චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුන සාමාජිකයෙක් සමග සාකච්ඡාවක්

චීන කොමියුනිස්ට් පක්ෂය “ඉතා දැඩි නිලධාරීවාදයක් සහිත සංවිධානයකි”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෑතක දී ට්‍රොට්ස්කිවාදය පිලිබඳ ව උනන්දුවක් පල කල චීන තරුනයෙක් සමග කතා කලේ ය. ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) ප්‍රාදේශීය මට්ටමේ සාමාජිකයෙක් ද වේ. සීසීපීයේ සාමාජිකයෙකු වීමේ අර්ථය කවරක් ද පක්ෂය ඇතුලත පවතින දේශපාලනික සාකච්ඡාවේ ස්වභාවය කුමක් ද ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන කියවීමට ඔහුව උනන්දු කලේ කුමක් ද යන්න හා චීනය තුල සමාජවාදය සඳහා අරගලය පිලිබඳ ඔහුගේ දෘෂ්ටීන් කවරේ ද යන්න ගැන ලෝසවෙඅ සමග කතා කිරීමට ඔහු එකඟ විය. මර්දනකාරී චීන පාලන තන්ත්‍රයෙන් එල්ල විය හැකි අන්තරායන් හේතුවෙන්, ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂයේ ලෝසවෙඅ ජාතික කර්තෘ පීටර් සිමන්ඩ්ස් සමග පැවති සාකච්ඡාව තුල ඔහුගේ සැබෑ නම හා විස්තර අඩංගු කරනු ලැබ නැත.

පීටර් සිමන්ඩ්ස්: මේ සාකච්ඡාවට එකඟ වීම ගැන ඔබට ස්තුතියි. චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් වන මිලියන 91න් එක් පුද්ගලයෙක් පමනක් වන ඔබ ක්‍රියාකාරී වන්නේ ප්‍රාදේශීය වැඩපොල මට්ටමේ දී පමනයි. එහෙත් එහි අභ්‍යන්තර දේශපාලනික ජීවිතය හිතා මතා ම සඟවන පක්ෂයේ ස්වභාවය පිලිබඳ ව ඔබේ අත්දැකීම් යම් ආලෝකයක් විහිදුවනවා. ඔබ චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වුනේ කවදා ද හා ඇයි ද යන්න විමසමින් සාකච්ඡාව ආරම්භ කිරීමට මම කැමතියි. 

ෆූ හොං: පාසල් ශිෂ්‍යයෙකු ව සිටිය දී මා චීන කොමියුනිස්ට් පක්ෂයට බැඳුනේ බොහෝ සෙයින් අනාගත වෘත්තීය ජීවිතයේ වර්ධනයට එය උදවු වනු ඇති නිස යි. මගේ මිතුරන්ගෙන් ඔවුන් පක්ෂයට බැඳුනේ ඇයිදැයි මා කවරදාක හෝ විමසා නැතත්, ඔවුන්ගේ හේතු මට අනුමාන කල හැකි වුනා. බොහෝ අවස්ථාවල දී මිනිසුන් පක්ෂයට සම්බන්ධ වන්නේ ද්‍රව්‍යමය අවශ්‍යතා පෙරදැරි කරගෙනයි. ඔබ ආන්ඩුවේ වැඩ කරනවා නම්, පක්ෂයට සම්බන්ධ වීම හෝ නො වීම විශාල වෙනසක් ඇති කරන්නේ නැහැ. එහෙත්, ඔබ පක්ෂයේ සාමාජිකයෙක් නම්, ඉහල තානාන්තරවලට ඔබට උසස් විය හැකි යි. පක්ෂයට සම්බන්ධ වීම ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබට උසස් වීම් ලැබෙන්නේ නැහැ.

පීඑස්: සීසීපී සාමාජිකයෙක් ලෙස ඔබ සහභාගි වන ක්‍රියාකාරකම් මොනවා ද? රැස්වීම්? සම්මන්ත්‍රන? සීසීපීයේ සාමාජිකයෙක් වීම මගින් අර්ථවත් වන්නේ කුමක් ද?

එෆ්එච්: බොහෝ විට වැඩපොල රැස්වීම්වලට සහභාගි වීම. නමුත් මේ රැස්වීම්වල දී ඔබට බොහෝ සෙයින් කිරීමට තිබෙන්නේ ඇහුම්කන් දීමයි. වෙනත් ක්‍රියාකාරකම් නැහැ. මේ රැස්වීම්වල දී බොහෝ විට කතා කරන්නේ නායකයන් පමනයි. පක්ෂ මධ්‍යස්ථානයේ දේශපාලන ක්‍රියා මාර්ගයේ සාරාංශය හා අනෙකුත් නායකයන්ගේ උපදෙස් ඔවුන් අපට ඉදිරිපත් කරනවා. සහභාගි වන්නන් අතර සාකච්ඡා නැහැ. මේ ප්‍රශ්න සාකච්ඡාවට ගනු ලබන ඒවා නෙවෙයි. කිසිවෙක් කවරදාක වත් ප්‍රශ්නයක් මතු කර නැහැ. අපි කවදාවත් දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැහැ.

