ඉදිරිදර්ශන

කොවිඩ්-19 වසංගතයට එරෙහි ජාත්‍යන්තර කම්කරු-පන්තික ක්‍රියා සඳහා!

මෙම ලිපිය ජුනි 23 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

ගෝලීය කොරෝනා වෛරස් වසංගතය පාලනයෙන් පිටත පනිමින් පවතී. කොවිඩ්-19 පලමු ආසාදනය වාර්තා වීමෙන් හය මසකට පසුව, නව ආසාදන වාර්තාගත ඉහල මට්ටම්වලට නැග ඇත. උදාසීනත්වය, අපොහොසත් භාවය හා දැනුවත් පිලිවෙත ආදී සියල්ල ඒකාබද්ධ කරගත්, ලෝකය පුරා ආන්ඩුවල ක්‍රියාවන්ගේ ඍජු විපාකයක් ලෙස, තත්ත්වය බියකරු වන අතර, වඩාත් නරක අතට හැරෙමින් පවතී.

ගෝලීය ව්‍යසනයක් වන කොවිඩ්-19 වසංගතය විසි එක් වන සියවසෙහි ඉතිහාසය මත ඇති කරන බලපෑම, පලමුවන ලෝක යුද්ධය විසි වන සියවස කෙරෙහි ඇති කල බලපෑමට නො අඩු වනු ඇත.

එක්සත් ජනපදය නායකත්වය දරන ප්‍රධාන ධනපති ආන්ඩුවල ප්‍රතිචාරය, විනාශයකට නො අඩු බව, පසුගිය මාස පහේ අත්දැකීම මුලුමනින් පැහැදිලි කර තිබේ. අධිරාජ්‍යවාදී-ධනවාදී පිලිවෙත් අනවන සංගත-මූල්‍ය කතිපයාධිකාරයන්ගේ පන්ති අවශ්‍යතා, වසංගතයට විද්‍යාත්මක ව මග පෙන්වන, සමාජීය ව ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, සමානාත්මතාවාදී හා මානවීය ප්‍රතිචාරයකට ඉඩ දෙන්නේ නැත. ලාබය, පුද්ගලික ධනය සහ එම නිසා, කම්කරු පන්තිය සීමා රහිත ලෙස සූරාකෑම, ලෝක ජනගහනයේ අතිමහත් බහුතරයේ සමාජීය අවශ්‍යතාවන්ට ඉහලින්  නිරපේක්ෂ ප්‍රමුඛත්වයක් අත් කරගනී.

අප ජුනි මාසයේ අවසන් සතියට එලඹෙද්දී, නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, පුද්ගලයන් 450,000කට වඩා දැනට මත් මියගොස් ඇත්තේ, මරන ගනන අඩුවෙන් ගනනය කෙරෙන තතු තුල ය. සාරභූත වසයෙන් කොරෝනා වෛරසය පැතිර යාම සීමා කිරීමට කිසිදු ක්‍රමානුකූල ප්‍රයත්නයක් දැරීම අත්හැර දමමින්, නිසි කලට පෙර හා ඉව බව නැති “ආපසු වැඩ දැක්කීම”, ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි යලිත් අනතුරු ඇඟවූ ලෙස, නව ආසාදන පුපුරනසුලු ලෙස ඉහල යාමට හේතු වී තිබේ.

එක්සත් ජනපද පුරා වසංගතය පැතිර යමින් තිබෙන්නේ, මානව ජීවිතය දරුනු ලෙස බිලිගැනීමකට මග පාදමිනි. ආසන්න වසයෙන් ඩොලර් ට්‍රිලියන අටක ඒකාබද්ධ ධනයක් සහිත බිලියනපතියන් 300ක වාසභවන වන ලෝකයේ පොහොසත් ම රට, ලෝකයේ අන් කිසිදු රටකට වැඩි මරන සංඛ්‍යාව වාර්තා  කර ඇත යන කරුන, ඇමරිකානු ධනවාදයේ කුනු වුනු ස්වභාවය සහ ධනපති පද්ධතියේ ඓතිහාසික අසමත් කම කර්කශ හා උත්තර නැති ලෙස හෙලිදරවු කිරීමකි.

