දෙමල ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ ඒකාධිපති පාලනයට සහයෝගය දීමට සූදානම් බව ප්‍රකාශ කරයි

මෙම ලිපිය ජූලි 17 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ “දෙමල ජනයාගේ දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කරන ව්‍යවස්ථාමය වෙනසක් කිරීමට සූදානම් වන්නේ නම්, දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඔහුට සහයෝගය දීමට සූදානම්” යයි දෙජාස ප්‍රකාශක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ජුනි 16දා පැවති මාධ්‍ය හමුවක දී නිවේදනය කලේ ය.

ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), දෙමල ඊලම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සහ දෙමල ඊලාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්) යන පක්ෂවලින් සමන්විත දෙජාසට, දෙමල ප්‍රභූවේ අවශ්‍යතා සපුරා ගැනීමේ උවමනාවෙන් කොලඹ ආන්ඩු සමග ගනුදෙනුවලට එලඹීමේ දීර්ඝ ඉතිහාසයක් තිබේ. දෙමල වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් හා සමාජ අවශ්‍යතා සම්බන්ධයෙන් එය කිසිදු තැකීමක් කරන්නේ නැත.

“ව්‍යවස්ථාමය වෙනස්කම්” සඳහා සුමන්දිරන් කරන ආයාචනය, දෙමල ජනයාගෙන් බහුතරය ජීවත් වන උතුරට හා නැගෙනහිරට සීමිත බලය බෙදීමේ සැලැස්මක් සඳහා දෙජාස දීර්ඝ කාලයක් තිස්සේ කරන කැඳවුම පිලිබඳව කරන සැඳහුමකි. පලාත් සභාවලට මොන යම් හෝ බලය බෙදීමකට හෝ දෙමල ප්‍රභූවට අනුග්‍රහයක් දීමට රාජපක්ෂ තරයේ විරුද්ධ වන තතු තුල, මෙම ආයාචනය අතිශයින් ම කුහක හා හිරිකිත එකකි.

අගෝස්තු 5දා පැවැත්වෙන මහ මැතිවරනය සඳහා දැන් ගෙන යන උද්ඝෝෂනය මධ්‍යයේ, රාජපක්ෂ ද වෙනස් වර්ගයක ව්‍යවස්ථාමය වෙනස්කම් සඳහා සූදානම් වෙයි. විධායක ජනාධිපති ධුරයට දැනට මත් පවතින පුලුල් බලතල ශක්තිමත් කරගැනීම පිනිස ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට, ඔහු තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබාගැනීමට උත්සාහ දරයි. 

දූෂිත දෙමල ප්‍රභූවේ අවශ්‍යතාවන්ට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අල්පවූ සහනයක් හෝ ප්‍රදානය කරන්නේ නම් ආඥාදායක පාලන රූප සඳහා ඔහුගේ පියවරයන්ට සහයෝගය දීමට දෙජාස සූදානම් ය. එමගින්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධයෙහි 2009 අවසන් ප්‍රහාරවල දී, දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් සමූල ඝාතනය කිරීමට, ආරක්ෂක ලේකම් ලෙස ඍජු වගකීම දැරූ මිනිසා සමග ගිවිසුමකට ඇතුලත් වීම සඳහා දෙජාස උත්සාහ දරයි.

පසුගිය නොවැම්බරයේ පැවති ජනාධිපතිවරනයේ දී දෙමල ජාතිකයන් අතර රාජපක්ෂ කෙරෙහි පැවති විරුද්ධත්වය කෙතරම් ද යත්, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) අපේක්ෂක සජිත් ප්‍රේමදාස “අඩු නපුර” ලෙස ව්‍යාජ ව පින්තාරු කරමින් ඔහුට ඡන්දය දෙන ලෙස දෙජාස ඉල්ලා සිටියේය. එහෙත් රාජපක්ෂගේ ජයග්‍රහනයෙන් පසු, දෙජාස හිටිවන ම තම ආස්ථානය මාරු කලේය.

