ඉදිරිදර්ශන

ට්‍රම්ප් විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචන්ඩකාරී පොලිස් ප්‍රකෝපරනයක් අවුලුවයි

මෙම ලිපිය ජූනි 1 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපදය පුරා, ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට විරෝධය දැක්වීම සඳහා නගර 100 කට ආසන්න සංඛ්‍යාවක එක්‍ රැස්වු ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාව හා තරුනයෝ, ජාතික ආරක්ෂක භටයින්ගේ සහාය ඇතිව විශාල වශයෙන් සන්නද්ධ පොලිස් කන්ඩායම් විසින් එල්ල කෙරෙන ප්‍රචන්ඩකාරී පහරදීම්වල ඉලක්කය බවට පත්ව සිටිති.

විරෝධතාකරුවන්ට එරෙහිව රට පුරා දියත් කරන ලද ප්‍රචන්ඩත්වය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ජීවිතය අහිමි කල මිනීමරු ප්‍රහාරයේ දිගුවක් මෙන් ම තීව්‍ර කිරීමකි. විරෝධතාකරුවන්ට එරෙහි තම ප්‍රචන්ඩ ප්‍රහාරවලට ට්‍රම්ප් පාලනාධිකාරයේ සහාය ලැබෙන බව මුලුමනින් ම දන්නා පොලිසිය සිත්සේ ක්‍රියාකරමින් සිටි.

ෆ්ලොයිඩ්ගේ ඝාතනය මිනියාපොලිස්හි සිදුවීම අහම්බයක් නො වේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ඔක්තෝබර් මාසයේ සිය ගනනක් පොලිස් නිලධාරීන් සහභාගී වූ රැලියකදී ෆැසිස්ට් වාදී බැන දෙඩවීමක් කලේ ය. ඔහු නගරයේ නගරාධිපති ඇතුලු “අන්ත වම” සහ “සමාජවාදී” දේශපාලනඥයන් හෙලා දුටුවේ ය.

2020 මැයි 30 සති අන්තයේ එක්සත් ජනපදය පුරා පොලිස් ප්‍රචන්ඩ ක්‍රියා සිදු කිරීම

පසුගිය සතියේ විරෝධතා ආරම්භ වූ දා සිට, ට්‍රම්ප් නැවත නැවතත් විරෝධතාකරුවන්ට පහර දෙන ලෙස ඉල්ලා තිබේ. ඉරිදා ඔහු "නරක මිනිසුන්ට එරෙහිව අතිමහත් බලයක්" භාවිතා කරන ලෙස ඉල්ලා සිටි පෝස්ට් එකක් නැවත ට්වීටර් හි පල කලේය කලේ ය. මෙය නිකුත් කලේ "කොල්ලය ආරම්භ වන විට වෙඩි තැබීම ආරම්භ වේ" යන ඔහුගේ මීට පෙර ප්‍රකාශයට පසුව ය.  ප්‍රාන්ත ආන්ඩු  ජාතික ආරක්ෂක බලකාය යොදවන ලෙස ට්‍රම්ප් ඉල්ලා ඇති අතර “පාලනය කිරීම” සඳහා හමුදාව මුදාහරින බවට තර්ජනය කර තිබේ.

කිසිදු සත්‍ය පදනමක් නොමැතිව ට්‍රම්ප්  පරිපාලනය දැන් ප්‍රකාශ කරන්නේ ප්‍රචන්ඩයට “අන්ත වම” හා අරාජිකවාදී කන්ඩායම් වග කිව යුතු බව යි. ට්‍රම්ප්  හා නීතිපති විලියම් බාර් යන දෙදෙනා ම, දේශපාලනික වශයෙන් නොවැදගත් අරාජිකවාදී කන්ඩායමක් වන, “ඇන්ටිෆා” සංවිධානය “දේශීය  ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස ප්‍රකාශයට පත් කරන බවට තර්ජනය කරති. හැම අතින් ම පෙනෙ විධියට මෙය විශාල වශයෙන් පොලිස් ඒ්ජන්තයින් රිංගා ගත් හා මෙහෙයවනු ලබන සංවිධානයකි. ව්‍යවස්ථා විරෝධී වන මෙම තර්ජනය එල්ල කෙරෙන්නේ ට්‍රම්ප්  පරිපාලනයට එරෙහි සියලු කම්කරු පන්තික, වාමාංශික හා සමාජවාදී විරුද්ධත්වය සාපරාධීකරනය කිරීමට ය.