මාර්තු මාසය ආරම්භයේ පටන්, එක්සත් ජනපදයේ මිලියන 2.3ක් ජනයා ආසාදනයට ලක්වී ඇත. මරන සංඛ්‍යාව 120,000 ඉක්මවා ගොස් ය. ජුනි 21දා නව ආසාදන 25,000ක් වාර්තා වූයේ, සති දෙකකට පෙර පැවති සංඛ්‍යාවට වඩා සියයට 20ක නැග්මකිනි. ප්‍රාන්ත දුසිම් දෙකක් පමන ආසාදන ඉහල යාමක් වාර්තා කරයි. පසුගිය සති දෙක පුරා, කැලිෆෝනියාවේ නව ආසාදන සියයට 48.3කින් ද ටෙක්සාස් ප්‍රාන්තයේ සියයට 114කින් ද ෆ්ලොරිඩාවේ සියයට 168කින් ද ඇරිසෝනාවේ සියයට 142කින් ද ජෝර්ජියාවේ සියයට 47කින් ද ඉහල ගොස් ඇත.

වසංගතය පැතිර යාම නවත්වා ඇති බවත්, ආර්ථිකය ආරක්ෂිත ලෙස යලි විවෘත කල හැකි බවත් කියන ලද බටහිර යුරෝපය තුල, ආසාදන රේට්ටුව යලි ඉහල යමින් තිබෙන බවට, අන්තරායකාරී ඇඟවුම් පවතී. බටහිර ජර්මනියේ විශාල සත්ව ඝාතකාගාරයක කම්කරුවන් 1,300කට -මින් බොහෝ දෙනා නැගෙනහිර යුරෝපයෙන් පැමිනි සංක්‍රමනික කම්කරුවන් වේ- කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සති අන්තයේ දී සොයාගනු ලැබී ය. අගුලු දැමීමේ පියවරයන් අවසන් කිරීමෙන් පසුව, මස් පිරිසැකසුම් හා අනෙකුත් කම්හල්වලින් පැතිර යාම් කිහිපයක් වාර්තා වී ඇත. විශේෂයෙන් ම අර්ථභාරී වන්නේ, “පොකුරු ප්‍රතිශක්තිය” සඳහා ආදර්ශනයක් ලෙස ඉදිරිපත් කරන හා පසුගිය සති දෙක පුරා සියයට 22.2ක නව ආසාදන වාර්තා වී ඇති ස්වීඩනය තුල වෛරසය දිගට ම පැතිරී යාම යි.

ඓතිහාසික ව අධිරාජ්‍යවාදය විසින් පීඩාවට පත් කල, කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල පවතින යෝධ දුගී භාවය හේතුවෙන්, එම රටවල සීමිත සෞඛ්‍යාරක්ෂන පද්ධතිය හා බිඳෙනසුලු සමාජ ආරක්ෂන ජාලයන් විනාශ කිරීමට, වසංගතය තර්ජනය කරයි.

දකුනු ආසියාව තුල නව ආසාදන හා මරන තියුනු ලෙස ඉහල යමින් පවතී. ඉන්දියාවේ වාර්තා වූ ආසාදන 440,000ක් හා මරන 14,000ක් දැනට පවතී. ස්ටාර් නිවුස් ට අනුව, ජුනි 21දා නව ආසාදන 11,484ක් වාර්තා වූයේ, ආසාදන සංඛ්‍යාව, සති දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා, සියයට 32.8කින් ඉහල යමිනි. එම කාලපරිච්ඡේදය තුල ම, නව මරන සංඛ්‍යාව සියයට 88.5කින් ඉහල ගොස් ඇත. රටෙහි අගනුවර වන දිල්ලියේ නව ආසාදන ගනන සියයට 87.6කින් වැඩි වී තිබේ. නගරයේ රෝහල් පිරී ඉතිරී යන අතර, ප්රතිකාර ලැබිය නො හැකි වීමේ හේතුවෙන් ජනයා අනෙකුත් රෝගවලින් මිය යති.

