ඉදිරිදර්ශන

ජනවාරි 6 ෆැසිස්ට් කුමන්ත්‍රනය

එක්සත් ජනපද කොන්ග්‍රසය කැලඹී යාම, භීතියට පත් සෙනෙට් සභිකයින් සහ සභාවේ සාමාජිකයන් හිස්ලූ ලූ අත විසිර යාම, ජෝශප් බයිඩන්ගේ මැතිවරන විද්‍යාලයේ බහුතරය නිල වශයෙන් වලංගු කිරීම ප්‍රමාද වීම සහ සභා කථානායක නැන්සි පෙලෝසි ගේ කාර්යාලය අල්ලාගැනීමට පවා හේතු වූ වොෂිංටන් ඩීසී හි ෆැසිස්ට් කැරැල්ල එක්සත් ජනපදයේ දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයකි.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අනභිභවනීයභාවය සහ සදාකාලිකභාවය පිලිබඳ උදාර උත්කර්ෂයට නැංවීම් මුලුමනින්ම හෙලිදරව් වී ඇති අතර එය හිස් දේශපාලන මිථ්‍යාවක් ලෙස අපකීර්තියට පත්ව ඇත. ඇමරිකානු ෆැසිස්ට්වාදයේ නැගීම පිලිබඳ සින්ක්ලෙයාර් ලුවිස්ගේ යුක්තිසහගත ප්‍රබන්ධ කථාවක මාතෘකාව වූ “එය මෙහි සිදුවිය නොහැක” යන ජනප්‍රිය වාක්‍ය ඛන්ඩය, සිද්ධීන් විසින් තීරනාත්මක ලෙස අභිබවා ගොස් ඇත. ෆැසිස්ට් කුමන්ත්‍රනයක් මෙහි සිදුවිය හැකිවා පමනක් නොව, 2021 ජනවාරි 6 වන දින දහවල් එය සිදු වී ඇත.

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් 2021 ජනවාරි 6 වන බදාදා වොෂිංටන්හි මහා මන්ත්‍රන සභා ශාලාවට පහර දෙති. (ඒපී ඡායාරූපය / ජෝන් මින්චිලෝ)

එපමනක් නොව, ආරම්භක උත්සාහය එහි ඉලක්කයට ලඟා නොවුනද එය නැවත සිදුවිය හැක.

ඊයේ සිදුවීම, ඉතා පරෙස්සමෙන් සැලසුම් කල කුමන්ත්‍රනයක ප්‍රතිඵලයකි. ධවල මන්දිරය සහ අනෙකුත් ප්‍රබල ආයතන, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන තුල උපායමාර්ගිකව ස්ථානගත කර ඇති ෆැසිස්ට් කුමන්ත්‍රනකරුවන්ගේ කල්ලියක් සමඟ කටයුතු කරමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එය උසිගන්වන ලදී. බදාදා මෙහෙයුම ට්‍රම්ප්ගේ පුතුන්, ස්ටීවන් මිලර් වැනි සමීප සහායකයින් මෙන්ම හමුදාව, ජාතික රැකවල් බලකාය සහ පොලීසිය තුල තිරය පිටුපස වැඩ කරන බොහෝ දෙනෙකුගේ වැගිරෙන දුර්ගන්ධය දරා සිටී.

කුමන්ත්‍රනය බල කොල්ලයේ නවීන සහ ප්‍රකට ශිල්පීය ක්‍රම උපයෝගී කර ගත්තේය. බයිඩන්ගේ මැතිවරන විද්‍යාලයේ බහුතරය අනුමත කිරීම සඳහා වූ කොංග්‍රස් රැස්වීම කුමන්ත්‍රනකරුවන් විසින් ශුභ මොහොත ලෙස තෝරාගන්නා ලදී. 2020 මැතිවරනයේදී වංචා කෙරී ඇති බවට ට්‍රම්ප් සහ ඔහුගේ හෙංචයියන් විසින් සති ගනනක් තිස්සේ ඇදබාන ලද බොරුවලින් මෙම පහරදීම සූදානම් කරන ලදී. සෙනෙට් බහුතර නායක මිච් මැක්කොනෙල් තීරනාත්මක මෙහෙයක් ඉටු කරමින් බයිඩන්ගේ මැතිවරනය රිපබ්ලිකන් පක්ෂය විසින් පිලිගැනීම සති ගනනක් රඳවා තබා ගත්තේය. එයින් ඔහු ඡන්ද හොරකම පිලිබඳ මුලුමනින්ම වංචනික ප්‍රකාශයන් සමඟ මැතිවරනය අපකීර්තියට පත් කිරීමට ට්‍රම්ප් ගත් උත්සාහයන්ට කාලය සහ නීත්‍යානුකූලභාවය ලබා දුනි.

