මස්කෙලිය ගාර්ඩ්මෝර් වත්තේ කම්කරුවන් රැකියා සහ සමාජ අයිතීන් රැක ගැනීමේ අරගලයක

මස්කෙලිය ගාර්ඩ්මෝර් වත්ත විකිනීමට එහි හාම්පුතා විසින් තීරනය කර ඇති නිසා තම රැකියා හා පාරිතෝෂික දීමනා ඇතුලු සමාජ අයිතීන් අහිමිවීමේ තර්ජනයකට මුහුන දී සිටින එහි කම්කරුවෝ දෙසැම්බර් 28 වෙනිදා සිට අඛන්ඩ වර්ජනයකට පිවිස සිටිති. වත්තේ දඹහේන, බ්ලොක්මෝර්, ලාර්ජ් සහ අක්කර පනහ යන කොටස් හතරෙ ම 1000 ක් පමන කම්කරුවෝ වර්ජනයට සම්බන්ධ වී සිටිති.

කම්කරුවන් සාමාජිකත්වය දරන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය (එන්යුඩබ්ලිව්) සහ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) යන වෘත්තීය සමිති තුන ම ඔවුන් ගේ අයිතීන් රැක ගැනීමේ අරගලයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කර ඇති තතු තුල කම්කරුවන් වර්ජනයට එලඹ ඇත්තේ සමිති වලට පිටිනි.

සසප සාමාජික දේවරාජා ගාඩ්මෝර් කම්කරුවන් අමතමින්

1949 සිට වත්ත පාලනය කර ඇත්තේ සොයිසා පවුල විසිනි. අජන්ත සොයිසා එහි වර්තමාන හිමිකරුය. හෙක්ටෙයාර් 1200 වපසරියකින් යුත් වත්තේ හෙක්ටෙයාර් 60 ක් වසර හතරකට පෙර වෙනත් පුද්ගලයෙකුට විකුනා ඇති අතර දැන් සම්පූර්න වත්ත ම විකිනීමට තීරනය කර තිබේ.

දෙසැම්බර් 14 වෙනි දා වෘත්තීය සමිතිවල සාකච්චාවක් කැඳවූ සොයිසා වත්ත විකුනා දැමීමට තීරනය කර ඇති බවත් ඒ සම්බන්ධ ගිවිස ගැනීම් කෙරෙමින් පවතින බවත් දැනුම් දී ඇත. වත්ත විකිනීමට පෙරාතුව කලින් විශ්‍රාම ගොස් සිටින සහ මේ වනවිට වයස 55-60 සම්පූර්න වී සිටින කම්කරුවන්ගේ පාරිතෝෂික දීමනා ගෙවන බව ද ඔහු පවසා ඇත. මෙම කොටසට අයත් නොවන කම්කරුවන්ගේ පාරිතෝෂික දීමනා නව හිමිකරුවන් විසින් ඔවුන් විශ්‍රාම ගන්නා විට ගෙවනු ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

කම්කරුවන්ගේ අයිතීන් ගැන කිසිදු තැකීමක් නැති වෘත්තීය සමිති ඒ සියල්ලට එකඟ වී ඇත. එහෙත් නව හිමිකරු යටතේ ඔවුන්ගේ සමාජ අයිතීන් අහිමි වීම ගැන සාධාරන බියක් කම්කරුවන් තුල ඇත.

"වත්ත සම්පූර්නයෙන්ම විකුනන නිසා පාරිතෝෂික දීමනාව සහ කාර්යාලය තුල තියෙන අපේ උප්පැන්න හා මරන සහතික, සෞඛ්‍ය සහ අනෙකුත් වැදගත් ලියකියවිලි සම්බන්ධ වාර්තා සහිත ලිපිගොනු ආරක්ෂා වීම ගැන අපට කිසි විශ්වාසයක් නැහැ. සමහර විට අලුත් අයිතිකාරයා වත්ත කැබලි කරලා විකුනාවි. එහෙම වුනොත් පදිංචි ගෙවල් වලිනුත් අපව ඉවත් කරාවි. කලින් විකුනපු කොටස දැනටමත් වැටකින් වෙන් කරලා. අපි සටන් කරන්නේ පාරිතෝෂික දීමනාව ඇතුලු මේ සියලු අයිතීන් වෙනුවෙනුයි" කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය.