මරන 3,590ක් වාර්තා වන පකිස්තානයේ, පසුගිය සති දෙක පුරා නව ආසාදන ගනන සියයට 63.6කින් ඉහල ගොස් ඇත්තේ, මරන සංඛ්‍යාව ආසන්න වසයෙන් සියයට 70කින් නැගෙද්දී ය. බංග්ලාදෙශයේ නව ආසාදන ගනන සියයට 43.6කින් ද නව මරන ගනන සියයට 33.3කින් ද ඉහල ගොස් ඇත. බංග්ලාදේශයේ සමස්ත ආසාදන ගනන 115,000කට අධික ගනනකට ඉහල ගොස් ඇත්තේ, 1,500ට අධික මරන ගනනක් සමගිනි.

අප්‍රිකාවේ, පලමු ආසාදනයේ සිට  ආසාදන 100,000 වාර්තා වීමට  දින 98ක් ගත්වූ නමුත්, එය 100,000 සිට 200,000 දක්වා දෙගුන වීමට ගත වී ඇත්තේ දින 18ක් පමනි.  මේ වන විට දකුනු අප්‍රිකාවේ පමනක් ආසාදන 100,000ට අධික  සංඛ්‍යාවක් පවතින්නේ, පසුගිය සති දෙක පුරා නව ආසාදන ගනන සියයට 86කින් ඉහල යද්දී ය. පසුගිය සති දෙක පුරා නව සිද්ධි 22.2කින් ඉහල ගිය ඊජිප්තුවේ ආසාදන 50,000ට අධික සංඛ්‍යාවක්  බව වාර්තා වේ. වසංගතය ලතින් ඇමරිකාව මත යෝධ බලෑමක් ඇති කරයි. වෛරසය නැවැත්වීම සඳහා කිසිදු පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කර ඇති ෆැසිස්ට් පන්නයේ ජයිර් බොල්සොනාරෝ ජනාධිපති ධුරය දරන බ්‍රසීලයේ, වාර්තා වූ ආසාදිතයින් මිලියන 1.1ට වඩා පවතින්නේ, ලෝකයේ දෙවනුවට වැඩි ම සංඛ්‍යාව වාර්තා කරමිනි. ජුනි 21දා නව ආසාදන 30,000ක් පමන වාර්තා වූ අතර, එය, සති දෙකකට පෙර පැවති ගනනට වඩා සියයට 30ක ඉහල යාමකි. පුද්ගලයන් 51,000ට අධික පිරිසක් මියගොස් ඇති අතර, දෛනික මරන සංඛ්‍යාව 1,000 ඉක්මවයි. ගැඹුරින් ම බලපෑමට පාත්‍ර වූ සාඕ පාවුලෝ ප්‍රාන්තයේ පුද්ගලයන් 220,000ට අධික පිරිසක් ආසාදනයට ලක්වී ඇත්තේ, නව ආසාදන සංඛ්‍යාව සති දෙකකට පෙර පැවති ගනනට වඩා සියයට 32.7කින් ඉහල යද්දී ය.

මෙක්සිකෝවේ වාර්තාගත ආසාදන සංඛ්‍යාව 180,000ට අධික වන අතර, මරන ගනන 21,825කි. නව ආසාදන ගනන සති දෙකකට පෙර පැවති අගයට වඩා සියයට 100කින් ඉහල ගොස් ඇති අතර, නව මරන ගනන ඇඟ කිලිපොලා යන සියයට 155කින් වැඩි වී තිබේ. චිලී රටේ නව ආසාදිතයින් ගනන සියයට 66.7කින් ඉහල ගොස් තිබේ; ඉක්වදෝරයේ නව ආසාදිතයින් ගනන සති දෙකකට පෙර පැවති අගයට වඩා සියයට 20ට අධික ප්‍රමානයකින් වැඩි වී ඇත.