එක්සත් ජනපද ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි දරුනුතම ප්‍රහාරයන් අතර පසුගිය දින කිහිපය තුල පොලීසිය විසින් සිදුකරන ලද ප්‍රචන්ඩ ක්‍රියා ද වේ. ඉරිදා වන විට ප්‍රාන්ත 26 ක විරෝධතා මැඩපැවැත්වීම සඳහා ජාතික ආරක්ෂක සෙබලුන් හා ගුවන් හමුදා භටයින් සක්‍රිය කර ඇත. හදිසි නීති තත්වය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒවායින් බොහොමයක් ඩිමොක්‍රටිකයින් විසින් පාලනය කරනු ලබන, රට පුරා නගර හා ප්‍රාන්තවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ, ප්‍රතිඵල වශයෙන් භාෂනයේ නිදහස හා රැස්වීමේ අයිතිය තහනම් කරමිනි. 

සති අන්තයේ දී පොලිසිය විරෝධතාකරුවන්ට මුගුරුවලින් පහර දී කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලේ ය. රබර් උන්ඩ, ගම්මිරිස් කුඩු, බෝංචි උන්ඩ, කම්පන වෙඩි හා වෙනත් “මාරාන්තික නොවන” උන්ඩවලින් පෙලපාලිකරුවන්ට ප්‍රහාර එල්ල කලේ ය. විරෝධතාකරුවන් හා මාධ්‍යවේදීන්ගේ මුහුනුවලට කෙලින් ම ගම්මිරිස් හා අනෙකුත් අධික දැවිල්ල ඇති කරන ද්‍රව්‍ය ඉසින ලදී. බ්‍රහස්පතින්දා සිට පුද්ගලයින් 4,100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කලේ  ය.

සෙනසුරාදා රාත්‍රියේ මිනියාපොලිස් හි නිවැසියන් විසින් ගනු ලැබූ එක් වීඩියෝවකින් දැක්වෙන්නේ, ජාතික ආරක්ෂක සේනාංකයේ හම්වී රථයක් පිටුපසින් පොලිසිය ගමන් කරමින්, නිවසියන්ට ඇතුලට යන ලෙස කෑගසන අතර, “ඔවුන්ට ගිනි තබනු” යැයි කියමින් කෑගසමින් තම නිවෙස් වලින් පිටත රැස්ව සිටි තරුනයින් පිරිසකට රබර් උන්ඩ එල්ල කරන ආකාරය යි. නිව් යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයෝ තමන්ගේ වාහන බෘක්ලින්හි විරෝධතාකරුවන් පිරිසක් වෙත ප්‍රචන්ඩකාරී ලෙස පැදවූහ. විරෝධතාකරුවන් විසුරුවා හරිමින් සන්නද්ධ වාහන වලින් ඉදිරියට ඇදෙන අවස්ථාවේ, සෝල්ට් ලේක් නගරයේ කැරලි මර්දන පොලිසිය විසින් සැරයටියක් ආධාරයෙන් ඇවිදිමින් සිටි මහලු සුදු ජාතිකයෙකු බිම හෙලනු ලැබී ය.

කැලිෆෝනියාවේ සැක්‍රමෙන්ටෝ හි ඇසට වෙඩි වැදී අධික ලෙස ලේ ගලන කලු ජාතික තරුනයෙකුට සුදු ජාතික විරෝධතාකරුවෙකු විසින් ආරක්ෂාව ලබා දෙන ලදී. ඇට්ලන්ටා හි කැරලි මර්දන පොලිසිය විසින්, තරුන යුවලක් ඔවුන් පදවමින් සිටි වාහනයේ ටයර් කපා ජනේල කඩා දැමීමෙන් පසු, විදුලි කම්පනයට ලක් කර  ඔවුන් මෝටර් රථයෙන් එලියට ඇද දැමී ය.

