ඉදිරිදර්ශන

සමාජවාදී සමානතා පක්ෂයේ එක්සත් ජනපද ජාතික සම්මේලනය කොරෝනා වෛරස් වසංගතය හා සමාජවාදය සඳහා අරගලය පිලිබඳ යෝජනාව සම්මත කරයි

මෙම ලිපිය අගෝස්තු 1 වනදා ඉංග්‍රීසි බසින් පලවිය

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය සිය හයවැනි ජාතික සම්මේලනය 2020 ජූලි 19 වන දා සිට එම ජූලි 24 දක්වා පැවැත්වීය. වර්තමාන කොරෝනා වෛරස් වසංගත තත්වය හේතුවෙන් මෙම සම්මේලනය මුලුමනින්ම අන්තර්ජාලය හරහා පැවැත්වින.      

සෑම වසර දෙකකටම වරක්ම පක්ෂ සම්මේලන පැවැත්වෙන අතර, මෙවර ඊට සහභාගී වූවන්ගෙන් සියයට 30ක් ම පක්ෂ සම්මේලනයකට සහභාගී වූයේ ප්‍රථම වරට ය. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාකයේ) සියලු ශාඛාවල හා එයට සහාය දක්වන සියලු කන්ඩායම්වල ප්‍රමුඛ සාමාජිකයෝ සම්මේලනයට සිය සුබපැතුම් එවූහ.    

දින පහක කාල පරිච්ඡේදයක් පුරා සමුලුව "ලෝක ගෝලීය වසංගතය, පන්ති අරගලය, සහ සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයන්" යන- අද දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇති- අභියෝජනාව සාකච්ඡා කිරීමෙන් පසුව එය සම්මත කලෝය.  

මෙම අභියෝජනාව වසංගතයේ ඓතිහාසික, ආර්ථික, සමාජ හා දේශපාලන සන්දර්භය පිලිබඳව ද, එහි විප්ලවවාදී ගම්‍යමානයන් පිලිබඳව ද විස්තීර්න විග්‍රහයක් සම්පාදනය කරයි. "ලෝක ධනවාදයේ දැනටමත් අතිශය ඉහල මට්ටමකට නැඟී ඇති ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය තවතවත් වේගවත් කරන ලෝක ඉතිහාසයේ ප්‍රේරක සිදුවීමක්" ලෙස වසංගතය අර්ථ දක්වමින් එම අභියෝජනාව මෙසේ ප්‍රකාශ කරයි: 

කම්කරු පන්තිය මුහුන පා සිටින්නේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීම, ආර්ථිකය මත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිහිටුවීම, වෙලඳ පොල අරාජිකත්වය විද්‍යාත්මක සැලසුමක් මඟින් විස්ථාපනය කිරීම, ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කර දැමීම හා සමානාත්මතාවයට කැප වූ ලෝක ගෝලීය සමාජයක් ගොඩනැඟීම, දරිද්‍රතාවය, මර්දනයේ සියලු ආකාරයන් හා  වෙනස් කොට සැලකීම් උපුටා දැමීම සහ, ජීවන මට්ටම්වල හා සමාජයීය සංස්කෘතික මට්ටම්වල ද, පාරිසරික සංරක්ෂනයේ ද දැවැන්ත නැඟීමක් සනිටුහන් කිරීම කරා මඟ පාදන ධනේශ්වර ක්‍රමයට එරෙහි විප්ලවවාදී අරගලයකින් විනා අන් ආකාරයකින් ප්‍රගතිශීලී විසඳුමක් සොයා ගත නොහෙන අර්බුදයකට ය.     

අභියෝජනාව, වසංගතය මඟින් ප්‍රේරනය වූ අර්බුදය වඩාත් පුලුල් ඓතිහාසික, සමාජ ආර්ථික හා දේශපාලන සන්දර්භයක් තුල විශ්ලේෂනය කරයි:

කොරෝනා වෛරසය මඟින් ජනිත සුවිශේෂී තත්ත්වයන්හි අහඹු හා අවිනිශ්චිත ස්වභාවය තිබියදී ම, වසංගතයට දැක්වුනු ප්‍රතිචාරය නිර්නය කෙරුනේ ධනේශ්වර අර්බුදයේ පෙර පටන් පැවැත ආ තතු හා පාලක පන්තියේ උත්සුකයන් විසිනි. ධනපති පන්තිය දිගටම ක්‍රියාත්මක කර ඇත්තේත්, තීව්‍ර කර ඇත්තේත්, ඉහත කාල පරිච්ඡේදය තුල එය උපයෝගී කොට ගත් එම පරපුටුවාදී ආර්ථික සම්බන්ධතා සහ සමාජ පිලිවෙත් ම ය. 

