ජනාධිපති රාජපක්ෂගේ කඩිනම් නිවාස ව්‍යාපෘතිය: කම්කරු-පීඩිත මහජනතාවගේ ඇස්වලට වැලි ගැසීමක්

පසුගිය 11වෙනි දා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිකිරීම් ක්ෂේත්‍ර දහයක ප්‍රමුඛ නිලධාරීන් ජනාධිපති මන්දිරයට කැඳවා, කඩිනම් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස නියෝග කලේ ය. ඉදිරි තෙ වසර තුල මධ්‍යම පන්තික නිවාස 15,000 ක් ද අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 36,884 ක් ද, සිවු වසරක් තුල ඉදි කිරීමට නියමිත බව කියමින් රාජපක්ෂ එහි දී කල පම්පෝරි කතා මාධ්‍යයන්හි අතොරක් නැතිව ප්‍රචාරය විය.

පලමු අදියර යටතේ පෑලියගොඩ, කොලොන්නාව, බ්ලූමැන්ඩල්, කොට්ටාව-මාකුඹුර, කොට්ටාව-පලතුරුවත්ත, බොරලැස්ගමුව, මාලඹේ, මහනුවර-ගැටඹේ සහ අනුරාධපුර නගරය කේන්ද්‍රකර ගනිමින්, එම ඉදිකිරීම් අරඹන බවට විස්තර කෙරුනි. එ මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට, වසර 30ක සහන කාලයක් යටතේ, අඩු පොලී අනුපාතයකට නය සැපයීමට වානිජ බැංකු දායක කරගෙන ඇති බව ද සඳහන් විය.

ලොව අන් ධනපති පාලකයන් මෙන් රාජපක්ෂ ද, මහ ව්‍යාපාරිකයන්ගේ ලාභෝත්පාදනය අඛන්ඩව ඉදිරියට ගෙන යාම සඳහා, කොරෝනා වසංගතය මධ්‍යයේ ම ආර්ථිකය විවෘතකොට කම්කරුවන් ව්‍යසනකාරී ලෙස වැඩට දැක්කුවේ ය. කෙසේ නමුත්, වසංගතයෙන් ආරක්ෂා වනු වස්, රාජ්‍ය සහ පුද්ගලික අංශයන්හි ගොඩනැගිලි කම්කරුවන් මෙතෙකුදු සේවයට වාර්තා කරන්නේ ඉතා මඳ වසයෙනි. රාජ්‍ය ක්ෂේත්‍රය තුල ගනුලබන ආරම්භකත්වයක් එම කම්කරුවන් යලි වැඩට කැඳවා ගැනීමේ උත්තේජකයක් වෙතැයි රාජපක්ෂ එක් අතකින් ගනන් බලයි.

අනෙක් අතින්, දැඩි නිවාස අර්බුදයකින් පෙලෙන ශ්‍රී ලංකාවේ කම්කරු-පීඩිත මහජනතාවට මෙම නිවාස ව්‍යාපෘතිය මගින් යම් සහනයක් ලැබෙතැයි යන ව්‍යාජය වගාදිගා කිරීමට ද ඔහු අපේක්ෂා කරයි.

2016 පැවැත්වූ ජාතික නිවාස සමීක්ෂනයට අනුව දිවයිනේ නිවාස ඒකක 52,77,408 ක් ඇති බව දැක්වේ. එයින් 12,27,523 ක්, වැඩි දියුනු කල යුතු ඒවා ලෙස හඳුනා ගෙන ඇති අතර, නිවාස ඒකක 13,40,928 ක් අලුතින් ඉදිකල යුතු බව, පෙන්වා දී ඇත. සැබෑ නිවාස හිඟය මෙම නිල සංඛ්‍යාවන් ට වඩා ඉතා ඉහල අගයකි. ජනාධිපති යෝජනා කලේ, සිවු වසරක් තුල නිවාස 51,884 ක් ඉදි කිරීමට ය. එය ඉහත දක්වා ඇති අවශ්‍යතාවයෙන් සියයට 2 ක් වන සොච්චමකි.

