රුපියල් දහසේ වැටුප් යෝජනාව පිටුපසින් රාජපක්ෂ ආන්ඩුව වතු කම්කරුවන්ට එරෙහි නව ප්‍රහාරයක් සූදානම් කරයි

අගමැති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ, 2021 වර්ෂය සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, වතු කම්කරු දෛනික වැටුප ලබන ජනවාරි මාසයේ සිට රුපියල් 1000 ක් බවට පත් කිරීමේ යෝජනාවක් ගෙන ආවේය. යෝජිත වැටුප ගෙවීමට අසමත් වන වතුසමාගම්වල “කලමනාකාරිත්ව ගිවිසුම් වෙනස්කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉඩ ප්‍රස්ථා සැලසෙන නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන" බව ද ඔහු එහි දී සඳහන් කලේ ය.

මෙම යෝජනාව, රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරයන්ගෙන් වඩාත්ම බැටකන සමාජ කොටසක් වන වතු කම්කරුවන් අතර වැඩී ඇති දැවැන්ත සමාජ ආතතිය වෙනතක හැරවීමේ දැනුවත් ප්‍රෝඩාවකි. 

කොවිඩ්-19 වෛරසය පාලනය පිලිබඳ විද්‍යාත්මක නිර්දේශ නොතකා එය අපාලිතව ව්‍යාප්ත වීමට ඉඩ හැර වසංගතයට ගොදුරු වන අයුරින් තමා වැඩ බිමටත්, තම දරුවන් පාසැලටත් දැක්කීම සම්බන්ධයෙන් පොදුවේ කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් අතර රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩී ඇත්තේ බලගතු විරෝධයකි.  

කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙමින් පැවති ප්‍රහාරයන් වසංගතය මධ්‍යයේ වඩාත් රුදුරු මට්ටම් වලට නැංවීම හේතුවෙන්,   එම මහජන විරෝධය සමාජ පුපුරායාමක් දෙසට වේගයෙන් වැඩෙමින් පවතී. රාජපක්ෂගේ වැටුප් යෝජනාව පිටුපස පවතින්නේ මෙම වර්ධනයන් සම්බන්ධව පාලක පංතියේ උත්සුකය යි.

වතු සමාගම්, රාජපක්ෂ ගේ වැටුප් යෝජනාව වහාම ප්‍රතික්ෂේප කලහ. ඒ සඳහා "ආන්ඩුව සහනාධාර සපයන්නේ නැතිනම් පාඩු ලබන සමාගම් වලට රුපියල් 1000 ක වැටුප් වැඩිවීම දිය නොහැකි" බව වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මාධ්‍යයට පැවසීය. 

වැටුප් අරගලයේ යෙදෙන ඇබොට්ස්ලී වතු කම්කරුවෝ

 

මෙම තතු තුල, රුපියල් 1000 ක දෛනික වැටුපක් කෙරෙහි කම්කරුවන්ට කවර හෝ විශ්වාසයක් තබා ගැනීමට හැකියාවක් නැත. කෙසේ නමුත්, දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස කම්කරුවන් ඉල්ලා සිටියේ 2015 වසරේ ය. රුපියල් 1000 ක දෛනික වැටුප ලැබුනද, පසුගිය පස් වසර තුල වතු කම්කරුවන්ගේ මූර්ත වැටුප දැවැන්තව පහත වැටී ඇති කොන්දේසි තුල අද එය කිසිසේත් ප්‍රමානවත් නොවේ.

2016 දී කෘෂි කාර්මික කම්කරුවන්ගේ වැටුපේ මූර්ත වටිනාකම 118.5 ක් වූ අතර, 2019 දී එය 103.6 දක්වා පහත වැටී ඇත. මෙය සියයට 12.6 ක ඇද වැටීමකි. 2016 ජනවාරි මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශනය 112 ක් වූ අතර මෙම වසරේ නොවැම්බර් මාසය වනවිට එය 139.6 කි. අපනයන සීමා කිරීම සහ බදු පැනවීම යටතේ 2016 හා සැසදීමේ දී අත්‍යවශ්‍ය භාන්ඩ මිල විශාල වශයෙන් ඉහල ගොස් තිබේ.

දැරිය නොහැකි ආර්ථික පීඩනය හමුවේ වතු කම්කරුවන් අතරින් ම මතු වූ මෙම රුපියල් 1000 ක දෛනික වැටුප් ඉල්ලීමට සියලු වතු සමිති විරුද්ධ වුහ. වතු සමාගම්වල තැටිය වාදනය කරමින් සමිති කියා සිටියේ, එවන් වැටුප් වැඩි කිරීමකින් තේ "කර්මාන්තය මුහුන දී සිටින අර්බුදය" වඩාත් ගැඹුරු වී සමස්ත කර්මාන්තය කඩා වැටිය හැකි බවයි.