එකී ලේඛනයේ කේන්ද්‍රීය තේමාවක් වන්නේ, පලමු ලෝක යුද්ධයේ බලපෑම විසිවන සියවසේ ගමන්මඟෙහි හැඩ තල නිර්නය කිරීමට යම් තීරනාත්මක ආකාරයකින් හේතුභූත වී ද, වසංගතය විසින් විසි එක් වන සියවස මත ඇති කෙරෙන බලපෑම එබඳුම ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවයි. වසංගතයට එරෙහි සටන මූලිකවම වෛද්‍ය විද්‍යාත්මක ගැටලුවකැයි යන මතිය ප්‍රතික්ෂේප කරමින් අභියෝජනාව මෙසේ පැහැදිලි කරයි: "පලමුවන ලෝක යුද්ධය අවසානයකට ගෙන ඒම සඳහා කම්කරු පන්තියේ නැඟී සිටීම අත්‍යවශ්‍ය වූයේ යම් සේ ද, එපරිද්දෙන්ම, මෙම ව්‍යාධියට සඵල සමාජ ප්‍රතිචාරයක් දැක්වීම සඳහා තතු නිර්මානය කර ගනු වස්, ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලයක් තුල කම්කරු පන්තියේ පන්ති විඥානයෙන් යුතු මැදිහත් වීම අත්‍යවශ්‍යය."   

පසුගිය අඩ-වසර තුල සිදුවීම් වලට යටින් දිවෙන ආර්ථික, සමාජයික හා දේශපාලනික තර්කනය අභියෝජනාවේ පරීක්ෂාවට ලක් වේ: "වත්මන් තතු වටහා ගැනීමට හා අනාගතය සඳහා මාවතක් සටහන් කිරීමට නම්, වසංගතයේ ගෝලීය කේන්ද්‍රය බවට පත් වී ඇති රටේ - එක්සත් ජනපදයේ - අර්බුදය වර්ධනය වී ඇත්තේ කෙසේදැයි විමර්ශනය කිරීම අත්‍යවශ්‍යය."

අර්බුදයේ වර්ධනයෙහි ප්‍රභින්න අදියර තුනක් අභියෝජනාව මඟින් හඳුනා ගැනේ.

ප්‍රථම අදියර වූයේ 2019 දෙසැම්බර් සිට 2020 මාර්තු 27 දක්වා වූ කාල පරිච්ඡේදයයි: "වසංගතය පැතිර යාම, තොරතුරු වසං කිරීම හා සමාගම්කාර මූල්‍ය ප්‍රභූව මුදවා ගැනීම." ට්‍රම්ප් පාලනය සහ ධනපති පක්ෂ දෙකේම කොන්ග්‍රස් නායකයන් "වසංගතය පැතිරී යාම වලක්වා ජීවිත රැක ගැනීමට වඩා බැංකු, විශාල සමාගම් හා වෝල් වීදියේ බලගතු ආයෝජකයන් ගලවා ගැනීමට ප්‍රමුඛත්වය දීමේ සාමාජයීය වශයෙන් ව්‍යසනකාරී වූ තීරන ගනු ලැබූවේ" මේ කාල පරිච්ඡේදය තුලදී ය.      

වසංගතය නැවත්වීම සඳහා පියවර ගනු වෙනුවට පාලක පන්තිය විසින් අනුයන ලද්දේ "සාපරාධී නොතකා හැරීමේ" පිලිවෙතකි. - එනම්, "ආන්ඩුවල පාර්ශ්වයෙන් ගත් කල, වෙලඳ පොලවල් මත වෛරසයේ බලපෑම පිලිබඳව සැලකිලිමත් වීම විසින් තත්ත්වාරෝපනය කෙරුනු උදාසීන හා නොසැලකිලිමත් ආකල්පයකි." එය පෙබරවාරි හා මාර්තු මාස යොදා ගත්තේ, මාර්තු 27 වන දින ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන දෙපාර්ශ්වය විසින් ම ඒකච්ඡන්දයට ආසන්න ව කැමැත්ත දෙනු ලදුව සම්මත කෙරුනු කෙයාර්ස් පනත පැනවීමෙන් කුලු ගැන්වුනු, ට්‍රිලියන ගනනින් ඇප මුදල් දී වෝල් වීදිය ගලවා ගැනීමේ ව්‍යායාමය සූදානම් කිරීම හා ක්‍රියාවට නැංවීම සඳහා ය. 