ලෝසවෙඅ වාර්තා කරුවන් සමග ග්ලැඩ්මෝර් වත්තේ කම්කරුවෝ සාකච්චා කරමින්

කම්කරු කාන්තාවක් වන පී.සරස්වතී කම්කරුවන් මුහුන දෙන දුෂ්කර වැඩ සහ සමාජ කොන්දේසි ගැන මෙලෙස විස්තර කලා ය: "අපි ඉතාමත් ම දුෂ්කර කොන්දේසි යටතේ වැඩකරන්නේ. ඒ තත්වය තුල වැඩ ඉලක්කය සම්පූර්න කරන්න බැහැ. සම්පූර්න පඩිය ගන්න දවසකට දලු කිලෝ 16ක් කඩන්න ඕන. අඩු වුනොත් ගෙවන්නේ පඩියෙන් භාගයයි. රුපියල් 700ක දවසේ පඩිය ලැබුනත් ඒක කෑමටවත් සෑහෙන්නේ නැහැ. වත්ත වටේට ගඟයි දිය ඇලියි තිබුනත් අපට ඇති තරම් වතුරවත් ලැබෙන්නේ නැහැ. ගෙවල් ප්‍රශ්නයත් බරපතලයි. අලුත්වැඩියා කටයුතු කරගන්න වෙලා තියෙන්නෙත් අපේ සල්ලිවලින්. වෘත්තීය සමිති කිසිදෙයක් කරන්නේ නැහැ. ඔවුන් එන්නේ චන්දෙ කාලෙට විතරයි. දැන් දවස් හතරක් අපි සටනේ ඉන්නවා. කිසි කෙනෙක් ආවේ නැහැ"

ගාර්ඩ්මෝර් වත්තේ කම්කරුවන්ගේ අරගලයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කල වෘත්තීය සමිති, වර්ජනය පැන නැගීමෙන් පසු එය සෙසු වතු කරා ද පැතිර යතැයි යන බියෙන්, ජනවාරි 4 වෙනිදා වත්තේ හිමිකරු සමග පවත්වන ලද සාකච්චාවේ දී කම්කරුවන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කරමින් වර්ජනය කඩාකප්පල් කිරීමේ උත්සාහයක යෙදී සිටිති. කෙසේ නමුත් කම්කරුවෝ දිගට ම වර්ජනයේ යෙදී සිටිති.

ගාර්ඩ්මෝර් වත්තේ කම්කරුවන්ගේ වර්ජනය වැඩ වේගවත් කිරීමට හා වැටුප් කප්පාදුවට එරෙහි ව වර්ධනය වන වතු කම්කරුවන්ගේ අරගලයේ කොටසකි. මස්කෙලිය වතු සමාගම විසින් පාලනය කරනු ලබන මොක්කා වත්තේ උඩ කොටසේ කම්කරුවෝ වැටුප් කප්පාදුවට විරුද්ධව දෙසැම්බර් 23 දා සිට සතියක අඛන්ඩ වර්ජනයක යෙදුනාහ. කම්කරුවන්ගේ අධිෂ්ඨානය සහ සටන්කාමිත්වය තිබූ නමුත් ඔවුන්ගේ අරගලය හුදකලා කල සමිති, වතු පාලනාධිකාරය සමග සාකාච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් වර්ජනය නතර කලහ.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන් කන්ඩායමක් දෙසැම්බර් 31 වෙනිදා වර්ජනයේ යෙදී සිටින ගාර්ඩ්මෝර් වත්තේ කම්කරුවන් මුන ගැසීම සඳහා ගියහ. එහිදී අරගලයේ නිරත කම්කරු කන්ඩායමක් ඇමතු සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා ගාර්ඩ්මෝර් වත්තේ කම්කරුවන්ගේ රැකියා සහ සෙසු සමාජ අයිතීන් සම්බන්ධ ගැටලුව වතු කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයේ කොටසක් බව පැහැදිලි කලේ ය:

"වෘත්තීය සමිති පාලකයන් සමග එකතු වෙලා කම්කරුවන්ට විරුද්ධ ව වැඩ කරන තත්වය තුල සමිති වලට පිටින් තමන්ගේ අයිතීන් රැක ගැනීම සඳහා ගාර්ඩ්මෝර් වත්තේ කම්කරුවන් ධෛර්යමත් අරගලයකට පිවිසීම අප සාදරයෙන් පිලි ගන්නවා. නමුත් හුදකලා වූ තනි අරගල හා හාම්පුතුන්ට බලපෑම් දැමීම මගින් කම්කරුවන්ට තම අයිතීන් දිනන්න බැහැ. රාජපක්ෂ ආන්ඩුව සහ වතු හාම්පුතුන් එල්ල කරන ප්‍රහාර වලට එරෙහි ව සියලු වතු කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය" බව ඔහු සඳහන් කලේ ය.