ලොස් ඇන්ජලීස් හි සෙනසුරාදා පැවති විරෝධතාවකදී පොලිස් නිලධාරියෙකු රබර් උන්ඩ යොදා වෙඩි තැබීමට සූදානම් වේ. (AP ඡායාරූපය / රින්ගෝ එච්.ඩබ්ලිව්. චියූ)

ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් හි සිල්ලර බඩු රැගෙන නිවස වෙත ඇවිදිමින් සිටි තරුනියකගේ හිසට රබර් උන්ඩකින් වෙඩි තබා ඇත. ඡායාරූප වලින් දැක්වෙන්නේ ඇගේ මුහුනේ ලේ ගලා යන බව යි. සියැටල්හි කුඩා දරුවෙකුගේ මුහුනට ගම්මිරිස් කුඩු ඉසින ලද අතර, සමාජ මාධ්‍යවල පල කරන ලද වීඩියෝවෙන් දැක්වෙන්නේ ඇය වේදනාවෙන් කෑගසන බව යි. අවට සිටින අය වේදනාව සමනය කර ගැනීම සඳහා ඇගේ මුහුනේ කිරි තැවරූහ. ලාස් වේගාස් හි පොලීසිය විරෝධතාකරුවන්ට පහර දුන්නේ, පැහදිලිව ම ඉව බවක් නැතිව ඔවුන්ට පහර දෙමින්, ඡායාරූප මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඇතුලු, දුසිම් ගනනක් අත්අඩංගුවට ගනිමිනි.

පොලීසිය විසින් පහරදීම සහ අත්අඩංගුවට ගැනීම සඳහා රට පුරා මාධ්‍යවේදීන්  පැහැදිලිවම ඉලක්ක කර තිබුනේ, අමරිකානු ව්‍යවස්ථාවෙ පලමුවැනි සංශෝධනයට අනුව  නිදහස් මාධ්‍ය ආරක්ෂා කිරීම සෘජුව ම උල්ලංඝ නය කරමිනි. එම්එස්එන්බීසී ප්‍රවෘත්ති සේවයයේ ජ්‍යේෂ්ට මාධ්‍යවේදී අලි වෙල්ෂි මිනියාපොලිස් හි සජීවීව වාර්තා කරමින් සිටිය දී රබර් උන්ඩයකින් ඔහුගේ කකුලට වෙඩි තබා ඇත. ලුයිස්විල්හි දී, සිකුරාදා පැවති විරෝධතා අතරතුර ප්‍රාදේශීය රූපවාහිනී වාර්තාකාරනියක හා ඇගේ කැමරා ශිල්පියා ඉලක්ක කර ගම්මිරිස් උන්ඩවලින් වෙඩි තබා ඇත. පොලිසිය විසින් රබර් උන්ඩයකින් වෙඩි තැබීමෙන් පසු  මිනියාපොලිස් හි නිදහස් ඡායාරූප ශිල්පිනියකගේ  ඇස නිත්‍ය ලෙස ම අන්ධ වී ඇත.

සෙනසුරාදා පොලිස් රබර් උන්ඩයකින් වෙඩි තබා තිබූ, රොයිටර් ඡායාරූප ශිල්පියෙකු වන ලූකස් ජැක්සන්  ඊට පෙර ෆර්ගියුසන් සහ බැල්ටිමෝර් හි පැවති විරෝධතා ආවරනය කර ඇති අතර, ඒකී ප්‍රවෘත්ති සේවයට පැවසුවේ,  මාධ්‍යවේදීන් ඉලක්ක කෙරෙමින් සිටීම පැහදිලි බව යි . “සාමාන්‍යයෙන් යමෙක් මේ දේවල්වල ප්‍රහාරයට ලක් වන්නේ ඔවුන් පොලීසිය හා විරෝධතාකරුවන් අතර සිටින නිසා - ඔබ මැදට වී අවදානම ගන්නවා. මේ කාලය තුල ඔවුන් සැබවින්ම ඉලක්ක කරන්නේ අපියි, ”ජැක්සන් පැවසීය.

ට්‍රම්ප් විසින් “ජනතාවගේ සතුරා” ලෙස පුන පුනා හෙලා දකින මාධ්‍ය මත ප්‍රහාරයක් එල්ල කිරීමට ධවල මන්දිරය තුල ක්‍රියාකාරීන් සම්බන්ධ වී ඇති බවට ඉහල  සම්භාවිතාවක් ඇත.

ට්‍රම්ප්  හිතාමතා ම පොලිස් ප්‍රචන්ඩත්වය උසිගැන්වීම ඔහුගේ පරිපාලනය පුරා පොදු තේමාවක් වී තිබේ. විශාල ෆැසිස්ට් ව්‍යාපාරයක් නොමැති තැන, ට්‍රම්ප්  අර්ධ-ආඥාාදායක පාලන තන්ත්‍රයක් සඳහා විභව බල පදනමක් ලෙස පොලීසිය සලකයි. 2019 ඔක්තෝබර් මස මිනියාපොලස් හි පැවති කතාවෙන් පසුව සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන කමිටුව විසින් කරන ලද අනතුරු ඇඟවීම ඔහුගේ ක්‍රියාවෙන් සනාථ වේ.