පාලක පන්තිය වසංගතයට දැක්වෙන කවර හෝ ප්‍රතිචාරයක් මැඬලීමට යත්න දරන අතරතුර, කම්කරු පන්තියේ ප්‍රතික්‍රියාව කෙරේ අභියෝජනාව අවධානය කැඳවා සිටී:       

"සාපරාධී නොතකා හැරීමේ" පාලක පන්ති පිලිවෙතට එරෙහිව කම්කරු පන්තිය වසංගතයෙන් තමා ආරක්ෂා කර ගනු වස් ක්‍රියාමාර්ග ගැනීමට පටන් ගත්තේය. ඉන්ස්ටකාට්, ඇමසන් හා හෝල් ෆුඩ්ස් ආයතනවල සේවය කරන කම්කරුවෝ විරෝධය පා සේවා ස්ථානයෙන් ඉවතට යාම් හා විරෝධතා ව්‍යාපාර සංවිධානය කලෝය. එක්සත් ජනපදයේ හා කැනඩාවේ මෝටර් රථ කම්කරුවන් සිය වෘත්තීය සමිති නායකයන්ගේ අනුමැතියෙන් හා අනුග්‍රහයෙන් තොර ක්‍රියාමාර්ගවලට පිලිපන් අතර, ඒවා යුරෝපයේ වර්ජන හා විරෝධතා රැල්ල සමඟ සමපාත විය. "කොරෝනා වෛරසයේ පැතිරීම නැවත්වීමට මෝටර් රථ කර්මාන්තය නවත්වනු", යන සසප(එජ) මාර්තු 14 ප්‍රකාශය ද ඇතුලුව ලෝසවෙඅහි පල වූ ලිපි හා සසප ප්‍රකාශයන් දසදහස් සංඛ්‍යාත කම්කරුවන් විසින් කියවන ලදී; බෙදා ගන්නා ලදී. කම්කරු පන්තියේ වැඩෙමින් පැවැති පීඩනය යටතේ හා, වෝල් වීදිය ගලවා ගැනීමේ නීති සම්පාදනය තවමත් සූදානම් කෙරෙමින් පැවැති තතු තුල, ෆෙඩරල්, ප්‍රාන්ත හා ප්‍රාදේශීය ආන්ඩුවලට ආර්ථිකය අගුලු ලෑමේ පියවර ගැනීමට එකඟ වීමට බල කෙරින.          

2020 මාර්තු 27 වන දින සිට මැයි 31 දක්වා වූ දෙවැනි අදියර තුල ආධිපත්‍යය දරන ලද්දේ "ආපසු වැඩට" යනුවෙන් වූ පාලක පන්ති උද්ඝෝෂනය විසින් හා පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව පැන නැඟුනු විරෝධතා විසිනි. නිව්යෝර්ක් ටයිම්ස්හි තෝමස් ෆ්‍රීඩ්මන් විසින් "රංචු ප්‍රතිශක්ති" පිලිවෙතකට පක්ෂව ලියූ කොලමක් සමඟ දේශපාලන ස්ථාපිතය තුල ආරම්භ වූ, ආපසු වැඩට යාමට බල කිරීමේ ද්වි-පක්ෂ උද්ඝෝෂනය පිලිබඳව අභියෝජනාව විමර්ශනය කරයි. මෙම පිලිවෙත නව රෝගීන් හා මරන සංඛ්‍යාවල පුපුරා යන ප්‍රසාරනයක් කරා මඟ පාදනු ඇතැයි යන සසප හා ලෝසවෙඅ අනතුරු හැඟවීම් අභියෝජනාවේ උපුටා දැක්වේ.   

