සියලු භේද පසෙක තබා කොරෝනා මර්දනයට ආන්ඩුවත් සමග එක්වන ලෙස ජවිපෙ ඉල්ලයි

ජනතා විමුක්ති පෙරමුනේ (ජවි‌පෙ) පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත්, ඔක්තෝබර් 13 වැනි දා පැවති මාධ්‍ය හමුවක දී, සියලු භේද පසෙක තබා කොරෝනා වසංගතය මර්දනයට ඒකාබද්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත.  'මේ ප්‍රශ්නයට ශ්‍රී  ලාංකිකයන් විදිහට, රටක් විදිහට මුහුන දියයුතු' බවත්, 'දේශපාලන  පක්ෂ, ජාතිභේද කිසිම දෙයක් අදාල නැති' බවත්, ඔහු එහි දී සඳහන් කර ඇත. 

හේරත්ගේ මෙම ප්‍රකාශය  බැලූ බැල්මට මහජනයාට කෙරෙන ආයාචනයකි. එහෙත්  වසංගතයට 'රටක් ලෙස මුහුන දීම' යනු රාජපක්ෂ ආන්ඩුව පිටුපස මහජනයා ගාල් කිරීමේ අරමුන ඇති ව කෙරෙන ඉල්ලීමකි. එහි එල්ලය  වන්නේ වසංගතය රටතුල  ව්‍යාප්තවීම සහ ජීවන තත්වයන්ට බරපතල ලෙස පහර වැදීම කෙරෙහි නොසන්සුන්ව සිටින කම්කරු-පීඩිත ජනයා දේශපාලනිකව අවමංගත කොට රාජපක්ෂ ආන්ඩුව පිටුපස පෙලගැස්වීමය.

රාජපක්ෂ ආන්ඩුව සහ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ සෙසු පක්ෂ මෙන් ම, ජවිපෙ  ද කම්කරු-පීඩිත ජනයා තුල පවතින  නොසන්සුන්කම දැවැන්ත සමාජ පිපිරීමක් කරා වර්ධනයවීම කෙරෙහි භීතියට පත්ව සිටි.

වසර මුලදී වසංගතය රට තුල පැතිරීම ආරම්භ වූ විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ එක්සත් ජාතික පක්ෂය (එජාපය) සමග පෙල ගැසුන ජවිපෙ,  වසංගතයෙන් තීව්‍ර   කෙරුන ධනපති පන්ති පාලනයේ අර්බුදයට මුහුන දීම සඳහා 'සර්ව පාක්ෂික' සාකච්ඡාවක් කැඳවන ලෙස රාජපක්ෂ ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. ඉක්බිතිව අගමැති මහින්ද රාජපක්ෂ විසින්   මාර්තු 24  කැඳවන ලද සර්වපාක්ෂික සාකච්ඡාවට පක්ෂයේ නියෝජිතයා ලෙස හේරත්  සහභාගී විය.  

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට  අදහස් දැක් වූ ඔහු  වසංගතයට මුහුන දීම සඳහා 'සර්වපාක්ෂික යාන්ත්‍රනයක්  සකස්කරන 'ලෙස ඉල්ලා සිටි බවත්' ආපදා තත්වයට එරෙහිව සටන් කොට රට බේරා ගැනීම සඳහා සියලු දෙනා ජාති, ආගම්, කුල භේදයකින් තොරව රටක් හා ජාතියක් ලෙස එක්සත් විය යුතු” බවත් සඳහන් කලේ ය. 

