නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ 1619 ව්‍යාපෘතිය හා ඉතිහාසය වර්ගවාදී ලෙස මුසාකරනය - හැඳින්වීම

[මෙම ලිපිය 2020 දෙසැම්බර් 4 වැනි දින ඉංග්‍රීසි බසින් පල විය.]

පහත පල කෙරෙන්නේ ඉදිරියේ ප්‍රකාශයට පත් වීමට නියමිත The New York Times’ 1619 Project and the Racialist Falsification of History (නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ 1619 ව්‍යාපෘතිය හා ඉතිහාසය වර්ගවාදී ලෙස මුසාකරනය) නම් ග්‍රන්ථයට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් ලියූ හැඳින්වීමයි. 2021 ජනවාරියේ අග භාගයේ පල කෙරී බෙදා හැරීමට නියමිත මෙම කෘතිය සඳහා මෙරිං පොත් ප්‍රකාශකයන් වෙත කල්තබා ඇනවුම් දැන් ලබා දිය හැකිය.    

මෙම ග්‍රන්ථය, ඇමරිකානු විප්ලවයේ හා සිවිල් යුද්ධයේ ඉතිහාසය පිලිබඳ වර්ගවාදී මුසාකරනයක් වූ නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ 1619 ව්‍යාපෘතිය විස්තීර්න ලෙස ඛන්ඩනය කරයි. ඓතිහාසික නිබන්ධනවලට අමතරව, ජේම්ස් මැක්ෆර්සන්, ජේම්ස් ඕක්ස්, ගෝඩ්න් වුඩ්, කාවඩයින්, වික්ටෝරියා බයිනම්, සහ ක්ලේබෝන් කාසන් ඇතුලු එක්සත් ජනපදයේ කීර්තිමත් ඉතිහාසඥයන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා ද එහි අඩංගු වේ. 

***

ගෞරවයෙන් යුතුව මා ප්‍රකාශ කරන්නේ, පීඩිතයන්ට සිය අනන්‍යතාව සඳහා ද, අනුප්‍රානය ලැබීම සඳහා ද ඉතිහාසය අවශ්‍ය විය හැකි නමුත්, ඔවුන්ට එය අන් හැම දෙයකටමත් වඩා අවශ්‍ය වනුයේ, ලෝකය ඔවුන්ගෙන් කුමක් නිර්මානය කොට ඇත් ද, හා ලෝකයෙන් කුමක් නිර්මානය කිරීමට තමන් ආධාරකාරී වී ඇත් ද යන්න පිලිබඳ සියලු සත්‍යය වටහා ගැනීමට බවය. අනුප්‍රානය ලැබීම සඳහා ප්‍රමානවත් විය යුතු පමනින් අනන්‍යතාව පිලිබඳ හැඟීම නිර්මානය කල හැක්කේ එකී දැනුමටම පමනෙකි; තව ද, යශෝධර නිමේෂයන් හා වීරවරයන් සම්පාදනය කරවා ගැනීමට ඉතිහාසය දෙස බලන්නන්ට සෑමවිටම දේශපාලන විනිශ්චයේ විනාශකාරී දෝෂයන් සිදුකිරීමෙන් විශ්වාසභංගත්වයට ඇද වැටෙන්නට සිදු වනු ඇත. - ඉයුජින් ජෙනොවීස් [1]

දෘෂ්ඨිවාදී හා ඓතිහාසික යන දෙවර්ගයේ ම මිත්‍යා කථා ආසන්නතම පන්ති උත්සුකයන්ගේ නිෂ්පාදිතයෝ වෙති. ... ඇතැම්විට ඓතිහාසික සත්‍යය ප්‍රතිෂ්ඨාපනය කිරීම මඟින් - අතීතයේ සැබෑ කරුනු හා ප්‍රවනතා අවංකව ඉදිරිපත් කිරීම මඟින් - මෙකී මිත්‍යාවන් ඛන්ඩනය කර දැමීමට හැකි වනු ඇත. - වඩීම් ඉසෙඩ්. රොගොවින් [2]

2019 අගෝස්තු 14 වන දින නිව්යෝර්ක් ටයිම්ස් 1619 ව්‍යාපෘතිය දියත් කලේය. වර්ජිනියා යටත්විජිතය වෙත ප්‍රථම වහලුන් පිරිස පැමිනීමේ හාරසියවන සංවත්සරය සමඟ සමපාත වන ලෙස කල්යල් බලා නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ පිටු 100 ක විශේෂ සංස්කරනයක් නිකුත් කෙරින. එය සමන්විත වූයේ, ඇමරිකානු ඉතිහාසය සුදු වර්ගවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලු ඇමරිකානුවන් විසින් දියත් කරනු ලැබූ කේවල සටනක් වූ අනම්‍ය වර්ගවාදී අරගලයක් ලෙස ඉදිරිපත් කෙරෙන නිබන්ධ මාලාවකිනි.

ටයිම්ස් සඟරාව 1619 ව්‍යාපෘතිය පසුපසින් දැවැන්ත සංස්කාරක හා මූල්‍ය සම්පත් බලමුලු ගැන්වීය. සංගතවල හිමිකාරිත්වය යටතේ පවතින, අර්බුද වාර්තාකරනයේ පුලිට්සර් මධ්‍යස්ථානයේ පිටුබලය ලබමින්, පාසල්වලට පිටපත් ලක්ෂ ගනනින් යවන ලදී. 1619 ව්‍යාපෘතිය අනෙකුත් ජනමාධ්‍ය ආකෘතීන් කරා ද වපුරනු ලැබීය. ප්‍රකෝටිපති මාධ්‍ය තාරකාවක් වන ඔප්රා වින්ෆ්‍රේගේ අනුග්‍රහයෙන් චිත්‍රපට හා රූපවාහිනී වැඩසටහන් සැකසීමේ සැලසුම් නිවේදනය කිරීම පවා සිදු විය.

ව්‍යාපාරික කටයුත්තක් ලෙස 1619 ව්‍යාපෘතිය අසීරුවෙන් දන ගා යමින් සිටී. එහෙත් ඉතිහාසය සංශෝධනය කිරීමේ ප්‍රයත්නයක් ලෙස එය, බොහෝ දුරට, අපකීර්තියට පත් වී ඇත. මෙම ප්‍රතිඵලය සම්බන්ධයෙන් බොහෝ දුරට හිමිකම් කිව හැක්කේ, අග්‍රගන්‍ය හා ධෛර්ය සම්පන්න ඉතිහාසඥයන් ගනනාවකගේ සහාය ලබමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය කල මැදිහත්වීමටය. එය 1619 ව්‍යාපෘතිය යනු කුමක්දැයි - එනම්, එය ඇමරිකානු ඉතිහාසයේ ප්‍රධාන ධාවක බලවේගය වර්ගවාදය හා වාර්ගික ගැටුම් බවට දක්වන, දේශපාලනික අභිමතාර්ථ විසින් පොලඹවනු ලැබූ, තුච්ඡ මාධ්‍යකරනයේ, නොසැලකිලිමත් හා අවමන් සහගත පර්යේෂනවල සංකලනයක් වූ, ව්‍යාජ ආඛ්‍යානයක් බව - හෙලිදරව් කලේය.

නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ 1619 ව්‍යාපෘතිය හා ඉතිහාසය වර්ගවාදී ලෙස මුසාකරනය

ඇමරිකානු ඉතිහාසය වටහා ගත හැක්කේ එය වාර්ගික ඝට්ඨනයන්හි ප්‍රිස්මය තුලින් බැලූ කල්හි පමනෙකිය යන සිය කියාපෑමට සහාය පිනිස, ඇමරිකානු ඉතිහාසයේ මූලික සිදුවීම් දෙක - එනම්, 1775-83 විප්ලවය හා 1861-65 සිවිල් යුද්ධය - අපකීර්තියට පත් කිරීමට 1619 ව්‍යාපෘතිය යත්න දැරීය. මෙය සාක්ෂාත් කර ගැනීමට, විකෘතිකරනයන්, බැහැර කරලීම්, අර්ධ සත්‍යයන් හා ව්‍යාජ ප්‍රකාශ මාලාවක් අවශ්‍යව තිබින. මෙකී රැවටිලිකාරකම් මේ පොත තුල සූචිගත කොට බිඳ දමා ඇත.

නිව්යෝර්ක් ටයිම්ස් වූ කලී වංක හා ප්‍රතිපත්ති විරහිත මාධ්‍යකරනය නිසා නිපන් අපකීර්තීන්ට කිසිසේත් ආගන්තුකයෙකු නොවේ. එහි දීර්ඝ කලු පැල්ලම් සහිත ඉතිහාසයට අයත් කථාංග අතර, 1936-38 මොස්කව් හොර නඩුවලට එහි පුලිට්සර් සම්මාන ලාභී වාර්තාකරු වෝල්ටර් ඩුරන්ට්ලි ලබාදුන් චරිත සහතිකය, දෙවැනි ලෝක යුද්ධය සමයේ යුරෝපීය යුදෙව්වන් දශ ලක්ෂ ගනනක් ඝාතනය කිරීම විස්තරාත්මක හා ක්‍රමානුකූල වාර්තා කිරීමක් අවශ්‍ය නොවන 'සාපේක්ෂව නොවැදගත් ප්‍රවෘත්තියක්' ලෙස සැලකීමට එය ගත් අයුක්තිසහගත තීරනය ආදිය පවතී. [3] වඩාත් මෑතකදී, ජුඩිත් මිලර්ගේ වාර්තා හා තෝමස් ෆ්රීඩ්මන්ගේ තීරු ලිපි විසින් 2003 ඉරාක ආක්‍රමනය යුක්තියුක්ත කරනු වස් සේවය කල 'සමූල ඝාතක අවි' පිලිබඳ රජයේ සාවද්‍ය තොරතුරු තොරොම්බල් කරනු ලැබීමේ චෝදනාව ද ටයිම්ස් වෙත එල්ල විය. විශේෂයෙන්ම පසුගිය දශකය තුල, නිව්යෝර්ක් කොටස් වෙලඳ පොලෙහි ඩොලර් බිලියන 7.5 ක ප්‍රාග්ධන සම්පාදනයක් සමඟ ලැයිස්තුගත වී ඇති නිව්යෝර්ක් ටයිම්ස් ආයතනය මාධ්‍ය අධිරාජ්‍යයක ස්වභාවය වඩවඩාත් අත්පත් කර ගැනීමත් සමඟ, මාධ්‍ය සදාචාරයේ සාමාන්‍යයෙන් ලිහිල් ප්‍රමිතීන් පවා අතිශය නින්දා සහගත ආකාරයෙන් උල්ලංඝනය කිරීම් පිලිබඳ වෙනත් උදාහරන ගනනාවක් ගෙන හැර දැක්විය හැකි වේ.

පන්ති අරගලයේ සිට වාර්ගික ගැටුම් කරා මාරු වීම රික්තයක් තුල සිදු වූ වර්ධනයක් නොවීය. අප ඉදිරියේ පැහැදිලි කරන පරිදි, නිව්යෝර්ක් ටයිම්ස් සඟරාව මධ්‍යම පාන්තික ශාස්ත්‍රාලිකයන්ගේ සැලකිය යුතු කොටස් තුල දශක ගනනාවක් පුරා පැසවමින් පැවැති ප්‍රතිගාමී බුද්ධිමය ප්‍රවනතාවලින් පෝෂනය ලබමින් ඒවා ස්වකීය ප්‍රයෝජනයට යොදවා ගනී.