ගෝලීය කොවිඩ්-19 වසංගතය විසින්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ අර්බුදය ද, ඒ හේතුවෙන් දේශපාලන අර්බුදය ද  බරපතල ලෙස  වේගවත් කර ඇත. රාජපක්ෂ, ඔහුගේ පාලනය මිලිටරීකරනය කරමින් ආඥාදායක පාලන ක්‍රමයක් වෙත පියවර ගනිද්දී, සමස්ත දේශපාලන සංස්ථාපිතය ඔහුට පිටුබලය දීමට එක්සත් වී තිබේ. 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව යලි කැඳවූයේ නම්, “කොන්දේසි විරහිත ව වගකීම් සහගත සහයෝගිතාවෙන් යුතු ව” වැඩකිරීමට පොරොන්දු වීමට දෙජාස අනෙකුත් ප්‍රධාන විරුද්ධ පක්ෂ සමග අප්‍රේල් 27 දා එක්සත් විය. රාජපක්ෂ ඔහුගේ තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා, සිය පක්ෂය සුලුතරයක් ව පැවති පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරක් ගනිමින් විසුරුවා තිබුනි.

මැයි 4දා දෙජාස නායකයෝ, ජනාධිපතිගේ සහෝදර අගමැති මහින්ද රාජපක්ෂ සමග රහසිගත සාකච්ඡාවක් පැවැත්වූහ. “සෑම දෙනා ම ආන්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කරමින් එයට සහයෝගය දිය යුතු” යි රැස්වීමෙන් අනතුරු ව සුමන්දිරන් ප්‍රකාශ කලේ ය.

රැකියා, වැටුප් හා කොන්දේසි මත එල්ල වන නිර්දය ප්‍රහාරවලට එරෙහි ව කම්කරුවන්ගේ විරෝධය කැකෑරෙමින් පවතින අතර, දරුනු අසීරුතා හේතුවෙන් ගම්බද අතෘප්තිය වර්ධනය වේ. දෙමල ධනේශ්වරය, ඔවුන්ගේ දකුනේ සහකරුවන් මෙන් ම, වැඩෙන ජාත්‍යන්තර පන්ති අරගල මධ්‍යයේ වර්ධනය වන සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ අරගල කෙරෙහි ගැඹුරින් ම තැති ගැනී සිටී. 

අපි කම්කරුවන්ට මෙසේ අනතුරු අඟවමු: රාජපක්ෂ, කම්කරුවන්ගේ වැඩෙන ප්‍රතිරෝධය මැඩීමට මිලිටරිය මත පදනම් වන ආඥාදයකත්වයක් වේගයෙන් ස්ථාපිත කරගනිද්දී, දෙජාස ඔහුට සහයෝගය දීමට මනාපයෙන් සිටී. ඒ අනුව, දෙමල ජාතිකවාදීන් පෙන්වා ඇත්තේ, කම්කරු පන්තියට එරෙහි ව සිංහල ස්වෝත්තමවාදී දේශපාලන සංස්ථාපිතය සමග ඔවුන්ට පවතින පන්ති එකමුතුව යි. 

ජුනි 21දා වීරකේසරී පුවත්පත සමග පැවති දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක දී, අතීතයේ දී දෙමල ධනපති පක්ෂ අවතීර්න වූ නීච සාකච්ඡා හා ගනුදෙනු හුවා දක්වමින්, රාජපක්ෂ ආන්ඩුව සමග වන තුච්ඡ සහයෝගීතාවය සාධාරනීකරනයට දෙජාස නායක ආර්.සම්බන්දන්  උත්සාහ දැරී ය. “පක්ෂයට බලයේ සිටින්නන් සමග සම්බන්ධයක් තිබිය යුතු යි,”  ඔහු ප්‍රකාශ කලේ ය.