ගාර්ඩ්මෝර් වත්තේ කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න වලට, ප්‍රාදේශීය වතු සමාගම් 22ක ම කම්කරුවන් හාම්පුතුන් විසින් යෝජිත ආදායම් බෙදීමේ ක්‍රමය යටතේ මුහුන දෙන බව දේවරාජා පැවසීය. "රාජපක්ෂ ආන්ඩුව සහ වතු හාම්පුතුන් මෙම ප්‍රහාර එල්ල කරන්නේ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිවයි. ආදායම් බෙදීමේ ක්‍රමය යටතේ වතු සමාගම්වල ලාබය සඳහා වතු කම්කරුවන් වඩාත් රුදුරු ලෙස සූරාකෑමේ කොන්දේසි වලට යටත් කෙරෙනවා. අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් ඇතුලු දැනට පවතින සොච්චම් සහන පවා ඒ යටතේ වතු කම්කරුවන්ට අහිමි වෙන" බව ඔහු පැහැදිලි කලේය.

වතු කම්කරුවන්ට මෙන්ම පොදුවේ කම්කරු පන්තියේ අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරය පිටුපසින් පවතින්නේ කොරෝනා වසංගතය විසින් තීව්‍ර කෙරී ඇති අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමේ දුෂ්ඨ වුවමනාව බව දේවරාජා සඳහන් කලේ ය. රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් විසින් ක්‍රියාවට දමන මෙම පිලිවෙත ලෝකය පුරා ම ධනේශ්වර ආන්ඩු, මූල්‍ය සහ සංගත ප්‍රභුව එක්ව ක්‍රියාවට දමන පිලිවෙතේ කොටසක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

තම අයිතීන් සඳහා අරගලය කම්කරුවන් විසින් තමන්ගේ අතට ගතයුතු බව දේවරාජා අවධාරනය කලේ ය. "කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරා පත්කරගන්න නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගත යුතුයි. සෑම වත්තක ම පිහිටුවා ගන්න එවන් ක්‍රියාකාරී කමිටු හරහා රැකියා හා වැටුප් කප්පාදුවට, වැඩ වේගවත් කිරීමට හා සෙසු සමාජ අයිතීන් විනාශ කිරීමට එරෙහි ව වතු කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කල යුතු” බව දේවරාජා සඳහන් කලේ ය.

“වතු කම්කරුවන් කම්කරු පන්තියේ සෙසු කොටස් සහ ජාත්‍යන්තර, කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරු කර ගැනීම අවශ්‍යයි. වඩාත් තීරනාත්මක කරුන වන්නේ කවර ඉදිරිදර්ශනයක් මත කම්කරුවන්ගේ අරගලය පදනම් කල යුතු ද යන්නයි. කම්කරු පන්තියේ අයිතීන් සඳහා අරගලය පදනම් කල යුතු එක ම විකල්ප ඉදිරිදර්ශනය වන්නේ ධනවාදී ලාබ පද්ධතිය සහ ධනේශ්වර පන්ති පාලනය අහෝසි කරන ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයයි."

"එහි කොටසක් ලෙස මහා වතු, විශාල කම්හල් සහ බැංකු ඇතුලු මූලික ධනපති දේපල කම්කරු පාලනය යටතේ ජනසතු කරන හා ධනපතියන් අතලොස්සකගේ නොව කම්කරු පන්තියේ හා පීඩිත මහ ජනතාවන්ගේ අවශ්‍යතාවයන් සඳහා වූ සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා කම්කරු පන්තිය සටන් කල යුතු" බව ඔහු අවධාරනය කලේ ය.

සසප මග පෙන්වීම යටතේ හැටන්හි ඇබෝස්ට්ලි සහ ග්ලිනුයිජ් යන වතුවල කම්කරුවන්, පිලිවෙලින් කම්කරු ක්‍රියාකාරී කමිටුවක් සහ මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ගැනීමේ අත්දැකීම් පැහැදිලි කල දේවරාජා එවන් කමිටු ගාර්ඩ්මෝර් වත්ත තුල සංවිධානය කිරීමට ඉදිරිපත්වන ලෙසත් සසප ගොඩනැගීමට එක්වන ලෙසත් ඉල්ලා සිටියේ ය. ඔහුගේ ආරාධනය පිලිගත් කම්කරුවෝ ඒ සඳහා වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා එකඟත්වය ප්‍රකාශ කලහ.

Loading