දිගහැරෙමින් පවතින ගෝලීය ව්‍යසනය, පාලක පන්තීන් විසින් අනුගමනය කරන පිලිවෙත්හි ඍජු  ප්‍රතිඵලය යි. පලමු වරට යෝජනා කරනු ලැබූ විට, “පොකුරු ප්‍රතිශක්ති” වැඩසටහන, පලල් ව සලකන ලද්දේ, අමානුෂික හා ඉව බව නැති එකක් ලෙස ය. විද්‍යාඥයන් හා වසංගත විද්‍යාඥයන් විසින් එය පලල් ලෙස හෙලාදකින ලදී. දැන් එය ලොව පුරා ආන්ඩු විසින් අනුමත කරනු ලැබ ඇත. එක් අටුවාකරුවෙක් පිලිගත් පරිදි, කොවිඩ්-19 වසංගතය කෙරෙහි දැන් පිලිවෙත වන්නේ, “වේගයෙන් ධාවනය වීමට එයට ඉඩ දීම” යි.

ආරම්භයේ පටන් ම ට්‍රම්ප් පරිපාලනය සහ ලෝකයේ අනෙකුත් ආන්ඩුවල ප්‍රතිචාරය මත අනසක දැරුවේ, මහජන සෞඛ්‍යය හා ආරක්ෂාව නො ව, සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා ය. මාර්තු අග දී ඇරඹී වෝල් වීදියට ට්‍රිලියන ගනන් පොම්ප කිරීමෙන් ඉක්බිතිව, කොරෝනා වෛරසය පැතිර යාම මත පනවා තිබූ සියලු තහංචි ඉවත් කිරීමේ උද්ඝෝෂනයක් ක්ෂනික ව දියත් කෙරුනි.

පාලක පන්තියේ ඉලක්කය වන්නේ, වැටුප් කප්පාදු කිරීමට, සූරාකෑම ඉහල දැමීමට, ධනවතුන්ට දුන් සහන සඳහා ගෙවීම පිනිස යෝධ කප්පාදු පියවරයන් පැටවීමට සහ ලෝක පරිමානයකින් පන්ති සබඳතා මූලික ව ප්‍රතිව්‍යූහකරනය කිරීමට, තත්ත්වය ගසාකෑම යි. මූල්‍ය කතිපයාධිකාරයේ සහ බහුතර ජනගහනයේ අවශ්‍යතා අතර පවතින අගාධය එහි විකාරරූපී ප්‍රකාශනය අත්පත්කරගන්නේ, වසංගත සමයේ දී කොටස් හා සමකොටස් වෙලඳපොලවල අනවරත නැගීමෙනි. එය වනාහි යුද්ධයෙන් ලාබ ඉපැයීමේ අද්‍යතන සාම්‍යය යි.

කොරෝනා වෛරසය නැවැත්වීමට අවශ්‍යය පියවරයන් ක්‍රියාවට දැමීම, ජත්‍යන්තර කම්කරු පන්තියේ මැදිහත් වීම මත රඳා පවතී. අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදනය වසාදැමීම, නිරෝධායනය, මහා පරිමාන පරීක්ෂන හා රෝගී වූවන් හඳුනාගැනීම යනාදී වෛරසයට නැවැත්වීමට අවශ්ය කරන සියලු ක්රියාවන්, පාලක පන්තියේ ලාබ අවශ්‍යතාවන්ට එරෙහි ව යයි. මෙම පියවරයන්හි බලපෑමට ලක්වන සියල්ලන්ට සහයෝගය සුරක්ෂිත කිරීම සඳහා සමාජයේ සම්පත් සුවිශාල පරිමානයෙන් යලි දිශාගත කිරීම අවශ්‍ය වේ.

