රාජපක්ෂගේ “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත්වලට එරෙහි ව ශ්‍රී ලංකාවේ කම්කරුවන්, ගම්බද දුගීන් සමග එක් ව සටන් කල යුතුයි

අනෙක් රටවල් වලට වෙනස් ලෙස, මෙම දූපත් ජාතිය, අද්විතීය ආකාරයෙන්, කොවිඩ්-19 “පාලනය” කිරීමට සමත් වූ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කරන ලද ව්‍යාජ කියාපෑම් පුපුරුවා හරිමින්, කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාව පුරා වේගයෙන් ඉහල යමින් පවතී. 

ඔක්තෝබර් 21 වැනි දා වන විට, ඉන් පෙර ගත වූ දෙ සතිය තුල, සක්‍රිය රෝගීන් ගනන 131 සිට 2,406 දක්වා නගිමින්, වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාව 5,902 තෙක් වේගයෙන් වැඩි වී ඇත. එහෙත්, මෙම නිල සංඛ්‍යා ලේඛන තව මත් සැබෑ සංඛ්‍යාවන්ට වඩා අඩු වන්නේ, රාජපක්ෂ ආන්ඩුව කම්හල් සහ අනෙකුත් ප්‍රදේශවල අහඹු පරීක්ෂන පමනක් සිදු කිරීමට නියෝග කර තිබීම හේතුවෙනි.

නව ආසාදිතයන්ගෙන් බොහොමයක් කම්හල් කම්කරුවන් අතරින් වාර්තා වී ඇතත්, ගම්මාන දුසිම් ගනනක් හුදකලා කොට ඒවායේ වැසියන් ගමන් බිමන් යාමෙන් වලක්වා තිබෙන්නේ, බොහෝ ආසාදිතයන් සොයා ගනිමින් පවතින බැවිනි. විශාල හා කුඩා කම්හල් 6,845 ක් පිහිටා තිබෙන සහ ජනගහනය අතින් රටෙහි දෙවන විශාලත ම දිස්ත්‍රික්කය වන ගම්පහ, මුලුමනින් ම අගුලු දමා ඇත.

කොලඹ දී දුම්රියකට නැගීමට පෙර කම්කරුවෙකු පරීක්ෂා කරන සොල්දාදුවෝ (ස්තුතිය: ලෝසවෙඅ)

 

මේ වසර මුල දී වසංගතය ගෝලීය ව පැතිරී යමින්, ජනවාරි මස අග දී රටට පලමු වරට බලපෑ විට, ආන්ඩුව කොවිඩ්-19 මැඬීමේ බරපතල පියවරයන් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කල බැවින්, සැබෑ තත්ත්වය මුල සිට ම වහංගු කෙරෙමින් පවතී .

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවක කම්කරුවන් සිය ගනනක්, තමන් අසනීප වී ඇතැයි පැමිනිලි කිරීමෙන් අනතුරු ව, මෑත සිදු වූ ආසාදන පිලිබඳ තොරතුරු ඉස්මතු විය. බ්‍රැන්ඩික්ස් යනු දිවයිනේ කම්හල් බොහොමයක් පවත්වාගෙන යන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ඇඟලුම් නිෂ්පාදන ආයතනයකි. වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන තෙක් වැඩ කිරීම ප්‍රතික්ෂේප කල එක් සේවිකාවක රෝහලක දී පරීක්ෂනයට බඳුන් කරන ලදුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සොයා ගැනුනි.

කම්කරුවන් අතර වැඩුනු කෝපයට මුහුන දුන් සෞඛ්‍ය බලධාරීන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සියලු සේවකයන් පරීක්ෂනයට බඳුන් කල අතර, එහි දී 1,400ක් වන එම කම්හලේ ශ්‍රම බලකායෙන් අවම වසයෙන් 1,200 දෙනෙකුට හා ඔවුන් ඇසුරු කල සිය ගනනකට රෝගය ආසාදනය වී ඇති බව සොයා ගන්නා ලදී.