1619 ව්‍යාපෘතිය නිර්මානයෙහි ලා යොදවා ගත් ප්‍රතිපත්ති විරහිත හා වංක විධික්‍රම නිර්නය කෙරුනේ එම ව්‍යාපෘතියට පෙලඹවීම ලබා දුන් දේශපාලන උත්සුකයන් හා අදාල දෘෂ්ඨිවාදාත්මක ප්‍රයුක්තීන් විසිනි. ඇමරිකානු ඉතිහාසය සම්බන්ධයෙන්, විප්ලවය හා සිවිල් යුද්ධය පිලිබඳ ප්‍රමුඛ විද්වතුන්ගේ විචාරාත්මක ඇගයීම යටතේ නොබිඳී සිටිය නොහැකි, වාර්ගික-පදනමකින් යුත් ආඛ්‍යානයක් තමන් විසින් ප්‍රවර්ධනය කෙරෙන්නේය යන කරුන නිව්යෝර්ක් ටයිම්ස් සඟරාව හොඳින් දැන සිටියේය. වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ හා ප්‍රාමානික ඉතිහාසඥයන්ගෙන් තොරතුරු හා උපදෙස් ලබාගැනීම නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ සංස්කාරකවරයා හිතාමතාම ප්‍රතික්ෂේප කලේය. තවද, 1619 ව්‍යාපෘතියේ කේන්ද්‍රීය තර්කවලට පිටුබලය දෙනු වස් භාවිතා කෙරුනු සාවද්‍ය ප්‍රකාශ ටයිම්ස්හි කරුනුවල හරිවැරදි පරීක්ෂා කරන්නන් අතරින් එක් අයෙකු විසින් හඳුනා ගැනුනු කල්හි, ඇගේ සොයාගැනීම් නොතකා හරින ලදී. සදොස් කියාපෑම් හා දෝෂසහගත කරුනු හෙලිදරව් කෙරුනු කල්හි ටයිම්ස් සඟරාව, අන්තර්ජාලයේ පල කර තුබූ 1619 ව්‍යාපෘතියේ ලේඛනවල ප්‍රමුඛතම වාක්‍ය ඛන්ඩ කූට ලෙස සංස්කරනය කිරීමට ක්‍රියා කලේය. ගෝර්ඩ්න් වුඩ් හා ජේම්ස් මැක්ෆර්සන් වැනි ඉතිහාසඥ පෞරුෂයන්ගේ දැනුමෙන් හා විශාරදභාවයෙන් ටයිම්ස් සඟරාවට පලක් නොවීය. ප්‍රධාන නිබන්ධිකා හැනා-ජෝන්ස් විසින් ප්‍රවර්ධිත 1619 ව්‍යාපෘතියේ මූලික ප්‍රවාදයට - එනම්, ඇමරිකානු විප්ලවය දියත් කෙරුනේ බ්‍රිතාන්‍යය වහලුන්ට නිදහස ලබාදීමට ආසන්නව පැවැති අවස්ථාවේ ඊට එරෙහිව වහල් ක්‍රමය රැකීමේ කුමන්ත්‍රනයක් ලෙසය යන ප්‍රවාදයට - ඔවුන් විරුද්ධත්වය පල කරනු ඇති බව එහි සංස්කාරකවරු දැන සිටියෝය.

හැනා-ජෝන්ස් මෙනෙවිය මෙසේ ප්‍රකාශ කර තිබින:

අපගේ ආරම්භය පිලිබඳ මිත්‍යා කථාවේ පහසුවෙන්ම අතහැර දමා ඇත්තේ, ජනපදවාසීන් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම ප්‍රකාශයට පත් කිරීමට තීරනය කලේ වහල් ක්‍රමය පිලිබඳ සංස්ථාපිතය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය වූ නිසාය යන කරුනයි. 1776 වන විට බ්‍රිතාන්‍යය, බටහිර අර්ධගෝලය යලි හැඩ ගස්වා තුබූ ම්ලේච්ඡ සංස්ථාපනය තුල ස්වකීය කාර්යභාරය සම්බන්ධයෙන් ගැඹුරින් ම ගැටුමකට එලැඹ සිටියේය. ලන්ඩනය තුල වහල් වෙලඳාම අහෝසි කිරීම සඳහා වූ කැඳවීම් වර්ධනය වෙමින් පැවතියේය. .. මෙම ජාතිය ආරම්භ වූයේ ප්‍රජාතන්ත්‍රයක් ලෙස නොව වහල්තන්ත්‍රයක් ලෙසයැයි සමහරුන් තර්ක කරනු ඇත. [4]

ඇමරිකානු විප්ලවය කිසිසේත් විප්ලවයක් නොවූ බවටත්, ඒ වෙනුවට එය වහල් ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා දියත් කල ප්‍රතිවිප්ලවයක් බවටත් වන මෙම කියාසිටීම පටවා එවනු ලබන්නේ, ඇමරිකානු හා ලෝක ඉතිහාසය පිලිබඳ දැවැන්ත ගම්‍යමානයන් තොගයක් ද සමඟය. ඇමරිකානු විප්ලවය හෙලා දැකීම යනු යටත්විජිතවල බ්‍රිතාන්‍ය පාලනය පෙරලා දැමීමේ කර්තව්‍යයට ද, එබැවින් එමඟින් ආවේශය ලැබ ලෝකය පුරා නැඟී ආ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවලට ද කවර හෝ ප්‍රගතිශීලී අන්තර්ගතයක් අත්පත් කර දුන් සියලු ඓතිහාසික ආඛ්‍යානයන් ප්‍රතික්ෂේප කිරීම යුක්තියුක්ත කිරීමකි. ඉදින් එක්සත් ජනපදය ගොඩනැඟීම ප්‍රතිවිප්ලවවාදී නම්, එම සිදුවීමේ පදනම් ලේඛනය වූ - මිනිසාගේ සමානාත්මතාවය ප්‍රකාශයට පත් කල - නිදහස් ප්‍රකාශනය, පහත්ම පෙලේ කුහකකමේ නිදර්ශනයක් ලෙස හුදු අවමානයට පමනක් යෝග්‍ය වූවක් විය යුතුය.

ඉදින් එසේ වී නම්, ඇමරිකානු විප්ලවයට ආසන්නතම සමකාලිකයන් ද, ඉන්පසු පැමිනි පරම්පරා ගනනාවක් ද මත එම විප්ලවය විසින් ඇතිකරන ලද පුපුරන සුලු ලෝක ගෝලීය බලපෑම යමෙකුට පැහැදිලි කල හැක්කේ කෙසේද?

බුද්ධි ප්‍රබෝධ යුගයේ සියලු චින්තකයන් අතර ශ්‍රේෂ්ඨතමයෙකු වූ ඩිඩෙරෝ ඇමරිකානු විප්ලවයට ප්‍රමුදිත ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූයේ මෙසේය:

පොදුවේ මර්දනකාරී වූ ශතවර්ෂ ගනනාවකට පසුව, ධර්මෝන්මාදයට හා ප්‍රජා පීඩනයට එරෙහිව සියලු යුරෝපාවාසීන්ට රක්ෂන ස්ථානයක් පිරිනැමීම මඟින්, මුහුදින් එතෙර මේ දැන් සිදු වී ඇති විප්ලවය විසින් මිනිසුන් පාලනය කරන්නන්ට තම අධිකාරිය යුක්තියුක්ත ලෙස යෙදැවීමට උපදෙස් දෙනු ලැබේවා! තම නිදහසින් අංශුමාත්‍ර පමන කොටසක් හෝ උදුරා ගනු දැකීමට වඩා තම බිරියන් දූෂනය වනු, දරුවන් ඝාතනය වනු, නිවාස සමතලා කෙරෙනු, ගොවිබිම් වැනැසී යනු, ගම්බිම් ගිනිබත් වනු දකිනු කැමැත්තා වූ ද, සිය ලෙය වගුරා මියයනු කැමැත්තා වූ ද මෙම අභීත ඇමරිකානුවෝ ධනයේ අතිමහත් ඒකරාශී වීම හා අසමාන බෙදී යාම ද, සුඛෝපභෝගයන් ද, ලලනාකල්පතාවන් ද, ආචාරවිධීන් දුෂනය කිරීම් ද වලක්වා ලීමට සමත් වෙත්වා! තම නිදහස පවත්වා ගැනීමට ද, තම ආන්ඩුව වැටෙනු නොදී රැක ගැනීමට ද ඔවුහු සමත් වෙත්වා! [5]

වෝල්ටෙයාර් සිය මරනයට යන්තම් මාස ගනනකට පෙර 1778 පෙබරවාරියේ දී, ඇමරිකානු විප්ලවයේ ඒ සා කීර්තිමත් නියෝජිතයා වූ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සමඟ ප්‍රසිද්ධ රැස්වීමක් සූදානම් කලේය. වියපත් දාර්ශනිකයා ලිපියක විස්තර කලේ, ඔහු විසින් එහිදී ෆ්‍රෑන්ක්ලින් වැලඳ ගනු ලැබීම බලා සිටි විසි දෙනෙකු වූ ප්‍රේක්ෂකයන්ගේ නෙතට 'කඳුලක්' ඉනූ බවයි. [6]

1867 දී සිය දාස් කැපිටාල් (ප්‍රාග් ධනය) කෘතියේ ප්‍රථම මුද්‍රනයේ සංඥාපනයට මාක්ස් මෙසේ ලියන විට ඔහු නිවැරදිය: 'ඇමරිකානු නිදහස් සටන,' පැරනි තන්ත්‍රයේ ශතවර්ෂ ගනනක් පුරා ගොඩ ගැසුනු වැඩවසම් කුනුකන්දල් අතු ගා දැමීමට නියමිත නැඟිටීම් පුබුදුවමින් 'යුරෝපයේ මධ්‍යම පන්තියට අනතුරු හැඟවීමේ සීනු හඬවා ඇත.' [7]

ඉතිහාසඥ පීටර් ගේ බුද්ධි ප්‍රබෝධයේ සංස්කෘතිය හා දේශපාලනය පිලිබඳ සිය කීර්තිමත් අධ්‍යයනය තුල සඳහන් කල පරිදි, 'ඇමරිකානුවන් දිනා ගෙන තුබූ හා ආරක්ෂා කරමින් සිටි නිදහස වූ කලී, හුදු යුරෝපීය ප්‍රේක්ෂකයන් කුල්මත් කල හා ඔවුන්ට මිනිසා පිලිබඳ සාරදර්ශී වීමට පදනමක් සැපයූ ප්‍රමෝදමත් ප්‍රසංගයක් පමනක් නොවීය; එය, අනුගමනය කිරීමට වටනා යතාර්ථ නිරූපිත පරමාදර්ශයක් බව ද සනාථ වෙමින් පැවතින.' [8]

විසිවන සියවසේ මැද භාගයේ වඩාත්ම බහුශ්‍රැත ඉතිහාසඥයන් අතරෙහි ලා ගැනෙන ආර්.ආර්. පාමර් ඇමරිකානු විප්ලවය අර්ථ කථනය කලේ බටහිර ශිෂ්ඨාචාරයේ පරිනාමයෙහි තීරනාත්මක මොහොතක් - සතලිස් වසරක ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවල යුගයේ ආරම්භය - ලෙසය. පාමර් මෙසේ ලිවීය:

(එම) යුගයේ ප්‍රධාන සැබෑ විප්ලව දෙක වූ ඇමරිකානු හා ප්‍රංශ විප්ලව පිලිබඳව - ඒවා අතර පැවැති අතිමහත් වෙනස්කම්වලට නිසි ඉඩක් වෙන් කරමින් ම - කිව හැක්කේ, කොයිහැටිවෙතත් ඒවා අතර පොදුවේ පැවැති බොහෝ දේ වූ බවයි. තව ද, ඒවා අතර පොදුවේ බෙදා හදා ගැනුනු බොහෝ දේ ඒ අතරම, අනෙකුත් රටවල විවිධ ජනයා හා ව්‍යාපාර විසින් - සැලකිය යුතු ලෙස එංගලන්තය, අයර්ලන්තය, ඕලන්දය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය හා ඉතාලිය තුල, එතෙකුදු පමනක් නොව ජර්මනිය, හංගේරියාව හා පෝලන්තය තුල, ස්පාඤ්ඤය හා රුසියාව වැනි ස්ථානවල විසිරී සිටි තනි තනි පුද්ගලයන් අතර - ද බෙදා හදා ගනු ලැබින. [9]

වඩාත් මෑතක දී රැඩිකල් බුද්ධි ප්‍රබෝධය පිලිබඳ ඉතිහාසඥ ජොනතන් ඊශ්‍රායෙල් තර්ක කරන පරිදි, ඇමරිකානු විප්ලවය:

ප්‍රංශය, ඉතාලිය, ඕලන්දය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, අයර්ලන්තය, හයිටිය, පෝලන්තය, ස්පාඤ්ඤය, ග්‍රීසිය හා ස්පාඤ්ඤ ඇමරිකාව ආදී වශයෙන් වූ විප්ලව මාලාවකින් සමන්විත වූ, අත්ලාන්තික් සාගරය හරහා පැතිර ගිය වඩාත් පුලුල් විප්ලවවාදී අනුක්‍රමයක කොටසක් සැකැසීය. .. ආරම්භක පියවරුන්ගේ හා විදේශයන්හි ඔවුන්ගේ අනුගාමිකයන්ගේ ප්‍රයත්නයන් මඟින් සනාථ වනු ලැබ ඇත්තේ, ඇමරිකානු විප්ලවය හා එහි මූලධර්ම සහ අනෙකුත් විප්ලව අතර - ලෝක පරිමාන වෙනසක් ඇතිකිරීම සඳහා වූ මූලික ආදර්ශකය වශයෙන් ඍජුව මැදිහත් වන බලවේගයකට වඩා ආවේශකාරී චාලක යන්ත්‍රයක් ලෙස විප්ලවයේ ලෝක ගෝලීය කාර්යභාරය සනාථ කරමින් - පැවැති ගැඹුරු අන්තර් ක්‍රියාකාරිත්වයයි. [10]

ඇමරිකානු විප්ලවය වේවා, ප්‍රංශ විප්ලවය වේවා, මාක්ස්වාදීහු ඒවා දෙස රෝස වර්න කන්නාඩි තුලින් නොබැලූහ. ෆ්‍රෙඩ්රික් එංගල්ස් ලෝක ඓතිහාසික සිදුවීම් විභාග කරමින්, 'මිනිසුන් ඔවුන්ගේ ඓතිහාසික ක්‍රියාකාරිත්වය තුල සාධූන් හා අධමයන් ලෙස' බෙදන්නා වූ ද, 'ඉනික්බිති සාධූන් වංචාවට ගොදුරු වන බව හා අධමයන් ජය ලබන බව නීතියක් ලෙස සොයා ගන්නා වූ ද,' 'ක්‍රියාවේ අභිප්‍රායයන්ට අනුව සියල්ල' පැහැදිලි කෙරෙන හා විනිශ්චය කෙරෙන අතිසරල උපයෝගීතාවාදී අර්ථකථන ප්‍රතික්ෂේප කලේය. පෞද්ගලික අභිමතාර්ථවලට ඇත්තේ හුදු 'ද්වීතීයික වැදගත්කමක්' පමනෙකැයි එංගල්ස් අවධාරනය කලේය. ඉතිහාසඥයන් විසින් ඇසිය යුතු තීරනාත්මක ප්‍රශ්න වන්නේ මේවාය: 'මෙකී අභිමතාර්ථවලට පසුපසින් පෙල ගැසී සිටින ධාවක බලවේග මොනවාද? ක්‍රියාකාරිකයන්ගේ මස්තිෂ්කයන් තුල මෙම අභිමතාර්ථ බවට පරිවර්තනය වූ ඓතිහාසික හේතු ප්‍රත්‍යයන් කවරේද?' [11]

නිදහස සඳහා අරගලය මෙහෙයවූවන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් හා ඔවුන්ගේ පුද්ගල සීමාසහිතකම් කවරාකාර වුව, බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහිව ඇමරිකානු යටත්විජිත විසින් දියත් කෙරුනු විප්ලවය මුල් බැස තිබුනේ ධනේශ්වර ක්‍රමය ලෝක පර්යායක් ලෙස නැඟී ඒමේ වෛෂයික සමාජ ආර්ථික ක්‍රියාවලීන් තුලය. වහල් ක්‍රමය අවුරුදු දහස් ගනනක් පුරා පැවතී තිබින. එහෙත් දහසයවන සහ දහනවවන සියවස් අතර එය අත්පත් කරගත් සුවිශේෂී රූපාකාරය බැඳී තුබුනේ ධනේශ්වර ක්‍රමයේ වර්ධනය හා ප්‍රසාරනය සමඟ ය. මාක්ස් පැහැදිලි කල පරිදි:

ඇමරිකාව තුල රන් හා රිදී සොයා ගැනීම, මුල් පදිංචිකරුවන්ගේ ජනගහනය සමූලඝාතනය කිරීම, වහල්කමට ගැනීම හා පතල් තුලම වල දැමීම, පෙරදිග ඉන්දියානු රටවල් අත්පත් කර ගැනීමට හා කොල්ලකෑමට පටන් ගැනීම, අප්‍රිකාව කලු සමක් ඇතියවුන් වානිජ මට්ටමින් දඩයම් කිරීම සඳහා වූ අභිජනන භූමියක් බවට හැරවීම යන මේ සියල්ල මඟින් සනිටුහන් කෙරුනේ ධනේශ්වර නිෂ්පාදනයේ යුගයෙහි ලා රත් පෑ ගත් පෙරඹරයි. මේ මනකාන්ත සිදුවීම් ධනේශ්වර සමුච්චිතකරන යුගයේ ප්‍රධාන නිමේෂයන් විය. [12]

මාක්ස් හා එංගල්ස් ඇමරිකානු විප්ලවයේ ඓතිහාසිකව ප්‍රගතිශීලී ස්වභාවය පිලිබඳව අවධාරනය කලෝය. මේ වූ කලී සිවිල් යුද්ධය විසින් වලංගුභාවය තහවුරු කෙරුනු තක්සේරුවක් විය. 1864 දී ලින්කන් වෙත මාක්ස් ලියා යැවූ පරිදි, 'එක් මහා ප්‍රජාතන්ත්‍රවාදී සමූහාන්ඩුවක අදහස මුලින්ම මතු වී විත් තුබුනේ,' ඇමරිකානු විප්ලවය තුල 'මිනිස් අයිතිවාසිකම් පිලිබඳ ප්‍රථම ප්‍රකාශනය නිකුත් කිරීම මඟින් දහඅටවන සියවසේ යුරෝපා විප්ලවයට ප්‍රථම ආවේගය ලබා දීමෙනි.' ... [13]

ලෝක ඉතිහාසයේ ස්ථාවරයෙන් සලකා බැලූ කල ඇමරිකානු විප්ලවය හා සිවිල් යුද්ධය පිලිබඳ 1619 ව්‍යාපෘතියේ හෙලාදැකීම්වල ගම්‍යාර්ථ පිලිබඳව හැනා-ජෝන්ස් සිතා බලා ඇති බවක් හෝ, එවැනි ගම්‍යාර්ථ පවතින බව ඇය දැන ගෙන සිටි බවක් හෝ පවා, පෙන්නුම් කෙරෙන කිසිවක් ඇයගේ නිබන්ධනය තුල නොමැත. ඇත්ත වශයෙන්ම 1619 ව්‍යාපෘතියේ කෂාය හැලිය පිස ගනු ලැබූයේ විප්ලවය හා සිවිල් යුද්ධය පිලිබඳ අග්‍රගන්‍ය ඉතිහාසඥයන්ගේ කෘතීන් කිසිවක උපදේශනය නොලබමිනි. මෙය හුදු අතපසුවීමක් නොවේ. ඒ වෙනුවට එය එම ව්‍යාපෘතියේ නිබන්ධන වර්ධනය කිරීමෙහි හා ලිවීමෙහි දී 'සුදු' ශාස්ත්‍රඥයන්ගේ සහභාගීත්වය හැකිතාක් උපරිම ආකාරයෙන් අවහිර කිරීම සඳහා නිව්යෝර්ක් ටයිම්ස් විසින් ගන්නා ලද දැනුවත් තීන්දුවක ප්‍රතිඵලයකි. '1619 ව්‍යාපෘතිය එකලස් වූයේ කෙසේද' යන මැයෙන් 2019 අගෝස්තු 18 වන දින පල වූ ලිපියක ටයිම්ස් සඟරාව සිය පාඨකයන්ට දැනුම් දුන්නේ: 'සඟරාවට හා විශේෂ අතිරේකයට දායකත්වය දුන් සෑම අයෙකුම පාහේ, - එනම්, ලේඛකයන්, ඡායාරූප ශිල්පීන් හා කලාකරුවන් සෑම අයෙකුම මෙන් - කලු ජාතිකයන් වූ' බවයි. එය 'ව්‍යාපෘතියේ තේමාව අවධාරනය කොට දැක්වීමට ආධාරකාරී වූ, එහි හෙට්ටු කල නොහැකි අංශයක් විය. ...' [14]

ඇත්තෙන්ම, හැනා-ජෝන්ස් විසින් සහාය දෙන ලද වර්නවාදී සම්බාධකය තිබියදීම, 1619 ව්‍යාපෘතියට ඇතුලත් වූ නිබන්ධ ගනනාවක්ම ලියන ලද්දේ 'සුදු' අය විසිනි. සමාජ විද්‍යාඥ මැතිව් ඩෙස්මන්ඩ් හා ඉතිහාසඥ කෙවින් කෘස් විසින් දරනු ලැබූ එකී ප්‍රයත්නවල ද සෙසු ඒවාට වඩා කිසිදු හොඳක් නොවීය. එමඟින් හුදු සනාථ වන්නේ, වාර්ගිකවාදී දෘෂ්ඨි කෝනයෙහි මූලයන් පවතින්නේ ලේඛකයාගේ වාර්ගික අනන්‍යතාවය තුල නොව, ඔහුගේ හෝ ඇයගේ පන්ති ආස්ථානය හා දෘෂ්ඨිවාදී අනුස්ථාපනය තුල බවයි.