සමිතිවල වැටකඩොලු බිඳ දමමින්, 2018 දෙසැම්බර් හි දී, 200,000 කට ආසන්න වතු කම්කරුවෝ දෛනික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ඉල්ලා දින නවයක අඛන්ඩ වර්ජනයක් ඇතුලුව සති කිහිපයක අරගලයක නිරත වුහ. එම අරගලය මුලුමනින් ම පාවාදුන් ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී), ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඊඩබ්ලිව්යූ), ඒකාබද්ධ වතු කම්කරු කමිටුව (ජේසීටීයු), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය (ඩීඩබ්ලිව්සී) ඇතුලු සියලු වතු වෘත්තීය සමිති, සමාගම් විසින් එකඟ වූ රුපියල් 20 ක සොච්චම් වැටුප් වැඩිවීමක් කම්කරුවන් මත පැටවූහ.

රුපියල් 1000 වැටුප සඳහා අරගලය පාවාදීමට එරෙහිව හැටන් නගරයේ කම්කරුවන් පැවැත්වූ උද්ඝෝෂනය- 2019 ජනවාරි 25

රාජපක්ෂ ආන්ඩුවට, අනෙකුත් කම්කරුවන් ගැන මෙන්ම, වතු කම්කරුවන් ගැන ද කවර හෝ කැක්කුමක් නොමැත. අගමැති රාජපක්ෂ වතු කම්කරුවන් කෙරෙහි හදිසියේ උපන් "ලෙන්ගතුකමක්' මවාපාන නමුත් 2005 -2015 ඔහු ජනාධිපති ධුරය දැරු කාලය තුල පැන නැගුනු වතු කම්කරුවන්ගේ වැටුප් අරගල රුදුරු ලෙස මැඩලීය. එම කම්කරුවන්ට එරෙහිව වාර්ගික උසි ගැන්වීම් කරමින් වතු සමාගම් වල සොච්චම් වැටුප් වැඩි කිරීම් කම්කරුවන් මත පැටවීමට ඔහු ඍජුව මැදිහත් විය.

2006-2013 වතු කම්කරු වැටුප් ගිවිසුම් හතරක් අත්සන් කෙරුන නමුත් ජීවන වියදම පිම්මේ ඉහල යද්දී සහ මූර්ත වැටුප් අගය පහත වැටෙද්දී එම කාලය තුල වතු කම්කරුවන්ගේ මුලික වැටුප සහ සියලු දීමනා සහිත දල වැටුප වැඩි වුයේ, පිලිවෙලින් රුපියල් රුපියල් 315 කින් සහ රුපියල් 422 කින් පමනි.

මෙම ගිවිසුම් අත්සන් කිරීමේ දී සීඩබ්ලිව්සී සහ ජේසීටීයූ දිගටම මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරමින් ඒවාට සහයෝගය දුන්හ.

එපමනක් නොව, යෝජිත ආදායම් බෙදීමේ ක්‍රමය, ක්‍රියාවට දැමීමට ද මෙම වෘත්තීය සමිති එහි දී එකඟ වුහ. වතු කම්කරුවන් අඳගොවියන් හා සමාන තත්වයකට පත් කෙරෙන මෙම ප්‍රතිගාමී වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට එරෙහිව කම්කරුවෝ විවිධ විරෝධතාවන් හි නිරතවූහ.

සීඩබ්ලිව්සී සහ ජේසීටීයූ වර්තමාන රාජපක්ෂ ආන්ඩුවේ පාර්ශ්වකරුවන් වන අතර, එන්යූඩබ්ලිව්, ඩීඩබ්ලිව්යූ සහ එල්ජේඊඩබ්ලිව්යූ යන සමිති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ කොටස්කරුවෝ වුහ. ඔවුහු තම වරප්‍රසාද සඳහා ධනපති පන්තියේ ඒ හෝ මේ පාර්ශ්වය සමග පෙල ගැසෙන නමුත්, ධනපති ආන්ඩු සහ වතු සමාගම් ඉදිරියේ කම්කරුවන්ගේ අයිතීන් පාවාදීමේ දී ඒකමතිකව සිටිති.