තව ද වසංගතයට එරෙහි ඵලදායී සටනක් සඳහා ආර්ථික, විද්‍යාත්මක, කාර්මික හා තොරතුරු සම්පත් ක්‍රමානුකූල ව සම්බන්ධීකරනය කිරීම අවශ්‍ය කරයි. ජාතික රාජ්‍ය පද්ධතිය තුල මුල් බැස තිබෙන ධනවාදය යටතේ, මෙම අත්‍යවශ්‍ය ජාත්‍යන්තර ඒකාබද්ධතාව සිදු කල නො හැක්කකි. සෑම රටක ම පාලක පන්තිය, සියල්ලට ඉහලින් නිමග්න ව සිටින්නේ, එහි ම ජාතික අවශ්‍යතා සපුරා ගැනීමෙහිය.

සාමූහික ප්‍රයත්නයක් හරහා, ඵලදායී ප්‍රතිකාරක ශිල්පක්‍රම සහ අවසානයේ කොවිඩ්-19-විරෝධී එන්නතක් වර්ධනය කිරීම, හැකියාවක් බවට පත්කරනු ඇති තොරතුරු බෙදාහදා ගැනීම වෙනුවට, ඖෂධ සමාගම් ඔවුන්ගේ “ව්‍යාපාරික රහස්” ආරක්ෂා කරමින් එකිනෙකාට එරෙහි ව තරඟ කරයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ට්‍රම්ප් ආන්ඩුව ඉවත් වීම, ජාතික අධිරාජ්‍යවාදී දේශපාලනයේ විනාශකාරී ස්වභාවය පිලිබඳ කැපී පෙනෙන උදාහරනයකි. තව ද වඩා අන්තරායකාරී වන්නේ, භූ-දේශපාලනික වාසි ලුහුබැඳීමේ දී, වසංගතය පිලිබඳ ව චීනයට දොස් පවරමින්, තම ප්‍රධාන ප්‍රතිවාදියාට එරෙහි ව එක්සත් ජනපදය කරන යුද සූදාම් වීම් සාධාරනීකරනය කිරීමේ කුහක උත්සාහයන් ය.

වසංගතය නවතා මිලියන ගනන් ජීවිත ආරක්ෂා කරගැනීමට කල යුත්තේ කුමක් ද?

වසංගතයට දක්වන ප්‍රතිචාරයේ පාලනය, ධනපති පන්තිය වෙතින් උදුරා ගත යුතු ය. වසංගතය පාලනය යටතට ගෙන, අවදානමට මුහුන දෙන මිලියන ගනන් ජීවිත බේරාගැනීම සඳහා, ජාත්‍යන්තර පරිමානයකින් සම්බන්ධීකෘත කම්කරු පන්තියේ මහජන ක්‍රියාවන් අවශ්‍ය වේ. වසංගතයට එරෙහි ප්‍රතිචාරය හුදෙක් හෝ ප්‍රමුඛ වසයෙන් වෛද්‍යමය ප්‍රශ්නයක් නො වේ. සියල්ලට ඉහලින් එය, සමාජ හා දේශපාලන අරගලය පිලිබඳ කරුනකි.

එවන් ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ විභවය පැනනගින්නේ අර්බුදයේ ම තර්කයෙනි.

ලොව පුරා කම්කරු පන්තිය තුල විරෝධය වැඩේ. වසංගතය පාලනය යටතට ගෙන ඒම පිනිස කිසිදු ක්‍රමානුකූල සැලැස්මක් නැති කම, සෞඛ්‍යාරක්ෂන පහසුකම් වල ව්‍යසනකාරී අප්‍රමානවත් තත්ත්වය, ගනන් නැති ජීවිත අවදානමට හෙලන අනාරක්ෂිත වැඩ කොන්දේසි, රැකියා අහිමි වී ඇති මිලියන ගනනකට අවශ්‍ය මට්ටමේ සමාජ සහන සම්පාදනය කිරීම ධනපති ආන්ඩු විසින් ප්‍රතික්ෂේප කිරීම, ඉහ වහා ගිය සමාජ අසමානතාව, මිලිටරිවාදය නොකඩවා වර්ධනය වීම සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල වන තීව්‍ර ප්‍රහාර පිලිබඳව කෝපය වැඩෙමින් තිබේ.