පීඑස්: ඉදින් රැස්වීමේ දී කතා කරන නිලධාරියාගේ තානාන්තරය කුමක් ද? ඒ පලාත් නායකයෙක් ද? ප්‍රාදේශීය නායකයෙක් ද? ඔබේ වැඩපොලේ නායකයා ද? ඔවුන්ව ඡන්දයෙන් තෝරා පත්කර ගන්නවා ද?

එෆ්එච්: මම ඇහුම්කන් දී තිබෙන්නේ මගේ වැඩපොලේ නායකයන් කරන කතාවලට පමනයි. මැතිවරන පවත්වන නමුත් බොහෝ නායකයන් තෝරා ගනු ලබන්නේ නැහැ. බොහෝ විට ඔවුන්ව ඉහල නිලධාරීන් විසින් උසස් කරනවා. ඇත්ත වසයෙන් ම, එසේ උසස් කිරීමට පෙර එම පත් කිරීම පිලිබඳ ව ප්‍රසිද්ධ අදහස් ලබා ගැනීමේ කාලපරිච්ඡේදයක් තිබෙනවා. මූලික ව ගත්තොත්, නායකයන්ව ඉහල නිලධාරීන් විසින් උසස් කර පත් කරනු ලබන අතර, මැතිවරන පැවැත්වෙන්නේ නාමික ව පමනයි.

පීඑස්: මෙය අතිශයින් නිලධාරිවාදී සංවිධානයක් ලෙස ගුනාංගීකරනය කිරීමට මම කැමතියි. ඔබ එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?

එෆ්එච්: සාරාර්ථයෙන් ම එය නිලධාරීවාදය ගැඹුරින් ම පවතින සංවිධානයක්. සියල්ලට පලමු ව කිව යුත්තේ, නිලධරය හුදෙක් අද දින ඉස්මතු වූ එකක් නොවුනු බවයි. අවම වසයෙන් මාඕගේ සමයේ සිට ඔවුන් ඉඳලා තිබෙනවා. මහජන චීන සමූහාන්ඩුව ආරම්භ කිරීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, නිලධාරිවාදය හා දූෂනය වැනි දේවල් ඉවත් කිරීම ගැන මාඕ බොහෝ ලිපි ලීවා. එහෙත් අද වන විටත් නිලධරය සිටිනවා.

පීඑස්: ඔබ හිතන්නේ ඒ ඇයි කියා ද?

එෆ්එච්: මේ රට ආරම්භ කිරීමෙන් පසුව, 1952 දී මාඕ කල්පනා කලේ, නිලධාරී තන්ත්‍රය මහජන-විරෝධී චින්තනයන්ගෙන් හා ක්වෝමින්ටෑනයේ බලපෑමෙහි යම් ඉතුරු පහදු ඇතුලු අතීතයේ ප්‍රතිගාමී පන්තීන්ගේ ආකල්පවලින් ජනනය වූවක් බවයි. නිලධාරී තන්ත්‍රයේ සම්භවය ලෙස මාඕ සිතා සිටියේ මෙයයි. එහෙත්, අද වන විට නිලධාරී තන්ත්‍රයට මුලුමනින් ම නව සමාජ පදනමක් වන පුද්ගලික දේපොල සබඳතා තිබෙනවා. අලුතින් පැනනැගුනු ධනපති පන්තිය වඩ වඩා ශක්තිමත් ව වැඩෙද්දී, පන්ති ප්‍රතිවිරෝධතා ද තියුනු ලෙස වැඩෙනවා.

පීඑස්: විප්ලවයෙන් පසු චීනයේ නිලධාරී තන්ත්‍රයක් ඉස්මතු වීමෙහි මූලයන් රතු හමුදාව තුල තිබුනු අතර, එසේ වීම කම්කරු පන්තියට හා එහි ඕනෑම ව්‍යාපාරයකට හතුරු වුනා. වරප්‍රසාදිත නිලධරයක් ලෙස පැනනැගුනු නිලධාරි තන්ත්‍රය, එහි අවශ්‍යතා ආරක්ෂා කරමින් හුදෙක් කම්කරුවන්ගේ පමනක් නො ව වඩා පලල් ලෙස ගොවි ජනයාගේ ද සහභාගීත්වය මර්දනය කලා. චීනය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමත් සමග සමාජ ආතතිය හා සමාජ ප්‍රතිවිරෝධතාව නිශ්චිත ව ම තීව්‍ර වී ඇතැයි යන්නට මා එකඟ වන අතර ම, නිලධාරී තන්ත්‍රය සෑම විට ම කම්කරු පන්තිය හා මහජනයා මත්තෙහි ලැග සිටි බව කීමට කැමතියි.