වෘත්තීය සමිති සමග කරබදු වෙමින් ව්‍යාජ-වාම පක්ෂ ද රුපියල් 1000 වැටුප් වැඩිවීම පිලිබඳ ආන්ඩුවේ ප්‍රෝඩාව වතු කම්කරුවන් මත පටවමින් සිටිති. වතුකරය පදනම් කරගත් ව්‍යාජ-වාම පක්ෂයක් වන ජනතා කම්කරු සංගමයේ නායක අයි. තම්බයියා නොවැම්බර් 22 තිනකුරල් පුවත්පතට මෙසේ පවසා තිබුනි. "වතු සමාගම් පාලනය කිරීම සඳහා ආන්ඩුව අවම වැටුපට සංශෝධනයක් ඉදිරිපත් කලයුතුය. සාමුහික ගිවිසුම් එම වැටුප මත පදනම් කලයුතු අතර ඊට වඩා අඩු නොවිය යුතුය"

සීඩබ්ලිව්සී නව මහ ලේකම් ජීවන් තොන්ඩමන් ජුලි 26 වෙනිදා වීරකේසරී පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ “වතු කම්කරුවන්ට ලාභය බෙදා දීම සඳහා ඔවුන් ව කුඩා වතු හිමියන් බවට පරිවර්තනය කිරීම ගැන සලකා බලමින් සිටින” බවයි. රුපියල් 1000 වැටුප් ඉල්ලීම "තාවකාලික ප්‍රශ්නයක්" බව ද ඔහු පැවසීය. තොන්ඩමන්ගේ ප්‍රෝඩාකාරී කතා පිටුපස පවතින්නේ, සමාගම් විසින් යෝජිත ආදායම් බෙදීමේ ක්‍රමය කම්කරුවන් මත පැටවීමයි.

"සාර්ථක ව්‍යාපාරික සැලසුම් සහිත" ආයෝජකයන්ට වතු පැවරීම යන්නෙන් ආන්ඩුව අපේක්ෂා කරන්නේ කම්කරුවන්ට සෙත සැලසීම නොව, වතු වගාව විවිධාංගීකරනය යටතේ වානිජ වටිනාකමක් සහිත පලතුරු සහ වෙනත් භෝග වගා කිරීම හා ඇඟලුම් සහ සංචාරක කර්මාන්ත ඇතුලු වෙනත් ව්‍යවසායන් සඳහා වතුකරය කැබලි වලට කඩා විසුරුවා, වතු කම්කරුවන්ගේ ලාබ ශ්‍රමය වඩාත් සූරාකෑමට අවශ්‍ය කොන්දේසි නිර්මානය කිරීමකි.

වැවිලි කර්මාන්තය සඳහා "විකල්ප ආයෝජන වැඩි දියුනුකර ගැනීම" හා "ප්‍රතිව්‍යූහකරනය" ආදී රාජපක්ෂගේ යෝජනා බැඳී පවතින්නේ ද වතුකරය ලාභ ශ්‍රම වෙලඳපොලක් බවට පත් කිරීමේ ඉහත වැඩපිලිවෙල සමගයි. මෙය සිදු කෙරෙනු ඇත්තේ, වතු කම්කරුවන්ගේ රැකියා හා වැටුප් ඇතුලු සමාජ අයිතීන්ට එරෙහි රුදුරු ප්‍රහාරයක් මැදිනි.

"වෘත්තීය සමිති සහ දේශපාලනඥයන් වතු සමාගම් විසින් යෝජිත විකල්ප වැටුප් ආකෘතිය පිලිගත යුතු" බව ද ඔහු අවධාරනය කලේ ය.

සමාගම් විසින් යෝජනා කරනු ලැබ ඇති "විකල්ප වැටුප් ආකෘතිය' වන්නේ දෛනික වැටුප් ක්‍රමය වෙනුවට ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීමය. ඒ යටතේ තේ පඳුරු 1000-1500 අඩංගු බිම් කොටසක් කම්කරු පවුලකට ලබා දෙයි. පොහොර සහ කෘෂි රසායනිකයන් සමාගම් විසින් සපයනු ලබන අතර එහි පුර්න නඩත්තුව කම්කරුවන් විසින් කල යුතු ය. කම්කරුවනට ලැබෙන්නේ වියදම් කපා ගැනීමෙන් පසු ඉතිරිවන ආදායමෙන් සොච්චමකි.

එය කම්කරුවන්ගේ ශ්‍රම සුරාකෑම තීව්‍ර කරන, අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල්, නිවාස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු සෙසු සමාජ අයිතීන් ද අහිමිකරන ක්‍රමයකි. වතු සමාගම්, කම්කරුවන්ගේ විරුද්ධත්වය නොතකා වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව මෙම ක්‍රමය දැනටමත් ක්‍රියාවට දමා ඇත.

තරඟකාරීත්වය ඉහල යාම සහ වෙලඳපොලේ හැකිලීම හේතුකොට ගෙන පසුගිය වසර කිහිපය තුල ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය දිගැස්සුන අර්බුදයකට මුහුන දී ඇත. වසංගතය මගින් එය තවදුරටත් ගැඹුරු කෙරී පවතී.