නිදහස් වෙලඳ කලාප (නිවෙක) කම්කරුවන් අතර වැඩෙන ආතතීන් මධ්‍යයේ, සෞඛ්‍ය බලධාරීන් සඳුදා වන විට අහඹු පරීක්ෂන 15,000ක් සිදු කොට තවත් ආසාදන 224ක් සොයාගෙන තිබුනි. නිවෙක 16හි පිහිටි කම්හල් ද ඇතුලත් ආයෝජන මන්ඩලයට අයත් සමාගම්වල කම්කරුවෝ මිලියනයක් පමන සේවයේ නිරත වෙති.

මෙම සිද්ධීන් හෙලිදරව් කරන්නේ, ප්‍රමානවත් සෞඛ්‍ය හා ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කිරීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමේ නිර්දය සහ සාපරාධී ස්වභාවය යි. කටුනායක නිවෙක සමාගම්වල නියෝජිතයින් සමග පසුගිය සතියේ පැවති සාකච්ඡාවක දී කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ, “රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගෙන යමින්, සෞඛ්‍ය ආරක්ෂන විධික්‍රම සහිත ව කර්මාන්තශාලා පවත්වාගෙන යාම” ආන්ඩුවේ පිලිවෙත බවයි.

අගුලු දමා ඇති ප්‍රදේශවල කම්කරුවන්ට ඔවුන්ගේ සේවක හැඳුනුම්පත් ඇඳිරි නීති බලපත්‍ර ලෙස භාවිතා කරමින් වැඩට යා හැකි බව අවධාරනය කරමින්, කොවිඩ්-19 ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ (එන්ඕසීපීසීඕ) ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මෙය ප්‍රතිරාවය කලේ ය.

කොවිඩ්-19 වසංගතයට ආන්ඩුවේ අප්‍රකාශිත ප්‍රතිචාරය වන්නේ, පාලනයකින් තොර ව වෛරසයට පැතිර යාමට ඉඩදුන හොත්, අවසානයේ දී ආසාදනය වීමට පුද්ගලයන් නොමැති තත්වයට පත්වනු ඇතැ යි යන ව්‍යාජ කියාපෑම හෙවත්, “රංචු ප්‍රතිශක්තිය යි.” එහෙත්, මෑත දී අනතුරු ඇඟ වූ ඇක්සෙස් හෙල්ත් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති හා විද්‍යාඥ විලියම් හැසෙල්ටයින් කියා සිටියේ, “රංචු ප්‍රතිශක්තිය යනු ජන සංහාරය සඳහා තවත් වචනයක්” බව යි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා අනෙකුත් අය විසින් අනුගමනය කරන ඊනියා රංචු ප්‍රතිශක්තිය, ව්‍යසනයක් නිපදවා ඇත. ගෝලීය ව, කොවිඩ්-19 ආසාදිතයන් ගනන මිලියන 40 ඉක්මවා ඇති අතර, මරන සංඛ්‍යාව සඳුදා මිලියනය ඉක්මවා ගියේ ය. වසංගතයට මුහුන දීමට ඉන්දියානු ආන්ඩුව පත් කල කමිටුවේ සාමාජිකයෙකු වන මහාචාර්ය මනින්ද්‍ර අග්‍රවාල්, පෙබරවාරි මාසය වන විට ඉන්දියාවේ බිලියන 1.3 ක් වන ජනයාගෙන් අඩකට රෝගය ආසාදනය වනු ඇති බවට අනතුරු ඇඟවී ය.

අගුලු දැමීමේ පියවර ගැනීමට මාර්තු 20 වැනි දා තෙක් බලා සිටි රාජපක්ෂ ආන්ඩුව, අප්‍රේල් අග වන විට මහ ව්‍යාපාරිකයේ ඉල්ලීම්වලට ප්‍රතික්‍රියා දක්වමින්, ආර්ථිකය යලි විවෘත කිරීමට නියෝග කලේ ය.