එස්.ජේ. වී. චෙල්වනායගම්

 ෆෙඩරල් පක්ෂය නමින් ද හඳුන්වනු ලබන අයිටීඒකේ, එහි ආරම්භක නායක එස්.ජේ.වී. චෙල්වනායගම් යටතේ අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු සමග පැවැත්වූ සාකච්ඡාවල ඉතිහාසය සම්බන්දන් විස්තර කලේ ය. 2009 දී වාර්ගික යුද්ධය අවසන් වීමෙන් අනතුරු ව, දෙමල සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම සහ දෙමල ජාතිකයන් 300,000ක් පමන කඳවුරුවලට ගාල් කිරීම තම සොහොයුරු ගෝඨාභය සමගින් අධීක්ෂනය කල එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග දෙජාස සාකච්ඡා 18ක් පැවැත්වූ බවට ද ඔහු පුරසාරම් දෙඩුවේ ය.

මෙම වාර්තාව හෙලිදරවු කරන දෙය වන්නේ, කොලඹ ප්‍රතිගාමී සිංහල පාලක ප්‍රභූව සමගින් ඒකාබද්ධ වීමේ දී දෙමල ධනේශ්වරය ඉටුකරන ද්‍රෝහී ක්‍රියා කලාපයෙහි ඉතිහාසය යි. මෙම සාකච්ඡා දෙමල ජනතාවට “ප්‍රගතිය” ගෙන ආවේ ය යන්න අමු පචයකි. ඊට විපරීතව, එහි ප්‍රතිඵලය වී ඇත්තේ, දිවයිනේ සමස්ත ජනකායට ව්‍යසනය කැඳවූ 30-අවුරුදු යුද්ධය ඇතුලු එක් විනාශයකට පසු තවත් විනාශයක්  ගෙන ඒමයි.

1948 දී බ්‍රිතාන්‍යයෙන් නාමික නිදහස ලද තැන් පටන්, ශ්‍රී ලංකාවේ ධනේශ්වර පක්ෂ සහ ඔවුන්ගේ ආන්ඩු කම්කරු පන්තිය බෙදා ඔවුන්ගේ පාලනයට සමාජ පදනමක් ස්ථාපිත කරගැනීමට, සිංහල අධිපතිවාදය හා දෙමල-විරෝධී ස්වෝත්තමවාදය ගසා කා ඇත. දෙමල ධනේශ්වර පක්ෂ මෙයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, දෙමල වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවට, ධනවත් දෙමල ප්‍රභූන්ගේ අවශ්‍යතා සඳහා, කොලඹ දේශපාලන සංස්ථාපිතය ඇතුලත උපාමාරු දැමීමට උත්සාහ කරමිනි. 

එජාප ආන්ඩුව, එහි ආරම්භක ක්‍රියාවලින් එකක් ලෙස, ඉන්දීය සම්භවයක් සහිත දෙමල කතා කරන වතු කම්කරුවන් මිලියනයකගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමෙන් පසු, අයිටීඒකේ ආරම්භ කරන ලදී. එජාප ආන්ඩුවේ හවුල්කරුවෙක් වෙමින් එම නීතියට සහයෝගය දුන්, සමස්ත ලංකා දෙමල කොංග්‍රසයෙන් බිඳුනු අයිටීඒකේ, මෙම නිහීන ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරට විරුද්ධ විය.

ආරම්භයේ පටන් ම, අයිටීඒකේ උත්සාහ දැරුවේ, දිවයිනේ උතුරෙහි හා නැගෙනහිරෙහි බහුතර දෙමල ප්‍රදේශ තුල දෙමල ධනේශ්වරයට සැලකිය යුතු බලතල තිබෙන ෆෙඩරල් ව්‍යුහයක් සඳහා ය. වෙනත් වචනවලින් කියතොත්, එය උත්සාහ දැරුවේ, කම්කරු පන්තිය ඒකාබද්ධ ව සූරාකෑමේ හැකියාව ලබාගැනීම පිනිස, සිංහල පාලක ප්‍රභූව සමග ඉඩකඩ සලසා ගැනීමක් සඳහා ය.