ටයිම්ස් සඟරාවට තමන්ගේම නීති නැවීමට සිදු ව තිබූ නමුදු, කොයි හැටි වෙතත්, 1619 ව්‍යාපෘතිය මුලුමනින්ම පාහේ කලු ජාතිකයන් විසින් සුවිශේෂීවම නිෂ්පාදනය කල යුතුය යන 'හෙට්ටු කල නොහැකි', වර්ගවාදී බලකිරීම සාධාරනීකරනය කරන ලද්දේ, ඇමරිකානු වහල් ක්‍රමය පිලිබඳ විෂයය සුදු ඉතිහාසඥයන් විසින් බොහෝ සෙයින් නොතකා හරිනු ලැබ තිබුනේය යන ව්‍යාජ කියාපෑම මඟිනි. කලාතුරකින් හෝ වහල් ක්‍රමයේ පැවතීම සුදු ඉතිහාසඥයන් විසින් පිලිගන්නා ලද අවස්ථාවල දී පවා, ඔවුහු එක්කෝ ඒවායේ වැදගත්කම අඩු කොට දැක්වූහ, නැතහොත් ඒවා පිලිබඳව බොරු කීහ. එබැවින්, 'අපේ කථාව සත්‍යවාදී ලෙස පැවසිය හැක්කේ' කලු ලේඛකයන්ට පමනෙකි. 1619 ව්‍යාපෘතියේ වාර්ගික පදනමකින් යුත් ආඛ්‍යානය, 'වහල් ක්‍රමය අත්පත් කර දුන් ප්‍රතිවිපාක ද, කලු ඇමරිකානුවන්ගේ ප්‍රතිපදානයන් ද, අප කවුරුන්දැයි අපටම කියා දෙන කථා ප්‍රවෘත්තියේ කේන්ද්‍රයෙහි ම' ස්ථානගත කරනු ඇත. [15]

1619 ව්‍යාපෘතිය වූ කලී, හුදු ඉතිහාසය පමනක් නොව, ඉතිහාසලේඛනවේදයමත් සම්බන්ධයෙන් සිදු කල මුසාකරනයකි. එය 1950 තරම් ඈත කාලයක සිට පරම්පරා දෙකක ඇමරිකානු ඉතිහාසඥයන්ගේ කටයුතු නොතකා හරී. 1619 ව්‍යාපෘතියේ ලේඛකයෝ හා සංස්කාරකවරු වහල් ක්‍රමය, ඇමරිකානු විප්ලවය, අහෝසිතාවාදී ව්‍යාපාරය, සිවිල් යුද්ධය හෝ ජිම් ක්‍රෝ විසංගමනය පිලිබඳ බැරෑරුම් විද්‍යාර්ථීන් කිසිවෙකුගෙන් හෝ උපදෙස් ලබා නැත්තාහ. ඇමරිකානු ඉතිහාසය පිලිබඳ හැනා-ජෝන්ස්ගේ අධ්‍යයනය, කලු ජාතිකවාදී ලේඛක දිවංගත ලෙරෝන් බෙනට් (කනිෂ්ඨ) විසින් 1960 ගනන්වල මුල් භාගයේ දී ලියන ලද්දා වූ එකම පොතක් කියැවීමෙන් එපිටට විස්තාරනය වූ බවට කිසිදු සාක්ෂියක් නැත. නව විෂය මාලාවක පදනම ලෙස පාසල්වලට යැවීමට නියමිත ඇමරිකානු ඉතිහාසය පිලිබඳ ඇගේ 'ප්‍රති-රාමුගත කිරීම' සඳහා ග්‍රන්ථ නාමාවලියක් සම්පාදනය කිරීමට හෝ කරදර වී නැත.

හැනා-ජෝන්ස් හා සිල්වර්ස්ටේන් තර්ක කරන්නේ ඉහත පැවත ආ 'සුදු ආඛ්‍යානය' ලෙස සලකනු ලබන දෙය විස්ථාපනය කිරීම සඳහා ඔවුන් 'නව ආඛ්‍යානයක්' නිර්මානය කරමින් සිටින බවයි. ඇයගේ අප්‍රමාන ට්විටර් ආක්‍රෝෂයන්ගෙන් එකකදී හැනා-ජෝන්ස් නිවේදනය කලේ '1619 ව්‍යාපෘතිය යනු ඉතිහාසයක් නො වන' බවයි. ඒ වෙනුවට එය, 'ජාතික ආඛ්‍යානය පාලනය කිරීම කා අත තිබේ ද යන්න පිලිබඳ - එබැවින්, ජාතියේ බෙදාහදා ගත් මතකයම පිලිබඳ - කාරනාවකි.' මෙම ප්‍රකාශය තුලින් හැනා-ජෝන්ස් නිශ්චිතවම වග වර්නනා කරන්නේ ඓතිහාසීය ගවේෂනය, අතීතය සත්‍යවාදී ආකාරයෙන් ප්‍රතිනිර්මානය කිරීමෙන් වෙන් කිරීමයි. නිවේදනය කර ඇත්තේ, ඉතිහාසයේ අභිමතාර්ථය, එක් හෝ අනෙක් දේශපාලන න්‍යාය පත්‍ර සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩට යොදා ගත හැකි ආඛ්‍යානයක් නිර්මානය කර ගැනීමට වැඩි යමක් නොවන බවයි. එම ආඛ්‍යානයේ සත්‍යතාවය හෝ අසත්‍යතාවය සැලකිල්ලට ගත යුත්තක් නොවේ.

දීර්ඝ කාලයක් පුරා, පවත්නා බල ව්‍යුහයන් තුල වඩාත් වරප්‍රසාදිත ස්ථානයක් දිනා ගැනීම සඳහා පරිශ්‍රම දරමින් සිටින අතෘප්තිමත් මධ්‍යම පාන්තික ස්ථරවල උත්සුකයන් ප්‍රවර්ධනය කිරීමෙහි ලා, ජාතිකවාදී මිත්‍යාවන් නිර්මානය කිරීම සුවිශේෂී දේශපාලන කාර්යභාරයක් ඉටු කර ඇත. එරික් හොබ්ස්බෝම් සංක්ෂිප්ත ලෙස නිරීක්ෂනය කොට ඇති පරිදි, ''ජාතිකවාදය' යන වචනය භාවිතා කිරීමේ දී, බොහෝ විටම 'සුලු ධනේශ්වර' යන උපසර්ගයෙන් තොරව එය භාවිතා නොකරන ..... සමාජවාදීහු, 'තමන් කථා කරන්නේ කුමක් ගැනදැයි දැන සිටියෝය.'' [16]

ඇමරිකානු ඉතිහාසය හැදෑරීමේ හා වටහා ගැනීමේ නව මාවතක් හැනා-ජෝන්ස් විසින් සකසනු ලැබේය යන කියාපෑම තිබියදී ම, වර්ග-කේන්ද්‍රීය ඇමරිකානු ඉතිහාසයක් පිලිබඳව 1619 ව්‍යාපෘතිය විසින් අවධාරනය කරනු ලැබෙන්නා වූ ද, අප්‍රිකානු ඇමරිකානු ඉතිහාසඥයන්ගේ කර්තෘත්වයෙන් යුතු වූ ද ආඛ්‍යානය, 1960 ගනන්වල කලු ජාතිකවාදීන් විසින් ප්‍රවර්ධනය කරන ලද වාර්ගිකවාදී තර්කවලට යලි පන පිහිටුවීමක් වෙයි. සියලුම සටන්කාමී අංග වින්‍යාසයන් සම්බන්ධයෙන් ගත් කල වුව, ඒවාට යටින් දිවෙන න්‍යායපත්‍රයේ අරමුන වූයේ, - ආසන්නයේ සිදු වූ සිදුවීම්වලින් පසුව පෙන්නුම් කෙරුනු ලෙස ම - අප්‍රිකානු ඇමරිකානු මධ්‍යම පන්තියේ කොටසක අර්ථලාභය සඳහා විශේෂ වෘත්තීය අවකාශයන් සකසා දීමයි. ශාස්ත්‍රාලීය ලෝකය තුල මෙම න්‍යාය පත්‍රය විසින් ඉදිරිපත් කෙරුනේ කලු ජනයාගේ ඓතිහාසික අත්දැකීමට අදාල වන විෂය කරුනු අප්‍රිකානු ඇමරිකානුවන් හට සුවිශේෂී ලෙස වෙන් කර දිය යුතුය යන ඉල්ලීමයි. ඒ අනුව, වරප්‍රසාද හා තරාතිරම් බෙදා ගැනීම සම්බන්ධයෙන් ඉන්පසු එලැඹෙමින් තුබූ සටනේ දී වහල් ක්‍රමය පිලිබඳව ප්‍රමුඛ අභිදානයන් සම්පාදනය කර තිබූ ප්‍රමුඛ ඉතිහාසඥයෝ, කලු ඉතිහාසඥයන්ට පමනක් වටහා ගත හැකි හා පහදා දිය හැකි විෂයයකට බලෙන් කඩා වැදුනු සුද්දන් වශයෙන් හෙලා දැකීමට පාත්‍ර වූහ. ඇමරිකානු ඉතිහාස රචනය මත කලු ජාතිකවාදී වර්ගවාදය ඇති කල බලපෑම සම්බන්ධයෙන් සිය That Noble Dream (ඒ ශ්‍රේෂ්ඨ සිහිනය) නම් ග්‍රන්ථය තුල පීටර් නොවික් මෙසේ සිහිපත් කරයි:

සුදු මිනිසෙකු ලෙස, The Peculiar Institution (අරුම පුදුම ආයතනය) ලිවීමට කෙනත් ස්ටෑම්ප්ට අයිතියක් නැතැයි සටන්කාමීහු ඔහුට කියා සිටියෝය. නීග්‍රෝවරුන්ගේ ජීවිතය හා ඉතිහාසය පිලිබඳ අධ්‍යයන සංගමයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් සිටි හර්බට් ගට්මන්ට කෑකෝ ගැසීමෙන් ඔහුගේ කථාව වලක්වන ලදී. එහි සිටි ඔහුගේ සුදු ජාතික සගයෙකු වාර්තා කල පරිදි ගට්මන් 'මුලුමනින් කම්පිතව තෝන්තු වී සිටියේය.' තමන් 'කලු විමුක්ති ව්‍යාපාරයට අත්‍යන්තයෙන් සහාය දෙන්නෙකු බවත් - ඉදින් මිනිසුන් තමා සුදු ජාතිකයෙකු බව අමතක කොට තමන් කියන දෙයට ඇහුම්කන් දෙන්නෝ නම් ... [එමඟින්] ව්‍යාපාරයට සහාය ගොනු වනු ඇති බවටත්,' ගට්මන් නිෂ්ඵල ලෙස අයැද සිටියේය. මේ ආකාරයේ සිදුවීම්වල වඩාත්ම නාට්‍යාකාර එක වූයේ, 1969 දී, වේන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සම්මන්ත්‍රනයකට වහල් ක්‍රමය පිලිබඳ පත්‍රිකාවක් ඉදිරිපත් කල බ්ලැක් පැන්තර්ස් ව්‍යාපාරයේ වාමාංශික ආධාරකාර තරුනයෙකු වූ රොබට් ස්ටැරොබින්ට සැලකූ ආකාරයයි. මේ සිද්ධිය නිසා ඒ අවස්ථාවේ ස්ටැරොබින් අතිශයින් කම්පනයට පත් අතර, එම සිදුවීම වඩාත් ඛේදජනක වූයේ ඊලඟ වර්ෂයේ සිදු වූ ඔහුගේ සියදිවි නසා ගැනීම නිසාය. [17]