මැයි මස අගභාගයේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් ඉක්බිති එක්සත් ජනපදය පුරාම ද, ජාත්‍යන්තරව ද, පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව පැතිරී ගිය දැවැන්ත බහු වාර්ගික හා බහු මානව වංශික විරෝධතා අභියෝජනාව මඟින් විශ්ලේෂනය කෙරේ:  

පොලිස් ප්‍රචන්ඩත්වය විරෝධතා ගිනි ජාලාවට අවශ්‍ය පුලිඟුව සම්පාදනය කල අතර ඒවායේ යටින් පැවැති හේතූන් වූයේ, කාලයක් පුරා සිදු වූ ජීවන මට්ටම්වල  බරපතල පරිහානිය, තරුන ජනයා මත කොඳු කැඩෙන මට්ටමක නය බරක් පවත්වා ගෙන යාම හා අනාගතය සම්බන්ධ ඔවුන්ගේ අපේක්ෂාවන් අඳුරට හෙලා තිබීම, පැතිර පවතින සමාජ අසමානතාව හා එහි ප්‍රතිවිපාක, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හැකිලී යාම, සහ පවතින ද්වි-පක්ෂ ක්‍රමයේ දේශපාලන ව්‍යුහයන් තුල අර්ථාන්විත වෙනසක් හා සමාජ කොන්දේසිවල අභිවර්ධනයක් ඇති කිරීමට හැකියාවක් නොපැවතීමයි.  

තුන්වැනි අදියර ඇරඹුනේ, විරෝධතාවලට එරෙහිව මිලිටරිය යොදවනු වස් කැරලි කෝලාහල පනත භාවිතා කිරීමේ ට්‍රම්ප්ගේ අභිප්‍රාය ප්‍රකාශයට පත් කෙරුනු ඔහුගේ ජූනි 1 දින ප්‍රවෘත්ති සාකච්ඡාව සමඟය. මෙය ජනාධිපති ආඥාදායකත්වයක් ඇති කිරීමේ පාලනාධිකාරියේ දැනට දැරෙමින් පවත්නා ප්‍රයත්නයන්හි ප්‍රාරම්භකත්වය විය. මෙම ආරම්භක කුමන්ත්‍රන ප්‍රයත්නය සාර්ථක නොවූ අතර, අභියෝජනාව තුල උපුටා දැක්වෙන සසප ජූනි 4 දින ප්‍රකාශය මඟින් අනතුරු හඟවන ලද්දේ, "අර්බුදය පහ වී ඇතැයි සිතීම තරම් අන්තරායකාරී වන අන් කිසිවක් හෝ නොමැති" බවයි. "මේ එහි හුදු ආරම්භය පමනෙකි."     

ඔරෙගන් ප්‍රාන්තයේ පෝර්ට්ලන්ඩ් නගරයට ට්‍රම්ප්ගේ නියෝග යටතේ ක්‍රියාත්මක වන පැරා මිලිටරි බල ඇනි යෙදවීම මඟින්, සසප සම්මේලනය පැවැත්වෙන අතරවාරයේ ම මෙම අනතුරු හැඟවීම සනාථ විය. එලඹෙන මැතිවරනය ප්‍රමාද කිරීමට හෝ අවලංගු කිරීමට පසුගිය සතියේ ට්‍රම්ප් සිදු කල තර්ජන පූර්වාපේක්ෂා කරමින් අභියෝජනාව මෙසේ අනතුරු හඟවයි: "කවර පක්ෂයක් මැතිවරනය ජය ගත්තේ වී වුව, එය නොතකා, ට්‍රම්ප් පාලනය තුල ඒ සා අනිෂ්ට ප්‍රකාශනයන්ට තුඩු දුන් ප්‍රවනතාවන් දිගටම පවතිනු පමනක් නොව ඒවා වඩාත් නරක අතට හැරෙනු ඇත. - එසේ පැවසීම සඳහා වුව, මැතිවරනය පැවැත්වෙනු ඇතැයි යන විවාදශීලී උපකල්පනයට බැස ගැනීම අවශ්‍ය කෙරේ."    

