ශ්‍රී ලංකාවේ ආන්ඩුව ව්‍යාජ චෝදනා මත තරුන මුස්ලිම් කවියකු සිරගත කරයි

[මෙම ලිපිය දෙසැම්බර් 21 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

25 හැවිරිදි ශ්‍රී ලාංකීය කවියකු වන අහ්නාෆ් ජසීම් මුස්ලිම් අන්තවාදය ප්‍රචාරය කරන බවට ව්‍යාජ චෝදනා එල්ල කරනු ලැබ අධිචෝදනා ඉදිරිපත් කිරීමකින් තොර ව 2020 මැයි 16 වැනි දා සිට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) අත්අඩංගුවේ පසු වෙයි. ඔහු අත්තඩංගුවට ගනු ලැබ ඇත්තේ රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේයි.

කෝවිඩ් 19 වසංගත අවදානම හේතුව ලෙස ප්‍රකාශ කරමින් දෙසැම්බර් 8 වැනි දිනට යෙදී තිබුණු නඩු විභාගය 2021 මාර්තු දක්වා කල් දමන ලදි. සත්තකින් ම, අහ්නාෆ් නොකඩවා රඳවා තබාගැනීම වනාහි රාජපක්ෂ ආන්ඩුවේ නොකඩවා ගෙන යන මුස්ලිම් විරෝධී දඩයමෙහි සහ ප්‍රකාශන නිදහසට එරෙහි ප්‍රහාරවල කොටසකි.

ඕනෑ ම කෙනෙකු අධිචෝදනා ඉදිරිපත් කිරීමකින් තොර ව මාස ගනන් රඳවා තබාගැනීමට හා වධ දීම මඟින් ලබාගත් පාපෝච්චාරන අධිකරන තුල සාක්ෂි ලෙස යොදාගැනීමට බලධාරීන්ට ඉඩ සලසන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ප්‍රජාගනවාදී 30 අවුරුදු යුද්ධය තුල පුලුල් ව යොදාගන්නා ලද්දකි.

අහ්නාෆ් ජසීම් (ෆේස්බුක් ඡායාරූපයක්)

යුද සමය තුල උතුරෙහි, නැගෙනහිර හා දකුනේ දහස් ගනන් දෙමල තරුනයෝ එල්ටීටීඊ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්නා ලදහ. සියගනන් දෙනා සිරගත ව සිටින අතර, බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගත් පසු "අතුරුදන්" වූහ.

මන්නාරමුදු අහ්නාෆ් නමැති ලේඛක නාමයෙන් ලියන කවියා 2019 වසරේ පාස්කු ඉරිදා අයිඑස්අයිඑස් හා සම්බන්ධ කන්ඩායමක් විසින් දේවස්ථාන හා හෝටල්වලට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ කිරීමට සීඅයිඩීය උත්සාහ දරමින් සිටී. මෙම බෝම්බ ප්‍රහාරවලින් 269 දෙනෙකු මරා දැමුනු අතර තවත් සියගනනක් තුවාල ලැබූහ.

ඔහුගේ පොතක් වන නවරසම් (රස නවය) ඔහු ත්‍රස්තවාදයට සහාය පල කරන බව පෙන්වා සිටිතියි සීඅයිඩීය කියා තිබේ. මේ කියාපෑම් බොරු ය. සත්තකින් ම කෘතියෙන් සාමය හා වාර්ගික එක්සත්කම ප්‍රවර්ධනය කරන අතර අයිඑස්අයිඑස් සංවිධානයේ මිනීමරු පිළිවෙත්වලට සතුරු ආකල්පයක් ගන්නේ එයට ඉස්ලාමය සමඟ මොන ම සම්බන්ධයක් හෝ නොමැති බව ප්‍රකාශ කරමිනි.

උරුවාක්කු (නිර්මානය කරනු) මැයින් යුතු එහි එන එක් කවියක් අවි ගත් ප්‍රචන්ඩත්වය හෙලාදකිමින් වචන හා ලේඛනය අවි බව - එනම් පෑන කඩුවට වඩා බලවත් බව - ධ්වනිත කරයි.