කොලඹ ආන්ඩුව කොවිඩ්-19ට දැක්වූ ප්‍රතිචාරය මුල පටන් ම මිලිටරිවාදී ස්වභාවයක් ගත් අතර, වෛද්‍ය විශේෂඥයන්ගේ භූමිකාවට වල කපමින් යුද හමුදාපති සිල්වා එන්ඕසීපීසීඕවේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.

ආන්ඩුවේ පිලිවෙත විවේචනය කල එක් තැනැත්තෙකු දැනට මත් නිහඬ කරන ඇත. ආසාදනවල නව ඉහල යාම, කොවිඩ්-19 වෛරසය පසුගිය මාස කිහිපය තිස්සේ ප්‍රජාව තුල පැවතී ඇති බවට ඉඟි කරන්නේ යයි, වෛද්‍ය පර්යේෂන ආයතනයේ (එම්ආර්අයි) අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බන්ඩාර මාධ්‍යයට පැවසී ය. ඔහුව ක්ෂනික ව තනතුරින් ඉවත් කොට එම තනතුරට වෙනත් අයෙකු පත්කෙරුනි.

මාර්තු-අප්‍රේල් අගුලු දැමීමට පෙර, එම සමයේ හා ඉන් පසුව, වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නො තකා හැර ඇති රාජපක්ෂ ආන්ඩුව, ප්‍රමානවත් සෞඛ්‍යාරක්ෂන අරමුදල් සම්පාදනය කිරීම හා දශක ගනනක් පුරා ගරා වැටෙමින් පවත්නා සෞඛ්‍ය අංශය පිරියම් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ වෙනුවට රාජපක්ෂ රටෙහි මහ බැංකුවට නියෝග කලේ, වානිජ බැංකු හරහා සමාගම්වලට රුපියල් බිලියන 150ක් සම්පාදනය කරන ලෙසයි. මෙම අරමුදල්වලින් බොහෝ සෙයින් ප්‍රතිලාභ ලද්දේ මහ ව්‍යාපාරිකයයි. රුපියල් බිලියන 178ක් පමන වියදම් කර ඇති බවටත්, තවත් මුදල් නිදහස් කිරීමට සූදානම් බවටත්, මහ බැංකුව පසුගිය සතියේ කයිවාරු ගැසුවේ ය.

දෙගිඩියාවකින් තොර ව තව තවත් විදේශ නය ලබා ගනිමින් සිටින රාජපක්ෂ ආන්ඩුව, යෝධ විදේශ නය වාරික -මේ වසරේ දී එය ඩොලර් බිලියන 4.5කි- ජාත්‍යන්තර බැංකුවලට ගෙවමින් සිටී. ලබන වසර සඳහා එය සෞඛ්‍ය අංශයට වෙන් කර ඇති ප්‍රතිපාදනය රුපියල් බිලියන 159ක් පමනි. කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කිරීම සඳහා, ආරක්ෂක හා “අභ්‍යන්තර ආරක්ෂක” අංශවලට, එලඹෙන වසර සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන රුපියල් බිලියන 500 ඉක්මවනු ඇත.

කොලඹ ආන්ඩුවේ ප්‍රධාන උත්සුකය, මහ ව්‍යාපාරිකයේ ලාබ ආරක්ෂා කිරීම හා ජාත්‍යන්තර බැංකුවලට එහි කැපවීම් සපුරා ලීමයි. නමුත්, එසේ කරන්නේ කවර පිරිවැයකින් ද? 

අප්‍රේල් මාසයේ යලි විවෘත කිරීම්වලට අවසර දෙන විට, අවම කම්කරුවන් සංඛ්‍යාව පමනක් සේවයට යලි කැඳවන ලෙස ජනාධිපති රාජපක්ෂ නියෝග කලේ, විශාල පරිමානයෙන් රැකියා හා වැටුප් කප්පාදුවට සහ වැඩ පැය ගනන් දීර්ඝ කිරීමට ඉඩ ලබා දෙමිනි.