ඩිමොක්‍රටිකයන් ඊට ප්‍රතිචාර දැක්වූයේ, සමාජ විරුද්ධත්වය පීලි පැන්නවීමේ තමන්ගේ ම උද්ඝෝෂනය උත්සන්න කරන අතරතුර ම, ට්‍රම්ප්ට එරෙහි සියලු විරෝධය හමුදාවන් ඉදිරියේ පාවා දෙමිනි. අභියෝජනාව මෙසේ සඳහන් කරයි: "සෑම විටම කම්කරු පන්තියේ සටන්කාමීත්වයේ හා සමාජවාදී ආනුභාවයේ කවර හෝ සංඥාවක් සම්බන්ධයෙන් අතිශය සංවේදී වන ඩිමොක්‍රටික් පක්ෂය සමඟ පෙල ගැසුනු ධනේශ්වර පාන්තික කොටස් හා මධ්‍යම පන්තියේ ඉසුරුමත් කොටස් නිරතුරුවම, පෙලපාලි පැහැර ගනිමින් ඒවා නිශ්චිතවම වර්ගවාදී දිශානතීන් ඔස්සේ වල්මත් කර දැමීමට ක්‍රියා කරති."   

නිව්යෝර්ක් ටයිම්ස්හි 1619 ව්‍යාපෘතිය විසින් නීත්‍යානුකූල භාවයක් ලබා දී ඇත්තා වූ ඇමරිකානු ඉතිහාසය අලුතින් ලිවීමේ ඩිමොක්‍රටිකයන්ගේ වර්ගවාදී උද්ඝෝෂනයේ පසුබිම පිලිබඳව විස්තීර්න සාකච්ඡාවකට සමුලු නියෝජිතයෝ සහභාගී වූහ: 

ඇමරිකානු විප්ලවය, සිවිල් යුද්ධය හා එහි ප්‍රමුඛ නායකයන්ට එරෙහිව 2019 අගෝස්තුවේ 1619 ව්‍යාපෘතිය දියත් කරමින් මුල පුරා තිබූ නිව්යෝර්ක් ටයිම්ස් උද්ඝෝෂනය, විරෝධතා ව්‍යාපාරය මංමුලා කර දැමීමේ හා පන්ති අරගලයේ වර්ධනය මැඩ පැවැත්වීමේ අදිටනින් යුතුව තීව්‍ර කෙරින. සිවිල් යුද්ධයේ දක්ෂින දිග රාජ්‍ය හවුලේ නායකයන්ගේ පිලි රූ ඉවත් කිරීමට නැඟුනු යුක්තියුක්ත ඉල්ලීමක් ලෙස ආරම්භ වූ දෙය වොෂින්ටන්, ලින්කන්, ග්‍රාන්ට් හා වහල් ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි ප්‍රමුඛ අහෝසිතාවාදීන්ගේ පවා ජීවිත සිහිපත් කෙරෙන පිලි රූ ඉවත් කිරීම හා විකෘති කිරීම සඳහා අවස්ථාවක් බවට පත් විය.  

අභියෝජනාව අවධාරනයෙන් සඳහන් කරන්නේ "ජන වර්ගය" දේශපාලනයේ මධ්‍ය ලක්ෂ්‍යයේ පිහිටුවීමට දැරෙන ප්‍රයත්න ඇත්තේ වී මුත්, "එක්සත් ජනපදයේ අතිශය ප්‍රබල සමාජ යථාර්ථය වන්නේ සමාජය පන්ති පදනමක් මත බෙදී තිබීම තුල මුල් බැසගත් ආර්ථික අසමානතාවය" බවයි.   

එක්සත් ජනපදය යුද්ධය සඳහා සිදුකෙරෙන සූදානම්වීම් උත්සන්න කිරීම සම්බන්ධයෙන් ද අභියෝජනාව අනතුරු හඟවයි. විදේශයන්හි සිදුකෙරෙන යුද්ධ ප්‍රසාරනය කිරීමට ට්‍රම්ප් හා ඩිමොක්‍රටිකයන් යන දෙකොටසම තවදුරටත් කැප වී සිටිති. අභියෝජනාවේ මෙසේ සඳහන් වේ:   

වසංගතය පුරාම එක්සත් ජනපදයේ රනකාමී පිලිවෙත්වල කිසිදු ලිහිල්වීමක් සිදු වූයේ නැත. රුසියාවට හා තම ප්‍රධාන භූ දේශපාලනික විරුද්ධවාදියා වන චීනයට එරෙහි ඇමරිකානු තර්ජනවලට සහාය පල කරන ලෙස ඉල්ලා සිටිමින් එජ රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ විදේශ චාරිකාවන්හි කාර්ය බහුල න්‍යාය පත්‍රයක් පවත්වා ගෙන ගියේය. කිසිදු සාක්ෂියකින් තොරව, චීනය ඇමරිකානු මහජනයා ආසාදනය කිරීමට ක්‍රියා කලේයැයි චෝදනා කරන මට්ටමින් පවා "වුහාන් වෛරසය" පිලිබඳව නිරතුරුව සඳහන් කරමින්, ට්‍රම්ප් පාලනය එදිරිවාදීකම් අවුලුවා ලීමේ ප්‍රයත්නයන්හි නිමග්න වී ඇත.       