2019 ජනවාරි- සැප්තැම්බර් කාලයට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුල තේ අපනයනය සියයට 22.8 කින් පහත වැටී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති සංජය හේරත් ඔක්තෝබර් 17 සිලෝන් ටුඩේ පුවත්පතට පවසා ඇත. එම කාලය තුල අපනයන ආදායම රුපියල් බිලියන 182.5 සිට බිලියන 170.5 දක්වා බිලියන 12 න් අඩු වී තිබේ. තේ නිෂ්පාදන පිරිවැය ඉහල ම රට ශ්‍රී ලංකාව බැවින් සෙසු තේ නිපදවන රටවල් සමග සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ වෙන්දේසි මිල ඉහල බවත්, තේ මිල සම්බන්ධයෙන් බලාත්මක ලෙස තරඟ කල නොහැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

එහි තේරුම වතු සමාගම් සහ අපනයනකරුවන් නිරන්තරයෙන් අවධාරනය කරන පරිදි කම්කරුවන්ගේ වැටුප් සහ සමාජ සහන කප්පාදුව සහ නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමිය යුතු බවයි.

වසර 150 කට වඩා පැරනි වැවිලි කර්මාන්තය වෙනස් කලයුතු බව වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුලුමුල්ල වීරකේසරී පුවත්පතට පවසා ඇත. "කුඩා තේවතු හිමියන් ගෙවන්නේ කඩන තේ දලු ප්‍රමානය අනුව කිලෝවකට රුපියල් 30 යි. වැවිලි කර්මාන්තය ජයග්‍රහනය කරා පෙරට යාමට නම් අපිත් එම වැටුප් ක්‍රමය ක්‍රියාවට දැමිය යුතු" යැයි ඔහු සඳහන් කර තිබේ.

වැටුප් වැඩිකිරීම ප්‍රතික්ෂේප කිරීමේ වතු සමාගම්වල පිලිවෙතට සහයෝගය දෙමින් වීරකේසරී අතිරේකයක් වන සූරියකාන්ති හි නොවැම්බර් 25 වෙනිදා කතුවැකිය මෙසේ සඳහන් කර තිබුනි. "රුපියල් 1000 වැටුප් වැඩිවීම දිය නොහැකි බව වතු සමාගම් පසුගිය සතියේ ස්ථීර වශයෙන් සඳහන් කර තිබුනි. එම නිසා වෘත්තීය සමිතිවල ප්‍රධාන කාර්යය වන්නේ වතු සමාගම් විසින් යෝජිත ආදායම් බෙදීමේ ක්‍රමය සැලකිල්ලට ගැනීමයි."

වෘත්තීය සමිති වල සහයෝගය ඇතිව ආන්ඩුව සහ වතු සමාගම් සූදානම් කරමින් සිටින්නේ කම්කරුවන්ට එරෙහි නව මට්ටමක ඒකාබද්ධ ප්‍රහාරයකි. වතු කම්කරුවන් ඊට විරුද්ධව තම අයිතීන් තහවුරු කර ගැනීමේ දැනුවත් ප්‍රතිප්‍රහාරයක් සූදානම් කල යුතුය. ඔවුන්ට එය කල හැක්කේ ආන්ඩුවේ සහ වතු සමාගම්වල අත්ගෙඩි ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ගොඩනගා ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටු හරහා ය.

සොච්චම් දෛනික වැටුප වෙනුවට, තම දරු පවුල් සමග ශිෂ්ඨසම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමානවත් වන, සියලු දීමනා සහිත මාසික වැටුපක්, වියපත් දිවිය නිදහසේ ගතකලහැකි වන ආකාරයේ විශ්‍රාම වැටුපක්, සෑම කම්කරුවෙකුටම අත්‍යවශ්‍ය පහසුකම් සහිත නිවාසයක් යන මූලික ඉල්ලීම් මත මෙම ක්‍රියාකාරී කම්ටු තම සටන දියත් කල යුතුය.

කම්කරු පන්තිය අතීත අරගල මගින් දිනාගත් සියලු සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සියල්ල යලි උදුරා ගැනෙන, බිඳ වැටෙමින් පවත්නා ලෝක ධනේශ්වර පද්ධතිය තුල ඉහත මූලික සමාජ අයිතීන් සාක්ෂාත් කල නොහේ. එබැවින් මෙය, ධනපති පන්ති පාලනයට හා ධනේශ්වර ලාබ පද්ධතියට එරෙහි, ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන දැනුවත් දේශපාලන සටනකි.

Loading