පොලීසිය, ආරක්ෂක නිලධාරීන් හා මිලිටරි ප්‍රේක්ෂකයින් ඉදිරියේ ට්‍රම්ප්  පෙනී සිටීම මෙන් ම, දේශපාලනික වශයෙන් අවමංගත හා පසුගාමී කොටස් ආකර්ශනය කර ගැනීම සඳහා  පරෙස්සමින් වේදිකා ගත කරන ලද ඔහුගේ පෙලපාලි, එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාම්ප්‍රදායික නෛතික සීමාවන්ට පිටින්,  ඒකාධිපති පාලන තන්ත්‍රයක් පදනම් කරගෙන ක්‍රියාත්මක විය හැකි දේශපාලන ආධාර කන්ඩායමක් නිර්මානය කිරීම සඳහා හිතිමතා ගනන් බැලූ උත්සාහයක කොටසකි. 

ඩෙමොක්‍රටික් පක්ෂය හා සංගත මාධ්‍ය ට්‍රම්ප් ගේ බොරු හා ප්‍රකෝප කිරීම්වලට  ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ සාමාන්‍ය නිවටකම හා උදාසීනත්වය සමගිනි. විරෝධතා “බාහිර උද්ඝෝෂකයින්ගේ” වැඩක් බවට ට්‍රම්ප්  ගොතන කරන කතන්දරය ඔවුන් විසින්, කිසිදු සාක්ෂියක් නැතිව පිලිගෙන ඇත. මිනසෝටා ආන්ඩුකාර ටිම් වෝල්ස් හා මිනියාපොලිස් නගරාධිපති ජේකබ් ෆ්‍රේ විසින් ඉරිදා උදෑසන පවත්වන ලද මාධ්‍ය හමුවක දී, නැවත නැවතත් මෙය ප්‍රකාශ කෙරුනි. 

ජනාධිපති බරක් ඔබාමාගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක සුසාන් රයිස්, විරෝධතා “රුසියානු නාට්‍ය පොතකින් කොපි කිරීමක්” ලෙස හෙලා දුටුවේ, දේශීයව විසම්මුතිය අවුලුවාලීමට විදේශීය ආන්ඩු වග කිව යුතු බව විකාර සහගත ලෙස කියමිනි.

කිසිදු ඩිමොක්‍රටික් නිලධාරියෙකු ට්‍රම්ප් ගේ ෆැසිස්ට් උසිගැන්වීම් හෙලා දැක නැත. දැන් ජෝ බියිඩෙන්ට උද්‍යෝගයෙන් සහාය දෙන හිටපු ජනාධිපති අපේක්ෂක බර්නි සැන්ඩර්ස් ඉරිදා සවස ආධාරකරුවන්ට ඊමේල් පනිවුඩයක් යැවූ අතර එය  විරෝධතාකරුවන්ට එරෙහි පොලිස් කෝපය ගැන කිසිවක් නො කියූ අතර  ට්‍රම්ප්  ගැන සඳහන් කලේ පවා නැත.

ට්‍රම්ප් ට හා දේශපාාලන ප්‍රචන්ඩත්වයට එරෙහි ව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සටන ඩෙමොක්‍රටික් පක්ෂයට පැවරීමට වඩා විශාල හා භයානක දේශපාලන වැරැද්දක් තිබිය නො හැකි ය.

සියල්ලටත් වඩා ඩිමොක්‍රටිකයින් බිය ගන්වන්නේ ට්‍රම්ප්  පරිපාලනය මෙන්ම  දෙපාර්ශ්වය ම නියෝජනය කරන මූල්ය කතිපයාධිකාරයට එරෙහිව කම්කරු පන්තියේ ව්‍යාපාරයක් වර්ධනය වීම යි. 