අභියෝජනාව මෙසේ ද අනතුරු හඟවයි:

යුද්ධයේ අනතුර අවතක්සේරු නොකල යුතුය. අර්බුද-ග්‍රස්ත රාජ්‍ය තන්ත්‍රයන්, තමන්ගේම රටේ දේශසීමා තුල පවත්නා බලාපොරොත්තු විරහිත අර්බුදයක් ලෙස ප්‍රත්‍යක්ෂ තත්ත්වයන්ට විසඳුමක් ලෙස යුද්ධය තෝරා ගැනීම පිලිබඳ උදාහරන විසි වන සියවස තුලින් කොතෙකුත් හමුවේ. හිට්ලර් එහි කුප්‍රකට ම උදාහරනයයි.     

පසුගිය සත් මස පිලිබඳ තම විශ්ලේෂනයේ පදනම මත අභියෝජනාව ඉදිරියේ එලඹෙන සති හා මාස සඳහා ඉදිරි දර්ශනයක් හා ක්‍රියා මාර්ගික වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරයි: 

වසරේ ප්‍රථම අර්ධය තුල ආධිපත්‍යය දරන ලද්දේ වසංගතයට පාලක පන්තිය දැක්වූ ප්‍රතිචාරය විසිනි. දෙවැනි අර්ධය තුල කම්කරු පන්තියේ ප්‍රතිචාරය ප්‍රමුඛත්වයට පත් වනු ඇත. පාලක පන්තියේ පිලිවෙත්වල විනාශකාරී ප්‍රතිවිපාක ධනේශ්වර ක්‍රමයේ යුක්තියුක්තභාවයට මරු පහරක් දී ඇත. ආර්ථික බිඳවැටීම කෙරේ, මහා පරිමානව සේවය නවතා ලීම්, වැටුප් කප්පාදු, මෙඩිකෙයාර් මෙඩිකේඩ් සමාජ ආරක්ෂන සහ අනෙකුත් අත්‍යවශ්‍ය හා දැනටමත් ඌන ප්‍රතිපාදිත සමාජ වැඩපිලිවෙලවල් තවදුරටත් කපා හැරීම සඳහා ඉල්ලා සිටීම ආදී වශයෙන් වන සංස්ථාපිතයේ ප්‍රතිචාරයට කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවතින ප්‍රතිරෝධයට මුහුන දීමට සිදු වනු ඇත. අනාරක්ෂිත තතු යටතේ වැඩෙහි යෙදවීම් හා කොවිඩ්-19 වෛරසය පැතිරීමට අවකාශ සැලසෙන පරිදි පාසල් නැවත විවෘත කිරීම්වලට එරෙහිව විරෝධය ඉහල නැංවෙනු ඇත. සේවයෙන් නෙරපා හැරීම් හා නයට හිලවු ලෙස ව්‍යාපාර අත්පත් කර ගැනීම්වලදී විරුද්ධත්වයන්ට මුහුන දීමට සිදු වනු ඇත. එබැවින්, සමාජවාදී සමානතා පක්ෂය, පක්ෂයේ මැදිහත්වීම හරහා දේශපාලනික පන්ති විඥානයක් හා ධනේශ්වර විරෝධී ස්වභාවය අත්පත් කර ගැනීමට නියමිත, කම්කරු පන්ති අරගලයේ අතිමහත් වර්ධනයක් පෙර දකියි.     

සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයන්හි කටු සටහනක් දක්වන අභියෝජනාව, සංයුක්ත තත්ත්වයකින් පැන නඟින්නා වූ ප්‍රයුක්තීන් හා අවශ්‍යතාවයන් සමාජවාදී විප්ලවයේ මූලෝපායයට සම්බන්ධ කෙරෙන "සංක්‍රමනීය ඉල්ලීම්"වල වැදගත්කම පැහැදිලි කරයි.