මන්ඩ්‍රක්කවි (Forum Poet) නමැති තවත් කවියක් අයිඑස්අයිඑස් දුර්ජනයින් ලෙස හෙලාදකියි. තවත් කවි මැදපෙරදිග එක්සත් ජනපදයේ නායකත්වය සහිත අධිරාජ්‍යවාදී යුද්ධවලට එරෙහි වන අතර, මධ්‍යධරණී මුහුද තරනය කරද්දී ජීවිත අහිමි වූ සරනාගතයින්ගේ තත්වය පිලිබඳ උත්සුකය කලාත්මක ව හා බලගතු සහනුභූතියකින් යුතු ව පල කරයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයේ නියෝගයකට අනුව, ප්‍රමුඛ ලමා රෝහලක් වන රිජ්වේ ආර්යා ලමා රෝහලේ ලමා මනෝවෛද්‍යවරුන් පිරිසක් වෙත අහ්නාෆ්ගේ ඇතැම් කවි යවනු ලැබී ය. ඔහු ලමුන් අතර සිය පොත බෙදාහැර ඇති බැවින් මෙය අත්‍යවශ්‍ය බව පොලිසිය කියා සිටියේ ය. සරල බසකින් නො ව සාම්ප්‍රදායික ශෛලියකින් ලියා තිබුනු මෙම කවි පදානුගත ක්‍රමයකට පරිවර්තනය කරනු ලැබ, මේ ප්‍රමානවත් නොවන පරිවර්තන පාදක කරගනිමින් මෙම කවි හානිකර බව තීරනය කරනු ලැබ ඇත.

ඩේලි එෆ්ටී පුවත්පතට අනුව අධිකරනයට ඉදිරිපත් කෙරුනු එම වාර්තාව පොත "ප්‍රචන්ඩත්වයට අනුබල දෙයි, ලිංගික හැඟීම් පුබුදුවයි, සිය දිවි හානි කරගැනීම ප්‍රවර්ධනය කරයි, මරනය උත්කර්ෂයට නංවයි, ලොව පුරා මුස්ලිම් ජනතාවට සිදු ව ඇතැයි දකින අසාධාරනයන් පිළිබඳ කතා කරමින් ඒවාට වගකිවයුත්තන්ට එරෙහි ප්‍රචන්ඩත්වය අවුලුවයි." යයි ප්‍රකාශ කලේ ය.

කවියක් ඉදිරිපත් කරන අහ්නාෆ් ජසීම් (යූටියුබ් වීඩියෝවකින්)

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරයට පසු සිය බ්ලොග් අඩවියෙහි පල කරන ලද කවියක අහ්නාෆ් කෙලින් ම හා පැහැදිලි භාෂාවෙන් එම ප්‍රහාර සහ අයිඑස්අයිඑස් හෙලාදකින්නේ මෙම ප්‍රහාරවලට ගොදුරු වූවන්ට සහෝදරත්වය ද පල කරමිනි. සීඅයිඩීය හිතාමතා ම මේ කවිය නොතකා හැරියේ ය.

අහ්නාෆ්ගේ මුල් ගම මන්නාරම් දිස්ත්‍රික්කයේ සිලාවතුර වන අතර ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ මදුරන්කුලිය පිහිටි ස්කූල් ඔෆ් එක්සලන්ස් පාසැලෙහි අතිරේක ඉගැන්වීම් කටයුතුවල යෙදී සිටියේ ය. 'සේව් ද පර්ල්' පුන්‍යායතනයට අයත් පාසැල පාස්කු ප්‍රහාර සමඟ නැතහොත් ශ්‍රී ලංකාව තුල මුස්ලිම් අන්තවාදය ප්‍රචාරය කිරීම සමඟ සම්බන්ධ කිරීමට ප්‍රයත්න දරන සීඅයිඩීයේ පරීක්ෂණවලට ලක් වෙමින් පවතී.

'සේව් ද පර්ල්' ආයතනයෙහි හවුල්කරුවකු ද මානව හිමිකම් ක්‍රියාධරයකු ද වන ප්‍රමුඛ නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 අප්‍රේල් මස සිට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවනු ලැබ සිටී. බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ඔහු සිය නීතිඥයින් හමු වීම වලක්වා තිබීමට එරෙහි ව රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේත් එතෙරත් මානව හිමිකම් සංවිධාන හිස්බුල්ලා සිරගත කිරීම හෙලාදැක ඔහු වහා ම නිදහස් කරන මෙන් ඉල්ලා සිටී. මාස නවයකට අධික කලක් තිස්සේ ඔහු සිරගත කොට තිබුන ද පොලිසිය තව ම ඔහුට එරෙහි කිසිදු අධිචෝදනාවක් ඉදිරිපත් කොට නැත.

ත්‍රස්ත බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් තව කී දෙනෙකු අත්අඩංගුවේ පසු වෙත්දැයි පැහැදිලි නැත. හිටපු ආන්ඩුවේ ඇමති රිෂාඩ් බදියුද්දීන් සහ ඔහුගේ සොහොයුරු රියාඩ් බදියුද්දීන් ඇතුලු බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයෝ ද රඳවාගනු ලැබූහ. ඒ දෙදෙනාට ම පසු ව ඇප මත නිදහස ලැබිනි.