රිපබ්ලිකන් කොන්ග්‍රස් සභිකයින්ගෙන් බහුතරයක් සහ රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් බදාදා පැවති දේශපාලන විවාදයේදී මැතිවරන විද්‍යාල ඡන්දයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් සැලසුම් සහගත දක්ෂිනාංශික නැගිටීම සඳහා අවශ්‍ය කඩතුරාව ලබා දුන්හ. මහා මන්ත්‍රනසභා ශාලාවට පහරදීම පිලිබඳ අවසාන සංඥාව ලබා දුන්නේ ට්‍රම්ප් විසින්ම ය. මිලිටරි හා පැරාමිලිටරි පුහුනුව ලැබූ අය විසින් මෙහෙයවන්නේ යැයි අයෙකුට සැකනැතිවම කිවහැකි සිය ආධාරකරුවන්ට ඔහු කැරලිකාරී දේශනාවක් කලේය.

ෆැසිස්ට් කල්ලි මහා මන්ත්‍රනසභා ශාලාවට ප්‍රහාරය එල්ල කරන විට කිසිදු ප්‍රතිරෝධයක් නොතිබූ බව දැනටමත් පුලුල් ලෙස සඳහන් වී තිබේ. මහා මන්ත්‍රනසභා ශාලා ගොඩනැගිල්ලේ වඩාත් තීරනාත්මක හා අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල පොලිසිය දැකගත නොහැකි විය. බදාදා පොලිස් ප්‍රතිචාරය දේශපාලනිකව තක්සේරු කිරීම සඳහා යමෙකුට අවශ්‍ය වනුයේ ලෆයෙට් උද්‍යානයේ සාමකාමී පොලිස් විරෝධී උද්ඝෝෂනයට එරෙහිව පසුගිය ජුනි මාසයේදී යොදාගත් ප්‍රචන්ඩත්වය සිහිපත් කිරීම පමනි.

මැතිවරනයේ ප්‍රතිඵල පෙරලා දැමීමට ට්‍රම්ප් දරන උත්සාහයට විරෝධය දැක්වීම සඳහා වොෂිංටනයේ වාමාංශික විරෝධතාවයක් කැඳවනු ලැබුවේ නම්, සියලු දෙනා දන්නා පරිදි පෙලපාලිකරුවන්ට පොලීසිය සහ ජාතික ආරක්ෂක බලකාය විසින් පෙන්වන දැවැන්ත බලයකට මුහුනදෙන්නට සිදුවනු ඇත. විරෝධතාකරුවන් අවට ඇති සෑම ගොඩනැගිල්ලකම සිට උපාය මාර්ගිකව පොලීසිය තියුනු වෙඩි තැබීම් සිදු කිරීමට ඉඩ තිබුනි. හමුදා හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා, ඉහලින් රවුම් ගසනු ඇත. සමූහයා විසින් සිදු කරන ලද සුලු හෝ අනවසර චලනයක්, කෙතරම් සාමකාමී වුවත්, ඔවුන් වහාම විසුරුවා හැරීම සඳහා ප්‍රමානවත් වනු ඇත. මිනිත්තු කිහිපයක් ඇතුලත කඳුළු ගෑස් කැනිස්ටර් ප්‍රහාර දියත් කරනු ඇත. දහස් ගනනක් නොවන්නේ නම්, සිය ගනනක්, මග අහුරා අත්අඩංගුවට ගනු ඇත.

කුමන්ත්‍රනයට ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය දේශපාලන නියාලු බවේ අනුකම්පා උපදවන ප්‍රදර්ශනයකි. කැරැල්ලේ පලමු පැය ගෙවී ගියේ එක් ප්‍රමුඛ ඩිමොක්‍රටික් නායකයෙකු හෝ කුමන්ත්‍රනය පිලිබඳව පැහැදිලි හෙලාදැකීමක් නිකුත් නොකරමිනි; කුමන්ත්‍රනයට මහජන විරෝධයක් ඉල්ලා නොසිටිමිනි. ට්විටර් වෙබ් අඩවියේ මිලියන ගනනක් අනුයන හිටපු ජනාධිපති ඔබාමා සහ ක්ලින්ටන් ලා දවස පුරා නිහඬව සිටියහ.