කොරෝනා වෛරස් වසංගතය සම්බන්ධයෙන් සසපය, ඔලමොට්ටල හා අපරාධකාරී ආපසු වැඩට දැක්කීමේ උද්ඝෝෂනය නවතා දැමීමට; සමාගම්කරුවන් හා වෝල් වීදියට ඇප මුදල් දීම අවලංගු කිරීමට; සියලු රැකියා විරහිතයන්ට ආර්ථික සුරක්ෂිතතාව සම්පාදනය කිරීමේ හා සෞඛ්‍ය සේවා යටිතල ව්‍යුහය ඉමහත් ලෙස ප්‍රසාරනය කිරීමේ හදිසි වැඩ පිලිවෙලකට; කෝටි සංඛ්‍යාත ජනයා මුහුන දෙන හදිසි සමාජ අර්බුදයට විසඳුම් සපයනු වස් සමාගම්කාර හා මූල්‍ය ප්‍රභූව සතු ධනය පවරා ගැනීමට; සහ ප්‍රමුඛ බැංකු හා සමාගම් මත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කිරීමට කැඳවුම් කරමින් ඒ සඳහා සටන් වදී.    

අභියෝජනාව පිලිබඳ සාකච්ඡාව තුල සමුලු නියෝජිතයන් අවධාරනය කලේ වෛෂයික තතුවල වර්ධනය හා සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාකාරීත්වය අතර සම්බන්ධතාවය පිලිබඳවය. වෛරස ව්‍යාප්තිය විසින් මතු කෙරුනු තර්ජනයට එරෙහිව කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා කම්හල් හා වැඩබිම්වල සාමාන්‍ය කම්කරුවන්ගේ ස්වාධීන ආරක්ෂක කමිටු ගොඩනැඟීමෙහි ලා සසප අත්දැකීම් පිලිබඳ විස්තීර්න සාකච්ඡාවක් පැවැත්වින. සාකච්ඡාව තුල නියෝජිතයන් විසින් යෝජනා කරන ලද වෙනස්කම් හා එකතුකිරීම් ද අභියෝජනාවේ අවසාන කෙටුම්පතට එක් කරන ලදී. අභියෝජනාව සඳහා ඡන්ද විමසීම අන්තර්ජාලය හරහා සිදු කෙරුනු අතර එය ඒකච්ඡන්දයෙන් සම්මත විය.    

සමුලු නියෝජිතයෝ නව ජාතික කමිටුවක් පත් කර ගත්හ. අලුතින් පත් වූ ජාතික කමිටු සාමාජිකයෝ ජාතික ලේකම් ධුරයට ජෝසෆ් කිෂෝර් ද, ජාතික නියෝජ්‍ය ලේකම් ලෙස ලෝරන්ස් පෝටර් ද, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ එජ කර්තෘ ලෙස බැරි ග්‍රේ ද නැවත තෝරා පත් කර ගත්හ. සමුලු නියෝජිතයෝ ඩේවිඩ් නෝර්ත් ජාතික සභාපති ලෙස යලි තෝරා පත් කර ගත්තෝය.   

සම්මේලන යෝජනාව වසංගතය මඟින් ප්‍රේරිත අර්බුදය පිලිබඳව, කම්කරු පන්තියේ සමාජවාදී පන්ති විඥානය හා ස්වාධීන ක්‍රියාමාර්ග වර්ධනය කිරීම දිසාවට යොමු වූ, අසමසම විශ්ලේෂනයක් සපයයි. එය කම්කරු පන්තියේ විප්ලවවාදී දේශපාලනය හා සමාජවාදී ව්‍යාපාරය වර්ධනය කිරීමෙහි ලා මඟ පෙන්වීමක් සම්පාදනය කරයි. එය එක්සත් ජනපදයේ ද, ලොව පුරා ම ද, කම්කරුවන්ගේ හා තරුන ජනයාගේ ඉහලම සාවධානය ලැබීමට උචිත ලේඛනයකි.   

"ලෝක ගෝලීය වසංගතය, පන්ති අරගලය හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයන්" යන සමුලු යෝජනාව මෙතැනින් කියවන්න. සසප හා හජාජාක ඇමතීමට හා ඊට බැඳීමට මෙතැනින් පිවිසෙන්න.

Loading