ශ්‍රී ලංකාව හා මාලදිවයින සමඟ මූලෝපායික සබඳතා තරකර ගැනීමට ඉන්දියාව පියවර ගනී

මෙම ලිපිය දෙසැම්බර් 14 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතා රැස්වීමකට සහභාගී වීම සඳහා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් පසුගිය මාසයේ අග කොලඹට පැමිනියේය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුනරත්න  ශ්‍රී ලංකාව නියෝජනය කල අතර ආරක්ෂක ඇමතිනී මරියා ඩිඩි මාලදිවයින නියෝජනය කරන ලදි. 

වසර හයකට පසු පනගැන්වුන, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සම්බන්ධ කර ගත් මෙම රැස්වීම, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ආන්ඩුව, සිය කුඩා අසල්වැසියන් සමඟ මූලෝපායික සබඳතා ශක්තිමත් කර ගැනීමට දරන උත්සාහය තවදුරටත් ඉස්මතු කරයි.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් (විකිමීඩියා)

 

නවදිල්ලිය මෙම මැදිහත්වීම සිදු කරනුයේ, තම මූලෝපායික ප්‍රතිවාදියා වන චීනය, කොලඹ ආන්ඩුව සමඟ තම සම්බන්ධකම් වැඩි දියුනු කරන තත්වයේ දී ය. එක් පැත්තකින් ඉන්දියාව සහ එක්සත් ජනපදය ද, අනික් පසින් චීනය ද අතර  භූදේශපාලනික අරගලයේ තවත් කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ඉන්දියානු සාගර කලාපයේ චීන බලපෑම මැඩ පැවැත්වීම සඳහා සමුද්‍රීය සහයෝගීතාව දිරිගැන්වීම ඩොවාල්ගේ සංචාරයේ ප්‍රධාන අරමුන විය. ශ්‍රී ලංකාව සහ මාලදිවයින, ඉන්දියානු සාගරයේ තීරනාත්මක මුහුදු මාර්ග වලට යාබදව පිහිටා ඇත.

ත්‍රිපාර්ශවික රැස්වීමේදී, “වැයික්කි පිලිබඳ දැනුවත්කම”, මානුෂීය ආධාර සහ ආපදා සහන, සහ ඒකාබද්ධ හමුදා අභ්‍යාස පිලිබඳ සමුද්‍රීය සහයෝගීතාව සාකච්ඡා කෙරිනි. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය සියලුම සමුද්‍රීය ආරක්ෂක ව්‍යාපෘති සම්බන්ධීකරය කරනු ඇත. ද්විවාර්ෂික ව රැස්වන නියෝජ්‍ය මට්ටමේ ක්‍රියාකාරී කන්ඩායමක් පිහිටුවීමට ද රැස්වීමේ දී තීරනය විය. 

ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලිහ් 2018 දී ආන්ඩුව බාරගත්දා සිට මාලදිවයින, නවදිල්ලියේ සහ වොෂිංටනයේ ඒජන්තයකු ලෙස ක්‍රියාත්මක වෙයි. නව දිල්ලිය දැන් කොලඹ ආන්ඩුව ද, එක්සත් ජනපද හා ඉන්දියානු භූ-දේශපාලන අභිලාෂයන් යටතට ගෙන ඒමට කටයුතු කරමින් සිටී.

චීනයට එරෙහි මිලිටරි හා මූලෝපායික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා වොෂින්ටනය, දකුනු ආසියාවේ සිය කටයුතු වේගවත් කර තිබේ.

එවකට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් සමඟ ඉන්දියාවේ කල සංචාරයෙන් පසු, ඔක්තෝම්බර් මාසයේදී රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරය කලේය. නොවැම්බර් මාසයේදී ඉන්දියාව එක්සත් ජනපදය, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ 2020 මලබාර් ඒකාබද්ධ නාවික අභ්‍යාස පැවැත්වීය.

ඉන්දියාවේ ආශිර්වාදය ඇතිව එක්සත් ජනපදය සහ මාලදිවයින, සැප්තැම්බර් 10 වන දින “එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව-මාලදිවයිනේ ආරක්ෂක  හා ආරක්ෂක සම්බන්ධතා” එකඟතාවය සඳහා වූ ගිවිසුමට අත්සන් තැබීය.