ජනාධිපති ධුරයට පත්වූ බයිඩන් ගැන කියන්නේ නම්, මහජනයා ඉදිරියේ පෙනී සිටීමට ඔහු පැය ගනනක් බලා සිටියේය. මහා මන්ත්‍රනසභා ශාලා ප්‍රහාරය රාජද්‍රෝහයක් ලෙස විස්තර කිරීමෙන් පසුව බයිඩන්, කුමන්ත්‍රනයේ නායකයාට මෙම අසාමාන්‍ය ආයාචනය කලේය, “මම ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටින්නේ දැන් ජාතික රූපවාහිනියට ගොස්, ඔහුගේ දිවුරුම ඉටු කර, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර, මෙම වටලෑම අවසන් කරන ලෙස ඉල්ලා සිටින ලෙසයි.”

සාමාන්‍යයෙන්, ව්‍යවස්ථාමය තන්ත්‍රය පෙරලා දැමීමේ උත්සාහයකට මුහුන දෙන විට, කුමන්ත්‍රනයෙන් තර්ජනයට ලක් වූ දේශපාලන නායකයා වහාම ජනමාධ්‍ය වෙත පිවිසීමට ද්‍රෝහීන්ට ඇති ඉඩකඩ සහ රටපුරා ප්‍රේක්ෂකයින් වෙත ලඟාවීමට ඔවුන්ට ඇති අවස්ථා අහිමි කිරීමට උත්සාහ කල යුතුය. එහෙත් ඒ වෙනුවට බයිඩන් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ, ජාතික රූපවාහිනියේ පෙනී සිට ඔහු විසින්ම සංවිධානය කර ඇති කැරැල්ල මැඩපැවැත්වීමට සහය දක්වන ලෙසය!

බයිඩන් සිය ප්‍රකාශය අවසන් කලේ පහත දැක්වෙන මහත් වූ ඉල්ලීමෙනි. “ඉතින්, ජනාධිපති ට්‍රම්ප්, ඉක්මන් කරන්න.” ෆැසිස්ට් ඒකාධිපතියාට කරන මෙම බංකොලොත් ආයාචනය බයිඩන් විසින් කල, “හිට්ලර්, හරි දේ කරන්න” ආකාරයේ කථාවක් ලෙස ඉතිහාසගත වනු ඇත.

කුමන්ත්‍රනයේ සම්පූර්න ගැඹුර හෙලිදරව් කිරීමට සහ එහි කුමන්ත්‍රනකරුවන් මෙන්ම සංවිධායකයින් වගකිව යුතු යැයි පැවසීමට මාධ්‍යය වලට තබා ඩිමොක්‍රටිකයින්ට වත් කිසිදු අදහසක් නොමැත. අපරාධය වසන් කිරීමේ උත්සාහය මේ වන විටත් ආරම්භ වී ඇති අතර, ඩිමොක්‍රටිකයින්ගේ සහ රිපබ්ලිකානුවන්ගේ “ද්වි පාර්ශවීය එක්සත්කමේ” අවශ්‍යතාවය පිලිබඳව මාධ්‍යය උජාරු ලෙස දේශනා කරමින් තිබේ.

සවස් වරුවේ සෙනෙට් සභාව, බයිඩන්ගේ මැතිවරනය තහවුරු කිරීමට ගත් තීරනය අර්බුදයේ අවසානය නොවේ.