සිය දේශපාලන පසුබැසීම තිබියදීම, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පන්තිය සමාජවාදී ක්‍රියාමාර්ගයක් වටා එක්සත් කිරීමට සටන් කරමින් සිටි ලංකා සම සමාජ පක්ෂයට (ලසසප), එජාපය මෙන් ම අයිටීඒකේ ද අත්‍යන්තයෙන් විරුද්ධ විය.

අයිටීඒකේහි ඉතිහාසය පිලිබඳ සම්බන්දන්ගේ වාර්තාවේ දී, ප්‍රාදේශීය කවුන්සිල හරහා දෙමල ජාතිකයන්ට සීමිත ස්වාධීනත්වයක් ලබා දීමට, අයිටීඒකේ නායක චෙල්වනායගම් අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායක සමග එලඹුනු ගනුදෙනුව, අනුමැතියෙන් යුතු ව උපුටා දක්වනු ලබයි.

සිංහල  භාෂාව රටෙහි එකම රාජ්‍ය භාෂාව ලෙස ඉදිරිපත් කල නිහීන දෙමල-විරෝධී වැඩපිලිවෙලක් මත, 1956 මැතිවරනයේ දී බන්ඩාරනායක හා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) බලයට පැමින තිබුනි. මෙම සිංහල පමනක් පිලිවෙතට එරෙහි විරෝධතාවන්, දෙමල ස්වාධිපත්‍යය ඉල්ලුම් කෙරෙන ආවෘත අන්තරය කරා, අයිටීඒකේ විසින් මෙහෙයවන ලදී.

මෙම ගනුදෙනුව පුස්සක් බවට පත් විය. 1956 මැතිවරනයේ දී  බන්ඩාරනායක පදනම්ව සිටි සිංහල ස්වෝත්තමවාදීන්, ගිවිසුම පාවාදීමක් ලෙස හෙලාදකිමින් දෙමල-විරෝධී විරෝධතා දියත් කිරීමෙන් පසු, බන්ඩාරනායක ම ගිවිසුම ඉරා දැමී ය. 1959 දී සිංහල අන්තවාදියෙකු විසින් බන්ඩාරනායක ඝාතනය කරන ලදී. ගිවිසුම බිඳවැටීමෙන් පසු, වර්ගවාදී මැරයෝ දෙමල ජාතිකයන් වෙතට ඔවුන්ගේ ප්‍රහාර හැරවූ හ.

තවමත් ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් යයි කියාගත් ලසසපය, සිංහල පමනක් පිලිවෙතට විරුද්ධ වුවත්, ශ්‍රීලනිපයේ සිංහල ජනතාවාදයට වඩ වඩා අනුගත විය. 1964 දී, කම්කරු පන්තික අරගලවල විශාල පුනර්ජීවනයක් මධ්‍යයේ, බන්ඩාරනායකගේ වැන්දඹුව වූ අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රීලනිපය නායකත්වය දුන් ධනේශ්වර ආන්ඩුවට, ලසසපය ඇතුලත් විය. එම  ඓතිහාසික පාවාදීම, සිංහල තරුනයන් අතර ජනතා විමුක්ති පෙරමුනේ ද, පසුව, දෙමල තරුනයන් අතර එල්ටීටීඊය ඇතුලු බෙදුම්වාදී කන්ඩායම්වල ද පැන නැගීමට තුඩු දෙමින්, “සන්නද්ධ අරගලය” ඔජ වඩවන සුලු-ධනේශ්වර රැඩිකල් ප්‍රවනතාවන්ගේ ඉස්මතු වීමට හේතු කාරක වූ ප්‍රගාඪ ඵලවිපාක ගෙන දුන්නේය.