මාර්තු 25 වෙනිදා පක්ෂයේ  නායක අනුර දිසානායක රාජ්‍ය යාන්ත්‍රනය සමග සියලු ජනතාවද එක්විය යුතු බව තවදුරටත් අවධාරනය කලේ ය.  “මෙවැනි ව්‍යසනයකට මුහුනදීම රාජ්‍ය යාන්ත්‍රනයකට පමනක් තනිව කල හැකි දෙයක් නොවෙයි. ...දේශපාලන ව්‍යාපාර, ස්වේච්ඡා සංවිධානවලට තනි තනි පුද්ගලයන්ට පොදුවේ මහජනතාවට සාමූහික ප්‍රයත්නයක් කල යුතුව තිබෙනවා.” යයි එහිදී සඳහන් කල ඔහු: “පමාවී හෝ අද රාජ්‍ය යාන්ත්‍රනයත් ප්‍රශස්ත මට්ටමකින් තීන්දු තීරන ගනිමින් සිටිනවා” යැයි ඔහු පැවසීය.

රාජපක්ෂ ආන්ඩුවේ සහ සමස්තයක් ලෙස ධනපති පාලක පන්තියේ ආර්ථික දේශපාලන අර්බුදය කොවිඩ් වසංගතයෙන් වඩාත් ගැඹුරු වී ඇත. රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන අතෘප්තිය සහ පලල් සමාජ අරගල පුපුරායාම සංඥා කරමින් කම්කරු පන්තියේ අරගල මතුවෙමින් ඇත. වෘත්තීය සමිතිවල මගහැරීම් සහ කඩාකප්පල් කිරීම් තිබියදීම  වැටුප් කප්පාදුව හා ප්‍රමානවත් තරම් සෞඛ්‍යාරක්ෂක පහසුකම් නොසැපයීමට  විරුද්ධව සෞඛ්‍ය, තැපැල් ඇතුලු  රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ ද,  වැඩවෙගවත් කිරීමට සහ වැටුප් කප්පාදුවට එරෙහිව වතු හා නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ගේ ද අරගල මාලාවක් පසුගිය දිනවල පැන නැගුනි. 

රාජපක්ෂ ආන්ඩුව මෙම තත්වයට ප්‍රතිචාර දක්වන්නේ, මිලිටරීකරනය හා ව්‍යවස්ථා සංශෝධනය හරහා අසීමිත විධායක බලතල සංකේන්දුනය  කරගනිමින් ජනාධිපති ආඥාදායක පාලනයක් කරා මාරුවීම කඩිනම් කිරීම තුලිනි. ජවිපෙ සියලු භේද පසෙක ලා වසංගතයෙන්  'රටබේරා  ගැනීම' සඳහා ආන්ඩුව සමග පෙලගැසෙන ලෙස ඉල්ලීමේ අරමුන, රාජපක්ෂ ආන්ඩුව විසින් සූදානම් කරනු ලබන ආඥාදායක පාලනයට කම්කරු-පීඩිත මහජනතාව යටත් කිරීමය.

සියලු භේද පසෙක ලා එකතුවිය යුතු බවට හේරත් කරන ඉල්ලීමේ සැබෑ අර්ථය වන්නේ ධනපති පන්තිය සහ එය විසින් සූරාකනු ලබන  කම්කරු පන්තිය අතර පන්ති භේදය නොතකා හැරිය යුතු බවය.  එමෙන් ම, ධනපති පන්තිය සහ එය විසින් පීඩාවට පත්කරනු ලබන බහුතර දුගී ජනතාව ද අතර පවත්නා පන්තිමය වෙනස අමතක කල යුතුය.

එහෙත් රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් කොරෝනා වසංගතය සහ ඉන් තීව්‍ර කෙරී ඇති සමාජ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නේ  ඊට හාත් පසින් ම වෙනස් පන්ති මානයකිනි. වසංගතය පාලනයට හා ආසාදිතයන්ට ප්‍රතිකාර  කිරීමට  අවශ්‍ය  සෞඛ්‍ය  පහසුකම් සඳහා ප්‍රමානවත්  තරම් මූල්‍ය  ප්‍රතිපදාන  සම්පාදනය නොකරන රාජපක්ෂ ආන්ඩුව ධනපති මහ ව්‍යාපාරිකය  සඳහා බිලියන ගනනින් මූල්‍ය  පහසුකම්  සපයයි. දැනට ඒ සඳහා අනුමත කර ඇති මුදල රුපියල් බිලියන 178 කි. එහෙත් සෞඛ්‍ය  අමාත්‍යංශය  සඳහා මෙවර අයවැයෙන් වෙන්  කෙරෙන්නේ බිලියන 76 ක් පමනි. 