කුමන්ත්‍රනකරුවන් සමඟ “එක්සත්කම” සඳහා වන ආයාචනා, ෆැසිස්ට් කුමන්ත්‍රනයක් සිදු කිරීමේ ඊලඟ උත්සාහය සඳහා මාවත හෙලිපෙහෙලි කරයි. මිචිගන් හි ලැන්සිං හි සන්නද්ධ ෆැසිස්ට් මැරයන් විසින් පසුගිය අපේ‍්‍රල් මාසයේ දී ප්‍රාන්ත මහා මන්ත්‍රනසභා ශාලාව ආක්‍රමනය කිරීමේ සහ 2020 සරත් සෘතුවේ දී ඩිමොක්‍රටික් ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තැත්කල කුමන්ත්‍රනයේ පාඩම මෙයයි. ඩිමොක්‍රටික් පක්ෂය සහ මාධ්‍ය මෙම අපරාධ ආවරනය කිරීම ඉක්මනින් නතර කල අතර ප්‍රහාරයට එරෙහිව විට්මර් ආරක්ෂා කලේ නැත. මේ වන විට කුමන්ත්‍රනකරුවන්ට සුලු තරවටුවකට වඩා යන්තමින් වැඩි දඬුවමක් ලැබී ඇත.

ෆැසිස්ට් කුමන්ත්‍රනයට ඩිමොක්‍රටිකයන්ගේ ප්‍රතිචාරය හුදෙක් බියගුලුකම හෝ මෝඩකම මගින් තීන්දු නොකෙරේ. ඒ වෙනුවට, මූල්‍ය-සංගත කතිපයාධිකාරයේ නියෝජිතයන් වශයෙන්, සාපරාධී කුමන්ත්‍රනය සහ එහි දේශපාලන අරමුනු හෙලිදරව් කිරීම, ධනේශ්වර රාජ්‍යයට සහ එය සේවය කරන අවශ්‍යතාවන්ට එරෙහි ව්‍යාපාරයක් බවට පත්වෙමින් කම්කරු පන්තිය තුල මහජන ප්‍රතිචාරයක් අවුලුවනු ඇතැයි ඔවුහු බිය වෙති.

කුමන්ත්‍රනය සැඟවීමට ගන්නා උත්සාහයට විරුද්ධ විය යුතුය. ට්‍රම්ප් වහාම ඉවත් කර අත්අඩංගුවට ගැනීමේ ඉල්ලීම කම්කරුවන් විසින් ඉදිරිපත් කල යුතුය. ජනාධිපති ධුරයේ අතිමහත් බලය උපයෝගී කරගනිමින් ඔහුගේ කුමන්ත්‍රනය දිගටම කරගෙන යාමට ඔහුට බලයේ රැඳී සිටීමට ඉඩ දිය නොහැක. ඔහු ධවල මන්දිරය තුල රඳවා තබා ගැනීම එක්සත් ජනපදයේ සහ සමස්ත ලෝක ජනතාවට ම විශාල තර්ජනයකි. ට්‍රම්ප්ට තවමත් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීමට සහ යුද්ධයක් දියත් කිරීමට බලය ඇත. ඔහුගේ ඇඟිල්ල න්‍යෂ්ටික ප්‍රහාරයක බොත්තම මත තිබේ.

ඔහුගේ සම-කුමන්ත්‍රනකරුවන් ද ධුරයේ තබා නොගත යුතුය. කුමන්ත්‍රනයට සම්බන්ධ රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් සහ කොන්ග්‍රස් සභිකයින්ද සෙනෙට් සභාවෙන් හා කොන්ග්‍රසයෙන් ඉවත් කර අත්අඩංගුවට ගෙන නඩු විභාගයට ගෙන සිරගෙට යැවිය යුතුය.

ඩිමොක්‍රටිකයින් ඔවුන්ගේ “රිපබ්ලිකන් සගයන්” ගැන දිගින් දිගටම සඳහන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන සමච්චලයකි.

කුමන්ත්‍රනයට සම්බන්ධ සියලු දෙනා හඳුනා ගැනීම සහ ඔවුන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම අරමුනු කරගත් විවෘත නඩු විභාගයක් සහිත මහජන පරීක්ෂනයක් සඳහා ඉල්ලීම ඉදිරිපත් කල යුතුය.

බයිඩන්ගේ පදවිප්‍රාප්තිය තවත් කැරැල්ලක් හිස එසවීමෙන් අවහිර නොවන්නේයැයි උපකල්පනය කලහොත්, කුමන්ත්‍රනකරුවන් අල්ලාගැනීම හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එලඹෙන බයිඩන් පරිපාලනය කෙරෙහි නිසැකවම විශ්වාසයක් තැබිය යුතු නැත.