මෙකී ප්‍රහාර නොතකා ඇමරිකානු සුදු ජාතික ඉතිහාසඥයෝ ඇමරිකානු වහල් ක්‍රමය, සිවිල් යුද්ධය හා ප්‍රතිසංස්කරනය පිලිබඳ ප්‍රමුඛ පෙලේ අධ්‍යයනයන් ලේඛනගත කිරීමට දිගටම ක්‍රියා කර ඇත්තාහ. වහල් ක්‍රමය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉතිහාසඥයන්ට ඇති 'අයිතිය' විනිශ්චය කිරීමෙහි ලා වාර්ගික සුදුසුකම හඳුන්වා දීමට දැරෙන ඔලමොල ප්‍රයත්නවලට බලගතු විරුද්ධත්වයන්ට මුහුන දීමට සිදු විය. 'වහල් ක්‍රමයේ දේශපාලන ආර්ථිකය හා වහල් හිමියන් නිමැවූ ලෝකය' වැනි සැලකිය යුතු කෘතීන්හි කර්තෘවරයා වූ ඉතිහාසඥ ඉයුජින් ජෙනොවිස් (1930-2012) මෙසේ ලිවීය:

එක්සත් ජනපදයේ - විශේෂයෙන්ම එහි දක්ෂින කොටසේ - සෑම ඉතිහාසඥයෙකුට ම, කලු අයගේ අත්දැකීම් පිලිබඳ තක්සේරු කිරීමෙන් වැලැකී සිටිය නොහැකිය. මක්නිසාදයත්, ඒවායින් තොරව ඔවුන්ට අන් කිසිවක් සම්බන්ධයෙන් තක්සේරු කල නොහැක. එබැවින්, අපේ තකතීරු කාල පරිච්ඡේදයන්ගේ පන්නය අනුයමින්, කලු ජනයා පිලිබඳව ලිවීමට සුදු මිනිසෙකු වශයෙන් මට ඇති අයිතිය කුමක්දැයි අසන විට ඊට නොසරුප් වදනින් පිලිතුරු දීමට මට සිදුවේ. [18]

මේ ඡේදය ලියන ලද්දේ ශත වර්ෂ භාගයකට වඩා වැඩි කාලයකට ඉහතදී ය. ජෙනොවිස් නිවැරදිව විවාදාත්මක ප්‍රශ්න කිරීමකට ලක් කල, 1960 ගනන්වල පසුභාගයේ සිට ශාස්ත්‍රීය කටයුතු වාර්ගිකකරනය කිරීමට දැරෙන ප්‍රයත්න කෙතරම් දැවැන්ත පරිමානයක් අත්පත් කොට ගෙන ඇත්දැයි කිවහොත්, හුදු 'තකතීරු' ලෙස හැඳින්වීමෙන් පමනක් ඒවා ප්‍රමානවත් ලෙස විස්තර කල නොහැක. පශ්චාත් නූතනවාදයේ ද, එහිම දරුවා වන 'වාර්ගික නිශ්චයාත්මකභාවයේ න්‍යායයේ' ද බලපෑම මත ගැඹුරින්ම ප්‍රතිගාමී සංකල්පවල ප්‍රචාරනය සඳහා ඇමරිකානු විශ්ව විද්‍යාලවල දොර පලු මුලුමනින්ම හැර තබා ඇත. වාර්ගික අනන්‍යතාවය, සමාජ පන්ති හා බැඳුනු ආර්ථික ක්‍රියාවලීන් විස්ථාපනය කරමින්, ප්‍රධාන හා ආවශ්‍යක විශ්ලේෂනාත්මක ප්‍රවර්ගය බවට පත් වී ඇත.

නවතම වියරුව වන 'සුදු බවේ' න්‍යාය දැන් භාවිතා කෙරෙන්නේ ඓතිහාසික වර්ධනය බැහැර කිරීමට, වෛෂයික සත්‍යය ප්‍රතික්ෂේප කිරීමට සහ, සංස්කෘතියේ සියලු සිදුවීම් හා විෂයාංශ වාර්ගික ස්වයං-උත්සුකයන් ලෙස කියනු ලබන දෙයෙහි ප්‍රිස්මය තුලින් අරුත් පැහැදිලි කිරීමටය. මෙම පදනම මත ඕනෑම අමුම අමු ප්‍රලාපයක් - ඊට එරෙහිව කරුනු හා විද්‍යාව මත පදනම් වී නැඟෙන සියලු විරුද්ධත්වයන් 'සුදු භංගුරත්වයේ' (White Fragility - 'සුදු ජනයාට වර්ගවාදය ගැන කථා කිරීමට එතරම් අසීරු ඇයි' - මැයින් රොබින් ඩිඇන්ජෙලෝ විසින් ලියන ලද පොත ඇසුරු කොට යෙදූ යෙදුමකි - ප.) හෝ අන් කිසියම් ආකාරයක සැඟවුනු වර්ගවාදයක විද්‍යමාන වීම් වශයෙන් බැහැර කෙරෙන බවට වන සහතිකය සමඟින් - සාටෝපාකාරයෙන් තප්පුලන්නට පුලුවන. මෙම පරිහානිගත වටාපිටාව තුල ඊබ්‍රාහිම් එක්ස්. කෙන්ඩිට ඔහුගේ Stamped from the Beginning (මුල පටන්ම මුද්‍රා තබා තිබින) යන කෘතිය තුල, ප්‍රතිවාදයන් පිලිබඳ බියකින් තොරව, පහත දැක්වෙන අභූතරූපී විකාර සහගත ඡේදය ලියා තබන්නට හැකිය:

බුද්ධි ප්‍රබෝධ සමයේ බුද්ධිමතුන් සම්බන්ධයෙන් ගත් කල ආලෝකය යන රූපකයට ද්විත්ව අරුතක් පැවතින. යුරෝපාවාසීහු වසර දහසක ආගමික අන්ධකාරයේ පසුවීමෙන් ඉක්බිති ඉගෙනීම යලි සොයා ගෙන තුබූ අතර, සූක්ෂ්ම දෘෂ්ඨියේ එම ප්‍රදීප්ත මහාද්වීපික ප්‍රදීපස්ථම්භය, තවමත් ආලෝකය විසින් ස්පර්ශ කෙරී නොතිබුනු 'අන්ධකාර' ලෝකය මධ්‍යයේ පිහිටා තිබින. එවිට, ආලෝකය යනු යුරෝපීයභාවයේ, සහ එබැවින් - බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් හා ඔහුගේ සමාජය ආශාවෙන් වැලඳ ගෙන ජනපදවලට ආනයනය කල මතියක් වූ - සුදු කමේ, රූපකයක් බවට පත් විය. එක් අතෙකින් ආලෝකවත්භාවය, සුදු බව හා සබුද්ධිකත්වයද, අනෙක් අතින් අඳුරුබව, කලු බව හා මෝහය ද වශයෙන්, දීර්ඝ කාලයක් පුරා දරා සිටි වර්ගවාදී 'පක්ෂග්‍රාහීත්වය'ට බුද්ධි ප්‍රබෝධයේ අදහස් නීත්‍යානුකූලභාවයක් ලබා දුන්නේය. [19]

මේ වූ කලී, 'බුද්ධි ප්‍රබෝධය (ආලෝකනය)' යන පදයට - ඉතිහාසය පසෙක තිබියේවා - නිරුක්ති තුල හෝ කිසිදු පදනමක් නොපවතින වාර්ගික විශේෂත්වයක් ආරෝපනය කරන්නා වූ හාස්‍යජනක කෂාය මිශ්‍රනයකි. විද්‍යාත්මක ප්‍රගමනයේ කාලපරිච්ඡේදය විස්තර කිරීමට ඉමානුවෙල් කාන්ට් විසින් 1784 දී ප්‍රථමයෙන්ම භාවිත කරන ලද ජර්මන් වචනය වූයේ, බුද්ධිමය අවදිවීමක් හඟවන, 'පැහැදිලිකම' හෝ 'නිරවුල්කරනය' ලෙස සිංහල භාෂාවට පෙරැලිය හැකි, Aufklärung යන්නයි. Aufklärung යන්න Enlightenment ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කිරීම ඇරැඹීම 1865 පමන සිදු වූ අතර, ඒ වන විට, කෙන්ඩි සිය වාර්ගික තර්කයේ සහාය සඳහා නිර්දේශනය කරන බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් අභාවප්‍රාප්ත වී වසර හැත්තෑ පහක් ඉක්ම ගොස් තිබින. [20]

දාහත්වන හා දහඅටවන සියවස් විස්තර කිරීමට ඉංග්‍රීසි භාෂාව කථා කරන ජනයා යොදා ගත් තවත් පදයක් වූයේ, “The Age of Reason (තාර්කික බුද්ධියේ යුගය)” යන්නයි. මෙය ආගම හා සියලු ආකාරයන්හි අන්ධ විශ්වාසයන්ට එරෙහිව ඔහු එල්ල කල රුදුරු ප්‍රහාරයේ දී, ටොම් පේන් විසින් යොදා ගැනුනකි. බුද්ධි ප්‍රබෝධයේ මූලයන් සුදු වර්ගවාදී ආවේගය තුල ස්ථානගත කිරීමට කෙන්ඩි දරන ප්‍රයත්නය පදනම් වී ඇත්තේ වචනවලින් ඇස් බැන්දුම් කිරීමට වඩා වැඩි යමක් මත නොවේ. සත්‍ය කරුනක් ලෙස කිවහැක්කේ, නූතන වර්ගවාදය ඓතිහාසිකව හා බුද්ධිමය වශයෙන් සම්බන්ධ වී ඇත්තේ බුද්ධි ප්‍රබෝධ - විරෝධය සමඟ බවයි. බුද්ධි ප්‍රබෝධ විරෝධී පිලේ වඩාත්ම කැපී පෙනෙන සුලු නියෝජිතයා වූ ගොබිනො සිටුවරයා මානව වර්ග අතර අසමානතාව (The Inequality of the Human Races) නම් කෘතිය රචනා කලේය. එහෙත් කෙන්ඩිගේ ව්‍යාජ-බුද්ධිමය ප්‍රබන්ධ සූත්‍රායනයෙහි ලා තත්‍ය ඉතිහාසය කිසිදු කාර්යභාරයක් ඉටු නොකරයි. ඔහුගේ කටයුතුවල සන් තබනු ලැබ ඇත්තේ මුග්ධත්වය විසිනි.