2008 දී පුපුරාගිය ගෝලීය මූල්‍ය අර්බුදය, කෝවිඩ් 19 වසංගතයෙන් වඩාත් තීව්‍රව පවතින තතු තුල, කම්කරු පීඩිත මහජනතාවගේ නිවාස අයිතිය ඇතුලු සමාජ අයිතීන් මෙන්ම, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කරනු වෙනුවට, රටක් රටක් පාසා පාලක පන්තීන්, කම්කරු පන්තිය මෙතෙක් දිනාගත් සියලු සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් යලි උදුරා ගැනීම වඩාත් වේගවත් කර ඇත. එම තතු තුල, රාජපක්ෂගේ නිවාස ව්‍යාපෘතිය, මහජනතාවගේ නිවාස අයිතිය තහවුරු කිරිමේ පියවරක් නොවන බව පැහැදිලිය.

නිවාස අර්බුදය පිලිබඳ ඉහත සංඛ්‍යා ලේඛන මගින් පෙන්වන්නේ, වසර 72 ක් වූ ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනයේ ඓතිහාසික නොහැකියාවයි. එම පාලනයේ ආරම්භක අවධියේම, නිවාස පිලිබඳ ඉල්ලීම කම්කරු පන්තියෙන් බලගතු ලෙස මතුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස, 'නිදහසෙන්' වසර හතරකට පසු, එනම් 1952 දී එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවෙන් පලමු “නිවාස අනුකාරක සභාව” පත් කෙරුනි. එහි නිර්දේශ මත, නිවාස අමාත්‍යංශයක් පිහිටවූ අතර 1954 අංක 34 දරන ජාතික නිවාස පනතින්, ජාතික නිවාස දෙපාර්තමේන්තුව ආරම්භ කෙරුනි.

මෙම ආයතන පිහිටුවීම හරහා, සියලු දෙනාට නිවාස හිමිකම් ලබා දෙතැයි යන මුසාව ධනපති පාලකයන් විසින් සමාජගත කල නමුත්, ඇස්බැන්දුම් 'නිවාස ව්‍යාපෘති' කීපයක් හැර, ඒ සඳහා තිරසාර වැඩපිලිවෙලක් කවර ආන්ඩුවක් යටතේ හෝ ක්‍රියාත්මක නොවුනි.

1970 දශකය අගභාගයේ, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව යටතේ ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකයට ඒකාග්‍ර කිරීමේදී තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරුනු ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තිය තුලින් පැන නැගුනු අරගල මැඩීම සඳහා දැවැන්ත මර්දනයක් දියත් කෙරුනි. ඊට සමගාමීව, ගම්බද සහ නාගරික සුලු ධනේශ්වරය කම්කරු පන්තියට එරෙහිව මෙහෙයවීමේ අරමුනෙන්, ඔවුනට යම් සීමිත සහන ලබාදීමට ජයවර්ධන ආන්ඩුව පියවර ගත්තේය.

අගමැති ආර්. ප්‍රේමදාසගේ “උදාගම් ව්‍යාපෘතිය” එහි ප්‍රතිඵලයකි. වසර දහයක් තුල අදියර දෙකකින්, නිවාස දස ලක්ෂයක් ඉදිකරන බවට පම්පෝරි ගසමින් ආරම්භ කල මෙම ව්‍යාපෘතිය යටතේ සම්පාදනය කෙරුනු සීමිත සංඛ්‍යාවක් වූ නිවාස, අවම පහසුකම් වලින් පවා තොර, කිසිසේත්ම ශිෂ්ඨසම්පන්න ජීවිතයකට නුසුදුසු ස්ථානයන් විය. එහි ඉලක්කයන් ජයගත්බව පෙන්වීමට ප්‍රේමදාස යොදාගත් සංඛ්‍යාලේඛන මුලුමනින්ම ව්‍යාජය.