බයිඩන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් නියෝජනය කරන්නේ එකම පාලක පන්තියේ තවත් දේශපාලන කන්ඩායමක් බව අමතක නොකල යුතුය. ට්‍රම්ප්ගේ මැතිවරනයෙන් පසු ඔබාමා ප්‍රකාශ කල පරිදි, ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් අතර ගැටුම “බිත්ති හතර ඇතුලත කෝලාහලයකට” වඩා වැඩි දෙයක් නොවේ, එනම් එකම කන්ඩායමේ සාමාජිකයන් අතර මිත්‍රශීලී සටනකි. බදාදා සවස නිකුත් කල නිවේදනයක ඔබාමා රිපබ්ලිකානුවන්ට ප්‍රශංසා කිරීම සඳහා නියාලු ලෙස මෙසේ ලිවීය: “ජනාධිපතිගේ පක්ෂයේ බොහෝ සාමාජිකයින් අද සැරෙන් කතා කරනු දැකීමෙන් මා සතුටට පත්වුනා.” එවැනි ප්‍රකාශයක එකම අරමුන ෆැසිස්ට් කුමන්ත්‍රනයේ තරම පිලිබඳ සත්‍යය වසන් කිරීමයි.

2021 ජනවාරි 6 සිදුවීම් අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. ඒකාධිපති පාලනයක් පැනවීමේ අනාගත උත්සාහයන් පරාජය කිරීම සඳහා කම්කරු පන්තිය දේශපාලන උපාය මාර්ගයක් සහ ක්‍රියාකාරී සැලැස්මක් විස්තාරනය කල යුතුය.

ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වුවද ධනේශ්වර ප්‍රතිගාමීත්වය සහ ප්‍රති විප්ලවයේ දේශපාලන හා ආර්ථික ගතිකය දිගටම පවතිනු ඇත. මෙම ගතිකය ජනවාරි 20 න් පසු පහව යන්නේ නැත. කොන්ග්‍රස් හා සෙනෙට් සභික දූත පිරිස අතර කෝටිපතියන්, සීඅයිඒ හා මිලිටරිය සමඟ සමීපතම සබඳතා ඇති පුද්ගලයින් සිටින ඩිමොක්‍රටික් පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් යටපත් කිරීමේ කුමන්ත්‍රනයක් සංවිධානය කිරීමේදී ඇත්තේ රිපබ්ලිකානුවන්ට වඩා අඩු හැකියාවක් නොවේ.

කෙසේ වෙතත්, වෝල් වීදිය සහ මිලිටරිය විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති අනුගමනය කරන බයිඩන් පරිපාලනයේ ප්‍රතිපත්ති, ෆැසිස්ට්වාදීන්ට ගසාකනු ලැබිය හැකි කෝපය හා කලකිරීම් නොකඩවා තීව්‍ර කරනු ඇත.

පසුගිය වසර පුරාම, රංචු ප්‍රතිශක්තිය පිලිබඳ පාලක පන්තියේ ප්‍රතිපත්තියට එරෙහිව කරන ලද නොනවතින අරගලයේදී, සමාජවාදී සමානතා පක්ෂය, වසංගතයට පාලක පන්තියේ අමානුෂික ප්‍රතිචාරය සහ ට්‍රම්ප් පරිපාලනය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහර දීම අතර ඇති සම්බන්ධය සවිස්තරාත්මකව පෙන්වා දී ඇත.

අන්තරාය පහව ගොස් නැත.

කම්කරු පන්තියේ සියලුම කොටස් බලමුලු ගැන්වීම තුලින් පුළුල් ලෙස පදනම් වූ මහජන ප්‍රතිරෝධයක් සංවිධානය කිරීමට හැකියාව ඇති ක්‍රියාකාරී කමිටු ජාලයක් කර්මාන්තශාලා සහ සේවා ස්ථානවල ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.

සියල්ලටමත් වඩා, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය බිඳී යාම ධනවාදයේ අර්බුදය තුල මුල් බැස ඇති බව කම්කරුවන් තේරුම් ගත යුතුය. සමාජ අසමානතාවය දැවැන්ත මට්ටමින් පිපිරී ගොස් ඇති සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කල නොහැකිය.

ජනවාරි 6 පාඩම් උකහාගන්න!

සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙමින් සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන අරගලය භාරගන්න.

[මෙම ලිපිය ජනවාරි 7 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින. ]

Loading