වාර්ගික විශේෂඥයන් අතින් ප්‍රහාරයට ලක් වූ එකම ශික්ෂාව ඉතිහාසය විෂයය පමනක් නොවේ. නිව්යෝර්ක්හි හන්ටර් සරසවියේ මහාචාර්ය පිලිප් ඒ. එවෙල්, 'සංගීත න්‍යායය හා සුදු වාර්ගික රාමුව' ලෙස නම් කෙරුනු නිබන්ධයක මෙසේ නිවේදනය කරයි: 'සංගීත න්‍යායය තුල ව්‍යුහාත්මක හා සංස්ථාගත 'සුදු වාර්ගික රාමුවක්' පවතින බව මම ප්‍රකාශ කරමි. අපට සංගීත න්‍යායයෙහි සාධනීය වාර්ගික වෙනස්කම් දැක ගත හැකි වනු ඇත්තේ මෙම සුදු වාර්ගික රාමුව ප්‍රතිරාමුගත කිරීම හරහා පමනෙකි.' [21]

සංගීත න්‍යායයට කෙරෙන මෙම අවමානය විසින්, එකී ශික්ෂාවේ ඇති විද්‍යාත්මක හා ඓතිහාසිකව වර්ධිත ස්වභාවය මුලුමනින් ම ඉන් ගලවා දැමෙයි. ප්‍රතිසංවාදය (බටහිර සංගීතයේ ප්‍රතිසංවාදය යනු, අනුවර්තී ලෙස අන්‍යොන්‍ය පරායත්ත වූත්, එහෙත් රිද්මයෙන් හා ස්වර මාධුර්යයේ බාහිරාකාරයෙන් එකිනෙකින් ස්වායත්ත වූත් සංගීත නාද මාලා දෙකක් හෝ වැඩි ගනනක් අතර ඇති සම්බන්ධතාවයයි - ප.), තානීයතාව (ස්වාරමානයන්හි සැකැස්ම), ස්වර සාම්‍යය, ස්වර විසංවාදය, ස්වර ගුනය, ලය, ස්වර ප්‍රස්තාර ආදී වශයෙන් වන සංගීත සංයෝජනයේ සංකීර්න මූලධර්ම හා අංගෝපාංග ව්‍යුත්පන්න කෙරෙනුයේ වාර්ගික සංලක්ෂන වලිනැයි එවෙල් කියා සිටී. මහාචාර්ය එවෙල් මේ රෝන්දේ ගසමින් සිටින්නේ තුන්වන රීචයේ දෘෂ්ඨිමය වපසරිය තුලය. සංගීතය 'සුදු බවෙන්' මුදා ගැනීමට ඔහු කරන කැඳවුම හා, සංගීතය 'යුදෙව්භාවයෙන්' මුදා ගැනීමට 1930 ගනන් හා 1940 ගනන් අතර ජර්මනියේ සිටි නාසි ශාස්ත්‍රාලිකයන් දැරූ ප්‍රයත්න අතර පවතින සාම්‍යය හුදු මතුපිට සමානකමකට වැඩි දෙයකි. මෙන්ඩෙල්සුන් යනු විශිෂ්ඨයෙකු නොව දෙවැනි පෙලේ සංගීතඥයෙකුයැයි ද, ඔහුගේ ජනප්‍රියත්වය ආර්ය සංස්කෘතිය මත ආධිපත්‍යය දැරීමට දැරෙන යුදෙව් ප්‍රයත්නයක ද්‍රෝහී විද්‍යමානවීමකැයි ද කියා සිටිමින් නාසීහු ඔහු හෙලා දුටහ. එම විලාශයෙන් ම, එවෙල් ද, බීතෝවන් යනු හුදෙක් 'මධ්‍යම මට්ටම ඉක්මවා සිටින සංගීත රචකයෙකු' පමනක් බවත්, ඔහු 'තමන් දරන ස්ථානය අරා සිටින්නේ වසර දෙසියයක් පුරා ඔහු සුදු බව හා පුරුෂභාවයට රුකුල් දී ඇති නිසා' බවත් ප්‍රකාශ කර සිටී. [22]

සෑම අධ්‍යයන ක්ෂේත්‍රයක දී ම පාහේ, ඒවා ආවරනය කෙරෙන ශාස්ත්‍රීය සඟරා මේ ආකාරයේ අවියත් කුනුකන්දල්වලින් පිරී ඉතිරී යමින් පවතී. භෞතික විද්‍යාව පවා මේ වාර්ගික න්‍යායීකරනයේ සම්ප්‍රහාරයෙන් ගැලැවී නැත. මෑතකාලීන නිබන්ධයක නිව් හැම්ප්ෂයර් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිලිබඳ සහකාර මහාචාර්ය චන්දා ප්‍රෙස්කොඩ්-වේන්ස්ටෙන්, 'වර්ගය හා මානව වංශිකත්වය භෞතික විද්‍යාවේ ඥාන විෂයක ප්‍රතිඵල කෙරේ බලපෑම් සිදු කරන බව' නිවේදනය කරමින්, 'සුදු අනුභූති වාදය' (ඇල අකුරු මුල් කෘතියෙනි) පිලිබඳ සංකල්පය හඳුන්වා දෙයි. එම සංකල්පයට අනුව, සුදු අනුභූතිවාදය, 'භෞතික විද්‍යාවේ ආනුභූතික සංකථා මත ආධිපත්‍යය දැරීමට ගනී; මක්නිසාද යත්, සුදු බව, භෞතික හා සමාජ ප්‍රපංචයන්හි වලංගු නිරීක්ෂකයා කවරෙකු ද යන්න පිලිබඳ අතිප්‍රමුඛ තීරකයන් බලගතු ලෙස හැඩ ගස්වන හෙයිනි.' [23]

ප්‍රෙස්කොඩ්-වේන්ස්ටෙන් කියා සිටින්නේ, 'භෞතික විද්‍යාවේ දැනුම නිෂ්පාදනය භෞතික විද්‍යාඥයන්ට ආරෝපිත අනන්‍යතාවයන් මත අනිශ්චිත වන බවයි. එනම්, විද්‍යාඥයන්ගේ වාර්ගික හා ස්ත්‍රී පුරුෂභාවයේ පසුබිම විද්‍යාත්මක පර්යේෂන පවත්වන ආකාරය මත බල පැවැත්වෙන අතර, ඒ අනුව අප්‍රිකානු-ඇමරිකානු හා ස්ත්‍රී භෞතිකඥයන් විසින් පවත්වනු ලබන පරීක්ෂනවලින් සුදු පුරුෂයන් විසින් පැවැත්වෙන පර්යේෂනවල ප්‍රතිඵලවලට වඩා වෙනස් ප්‍රතිඵල ලැබෙන බවයි. ප්‍රෙස්කොඩ්-වේන්ස්ටෙන් අනන්‍ය වන්නේ 'විද්‍යාත්මක තීරන ගැනීමේ ක්‍රියාවලිය තනිකරම වෛෂයික එකකැයි ගැනෙන කවර හෝ උපකල්පනයකට අභියෝග කරන' අනිශ්චිතතාවාදීන් සමඟය. [24]

වෛෂයිකභාවය පිලිබඳ උපකල්පනය ප්‍රමුඛ ප්‍රශ්නයකැයි ඇය කියා සිටී. ප්‍රෙස්කොඩ්-වේන්ස්ටෙන් මැසිවිලි නඟන්නේ විද්‍යාඥයන් යනු 'නියමානුකූලව ම අද්වෛතවාදින් - එනම්, ඇත්තේ එකම විද්‍යාවකැයි යන අදහසේ ඇදිහිලිවන්තයන් - ...' බවයි. 'විද්‍යාව කෙරේ වන මෙම අද්වෛතවාදී ප්‍රවිෂ්ඨය සාමාන්‍යයෙන්, අනන්‍යතාවය හා ඥාන විෂයක ප්‍රතිඵල එකිනෙක සමඟ මිශ්‍ර වන්නේ කෙසේද යන්න පිලිබඳ වඩාත් සමීප ලෙස පරීක්ෂා කිරීමකට ඉඩ නොතබා කල් තබා දොර වසා දමයි.  එතෙකුදු වුව, සුදු අනුභූතිවාදය විසිවන සියවසේ භෞතික විද්‍යාවේ එක් සැලකිය යුතු න්‍යායකට - සාමාන්‍ය සාපේක්ෂතා න්‍යායට - යටින් වල කපයි. (අවධාරනය අපෙනි) [25]

විද්‍යාත්මක දැනුමේ වෛෂයිකභාවයට ප්‍රෙස්කොඩ්-වේන්ස්ටෙන් එල්ල කරන ප්‍රහාරයට රුකුල් දී ඇත්තේ අයින්ස්ටයින්ගේ න්‍යායයේ විකෘතියකිනි.

ගුරුත්වය පිලිබඳ අපේ ආනුභූතික වැටහීමට ඇල්බට් අයින්ස්ටයින් සිදු කල අනුස්මරනීය ප්‍රතිපදානයේ මූලයන් පැවතුනේ සහවිචලතාවයේ - එනම්, අන් කවර හෝ වෛෂයික සමුද්දේශ රාමුවකට වඩා වැඩියෙන් වෛෂයික වන්නා වූ තනි සමුද්දේශ රාමුවක් නොපවතීය යන සරල අදහසේ - මූලධර්මය තුලය. අපේ භෞතික විශ්වයේ ක්‍රියාකාරීත්වයට යටින් පවතින විශ්වීය නියාම නිරීක්ෂනයෙහි ලා සෑම සමුද්දේශ රාමුවක්ම ද, සෑම නිරීක්ෂකයෙක් ම ද එකසේ ශක්නුවත් හා සමත් වෙති. (අවධානය අපෙනි) [26]

ඇත්තෙන්ම, සහවිචලතාව පිලිබඳව සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ ප්‍රකාශනය මඟින් උපග්‍රහනය කෙරෙන්නේ, ස්වභාවයේ නියාම සියලු නිරීක්ෂකයන් සඳහා සම වන්නා වූ, විශ්වයේ මූලික සමමිතිකභාවයකි. රික්තයක් තුල ආලෝකයේ වේගය සමඟ සම්බන්ධිත, විද්‍යුත් චුම්බකත්වය සම්බන්ධයෙන් මැක්ස්වෙල්ගේ සමීකරන භාවිතා කිරීම අධ්‍යයනය කරමින් සිටි අයින්ස්ටයින්ගේ ('සරලයැ'යි හැඳින්වීමට අසීරු මුත්) විශිෂ්ඨ ආරම්භක සූක්ෂ්ම දෘෂ්ඨිය වූයේ, මෙකී සමීකරන සෑම සමුද්දේශ රාමු තුලදී ම සත්‍ය වූ බවයි. නිරීක්ෂකයන් දෙදෙනෙක් අවකාශයේ චලනය වන තුන්වන ආලෝක අංශුවක වේගය මැන බැලූ කල, ඉදින් ඔවුන් එකිනෙකාට සාපේක්ෂව චලනය වෙමින් සිටිය ද, ඔවුන් ලබා ගන්නා වේග මිනුම එකම අගයකැයි යන සත්‍ය කරුන විසින් අයින්ස්ටයින්ට මඟ පෙන්වන ලද්දේ, අවකාශය හා කාලය තුල පදාර්ථය පවතින්නේ කොයි ආකාරයෙන් ද යන්න පිලිබඳ ප්‍රගාඪ න්‍යායික ප්‍රතිඅර්ථකථනයක් කරා ය. එකී න්‍යායයෝ පරීක්ෂන මඟින් තහවුරු කරනු ලැබ ඇත්තාහ. එම ප්‍රතිඵලය පරීක්ෂනය පවත්වන්නන්ගේ වාර්ගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීම මඟින් ප්‍රතික්ෂේප නොවේ.

ස්කන්ධය, අවකාශය, කාලය සහ අනෙකුත් රාශීන්, යමෙකුගේ සමුද්දේශ රාමුව මත යැපෙන විචල්‍යයන් හා සාපේක්ෂයන් බවට පත් විය. එහෙත් මේ විචලනය නියාම පාලිතය; වාර්ගිකව නිර්නය වීම තිබියේවා, එය ආත්මීය හෝ නොවේ. එය අද්වෛතවාදී සංකල්පය දරා සිටී. භෞතික යථාර්ථය සම්බන්ධයෙන් 'වාර්ගික වශයෙන් උත්තරීතර', 'කලු ස්ත්‍රීන්', හෝ 'සුදු අනුභූතිවාදීන්' වැනි ප්‍රකාශන හෝ සමුද්දේශ රාමු වලංගු නොවේ. ඇත්තේ විඥානයෙන් තත්‍ය ලෙසම ස්වායත්ත වූ ද, දැනගත හැකි වූ ද, ද්‍රව්‍යමය ලෝකය පිලිබඳව පවතින වෛෂයික සත්‍යයකි.