එෆ්එච්: කම්කරු පන්තිය සම්බන්ධයෙන් ගත්තොත්, කලින් කාලයේ දී නිලධාරී තන්ත්‍රය ජනසතු දේපොල සබඳතා මත පදනම් වෙමින් එයින් වරප්‍රසාද උකහා ගත්තා. එහෙත්, දේපොල සබඳතාවන් වෙනස් වුනු තැන් පටන්, පුද්ගලික දේපොල සබඳතා යටතේ ඔවුන්ගේ වරප්‍රසාද පවත්වාගෙන යාමට ඔවුන්ට අවශ්‍ය නම්, නිලධාරීකරනයේ මට්ටම ගැඹුරු කල යුතු ව තිබෙනවා.

පීඑස්: ජනාධිපති ෂී යටතේ දේවල් වෙනස් වී ඇතැයි ඔබ සිතනවා ද? මහජනයාට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව අඩු යයි ඔබ සිතනවා ද? දේශපාලන සාකච්ඡාවට ඇත්තේ ඉතා අඩු ඉඩකඩක්ද?

එෆ්එච්: පලමු ව කිව යුත්තේ, නිදහස් භාෂනය පාලනය කිරීම ඇත්ත වසයෙන් ම දැඩි කර ඇති බවයි. දේශපාලන සාකච්ඡා පිලිබඳ ව සලකතොත්, එය පූර්වයෙන් කෙසේ වී දැයි මා නොදන්නා අතර, දැනට වැදගත් ජාතික පිලිවෙත් සාකච්ඡා කරනු ලබන්නේ හා තීරනය කරනු ලබන්නේ නායකයන් කිහිප දෙනෙකු විසින්. මේ කරුනු සම්බන්ධ ව සාමාන්‍ය මහජනයාට දේශපාලනික ව මැදිහත් විය නො හැකියි. ඒ අතරට සාමාන්‍ය පක්ෂ සාමාජිකයනුත් අයත්.

ජනාධිපති ෂී ජිංපිං බෙයිජිංහි ග්‍රේට් හෝල් සභා ශාලාවේ, 2018 මාර්තු (ස්තුතිය: ෂින්හුවා)

 පීඑස්: ජනාධිපති ෂීගේ ස්ථාපනය සහ ඔහු ජනාධිපති හා උප ජනාධිපති ධුර කාල දෙකේ සීමාව ඉවත් කර තිබීම ගැන ඔබ සිතන්නේ කුමක් ද?

එෆ්එච්: ෂී සම්බන්ධයෙන් ගත් කල, ධුර කාල සීමාව ඉවත් කිරීමේ තීරනය අත්‍යවශ්‍ය වූ ලෙස මා දකිනවා. ඉන් අදහස් වන්නේ ඔහුට වෙනත් තීරනයක් ගත හැකි නොවූ බව යි. පොදුවේ ගත් කල, මෙම තීරනය රට ඇතුලත වගේ ම රටින් පිටත තියුනු ගැටුම්වල නිෂ්පාදිතයක් වුනා. ඔහුට මේ පියවර ගැනීමට සිදුවෙලා තිබෙනවා. බලය සඳහා ඔහුට පවතින පුද්ගලික ස්වාර්ථකාමයක ප්‍රතිඵලයක් නො වන මෙය, වර්තමාන වෛෂයික තත්ත්වය යටතේ ගත යුතු ව තිබුනු තීන්දුවක් වුනා. වර්තමාන පද්ධතිය එහි අවසානය කරා ධාවනය වෙමින් පවතින බවටත් මෙය සංඥාවක් විය හැකි යි.

පීඑස්: මම ඉතා ම එකඟයි. විශේෂයෙන් ම බටහිර මාධ්‍යය තුල ෂී සර්ව-බලධාරී චරිතයක් ලෙස පින්තාරු කලත්, පක්ෂය ගැඹුරු අර්බුදයක පවතිද්දී, සමාජය ආන්තික සමාජ ආතතීන් විසින් ග්‍රහනයට ගෙන තිබෙනවා. ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල අපි ගුනාංගීකර ඇති ආකාරයට, ෂී කියන්නේ පක්ෂයේ විවිධ කන්ඩායම් අතර තුලනයක් පවත්වාගෙන යාමට උත්සාහ කරන බොනපාට්වාදී චරිතයක්. පක්ෂය මත් උත්සාහ දරමින් සිටින්නේ විවිධාකාර පන්ති බලවේග අතර තුලනයක් ඇති කිරීමටයි.

එෆ්එච්: මම එකඟයි.