බන්ඩාරනායකගේ සභාගය බිඳී ගිය පසු, එජාප නායක ඩඩ්ලි සේනානායකට ආන්ඩුවක් තැනීම සඳහා උදවු කල අයිටීඒකේ නායක චෙල්වනායගම් , සේනානායක සමග එලඹුනු ඒ හා සමාන ව්‍යසනකාරී ගිවිසුමක් ද, දෙජාස නායක සම්බන්දන් විසින් උත්කර්ෂයට නංවයි. සිංහල පමනක් පිලිවෙත වෙනස් කරමින් දෙමල ජාතිකයන් වෙත සීමිත ඉඩම් ප්‍රදානයක් කිරීමට වූ එම එකඟතාව ද, ශ්‍රීලනිප, ලසසප, හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ (සීපී) ස්වෝත්තමවාදී විරෝධය හමුවේ,  බිඳ වැටුනි. එහෙත්, එජාප ආන්ඩුවේ කම්කරු පන්ති-විරෝධී පිලිවෙත්වලට අයිටීඒකේ දිගට ම සහයෝගය දුන්නේ ය.

1970 මැතිවරනයෙන් පසු, දෙවන ශ්‍රීලනිප සභාග ආන්ඩුව තැනීමත් සමග ලසසප පාවාදීම විසින් වාර්ගික බෙදීම ගැඹුරු කලේ ය.  සිංහල පමනක් භාෂා පිලිවෙත සමග බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස තහවුරු කල 1972 ව්‍යවස්ථාවට, ලසසප නායක කොල්වින් ආර්. ද සිල්වා ඍජු වගකීම දැරුවේ ය.

දෙමල තරුනයන්ගේ වැඩෙන විරෝධය මධ්‍යයේ, අයිටීඒකේය ව්‍යවස්ථාවට නාමික ව විරුද්ධ වූ අතර, එයට විරෝධය පෑමක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ප්‍රතික්ෂේප කල නමුත්, එම ආස්ථානය සති ගනනක් තුල අතහැර දැමී ය. එය 1972 දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුන (ටීයූඑල්එෆ්) බිහිකල අතර, 1976 මැයි මාසයේ වඩුක්කොඩෙයිහි දී පැවති සම්මේලනයේ දී වෙනම දෙමල ඊලම් රාජ්‍යයක් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කලේ ය.

විපක්ෂයේ එජාපයට පිටුබලය දුන් ටීයූඑල්එෆ්, එහි දක්ෂිනාංශික, කම්කරු පන්ති-විරෝධී නායක ජේ.ආර්.ජයවර්ධන නායකත්වය දෙන අනාගත ආන්ඩුවකට සහයෝගය දෙන බවට පොරොන්දු විය. 1977 දී ජයවර්ධනට බලයට ඒමට උදවු දුන් ටීයූඑල්එෆ්, නව ව්‍යවස්ථාවක් සැකසීමේ කමිටුවලට සහභාගි විය. දෙමල ජාතිකයන් ඇතුලු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරනු වෙනුවට, ජයවර්ධන 1978 ව්‍යවස්ථාවෙන් පුලුල් බලතල සහිත විධායක ජනාධිපති ධුරයක් ස්ථාපිත කලේ ය.

ගෝලීය ආයෝජකයන් සඳහා ලාබ ශ්‍රම වේදිකාවක් බවට ශ්‍රී ලංකාව හැරවීමේ තම වෙලඳපොල-ගැති න්‍යාය පත්‍රය කම්කරු පන්තිය තුල විරෝධය අවුලුවාලන බව හොඳින් දැන සිටි ජයවර්ධන, මහජන අතෘප්තිය මර්දනය කිරීමට ඒකාධිපති බලතල වෙත හැරුනි. විරෝධය ඉස්මතු වීමේ දී ටීයූඑල්එෆ් ව්‍යවස්ථාවට නාමික විරුද්ධත්වය ප්‍රකාශ කල ද එය ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත්‍රයට විරුද්ධ නො වී ය.