ධනපතියන් ලාබ පොදිගසා ගන්න අතර කම්කරුවන් වසංගතයෙන් 'රටබේරා' ගැනීම සඳහා රැකියා හා වැටුප් කප්පාදුව, වැඩ වේගවත් කිරීම, වැඩ කාලය දීර්ඝ කිරීම පිලිගත යුතුය. පුද්ගලික අංශයේ සෙසු වෘත්තීය සමිති සමග එක්ව ආන්ඩුවෙන් පිහිටුවා ඇති  කාර්ය සාධක  බලකායට ගාල් වී සිටින  ජවිපෙ විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ මෙම කප්පාදු පිලිවෙත් වලට නොමඳ ව සහය දෙයි.

ජවිපෙ විසින් මෙම පන්ති වෙනස්කම් අකාමකා දැමීම අහම්බයක් හෝ විශ්මයට කාරනයක්  නොවේ. එය ධනේශ්වර  දේශපාලන සංස්ථාපිතයට තදින් බද්ධ වූ ධනපති පක්ෂයකි. ශ්‍රීලනිප  හා එජාප සමග සන්ධාන ගත වූ ජවිපෙ එම  ආන්ඩු විසින් ක්‍රියාවට දැමූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත්  වලට සහය දුන්නේය. අනුර කුමාර දිසානායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන විසින් 2015 ස්ථාපිත  කරන ලද 'ජාතික විධායක සභාවට' සහභාගිවිය.   කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ජාතිභේද නොතකා රාජපක්ෂ ආන්ඩුව සමග පෙල  ගැසෙන ලෙස ඉල්ලා සිටින ජවිපෙ, කම්කරු පංතිය බෙදීම සදහා දෙමල ජනයාට එරෙහිව ගෙනගිය වාර්ගික යුද්ධයට දේශපාලනිකව හා ප්‍රායෝගිකව  සහයෝගය දුන් පෙරමුනු පක්ෂයකි.

වසංගතය සමාජ ගතවීම වසන් කිරීමට හා මහජනයා  ව්‍යාකුල  කිරීම  සඳහා ආන්ඩුව සහ ධනපති මාධ්‍ය  ජාලය ගෙන යන ප්‍රචාරයට ජවිපෙ  උඩගෙඩි දෙයි:   'ඉන්දියාවෙන් පැමිනි සේවක සේවිකාවන් හරහා මේ වෛරසය පැමිනියාද නැත්නම් ලංකාව තුලම තිබිලා බ්‍රැන්ඩික්ස් ආයතනය තුලින්  හෙලිවුනා ද කියන ප්‍රශ්නය  තවම විසඳුනේ නැති' බව හේරත් පවසා ඇත.

මෙය වසංගතයේ ගෝලීය ස්වභාවය වසන්කොට රට තුල එහි ව්‍යාප්තිය  හුදෙක් 'බ්‍රැන්ඩික්ස් පොකුරකට' සිඳුවීමේ ආන්ඩුවේ ප්‍රචාරය  සමග පෙල ගැසීමකි. වසංගතයේ ව්‍යාප්තිය  ඒ හෝ මේ පොකුර සම්බන්ධ කාරනාවක් නොවේ. එය පෘථිවී  ගෝලය පුරා සැරිසරයි. ජාතික දේශ සීමා අදාල නොවේ. 

ශ්‍රී  ලංකාව කොදෙව්වක් වූ පමනින් කොරෝනා වෛරසයට  ජාතිකවාදී වැටකඩොලු බැඳීමට නොහැකිය. මේ  වනවිට ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 40 ක් ඉක්මවා ඇති අතර මිලියනයකට වඩා මියගොස් ඇත. ශ්‍රී  ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව  6000 ට ආසන්න වෙමින් පවතින අතර සක්‍රිය ආසාදිතයන් ගනන 2000 ට  වැඩිය.