පීඑස්: ෂී පලමුව ජනාධිපති ලෙස පත් වූ අවස්ථාවේ, නිලධාරී තන්ත්‍රයේ සෑම මට්ටමක් තුල ම දූෂනය වැඩී තිබෙන නිසා, යම් ආකාරයක ජනතාවාදී ආයාචනයක් සහිත යෝධ දූෂන-විරෝධී මෙහෙයුමක් ඔහු ආරම්භ කලා. ඔහුගේ ප්‍රතිමල්ලවයන්ට විරුද්ධ ව ඔහු දූෂන-විරෝධී මෙහෙයුම යොදා ගනිමින් සිටිනවා. ඔහුගේ පදවිප්‍රාප්තියට පෙර ඔහුගේ දේශපාලනික ප්‍රතිමල්ලවයා වීමට ඉඩ තිබූ බෝ ෂිලායිට එරෙහි ව පියවර අරගෙන දූෂන චෝදනා මත සිරගත කරනු ලැබුවා. මේ දූෂන-විරෝධී මෙහෙයුම ගැන ඔබ හිතන්නේ කුමක් ද?

එෆ්එච්: මම හිතන්නේ මේ දූෂන-විරෝධී මෙහෙයුම සේවය කරන්නේ කවර පන්තියට ද යන්න පලමුව තේරුම් ගැනීම අවශ්‍ය බවයි. සාරාර්ථයෙන් ගත් කල දූෂන-විරෝධී මෙහෙයුම සේවය කරන්නේ ධනපති පන්තියේ අවශ්‍යතාවන්ටයි. දූෂනය ම ගත් කල, එය ධනපති පන්තිය තුල විශාල අතෘප්තියක් නිර්මානය කර තිබෙනවා. නිලධාරී තන්ත්‍රය තුල පවතින දූෂනය නිසා, පරිපාලන ක්‍රියා දාමයන් කාර්යක්ෂම කිරීමට ධනපතියන්ට අමතර ආයාසයක් දැරීමට සිද්ධ වෙනවා. මූලික ව දූෂන-විරෝධී මෙහෙයුම ධනපති පන්තියේ අවශ්‍යතාවන්ට හා ධනවාදය යටතේ පුද්ගලික දේපොල සබඳතාවන්ට සේවය කරන්නේ මේ නිසයි.

තවත් කාරනයක් වන්නේ, (ෂීට) දේශපාලන තර්ජනයක් වන නිලධාරීන් හා ධනපතියන් සබඳතා වාත්තු කරගැනීමටත් දූෂනය විසින් පහසුකම් සැපයීමයි. ඒ අනුව, ඔහුගේ දූෂන-විරෝධී මෙහෙයුමේ තවත් ඉලක්කයක් වන්නේ එම දේශපාලනික තර්ජන ඉවත් කිරීමයි. නිලධරය ඇතුලත පවතින අභ්‍යන්තර ගැටුම් ද දූෂනය මගින් තීව්ර කරනවා.

අනෙක් අතට, මහජනයා දූෂනය පිලිබඳ ව අතෘප්තියෙන් පසුවෙනවා. කොයි හැටි වුනත්, දූෂන-විරෝධී මෙහෙයුම සතු ව මූලික අරමුනු දෙකක් තිබෙනවා. එකක් නම්, ධනපති පන්තියෙන් පැමිනෙන අතෘප්තිය සමහන් කිරීම යි; අනෙක, පක්ෂය ඇතුලත නිලධරය හා ධනපති පන්තිය අතර සබඳතා බිඳ දැමීම යි. ඇත්ත වසයෙන් ම, එවන් සබඳතා වාත්තු කරනු ලබන්නේ මත්, ධනපති පන්තියේ හා එහි පුද්ගලික දේපොල සබඳතාවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට යි.

පීඑස්: ඔබ කියන ආකාරයට, අවම වසයෙන් සීසීපීයේ වැඩපොල මට්ටමේ දී පවතින්නේ ඉතා අවම දේශපාලන සාකච්ඡාවක්. ඔබ පක්ෂය තුල ගතකර ඇති වසර ගනන ඇතුලත, එම වැඩපොල රැස්වීම්වල දී කිසිවෙක් ප්‍රශ්නයක් ඉස්මතු කිරීම හෝ කරුනු මතු කිරීම සිදු කර නැහැ. එම නිසා, පක්ෂයෙන් පිටත දී මහජනයා දේශපාලනය දැකගන්නේ කෙලෙසින් ද? ඔවුන් ඔවුන්ගේ අදහස් පුද්ගලික ව ප්රකාශ කරනවා ද? දේශපාලනික සාකච්ඡා සඳහා වෙනත් මාවත් තිබෙනවා ද? ඔබට හෝ ඔබ අසා ඇති කවර පුද්ගලයෙකුට හෝ ඔවුන් ආන්ඩුවේ ප්රතිපත්ති පිලිබඳ ව විවේචන මතු කර තිබෙනවා ද?