රට පුරා පැතිරෙමින් පවතින බහු වාර්ගික හා බහු ජනවාර්ගික පෙලපාලි පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි ව පමනක් නො ව, නො ඉවසිය හැකි ආර්ථික හා සමාජ තත්වයන්ට එරෙහි විරෝධතාවකි. කොවිඩ්-19 වසංගතය ධනවාදය අපකීර්තියට පත් කරමින් තිබේ. ට්‍රම්ප්  තන්ත්‍රයේ හා පාලක පන්තියේ සාපරාධී නොසැලකිල්ල හේතුවෙන් දැනටමත් ලක්ෂයක් දෙනා මියගොස් තිබේ. රිපබ්ලිකානුවන් මෙන් ම ඩෙමොක්‍රටිකයන් විසින් සහය දෙනු ලබන ආපසු වැඩට යාමේ උද්ඝෝෂනය, හා මිලියන ගනනක් දෙනා මුහුන දෙන දැවැන්ත සමාජ අර්බුදය  එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව මිලියන සංඛ්‍යාත වැඩ කරන ජනතාව දේශපාලනික ව රැඩිකලීකරනය කරයි.

ට්‍රම්ප්  පරිපාලනය මෙම රැඩිකලීකරනය හඳුනාගෙන බිය වී ඇති අතර, පොලිස් රාජ්‍ය පියවර සඳහා කඩතුරාවක් ලෙස වාමාංශික ප්‍රචන්ඩත්වයේ පැරනි රතු අන්තරායේ කාල්පනික යක්ෂායා  යොදා ගනිමින් සිටී.

ජෝර්ජ් ෆ්ලොයිඩ් හා පොලිස් ප්‍රචන්ඩත්වයට ගොදුරු වූ අනෙකුත් සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් සමස්ත කම්කරු පන්තිය ම දැන් පෙරමුන ගත යුතුය.

කම්කරු පන්තිය තුල සමාජ සටන්කාමීත්වයේ වැඩෙන මනෝගතියක් පවතී. වසංගතය පැතිරීමට පෙර වැඩ වර්ජන ක්‍රියාකාරකම්වල අඛන්ඩ වර්ධනයක් දක්නට ලැබුනි. මෑත සතිවල , කම්කරුවන් අනාරක්ෂිත කොන්දේසිවලට එරෙහිව වැඩවර්ජන සංවිධානය කර ඇත.

සමාජවාදී සමානතා පක්ෂය විරෝධතාකරුවන්ගෙන්, විශේෂයෙන් තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මෝටර්රථ වැඩබිම්, කර්මාන්තශාලා, ගබඩා, බෙදාහැරීමේ මධ්‍යස්ථාන, ගොඩනැගිලි ඉදි කිරිමේ වැඩ බිම්, උදාහරන වශයෙන්  කම්කරුවන් විශාල වශයෙන් සංකේන්ද්‍රනය වන ස්ථාන වෙත කෙලින් ම ගොස් සහාය ඉල්ලා සිටිය යුතු ය. එවැනි ඉල්ලීම් ඉවත නො දමනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය සිය 2019 ඔක්තෝබර් ප්‍රකාශයේ පැහැදිලි කල පරිදි:

ට්‍රම්ප් පරිපාලනයට එරෙහි සටන, සමාජ අසමානතාවයට, සමාජ වැඩසටහන් හා යටිතල පහසුකම් විනාශ කිරීමට, රැකියා හා වැටුප් වලට පහරදීමට , සමස්ත තරුන පරපුරක් මුහුන දෙන භයානක තත්වයන්ට, සංක්‍රමනික කම්කරුවන්ට දරුනු ලෙස පීඩා කිරීමට, පරිසරය පිරිහීම සහ නොනවතින හා පුලුල් වන යුද්ධයේ ප්‍රතිවිපාක වලට එරෙහි අරගලය සමඟ බද්ධ කල යුතුය. එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ හා තරුනයින්ගේ විරුද්ධත්වය, ලොව පුරා කම්කරුවන් අතර සමාජ අරගල පුපුරා යෑම සමඟ සම්බන්ධ විය යුතුය. ඔවුන් මුහුනපා සිටින්නේ එකට බැඳුනු අවශ්‍යතා හා ගැටලුවලටයි.

සමාජයේ ක්‍රියා කරවීමෙ බලය දරාසිටින කම්කරු පන්තියට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාරය නැවැත්වීමට, ට්‍රම්ප් බලයෙන් පලවා හැරීමට දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් නිර්මානය කිරීමට, ආයතනික-මූල්‍ය කතිපයාධිකාරයේ පසුබෑම බිඳ දැමීමට සහ සමාජවාදී පදනමක් මත  ආර්ථික ජීවිතය  ප්‍රතිසංවිධානය ආරම්භ කිරීමට අවශ්‍ය ශක්තිය ඇත.

කතුවරයා පහත ලිපිය නිර්දේශකරයි.

මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂිංටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තියේ මූලෝපාය

Loading