'දෙවැනි රැල්ල මතුවෙන්න හේතු වුනේ ආන්ඩුවේ  දැනුවත් කිරීම අත්හැරීම සහ මහජනතාව තුල  අධිතක්සේරුවක් ඇතිවීමට හේතුවන ප්‍රචාරනයක්  කිරීම නිසා' යයි ඔහු තවදුරටත් සඳහන් කර ඇත.  එහෙත් රාජපක්ෂ ආන්ඩුව එසේ කලේ සහ කරන්නේ කුමක් නිසා දැයි හේරත් විස්තර කර නැත. වඩා නිවැරිදිව  කිවහොත් ආන්ඩුවේ නොතැකීම හා වසංගතය පාලනය කල බවට කෙරුන ප්‍රචාරනයන් පිටුපසින්  පවතින ආර්ථික දේශපාලන  පිලිවෙත ඔහු සඟවයි. 

එය ධනේශ්වර ලාබ  පද්ධතියේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අධිරාජ්‍යවාදී සහ ධනපති  පන්තීන් විසින් ක්‍රියාවට දමන, කම්කරුවන් බලහත්කාරයෙන් 'ආපසු වැඩට' තල්ලු කිරීමේ ධනවාදී  ගෝලීය පිලිවෙතේ කොටසකි. කොරෝනා වසංගතය ශ්‍රී  ලංකාව තුල 'සාර්ථක' ලෙස පාලනය කර ඇතැයි යන මුලුමනින් ම සාවද්‍ය  වූ ප්‍රකාශයන්  හරහා රාජපක්ෂ ආන්ඩුව විසින් 'ආර්ථිකය යලි විවෘත' කලේ ය.  

ධනපති පාලක පන්තීන්ගේ එම පිලිවෙත පාදක වී ඇත්තේ 'නව සාමාන්‍යය' එනම් වසංගතයත් සමග ජීවත්වීම සහ 'රංචු ප්‍රතිශක්තිය' -බහුතරයකට වෛරසය ආසාදනය වීමෙන් සමාජයීය වසයෙන් කායික ප්‍රතිශක්තියක්  ඇතිවෙතැයි- යන අවිද්‍යාත්මක  සහ ප්‍රතිගාමී  සංකල්ප මතය. එක්සත් ජනපදයේ දක්ෂිනාංශික බුද්ධි සංසදයක් වන ආර්ථික පර්යේෂන පිලිබඳ ඇමරිකානු ආයතනය විසින් ඔක්තෝබර් 4 වෙනිදා නිකුත් කල ග්‍රේට් බැරින්ග්ටන් ප්‍රකාශය මගින් දැන් 'රංචු ප්‍රතිශක්තිය' ධනවාදයේ නිල ගෝලීය පිලිවෙත බවට පත්කර තිබේ.

ජවිපෙ ඇතුලු විපක්ෂයේ සියලු පක්ෂ, ව්‍යාජ වාම පක්ෂ වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂය සහ සියලු වෘත්තීය සමිති ගැලතී සිටින්නේ ගෝලීය ධනවාදයේ මෙම ප්‍රතිගාමී පිලිවෙත්  සමගය. කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් වේවා, රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පාලක පන්තියේ ආර්ථික දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් වේවා කම්කරු පන්තියට ධනපති පන්තියත් සමග කිසිදු පන්ති සම්මුතියක්  තිබිය නොහැකිය.

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම හෝ කම්කරු-පීඩිත මහජනතාව මුහුනදෙන අනෙකුත් සමාජ-ආර්ථික ප්‍රශ්න විසඳිය හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ශ්‍රී  ලංකාවේ ධනපති පන්ති පාලනය අහෝසිකොට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා සටන් කිරීමෙන් පමනි.  

Loading