එෆ්එච්: සාමාන්‍යයෙන්, බොහෝ ජනයා තවමත් දේශපාලනික ව අවදි වී නැහැ. චීනය තුල දී ඔබට දේශපාලන අධ්‍යාපනයක් ලැබෙන්නේ කලාතුරකින්. දේශපාලන ප්‍රපංචයක් සාකච්ඡා කරන්නේ හා විග්‍රහ කරන්නේ කෙසේදැයි මහජනයා තව මත් නො දන්නවා විය හැකි යි. රට තුලත් ඉන් පිටතත් දේශපාලනික කාරනා අවබෝධ කරගැනීමට ඔවුන්ට නොහැකිවා විය හැකියි. පලල් මහජන ස්ථරයන් අතර වර්තමාන තත්ත්වය කෙරෙහි අතෘප්තියක් තිබුනත්, එය නිරවුල් ව ඉදිරිපත් කරගන්නේ කෙසේදැයි ඔවුන් දන්නේ නැහැ.

තවත් කරුනක් වන්නේ පසුගිය දශක කිහිපය පුරාත්, චීනය වෙලඳපොල ආර්ථිකයට හැරීමේ පටන්ගැනීමේ සිටත්, නිල ක්‍රියා මාර්ගය වී ඇත්තේ පුද්ගලයෙක් ආර්ථික සංවර්ධනය ගැන නාභිගත විය යුතු බව යි. ඒ නිසා, මහජනයාගේ අවධානය ද්‍රව්‍යමය අවශ්‍යතා (ලුහුබැඳීමටත්) වඩ වඩා මුදල් උපයන්නේ කෙසේ ද යන්නටත් අපසරනය කරනු ලැබ තිබෙනවා. දේශපාලනික කාචයකින් සමාජය අවබෝධ කරගැනීමට මහජනයා පටන් අරන් නැහැ. එහෙත්, ආර්ථිකය ඛාදනය වෙද්දී, මහජනයාගේ දේශපාලනික අවදි වීම ඉතා වැඩි වේගයක් අත් කරගෙන, ඔවුන් දේශපාලනික ප්‍රශ්න කෙරෙහි උනන්දු වීම ඇරඹෙනු ඇති.

පීඑස්: ට්‍රොට්ස්කි හා ට්‍රොට්ස්කිවාදය කෙරෙහි උනන්දුවක් පලකර තිබෙන නිසා ඔබ සුවිශේෂී පුද්ගලයෙක් විය යුතු යි. ලියොන් ට්‍රොට්ස්කි හා ඔහුගේ ලේඛන පිලිබඳ ව ඔබ උනන්දු වූයේ කවදා ද හා ඇයිදැයි විස්තර කල හැකි ද?

එෆ්එච්: 1925-1927 චීන විප්ලවයේ පරාජය හේතුවෙන් මම ට්‍රොට්ස්කි පිලිබඳ ව ඉගන ගත්තා. සෝවියට් සංගමයේ ඉතිහාසය තුලින් ද මම ට්රොට්ස්කි ගැන ඉගන ගත්තා. ඇත්ත වසයෙන් ම, ඔහුගේ ලේඛන පිලිබඳ මා දැනුවත් වීම හා එම දේවල් ගැන උනන්දුවක් ඇරඹීම තුල යම් අහම්බ ස්වභාවයක් තිබුනත්, එක්තරා මට්ටමකට එය අනිවාර්ය වුනා. මාක්ස්වාදයේ ආරම්භයේ පටන් ම එය බොහෝ විවිධ කන්ඩායම් හා ප්‍රවනතා වර්ධනය කර ඇති බව මම හිතනවා. එහෙත්, මාක්ස්වාදය යනු විද්‍යාවක් හා සත්‍යය නම්, එහි යම් අඛන්ඩතාවක් තිබිය යුතුයි. මාක්ස්ගේ සිට ලෙනින් හා ට්‍රොට්ස්කි දක්වා ඔවුන්ව සම්බන්ධ කරන නොබිඳුනු හුය පටක් දිව යනවා. අනෙක් ප්‍රවනතාවන් සමග සසඳන කල (ට්‍රොට්ස්කිවාදය) මේ හුය පට සම්පූර්නයෙන් ම උරුම කරගත්තා. වෙනත් වචනවලින් කියතොත්, එය (මාක්ස්වාදයේ) විද්‍යාත්මක මූලධර්ම උරුම කර ගත්තා.

මෙහි දී වැදගත් භූමිකාවක් ඉටු කරන්නේ ලෙනින් හා ලෙනින්වාදය යි. උදාහරනයක් ලෙස, මාක්ස්ගේ උපතේ ද්වි-ශත සංවත්සරයේ දී එය අනුස්මරනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය සමුලුවක් කැඳ වූ නමුත්, ලෙනින් අනුස්මරනය කිරීමට ඔවුන් කිසිදාක කිසි ම සිද්ධියක් පවත්වා නැහැ. මෙය පෙන්නුම් කරන්නේ ඔවුන්ට මේ අඛන්ඩතාව නොමැති බව හා මාක්ස්ගේ සිට ලෙනින් දක්වා ඔවුන් ඉදිරියට ගමන් කර නැති බවයි. තව ද මාක්ස්ගේ මුල් කාලීන, ලේඛන අතරින් නොමේරූ ඒවා ඔවුන් අතිශයින් ම ඉදිරියට දමනවා. මේ ආලෝකයෙන් ගත් කල, ට්‍රොට්ස්කිවාදය දක්වා මාක්ස්වාදයේ පරිනාමය අනිවාර්ය බව මම හිතනවා.

