සමානතා පක්ෂය එහි මැතිවරන උද්ඝෝෂනයට මුල පිරූ අවස්ථාවේ, කොමියුනිස්ට් විරෝධය රාජ්‍ය ආගමක් බවට පත්ව තිබූ රටක, ඊනියා "අසීමිත අවස්ථා පවතින දේශයේ", දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා ධනේශ්වර ක්‍රමයට විපක්ෂව සිටින බව පෙනී යතැයි යන කරුන කෙරේ අපි අවධානය කැඳවා සිටියෙමු.    

පසුගිය වසරේ එක්සත් ජනපද කම්කරුවෝ ඊට ඉහත දශක දෙකකට ආසන්න කාලයක පැවැති වැඩ නැවැත්වීම්වලට වඩා වැඩි වැඩ නැවැත්වීම් ප්‍රමානයකට සහභාගී වී ඇත්තාහ. ඒවා දියත් කෙරුනේ, වෘත්තීය සමිති ලෙස හඳුන්වනු ලබන පාලනාධිකාරීන්හි කෝපරේට්වාදී උපකරනවලට එරෙහිව යමිනි.     

ඊලඟට වසංගතය පැමිනියේය. එය පන්ති ගැටුම් හා දේශපාලන රැඩිකලීකරනයේ ක්‍රියාවලිය අතිමහත් ලෙස වේගවත් කරමින් පවතී. මෝටර් රථ කම්කරුවන්, ප්‍රවාහන කම්කරුවන්, තැපැල් කම්කරුවන්, මල අපවහන කම්කරුවන්, ඉදිකිරීම් කම්කරුවන්, මස් අසුරන කම්කරුවන්, සහ තවත් බොහෝ අයවලුන් විසින් පවත්වන ලද වැඩ වර්ජන හා වැඩ නවත්වා ඉවත් වී යාම් බොහෝය.     

ඇත්තෙන්ම, මුලදීමත් කම්හල් වසා දැමීමට බල කරනු ලැබුනේ, මෝටර් රථ කම්කරුවන්ගේ වැඩ නවත්වා ඉවත් වී යාම් හා හිටිවන පැන නැඟුනු වර්ජන ද මඟිනි. 

අද දිනයේ දේශනවලින් පැහැදිලි කෙරුනු පරිදි, මෙය ගෝලීය ක්‍රියාදාමයක කොටසකි.

තවද, එය හුදු ආරම්භයයි. ආපසු වැඩට යාම ක්‍රියාවට නංවනු වස් පාලක ප්‍රභූව දරන ප්‍රයත්නයන් ද, වෝල් විදියේ නය මුදල් ගෙවීම සඳහා පන්ති සම්බන්ධතාවල දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා වන එහි උත්සාහයන් ද කම්කරු පන්තියේ අතිවිශාල විරුද්ධත්වයකට මුහුන පානු ඇත. එක්සත් ජනපදය තුල ද, ලෝකය පුරා ම ද, මහා විප්ලවවාදී අරගල යලිත් මතු වෙමින් පවතී. කෙසේවෙතත්, ප්‍රශ්නය වන්නේ: එකී අරගලවලට මාර්ගෝපදේශකත්වය සපයන්නේ කවර ඉදිරි දර්ශනයකින් ද?       

සමාජවාදී සමානතා පක්ෂය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අවධාරනය කරන්නේ, මනුෂ්‍ය ප්‍රජාව මුහුන පා සිටින අර්බුදයට කවර හෝ ජාතික රාජ්‍යයක දේශසීමා තුල විසඳුම් නොපවතින බවයි. මානව වර්ගයා පොර බදමින් සිටින සියලු මහා ගැටලු - කොරෝනා වෛරස් වසංගතය, ලෝක යුද්ධයක තර්ජනය, කාලගුන විපර්යාසයක අන්තරායය, සමාජ අසමානතාව හා සූරාකෑම, අන්ත දක්ෂිනාංශයේ වර්ධනය, ජුලියන් අසාන්ජ් නිදහස් කිරීම සඳහා අරගලය - මේ සියල්ල ලෝක ගෝලීය විසඳුමක් අවශ්‍ය කෙරෙන ලෝක ගෝලීය ගැටලුය.    

වෝල් වීදියට මුදල් ඇප දී ගලවා ගැනීමට නොව, සෞඛ්‍ය සේවා යටිතල ව්‍යුහය ගොඩ නැංවීම සඳහා හදිසි වැඩ පිලිවෙලක් ක්‍රියාවට ලීමට හා ආරක්‍ෂිත උපකරන ඒවා අත්‍යවශ්‍ය කෙරෙන සියලු කම්කරුවන්ට සම්පාදනය කිරීමට ඩොලර් ට්‍රිලියන ගනන් වෙන් කල යුතුයැයි අපි බල කර සිටිමු.  