මෙම ගිවිසුම යටතේ, දෙරට අතර ජේෂ්ඨ මට්ටමේ මිලිටරි-මිලිටරි සංවාද හා ඒකාබද්ධ ක්‍රියාකාරම් ඇතුලු “ඉන්දියානු සාගරයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා සහයෝගය හා ක්‍රියාකාරිත්වය ගැඹුරු” කරනු ඇත. රාජ්‍ය තාන්ත්‍රික වැකි ඉවත් කල විට, මාලදිවයින දැන් චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සැලසුම් සමඟ ඒකාබද්ධ වී ඇත.

පසුගිය මාසයේ ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතා රැස්වීම, කොලඹ සහ නවදිල්ලිය අතර, අනෙක් ප්‍රධාන ප්‍රශ්න ද ඇතුලත්, සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා  ද යොදා ගන්නා ලදී.

නොවැම්බර් 28 වන දින ශ්‍රී ලංකා ජනාධිපති ප්‍රකාශය, සාකච්ඡා “ඉතා ඵලදායී” බව සඳහන් කල නමුත් පැහැදිලි විස්තරයක් ලබා නොදෙනලදි. පසුගිය වසරේ මැයි මාසයේදී අත්සන් කරන ලද නැගෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) පිලිබඳ සහයෝගිතා ගිවිසුමට ගරු කිරීමට ජනාධිපති රාජපක්ෂ  උනන්දුවක් දක්වන බව ඉන්දීය වෙබ් අඩවියක් වන ද සිටිසන් නොවැම්බර් 30 දා වාර්තා කලේය.

කොලඹ වරායේ මූලෝපායිකව පිහිටා ඇති පහසුකම් වැඩි දියුනු කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව සම්බන්ධ දිගු කලක් තිස්සේ පවතින ත්‍රෛ-ජාතික ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය. ගිවිසුම යටතේ සියළුම මෙහෙයුම් සිදු කිරීම සඳහා පර්යන්ත මෙහෙයුම් සමාගමක් (ටීඔ්සී) පිහිටුවීමට නියමිතය. ශ්‍රී ලංකාව, එහි සියයට 51 ක හිමිකාරිත්වයක් දරනු ඇති අතර අනෙක් හවුල්කරුවන් ඉතිරි සියයට 49යේ හිමිකාරිත්වය දරයි.

කොලඹ වරාය බඩු ප්‍රවාහනයෙන් සියයට 70 ත් 80 ත් අතර ප්‍රමානයක් ඉන්දියානු ප්‍රතිඅපනයන් වන බැවින් නවදිල්ලියට, කොලඹ වරායේ බලපෑමක්  තිබීම තීරනාත්මකය. චීනයට අයත් කොලඹ අන්තර්ජාතික බහාලුම් පර්යන්තය (සීඅයිසීඅයි) ඊසීටීයට අනික් පසින් ක්‍රියාත්මක වේ.

ඉන්දියාවේ මුල් ඊසීටී සංවර්ධන යෝජනාව 2016 දී එවකට ශ්‍රී ලංකා වරාය ඇමති අර්ජුන රනතුංග විසින් ප්‍රකාශයට පත් කල නමුත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එය ක්‍රියාත්මක කිරීම වලකන ලදී. අවබෝධතා ගිවිසුම් සහිත හවුල් ව්‍යාපාර ව්‍යාපෘති 15 ක් 2017 දී අත්සන් කරන ලද නමුත් තවමත් ඒවා ක්‍රියාත්මක නොවීම සම්බන්ධව නව දිල්ලිය අතිශය කනස්සලු සහගතය. 

ඉන්දියානු සහාය ඇතිව යටිතල පහසුකම් ව්‍යාපෘති සංවර්ධනය කඩිනම් කිරීමට රාජපක්ෂ සහ ඩෝවාල් එකඟ වූ බව වාර්තා විය. වර්ධනය වන විදේශ නය අර්බුදයකට මුහුන දී සිටින රාජපක්ෂ, නය නොව ආයෝජන වැඩි කරන ලෙස ඉල්ලා ඇති අතර වොෂිංටන් හා නවදිල්ලිය සමඟ මතභේදයට තුඩු දෙන කරුනක් වන බීජිං වෙතින් මූල්‍ය ආධාර අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර සහ මධ්‍යම තේ වතුකරයේ දැනටමත්  ඉදිකර ඇති අඩු වියදම් නිවාස වැනි නිවාස ඉදිකිරීමට, ඩොවාල් සිය සංචාරයේදී, එකඟ විය.

පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ දේශපාලන, මිලිටරි හා ආර්ථික සබඳතා ඉහල නංවා තිබේ. ඔක්තෝබර් 24 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය පලමු අන්තර්ජාල ද්විපාර්ශ්වික සමුළුව පැවැත්වීය. නය ආපසු ගෙවීම ප්‍රමාද කිරීම සහ ඇමරිකානු ඩොලර් බිලියනයක මුදල් හුවමාරු කිරීමේ පහසුකම්, කොලඹ ආන්ඩුව ඉල්ලා සිටියද මෝඩි කිසිවක් සහතික කලේ නැත. 

ඩොවාල් සිය සංචාරය අතරතුර දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් සමඟ පූර්වවයෙන් සැලසුම් නොකල, රැස්වීමක් පැවැත්වීය. ද සිටිසන් වෙබ් අඩවියට අනුව,  බලය බෙදා හැරීම වැඩි කිරීම සඳහා දෙමල ජාතික සන්ධාන තල්ලුවේ කේන්ද්‍රීය වන පලාත් සභා අහෝසි කිරීම හෝ දුර්වල කිරීම සඳහා ශ්‍රී ලංකා ආන්ඩුවේ අභිප්‍රාය සම්පන්දන් විසින් මතු කරන ලදී.

වෙබ් අඩවිය වාර්තා කලේ, "දෙරට අතර" ප්‍රශ්නයක් බවට පත්වීම වැලැක්වීමේ අවශ්‍යතාව නිසා ඩොවාල් සහ සම්පන්දන්, උතුරු හා නැගෙනහිර ආර්ථික සංවර්ධනය පිලිබඳව සාකච්ඡා කල නමුත් ඔවුන්ට පලාත් සභා පිලිබඳ සාකච්ඡා යට ගැසීම අවශ්‍ය විය.

1987 ඉන්දු-ලංකා ගිවිසුමේ කොටසක් වූ පලාත් සභා, දිවයිනේ දෙමල සුලුතරයට එරෙහි පීඩනයට විසඳුමක් නොවන අතර, ද්‍රවිඩ ප්‍රභූ පැලැන්තියට දෙන ඕනෑම සහනයක්, හමුදා නායකත්වය ද ඇතුලු කොලඹ පාලක ප්‍රභූ පැලැන්තියේ කොටස් සලකන්නේ “පාවාදීමක්” ලෙස ය. 

මාලදිවයින සහ ශ්‍රී ලංකාව හැරුනු විට නවදිල්ලිය, පසුගිය වසර කිහිපය තුල චීනය සමඟ සමීප සබඳතා ගොඩනඟා ගත් රටක් වන නේපාලයේ සිය ක්‍රියාකාරීත්වය වැඩි කර තිබේ. 

ඔක්තෝබර් 21 වන දින ඉන්දියානු බාහිර බුද්ධි ඒජන්සිය වන පර්යේෂන හා විශ්ලේෂන අංශයේ ප්‍රධානී කුමාර් ගොයෙල් දින දෙකක සංචාරයක් සඳහා නේපාලයට ගියේය. ඉන් අනතුරුව ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ඩ් නාරවානේ නොවැම්බර් 4 වන දින දින තුනක් නේපාලයේ සංචාරය කල අතර, නොවැම්බර් 26 වන දින ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්රින්ග්ලා දින දෙකක සාකච්ඡා සඳහා කත්මන්ඬු නුවරට ගියේය. 

ඉන්දියාව, එක්සත් ජනපදයේ මූලෝපායික හවුල්කරුවෙකු වන අතර එක්සත් ජනපදය, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ චතුර්පාර්ශවීය ආරක්ෂක සංවාදයේ (QUAD) කොටසකි. මෙම චීන විරෝධී මිලිටරි සන්ධානය මෑත කාලයේ දී ශක්තිමත්ව ඇති අතර චීනයට එරෙහිව ඒකාබද්ධ මිලිටරි සැලසුම් සහ ක්‍රියාමාර්ග සඳහා කටයුතු කරමින් සිටී.චීනයට එරෙහි වොෂින්ටනයේ ප්‍රකෝපකාරී යුදවාදී ආස්ථානය, න්‍යෂ්ටික  බලවතුන් අතර මිලිටරි ගැටුමක් පුපුරා යාමේ අන්තරාය බෙහෙවින් වැඩි කර තිබේ.

 

Loading