කම්කරුවන් අතර ගැඹුරු වන ප්‍රතිරෝධයට මුහුන දුන් ජයවර්ධන, කම්කරුවන් බෙදන දෙමල-විරෝධී ස්වෝත්තමවාදය හා ප්‍රකෝපකිරීම් ඇවිලවීම දෙසට හැරුනේ ය. ටීයූඑල්එෆ්හි පාර්ලිමේන්තු උපාමාරු කෙරෙහි අපේක්ෂා භංග වූ දෙමල තරුනයෝ, පෙරලා සටන් වැදීම සඳහා එල්ටීටීඊය වැනි සන්නද්ධ බෙදුම්වාදී කන්ඩායම් වෙත හැරුනි. එජාපය විසින් ඍජුවම අවුලුවන ලද  1983 දෙමල-විරෝධී ම්ලේච්ඡ සංහාර, දශක තුනක් පුරා පැවති ලේ වැකි සිවිල් යුද්ධය ජනනය කලේ ය.

එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උතුරු පලාතට ඉන්දීය භටයන් ගෙන ඒමට පාර කැපූ 1987 ඉන්දු-ලංකා ගිවිසුම, දෙමල නායකයන් නිමග්නවූ සාකච්ඡාවන්හි තවත් සාධනීය ප්‍රතිඵලයක් ලෙස සම්බන්දන් විසින් හුවා දක්වයි. ඔවුන්ගේ බලතල හා වරප්‍රසාද පුලුල් කරන උපක්‍රමයක් ලෙස පලාත් සභා ස්ථාපිත කිරීම ඔවුහු සාදරයෙන් පිලිගත්හ.

යතාර්ථය වන්නේ, ජනාධිපති ජයවර්ධන ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමග ගිවිසුමට එලඹුනේ ඔහු පත්ව සිටි මංමුලාව නිසා බව යි. කොලඹ ආන්ඩුව විසින් එය යොදාගන්නා ලද්දේ, රටෙහි දකුනේ ගම්බද තරුනයන් අතරින් මතු වුනු වැඩෙන විරෝධය තලා දැමීමට පොලිස් රාජ්‍ය පියවරයන් දිගේලි කරන අතර ම එල්ටීටීඊයට එරෙහි යුද්ධයට කල්ගැනීමක් සඳහාය. ඉන්දීය “සාමසාධකයන්” විසින් දෙමල සිවිල් වැසියන් දහස් ගනනක් මරා දැමූ සටනක් බවට පත්වෙමින් බිඳ වැටුනු එම තුච්ඡ ගිවිසුමට, එල්ටීටීඊය ඇතුලු සියලු දෙමල පක්ෂ සහයෝගය දුන් හ.

නිෂ්පාදනයෙහි ගෝලීයකරන ක්‍රියාදාමය විසින් සියලු ජාතික ක්‍රියාමාර්ගයන්ට වලකැපීම පිලිබිඹු කල සෝවියට් සංගමයෙහි බිඳ විසුරුවීමෙන් ඉක්බිති ව, ලොව පුරා ඔවුන්ගේ සහකරුවන් මෙන් එල්ටීටීඊය හා දෙමල දේශපාලන පක්ෂ ද ඔවුන්ගේ සියලු සමාජවාදී වාගාලාප අතහැර දැමූ හ. අධිරාජ්‍ය-විරෝධීන් ලෙස මවාපානු වෙනුවට, සියලු දෙමල පක්ෂ අධිරාජ්‍යවාදී බලයන්ගේ පිටුබලය අපේක්ෂා කලේ, ඊට හිලවුව  ලෙස ශ්‍රී ලංකාවේ උතුර හා නැගෙනහිර ලාභ ශ්‍රම වේදිකාවක් බවට හැරවීමට පොරොන්දු වෙමිනි.

එහෙත් අවසානයේ දී, දිවයිනේ වෙන ම දෙමල රාජ්‍යයක් ස්ථාපිත කිරීමට සහයෝගය දීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අවශ්‍යතාවක් නො වී ය. දෙමල බෙදුම්වාදය දකුනු ඉන්දියාවට පැතිර යනු ඇතැයි ගැඹුරින් ම උත්සුක වූ ඉන්දියාවට ද එවන් අවශ්‍යතාවක් නො වී ය. 2009 දී එල්ටීටීඊයේ සන්නද්ධ හමුදා අවසානයේ තලා දැමූ රාජපක්ෂ ආන්ඩුවේ ම්ලේච්ඡ ප්‍රහාරයන්ට පාර්ශව දෙක ම පිටුබලය දුන් හ. 