පීඑස්: ට්‍රොට්ස්කි පිලිබඳ ව කියවීමට ඔබ ව ප්‍රථමයෙන් පොලඹවන ලද්දේ කුමකින් ද? ඔහුගේ කෘති චීනය තුල තිබෙනවා ද?

එෆ්එච්: මා ඔහුගේ කෘති කියවීම ආරම්භ කලේ අහම්බෙන්. පුස්තකාලය තුල මම ඔහුගේ පොතක් දැක්කා. ඊට කලින් මා ඔහු පිලිබඳ ව අසා තිබුනත්, ඔහුගේ කෘති කියවීම ආරම්භ කලේ මේ පොත දැකීමෙන්. ඔහුගේ පොත් පලල් ලෙස විකිනෙන බවයි මගේ අදහස. කොතරම් මිනිසුන් ගනනක් ඔහුගේ කෘති කියවනවාදැයි මා හරියට ම නො දන්නා නමුත් ඔහුගේ පොත් හොඳින් විකිනෙන බව මම හිතනවා. ඔහුගේ ස්වයං-චරිතාපදානය හා රුසියානු විප්ලවයේ ඉතිහාසය බොහෝ වතාවක් මුද්‍රනය කොට තිබෙනවා.

පීඑස්: ඔබ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගැන දැනගත්තේ කවදා ද?

එෆ්එච්: මතකයේ හැටියට ගිය වසරේ. 2011 තරම් ඈත දී විවිධාකාර ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී සංවිධාන හඳුන්වා දෙමින් චීන භාෂාවෙන් පොතක් පලකරනු ලැබුවා. මේ පොත තුල සෑම සංවිධානයක ම ඉතිහාසය හා ඒවායේ අනුබද්ධ වෙබ් අඩවි  පිලිබඳ ව කෙටියෙන් වාර්තා කරන උපග්‍රන්ථයක් තිබෙනවා. එම නිසා (ලෝසවෙඅ) ගැන විමසා බැලීමට මා කටයුතු කලා. මේ වෙබ් අඩවිය විවෘත කිරීමට [තහනම් වෙබ්අඩවි වෙත පිවිසීමේ] විපීඑන් යන මෘදුකාංගය තිබිය යුතු යි. වීපීඑන් මෘදුකාංගය රහිත ව ඔබට එය විවෘත කරන්න බැහැ.

පීඑස්: හරි, මට වැටහෙනවා. ට්‍රොට්ස්කිවාදය යනු මාක්ස්වාදයේ අඛන්ඩතාව බවට ඔබ කියූ දෙයට පෙරලා පැමිනීමට මම කැමතියි. මා මෙසේ අසන්නම්: මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්රොට්ස්කි හරහා දිවෙන අතිමූලික මූලධර්මය විය හැක්කේ කුමක් ද? ඔබ හඳුනා ගන්නා දේශපාලන මූලධර්මය කුමක් ද?

පිඑස්: පලමු වැන්න පන්ති දිශානතියයි. ඔවුන් නියෝජනය කරන්නේ නිර්ධන පන්තියේ ඓතිහාසික අවශ්‍යතා මිස වෙනත් කිසිදු පන්තියක ඓතිහාසික අවශ්‍යතා නොවේ ය යන කරුනේ දී ඔවුන් සෑම විට ම සුවිශදයි. පලමු කරුන එයයි. දෙ වැන්න පරිපූර්න සමාජ විප්ලවයක් පිලිබඳ ඉදිරි දර්ශනයයි. මේ ඉදිරි දර්ශනය ඔවුන් සියලු දෙනාට කේන්ද්‍රීයයි.

පීඑස්: මම එක දෙයක් පමනක් එකතු කරන්නම්, එනම් මාක්ස්වාදයට අතිමූලික වන දෙයක් ලෙස මම හිතන ජත්‍යන්තරවාදයයි. කොමියුනිස්ට් ප්‍රකාශනය අවසන් වන්නේ ලෝකයේ කම්කරුවන්ට එක්සත් වන ලෙස කරන කැඳවුමක් සමග. මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ට්‍රොට්ස්කි හරහා ජාත්‍යන්තරවාදය දිව යනවා.

එෆ්එච්: මම එකඟයි.

පීඑස්: අතෘප්තියට පත් ව සමාජවාදය දෙසට ආකර්ශනය වන සමහර ජනයා, සැබෑ සමාජවාදයේ යුගය ලෙස මාඕගේ කාලපරිච්ඡේදය දෙස හැරී බලන බව මම දන්නවා. චීනය තුල විවිධාකර නව-මාඕවාදී ප්‍රවනතා තිබෙනවා. එය බටහිර හඳුන්වන්නේ යුතෝපියාව (මනෝරාජ්යය) ලෙස. තවත් සංවිධාන තිබෙනවා. ඔබ ඒවාට ආකර්ශනය නො වූයේ ඇයි?