තවද, විශ්වය මෙහෙයවන විශ්වීය න්‍යායයන් සොයා ගැනීම තිබියේවා, ඒවා නිරීක්ෂනය කිරීම සඳහා වුව, 'සියලු නිරීක්ෂකයෝ', තම අධ්‍යාපනය හා විශාරදභාවය නොතකා 'සමාන ලෙස ශක්නුවත්හු හා සමර්ථයෝ' නොවෙති. භෞතික විද්‍යාඥයන්, ඔවුන්ගේ පෞද්ගලික අනන්‍යතාවයන් කවරාකාර හෝ වේවා, නිසි අධ්‍යාපනයක් ලබා සිටිය යුතු අතර, එම අධ්‍යාපනය, වාර්ගිකත්ව හා ලිංගිකත්ව න්‍යායාචාර්යවරුන් විසින් පතුරුවා හරිනු ලබන වර්ගයේ දෘෂ්ඨිමය කුනුකන්දල්වලින් අපවිත්‍ර නොවී පැවැතිය යුතුය.

ප්‍රෙස්කොඩ්-වේන්ස්ටෙන් විසින් ඉදිරිපත් කරනු ලබන විද්‍යා විරෝධී ප්‍රලාපවලට ඇහුම්කන් දෙන ප්‍රේක්ෂක ගනයක් සත්තකින්ම සිටිති. වර්තමාන වාර්ගික හා ලිංගික න්‍යායීකරනයට යටින් පවතින්නේ ශාස්ත්‍රාලය තුල ඨානාන්තර වෙන් කර දීම සම්බන්ධයෙන් පවතින ඉච්ඡාභංගය හා කෝපයයි. ප්‍රෙස්කොඩ්-වේන්ස්ටෙන්ගේ නිබන්ධය, තම වෘත්තීයමය තනතුරු අවස්ථාවන්ට 'සුදු අනුභූතිවාදය' බාධාකාරී වී ඇතැයි විශ්වාස කරන සියල්ලන් වෙනුවෙන් වූ සටහනකි. කලු ස්ත්‍රී විද්‍යාඥයන් (විද්‍යාඥවරියන්) සිදු කරන පර්යේෂනවල නීත්‍යානුකූලභාවය පිලිගැනීම සුදු භෞතිකඥයන් විසින් හුදෙක්ම ප්‍රතික්ෂේප කරනු ලබන බවට චෝදනා කරන ඇය, එම සුදු භෞතිකඥයන් අතර වර්ගවාදය සාර්වත්‍රිකව පවතින්නේය යන පුලුල් හා සනාථ නොකල කියාපෑම මඟින් විද්‍යාව පිලිබඳ සිය මුසාකරනය මුවා කිරීමට ප්‍රයත්න දරයි.

භෞතික විද්‍යාඥයන්ගෙන් ඉතා සුලු සංඛ්‍යාවක් වර්ගවාදීන් වනු විය හැකිය. එහෙත් එසේ වීමට ඇති හැකියාව, පර්යේෂනයේ ප්‍රතිඵල කෙරේ බලපාන්නා වූ ඥානවිභාගී අර්ථාන්විතභාවයක් වාර්ගික අනන්‍යතාවයට ආරෝපනය කිරීම සඳහා දැරෙන ඇගේ ප්‍රයත්නයට නීත්‍යානුකූලභාවයක් ලබා නොදේ. මේ මඟ ඔස්සේ යමින් ප්‍රෙස්කොඩ්-වේන්ස්ටෙන් ප්‍රභාෂනය කරන්නේ 'සුදු අනුභූතිවාදය' විසින් නිර්මිත වෛෂයික සත්‍යය බලය මත රඳා පවතින්නක් බවයි. මෙය, 'වෛෂයික සත්‍යය' යනුවෙන් හැඳින්වෙන දෙය ප්‍රතිවිරුද්ධ සමාජ බලවේග අතර පවතින බල සම්බන්ධතාවයේ විද්‍යමානවීමකට නොවැඩි දෙයකැයි යන පශ්චාත්නූතනවාදී ආධානග්‍රාහයේ ප්‍රභේද්‍යයකි. ඇය මෙසේ ලියයි:

සුදු අනුභූතිවාදය යනු, භෞතික විද්‍යාව පිලිබඳ ආනුභූතික තර්කනය තුලට තමා ඇතුලත් කර ගැනීමට සමාජ කතිකාවට ඉඩ ප්‍රස්තා සැලසීමේ පිලිවෙතයි. එය, විද්‍යාව සම්බන්ධයෙන් පවතින - යටත් විජිතබලයහරහා අධිපතිත්වයටපත් වඇති - යුරෝපාකරයේ ප්‍රාදේශීය අදහස්, අප්‍රිකාවේ වේවා, ලොව අන් කිසි තැනක වේවා, වඩාත් තදින් 'දේශීය'වන අදහස් සමඟ සාකච්ඡාවකට යාමට බාධාකාරීවීම මඟින්, ස්වාභාවික ලෝකය පිලිබඳ විස්තීර්න අවබෝධයක් වර්ධනය කිරීමට ක්‍රියාකාරී ලෙස අනර්ථයක් සිදු කරයි. (අවධාරනය අපෙනි) [27]

වාර්ගිකවාදී න්‍යායීකරනයේ ව්‍යාප්තිය හා සුජාතකරනය, අද්‍යතන ධනේශ්වර සමාජයේ පවතින ගැඹුරු බුද්ධිමය, සමාජමය හා සංස්කෘතිකමය අර්බුදයේ ප්‍රකාශයට පත්වීමකි. දහනව වන ශත වර්ෂයේ පසුභාගයේ හා විසිවන සියවසේ මුල් භාගයේ සිදු වූ පරිදි, වාර්ගික න්‍යාය මධ්‍යම පාන්තික බුද්ධිමතුන්ගේ මංමුලා වූ කොටස් අතරින් ප්‍රේක්ෂක ගනයක් ලබා ගනී. ඉදින් වාර්ගික න්‍යායපත්‍රය ප්‍රවර්ධනය කරන සියලු දෙනා නොවෙත් නම් ඉන් බොහෝ දෙනා තමන් වාර්ගික පදනමකින් යුත් අගතීන් සමඟ සටන් වැද සිටින බවක් අවංකවම විශ්වාස කරනු විය හැක. එහෙත් කොයිහැටිවෙතත් ඔවුහු, තම පෞද්ගලික සිතැඟි කෙසේ වුව, ප්‍රතිගාමී නිෂ්ඨාවන්ට සේවය කරන්නා වූ විද්‍යා විරෝධී හා අවිචාරී අදහස් පතුරුවමින් සිටිති.

1619 ව්‍යාපෘතිය පසුපසින් ඇති අභිප්‍රේරනාත්මක බලය වන්නේ, ශාස්ත්‍රාල තුල දශක ගනනාවක් පුරා වර්ධනය වී ඇති පරිද්දෙන් පවතින වාර්ගිකවාදී දෘෂ්ඨියත්, ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයත් අතර අන්තර් ක්‍රියාවයි. විශේෂයෙන්ම, සමාජවාදය පිලිබඳව වර්ධනය වෙමින් පවතින උනන්දුවක් හා සහායයක් ගොනු වෙමින් පවතින්නා වූ ආන්තික සමාජ ධ්‍රැවාන්තගතවීමේ තතු යටතේ, ධනේශ්වර පන්තියේ දේශපාලන මෙවලමක් වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂය, සමාජ අසමානතාවයේ හා පන්ති ගැටුමේ අවතාරය නඟා සිටුවන විෂයයන්ගෙන් ඉවතට අවධානය හැරවීමට උත්සුක වී සිටී. මේ වූ කලී, වාර්ගිකත්වය ඉතිහාසය පිලිබඳ සිය ආඛ්‍යානයේ කේන්ද්‍රයෙහි පිහිටුවන්නා වූ, ඉතිහාසය යලි අර්ථ නිරූපනය කිරීමේ කෘත්‍යයකි.

1619 ව්‍යාපෘතිය යනු එක දිනකදී පහල වූවක් නොවේ. වසර ගනනාවක් පුරා ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්ද මූලෝපායයන්හි වඩවඩාත් වැඩි වෙමින් පැවැති කර්තව්‍යයක් ඉටු කල විවිධාකාරයේ අනන්‍යතා දේශපාලනයන්ට අනුරූප වෙමින් සිටි ටයිම්ස් සඟරාව, ග්‍රස්තික ලෙස යුක්තිසහගතව විස්තර කල හැකි පරිමානයකට වාර්ගිකත්වය කෙරේ ආසක්ත විය. නිරතුරුව පෙනෙන්නට තිබුනේ, ටයිම්ස්හි ප්‍රවෘත්ති ආවරනයේ හා ප්‍රවෘත්ති ටීකාවන්හි ප්‍රධාන අභිප්‍රාය ඕනෑම දෙන ලද සිදුවීමක හෝ කරුනක පවතින වාර්ගික හරය හෙලිදරව් කිරීම බවකි.

නිව්යෝර්ක් ටයිම්ස්හි ලේඛනාගාරය පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ, 'සුදු වරප්‍රසාද' යන පදය 2010 වර්ෂයේ දී යෙදී ඇත්තේ එහි පල වූ ලිපි හතරක පමනක් බවයි. 2013 දී එම පදය ලිපි විසි දෙකක අඩංගු විය. 2015 දී එම පදය සඳහන් වූ ලිපි පනස් දෙකක් විය. 2020 වර්ෂයේ දී, දෙසැම්බර් 1 වන දින වන විට, 'සුදු වරප්‍රසාද' පිලිබඳව සඳහන් වූ ලිපි ගනන 257 කි.

'සුදුකම' යන වචනය 2000 වසරේ ටයිම්ස්හි පල වී තිබුනේ ලිපි පහලොවක් තුල පමනෙකි. 2018 වර්ෂය වන විට එම වචනය අඩංගු වූ ලිපි ගනන 222 දක්වා ඉහල නැඟී තිබින. 2020 දී, දෙසැම්බර් 1 වන දින වන විට 'සුදුකම' ගැන සඳහන් ලිපි 280 ක් පල වී තිබේ.