අගුලු දැමූ සමයේ, සංක්‍රමනික කම්කරුවන් ආපසු පැමිනීම ද ආන්ඩුව විසින් වැලැක් වූ අතර, එම කම්කරුවන්ගෙන් බහුතරය සේවය කරන්නේ මැද පෙරදිග ය. පසුව කම්කරුවන් සීමිත  ගනනකට ආපසු පැමිනීමට අවසර දුන්න ද දැන් ඔවුන් යලිත් වලකනු ලැබ ඇත. දැන් මෙම කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙකු කුසගින්නේ සිටිද්දී, දුසිම් කිහිපයක් කොවිඩ්-19 හේතුවෙන් මිය ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව, අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්හි මිල ඉහල යාමකට දැන් මුහුන දෙති. උදාහරනයක් ලෙස, ආහාර උද්ධමනය සැප්තැම්බරයේ දී සියයට 11.5 තෙක් නැගුනි. දුගී ගොවීන්ට ආන්ඩුවේ සාමාන්‍ය සහනාධාර නො ලැබෙන අතර, නිෂ්පාදන පිරිවැය ඉහල යමින් පවතී.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කම්කරුවෙකු හෝ ගම්බද දුගියෙකු සම්බන්ධයෙන් ගත්කල, විය නොහැකි අන්දමේ පහල අගයක් වන ඩොලර් 3.50 ක දෛනික ආදායමට සාපේක්ෂ ව මනින ලදුව, පසුගිය වසරේ සියයට 8.5ක් වූ දරිද්‍රතාව දැන් සියයට 13.5 දක්වා ඉහල ගොස් ඇතැයි ලෝක බැංකුව සැප්තැම්බර් 30 වැනි දා වාර්තා කලේ ය. 

ආන්ඩුවේ මූලික කාර්යය වන්නේ, කම්කරුවන්ගේ හා දුගීන්ගේ යහපත සැලසීම නො ව, එහි ප්‍රතිගාමී පිලිවෙත්වලට එරෙහි කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ අනිවාර්ය දේශපාලනික පිපිරීම් මර්දනය කිරීම පිනිස ආඥාදායක පාලන තන්ත්‍රයක් තහවුරු කර ගැනීමයි. ජනාධිපතිට පුලුල් බලතල ලබා දෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනයක් දැන් පාර්ලිමේන්තුව තුල “විවාදයට” ගනිමින් සිටී. 

ජාතික සමගි ජන බලවේගය (ජාසජබ), දෙමල ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුන ඇතුලු ශ්‍රී ලංකාවේ සියලු විරුද්ධ පක්ෂ, වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුව ගෙන ඇති පියවරයන්ට අනුමැතිය දී තිබේ. ජාසජබ 20 වැනි සංශෝධනයට දැක්වූ ව්‍යාජ විරෝධතා, වෛරසය හුවා දක්වමින් අවලංගු කලේ ය.

ව්‍යවස්ථාමය වෙනස්කම් පිලිබඳ විවාදය කල් දමන ලෙස ඉල්ලමින් ධනපති පක්ෂ බියගුලු ලෙස ආන්ඩුවට ආයාචනා කර ඇතත්, එහි ඒකාධිපති පාලන ක්‍රම වලට හෝ පරිපාලනය මිලිටරීකරනය කිරීමට ඔවුන් විරුද්ධ වී නැත.

වසංගතය සමයේ “ආර්ථික පවත්වාගෙන යන්නේ කෙසේදැයි බරපතල ව සැලකිල්ලට ගන්නා” ලෙස ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ආන්ඩුවට උපදෙස් දී ඇත. “පවතින වෙනස් කම් නො තකා” කොවිඩ්-19 සමග සටන් කිරීමට අගමැතිට සහයෝගය පුද කරමින් පෙසප මේ වසර මුල දී ඔහුට ලීවේ ය.

ව්‍යාජ-වමේ පිටුබලය ලබන වෘත්තීය සමිති, ජාතික ආර්ථිකය පවත්වාගෙන යාමේ නාමයෙන් “ආපසු වැඩට දැක්කීමේ” පිලිවෙත්වලට සහයෝගය දෙමින්, ආන්ඩුව හා මහ ව්‍යාපාරිකය සමග වඩා විවෘත ලෙස පෙල ගැසි ඇත.

නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ නායක ඇන්ටන් මාකස් මාධ්‍යයට මෙසේ කීවේ ය: “(වර්තමාන අර්බුදය තුල) සුදුසු විසඳුම වන්නේ, සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරමින් නිෂ්පාදන ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම යි.” මෙය වනාහි සමාගම්වල භාෂාවයි.

වෘත්තීය සමිතිවල හා ව්‍යාජ-වමේ ද්‍රෝහී භූමිකාවට එරෙහි ව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) රාජපක්ෂ ආන්ඩුවේ මිනීමරු න්‍යාය පත්‍රයට විරුද්ධ ව සටන් කිරීමට පහත දැක්වෙන පිලිවෙත් ඉදිරිපත් කරයි.

  • සියලු සෞඛ්‍ය කම්කරුවන්ට ඉහල ගුනාත්මකභාවයෙන් යුත් ආරක්ෂක උපකරන සම්පාදනය කිරීම ඇතුලු ව සෞඛ්‍ය යටිතල පහසුකම් සම්පූර්නයෙන් වැඩි දියුනු කිරීමට වහා අරමුදල් වෙන් කිරීම.
  • අතිශය සෞඛ්‍යාරක්ෂිත කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය හා ආහාර නිෂ්පාදන පමනක් පවත්වාගෙන යාම. අනෙකුත් සියලු කම්කරුවන්ට, රැකියා අහිමි නො කර සම්පූර්න වැටුප් සහිත නිවාඩු ලබා දීම.
  • ස්වයං-රැකියාවල නිරත වන්නන්, දුගී ගොවීන් හා ධීවරයන් ඇතුලු අවිධිමත් අංශයේ සියල්ලන්ට ප්‍රමානවත් හා කොන්දේසි විරහිත මූල්‍යමය අනුග්‍රහය සම්පාදනය කිරීම.

සියලු කම්කරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සඳහා සටන් කිරීමටත්, ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමටත්, කම්කරුවන් තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය. මෙම ක්‍රියාකාරී කමිටු ගම්බද දුගීන් වෙත ලඟා වී ඔවුන් තම සටනට එක්කර ගත යුතු ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කර ඇති පරිදි, කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන මූලික ව ම වෛද්‍යමය ප්‍රශ්නයක් නො වන අතර, එය, වසංගතයට ජාතිකවාදී විසඳුමක් නැතැ යි යන අවබෝධය මත පදනම් වන දේශපාලනික අරගලයකි.

මෙම ඉල්ලීම්වලට ආමන්ත්‍රනය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන ගෝලීය ධනවාදයට එරෙහි සම්මුති විරහිත අරගලයක් හරහා පමනි. වසංගතය පුපුරා ගිය තැන් පටන් ම, මෙම ක්‍රියා මාර්ගය සඳහා වන සටන සසප විසින් ගැඹුරු කර ඇත්තේ කම්කරුවන් වාර්ගික රේඛා හරහා එක්සත් කරමිනි.

මෙම අරගලයට කේන්ද්‍රීය වන්නේ, බැංකු, විශාල වතු හා මහ ව්‍යාපාර කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරමින් සියලු විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටන යි. දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා කරන සටන සමග මෙම ඉදිරි දර්ශනය බැඳී ඇත.

මෙම ක්‍රියා මාර්ගය සඳහා සටන් වදින එක ම පක්ෂය වන සසපට බැඳෙන ලෙස අපි ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු. ඔක්තෝබර් 28 වන බදාදා රාත්‍රී 7.00 ට පැවැත්වෙන අපගේ අන්තර්ජාල ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන්න. 

[මෙම ප්‍රකාශය ඔක්තෝබර් 22 දින ඉංග්‍රීසි භාෂාවෙන් ද පල විය.]

Loading