එෆ්එච්: පලමු ව, එයට හේතුව ධනපති පන්තිය කෙරෙහි ඔවුන්ගේ ආකල්පයයි. ධනපති පන්තියට අධ්‍යාපනය ලබා දීමට දේශප්‍රේමීත්වය යොදා ගැනීම අවශ්‍ය බව ඔවුන් සෑම විට ම කියනවා. මෙම ඉදිරි දර්ශනය මාඕගේ සිට ෂී දක්වා නො වෙනස් ව පවතිනවා. ඔවුන් මෙම ඉදිරි දර්ශනය ගැන දැනුදු කතා කරමින් සිටිනවා. සංගත හා වෙලඳාම ජාතික දේශසීමාවන්ට ගෞරව නොකරතත්, ව්‍යවසායකයන්ට මව් රටක් තිබිය යුතු බව බොහෝ කාලයකට පෙර කල කතාවක දී ෂී පැවසුනා. ව්‍යවසායකයන් අධ්‍යාපනගත කිරීම සඳහා ඔහු තවමත් දේශප්‍රේමය භාවිතා කරනවා. සියල්ලට ඉහලින් මෙය, මාක්ස්ගේ සංකල්පනයන්ට මුලුමනින් විරුද්ධ යි. කම්කරුවන්ට මව් රටක් නැති බව මාක්ස් දැනට මත් කියා තිබෙනවා.

දෙවන හේතුව ඔවුන්ගේ ජාතික‍වාදයයි. ඔවුන් ඔවුන්ගේ වාක්‍ය සෑම විට ම පටන් ගන්නේ “චීන ජාතිය” යන වචනය සමග යි. චීන ජාතිය සතුව යම් සුවිශේෂී වාසියක් තිබෙන බව හෝ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරවල සාමන්‍ය නීතීන්ගෙන් චීනය වෙන් කර තබන සුවිශේෂී කොන්දේසි චීනය සතු ව තිබෙන බව ඔවුන් සිතනවා. මා, මාඕගේ න්‍යායන් ගැන උනන්දු  නොවන්නේ මන්දැයි යන්න මේ කරුනු දෙකෙන් පැහැදිලි වනු ඇතැයි මම සිතනවා. ට්‍රොට්ස්කි ගේ න්‍යායන් වඩා තර්කානුකූල බව ඔබට කිව හැකියි. සත්‍ය වසයෙන් ම ඔහු අපෝහක භෞතිකවාදයේ කෙලපැමිනි අතර මාඕවාදීන් එසේ නැහැ. වෙනත් වචනවලින් කියතොත්, අපි ඔවුන්ගේ න්‍යායන් පැත්තෙන් පැත්ත තබා සංසන්දනය කලහොත්, මා තෝරා ගනු ඇත්තේ ට්‍රොට්ස්කි ගේ න්‍යායන්.

මාඕ සිට ෂී දක්වා දිවෙන තවත් කරුනක් වන්නේ, න්‍යාය කෙරෙහි ඔවුන් සියල්ලන් දක්වන අවඥාවයි. මාඕ ඔහුගේ ම කෘතිවල සඳහන් කලේ ඔහු මාක්ස්ගේ හා ලෙනින්ගේ කෘති කියවන්නේ නැති බවයි. මාක්ස් හා ලෙනින් කියවන්නේ විශේෂඥයන් පමනි. ඔහු ඉන් අදහස් කලේ එම කෘති කියවන්නේ වෘත්තීය බුද්ධිමතුන් පමනක් බවයි. මාඕ බොහෝ සෙයින් කියවූයේ පුරාන චීන ඉතිහාසය පිලිබඳ සම්භාව්‍ය කෘතීන්. එනම්, ඉතිහාස කෘති විසිහතර (Twenty-Four Histories)  නමැති විවිධ රජ පෙලපත් පිලිබඳ ඉතිහාසයයි. මාක්ස්ගේ හා ලෙනින්ගේ කෘති කියවීමෙහි ප්‍රයෝජනයක් නැති බව ඩෙන් ෂියාඕපිං ද කියා තිබුනා. ඔහු කියවා තිබුනේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය හා The ABC of Communism (කොමියුනිස්ට්වාදයේ අ යනු ආ යනු) පමනයි. මාක්ස්ගේ සිට ට්‍රොට්ස්කි දක්වා දිවෙන ස‍ම්ප්‍රදායට මුලුමනින් විපරීත ව න්‍යාය නොවැදගත් බව ඔවුන් සිතනවා. (මාක්ස්ගේ සිට ට්‍රොට්ස්කි දක්වා) කල්පනා කලේ, න්‍යාය අතිශය වැදගත් බවත්, න්‍යායික ගැටලු කෙරෙහි ඔවුන්ගේ ප්‍රවිෂ්ටයේ දී ඒවා අතිශය සුපැහැදිලි බවත්. මාඕගේ සිට ෂී දක්වා කිසිවෙකුට මෙවන් ආකල්පයක් තිබුනේ නැහැ.