නාගරික දුගී ජනයා නිවාස අර්බුදයෙන් බැට කන ප්‍රමුඛතම ජන කොටසකි. කොලඹ මහනගර සභාව 2002 දී පැවැත්වූ සමීක්ෂනයකට අනුව, කොලඔ නගරයෙහි යන්තමින් අටවාගත් නිවාස වලින් යුත් ජනාවාස 1,614 ක 'අඩු ආදායම්ලාභී' පවුල් 77,612 ක් ජීවත්ව ඇත. කොලඔ නගරවාසීන්ගෙන් සියයට 54 ක් මෙම ජනාවාසයන්හි වෙසෙන බව ද නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එක් කුඩා නිවසක අනුපවුල් ද ජීවත්වන නමුත් මෙම සංගනනයන්ට බොහෝවිට එම පවුල් අන්තර්ගත නොවේ. කෙසේ නමුත්, වසර 18 කට පසු, අද තත්වය මීට වඩා බරපතල ය.

පසුගිය සියවසේ මුල් භාගයේ සිට, රැකියාවන් සොයා ඈත ගම්දනව් වලින් කොලඹ නගරයට සංක්‍රමනය වූවන්ගෙන් සහ ඔවුනගේ දරුවන්ගෙන් සමන්විත මෙම දුගී ජනයා, ගංගා සහ ඇල මාර්ග දෙපස, වගුරුබිම්වල සහ හිස් ඉඩම්වල පැල්පත් අටවා ගත්හ. මෙම දුගී ජනයාගේ නිවාස ප්‍රශ්නයට මුලුමනින්ම වගකිවයුතු ධනපති පාලකයන්, ඔවුන් හඳුන්වනු ලබන්නේ 'අනවසර' පදිංචිකරුවන් ලෙසිනි.

පසුගිය දශක කීපය පුරා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම සඳහා අනුප්‍රාප්තික ආන්ඩු දරන ප්‍රයත්නයේදී, කොලඹ නගරයේ දුගී ජනාවාස පිහිටා ඇති ඉඩම් ඔවුනගෙන් මුදාගෙන, ඉහල මිල ගනන් යටතේ ආයෝජකයන්ට විකුනා දැමීමේ ව්‍යාපෘති ආරම්භ කෙරුනි. ඉඩම් නිදහස්කර ගැනීම සඳහා එම වාසස්ථාන වලින් දුගීන් බලහත්කාරයෙන් පලවා හැරියේ බොහෝවිට මිලිටරිය සහ පොලීසිය යොදා ගනිමිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ නගර සංවර්ධන අධිකාරිය මෙහෙය වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධයෙන් කුපුකටය.

කොලඹ දුගීන්ට නිවාස ලබාදීමේ කඩතුරාව යටතේ, දශක තුනක කාලය පුරා ක්‍රියාත්මක වන 'අඩු ආදායම්ලාභී' මහල් නිවාස ව්‍යාපෘතීන් පිටුපසින් පවතින්නේ මෙම ජාත්‍යන්තර ප්‍රාග්ධන අවශ්‍යතාවය යි.

අඩු ආදායම්ලාභීන්ට තනා දුන් මහල් නිවාසයක් ගිනි අනතුරකින් පසු. [ඡායාරූපය:ලෝසවෙඅ]

වර්ග අඩි 400 ක් වැනි කුඩා වපසරියකින් යුත් මෙම මහල් නිවාස දරු පවුලකට කිසිසේත් ප්‍රමානවත් නොවන අතර, දුගීන්ට දැරිය නොහැකි ආරම්භක මුදලක් ද, වසර ගනනාවක් පුරා ගෙවිය යුතු මාසික වාරිකයක්ද ඒ සඳහා අය කෙරේ. බොහෝවිට මහල් 10 ඉක්මවන මෙම නිවාස සංකීර්නයක පවුල් සිය ගනනක් පදිංචි කලද, ඔවුනට සම්පාදනය කර ඇත්තේ ඉතා සීමිත සෝපාන සංඛ්‍යාවකි. ඒවායෙන් බොහොමයක් වැඩි කාලයක් පවතින්නේ ක්‍රියා විරහිතවය. ඒ එම නිවැසියන් මුහුනදෙන දුෂ්කරතාවයන්ගෙන් අල්පයක් පමනි.