කම්කරු පන්තියේ දේශපාලනික රැඩිකලීකරනයක් සිදු වෙමින් පවතින බව පාලක පන්තිය දනී. “වාමාංශික අන්තවාදීන්ට” එරෙහි ට්‍රම්ප්ගේ දෙඩවිලි සහ විරෝධතාකරුවන්ට එරෙහි ව මිලිටරිය දිගේලි කිරීමට ඔහු දරන උත්සාහය අනතුරු ඇඟවිමක් ලෙස ගත යුතු ය.

මිනෙසොටාහි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීමටත්, පොලිස් ම්ලේච්ඡත්වයේ අනෙකුත් සිද්ධිවලටත් එරෙහි ව පුපුරා ගිය විරෝධතා තුල ආරම්භක ප්‍රකාශනය අත් පත් කරගත් වැඩෙන සමාජ කෝපය, ධනවාදයට එරෙහි ව සමාජවාදය සඳහා වූ කම්කරු පන්තියේ ගෝලීය පන්ති-සවිඥානික ව්‍යාපාරයක් බවට වර්ධනය කල යුතු ය.

“ප්‍රතිකාරය රෝගයටත් වඩා නරක් වීමට ඉඩ දෙන්න එපා” යන්න පාලක පන්තියේ ක්ෂමාලාපකයන් අවධාරනය කරද්දී, යටින් දිවෙන සමාජීය රෝගය ධනවාදය බවත්, වසංගතය මෙම රෝගයේ රෝග ලක්ෂනයක් බවත්, ප්‍රතිකාරය සමාජවාදය බවත් කියමින් කම්කරුවන් පිලිතුරු දිය යුතු ය.

වසංගතය නැවැත්වීමට හා එහි බලපෑමට ලක්වූවන්ට සම්පූර්න ආදායමක් සම්පාදනය කිරීමට අවශ්‍ය හදිසි අරමුදල් සැපයීම පිනිස ධනවතුන් කඳුගසා ගන්නා යෝධ මුදල් සම්භාරය අත් අඩංගුවට ගෙන  යොදාගත යුතු ය. විශාල බැංකු හා සංගත, තාර්කික හා විද්‍යාත්මක සැලසුම්කරනයේ පදනම මත ධාවනය කරන, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතෙහි තැබිය යුතු ය. යුද්ධය හා විනාශය සඳහා නාස්ති කරන යෝධ සම්පත් සෞඛ්‍යාරක්ෂනය, අධ්‍යාපනය හා අනෙකුත් සමාජ අවශ්‍යතාවන්ට අරමුදල් සැපයීම සඳහා යෙදවිය යුතු ය.

කම්කරු පන්තියේ බලගතු විප්ලවවාදී ව්‍යාපාරයක් පැන නගිමින් පවතින බව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ඒත්තු ගනී. හජාජාක කර්තව්‍යය වන්නේ, මෙම  ව්‍යාපාරයට අවශ්‍ය උපායික, මූලෝපායික හා ක්‍රියාමාර්ගික දිශානතිය සපයමින් එයට සහයෝගය දීම යි. එහෙත් මෙම කර්තව්‍යය වනාහි, සෑම රටක ම හතරවන ජාත්‍යන්තරයේ ශාඛා ගොඩනැගීමක් ඉල්ලා සිටින දැවැන්ත කාර්යයකි. කම්කරු පන්තියට, ශිෂ්‍යයන්ට හා මානව වර්ගයාගේ අනාගතය රැකගැනීමට ලෝකය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍ය බව හඳුනාගන්නා සියලු දෙනාට අපි ආයාචනා කරන්නේ, මෙම අරගලය හා එක් වන ලෙස යි.

Loading