ෂී බලයට පත්වීමෙන් අනතුරු ව, මාක්ස්වාදී ලෝක දෘෂ්ටිය ආධානග්‍රාහයක් නොවන බවත් විධි ක්‍රමයක් පිලිබඳ එකක් බවත් යලි යලිත් එංගල්ස්ගෙන් උපුටා දැක්වූවා. ඔහු තමන් මාක්ස්වාදයේ අතිමූලික මූලධර්ම මුලුමනින් ඉවත දමා ඇති බව ආවරනය කිරීම සඳහා පමනක් මෙම වාක්‍ය උපුටා දැක්වූවා. යථාර්ථය කප්පාදු කිරීම සඳහා මාක්ස්වාදය යොදා නො ගත යුතු බවත් ෂී කියා තිබෙනවා. එහෙත් යථාර්ථයේ දී ඔහු කරමින් සිටින්නේ හඳුනාගත නො හැකි මට්ටමකට මාක්ස්වාදය කප්පාදු කිරීම සඳහා ජාතිකවාදය හා අවස්ථාවාදය යොදා ගැනයි. ෂීගේ වර්තමාන න්‍යායන් තුල මාක්ස්වාදයේ ඉඟියක් වත් ඔබට සොයාගත නො හැකි වනු ඇති.

පීඑස්: එය අතිශයින් ම නිවැරදි යි. ඉතිහාසයේ වඩාත් ම යෝධ වෙනස්කම සිදු කිරීමට ජාත්‍යන්තර ව කම්කරු පන්තිය සූදානම් වන්නේ ඉහල ම න්‍යායික වර්ධනය මත පාදක වෙමිනුයි. එය ස්වයං-සිද්ධ ව සිදු වන්නේ නැහැ. මේ වසර ආරම්භයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය “2020: සමාජවාදී විප්ලවයේ දශකය” නමැති ඉදිරි දර්ශනයක් පල කලා. ලොව පුරා පන්ති අරගලයේ පුනර්ජීවනයක් සිදු වෙමින් පවතිනවා. කම්කරු පන්තිය යනු ජාත්‍යන්තර පන්තියක්. සෑම රටක් තුල ම සිදු වෙමින් පවතින දෙය ජාත්‍යන්තර තත්ත්වයේ පිලිබිඹුවක්. චීනය තුල නිශ්චිත රැඩිකලීකරනයක් සිදු වෙමින් පවතින අතර අපි එහි සංඥාවන් දැක ගන්නවා. චීනය තුල සමාජවාදී විප්ලවයේ පෙරනිමිති ගැන ඔබ හිතන්නේ කුමක් ද?

එෆ්එච්: අධිෂ්ටානවත් සමාජවාදියෙක් ලෙස මම හිතන්නේ, (චීනය තුල සමාජවාදී විප්ලවයේ) හැකියාව ගැන මම ඉතා ධනාත්මක හා සුභවාදී බවයි. තව ද මෙම විප්ලවය සාර්ථක විය යුතු නම්, එයට අව්‍යාජ කම්කරු-පන්තික පක්ෂයක් විසින් නායකත්වය දිය යුතුයි. මෙම පදනමින් තොර ව ස්වයං-සිද්ධ නැගිටීම් සිදු විය හැකි නමුත් ඒවාට ජයග්‍රාහී විය නො හැකියි. උදාහරනයක් ලෙස, ඉතිහාසය වර්ධනය වන්නේ හුදෙක් වාසිදායක වර්ධනයක් හැටියට නම්, සමාජවාදී විප්ලවය පිපිරී යාම හා සාර්ථක වීම සිදු විය යුතු ව තිබුනේ සංවර්ධිත බටහිර රටවල් තුලයි. චීනය තුල සමාජවාදී විප්ලවයේ සාර්ථකත්වය වඩා පොලඹවනසුලු වනු ඇතැයි මා විශ්වාස කරනවා. චීනය තුල මහජනයා රැඩිකලීකරනය වෙමින් සිටිනවා. ඔවුන්ගේ චින්තනය වඩ වඩා රැඩිකල් බවට පත්වෙමින් තිබෙනවා. ඒ අනුව, විප්ලවය පැතිරී යන ආකාරය හා එය ලබා ගනු ඇති ස්වරූපය මේ දැන් ම පුරෝකථනය කිරීම අසීරු වුවත්, චීනය ගැන සලකන කල, මහජනයා සත්‍ය වසයෙන් ම රැඩිකල් බවට පත්වෙමින් සිටිනවා.

[මෙම ලිපිය ඔක්තෝබර් 12 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

Loading