නිවාස හිඟයෙන් රුදුරු ලෙස බැටකන තවත් කොටසක් වන්නේ වතු කම්කරුවන් ය. වතුකරයේ සිදුකල මෑතම සමීක්ෂන වාර්තාවකට අනුව, වතු කම්කරු පවුල් 2,44,500 ට අයත් 9,66,700 ක ජනගහනයක් ලයින් කාමර 1,60,000 ක දිවි ගෙවති. වතුකරයේ පවුල් සංඛ්‍යාවේ සැබෑ අගය දක්වා ඇති අගයන්ට වඩා ඉතා ඉහල අගයක් ගන්නා අතර, ඔවුන්ට නිවාස 2,00,000 ක් අවශ්‍යව පවතින බව ගනනය කිරීම් මගින් පෙන්වා දී තිබේ.

වතු කම්කරුවන් ජීවත් වන ලයින් නිවාස පේලි. [ඡායාරූපය: ලෝසවෙඅ]

වතු ලයින් කාමර හෙවත් පේලි ගෙවල් වලින් අතිමහත් බහුතරය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ගොඩනගන ලද, වසර සියය ඉක්මවූ ඉතා පැරනි ඒවා වෙයි. වර්ග අඩි 300 ක පමන ඉතා කුඩා වපසරියකින් යුත් මෙම නිවාස මිනිස් වාසය සඳහා කිසිසේත් සුදුසු නොවේ. නිසි නඩත්තුවක් නොමැති කමින්, සිදුවන විදුලි කාන්දු හේතුවෙන් මෙම නිවාස ගිනිගෙන දැවෙන අවස්ථා නිරතුරුව වාර්තා වෙයි.

වතුකම්කරු නිවාස අවශ්‍යතා පිලිබඳ ඉහත සංඛ්‍යාලේඛන වනාහි, ලංකාවේ ධනපති පාලක පන්තියට සහ වතු කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය කරන බව පවසමින්, අනුප්‍රාප්තික ධනපති ආන්ඩුවල මැතිඇමතිකම් දරන වතු වෘත්තීය සමිති නායකයන්ට එරෙහි බලගතු දෝෂාභියෝගයකි.

දශක තුනක සිවිල් යුද්ධයෙන් තම උන්හිටිතැන් අහිමි වූ උතුරු සහ නැගෙනහිර පලාත්වල ලක්ෂ සංඛ්‍යාත දෙමල සහ මුස්ලිම් ජනයා නිවාස අර්බුදයෙන් බලගතු ලෙස පීඩා විඳින තවත් ජන කොට්ඨාසයකි. 2013 ජූනි 30 නිකුත් කෙරුනු 'ශ්‍රී ලංකා රෙඩ් ක්‍රොස්' වාර්තාවකට අනුව, යාපනය, වවුනියාව, කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිවූ යන දිස්ත්‍රික්කයන්ට පමනක් නිවාස 1,43,268 ක් අවශ්‍යව තිබුනි.

පැල්පතක ජීවත් වන උතුරේ යුද්ධයෙන් විනාශ වූ පවුලක් [ඡායාරූපය: ලෝසවෙඅ]

විවිධ ජාත්‍යන්තර ආධාර මගින් සීමිත නිවාස සංඛ්‍යාවක් ගොඩනගන ලද නමුත්, බොහෝ අවතැන්වූවන්ට යුද්ධයෙන් විනාශ වූ නිවාස යලි ගොඩනගා ගැනීමට ලැබුනේ සොච්චම් මුදල් ආධාරයක් පමනක් වන අතර| ඉතිරි මුලුමහත් වියදම දරාගැනීමට ඔවුනට සිදුවිය. එම නිවාස බොහොමයක් මෙතෙකුදු සම්පූර්න වී නොමැති අතර, තවත් දසදහස් ගනනක් ජනයා අටවාගත් පැල්පත්වල මෙතෙකුදු දිවි ගෙවති.