පසුගිය වසරේ දී ටයිම්ස් සඟරාව, එහි මරන දැනුම් දෙන කොටස තුල පවා, වාර්ගිකත්වය කෙරේ කේන්ද්‍රගත කොට තුබූ නිර්දය අවධානය පැහැදිලිවම ඩිමොක්‍රටික් පක්ෂයේ 2020 ඡන්ද මූලෝපායයට සම්බන්ධ එකක් විය. 1619 ව්‍යාපෘතිය පිලිසිඳ ගැනුනේ මෙම මූලොපායයේ තීරනාත්මක අංගයක් ලෙසය. මෙය 2019 අගෝස්තු 12 වන දින පුවත්පතේ කාර්ය මන්ඩලය සමඟ පැවැති රැස්වීමක දී ටයිම්ස්හි විධායක කර්තෘ ඩීන් බැකේ නිශ්චිත ලෙස ප්‍රකාශ කලේය:

වාර්ගිකත්වය හා වාර්ගිකත්වය පිලිබඳ අවබෝධය, අප ඇමරිකාවේ කථා ප්‍රවෘත්තිය ආවරනය කරන්නේ කෙසේද යන්නෙහි කොටසක් විය යුතුය. ... අප හැමදෙනා 1619 ව්‍යාපෘතියට අනුමැතිය දෙමින් එය ඒ සා අභිලාෂවත් හා ව්‍යාප්ත ව්‍යාපෘතියක් බවට පත් කලේ අපේ පාඨකයන්ට තවත් ටිකක් වැඩියෙන් ඒ ආකාරයෙන් සිතීමට සැලැස්වීමටයි. ලබන වර්ෂයේ දී වාර්ගිකත්වය - මෙහිදී මා සිතන්නේ, අවංකවම කිවහොත් මගේ අපේක්ෂාව වන්නේ, මෙම සාකච්ඡාවෙන් පිට වී යන විට ඔබ මේ අදහස රැගෙන යනු ඇති බවය - වාර්ගිකත්වය ලබන වර්ෂයේ දී ඇමරිකාවේ කථා ප්‍රවෘත්තියේ දැවැන්ත කොටසක් වීමට නියමිතය. [28]

වාර්ගිකත්වය පිලිබඳව 'තවත් ටිකක් වැඩියෙන් සිතීමට' තම පාඨකයන්ට 'උගැන්වීමේ' නිව්යෝර්ක් ටයිම්ස්හි ප්‍රයත්නය, 1776 දී එක්සත් ජනපදය ස්ථාපනය කිරීම හා සිවිල් යුද්ධ සමයේ වහල් ක්‍රමය අත්‍යන්ත ලෙස විනාශ කර දැමීම කරා නැංවුනු විප්ලවවාදී අරගල අපකීර්තියට පත් කිරීම අරමුනු කර ගත්, ඇමරිකානු ඉතිහාසය පිලිබඳ මුසාකරනයක ආකෘතිය අත්පත් කර ගෙන ඇත. මේ මුසාකරනයට දායක විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී විඥානය සෝදාපාලු කර දැමීමට, ඇමරිකානු ඉතිහාසය හා සමාජය පිලිබඳ වාර්ගීකෘත දෘෂ්ඨියක් යුක්තියුක්ත කිරීමට හා, සමාජ අසමානතාවයේත්, සූරාකෑමේත් තතුවලට එරෙහිව සිය පොදු අරගලය තුල ඇමරිකානුවන්ගේ පුලුල් මහජනයාගේ එක්සත්කම යටින් බිඳීමට ය.

නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ වාර්ගිකවාදී උද්ඝෝෂනය දිග හැරුනේ, එක්සත් ජනපදය පුරා හා ලෝකය පුරාමත්, පෙලපත් හා මානව වංශිකත්වය නොතකා කම්කරු පන්ති ප්‍රජාවන් වනසා ලමින් වියරු ලෙස පැතිරී යන වසංගතයක පසුතිරය තුලය. ලෝක ගෝලය පුරා සිදු වී ඇති මරන සංඛ්‍යාව දැනටමත් ලක්ෂ පහලොවක් ඉක්මවා ඇත. එක්සත් ජනපදය තුල කොවිඩ්-19 මරන සංඛ්‍යාව (2020) වසර ඉකුත් වීමට පෙර ලක්ෂ 3 ක් ඉක්මවා යනු ඇත. වසංගතය දශ ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන් වෙත ආර්ථික ව්‍යසනයක් ද ගෙනැවිත් ඇත. විරැකියාව මහා අවපාත සමයේ පැවැති මට්ටම් කරා සේන්දු වෙමින් පවතී. ගනන් නැති දශ ලක්ෂ ගනනක ජනයාට කිසිදු ආදායම් ලැබීමේ ක්‍රමයක් නොමැති අතර, ඔවුහු සිය දෛනික නඩත්තුව සඳහා ෆුඩ් බෑන්ක් සංචිත (දුගියන්ට බෙදා දීමට ආහාර සංචිත පවත්වා ගෙන යන ලාභ නොලබන ආයතනයකි - ප.) මත රැඳී සිටිති.

තවද, වසංගතය ඇවිලී යන අතරතුර, ජනගහනයේ කුඩා කොටසක් අත තිගැස්සෙන සුලු මට්ටමකින් ධනය ඒකරාශී වී තිබීම විසින් නිපදවෙන සමාජ ප්‍රතිවිරෝධයන්ගේ බරින් මිරිකී ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යුහයන් බිඳී යමින් පවතී. 2020 ජනාධිපතිවරන උද්ඝෝෂනය පවත්වන ලද්දේ, ආඥාදායකත්වයක් ඇටවීම සඳහා ධවල මන්දිරය තුලින්ම සැකසුම් කෙරුනු ෆැසිස්ට්වාදී කුමන්ත්‍රන මධ්‍යයේ ය. 1930 ගනන්වල දී යුරෝපයේ ෆැසිස්ට්වාදය නැඟෙමින් පවතිද්දී නිර්මානය කෙරුනු 'එය මෙහි සිදු විය නොහැකිය' යන පැරනි ආප්තෝපදේශය සිදුවීම්වලින් ප්‍රතික්ෂේප කෙරී ඇත. ඇමරිකානු යථාර්ථයේ නිවැරදි විස්තර කිරීම වන්නේ, 'එය මෙහි සිදුවෙමින් පවතී' යන්නයි.

කම්කරු පන්තියේ සියලු කොටස්වල ඒකාබද්ධ ප්‍රතිචාරයක් අවශ්‍ය කෙරෙන පෙර නොවූ විරූ මෙම සමාජ හා දේශපාලන ව්‍යසනය මධ්‍යයේ, නිව්යෝර්ක් ටයිම්ස් සිය ශක්තීන් කැප කර ඇත්තේ ඇමරිකානු ඉතිහාසය ජන වර්ග අතර පවත්නා අනවරත යුද්ධයක් ලෙස නිරූපනය කරන්නා වූ ව්‍යාජ ආඛ්‍යානයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ය. කම්කරු පන්තිය සඳහා හෝ, අප්‍රිකානු ඇමරිකානු කම්කරුවන් සිය සුදු සහෝදර සහෝදරියන් සමඟ උරිනුර ගැටෙමින් වීරෝදාර ලෙස සටන් කල පසුගිය වසර 150 පුරා ඇමරිකානු සමාජ ජීවිතයේ අධිපති සාධකයක් ව පැවැති පන්ති සටන සඳහා හෝ මෙම අපරූපී විකෘතිය තුල කිසිදු ස්ථානයක් නැත. වසංගතය විසින් ප්‍රේරනය කරන ලද අත්‍යන්ත සමාජ අර්බුදය සහ සියලු වාර්ගික හා මානවවංශික පසුබිම්වල කෝටි ගනන් කම්කරු ජනයා පොරබදන අතිදුෂ්කර කොන්දේසි තුල අඩංගු වී ඇත්තේ 1619 ව්‍යාපෘතියේ ප්‍රතිගාමී තර්කාංගවලට එල්ල කෙරෙන පිලිතුරු දිය නොහෙන චෝදනා පත්‍රයකි. මෙම වෙලුමේ පල කෙරෙන නිබන්ධ හා අග්‍රගන්‍ය ඉතිහාසඥයන් සමඟ කෙරෙන සම්මුඛ සාකච්ඡා තුල, 1619 ව්‍යාපෘතිය විසින් සිදු කෙරෙන ඉතිහාසය පිලිබඳ මුසාකරනය පිලිබඳ සිද්ධි වාචක ප්‍රතික්ෂේපයක් සම්පාදනය කර ඇත.

ඩේවිඩ් නෝර්ත්

ඩෙට්‍රොයිට්

2020 දෙසැම්බර් 3

සටහන්:

[1] “The Nat Turner Case,” The New York Review of Books, 1968 සැප්තැම්බර් 12.

[2] වාඩිම් ඉසෙඩ්. රොගොවින්, Bolsheviks Against Stalinism 1928–1933: Leon Trotsky and the Left Opposition (Oak Park: 2019), පි. 2.

[3] ලෝරල් ලෙෆ්, Buried by the Times: The Holocaust and America’s Most Important Newspaper (Cambridge: 2005), පි. 5.

[4] New York Times Magazine, අගෝස්තු 18, 2019, පි. 18.

[5] Cited in Peter Gay, The Enlightenment: The Science of Freedom (New York and London: 1996), 556–57 පිටු.

[6] එම, පි. 557.

[7] කාල් මාක්ස්, Capital: A Critical Analysis of Capitalist Production I, වෙලුම I (London: 1974), පි. 20.

[8] ගේ, The Enlightenment: The Science of Freedom, පි. 558.

[9] ආර්.ආර්. පාමර්, The Age of Democratic Revolution: A Political History of Europe and America, 1760–1800 (ප්‍රින්ස්ටන්: 1959), පි. 5.

[10] ජොනතන් ඊශ්‍රායෙල්, The Expanding Blaze: How the American Revolution Ignited the World, 1775–1848 (ප්‍රින්ස්ටන්: 2017), පිටු. 17–18.

[11] ෆ්‍රෙඩ්රික් එංගල්ස්, Ludwig Feuerbach and the Outcome of Classical German Philosophy (නිව්යෝර්ක්: 2018), පි. 49.

[12] කාල් මාක්ස්, Capital: A Critical Analysis of Capitalist Production, වෙලුම I (ලන්ඩන්: 1974), පි. 703.

[13] කාල් මාක්ස්, “To Abraham Lincoln, President of the United States,” Karl Marx-Friedrich Engels Collected Works, 20 වෙලුම (නිව්යෝර්ක්: 1984), පි. 19.

[14] “How the 1619 Project Came Together,” 12/3/2020 දින උපුටා ගන්නා ලදී:
https://www.nytimes.com/2019/08/18/reader-center/1619-project-slavery-jamestown.html

[15] New York Times සඟරාව, අගෝස්තු 18, 2019, පි. 5

[16] ඊ.ජේ. හොබ්ස්බවුම්, Nations and Nationalism Since 1780: Program, Myth, Reality (ලන්ඩන්: 1991), පි. 117.

[17] පීටර් නොවික්, That Noble Dream: The “Objectivity Question” and the American Historical Profession (කේම්බ්‍රිජ්: 1988), පි. 475.

[18] ඉයුජින් ඩී. ජෙනොවිස්, In Red and Black: Marxian Explorations in Southern and Afro-American History (නිව්යෝර්ක්: 1968), පි. viii.

[19] ඊබ්‍රහිම් එක්ස්. කෙන්ඩි, Stamped from the Beginning: The Definitive History of Racist Ideas in America (නිව්යෝර්ක්: 2017), පි. 80.

[20] https://www.etymonline.com/search?q=enlightenment

[21] “Music Theory and the White Racial Frame,” MTO, 26 වෙලුම, අංක 2, 2020 සැප්තැම්බර්.

[22] “Beethoven Was an Above Average Composer—Let’s Leave It at That,”අප්‍රේල් 24, 2020, 12/3/2020 දින උපුටා ගන්නා ලදී: https://musictheoryswhiteracialframe.wordpress.com/2020/04/24/beethoven-was-an-above-average-composer-lets-leave-it-at-that/

[23] “Making Black Women Scientists under White Empiricism: The Racialization of Epistemology in Physics,” Signs: Journal of Women in Culture and Society, 2020 වෙලුම 45, අංක 2, පි. 421.

[24] එම., පි. 422.

[25] එම.

[26] එම.

[27] එම., පි. 439.

[28] “The New York Times Unites vs. Twitter,” Slate magazine,අගෝස්තු 15, 2019, 12/3/2020 දින උපුටා ගන්නා ලදී:
https://slate.com/news-and-politics/2019/08/new-york-times-meeting-transcript.html

Loading