ටීයූඑල්එෆ්හි අනුප්‍රාප්තිකයා වන දෙජාස හි ප්‍රතිචාරය වූයේ, තව දුර දකුනට මාරු වීම සහ එක්සත් ජනපදය සමග මුලුමනින් පෙලගැසීම යි. දෙමල ජාතිකයන්ට එරෙහි මහින්ද රාජපක්ෂගේ ම්ලේච්ඡ යුද්ධය නිසා නො ව, ඔහු චීනය සමග වඩා සමීප ව පෙලගැසී සිටි නිසා, 2015 දී එක්සත් ජනපදය ක්‍රියාවට දැමූ, රාජපක්ෂ ඉවත් කිරීමේ තන්ත්‍ර මාරු මෙහෙයුමට දෙජාස පිටුබලය දුන්නේ ය.

දෙමල ධනේශ්වරයේ උපාමාරුවල හිංසාකාරී ඉතිහාසය පිලිබඳ සම්බන්දන්ගේ විමර්ශනය පෙන්නුම් කරන්නේ, දෙමල කම්කරුවන්, තරුනයන් හා ගම්බද පීඩිතයන් ඔවුන්ගේ හිස් පොරොන්දු කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබීමේ නිරර්ථකභාවය යි. සෑම හැරීම් ලක්ෂ්‍යයක දී ම, දෙමල ධනේශ්වර පක්ෂ, කුඩා තාවකාලික වාසියකට හිලවුව ලෙස කොලඹ සහකරුවන් සමග ගනුදෙනුවේ යෙදී, තමන්ට එරෙහි පීඩනයෙහි මූල බීජය වන ධනවාදය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තියේ හා ගම්බද ජනයාගේ එක්සත් ව්‍යාපාරයක් පැන නැගීම වැලකූ හ.

අනුප්‍රාප්තික කොලඹ ආන්ඩුවල සිංහල ස්වෝත්තමවාදය ද දෙජාස වැනි පක්ෂවල දෙමල ප්‍රාදේශීයවාදය ද යන සියලු ආකාරවල ජාතිකවාදයන්ට හා වර්ගවාදයන්ට අනවරත ව විරුද්ධ වී ඇති සසප හා එහි පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් වැදී ඇත. 

ජනවාර්ගික රේඛා කපාගෙන කම්කරුවන්ගේ සමාජවාදී එකමුතුව සඳහා සටන් වැදීමට, සසප/විකොස 1987 දී දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන ක්‍රියාමාර්ගය ඉදිරිපත් කලේ ය. මෙම පදනම මත ආරම්භයේ පටන් ම යුද්ධයට විරුද්ධ වුනු අපි, තවමත් උතුර හා නැගෙනහිර වාඩිලාගෙන සිටින මිලිටරිය ඉවත් කරගැනීම දිගටම ඉල්ලා සිටිමු. දෙමල ජාතිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්මුති විරහිත ව ආරක්ෂා කරන අපේ පක්ෂය, දෙමල ධනේශ්වර පක්ෂවල ද්‍රෝහීත්වය හෙලිදරවු කලේ ය.

සියලු ධනේශ්වර පක්ෂවලට හා ඔවුන්ගේ ව්‍යාජ-වාම අන්තේවාසිකයන්ට විරුද්ධ ව මේ මැතිවරනයේ දී අපි මෙම වැඩපිලිවෙල ඉදිරිපත් කරමු. යාපනය, නුවර එලිය හා කොලඹ දිස්ත්‍රික්කවලට අපි අපේක්ෂකයන් ඉදිරිපත් කරමින් තරඟ වදින්නෙමු. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මෙම ක්‍රියාමාර්ගයට සහයෝගය  දීමට අපට ඡන්දය දෙන්න. අපේ පක්ෂයට හා එහි තරුන අංශය වන "සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ" ව්‍යාපාරයට බැඳෙන්න.