පසුගිය දශකය ඇතුලත, අනුප්‍රාප්තික ආන්ඩු, මධ්‍ය ආදායම්ලාභීන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා ප්‍රමුඛතාව දී ඇත. රුපියල් මිලියන 3-4 අතර මුදලකට වාරික ක්‍රමයට විකිනීමේ ව්‍යාපෘතියක් යටතේ නිවාස 5,00,000 ක් ඉදි කරන බව පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව නිවේදනය කලේය. කෙසේවුවත් එයින් නිමවා ඇත්තේ නිවාස 1,501 ක් පමනි.

2000 වසරේ අයවැයට සාපේක්ෂව, 2021 අයවැයෙන්, රාජපක්ෂ ආන්ඩුව සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා වෙන් කල ප්‍රතිපාදනයන්, පිලිවෙලින්, රු.බිලියන 28ක් සහ බිලියන 40ක් ලෙසින් කප්පාදු කොට ඇත. එපමනක් නොව, කම්කරු-පීඩිත මහජනතාවට දැවැන්ත බදු බරක් පටවා ඇති මෙවර අයවැය, රටෙහි මහ ව්‍යාපාරිකයට හා ජාත්‍යන්තර ආයෝජකයන්ට සුවිසල් බදු සහන ප්‍රදානය කර ඇත්තේ පෙරනොවූවිරූ පරිදිය.

වසංගතයෙන් මහජනතාව ආරක්ෂා කරගනුවස් රෝහල් ධාරිතාව ඇතුලු අනෙකුත් සෞඛ්‍ය පහසුකම් වැඩි දියුනු කිරීමට මුදල් නොයෙදූ රාජපක්ෂ ආන්ඩුව ගෙවීගිය මාස හතක කාලය තුල මහා ව්‍යාපාරිකයට රුපියල් බිලියන 178 ක සහන පැකේජයක් ද ලබාදුනි.

මෙම අත්දැකීම් මගින් තහවුරු කෙරෙන්නේ, මහා පරිමාන බැංකු, විශාල වතු හා දැවැන්ත ව්‍යාපාර, ධනපතියන් අතින් පැහැරගෙන කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතුකොට, ලාභය අරමුනුකරගත් ධනපති නිෂ්පාදන-ආර්ථිකය වෙනුවට, මානව අවශ්‍යතාවයන් සපුරාලන පරිදි සමස්ත ආර්ථිකයම ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් තොරව, කම්කරු-පීඩිත මහජනතාවගේ නිවාස, රැකියා, සෞඛ්‍යය සහ අධ්‍යාපන අයිතීන් තහවුරු කල නොහැකි බවයි.

සියවස් එකහමාරකට පමන පෙර, ෆ්‍රෙඩ්‍රික් එංගල්ස් ස්වකීය “නිවාස ප්‍රශ්නය” නම් වූ කෘතියෙන් පැහැදිලි කර ඇති පරිදි, 'ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය අඛන්ඩව පවතින තාක් කල්, නිවාස ප්‍රශ්නයට හෝ කම්කරුවන්ගේ ඉරනමට බලපාන වෙනත් සමාජ ප්‍රශ්නයකට හෝ හුදකලා විසඳුමක් බලාපොරොත්තුවීම අඥානකමකි. විසඳුම පවතින්නේ, කම්කරු පන්තිය සියලුම ජීවන හා ශ්‍රම මාධ්‍යයන් අත්පත් කර ගනිමින් ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය අහෝසි කිරීම තුලය.'

Loading