පෙර ආන්ඩුවේ හිටපු නායකයින්ට සහ මිලිටරි හා පොලිස් ප්‍රධානීන්ට පාස්කු ඉරිදාට පෙර ප්‍රහාරය පිලිබඳ ඔත්තු සේවා අනතුරු ඇඟවීම් ලබා දුන් බවට පැහැදිලි සාක්ෂි මඟින් අනාවරනය වී ඇත. කල් තබා අනතුරු ඇඟවීම් ලද දේශපාලන නායකයින් අතර එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු විපක්ෂ නායක ද වූහ. කිසිදු පියවරක් නොගත් ඔවුහු වැඩී ගෙන එන පන්ති අරගලය තලා දැමීමේ අරමුනින් ප්‍රහාර සිදු වීමට ඉඩ හලහ.

කොලඹ මාධ්‍ය මෙන් ම තමන්ගේත් තම සොහොයුරු මහින්ද රාජපක්ෂගේත් මැතිවරන උද්ඝෝෂනයේ කේන්ද්‍රීය මාතෘකාවක් බවට එය පත් කරගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මුස්ලිම් විරෝධී හැඟීම් ඇවිස්සීම සඳහා ත්‍රස්ත බෝම්බ ප්‍රහාර නොකඩවා යොදාගනිමින් සිටී. විරුද්ධ පක්ෂ ද මේ වියරු මුස්ලිම් විරෝධී ප්‍රචාර අනුමත කරන අතර ඒවා කම්කරු පන්තිය දුර්වල කිරීම සඳහා යොදාගනු ලැබේ.

රාජපක්ෂ ආන්ඩුව, එහි මහ ව්‍යාපාර හිතැති පිලිවෙත්වලට, කොවිඩ් 19 වසංගතයට දක්වා ඇති කිසිසේත් ප්‍රමානවත් නොවන ප්‍රතිචාරයට හා මිලිටරිය මත වාරු වූ ජනාධිපති ආඥාදායකත්වයක් කරා යන ගමනට එරෙහි ව නැඟෙන කම්කරු පන්තික අරගලවලට මුහුන දෙද්දී හිතාමතා ම බෙදුම් නිර්මානය කරන ප්‍රජාගනවාදය හා ලේඛකයින්ට එරෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර ප්‍රවර්ධනය කරමින් සිටී.

ආන්ඩුවේ මුස්ලිම් විරෝධී දඩයමෙහි අලුත් ම ගොදුර වන අහ්නාෆ් සිරගත කොට සිටින බව එලිමහනට පැමිනියේ සැප්තැම්බර් මාසයේ දී ඔහුගේ කවි හිස්බුල්ලාගේ නඩුව තුල යොදා ගැනුනු විට ය. සත්දෙනෙකුගෙන් යුත් තරුන කවියාගේ දුගී පවුලේ සාමාජිකයෝ අනියම් රැකියා හා කුඩා පරිමාන වගාවකින් ලැබෙන ඉතා සුලු ආදායමකින් යැපෙන්නෝ වෙති. ඔවුනට නීතිඥයකුගේ සහාය ලබාගැනීම තබා සිරගෙදර සිටින අහ්නාෆ් බැලීමට යාම සඳහා වත් වියදම් දැරීමට නොහැකි ය.

අහ්නාෆ් දැනට රඳවනු ලැබ සිටින ස්ථානය, ඔහු මුහුන දෙන සිරගෙදර වාතාවරනය හෝ ඔහුගේ නීතිමය තත්වය ගැන තොරතුරු ඔහුගේ පවුලට ලබා දී නැත. තමන් යහතින් සිටින බව කීමටත් ඔවුන්ගේ දුකසැප විමසීමටත් ඔහුට සිය දෙමාපියන්ට මිනිත්තු කිහිපයක් දුරකථනයෙන් ඇමතීමේ ඉඩ ගිය සතියේ ලබා දී තිබිනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) අහ්නාෆ් අත්අඩංගුවේ තබාගැනීමට මුලුමනින් ම එරෙහි වෙයි. මේ තරුන කවියා සිරගත කිරීම හා ඔහුට එරෙහි ව සිදු කෙරෙන දඩයම වනාහි ලේඛකයින්, කලාකරුවන්, බුද්ධිමතුන් හා ආන්ඩුව මූලික අයිතීන්ට එල්ල කරන ප්‍රහාරවලට එරෙහි වන සියලු දෙනා නිහඬ කිරීමේ වෑයමකි. අහ්නාෆ් වහා නිදහස් කරන ලෙස බල කරන මෙන් ද ඔහුගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා ප්‍රකාශන නිදහස ආරක්ෂා කිරීමට සටන් කරන මෙන් ද කම්කරුවන්ට, තරුනයින්ට හා බුද්ධිමතුන්ට අපි අවධාරනය කරමු.

Loading