බැංකුවලට කෙරෙන ගෙවීම්වලට කම්කරුවන්ගේ ආදායම බැඳ තැබෙන ශිෂ්‍ය නය, උකස්කර හා අනෙකුත් යාන්ත්‍රනයන් වහා අත්හිටුවා වසංගත කාලය පුරා කම්කරුවන්ට සිය සම්පූර්න ඉපැයීම් ලබා දීමට කටයුතු කල යුතු අතර, සියලු අත්‍යවශ්‍ය නොවන වැඩ පොලවල් දිගටම වසා තැබිය යුතුය. ඉහලම තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සියලු දෙනාට නොමිලයේ හා පරිපූර්න ලෙස සමානතා පදනමකින් හිමි විය යුතුය.    

එක්සත් ජනපදය තුල වේවා, ජාත්‍යන්තර ව වේවා, කම්කරු පන්තියේ උත්සුකයන් සුරැකීම සඳහා එබඳු ක්‍රියාවන් සහ අනෙකුත් හදිසි ක්‍රියා මාර්ග ගැනීම පවත්නා රාජ්‍ය ආයතනවල රාමුව තුල සහතික කල නොහැක.

ඒ සඳහා ධනේශ්වර ක්‍රමයට එරෙහිව මුහුනට මුහුන ලා එල්ල කෙරෙන ප්‍රහාරයක් අවශ්‍ය කෙරේ. මූල්‍ය කතිපයාධිකාරීන් අත පවතින සම්පත් අල්ලා ගත යුතුය. යෝධ බැංකු හා සමාගම් මහජන අයිතිය යටතේ පවත්නා උපයුක්තතා බවට පරිවර්තනය කිරීම හරහා සමාජය හා ආර්ථික ක්‍රමය මත ඔවුන් පවත්වා ගෙන යන මාරාන්තික ග්‍රහනය බිඳ දැමිය යුතුය.      

ජීවිත රැක ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන එවැනි පියවරයන් ක්‍රියාවට නැංවීම සඳහා, මානව වර්ගයා ව්‍යසනයෙන් රැක ගැනීමට අවශ්‍ය කෙරෙන සමාජවාදී පිලිවෙත් ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ ආන්ඩුවක් - එනම්, කම්කරුවන් සඳහා, කම්කරුවන් විසින් පිහිටුවනු ලබන කම්කරුවන්ගේ ආන්ඩුවක් - එක්සත් ජනපදය තුල හා ලොව පුරාමත් ගොඩ නැඟීම හරහා දේශපාලන බලය සියතට ගැනීමේ අරමුනින් කම්කරු පන්තිය විප්ලවවාදී ව බලමුලු ගැන්වී ගැනීම අවශ්‍ය වේ.    

මෙම විප්ලවවාදී ඉදිරි දර්ශනය සඳහා සටන් කිරීමට නම්, කම්කරු පන්තිය තුල නායකත්වයක් ගොඩ නැංවිය යුතුව ඇත. 

ස්ටැලින්වාදීන්ගේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ, ප්‍රතිසංස්කරනවාදීන්ගේ, සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ ද, සෑම හැඩයකම හා ප්‍රමානයකම අවස්ථාවාදීන්ගේ ද මුසාවන් හා ද්‍රෝහීත්වය සමඟ සටන් වදිනු පිනිස සිය ඉතිහාසය පුරාම මාක්ස්වාදයේ නිර්ව්‍යාජ සම්ප්‍රදායයන් හා ඉදිරි දර්ශනය දරා සිටියේ අපේ ව්‍යාපාරයයි; හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි; ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයයි.  

අද පෙරමුනට ගෙන ආ යුතුව ඇත්තේ එම විශිෂ්ඨ සම්ප්‍රදායයන්ය.

සමාජවාදය සඳහා සටන් වැදීමට අධිෂ්ඨාන කර ගත් ජනයාගේ හිඟයක් නොවනු ඇත. මෙම රැස්වීම ආරම්භයේ ඩේවිඩ් සහෝදරයා අවධාරනය කල පරිදි, වෛෂයික අර්බුදය විසින් කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය කරා ධාවනය කෙරෙමින් පවතී. එහෙත් එකී වෛෂයික ව්‍යාපාරය, සමාජවාදය සඳහා වූ ලෝක පරිමාන ව්‍යාපාරයක් තුල කම්කරු පන්තියේ අරගල ඒකාබද්ධ කිරීමේ මූලෝපායයකින් සන්නද්ධ කල යුතුය. 

මෙම රැස්වීමේ අන්තර්ගතය වන්නේ එකී මූලෝපායයයි.

මේ සියලු දේශනවල ආවශ්‍යක නිගමනය වනුයේ, අද දින ඇහුම්කන් දෙන ඔබ සියලු දෙනා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට හා සමාජවාදී සමානතා පක්ෂයට බැඳී ඒවා ගොඩ නැංවීමේ තීරනය කරා එලැඹීමයි.

Loading